මම පෙනී ඉන්නෙ දිනන වැඩපිළිවෙළක් වෙනුවෙනුයි


ඩිජිටල්, යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය ඇමැති 
අජිත් පී. පෙරේරා

රටේ කාලීන දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් හා ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් විමසමින් ඩිජිටල් හා යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවකි.   


• ප්‍රශ්නය - අධිකරණයේ ස්වාධීනත්වය මේ ආණ්‍ඩුව කාලයේදී තරම් හෑල්ලු වුණු යුගයක් තවත් නැහැ කියලයි පොහොට්ටුව කියන්නේ?   


පිළිතුර - සම්පූර්ණ බොරුවක්. සීයට සීයක්ම බොරුවක්. අපේ රජය තමයි අභියාචනාධිකරණය ඇතුළු අධිකරණවලට විනිශ්චකාරවරුන් පත් කිරීමේ ක්‍රමය නිර්දේශපාලනය කළේ‍. ඒ වගේම සියලුම විනිශ්‍චයකාරවරුන්ට නීතිපති දෙපාර්තමේන්තුවට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ආත්ම ගරුත්වයක් ඇතිව ස්වාධීනව වෘත්තීය කටයුතු කරගෙන යාමට හැකි ගැළපෙන වැටුප් හා අනෙකුත් පහසුකම් ලබා දුන්නේ. ඒ වගේම අද වෙනකම් කිසිමාකාරයකින් කිසිදු නඩු කටයුත්තකට බලපෑමක් නොකළේ අපේ රජය. ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු සියලුම දේශපාලනඥයන් මේ මූලධර්ම මත මෙතෙක් කටයුතු කරලා තියෙනවා. අපි ඒ ගැන ආඩම්බර වෙනවා.   


• ප්‍රශ්නය - විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්වරයා නීතිපතිවරයාට, මහාධිකරණ විනිසුරුවරුන්ට ලිපියක් යොමු කරලා කියලා සංවේදී නඩු විභාග තුනක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් එක්ක සාකච්ඡා කරන්න ‘එන්න’ කියලා. එතකොට කොහොමද ස්වාධීනත්වය රැකෙන්නේ?   


පිළිතුර - ගැටුම් නිරාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ගැනයි මේ කතා කරන්නේ. කොහොම වුණත් විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්වරයා ඔහුගේ හිතුවක්කාරකම අනුව ගත්ත තීරණය වැරැදියි. කතානායකතුමාට විපක්ෂනායකතුමා මේ ගැන දැනුම් දුන් මොහොතෙම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අරගෙන ඒ කටයුත්ත නතර කළා. එම ක්‍රියාවලිය රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවක් නොවෙයි. හිතුවක්කාරකමට හෝ නොදන්නාකමට අමාත්‍යංශයක වැඩබලන නිලධාරියෙක් කරපු දෙයක්. ඒ වගේම ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන්න කටයුතු කළා කියලා මට මීට මොහොතකට කලින් දැනගන්න ලැබුණා. අපි එහෙම කරන්නේ වැරැදි කරන නිලධාරින්ට විරුද්ධව. අපි කටයුතු කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට නිලධාරීන්ගේ මට්ටමින් හරි ඇඟිලි ගැසීමක් වෙනවා නම් එය නොවිය යුතුයි කියලා විශ්වාස කරන හින්දා.   


• ප්‍රශ්නය - අමාත්‍යංශයක වැඩ බලන ලේකම්වරයකුට එහෙම අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්ද? මේක ආණ්‍ඩුවේ ලොක්කන්ගේ අවශ්‍යතාවයක්?   


පිළිතුර - මේක ඒ නිලධාරියාගේ පෞද්ගලික මතයකට අනුව කරපු දෙයක්. ඔහුගේ ලිපිය වැරැදියි. ඒ පිළිබඳව දැනගත් වහාම ගරු කතානායකතුමා අවශ්‍ය පියවර ගත්තා. අපි අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන නිසයි ඒ නිලධාරියා අතින් වෙච්ච වැරැද්ද නිවැරැදි කළේ. ඒ වරද සිදුවෙන්න කලින් ඒ වැරැද්ද හඳුනාගෙන අපි ඒක නිවැරැදි කළා. ඒ වගේම විපක්ෂය නිවැරැදි කරුණක් දැනුම් දුන්නාම ඒ විපක්ෂයේ මතයට අපි ගරු කරන බවත්, පාර්ලිමේන්තුව තවදුරටත් විධායකයට යටත් රබර් සීල් එකක් නොවන බවටත් මේ අවස්ථාවේදීත් අපි පෙන්වලා දුන්නා.   


• ප්‍රශ්නය - ලංකාවේ කුණුවලට මොකද කරන්නේ කියලා දන්නේ නැතිවත් මහා පරිමාණ කුණු කන්ටේනර් 222ක් ලංකාවට ගෙනල්ලා. මේ පිටිපස්සේ ඉන්නෙත් ආණ්ඩුවේ ප්‍රබලයෙක්.   


පිළිතුර - නෑ. මේක රජයට සම්බන්ධ නැහැ. 2013 වසරේ එවකට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරපු ගැසට් නිවේදනයක් අනුව රේගු පරික්ෂාවෙන් තොරව භාණ්ඩ රට තුළට ගෙන ඒමට හැකියාවක් ලැබුණා. එම නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්ත කූඨ සමාගමක් විසින් තමයි මෙම කුණු ගෙනත් තියෙන්නේ. අපි ඒ වරද නැවත වෙන්න තියන්නේ නෑ. අපිට මේ ගැන දැනගන්න ලැබුණු පළමු මොහොතෙම නැවත මෙය සිදුනොවන්න රජය පියවර ගත්තා. මේක රජයේ ප්‍රශ්නයක් නොවෙයි. යම් යම් වැරැදි වෙනවා. අපි ඒ වැරැදි හදා ගන්නවා. වංචාකාරයන්ව හඳුනා ගන්නවා. ඒ වංචාව අපි වළක්වන්න කටයුතු කරනවා.   


• ප්‍රශ්නය - ඔබලා මේ ප්‍රශ්නයත් මහින්ද රාජපක්ෂ ගිණුමට බැර කරනවා. මහින්ද රාජපක්ෂ මේ ගැසට් එක ගහන්නේ 2013දී. කුණු ගෙන්වන්නේ 2019දී. ඒකට වගකිව යුත්තෙත් මහින්ද රාජපක්ෂද?   


පිළිතුර - රේගුවට සාමාන්‍ය කටයුතු අතරෙදි මේ භාණ්ඩ පරීක්ෂා කිරීමට හැකියාවක් නෑ “ෆීසෝන්” කියන සංකල්පය යටතේදී. එහිදී සිදුවන්නේ භාණ්ඩ රැගෙන එනවා රේගුව විසින් හඳුනා ගත්ත ස්ථානයකට. එතැන බඩු බානවා. නැවත ඒ බඩු වටිනාකම වැඩි කොට වෙනත් රටකට අරන් යනවා. ඒ සංකල්පය හරි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යම් භාණ්ඩයකට ලංකාව තුළදී යම් වටිනාකමක් එකතු කිරීමයි. නමුත් මෙතැන සිද්ධ වෙලා තියෙන්නේ මෙම ක්‍රියාවලිය අයුතු ලෙස පාවිච්චි කරලා කිසිසේත්ම අපේක්ෂා නොකරන පරිදි කුණු තොගයක් ලංකාවට අරන් එන එකයි.   


• ප්‍රශ්නය - මේ කුණු අතර මිනිස් අපද්‍රව්‍ය තිබෙන බවත් කියනවා?   


පිළිතුර - ඒ පිළිබඳව සැකයක් මතු වෙලා තියෙනවා. ඒ මොනවා වුණත් ඒ භාණ්ඩ නැවත එංගලන්තයට යවනවා. ඒක අනිවාර්‌යයෙන්ම අපි කරනවා. හොඳ වෙලාවට මේ ප්‍රශ්නය බරපතළ වෙන්න කලින් අපි දැන ගත්තේ. කොච්චර නීති පැනෙව්වත් ඒ නීති අතරින් පලායන වංචනික ව්‍යාපාරිකයන් හැම රටකම ඉන්නවා. එහෙම අය අපේ රටෙත් ඉන්න බවයි මේකෙන් පේන්නේ.   


• ප්‍රශ්නය - අමාත්‍යංශවල වියදම් කපා හරින්න කියලා ඇමැති මංගල උපදෙස් දෙනවා. නමුත් ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන් තමන්ගේ ප්‍රතිරූපය පුම්බන්න හා ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන කෝටි ප්‍රකෝටි ගණනින් ධනය නාස්ති කරනවා.   


පිළිතුර - ඔය චෝදනාවත් මම ප්‍රතිකේෂ්ප කරනවා. රජය කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුයි. ජනතාව මේවා දන්නේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ මැතිවරණයකදී ජනතාවගේ මතය පිළිබිඹු වෙන්නේ නෑ. ඒ රජයේ මුදල් සංවර්ධන ව්‍යාපෘතිවලට යොදවනවා වගේම ඒ සංවර්ධන ව්‍යාපෘති දැනුම්වත් කිරීමටත් ඒවායෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුම්වත් කිරීමටත් සාධාරණ මුදලක් වැය කිරීම අවශ්‍යයි. අපිට ලොකු අඩුපාඩුවක් තිබුණා. අපි අතිවිශාල වැඩ ප්‍රමාණයක් මුල් අවුරුදු 2-3 තුළ කළා. නමුත් ඒ කරන වැඩ ජනතාවට පෙන්වාදීම සඳහා වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ අඩුපාඩුව දැන් තේරුම් අරගෙන ජනතාවට සංවර්ධන ව්‍යාපෘති ගැන දැනුම්වත් කිරීමේ කටයුතු සිදුවෙනවා.   


• ප්‍රශ්නය - ඇමැතිවරු තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න කරන නාස්තිකාර වියදම්?   


පිළිතුර - නෑ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. පොදු සංවර්ධන ව්‍යාපෘති තමයි අපි කරන්නේ.   


• ප්‍රශ්නය - සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදිය යුතු වුවත් ඔබේ ආණ්ඩුව යටතේ බාහිර උපාධිධාරීන්ට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලි. ඔවුන්ට රැකියා දෙන්නේ නැහැ. මෙය මොන පදනමින්ද සාධාරණීකරණය කරන්නේ?   


පිළිතුර - එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වුණේ බාහිර උපාධිධාරීන් සහ අභ්‍යන්තර උපාධිධාරීන් කියන කොටස් දෙකටම එක හා සමානව සලකලා රජයේ රැකියා ලබාදිය යුතුයි කියන එකයි. නමුත් ගරු ජනාධිපතිතුමා ඉතාම තදින් හිටියා අභ්‍යන්තර උපාධිධාරීන්ට පළමුව රැකියා දිය යුතුයි කියලා. ඉතින් තවත් ව්‍යවස්ථා අර්බුදයක් වළක්වා ගන්න අපට අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා අවසානයේ අපි ජනාධිපතිතුමාගේ මතයට එකඟ වුණා. මේ ගැන අපේ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ගිය සඳුදා කතා කළා. අපි බාහිර උපාධිධාරීන්ටත් කෙසේ හෝ රජයේ රැකියා අවස්ථා ඉක්මනින්ම සලසාදීමට කටයුතු කරනවා. බාහිර උපාධිධාරීන්ටත් අභ්‍යන්තර උපාධිධාරීන් ලෙස එකම අයිතිවාසිකමක් තියෙන්නේ කියලා අපි පිළිගන්නවා. නමුත් මම කිව යුතුයි ආණ්‍ඩුවේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියකු වූ පමණින් ඔවුන් සියලු දෙනාටම රජ​ෙය් රැකියාවක් ලබාදිය යුතුයි කියලා කල්පනා කිරීමත් සාධාරණ නැහැ. රජය තුළ සීමිත අවස්ථා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පෞද්ගලික අංශය තමයි විශාල. ඒ සීමිත අවස්ථා බෙදාදීමේ දී අපි පරිස්සම් විය යුතුයි. ඒ වගේම රජයේ වියදම් කියන්නෙත් ජනතාවගේ බදු මුදල්. ඒ නිසාම අපි වඩාත් පරිස්සම් විය යුතුයි.   


• ප්‍රශ්නය - සියලු පුරවැසියන්ට එක සමානව සැලකීම යහපාලනයේ එක් අංගයක්. නමුත් මෙතැනදී ඒක බිඳිනවා?   


පිළිතුර - සියලු පුරවැසියන්ට සමාන ලෙස සැලකිය යුතුයි. නමුත් අභ්‍යන්තර උපාධිධාරීන්ට විශේෂයෙන් සැලකිය යුතුයි කියන එකත් සාධාරණත්වයේ කොටසක්. ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවේ කියන්නේ සමානයන්ට සමාන ලෙස සැලකිය යුතුයි කියලයි. අභ්‍යන්තර උපාධිධාරීන් කියලා කියන්නේ උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා ඔවුන්ගේ දක්ෂතා වැඩියෙන්ම පෙන්වලා විශ්වවිද්‍යාලයක වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබපු පිරිසක්. ඒ නිසා අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව දීම ගැන නම් කිසිම ගැටලුවක් නෑ. ඒක නීතියටත් එකඟයි. සාධාරණයි.   


• ප්‍රශ්නය - එතකොට බාහිර උපාධිධාරීන්ට රස්සා දෙන්නෙම නෑ?   


පිළිතුර - නෑ. නෑ එහෙම එකක් නෑ. ඔවුනුත් අතිදක්ෂ අය. නමුත් ජනාධිපතිතුමා මාරාන්තික ලෙස කියා සිටියා ප්‍රමුඛතාවය අභ්‍යන්තර උපාධිධාරීන්ට ලබාදිය යුතුයි කියලා. එහෙම නැතිව අපට තෝරා ගැනීමක් තිබුණේ නෑ.   


• ප්‍රශ්නය - ඔබ පෙනීඉන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන්ද?   


පිළිතුර - මම පෙනී ඉන්නේ ජයග්‍රහණය වෙනුවෙන්. දිනන වැඩපිළිවෙළකටයි මගේ එකඟතාව. මම පුද්ගලයෙක් මත පදනම්වෙලා වැඩ කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට නැවත මේ රටේ පාලන බලය තහවුරු කරගෙන අපි කරගෙන යන දේ ඉදිරියට කරගෙන යන්නත් අඩුපාඩු හදාගෙන නැවුම් ප්‍රතිපත්තියක් මත මේ රට මෙහෙයවන්නත් අවශ්‍යයි. ඒ වගේම දූෂිත මිනීමරු පාලකයන් නැවත මේ රටේ පාලනයට පැමිණීම වළක්වන්න අවශ්‍යයි. එ් නිසා ඒ සඳහා ඒ හැකියාව ඇති කණ්ඩායමකට බලය දිය යුතුයි. ඒ සඳහා හැකියාව ඇති උගත් තරුණ කණ්ඩායමකට බලය දිය යුතුයි. ඒ සඳහා නිවැරැදි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ නිසා මම පෙනී ඉන්නේ දිනන වැඩපිළිවෙළක් වෙනුවෙන්.   


• ප්‍රශ්නය - ඒ කියන්නේ දිනන්න පුළුවන් සජිත්ට පමණයි?   


පිළිතුර - ඒ දිනන වැඩපිළිවෙළේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස විය යුතු බවයි මම කියන්නේ.   


• ප්‍රශ්නය - ඇමැති රවී කියනවා ‘ජනාධිපති අපේක්ෂකයා අඩුම තරමින් සාමාන්‍ය පෙළවත් පාස් වී සිටිය යුතුයි’ කියලා?   


පිළිතුර - ඔහු කියන එක හරි. අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ලෝකයේ තිබෙන විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ 2019 වසර වෙනකෙට සමාජයීය විද්‍යා විෂයන් සම්බන්ධ ලොක්යේම තිබෙන අංක දෙකේ විශ්වවිද්‍යාලය, එහි ආර්ථික විද්‍යාව ඇතුළත්ව උපාධියක් ලබපු විද්‍යාර්ථියෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා, එතුමාට ඕලෙවල් තියෙනවා. ඒලෙවල් තියනෙවා. උපාධියකුත් තියෙනවා.   

• ප්‍රශ්නය - සජිත්ට එරෙහි බලවේගයක් පක්ෂය තුළ තිබෙනවා?   


පිළිතුර - මං හිතන්නේ නෑ එහෙම ඉන්නවා කියලා. අපි ගිය සඳුදා අපේ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම තිබුණා. එකසිය හත් දෙනාගෙන් සියයකට ආසන්න පිරිසක් ඇවිත් හිටියා. පළමු වතාවට අපි මේ මාතෘකාව නීත්‍යානුකූල සභාවක් තුළ කතා කළා. එක්සත් ජාතික පක්ෂයේ ගරු සභාපති කබීර් හෂීම් මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කළා. ඒ යෝජනාව මලික් සමරවික්‍රම මැතිතුමා ස්ථිර කළා. මන්ත්‍රීවරු විසි පහකට වැඩියෙන් එය අනුමත කරමින් කතා කළා. වෙන කිසිම නමක් ඒ සාකච්ඡාවේදී යෝජනා වුණේ නෑ.   


• ප්‍රශ්නය - අගමැති රනිල් මෙන්ම කතානායක කරු ජයසූරියගේ නම් මේ සම්බන්ධයෙන් කියැවෙනවා?  


පිළිතුර - නමුත් එහෙම කිසිම විකල්ප නමක් යෝජනා වුණේ නෑ. එක මතයයි. ඒකමතිකයි. නමුත් අවසානයේ අපි එකඟ වුණා එක්සත් ජාතික පක්ෂයේ නිල වශයෙන් තීන්දු ගන්න තැන වන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකාබද්ධව පවත්වන රැස්වීමකදී මේ තීරණය නිල වශයෙන් ලබාගන්න.  


• ප්‍රශ්නය - ඇයි ඔබලා රනිල් වික්‍රමසිංහ ප්‍රතිකේෂ්ප කරන්නේ? ඔහු ඔබේ පක්ෂයේ නායකයා.  


පිළිතුර - රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කරු ජයසූරිය මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන තුන් දෙනාම මේ රටේ ජනාධිපති ධුරය දැරීමට හැකි උගත්කම, පළපුරුද්ද, කුසලතාව තිබෙන අය. නමුත් අප ඉදිරිපත් කළ යුත්තේ තියුණු තරගයක් තියෙන්නේ, මෙවැනි තියුණු තරගයක් බලාපොරොත්තු වන අවස්ථාවක අප ඉදිරිපත් කළ යුත්තේ වඩාත්ම පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි හොඳම අපේක්ෂකයා. ඒ නිසා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ කරු ජයසූරිය මැතිතුමාට කරන අගෞරවයක් නොවෙයි. වඩාත්ම පහසුවෙන් දිනන්න පුළුවන් ඒ වගේම නැවුම් තරුණ උගත් සජිත් ප්‍රේමදාස තමයි අපට ජයග්‍රහණය අරන් එන්නේ. ඒක ප්‍රායෝගික දේශපාලනයේ ඉන්න හැමෝටම තේරෙනවා. මේක මේ මගේ පෞද්ගලික අදහසක් නොවෙයි. මම කොහොමත් පස්සෙන් යන මිනිහෙක් නොවෙයි. මම ඉස්සරහින් යන්නේ. මම හැමදාමත් කියන්න ඕනෑ දේ කෙළින් කියනවා. කලින් කියනවා. අනික් අය කියනකම් ඉඳලා හැංගිලා ඔළුව දාන කෙනෙකුත් නොවෙයි. මට විශ්වාසයක් තියෙනවා මේක තමයි හරි කියලා. ඒ විශ්‍වාසය පක්ෂයේ අති බහුතරයකට තියෙනවා. ගම් මට්ටමේ සීයට සීයක්ම තියෙන්නේ ඒ මතය.  


• ප්‍රශ්නය- එක්සත් ජාතික පෙරමුණේ ඉන්න සුළු ජාතික පක්ෂ සජිත් පිළිගන්නේ නෑ කියලා කියනවා?  


පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම බොරු. මම ඔය හැම පක්ෂයක් එක්කම සාකච්ඡා කරලා තියෙනවා. දැනට එක්සත් ජාතික පෙරමුණ සමග ඉන්න සියලුම පක්ෂ සමග කතා කරලා තියෙනවා. ඒ වගේම අනාගතයේදී මැතිවරණ ක්‍රියාවලියේදී අපත් සමග එක්වීමට නියමිත පක්ෂ හා කණ්ඩායම් සමග මමත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී ඉන්න අනෙක් ජ්‍යෙෂ්‍ඨ නායකයොත් තීරණාත්මක සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ සියලුම දෙනා සජිත්ට එකඟයි. ප්‍රතිපත්ති හා මැතිවරණ ජයග්‍රහණයකින් පසුව රට පාලනය කරන කණ්ඩායම පිළිබඳව යම් ආකාරයක එකඟතාවක් ඇති කර ගැනීම තමයි දැනට ඉතිරි වෙලා තියෙන්නේ.  

• ප්‍රශ්නය - ජනාධිපති අපේක්ෂකත්වය සමග පක්ෂ නායකත්වයත් ඕනෑ කියලා සජිත් කියන බව ආරංචියි. එහෙම කොන්දේසි දාලා අපේක්ෂකත්වය ගන්න පුළුවන් වෙයිද?  


පිළිතුර - අපි එහෙම කොන්දේසි කතා කරලා නෑ. අපි මේ මොහොතේ කතා කරන්නේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාම අපේ පක්ෂයේ සාමාජිකයෙක් රටේ ජනාධිපති වෙනවා නම් ඔහු ඉබේම පක්ෂයේ නායකයා බවටත් පත් වෙනවා.  


• ප්‍රශ්නය - ඔබලාගේ පක්ෂයේ මූලිකත්වයෙන් යෝධ සන්ධානයක් ගොඩනගන බව කියනවා. එදාට කොහෙන් හරි තව අපේක්ෂකයෙක් මතු වෙයි?  


පිළිතුර - එහෙම කළත් එක්සත් ජාතික පක්ෂයේ මතය අබිබවා යන්න බෑ. අපේ සන්ධානය තුළ සජිත් ප්‍රේමදාස මැතිතුමාට වඩා හොඳ අපේක්ෂකයෙක් ඇත්තෙත් නෑ. ඇත්තම කිව්වොත් එහෙම නමක් අපේ කඳවුරේ යෝජනා වෙන්නෙම නෑ.

 

 

 

 

සාකච්ඡා කළේ -
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්