මම පත්තු කරපු බෝම්බයක් නෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක   
මහින්ද‌ානන්ද අලුත්ගමගේ   

2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී පාවාදීමක් වූ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. එම කතාවත් සමග ක්‍රිකට් ලෝකයේත් දේශපාලන පොරපිටියේත් අකල් ගින්නක් ඇවිළී යමින් තිබේ. මේ ඒ ගින්නේ නිමැවුම්කරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන්නා කියලා මොකක්ද ඔබ මේ පත්තු කරපු ක්‍රිකට් බෝම්බය?   


පිළිතුර:- මම පත්තු කරපු බෝම්බයක් නෑ. රූපවාහිනී නාලිකාවක් එක්ක කරපු සංවාදයකදී රටේ වංචා දූෂණ අක්‍රමිකතා ගැන කතා කළා. එතැනදී බැඳුම්කර වංචාව. ටොප් - 10 කම්බා හොරු ගැන මම දරන මතය ගැන අහලා එම නිවේදකයා මගෙන් ඇහුවා ක්‍රිකට් ගැනත්.

   
ප්‍රශ්නය:- ඔබෙන් ක්‍රිකට් ගැන අහන්න තරම් විශේෂත්වයක්?   


පිළිතුර:- මම හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙක් නිසා වෙන්නැති ඔහු මගෙන් ඒ ගැන ඇහුවේ. එතැනදී තමයි මම මට තියෙන තොරතුරුවලට අනුව එහෙම ප්‍රකාශයක් කළේ.   


ප්‍රශ්නය:- ඔබ ඒ ප්‍රකාශය කරන්නට ද ඒ සංවාදයට එන්නේ?   


පිළිතුර:- නෑ නෑ නෑ කිසිසේත්ම නැහැ. මගෙන් එහෙම ප්‍රශ්නයක් අහයි කියලා මම දන්නෙත් නෑ.   


ප්‍රශ්නය:- 2011 දී වෙච්ච දෙයක් ගැන 2020 දී කියන්නේ ඇයි?   


පිළිතුර:- මම මේ ගැන 2011 දීත් කටයුතු කරලා තියෙනවා.   


ප්‍රශ්නය:- මොනවද ඒ කටයුතු?   


පිළිතුර:- 2011 දී මම මේ ගැන කතා කළා. 2013 දීත් 2014 දීත් මම මේ ගැන මම දන්න දේවල් කියලා තියෙනවා.   


ප්‍රශ්නය:- ඔබ කතා කළා කිව්වට කොහේදිද කතා කළේ? අවශ්‍ය තැන්වල ද නැත්නම් වේදිකාවලද?   


පිළිතුර:- මෙහෙමයි. මම අලුතෙන් මේ ගැන කතා කරන්න හේතුව තමයි 2018 දී හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ‘ඇන්ටි කරප්ෂන්’ එකෙන් ලියුමක් එවලා කියනවා ‘ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් වැඩිම දූෂණ චෝදනා එල්ලවන රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා මේ පිළිබඳව වහාම කටයුතු කරන්න කියලා.   


ප්‍රශ්නය:- හිටපු ඇමැති හරීන්ට එවපු ලියුමකට ඔබ කලබල වෙන්නේ ඇයි? ඒ ලියුම ඔබටත් ලැබුණද?   


පිළිතුර:- හිටපු ක්‍රීඩා ඇමැති හැටියට ඒ ලිපියේ පිටපතක් මටත් ලැබෙනවා. මේ ලියුම මගෙ අතට ආවම මට තිබුණ ප්‍රශ්නය තමයි 2011 ලෝක කුසලාන තරගාවලිය එනකොට මම ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයා. මම ඒ තරගය බලන්නත් ගියා. තරගය අවසන් වුණාම මට පොඩි සැකයක් ඇති වුණා මේ තරගයේදී මොකක්හරි අකටයුත්තක් වුණා ද කියලා.   


ප්‍රශ්නය:-ඔබට එහෙම සැකයක් ඇතිවෙන්නේ?   


පිළිතුර:- ඒ තරගයෙ වෙච්ච විවිධ සිද්ධි තියෙනවා. 

 
ප්‍රශ්නය:- මොනවද ඒ සිද්ධි? ක්‍රීඩාංගණය තුළ වෙච්ච ඒවද? එහෙම නැත්නම් ක්‍රීඩාංගණයෙන් පිටත වෙච්ච ඒවද? 

 
පිළිතුර:- මට ඒ තොරතුරු දැන් දෙන්න බෑ. මම ඒ සියලු තොරතුරු පරික්ෂණ මණ්ඩලයට දුන්නා. මේ ගැන සැක උපදවන සිදුවීම් කිසිවක් ගැන මට මුකුත්ම කියන්න බෑ. දැන් මේ ගැන පරික්ෂණයක් යනවා. 2011 ෆයිනල් මැච් එකෙන් පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සියලුම දෙනා කිව්වා මට මේ ගැන පරික්ෂණයක් කරන්න කියලා.   


ප්‍රශ්නය:-සංගක්කාර, මහේල එහෙමත් පරික්ෂණයක් ඉල්ලුව ද?   


පිළිතුර:- මට ඔබ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ. මෙතැන දැන් පරික්ෂණයක් යනවා. මට මේ මොහොතේ කියන්න පුළුවන් ටික තමයි ඔබට මේ කියන්නේ. 

 
ප්‍රශ්නය:- ඔබ කියනවා සිද්ධි රාශියක් වුණා. ඒවා සැකකටයුතුයි කියලා. එහෙම නම් මේ ගැන විධිමත් පරික්ෂණයක් ඒ කාලෙම කරන්න එපැයි?   


පිළිතුර:- මම 2011 දීම මේ ගැන අයිසීසී එකට ලිව්වා. මම අයිසීසී එකෙන් ඉල්ලුවේ මේ ගැන පරික්ෂණයක් කරන්න කියලයි.   


ප්‍රශ්නය:-අයිසීසී එකේ ප්‍රතිචාරය?   


පිළිතුර:- එතැනට මට බලපෑම් කරන්න බැහැ. මට කරන්න පුළුවන්කම තියෙන්නේ පැමිණිලි කිරීම පමණයි. මම ඒ දේ කළා. ඊට පස්සේ මම බලනවා ලංකාව ඇතුළේ මේ ගැන කරන්න පුළුවන් දේ මොනවද කියලා. ඊට පස්සේ මම කරන්නේ 2013 දී තරග පාවාදීමට එරෙහිව පනතක් හදන්න කමිටුවක් පත් කරනවා. ලෝකයේ කිසිම රටක තරග පාවාදීමට එරෙහි පනතක් හදලා නෑ. නමුත් මම එහෙම පනතක් හදන්න කමිටුවක් පත් කළා. ඊට පස්සෙ 2014 දී මම ඒ පනතට කැබිනට් අනුමැතිය ලබා ගත්තා. 

 
ප්‍රශ්නය:-ඔය ක්‍රියාද‌ාමයට කාගෙන් හරි බාධාවක් ආවද? ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එහෙම?   
පිළිතුර:- නෑ නෑ කිසිම බාධාවක් නෑ. මතක තියාගන්න මම තමයි ලෝකයේ එකම ඇමැතිවරයා රටක් හැටියට තරග පාවාදීමට එරෙහි පනතක් හදපු කෙනා.   


ප්‍රශ්නය:- ඔය කියන විදියට ඔබට ගොඩාක් තොරතුරු ලැබිලා තියෙනවා?   


පිළිතුර:- ඔව්. ඒ නිසානේ මම මහන්සි වෙන්නේ. අනික අපි ලෝක කුසලානය දිනපු රටක්. අපිට තව ලෝක කුසලාන කිහිපයක් ගේන්න පුළුවන් රටක්. නමුත් තරග පාවාදීම්වලට අපි තිත තිබ්බේ නැත්නම් කවද‌ාවත් තරග ජයග්‍රහණ කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන් මේක නවත්වන්න ඕනැ. ඒ නිසා තමයි මම මේ තරග පාවාදීමට එරෙහි පනත හදන්නේ.   


ප්‍රශ්නය:- පනත හැදුවට පස්සෙ මොකද වුණේ?   


පිළිතුර:- පනත හැදුවට පස්සේ විවිධ අවස්ථාවල මම මේ ගැන කතා කළා. කොහොම වුණත් 2017 දී අයිසීසී එකෙන් හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දුට ලියුමක් එවනවා ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ලවෙන රටක් බවට ලංකාව පත්වෙලා තියෙනවා. වහාම ක්‍රියාමාර්ග ගන්න කියලා. ඉතින් මම තාම විශ්වාස කරනවා 2011 අවසන් මහ තරගයේදී පාවාදීමක් වුණා කියලා.   


ප්‍රශ්නය:- ඔබ වගකීමෙන් ද කියන්නේ?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. ඒ සියලු තොරතුරු මම පරික්ෂණ මණ්ඩලයට දුන්නා.   


ප්‍රශ්නය:- ඔබේ චෝදනාව එල්ල වෙන්නේ ක්‍රීඩකයන්ට?   


පිළිතුර:- එද‌ා රූපවාහිනී සංවාදයේදීත් මම පැහැදිලිවම කිව්වා ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ කරගන්න එපා කියලා. මට දැන් මේ ගැන උත්තරයක් දෙන්න බෑ. මම සියලු තොරතුරු විමර්ශන ඒකකයට දීලා තියෙන්නේ. කරුණු 24 ක් තියෙනවා. පිටු හයක් ලේඛන අටක් තියෙනවා. මම ඒ සියල්ල පරික්ෂණ මණ්ඩලයට දුන්නා. පරික්ෂණ මණ්ඩලයට දුන්න තොරතුරු මම එළියෙ කියන එක හරි නෑ.   


ප්‍රශ්නය:- ඔබ මේ තොරතුරු අයිසීසී එකට දැනුම් දුන්නත් ඇයි ඔවුන් පරික්ෂණයක් නොකළේ?   


පිළිතුර:- අයිසීසී එක පරික්ෂණයක් නොකළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට අයිසීසී එක ආවා.   


ප්‍රශ්නය:-එහෙම ආපු එකේ ප්‍රතිඵලය?   


පිළිතුර:- ලොකු සාකච්ඡාවක් ගියා. අදහස් හුවමාරු වුණා. නමුත් ක්‍රියාමාර්ග ගන්න තරම් කාලයක් නොතිබුණා වගේ තමයි මතක.   


ප්‍රශ්නය:- ක්‍රීඩකයන් තමයි පිට්ටනියට ගිහින් ක්‍රීඩා කරන්නේ. ඔවුන්ට මිසක් නිලධාරීන්ට හෝ වෙනත් කෙනෙකුට තරග පාවා දෙන්න බැහැ?   


පිළිතුර:- මම ඔබට එක උද‌ාහරණයක් කියන්නම්. 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ක්‍රීඩකයන් හතර දෙනෙක් වෙනස් කරනවා. අන්තිම මොහොතේ කණ්ඩායමට එක්වෙනවා මුළු තරගාවලියටම ගහපු නැති ක්‍රීඩකයෙක්.   


ප්‍රශ්නය:-ඒ ක්‍රීඩකයා තමයි......   


පිළිතුර:- එපා.... එපා... ඒ නම ද‌ාන්න එපා. මුළු තරගාවලියටම ක්‍රීඩා නොකර අන්තිම තරගයට පමණක් ආපු ක්‍රීඩකයකුට ‘බෙට්’ කළොත් ඒ කියන්නේ ඔට්ටු තිබ්බොත් ට්‍රිලියන ගණනින් ඒ රෑ මුදල් හම්බ කරන්න පුළුවන්. අවසාන තරගය ද‌ා උදේ ක්‍රීඩකයන් හතර දෙනෙක් මාරු කරනවා. ලෝකයේ කිසිම රටක එහෙම දෙයක් වෙලා නෑ.   


ප්‍රශ්නය:- ඇන්ජිලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම නිසා කණ්ඩායමේ සමබර බව රකින්න ක්‍රීඩකයන් මාරු කළා?   


පිළිතුර:- මට පුතා....මේ ගැන මීට වඩා කතා කරන්න බෑ. මම පැමිණිලිකරු. දැන් විමර්ශනයක් යනවා. ඒ නිසා ඔබ අහන ප්‍රශ්නවලට මට මෙතැනින් එහාට කිසිම උත්තරයක් දෙන්න බෑ. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මේ ගැන ආයෙමත් මම මුකුත් කියන්නේ නෑ. ඒ නිසා ඒ ගැන ආපහු මගෙන් අහන්නත් එපා කියලා. මම මේ ඉරිද‌ා ලංකාදීපය හින්දයි මෙහෙම හරි කතා කළේ. මොකද විමර්ශනයක් යනකොට ඒ ගැන කතා කිරීම සාධාරණ නෑ. 

 
ප්‍රශ්නය:- මහ මැතිවරණය අස්සේ රටේ ජනතාවගේ අවධානය ඇත්ත ප්‍රශ්නවලින් වෙනස් කරන්න ක්‍රිකට් බෝම්බය ගැහුවා?   


පිළිතුර:- නෑ නෑ කිසිසේත් මම එහෙම කළේ නෑ. මම වගකීමක් ඇතිව 2011 අවසන් මහ තරගය ගැන කතා කළේ.   


ප්‍රශ්නය:- ඔබ කිව්වා තරගාවලියෙ හිටපු නැති ක්‍රීඩකයෙක් අවසන් මහ තරගයට ආවා කියලා.

එහෙම නම් ඒකට ක්‍රීඩා ඇමැතිවරයා හැටියට ඔබේ අනුමැතිය ලැබිය යුතුමයි. ඔබ ඒ අනුමැතිය දුන්නද?   


පිළිතුර:- ඔව් මම අනුමැතිය දුන්නා. මගේ ප්‍රශ්නය ඒක නොවෙයි. අවසාන මොහොතේ ක්‍රීඩකයන් හතර දෙනෙකු වෙනස් කරනවා. ඔබ සමග දිගින් දිගටම කතා කළොත් ඔබ මගේ කටින් මේක ගන්නයි හදන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් කියනවා පරික්ෂණයට අවශ්‍ය තොරතුරු මම දීලා තියෙනවා. ඒ පරික්ෂණයට අසාධාරණයක් වෙන නිසා කතා කිරීම සාධාරණ නෑ.   


ප්‍රශ්නය:-හෝමාගම දියගම ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න ආණ්ඩුව සැලසුම් කළා. සනත්, රොෂාන් මහානාම, සංගක්කාර, මහේල ඒකට විරුද්ධව අදහස් පළ කළා. ඒකට ‘රිටන්’ එක නේද මේ?   


පිළිතුර:- අනේ ඔය දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදනවට මමත් විරුද්ධයි. මමත් කිව්වනේ ඒකට ‘බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගේ මොළේ හොඳ නෑ’ කියලා. ඒ නිසා මම නැවතත් කියනවා මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කරගන්න එපා කියලා. එදා රූපවාහිනී සංවාදෙදිත් මම කියනවනේ මේකට ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ කියලා. ඇයි ඔබ නැවත නැවතත් ක්‍රීඩකයන් සම්බන්ධ කරන්නේ?   


ප්‍රශ්නය:-සංගක්කාර වගේම මහේලත් ඔබේ ප්‍රකාශය ගැන මත ප්‍රකාශ කරලා තිබුණා?   


 පිළිතුර:- මම කනගාටුවෙනවා ක්‍රීඩකයන් මේ ගැන මත ප්‍රකාශ කරන එක ගැන. මම කියනවා ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා. ක්‍රීඩකයෝ මේකට උත්තර දෙනවා.   


ප්‍රශ්නය:- ප්‍රශ්නය කෙළින්ම එන්නේ ක්‍රීඩකයන්ටනේ. ඔවුන් තරගය පාවා දුන්නා කියලනේ මිනිස්සු හිතන්නේ?   


පිළිතුර:- ඉතින් මම කිව්ව මේකට ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ කියලා. පැමිණිලිකරු කියනවා නම් ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ කියලා ඉතින් තවත් මොනවද?   


ප්‍රශ්නය:- ක්‍රිකට් කණ්ඩායම තෝරන්නේ තේරීම් කමිටුවයි. ඒ කාලේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෝක පූජිත සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වායි. ඔබ චෝදනා කරන්නේ ඔහු ඇතුළු තේරීම් කමිටුවට?   


පිළිතුර:- අද‌ාළ නොවේ.   


ප්‍රශ්නය:- ඔබ හිතනවද විමර්ශනයෙන් සත්‍ය තොරතුරු එළියට එයි කියලා?   


පිළිතුර:- ඒකටනේ විමර්ශනයක් කරන්නේ. 

 
ප්‍රශ්නය:- කොහොමද ඡන්ද ව්‍යාපාරය?   


පිළිතුර:- ඉතාම සාර්ථකයි. අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක බහුතරයකින් ජයග්‍රහණය කරනවා.   


ප්‍රශ්නය:- තුනෙන් දෙක ගන්න කලින් 113 ගන්න කියලයි විපක්ෂය කියන්නේ?   


පිළිතුර:- 113 ගන්න නොවෙයි පුළුවන් නම් මන්ත්‍රී ධුර 50 ක් අරගන්න ට්‍රයි කරන්න කියලයි අපි විපක්ෂයට කියන්නේ.   


ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභයට වැඩ කරන්න දෙන්නේ නැත්තේ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් බවට චෝදනාවක් තියෙනවා?   


පිළිතුර:- ඒක සම්පූර්ණ මඩක්. මහින්ද මහත්තයාගෙයි ගෝඨාභය මහත්තයගෙයි අතර තිබෙන සහෝදර බැම්ම ඔහොම කතා කියලා නොවෙයි බෝම්බ ද‌ාහක් ගැහුවත් කඩන්න බෑ. මේ රට ගෙනියන්න තියෙන හොඳම සුසංයෝගය තමයි මේ ඉන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා තමන්ගේ සහෝදරයා දෙස බලන්නේ පුදුම බැඳීමකින්. ඒ නිසා කිසිදු ගැටුමක් නෑ. කණ්ඩායම් දෙකක් නෑ. එක කණ්ඩායමයි ඉන්නේ. ඒ මහින්ද - ගෝඨාභය පාර්ශ්වය. පාර්ශ්ව දෙකක් අපට නෑ.

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්