මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො එල්ලුම් ගස් යවන්නත් මම කටයුතු කළා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන

  • මේ රටේ විපක්ෂයක් නෑනෙ.  
  • ලොකුවට හාල් ප්‍රශ්නයක් හැදුනෙ පිටරටින් හාල් ගේන්න බැරි වූ නිසයි  
  • මම කරපු හොඳ දේවල් මහ දිග ලැයිස්තුවක් කියන්න පුළුවන්. මේ වගේ සාකච්ඡාවක දී ඒවා කියන්න ඉඩ මදි. 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ද වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වදී. මේ කාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවක සටහනකි.

  
ප්‍රශ්නය:- ඔබතුමා මෙවර මැතිවරණයට තරග කරනවා. මේ දිනවල මොකද කරන්නෙ.  


පිළිතුර:- අපි මැතිවරණ ව්‍යාපාරය පටන්ගෙන තියෙන්නෙ. ඒ වැඩකටයුතු කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට පොළොන්නරුව දිස්ත්‍රික්කය වගේම අපි මුළු රටෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.  


ප්‍රශ්නය:- බොහෝ දෙනා නොහිතපු විදියට මැතිවරණය කල් ගියා. මැතිවරණ කොමිෂන් සභාව කිව්වෙ කො​රෝනා පාලනය වෙලා කියලා සෞඛ්‍ය අංශවලින් සහතිකයක් ලැබුණාම ඡන්දය තියනවා කියලා කොමිෂන් සභාව හිතා මතාම මැතිවරණය කල් දැම්මා කියලා ආණ්ඩුවේ පිරිසක් චෝදනා කරනවා. මේ චෝදනා සාධාරණ ද?  


පිළිතුර:- මැතිවරණය ඉක්මනින් පැවැත්වීම කොමිෂන් සභාවේ කටයුත්තක්. නමුත් කොරෝනා තත්ත්වයත් සැලකිල්ලට ගැනීම වැදගත්. ඇත්තටම මුල් මාස දෙකේ මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් තිබුණෙ නැහැ. අපට ඒක පිළිගන්න වෙනවා. මේ වෙන විට තමයි රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ. ඒ නිසා මගේ මේ ප්‍රකාශය පළවෙන විට මැතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියේවි. කොමිෂන් සභාව සාධාරණ තීරණයක් ගනියි කියලා මම විශ්වාස කරනවා.  


ප්‍රශ්නය:-ආණ්‍ඩුව උත්සාහ කළේ තුනෙන් දෙක ගැනීම විතරයි. ඒ නිසා ජනතාවගේ මළ මිනී උඩින් හරි ගිහින් බලය ගන්න හදනවා කියලා විපක්ෂය චෝදනා කරනවා.  


පිළිතුර:- මේ රටේ විපක්ෂයක් නැහැනෙ. කොහෙද විපක්ෂයක් තියෙන්නෙ. දැන් ලංකාවේ විපක්ෂයක් නැහැ. මොකක්ද ඔය කියන විපක්ෂය? එහෙම එකක් ලංකාවෙ දැන් නැහැ.  


ප්‍රශ්නය:- ආණ්ඩුව බලාපොරොත්තු වෙන විදියට ආණ්‍ඩුවට තුනෙන් දෙකක් ලැබෙයි ද?  


පිළිතුර:- ලැබෙනවා. මම දන්න විදියට නම් ලැබෙනවා. මොකද රටේ ජනතාව ඉන්නෙ ආණ්‍ඩුව පැත්තෙ. කොරෝනා තත්ත්වය ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් තියෙනවා. අපේ රට විතරක් නෙවෙයි අන්තර් ජාතික විදියට ගත්තම සෑම රටක්ම පත්වෙලා තියෙන තත්ත්වය ගැන උගතුන් බුද්ධිමතුන් වගේම සාමාන්‍ය ජනතාවටත් හොඳ අවබෝධයක් තියෙනවා. ලෝක ආර්ථිකය ගත්තත් ඍණ අගයක යන්නෙ. ඒ නිසා මේ තත්ත්වය ගැන අවබෝධයක් ජනතාවට තියෙනවා. දේශපාලන කුහකකම් නැතිව රටේ අනාගතය ගැන හිතන්න ඕනෑ. ඒ තත්ත්වය සැලකිල්ලට ගත්තම සෑම කෙනෙක්ම රට වෙනුවෙන් අවංකව එකතුවෙලා වත්මන් රජයට සහාය දිය යුතුයි කියන අදහසෙයි මම ඉන්නෙ.   


ප්‍රශ්නය:- කො​රෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් අපේ රට සාධනීය මට්ටමක ඉන්න බව බොහෝ දෙනා පිළිගන්නවා. මේක පාලනය කිරීම සම්බන්ධයෙන් ඔබගේ තක්සේරුව කො​හොමද?  


පිළිතුර:- මම හිටපු ජනාධිපතිවරයෙක් පමණක් නෙවෙයි. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක්. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක් විදියට මම සතුටු වෙනවා. විශේ‍ෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය තුළ රජයත් විශේෂයෙන් සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය, රාජ්‍ය නිලධාරීන් විශාල වැඩ කොටසක් කළා. සියලු දෙනා විශාල කැපවීමක් කළා. ඒ කැපවීම තුළ කොරෝනා වසංගතය පාලනය කරන්න හැකි වුණා. ලෝක තත්ත්වය ගත්තම කොරෝනා මර්දනයට අපේ රට ගත් ක්‍රියාමාර්ග ඉතාම සාර්ථකයි කියලා සතුටු වෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:-ආණ්‍ඩුව හිතුවක්කාරී විදියට වැඩ නොකර කටයුතු කළා නම් අපට මීට කලින් මේක පාලනය කරගන්න තිබුණා කියලත් විපක්ෂයේ අය කියනවා.  


පිළිතුර:- ඕවා ඉතින් එක එක්කෙනා කියන දේවල්නෙ. ප්‍රශ්නයක දී එක එක්කෙනා කියන දේවල් නවත්තන්න පුළුවන්ද? විවිධ අදහස් දරන අය ඉන්නවා. එ්ක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්නෙ. මේ රටේ කටවල් ලක්ෂ 200 කට වැඩිය තියෙනවානෙ. ඒ කටවල් එක එක විදියට ඇරෙනවා. ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මම මේ හිටපු ජනාධිපතිවරයෙක් විදියට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක් විදියට මගේ තියෙන දේශපාලන අත්දැකීම් අනුව ඕවා ගැන පුදුම වෙන්නෙ නැහැ. ඕනෑ දේයි එපා දේයි ඇති දේයි නැති දේයි කියන්න පුරුදු වෙච්ච කටවල් තියෙනවා. ඒ කටවල්වලට නිදහස තියෙනවා. ඒ නිසා හැමදේම කියනවා. අපි ඕවට පුදුම වෙන්න ඕන නැහැ.  


ප්‍රශ්නය:- ඡන්ද සටන අාරම්භ වෙන්නත් කලින් පොළොන්නරුවෙ මනාප සටන ආරම්භ වෙලා කියලා කියනවා. පොහොට්ටුවේම සමහර අපේක්ෂකයන් ඔබ සමගත් ගැටුමක සිටින බව දේශපාලන කරළියෙ පසුගිය දවස්වල ඇතිවූ සිදුවීම්වලින් පෙනී ගියා.  


පිළිතුර:- මම දන්න විදියට නම් පොළොන්නරුවෙ එහෙම අර්බුදයක් නැහැ. කවුද ඔය කියන්නෙ. පොළොන්නරුවෙ අද වන විට බොහොම සාමකාමී නිදහස් මැතිවරණ පරිසරයක් තියෙනවා. කිසිම අර්බුදයක් ගැටුමක් නැහැ.  


ප්‍රශ්නය:- පසුගිය දවස්වල මේ රටේ සහල් මාෆියාවක් ගැන කතා වුණා. මේ පිටුපස පොළොන්නරුවෙ ප්‍රධාන පෙළේ මෝල් හිමියන් කිහිප දෙනකු සිටින බවටත් චෝදනා එල්ල වුණා. මේ ගැන පොහොට්ටුවේම සමහරු ඔබටත් ඔබේ සහෝදරයාටත් චෝදනා කළා. මොකක්ද මේ හාල් මාෆියාව.  


පිළිතුර:- මේ රටේ හාල් මාෆියාව ඔය අද ඊයෙ කතා කරන එකක් නෙමෙයිනෙ. මේ පාරත් ඒ ගැන කතා කළේ අද ඊයෙ ප්‍රශ්නයක් වගෙයි. මේ රටේ හාල් ප්‍රශ්නය පනහේ දශකයේ මුලදිත් කතා කරපු දෙයක්. රබර් සහල් ගිවිසුම චීනය සමග ඇතිවුණේත් ඒ නිසයි. නිදහසින් පසු අපි වරින් වර පිටරටින් හාල් ගෙනත් තියෙනවා. සෑම රජයක්ම පිට රටින් හාල් ගෙනත් තියෙනවා. හාල් ගැන අද කරන විග්‍රහයට වඩා වෙනස් විග්‍රහයක් මට තියෙන්නෙ. 1960 ගණන්වල වී අලෙවි මණ්‍ඩලය ඇති වුණෙත් රජය හා හාල් මෝල් අතර ඇති වෙච්ච ප්‍රශ්න නිසයි. 1970-77 කාලෙ හෙක්ටර් කොබ්බෑකඩුව ඇමැතිතුමා වී අලෙවි මණ්‍ඩලය යටතේ විශාල පරිමාණයේ හාල්මෝල් හැදුවෙ පෞද්ගලික අංශයෙ හාල් මෝල් පාලනය සඳහායි. මේ රටේ බිහිවූ කෘෂිකර්ම ඇමැතිවරුන්ගෙන් විශිෂ්‍ටතම කෘෂිකර්ම ඇමැතිවරයා හෙක්ටර් කොබ්බෑකඩුවයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන 400 කට වැඩිය හැදුවා. මහා පරිමාණ වී මෝල් හැදුවා. කෘෂිකර්මයට විශාල ​සේවයක් කළ කෙනෙක්. එතුමාගේ කාලෙත් මේ ප්‍රශ්නය තිබුණා.  


සෑම රජයක්ම මේ හාල් ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. දිගින් දිගටම ආපු මේ ප්‍රශ්නවලදි කරපු දෙයක් තමයි පිටරටින් හාල් ගෙන්වීම. මේ පාර ඔය විදිහෙ තත්ත්වයක් ඇතිවුණේ පිටරටින් හාල් ගෙන්නන්න බැරි නිසා. කොරෝනා ප්‍රශ්නයත් එක්ක නැව් වැඩ කළේ නැහැ. ආනයන අපනයන සියල්ල නතර වුණා. හාල් ටිකත් පිටරටින් ගේන්න තිබුණා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. සහල්​ මෝල්වලට පාරිභෝගික අධිකාරිය එන්න ඕනෑත් නැහැ. හාල් පිටරටින් ගේන්න තිබුණා නම් ඔය කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. දැන් අවුරුදු 60 ක් 70 ක් පිටරටින් හාල් ගේනවා. කලාතුරකින් අවුරුද්දක් දෙකක් තියෙනවා හාල් ගෙනාපු නැති. ඒ හැරෙන්න ඔය එක එක්කෙනාගෙ කයිවාරු කියන දේවල් ඔක්කොම නිකන් කතන්දර විතරයි. ඒක නිසා ඇත්ත කතාව නම් ඔය ප්‍රශ්නය ආවේ හාල් ටිකක් පිටරටින් ගේන්න බැරි නිසයි. 

 
හාල් මෝල් හිමියා පාරිභෝගිකයා ගොවියා සහ රජය කියන පාර්ශ්ව හතර අතර ගැටුම අද ඊයේ කාරණයක් නොවෙයි. ඕක පනහේ දශකය හැටේ දශකය හැත්තෑව දශකය තරම් ඈත දුරදිග ගිය කතාවක්. මේ සැරේ පිටරටින් හාල් ගේන්න බැරිවුණු නිසා මේක ලොකු කතන්දරයක් බවට පත්වුණා. ඇත්තම කතාව ඕකයි.   


ප්‍රශ්නය:- පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඒ පිළිබඳ සාක්ෂි විමසීම් කරගෙන යනවා. එහිදී ඉදිරිපත් වන සාක්ෂි අනුව පෙනී යන්නෙ මේ ප්‍රහාරය ගැන තොරතුරු ලැබිල තිබුණ කියලයි. එසේ තිබිය දී මේ ප්‍රහාරය වළක්වා ගන්න පියවරක් නොගත්තෙ ඇයි කියලයි හැමෝටම තියෙන ප්‍රශ්නය. ඔබ හිටපු ජනාධිපතිවරයා මේ ගැන මොකද කියන්නෙ.  


පිළිතුර:- පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණයෙ නඩු 16ක් තියෙනවා. ඔය දැන් ක්‍රියාත්මක වෙන්නෙ මම පත් කරපු ජනාධිපති කොමිසම. ඉතින් ඒක නිසා මම පත්කරපු ජනාධිපති කොමිසම ඉතා සාර්ථකව කටයුතු කරගෙන යන බව පේනවා. ශ්‍රේෂ්‍ඨාධිකරණයේ නඩු 16 ක් තියෙන නිසාත් ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම කරගෙන යන නිසාත් හිටපු ජනාධිපතිවරයා විදියට මම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සුදුසු නැහැ.  


ප්‍රශ්නය:- පැවැති ආණ්‍ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරය වැලැක්වූවේ නැත්තෙ ජනාධිපතිවරණය කල්දමා ගන්න බවට විජයදාස රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ළඟදී ප්‍රකාශයක් කරලා තිබුණා. ඒක බරපතළ චෝදනාවක්.  


පිළිතුර:- කාටද එහෙම වුවමනාවක් තිබුණෙ. මම නම් ඒක දන්නෙ නැහැ. එතුමගෙන්ම තමයි අහන්න වෙන්නෙ. ජනාධිපතිවරණයක් කල්දාන්න පුළුවන්යැ.  


ප්‍රශ්නය:- මහ බැංකු බැඳුම්කර වංචාව ගැන පසුගිය දවස්වලත් දිගින් දිගටම කතා වුණා. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්න ගන්න ලිපිවලට අතේ දියපට්ටා එනකම් අත්සන් 21000 ක් ගැහුවා කියලා ඔබත් ප්‍රකාශ කරලා තිබුණා. ඒකෙන් වැඩක් වුණා ද?  


පිළිතුර:- මගේ වගකීම ඉෂ්ට කරලා තියෙන්නෙ. එතනින් එහාට ඒවා යන්න ඕනෑ. ඔක්කොම තොරතුරු දන්නෙ නීතිපති දෙපාර්තමේන්තුව. මගේ වගකීම ඉෂ්ට කරල තියෙනවා. එතනින් එහාට ඒ වගකීම අදාළ ආයතන කරන්න ඕනෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව එතනින් එහාට යා යුතුයි. ඒවා ආණ්ඩු දෙක අතරේ කළ යුතු කාර්යයන්.  


ප්‍රශ්නය:- ඔබ අත්සන් 21,000 ක් ගැහුවා කියන එක ගැන එක්සත් ජාතික පක්ෂ ආණ්‍ඩුවේ හිටපු සමහර ඇමැතිවරුන් හාස්‍යයෙන් කතා කරලා. ඔවුන් කියන්නෙ දැන් ඒ ගැන කතා කරල වැඩක් නැහැ. ජනතාව ඒ වෙලාවෙ ඔබතුමාට බලය දුන්නෙ වැඩ කරන්න. ඒ වෙලාවෙ වැඩ නොකර දැන් චෝදනා කිරීම පදනමක් නැහැ කියලයි.  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයෙ ඔහොම කියන්නෙ වංචාවට සම්බන්ධ අයනෙ. මාත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙ අය ගැටුම ආරම්භ වුණේ ඔය වංචාවත් එක්කනෙ. වංචාව ගැන හොයන්න ජනාධිපති කොමිසම දැම්ම දවසෙ ඉඳන්නෙ ඔය කියන අය මාත් එක්ක ගැටුම පටන්ගත්තෙ. ඔය මගේ අත්සන් 21000 හාස්‍යයට ලක්කරන්නෙ, නොයෙක් දේවල් කියන්නෙ වංචාවට සම්බන්ධ අයනෙ.  


ප්‍රශ්නය:- ඔබ ජනාධිපති කාලෙ ආණ්‍ඩුවේ පාර්ශ්‍ව දෙකක් තිබුණා. එකක් ඔබේ පාර්ශ්වය. අනෙක එක්සත් ජාතික පක්ෂය. මේ පාර්ශ්‍ව දෙකේ ගැටුමින් සිද්ධ වුණේ රට ආපස්සට යාම විතරයි කියලයි සමහරුන්ගේ චෝදනාව.  


පිළිතුර:- මම ආණ්ඩුව තියෙන කාලෙත් ඕවට පිළිතුරු ඕන තරම් දීලා තියෙනවා. කඹ ඇදිල්ලක් තිබුණු එකත් ඇත්ත. ගැටුමක් තිබුණු එකත් ඇත්ත. නමුත් රටට විශාල වැඩ කොටසක් කෙරුණු එකත් ඇත්ත. මම ජනාධිපති වෙලා ගතවුණු පළවෙනි මාස 6 තුළ ගෙනාපු පළවෙනි පනත තමයි සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද ඇතුළත් කිරීම සම්බන්ධව පනත. දෙවැනි පනත තමයි ඖෂධ පනත. මේවා අමතක කරන්න එපා. හොඳ අය වැයක් ගෙනත් රජයේ සේවකයන්ට රුපියල් 10,000 කින් පඩි වැඩි කළා. පාසල් දරුවන්ට සෞඛ්‍ය රක්ෂණයක් දුන්නා. ඒ වගේ හොඳ දේවල් කොච්චර වුණාද? ත්‍රිපිටකය ලෝක උරුමයක් කළා. සිංහරාජයට අලුතින් කොටසකුත් එකතු කරලා වන සංරක්ෂණයට අලුතින් ගැසට් නිවේදන 165 ක් නිකුත් කළා. මොරගහකන්ද ජලාශය හැදුවා. මගේ කාලෙ මොනතරම් හොඳ දේවල් සිද්ධ කළාද? හොඳ දේවල් යටපත් කරලා කිසි දෙයක් වුණේ නැහැ කියන්නෙ ඇස් කන් නැති මිනිස්සු තමයි. මම කරපු හොඳ දේවල් මහා දිග ලැයිස්තුවක් කියන්න පුළුවන්. මේ වගේ සාකච්ඡාවකදි ඒවා කියන්න ඉඩ මදි.  


ප්‍රශ්නය:-මේ රටේ හැමදාම දේශීය ආර්ථීකය ගැන කතා කළා. ඒ සඳහා විශේ‍ෂ වැඩසටහනුත් හැම ආණ්‍ඩුවක්ම ක්‍රියාත්මක කළා. දැන් නැවතත් දේශීය ආර්ථිකය ගැන කතා වෙනවා. මේ කියන දේවල් යථාර්ථයක් වෙයි කියලා ඔබ හිතනවාද?  


පිළිතුර:- රජයන් බෙහොමයක් ඔය වැඩේ පටන් අරන් තියෙනවා. මම කෘෂිකර්ම ඇමැති කාලේ ‘අපි වවමු රට නගමු’ කියලා ආරම්භ කළ වැඩසටහන මේ රටේ හැම කෙනෙකුටම මතක ඇති. ඔය කොළඹ තට්ටු නිවාසවලත් මල් පෝච්චිවල වවන්න පටන් ගත්තා. වගා නොකළ කුඹුරු වගා කරන්න පටන් ගත්තා. වර්තමාන රජයත් ඒ වැඩපිළිවෙළ පටන් ගෙන තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. දේශීය ආහාර නිෂ්පාදනය කරන්නෙ නැතිව රටට කොහෙත්ම නැගිටින්න බැහැ. වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රජය ආරම්භ කරල තියෙන්නෙ හොඳ දෙයක්. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනෑ. ඒකට සහයෝගය දෙන්න ඕනෑ. ඔතනින් තමයි රට ගොඩ නැගෙන්නෙ. රටට ඔළුව උස්සන්න පුළුවන් වෙන්නෙ ඔතනින් තමයි.  


ප්‍රශ්නය:- මත්ද්‍රව්‍යවලට එරෙහිව ඔබේ කාලෙ ලොකු සටනක් ගෙන ගියා. වර්තමාන ආණ්ඩුවත් මත්ද්‍රව්‍යවලට පාතාලයට එරෙහිව සටනක් ආරම්භ කරලා තියෙනවා. මෙය සාර්ථක වෙයි ද?  


පිළිතුර:- මගේ කාලෙ මත්ද්‍රව්‍යවලට එරෙහිව විශාල වැඩ කොටසක් කළා. මම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් එල්ලුම් ගස් යවන්නත් කටයුතු කළා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො පිටරට ඉඳලා ලංකාවට ගෙනාවා. මත්කුඩු ටොන් ගණන් ඇල්ලුවා. මට මේ වගේ ලැයිස්තුවක් කියන්න පුළුවන්. මත්ද්‍රව්‍ය මර්දනය කරන්න විශාල වැඩ කොටසක් කළා. ජනාධිපතිතුමාත් මත්ද්‍රව්‍යවලට එරෙහිව කාර්ය සාධක බළකායක් දාලා වැඩ පටන් අරන් තියෙනවා. එය ඉතා හොඳ දෙයක්. මත්ද්‍රව්‍ය මර්දනය නොකළොත් රට විනාශයි. මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳ මූලස්ථාන තමයි හිරගෙවල්. ඒවා මර්දනය කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. මතින් නිදහස් සමාජයක් ගොඩනැගුවේ නැති වුණොත් අපේ දරුවො විනාශයි.  


ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවෙලා මාස 6 ක් පමණ ගතවෙලා තියෙනවා. එතුමා මේ කාලය තුළ කටයුතු කළ ආකාරය ගැන ඔබ හිටපු ජනාධිපතිවරයෙකු විදියට වගේම පුරවැසියකු විදියටත් කොහොමද දකින්නෙ.  


පිළිතුර:- එතුමා ගතවූ මාස 6 තුළ වැඩ කරන්න ලොකු උත්සාහයක් ගත්තා. මුල් කාලයෙ රටේ සංවර්ධනය සඳහා පාර්ලිමේන්තුවට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ බලය තිබුණෙ විපක්ෂයට. ඒ අය ඒක සම්මත කළේ නැහැ. ප්‍රතික්ෂේප කළා. ඒකෙන් රජය අසීරුතාවට පත්වුණා. ඒ එක්කම කොරෝනා වසංගතය ආවා. ඒකෙන් රටේ සංවර්ධන කටයුතු අඩපණ වුණා. දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා. පසුගිය සතියෙ ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් අය වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. ඒකෙන් සංවර්ධනය දැන් නැවත පටන් ගෙන තියෙනවා. අපේ රට වගේම ලෝකෙම රටවල් කොරෝනා නිසා අසීරුතාවට පත් වුණා. අපි දැන් ඔළුව උස්සන්න ඕනෑ. පසුගිය මාස හයේදි ජනාධිපතිතුමා කොහොම හරි රට ඉස්සරහට ගෙනත් තිබෙනවා. ජනතාව එය තේරුම් ගෙන තියෙනවා. අපි කවුරුත් එකතු වෙලා එතුමාගේ නායකත්වය තුළ රට ඉස්සරහට ගෙනියන්න සහයෝගය දෙන්න ඕනෑ. රටේ සියලු දෙනා මේ තත්ත්වය ගැන අවබෝධයෙන් කටයුතු කරන බව පේනවා. ඒ ගැන සතුටු වෙන්න ඕන.  


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග එකතු වෙලා මැතිවරණයට තරග කරනවා. දිස්ත්‍රික්ක හතරක ශ්‍රීලනිපය වෙනම තරග කරනවා. ඇතැම් තැන්වල පක්ෂ දෙකේ අපේක්ෂකයන් අතර මනාප ගැටුමකුත් තියෙනවා. මේ තත්ත්වය තුළ ශ්‍රීලනිප කොහොමද මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නෙ.  


පිළිතුර:- අපට නාමයෝජනා ​නොලැබුණ තැන්වලයි වෙනම තරග කරන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විදියටයි අනෙක් දිස්ත්‍රික්කවල තරග කරන්නෙ. ඒ දිස්ත්‍රික්කවල අපේ මැතිවරණ ව්‍යාපාර කටයුතු පටන්ගෙන තියෙනවා. අපි හැම විටම බලන්නෙ රජය විදියට එකට එකතුවෙලා වැඩ කරන්නයි.  


ප්‍රශ්නය:- ඔබ ජනාධිපති විදියටත් ඇමැතිවරයෙක් විදියටත් පොළොන්නරුවට විශාල සේවයක් කළ බව හැමෝම දන්නවා. මේ පාරත් පොළොන්නරුවෙ ජනතාව ඔබ කෙරෙහි විශ්වාසය තියලා උඩට ගෙනෙයි ද?  


පිළිතුර:- මම අවුරුදු 30 ක් තිස්සෙ පොළොන්නරුවට විශාල වැඩකොටසක් කළ බව පොළොන්නරුව ජනතාව දන්නවා. විශේෂයෙන්ම ජනාධිපති කාලෙ පිබිදෙමු පොළොන්නරුව කියන ව්‍යාපෘතිය තුළ පොළොන්නරුවේ විශාල පරිවර්තනයක් වුණා. පෙර රජ දවසෙන් පසුව පසුගිය අවුරුදු පහේදි පොළොන්නරුව ප්‍රතිනිර්මාණය වුණා. ඒක නිසා ජනතාව ඒ ගැන හොඳ පැහැදීමක ඉන්නවා. පොළොන්නරුවෙ ජනතාව කළගුණ සලකන බව මම දන්නවා. මේ මැතිවරණයෙන් පස්සෙත් මම ඒ වැඩපිළිවෙළ පොළොන්නරුවේ ඉදිරියට ගෙනියනවා. ඉදිරියටත් රජය සමග එක්ව විශාල වැඩකොටසක් ගෙනියන්න මගේ බලාපොරොත්තුව තියෙනවා. එය සාර්ථක වන බව මම දන්නවා.  


ප්‍රශ්නය:-පොළොන්නරුව ලැයිස්තුවේ එකට එන්න පුළුවන් කියලා විශ්වාසද?  


පිළිතුර:- මට ඒ ගැන කිසිදු සැකයක් නැහැ. මට පොළොන්නරුවෙ කිසිම අභියෝගයක් නැහැ.

 

 

 

සංවාද සටහන
අජන්ත කුමාර අගලකඩ