මට විරුද්ධ මහින්ද මහත්තයා දිනවන්න වැඩ කළ කට්ටියයි


වාරිමාර්ග හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක   

පවතින උණුසුම් දේශපාලන වටපිටාව පිළිබඳ මේ අදහස් දැක්වීම අමාත්‍ය දුමින්ද දිසානායක ගෙනි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ තනතුරු වෙනසත් එක්ක දුමින්ද දිසානායකගෙ තටු සිඳුණා කියලා කට්ටිය කියනවා.   


එක එක්කෙනාට මේක එක එක විදියට පේන්න පුළුවනි. ඒත් මම හිතන්නෙ නෑ ඒක තටු කැපීමක් කියලා. මීට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙලා හිටියේ බැසිල් රාජපක්ෂ. එතකොට එයා තමයි සේරම කළේ. ඒ තනතුර මට ලැබුණම තටු කැපෙන්නයි බැසිල් රාජපක්ෂට තියෙද්දි එයාට ලොකු බලයක් ලැබෙන්නයි විදියක් නෑනේ. මේකෙන් මගේ තටු කැපුණා කියලා කියනව නම් කියනව ඇත්තේ මාත් එක්ක පුද්ගලිකව තරහක් තියෙන කෙනෙක් වෙන්න ඕන.   


ඇත්තම කියන්නකො. මහලේකම්කමද ජාතික සංවිධායකමද වැඩිය බලවත්?   


පක්ෂයක වැඩ කරන්න නම් තනතුරු අදාළ නෑ. පක්ෂයට ආදරේ නම් තනතුරු නැතුවත් වැඩ කරන්න පුළුවන්.   


දුමින්දගෙන් මහලේකම්කම ගලවන්නේ ඇයි?   


පක්ෂ ප්‍රතිසංවිධානයේ පළමු පියවර විදියට තමයි අපි පක්ෂයේ ප්‍රධාන තනතුරුවල වෙනසක් කළේ. මේ තනතුරු වෙනස කරනතුරු පවිත්‍රා වන්නිආරච්චිත් අපේ පක්ෂෙ උප සභාපති කෙනෙක්. කුමාර වෙල්ගමත් උප සභාපති කෙනෙක්. සී.බී. රත්නායකත් උප සභාපති කෙනෙක්. ඒත් ඒ ගොල්ලො හිටියෙ පොහොට්ටුවෙ. ඒවත් වෙනස් වුණා. ඉතිං ඇයි මගේ තනතුර වෙනස්වීම ගැනම කවුරුත් ප්‍රශ්න කරන්නේ?   


පක්ෂ ප්‍රතිසංවිධානයේදී තනතුරුවල සම්පූර්ණ වෙනස්කමක් සිදුකළා. ඒ අනුව තමයි මම එතෙක් දරපු මහලේකම් ධුරය වෙනුවට ජාතික සංවිධායක තනතුර ලැබෙන්නේ. මේක සාමාන්‍ය දෙයක්. අපේ විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයෙත් ප්‍රතිසංවිධාන කටයුතුවලදීත් පක්ෂයේ ප්‍රධාන තනතුර වෙනස් වුණා. ඒකෙදි හිටපු ලේකම් වෙනුවට නව මහලේකම්වරයෙක් පත්වුණා. එහෙම තමයි පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ උපක්‍රම අත්හදා බලන්න සිද්ධ වෙනවා.   


ඒත් පවිත්‍ර හෝ වෙල්ගම වගේ නෙවෙයි නේ දුමින්ද. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ළඟමනේ හිටියේ. පහුගිය අවුරුදු දෙක තුන තිස්සෙම.   


ඒකනිසාම තමයි දුමින්දට ප්‍රශ්නයක් නැත්තේ. මට තියෙන්නේ තනතුරු ආසාවක් නෙවෙයි. මට තියෙන්නේ අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් තමයි 2014 නොවැම්බර් 21 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක එවකට තිබුණු ආණ්ඩුවෙන් එළියට බහින්නේ. ඕනම අභියෝගයකට මූණ දෙන්න බලාගෙන තමයි එදා එළියට බැස්සේ. දැන් තනතුරු ගැන ඔබ ඇහුවට එදා පක්ෂ සාමාජිකත්වය පවා තාවකාලිකව අහිමි වුණා.   
ඒ ගැනවත් නොහිතා එළියට බැහැපු මට දැන් මේ තනතුරු මහ ලොකු දේවල් නෙවෙයි.   


ඔබ දැනගෙන හිටියද මහලේකම්කම ඔබෙන් ගැලවිලා රෝහණ ලක්ෂ්මන් පියදාසට දෙන්න යනවා කියලා?   


ඔව්.   


කවද්ද ඒක මුලින්ම දැන ගන්න ලැබුණෙ?   


සමහර දේවල් තියෙනවා මාධ්‍යයට වුණත් නොකිව යුතු ඒවා. පක්ෂයේ අභ්‍යන්තරයේම තිබුණම ඇති මං හිතන්නේ. ඇතුළෙ සාකච්ඡා කරලා තමයි හැම තීන්දුවක්ම ගත්තේ.   


පක්ෂ සභාපති ඔබත් එක්ක කතාබහ කළාද මහලේකම්කම වෙනස් කරනවා කියලා   


ඒකත් ප්‍රසිද්ධියේ අපි කතා කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි නේ. ඒක එළි​ෙය දැන ගන්න ඕන නැති කාරණයක්.   

 

ජ්‍යෙෂ්ඨයෝ වෙන්නේ වයසින්ම කියල හිතන අයට අපිත් එක්ක තරහත් ඇති. අවුරුදු 21න් පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 18ක් එක දිගට ඉන්නවා. හැමදාම ඡන්දයට තරග කරලා ඉහළින්ම දිනුවා. ඒක නිසාත් පිනට මන්ත්‍රීකම් ගත්තු අයට අපි ගැන අවුලක් ඇති. මේ අයගෙ බලපෑමට මගෙන් මහලේකම්කම ඉවත් කළා කියලා මම හිතන්නේ නෑ. 


පක්ෂෙ ඇතුළෙ සිද්ධවෙන මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා පාක්ෂිකයන්ගෙන් පවා හංඟන්න ඕන කියලද ඒ කියන්නේ?   


සමහර දේවල් තියෙනවා එහෙම දැන ගන්න තරම් අවශ්‍ය නැති. පවුලක් ගත්තත් අම්මලා තාත්තලා ගන්න තීන්දු තීරණ හැම දෙනාටම කිය කිය නෙවෙයිනේ ගන්නේ. ඒවා එළියෙ කිය කිය යන්නෙත් නෑනේ. පක්ෂය පිළිබඳ තොරතුරු දැන ගන්න පාක්ෂිකයට අයිතියක් තියෙනවා. ඒත් යම් යම් දේවල් තියෙන සීමිත පිරිසකට සීමා වුණාම ප්‍රමාණවත්.   


දුමින්ද දිසානායකට ශ්‍රීලනිප මහලේකම්කම හම්බුණු එකට පක්ෂයේ සමහරු හිටියේ ඔරොප්පුවෙන්. තනතුරු මාරු වුණේ මේ නිසා නෙවෙයිද?   


මට තියෙන ඒ විරෝධය තාමත් තියෙනවනේ. කවුද කියල බලන්නකො මට විරුද්ධ. මට විරුද්ධ මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න වැඩ කරපු කට්ටිය. මහින්ද රාජපක්ෂ මහත්තය දිනවන්න වැඩ කරල. පස්සෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තය සභාපති වුණාම පක්ෂයත් එක්ක ඉන්නවා කියල මහින්ද රාජපක්ෂ අතඇරලා ඇවිත් මෛත්‍රීපාල මහත්තයට පිං සිද්ධ වෙන්න මන්ත්‍රීකම් අරගෙන ඇමැතිකම් අරගෙන ඉඳලා දැන් ආපහු මහින්ද රාජපක්ෂ හොඳයි කියලා ඒ පැත්තට ගියපු කණ්ඩායම. ඒ අයට මං ගැන තරහක් වෛරයක් ඇති. මං ගත්ත වගේ ඒ අයට අභියෝග භාර ගැනීමේ ශක්තියක් නැති බව දැන ගත්තම එහෙම වෙනවා ඇති.   


ජ්‍යෙෂ්ඨයෝ වෙන්නේ වයසින්ම කියල හිතන අයට අපිත් එක්ක තරහත් ඇති. අවුරුදු 21න් පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 18ක් එක දිගට ඉන්නවා. හැමදාම ඡන්දයට තරග කරලා ඉහළින්ම දිනුවා. ඒක නිසාත් පිනට මන්ත්‍රීකම් ගත්තු අයට අපි ගැන අවුලක් ඇති. මේ අයගෙ බලපෑමට මගෙන් මහලේකම්කම ඉවත් කළා කියලා මම හිතන්නේ නෑ.   


පහුගිය දවස් ටිකේම දුමින්ද දිසානායකගෙ පලු ඇරිය කෙනෙක් තමයි ඩිලාන් පෙරේරා.   


ඩිලාන් පෙරේරාගෙ කතා කවුද මේ රටේ විශ්වාස කරන්නේ? වෙලාවකට වස කුප්පි අරගෙන සංදර්ශන දානවා. වෙලාවකට මහින්ද මහත්තයාගෙ ගුණ ගායනා කරනවා. තවත් වෙලාවකට මෛත්‍රී මහත්තයගෙ ගුණ ගායනා කරනවා. වාසි පිල කොයි එකද කියල බල බල ඉඳලා ඒ පැත්තට වෙලාවට පැනලා කෑ ගහන අයගෙ කතා ජනතාව විශ්වාස කරන්නේ නෑ.   


ඩිලාන් පෙරේරා කියන්නේ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පියට ගැට ගහලා උගස් කරන්න හදන පක්ෂ ​ෙද්‍රා්හියෙක් වගේ කතාවක්.   


ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ​ෙද්‍රා්හි වුණාද නැද්ද කියලා ඉදිරියේදි බලාගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රීලනිපයේ ඇත්ත ​ෙද්‍රා්හියෝ කවුද කියලත් කාට කාටත් බලාගන්න පුළුවන්.   


ඩිලාන් පෙරේරාගේ කට ගැන අපි වගේම මුළු රටම දන්නවා. එයාගේ ඔළුවයි කටයි දෙකම එක වගේ වැඩ කරනව නම් අද වෙනකොටත් නාලන්ද එල්ලාවල මහත්තයා ජීවතුන් අතර. එහෙමත් නැත්නම් නාලන්ද එල්ලාවල මරපු මිනීමරුවො හිරගෙදර. ඒ ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා.   


දුමින්ද රනිල් වික්‍රමසිංහගෙ වල්ගයක් වෙලා කියලත් කියනවා.   


මම නම් කාගෙවත් වල්ගයක් වෙලා නෑ. ඒත් ජාතික ආණ්ඩුවකදි වැඩ කරන්න ඕන පිළිවෙළ අපි අනුගමනය කළ යුතුයි. යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්න මම නිතරම පෙනී ඉන්නවා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණේ කොහොමද කියලා අපිට අමතක නෑ. යහපාලන ආණ්ඩුව පත්කරගන්න හවුල් වෙච්ච පක්ෂ අතර තියෙන එකඟතාවයන් අපි රකින්න ඕන. මහින්ද මහත්තයා පස්සේ ගියපු අය ඒවා දන්නෙ නෑනේ.   


ජාතික ආණ්ඩුව රකින එක අපේ යුතුකම වුණත් රනිල් වික්‍රමසිංහ රකින්න ඕන කමක් මට නෑ, මොකද මම යූඑන්පීකාරයෙක් නොවෙයි.   


දුමින්ද ශ්‍රීලනිපය ඇතුළෙ සත දෙකට වැටිලා කියලත් ඩිලාන් කියනවා.   


ඒක එහෙමද එහෙම නැද්ද කියල දන්න අය දන්නවා. ශ්‍රීලනිපය ඇතුළෙ මම කීයටද වැටිලා තියෙන්නේ ඩිලාන් කීයටද වැටිලා තියෙන්නේ කියලා රටේ මිනිස්සු දන්නවා.   


පක්ෂෙ ජ්‍යෙෂ්ඨයෝ බොහෝ දෙනෙක් දුමින්දට හරහට ඉන්නවා කියලනේ කියන්නේ?   


ඩිලාන් මට හරස් වුණාට ජ්‍යෙෂ්ඨයෝ බොහෝ දෙනා මට ඉතාම හිතවත් සහ ආදරෙයි. ඒ ගොඩක් අය අපේ තාත්තගෙ සමකාලීනයො. කෙනෙකුට දෙන්නෙකුට මාත් එක්ක වෛරයක් ඇති. ඒකට හේතුව ඉරිසියාව. ඒ අය මහ ලොකුවට එළියෙදි කියන්නේ මේ වගකීම් තරුණ පිරිස අතට දෙන්න ඕන කියලා. ඒත් දුන්නම ඒකට තරහයි. ඒ අයගේ ජ්‍යෙෂ්ඨත්වය වයසින් විතරක් මනින්න බෑ. ඒ අයගේ දේශපාලන භාවිතාවෙනුත් පරිණතකම මැන ගන්න පුළුවන්.   


පක්ෂෙ අලුත් මහලේකම් ගැන දුමින්දගෙ අදහස මොකක්ද?   


අලුත් මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්තයා අපේ පක්ෂය එක්ක දීර්ඝ කාලයක් සමීපව කටයුතු කරපු කෙනෙක්. එතුමා උගතෙක්. රැකියාවෙනුත් විශ්‍රාම ගිහින් ඉන්න නිසා පක්ෂය වෙනුවෙන් කැප වෙන්න එතුමට කාලය දැන් ඇති. පක්ෂයේ සියලු කොටස් එකතු කරලා පක්ෂය ශක්තිමත් කරන්න හැකියාවක් එතුමට තියෙනවා.   


ඔබ දැන් ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක නේ. කලින් මේ තනතුර දරපු බැසිල් රාජපක්ෂ එහෙම ආදර්ශයට අරගන්න ඔබේ කල්පනාවක් තියෙනවද? 

 
ඒක ඉතිං ඉස්සරහට බලාගන්න පුළුවන්. මම කවුරුහරි වගේ වැඩ කරනවද? නැත්නම් මම දුමින්ද දිසානායක වගේ වැඩ කරනවද කියලා බලාගෙන ඉන්නකෝ. බැසිල් රාජපක්ෂගෙන් ගත යුතු දේවල් වගේම බැහැර කළ යුතු දේවලුත් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙත් ඒවගේ තමයි. හොඳ දේ ඕන කෙනකුගෙන් ගන්නවා. නරක දේ බැහැර කරනවා. ඒක තමයි මගේ න්‍යාය.   


16 දෙනාගේ කණ්ඩායමට මොකද දැන් වෙන්නේ?   


ඒ අයට මොකද වෙන්නේ කියලා අපිට බලාගෙන හිටියම පෙනෙයි. ඒ අය මොනවද කරන්නේ? කියල නම් ඒ අයගෙන්ම තමයි අහන්න වෙන්නේ. මම ශ්‍රීලනිපය යූඑන්පියට ගැට ගහන්න හදනවා කියලා කියන ඔය 16 කණ්ඩාය​මේ අය අපේ පක්ෂයේ ඉන්නවා කිව්වට කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන ඉන්න හැටි අපිට පේනවා.   

 

මට තියෙන ඒ විරෝධය තාමත් තියෙනවනේ. කවුද කියල බලන්නකො මට විරුද්ධ. මට විරුද්ධ මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න වැඩ කරපු කට්ටිය. මහින්ද රාජපක්ෂ මහත්තය දිනවන්න වැඩ කරල. පස්සෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තය සභාපති වුණාම පක්ෂයත් එක්ක ඉන්නවා කියල මහින්ද රාජපක්ෂ අතඇරලා ඇවිත් මෛත්‍රීපාල මහත්තයට පිං සිද්ධ වෙන්න මන්ත්‍රීකම් අරගෙන ඇමැතිකම් අරගෙන ඉඳලා දැන් ආපහු මහින්ද රාජපක්ෂ හොඳයි කියලා ඒ පැත්තට ගිය කණ්ඩායම. ඒ අයට මං ගැන තරහක් වෛරයක් ඇති. මං ගත්ත වගේ ඒ අයට අභියෝග භාර ගැනීමේ ශක්තියක් නැති බව දැන ගත්තම එහෙම වෙනවා ඇති.


මේ අය දෙපැත්තට වැනෙනව නම් පක්ෂය මේ අය ගැන තීන්දුවක් ගන්නෙ නැද්ද?   


ඒ අයගෙ හැසිරීම හරිම අර්බුදකාරීයි. එක එක වෙලාවකට එක එක කතා කියන්නේ. ඒ අයට පක්ෂය එක්ක දිගටම ඉඳපු අපිට චෝදනා කරන්න සදාචාරාත්මක අයිතියක්වත් නෑ. අපි ඉදිරියට බලමු මේ අය මොනවද කරන්නෙ කියල සහ මේ අයට මොනවද වෙන්නේ කියලා.   


ශ්‍රීලනිපය ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීමද?   


පැහැදිලිවම ඔව්.   


ඉදිරි ජනාධිපති අපේක්ෂකයා විදියට අනෙක් කණ්ඩායමෙන් කරළියට ආපු නම්වලට ඔබල බයවෙලා කියලා ඒ අය කියනවා.   


බයත් වගේම අභියෝගයකුත් තියෙනවා. ඒක යහපාලනයට අභියෝගයක්. මහින්ද රාජපක්ෂ පාලනය පරාද කරන්න ඕන වුණේ ඇයි? ඒක භයානක තැනකට ගියපු නිසා. නැවත ඒ පිරිසට බලය ලැබෙනවා කියන්නේ අපි ගොඩනඟපු යහපාලනයට අභියෝගයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා කියන ආරංචියට සමහරු බයවෙලා ඉන්නේ. ඒ අයගෙ ක්‍රියාකලාපය ගැන දන්න නිසා සමහරුන්ට මරණ බය ඇතිවෙලා. මාධ්‍ය කොහොමද ඒ කාලෙ බයවෙලා හිටියේ. පුද්ගලයො එක්ක අපිට ගැටලුවක් නෑ. ඒත් ඒ අයගෙ වැඩ ගැන අපිට ගැටලුවක් තිබුණා. තාමත් පරණ විදියටම මේ අය හිතනව නම් මේ අය යළි පැමිණීම ගැන සාධාරණ බයක් ඇති වෙනවා.   


ජනවාරි 8 පෙරළියේ ඔබ හැම තැනම කරක්ගහපු කෙනෙක් නේ.   


ඔබ දැනගෙන හිටියද දින 100 වැඩ පිළිවෙළ හැදුවෙ කවුද කියලා?   


ඔව්. මම දැනගෙන හිටියා.   


දුමින්ද දිසානායක දැනගෙන ඉඳපු ඒ දේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දැනගෙන ඉඳල නෑ කියලා කියන කතාව ඔබ විශ්වාස කරනවද?   


එතුමා දන්නෙ නෑ නෙවෙයි එතුමා දන්නවා. මාධ්‍යයේ මේ ප්‍රවෘත්තිය කොහොම ගියත් එතුමා මේ ගැන දන්නවා. මාධ්‍ය මේ කතාව හරියට දැම්මේ නෑ. ඒ වගේම ඔය කතාව ප්‍රකාශ කරපු වෙලාවේ එතුමා ඉඳපු මානසික තත්ත්වය එක්ක සන්නිවේදනය වීමේ වැරැද්දකුත් තිබුණ,   


එතුමා අදහස් කළේ වෙනත් කාරණයක්. ඒ කොහාම වුණත් දින 100 වැඩ පිළිවෙළ ගැන ජනාධිපතිතුමා දැනගෙන හිටියේ නෑ කියලා මට නම් කියන්න බෑ.   


​මෛත්‍රීපාල ජනාධිපතිතුමා රෑ දහයට නිදාගන්නවා කියන කතාව ඔබ පිළිගන්නවද? ඡන්ද ප්‍රතිඵල අහලත් එයා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තලු. ඔබ ටිකක් සමීපයෙන් ඉන්න නිසා කියන්නකෝ මේ කතා ඇත්තද කියලා.   
වැඩක් නැති දවසට එහෙම නිදා ගන්නවා ඇති. වැඩ එක්ක කාර්ය බහුල දවසට එහෙම කරන්න ලැබෙනවා කියලා මං හිතන්නෙ නෑ, ඡන්දෙ දවසෙත් සමහර විට එතුමා හොඳට නිදාගන්න ඇති. මම එදා දිගටම ඡන්ද ප්‍රතිඵල බැලුවා. මට නම් නින්ද ගියේ නෑ එදා.   

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි