මගේ අතින් වැරැද්දක් වුණා මට සමාවෙන්න කීවා නම් මේ ප්‍රශ්නය එතැනින් ඉවරයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පත්කළ මන්ත්‍රී නීතිඥ 
සාගර කාරියවසම්   

පොදුජන පෙරමුණේ මහලේකම් ඇමැති විමල්ට පිළිතුරු දෙයි

 

  • මහින්ද මහත්තයා වටා බලවේගයක් ගොඩ නැගුවේ ජනතාව විසින්. ඒක කවුරුවත් නිර්මාණය කරපු බලවේගයක් නොවෙයි. 
  • ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයේ නායකත්වය භාරගන්නවාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ.   
  • ගෝඨාභය රාජපක්ෂ මහතාට නායකත්වය භාර දෙන්න කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්න කියන එක තමයි.   
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඉරිද‌ා ලංකාදීප පුවත්පතට පසුගිය සතියේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මේ වෙන විට දේශපාලන ක්ෂේ‍ත්‍රයේ දැවැන්ත සුළි කුණාටුවක් බවට පත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පත් කළ මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙන්මය.   
 
ප්‍රශ්නය - ඇමැති විමල්ට ආණ්ඩුවෙන් යන්න කියන සාගර කාරියවසම් කවුද කියලා අහන අයත් ඉන්නවා. 
 
පිළිතුර - ඒකට පිළිතුරු දෙකක් තියෙනවා. ඇමති විමල්ට යන්න කියලා මම කිසිම තැනක කිව්වේ නෑ. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා හැටියට මේ පක්ෂය, මේ පක්ෂයෙ නායකයන් වෙනුවෙන් පෙනී හිටින්න මේ පක්ෂයෙ සාමාජිකයන්ගේ අයිතිය රකින්න සියලුම අයිතිවාසිකම් තියෙන පුද්ගලයෙක් හැටියට තමයි සාගර කාරියවසම් වන මම කතා කළේ.   
 
ප්‍රශ්නය - 2015 පරාජයෙන් පස්සේ හිරේ විලංගුවේ වැටෙද්දිත් මහින්ද කඳවුර වෙනුවෙන් වැඩ කරපු විමල්ට මෙහෙම කතා කරන එක සාධාරණ ද?   
 
පිළිතුර - ඔබ කියන දෙයට මම යම්තාක් දුරට එකඟයි. යම්තාක් දුරකට එකඟ නෑ. කවුරුහරි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් කියනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ගෙනාවේ ඔවුන් කියලා ඒ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් හිටගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් බස්වල පුවක්මල් බැඳගෙන වන්දනාවේ යනවා වගේ මැදමුලනට තංගල්ලේ කාල්ටන් නි​ෙවසට ආපු මේ රටේ ඈත ගම් දනව්වල මහින්ද මහත්තයාට ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඒ කැප කිරීම කරපු දුප්පත් අහිංසක ජනතාවට කරන ලොකු අගෞරවයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය වුණෙත් මහින්ද සුළඟ වුණෙත් මහින්ද රාජපක්ෂ කියන චරිතය. නමුත් එතැනදි ඒ ගමනට විවිධ පුද්ගලයන් විවිධ මට්ටමින් උදව් උපකාර කළා. මට පුළුවන් මට්ටමින් මම කළා. විමල් වීරවංශ මැතිතුමාට පුළුවන් මට්ටමින් එතුමා කළා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වාසුදේව නානායක්කාර මැතිතුමා එතුමන්ලාට පුළුවන් මට්ටමින් කළා. මේ රටේ විවිධ පුද්ගලයන් ඒ විදියට පුළුවන් මට්ටමින් කළා. හැබැයි ඒ උදව් කිරීම කියන්නේ වෙන දෙයක්. ඒ සම්බන්ධයෙන් මෙතැන කිසිම ප්‍රශ්නයක් නෑ. මෙතැන ප්‍රශ්නය වුණේ ඔබගේ පුවත්පතට පසුගිය ඉරිද‌ා විමල් වීරවංශ මැතිතුමා පළ කළ අදහස් සම්බන්ධයෙන්.   
 
ප්‍රශ්නය - මහින්ද සුළඟ ගැන ඔබ කියන්නේ විමල් දිනේෂ්, වාසු ඔවුන්ට පුළුවන් මට්ටමින් කළා කියලනේ ඇත්තටම ඒක එහෙමමද වුණේ?  
 
පිළිතුර:- එතැනදිත් යම් නිවැරැදි කිරීම්වලට යටත්ව මම ඔබ කියන කාරණයට එකඟ වෙන්නම්. නිවැරැදි කිරීම තමයි මහින්ද මහත්තයාගේ බලවේගය ගොඩනැගුවේ මේ රටේ ජනතාවයි. මහින්ද සුළඟවල් නුගේගොඩින් පටන් ගන්න කලින් ජනවාරි 9 වැනිද‌ා පරාජය වෙලා මහින්ද මහත්තයා තංගල්ලට ගියාම පහුවැනිද‌ා ඒ පාරේ වාහන යන්න බැරි තරමටම සෙනග පිරිලා හිටියා. ඒ වගේ තත්ත්වයක් මේ රටේ ඇතිවුණේ. අන්තිමට ඒ තංගල්ලේ ඒ ගෙදර ළඟ පොලිසියේ විශේෂ බළකාය යොදවන්න වුණා වාහන හසුරුවන්න. ඒ බලවේගය ගොඩ නැගු​ෙන ජනතාව තුළින්. ඒක කවුරුවත් නිර්මාණය කරපු බලවේගයක් නොවෙයි. ඒක මහින්ද මහත්තයා වෙතින්ම ගොඩනැගුණු බලවේගයක්.  
 
ප්‍රශ්නය -නමුත් ජනතාව හිටියට පක්ෂයේ අය හිටියෙ නෑ. 
 
පිළිතුර:- මම කියන්නේ ඒ ජනතාව තමයි ශක්තිය වුණේ. ඒ ආපු බලවේගය මතින් තමයි යම්කිසි දේශපාලන පක්ෂවල නායකයන් එකතුවෙලා නුගේගොඩින් රැස්වීම් පටන් ගත්තේ. අපිත් ඒ රැස්වීම්වලට ගියා. විමල් වීරවංශ මහත්තයා එතැනදි ප්‍රධාන භූමිකාවක් රඟපෑවා. ඒක අපි නෑ කියන්නේ නෑ. ඒ වගේම ප්‍රසන්න රණතුංග මහතා එතැනදී විශාල භූමිකාවක් රඟපෑවා. හැබැයි ප්‍රසන්න රණතුංග මහතා කවද‌ාවත් කියන්නේ නෑ ‘මහින්ද මහත්තයා බලයට ගෙනාවේ මම’ කියලා.  
 
ප්‍රශ්නය - විමල්ලා කියනවද එහෙම?  
 
පිළිතුර:- නෑ නෑ ඔබ දැන් එහෙම දෙයක් කිව්වා. විමල් වීරවංශ මැතිතුමා එහෙම කියනවා මට ඇහිලා නෑ. නමුත් ඔබ දැන් එහෙම දෙයක් ඇඟවෙන දෙයක් අහපු නිසයි මම කිව්වේ. ඒ බලවේගය ගොඩනැගෙන්නේ මහින්ද රාජපක්ෂ චරිතය වටා. එතකොට මහින්ද මහත්තයා සමග හිටපු බලවේගය. ඒ නායකයන් සියලු දෙනා පරාජය වෙලා හිටියේ. ඔවුන්ට දේශපාලනික වශයෙන් නැගිටින්න අවශ්‍ය වෙලා තිබුණා. ඒ නැගිටීම ඔවුන් කළා. ඒක අවතක්සේරු කිරීමක් නොවෙයි. ඔවුන්ට එහි යම්කිසි ගෞරවය කොටසක් හිමිවිය යුතු නම් ඔවුන්ට එය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුයි.
 
ප්‍රශ්නය - ඔබ කිව්වා ඇමැති විමල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුණේ අපේ පුවත්පතට විමල් දීපු සම්මුඛ සාකච්ඡාව නිසා කියලා. මොනවද ඒ ගැටලු?  
 
පිළිතුර:- ඔහු එතැනදී ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් මතු කරනවා. පළමුවැනි කාරණය තමයි ඔහු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරන අර්ථකථනය. ඔහු කියනවා ‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන පළපුරුද්දක් නැති ජනාධිපතිවරයෙක්’ කියලා. ඒ ප්‍රකාශය ඔහු නොකළ යුතු ප්‍රකාශයක්. ඒ වගේම ඒක ඉතාම වැරැදි සහගත ප්‍රකාශයක්. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලන පවුලක සාමාජිකයෙක්. මේ රටේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ පුතෙක්. ඒ පවුලම දිගින් දිගටම කළේ දේශපාලනය. පියාගේ දේශපාලනය පියාගේ සහෝදරයන්ගේ දේශපාලනය, සහෝදරයන්ගේ දේශපාලනය, චමල් ඇමැතිතුමා 1989 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අනුව ගිරුවාපත්තුවේ ප්‍රධාන දේශපාලන පවුලක එක පුරුකක් එතුමා. අනිත් එක අපි දන්නවා එතුමා 2009 ජනාධිපතිවරණයේ දී කොච්චර සක්‍රියව ද‌ායක වුණාද කියලා. ඒ වගේම ඊට කලින් පැවැති මැතිවරණවල දී රාජ්‍ය සේවකයෙක් නොවන අවස්ථාවල දී කොහොමට සක්‍රියව ද‌ායක වුණා ද කියලා අපි දන්නවා. ඉතින් මෙවැනි නායකයකුට දේශපාලන පළපුරුද්දක් නෑ කීමම ඉතාම වැරැදි සහගත ප්‍රකාශයක්. දෙවැනුව මේ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට කොටු වී සිටින ජනාධිපතිවරයෙක් කියලා කියපු දෙයත් ඉතාම වැරදියි. මොකද මම හිතන්නේ මේ ජනාධිපතිවරයා තරම් ජනතාව අතරට ගිහින් ජනතාවගේ ප්‍රශ්න ගැන සොයා බලන ජනාධිපතිවරයෙක් මෑත කාලයේ හිටියේ නෑ. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා දැඩි ලෙස සංවර්ධන කටයුතු කළා. යුද්ධය අවසන් කළා. නමුත් එතුමාට තිබුණ ආරක්ෂක ප්‍රශ්න නිසා මේ විදියට ජනතාව අතරට යන්න පුළුවන්කම තිබුණේ නෑ.  
නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හැම සතියකදී ම ‘ගම සමග පිළිසඳරක්’ වැඩපිළිවෙළ යටතේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ පවා ගම් නියම්ගම්වල සැරිසරමින් ජනතාවගේ ප්‍රශ්නවලට තමන්ම ඇහුම්කන් දෙමින් ඒ ප්‍රශ්න විසඳනවා. රාජ්‍ය ආයතනයක හරියට වැඩ කෙරෙන්නේ නෑ කියලා තොරතුරක් ආවම එතුමාම එතැනට ගිහින් හොයලා බලන තරමට ජනතාවට ඉතාම සමීප ජනාධිපතිවරයෙක්. එවැනි තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට සීමා වූ ජනාධිපතිවරයෙක් ලෙස හැඳින්වීමත් මම හිතන්නේ හිතාමතා කළා ද? ඔහුට වැරදීමකින් කියැවුණා ද කියලා මම දන්නේ නෑ. නමුත් ඒක නිවැරදි විය යුතු එකක්.  
 
ප්‍රශ්නය - ඇමැති විමල් කිව්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයට පත් කළ යුතුයි කියලා?  
 
පිළිතුර:- ඒකත් ඉතාම වැරැදි සහගත ප්‍රකාශයක්. මේ පක්ෂය අපි නිර්මාණය කරන්නේ මේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහත්තයා නායකත්වයෙ තබා ගනිමින්. අපි පක්ෂය පිහිටුවන අවස්ථාව වන විට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ පක්ෂයේ නායකත්වය ගන්න බෑ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට පාර්ලිමේන්තුවේ සිටිය දී අපි ජනතාවට කිව්වා එතුමා තමයි අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඔහුගේ සහෝදරයා හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරන්නෙම මහින්ද රාජපක්ෂ මහත්තයා කියන ඒ ප්‍රතාපවත් නායකයා අපගේ පරමාදර්ශී නායකත්වයෙ තබා ගනිමින්. ඒ පරමාදර්ශී නායකයාගේ මග පෙන්වීම යටතේ අපි සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා. ලංකා ඉතිහාසයේම කෙටි කලකින් ඉතාම සාර්ථකත්වයට පත් වූ දේශපාලන පක්ෂය බවට අපේ පක්ෂය පත්වෙනවා. අද වෙනකොට ලංකාවේ විතරක් නෙවෙයි දකුනු ආසියාතික කලාපයේම තියෙන දේශපාලන පක්ෂවලින් වඩාත්ම සංවිධානාත්මක පක්ෂය බවට මේ පක්ෂය පත් කරනවා. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ. මෙවැනි තත්ත්වයක් යටතේ අපි අපේ නායකයන්ට ආදරෙයි. අනිත් එක අලුතෙන් ජනාධිපතිවරයෙක් බිහි කරලා තියෙනවා අපේ පක්ෂයෙන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහෝදරයා. එතුමා මේ පක්ෂයේ නායකත්වය බාර ගන්නවාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. එතුමා අපේ පක්ෂයේ නායකත්වය බාර ගන්නවා නම් එතුමා ඕනෑවටත් වඩා සුදුසුයි කියලා අපි දන්නවා.  
 
ප්‍රශ්නය - ජේ.ආර්.ගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු රාජ්‍ය නායකයන්ට පක්ෂ නායකත්වය තිබුණා. පක්ෂ නායකත්වය තිබීම පරිපාලනයට පහසුවක් නොවේද?  
 
පිළිතුර:- පරිපාලනමය පහසුවකට ඉඩ සැලසෙන්නේ ඒ පක්ෂයේ විනයක් නැත්නම්නේ. නමුත් අපේ පක්ෂය ඉතා දැඩි විනයක් සහිතව පවත්වාගෙන යන පක්ෂයක්. පක්ෂයේ නීතිරීතිවලට අපේ සාමාජිකයන් අනුගතයි. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී නමුත් ඉතාම විනයගරුක පක්ෂයක් විදියටයි අපි මේක පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපේ පක්ෂය තුළ එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්න බෑ. ඇතිවෙන්නෙත් නෑ. ඊටත් මේ තියෙන තත්ත්වය යටතේ පක්ෂයේ නායකයාගේ සහෝදරයා තමයි ජනාධිපතිවෙලා ඉන්නේ. මෙවැනි තත්ත්වයක් යටතේ මං හිතන්නේ විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියම මේ පක්ෂ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දිය යුතුයි කියලා... ඉතින් මම නැවතත් කියනවා මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයට නුසුදුසුකමක් නොවෙයි... එය සද‌ාචාරාත්මක නෑ. ඒක හරියට ගහට නැගලා ඉණිමගට පයින් ගහනවා වගේ වැඩක්නේ. ඒ වගේ තත්ත්වයකට යන්න අපේ පක්ෂය සූද‌ානම් නැහැ. අපේ පක්ෂය බොහොම විනයගරුක පක්ෂයක්. ඒ තත්ත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නායකත්වය බාර දෙන්න කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්න කියන එක තමයි.  
 
ප්‍රශ්නය - අපේ පත්තරයට ඇමැති විමල් එහෙම එකක් කියලා නෑ?  
 
පිළිතුර:- ඒක ගම්‍ය වෙනවනේ. පක්ෂයක නායකයෝ දෙන්නෙක් ඉන්න බැහැනේ. මෙතැන හොඳටම පැහැදිලි නායකයෙක් සිටිය දී ඒ වෙනුවට අහවලා ද‌ාන්න කියලා කියනකොට, මෙයා අයින් නොකර එයා ද‌ාන්න බැහැ. ඒක ඔහු නොකළ යුතුව තිබූ ප්‍රකාශයක්. ඔහු මේ පක්ෂයේ සාමාජිකයකු ද නොවන තත්ත්වය යටතේ ඔහු කොහොමද එහෙම කියන්නේ?   
 
ප්‍රශ්නය - ආණ්ඩුවේ ගමන ගැන හවුල්කාර පක්ෂයකට කතා කරන්න බැරිද?  
 
පිළිතුර:- ඒ ගැන කතා කරන්න පුළුවන්. නමුත් සන්ධානයක් ඇතුළේ ඉන්නකොට අනික් පක්ෂ ගැන කතා කරන්න සද‌ාචාරයක් තියෙනවද? විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයේ ලේකම්වරු දිගින් දිගටම ඉවත් කළා. ඔහුත් සමග එකට හිටගත්ත නායකයන් ඔක්කොම එතුමා අතහැරලා ගිහින් තියෙනවා. හැබැයි අපි ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. අපිත් එක්ක සන්ධානගත වෙච්ච සහෝදර පක්ෂ සමග තියෙනවා සදාචාරාත්මක බැඳීමක්. අපි ඔවුන්ගේ පක්ෂවල අභ්‍යන්තර කටයුතු ගැන කතා කරන්න, ඔවුන්ට උපදෙස් දෙන්න යන්නේ නෑ.  
 
ප්‍රශ්නය -- විමල් මතු කරන්නේ ජාතික දේශපාලන ප්‍රශ්නයක් මිස පක්ෂයක ප්‍රශ්නයක් ගැන නොවෙයි කියලා මම කිව්වොත්?  
 
පිළිතුර:- එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. මේ කළේ එහෙම ප්‍රශ්නයක් ඇති කිරීමයි. ඒකයි අපි ඒකට මැදිහත් වුණේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පරිපාලනය කිරීමේ කිසිදු බාධාවක් නෑ. හෙට එතුමාට අවශ්‍ය දේ මොකක්ද අපේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එතුමා ළඟ හිටගන්නවා. මෙතෙක් කල් එතුමා ගෙනාව හැම යෝජනාවකටම අපේ මන්ත්‍රී කණ්ඩායම එක හඬින් හිට ගත්තා. එසේ නොකළේ 20 වැනි සංශෝධනය අවස්ථාවේදීත්, නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය වෙලාවෙදිත්, අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් නොවෙයි. එහෙම කිසිම ගැටලුවක් නැති අවස්ථාවක දී මෙවැනි ප්‍රකාශයකින් වෙන්නේ එවැනි ගැටලුවක් ඇති කිරීමයි.  
 
ප්‍රශ්නය -ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට තමන්ගේ අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නෑ?  
 
පිළිතුර:- ඒක දෙන්න පුළුවන්. එබඳු අදහස් තියෙනවා නම් දේශපාලනයේ සද‌ාචාරයක් තියෙනවනේ. ඒ අදහස් ඔබගේ පත්තරය හරහා ද එය දැනුම් දෙන්න ඕනෑ. එහෙම නැතිව අපිත් සමග සාකච්ඡාවක් ඉල්ලලා එය දැනුම් දීම ද කළ යුත්තේ?  
 
ප්‍රශ්නය - චෝදනාව තියෙන්නෙත් ඒ අභ්‍යන්තර සංවාදය ඉතාම සීමිතයි කියන එකයි? 
 
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම වැරැදි කතාවක්. අපත් සමග සන්ධානගත වෙලා ඉන්න සෑම පක්ෂයකටම සාකච්ඡාවක් ඕනෑ කියලා කියපු හැම අවස්ථාවකදීම දින තුනක් ඇතුළත බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ සාකච්ඡාව දීලා තියෙනවා.  
 
ප්‍රශ්නය -ඒ කියන්නේ පක්ෂයේ නායකයා බැසිල් රාජපක්ෂ?  
 
පිළිතුර:- එතුමා අපේ පක්ෂයේ නිර්මාතෘ වගේම ජාතික සංවිධායක. එතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලුවාම ඒක අනිවාර්යයෙන්ම දීලා තියෙනවා. ඊට අමතරව අපේ පක්ෂයේ නායකයා වන ගරු අගමැතිතුමා මුණ ගැහෙන්න ඔය කණ්ඩායමේ කිසිම නායකයකුට පැය භාගයක් ගත වෙන්නේ නැහැ. ඒ නිසා ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම වැරදියි. පක්ෂයෙන් සාකච්ඡාවක් ඉල්ලුවොත් දවස් දෙක තුනක් යනවා. මොකද බැසිල් රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ සියලු නිලධාරීන් කැඳවලා සාකච්ඡා කරලා තමයි ඒ තීරණය ගන්නේ. එහෙම නැතිව වෙන ප්‍රශ්නයක් නෑ. දේශපාලන සද‌ාචාරයක් කියලා දෙයක් තියෙනවා. අන්‍යොන්‍ය ගරුත්වය කියලා දෙයක් තියෙනවා. එතුමා කියලා තිබුණා අපට යූඑන්පී එක ගැනත් කතා කරන්න බැරිද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. යූඑන්පිය විරුද්ධ පක්ෂයක්. නමුත් සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර එහෙම දෙයක් තියෙන්න බැහැ. එතුමා වැරැද්දක් කරලා තියෙනවනේ. ඒ නිසා ගෞරවාන්විතව ඒක පිළිඅරගෙන මහත්මයෙක් වගේ ‘මගේ අතින් වැරැද්දක් වුණා. මට සමාවෙන්න’ කියලා කිව්වා නම් ඒ ප්‍රශ්නය එතැනින් ඉවරයි?  
 
ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමත් වැරැදි නම් මම සමාව ගන්නම් කියලා ඇමැති විමල් කියනවා?  
 
පිළිතුර:- තමන් කරපු වැරැද්ද වැරැද්දක් හැටියට දකින්න නිහතමානීකමක් නැති වුණාම වෙනත් රටේ නැති කතා කියලා ඒක මග හරින්න පුළුවන්. අදටත් අපේ පක්ෂයේ ස්ථාවරය වෙන්නේ එතුමා කරපු ප්‍රකාශය වැරදියි. ඒ වැරැද්ද සම්බන්ධයෙන් ඔහු තමන් කළේ වැරැද්දක් බව ජනතාව ඉදිරියේ පිළිගත යුතු බවයි.  
 
ප්‍රශ්නය -හොඳයි ඇමැති විමල් සමාව නොගත්තොත්?  
 
පිළිතුර:- ඒක ඔහුගේ සද‌ාචාරය පිළිබඳ ප්‍රශ්නයක්නේ. අපි පක්ෂයක් හැටියට ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඒක බොහොම සාධාරණ ඉල්ලීමක්. ඒක ඔහු පිළි නොගන්නවා නම් ඒක ඔහුගේ දේශපාලන සද‌ාචාරය පිළිබඳ ප්‍රශ්නයක්.  
 
ප්‍රශ්නය -ඔබලාගේ මේ කුපිත වීම කොළඹ වරායෙ නැගෙනහිර ජැටියට එරෙහිව ඇමැති විමල් කරපු සටනත් එක්ක සමහරු ගැට ගහනවා?  
 
පිළිතුර:- එහෙම කියන්නේ මම පක්ෂයේ ලේකම් හැටියට ප්‍රකාශයක් කළා විමල් වීරවංශ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා කියලා. එයට පිළිතුරක් විදියට එතුමා කියලා තිබුණා ‘මගේ කනගාටුව ඔහුට අද‌ාළ නැහැ’ කියලා. මම එහෙම ප්‍රකාශයක් කළේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අද‌ානි සමාගමට නොදෙන බවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තීරණයක් ගෙන තිබිය දී ඒ තීරණයම ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළාටත් පස්සේ පක්ෂ 10 ක් කැඳවලා විමල් වීරවංශ මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මාධ්‍ය සංදර්ශනයක් කරලා වරාය බේරාගත්ත වීරයා බවට පත්වෙනවා. ඔහු ඒ දෙය කරන්නේ තමන් අමාත්‍ය ධුරයක් දරන රජයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා වැරැදිකරුවන් බවට පත් කරලා ඔහු වීරයා වෙන්නයි. එතැනදී අපට ඇතිවුණා ලොකු කනගාටුවක්.  
 
ප්‍රශ්නය - ඇමැති විමල් කිව්වා ජාතික ලැයිස්තුවෙන් ආපු ඔබට ජනවරමේ අභිලාෂයන් පිළිබඳ හැඟීමක් නැහැ කියලා?  
 
පිළිතුර:- මම ජාතික ලැයිස්තුවෙන් ආපු නිසා මට රට ගැන හැඟීමක් තියෙනවා. ඔහු ජනතාවගේ ඡන්දයෙන් ආව නිසා ඔහු අදත් හිතන්නේ ඊළඟ ඡන්දෙදි මනාප ගන්නේ කොහොමද කියලා. ඒක මිසක් රටේ සංවර්ධනය ගැන ඔහු හිතන්නේ නැහැ.  
 
ප්‍රශ්නය -මේ ගැටුමේ සුලමුල මොකක්ද?  
 
 පිළිතුර:- කිසිම ගැටුමක් නෑ. වරාය සම්බන්ධ කාරණාවේදී එතුමා හැසිරිච්ච ආකාරය පිළිබඳව හා ඔබගේ පුවත්පතට කරපු ඉතාම අනවශ්‍ය ප්‍රකාශය. එයට පිළිතුරු දෙන්න මගේ නායකයා වෙනුවෙන් මට අයිතියක් තියෙනවා.  
 
ප්‍රශ්නය - මේ එළියට පැන්නේ ඇමැති විමල් හා බැසිල් රාජපක්ෂ අතර තියෙන ගැටුම?
  
පිළිතුර:- බැසිල් රාජපක්ෂ මැතිතුමා මේකට සම්බන්ධයක් නැහැනේ.  
 
ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ එහෙම ගැටුමක් තියෙනවා නේද කියලයි?  
 
 පිළිතුර:- එහෙම දෙයක් නෑනේ. ඒක ඉතාම පැහැදිලියිනේ. එතුමා කරපු ප්‍රකාශවලටනේ මම උත්තර දුන්නේ. එතුමා කිව්වා නම් ‘මම ඒක කිව්වේ හිතලා නොවෙයි. ඒ නිසා මම ඒ ගැන කනගාටුවෙනවා’ කියලා. එහෙම නම් මේ ප්‍රශ්නය ඉවරයි. ඔහු අදටත් ඒ ප්‍රකාශය සාධාරණීකරණය කරන්න යනවා වෙනත් ක්‍රම මගින්.  
 
ප්‍රශ්නය - විමල්ව ඇමැති ධුරයෙන් ඉවත් කරන්න කියලා ඔබලා ඉල්ලීමක් කළා?  
 
පිළිතුර:- නෑ නෑ එහෙම කිසිම යෝජනාවක් කරලා නැහැ මම දැනුවත්ව.  
 
ප්‍රශ්නය -දැනට නැතත් හෙට අනිද්දට?  
 
පිළිතුර:- මේ ප්‍රශ්නය ඉතා සරල දෙයක්. විමල් වීරවංශ මැතිතුමා පිළිගන්නවා නම් තමන් කළ ප්‍රකාශය වැරදියි ඒ සම්බන්ධයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා කියලා. එහෙම නම් මේ ප්‍රශ්නය ඉවරයි.  
 
ප්‍රශ්නය - එහෙම නොකළොත්?  
 
පිළිතුර:- එතුමාගේ ඊළඟ පියවර එතුමා ගනී. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ සියලු කරුණු කාරණා සලකා බලලා තීරණය කරයි.  
 
 
 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්