බැඳුම්කර ගනුදෙනුව සිද්ධ වුණේ මගේ අමාත්‍යංශය යටතේ නොවෙයි


 

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා පුරෝගාමී වූ පිරිස් අතරින් ඔහු පුරෝගාමී විය. එහෙත් කැබිනට් සංශෝධනයේදී මුදල් ඇමැති ධුරය වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය බාර ගැනීමට ඔහුට සිදුවිය. බැඳුම්කර කොමිසම ඉදිරිපිට සාක්ෂි දීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහුට සිදුවිය. ඔහුට සිදු වූයේ කුමක්ද? ඒ ඔහු. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය - මේ දවස්වල ඔබ මොකද කරන්නේ?  
පිළිතුර - මම හැමදාමත් සක්‍රීය දේශපාලනයේ හිටපු කෙනෙක්. ඒ නිසා ඇමැතිකම තිබුණත් නැතත් මම ඉන්නේ ජනතාව එක්ක.  

 


ප්‍රශ්නය - එ් නිසාද ඔබ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට සංවර්ධන ව්‍යාපෘතියකට යෝජනා එවන්න කියලා ඔබේ ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යැව්වේ?  
පිළිතුර - දේශපාලන අවස්ථාවාදීන්ගේ මඩවලට මම උත්තර දෙන්න යන්නේ නෑ. මම මුලින් කිව්වා වගේම මම හැමදාමත් සක්‍රිය දේශපාලනයේ හිටපු කෙනෙක්. ඇමැතිකමින් නිදහස් වුණාට පස්සේ ආසනයේ වැඩවලට වැඩිපුර සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ නිසාම සමාජයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වැඩියෙන් මැදිහත්වෙන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නොවෙයි. මට පක්ෂයෙන් විශේෂ වගකීම් ගණනාවකුත් පැවරුවා. මැතිවරණ සංවිධාන ගොඩනගන්නත් අපි දැන් ගමට යනවා.  

 


ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ සතුටෙන්?  
පිළිතුර - සතුටට වඩා උපේක්ෂාවක් තියෙන්නේ.  

 


ප්‍රශ්නය - ඇත්තටම ඔබට මොකද වුණේ?  
පිළිතුර - බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිසමෙන් මට ලැබුණු කැඳවීමකට අනුව මම කොමිසම ඉදිරියේ පෙනී සිටියා. ඉතිහාසයේ කිසිම ඇමැතිවරයෙක් කොමිසමක් ඉදිරියට මේ විදියට කැඳවලා නෑ.  

 


ප්‍රශ්නය - ඔබ හිතනවා ඔබවම ඉලක්ක කරගෙන මේ කොමිසම පිහිටෙව්වා කියල?  
පිළිතුර - මේක තමයි යහ පාලනය. මේ යහ පාලනය ගේන්න පුරෝගාමී වෙච්ච කෙනෙක් විදියට මේ විදියට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට පුළුවන් පරිසරයක් ඇතිවීම ගැන මම සතුටු වෙනවා.  

 


ප්‍රශ්නය - ඇත්තටම කොමිසමේදී මොකද වුණේ?  
පිළිතුර - එතැනදී ඒ ගනුදෙනුවේ ව්‍යාපාරිකයා වන ඇලෝෂියස් මහතා සමග මගේ තියෙන සම්බන්ධතාව විමසුවා. මම ඒවාට ඉතාම පැහැදිලි පිළිතුරු දුන්නා.  

 


ප්‍රශ්නය - එහෙම නම් දන්නේ නෑ. මතක නෑ කියලා කිව්වේ?  
පිළිතුර - ඔබ දන්නවා.... මම ඉතාම කාර්ය බහුල කෙනෙක්. විශේෂයෙන්ම රාජපක්ෂ රෙජීමය විනාශ කරලා තිබුණ මේ රටේ ආර්ථිකය ඉතාම ඉක්මනින් ගොඩනැගීමේ භාරදූර කාර්ය පැවරිලා තිබුණේ මට, මම මුදල් ඇමැති හැටියට ඒ වගකීමට උපරිම ආකාරයෙන් මැදිහත් වුණා. ඇත්තටම මට ඒ සඳහා දවසේ පැය 24ත් මදියි. කොහොම වුණත් ඒ අභියෝගයට මම සාර්ථකව මුහුණ දුන්නා. එතැනදී පෞද්ගලික ජීවිතයට සම්බන්ධ බොහෝ කාරණාවලින් මම නිදහස් වෙලා හිටියේ.  

 


ප්‍රශ්නය - වරදක් කරලා නැත්නම් ඇයි ඔබ ඇමැතිකමින් අස් වුණේ?  
පිළිතුර - බැඳුම්කර ගනුදෙනුවේ ව්‍යාපාරිකයා වන ඇලෝෂියස් මහතා සමග මගේ තිබෙන සම්බන්ධය කොමිසමෙන් විමසුවාම මම ඒ ගැන පැහැදිලි පිළිතුරු දුන්නා. ඔහුගේ සහ මගේ තිබෙන පෞද්ගලික සම්බන්ධතාව ගැන මම බොහොම පැහැදිලිව විස්තර කළා. ඒ ගැන සමහර මාධ්‍ය හා විපක්ෂයේ සමහරු මට චෝදනා කළා. මම ජනාධිපතිතුමා හා අගමැතිතුමා එක්ක මේ ගැන සාකච්ඡා කළා. මේ පරීක්ෂණ කටයුතුවලට සහාය වෙන්න ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි කියලා මම හිතුවා. ඒ අනුව මම ඉල්ලා අස්වුණා.  

 


ප්‍රශ්නය - ඔබ හිතනවද ඔබට අසාධාරණයක් වුණා කියලා?  
පිළිතුර - ඔව්! අනිවාර්යයෙන්ම! මට ඉතාම පැහැදිලිවම අසාධාරණයක් වුණේ.  

 


ප්‍රශ්නය - ඔබ එහෙම කියන්නේ?  

පිළිතුර - ඔය බැඳුම්කර ගනුදෙනුව සිද්ධ වුණේ‍ මගේ අමාත්‍යාංශය යටතේ නොවෙයි. මහ බැංකුවත් එයට සම්බන්ධ ආයතනත් තිබුණේ‍ මගේ පාලනය යටතේ නොවෙයි. මගේ පාලනය යටතේ නොවන ආයතනයක ක්‍රියාවලියකට මම අල්ලස් ගත්තා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ කාටද? මට මැදිහත් වෙන්න බැරි දෙයකට කවුරුහරි මට අල්ලසක් දෙනවා නම් ඔහු කිසිම දෙයක් දන්නේ නැති මෝඩයෙක් විය යුතුයි.  

 


ප්‍රශ්නය - ඔබ කියන කාරණාව හරි. නමුත් විපක්ෂය කියන්නේ....  
පිළිතුර - පොඩ්ඩක් ඉන්න. මම මුලිනුත් කිව්වා දේශපාලන මඩවලට උත්තර දෙන්න මට අවශ්‍ය නෑ කියලා. මට අල්ලස් දෙන්න අර්ජුන් ඇලෝෂියස් වැනි ව්‍යාපාරිකයකුට තියෙන අවශ්‍යතාව මොකද්ද? මේ රටේ ජනතාව දන්නවා මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මම දේශපාලනයට එන්න කලිනුත් සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම කවදා හෝ දේශපාලනයෙන් ඉවත් වුණොත් ඒත් මම ව්‍යාපාරිකයෙක්. බොහෝ ව්‍යාපාරිකයන් මගේ ලෝකයේ මිතුරන්. බොහෝ ව්‍යාපාරිකයන් සමග මම ගනුදෙනු කරනවා. දේශපාලනය කළ පමණින් මට ඒ සබඳතා ගනුදෙනු අතහරින්න බෑ.  

 


ප්‍රශ්නය - මෙතැන ප්‍රශ්නය තියෙන්නේ ඒ ව්‍යාපාරික මිතුරන්ට දේශපාලන වාසි ලබා දීමයි?  
පිළිතුර - නෑ කිසිසේත්ම නෑ. මම කවදාවත් මගේ ව්‍යාපාර ගනුදෙනු දේශපාලනයට සම්බන්ධ කරගෙන නෑ. දේශපාලනයත් මගේ ව්‍යාපාර කටයුතුත් පැහැදිලිවම දෙකක්. රවී කරුණානායකට බොරුවට චෝදනා කරන අය දන්නවා බැඳුම්කර ගනුදෙනුවත් මාත් අතර කිසිම සම්බන්ධයක් නෑ කියලා.  

 


ප්‍රශ්නය - එහෙම නම් කවුද සම්බන්ධ?  
පිළිතුර - ඒක අනාගතයේ දී අනාවරණය වේවි.  

 


ප්‍රශ්නය - ඔබේ පිටින් මේ ප්‍රශ්නය ගියේ ඇයි?  
පිළිතුර - අපේ පක්ෂයට මඩ ගහන්න හිතන සමහර පුද්ගලයෝ පක්ෂයට තියෙන මගේ ප්‍රබල දායකත්වය නිසා මේ ප්‍රශ්නය අල්ලාගෙන මට මඩ ගහන්න පටන් ගත්තා. සමහරු ඇත්ත දැන දැන මඩ ගැහුවා. සමහරු ඇත්ත නොදැන මට මඩ ගහනවා. නමුත් මම කනගාටු වෙන්නේ නෑ. දේශපාලනයේ හැටි එහෙම තමයි. චිංචිමානවිකාව බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් ඉන්නකොට උන්වහන්සේ ඉදිරියට ගිහින් බඩේ ඉන්න දරුවා උන්වහන්සේගේ කියලා එහෙම ප්‍රසිද්ධියේ අවමන් කළා. උන්වහන්සේගෙන් බණ අසමින් හිටපු සමහරු උන්වහන්සේ වරදක් කළා කියලා සැක කළා. එහෙත් පසුව අනාවරණය වුණා චිංචිමානවිකාව ඇවිත් තියෙන්නේ බඩේ දර මිටියක් බැඳ ගෙන කියලා. උන්වහන්සේට මඩගහන්න සැකසුම් කළ අය කටවල් වහගත්තා. උන්වහන්සේ ගැන සැක කළ අය පසුව දුක් වුණා. ජේසුස් වහන්සේටත් එහෙමමයි. උන්වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසූ පුද්ගලයා පසුව ඒ පිළිබඳව දුක් වුණා. ජේසුස් වහන්සේව හොරෙක් මංකොල්ලකාරයෙක් කරපු පිරිසම පසුව උන්වහන්සේව දෙවියෙක් කළා.  

 


ප්‍රශ්නය - ඔබත් ඒ තත්ත්වයම බලාපොරොත්තු වෙනවා?  
පිළිතුර - මම විතරක් නොවෙයි. වරදක් නොකරපු ඕනෑම කෙනෙක්ම ඒ තත්ත්වය බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නයේත් අනිවාර්යයෙන්ම කවුද හරි කවුද වැරදි කියලා ජනතාව ඉදිරියේ ඔප්පු වෙනවා. එදාට රවී කරුණානායක ගැන අදටත් වඩා ජනතාව තේරුම් ගනීවි. හැබැයි අපට මඩ ගහලා අපේ දේශපාලන ගමන නවත්වන්න කවුරුහරි හිතනවා නම් ඒ අයට හුඟාක් වැරදිලා. තලන්න තලන්න තමයි යකඩ මුවහත් වෙන්නේ. මේ හැම දෙයින්ම අපි දේශපාලන පන්නරයක් ලබනවා මිසක් සැලෙන්නේ නැහැ.  

 


ප්‍රශ්නය - ඔබ පහුගිය කාලයේ නිතරම කියපු දෙයක් තමයි පක්ෂය ඇතුළේ ඔබට සතුරෝ ඉන්නවා කියලා. එහෙම හතුරන් බිහි වුණේ ඇයි?  
පිළිතුර - කවුරුත් දන්නවා රවී කරුණානායක මේ පක්ෂය මේ තැනට ඔසොවා තබන්න කරපු කාර්යභාරය. එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කරන්න අපි රට පුරා අැවිද්දා පාර්ලිමේන්තුවේ ඇත්ත කතා කළා. ඒ නිසා දේශපාලන විරුද්ධවාදීන් මට හතුරු වුණා.  

 


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ පක්ෂය ඇතුළෙන්ම සතුරන් නිර්මාණයවීම ගැනයි.  
පිළිතුර - ඔව්, පක්ෂයේ තීරණාත්මක ප්‍රශ්නවලදී පක්ෂයේ සහ සාමාජිකයන්ගේ යහපත වෙනුවෙන් මම බය නැතිව අදහස් ප්‍රකාශ කළා. ඒ නිසා පක්ෂය ඇතුළේ සමහර අයගේ සිත් රිදවීම් වෙන්න ඇති. ඒ නිසාම සමහරු මං සතුරෙකු ලෙස සිතනවාත් ඇති. ඒත් මටනම් පෞද්ගලිකව කිසිම හතුරෙක් නැති බව විවෘතව කිව යුතුයි.  

 


ප්‍රශ්නය - නමුත් ඔබ අර වගේ ප්‍රකාශයක් කළේ ආවාට ගියාට වෙන්න බෑ?  
පිළිතුර - මෙහෙමයි. දේශපාලනයේදී සතුරා එල්ල කරන ඊතලයට වඩා මිතුරන් යැයි සිතා සිටින පුද්ගලයන්ගෙන් එල්ල වන ඇල්පෙනෙති පහර රිදෙනවා. සතුරා අපට පහර දෙන්න පහර දෙන්න අපේ දේශපාලන සාර්ථකත්වය පෙන්නුම් කරනවා. නමුත් මිතුරන් යැයි සිතා සිටින පුද්ගලයන් මේ කරන කෙනෙහිලිකම් මේ විදියටම ඉදිරියේදීත් සිද්ධ වුණොත් එ් ගැන නැවත සිතා බලන්න වෙනවා.  

 


ප්‍රශ්නය - කොහොම වුණත් මේ සිද්ධියේදී ඔබේ පවුලේ අය ගැනත් කතා වුණා!  
පිළිතුර - ඇත්තටම මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ සම්බන්ධයෙන් මට තියෙන්නේ කලකිරීමක්. මගේ බිරිය හෝ දරුවන් කවදාවත් දේශපාලනය කරපු අය නොවෙයි. ඇත්තටම මගේ බිරිය හා දරුවන් තුන් දෙනා මේ මොහොතේ ඉන්නේ කලකිරීමෙන්. මේ දේවල් මේ විදියටම දිගටම සිද්ධ වුණොත් වැදගත් පවුල්වල උදවිය දේශපාලනය කරන එක නවත්වයි.  

 


ප්‍රශ්නය - යහ පාලනය ගේන්න පුරෝගාමී වූ පිරිස අතර ඔබ ඉදිරියෙන්ම ඉන්නවා. නමුත් ඔබේ ප්‍රශ්නය වෙලාවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඔබ වෙනුවෙන් පෙනී සිටියේ නෑ කියලා ඔබ හිතනවද?  
පිළිතුර - ඇත්තටම යහ පාලනය ගේන්න මං පුරෝගාමී වුණු බව ඇත්ත. මට ඒ ගැන අදටත් තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම සතුටක්. මේ ප්‍රශ්නයේදී ජනාධිපතිතුමත් අගමැතිතුමත් මට කතා කළා.  

 


ප්‍රශ්නය - ඒ කියන්නේ අතරමැද විසඳුමක් වෙනුවෙන්?  
පිළිතුර - නෑ. ප්‍රශ්නය ගැන කතා කළා. ඒත් යහ පාලනය නිසාම ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ප්‍රශ්නයට මැදිහත් නොවිය යුතුයි කියන ස්ථාවරයේ මම හිටියා. ඇත්තටම ඒකම තමයි යහ පාලනය කියන්නේ.  

 


ප්‍රශ්නය - නීතිපති දෙපාර්තමේන්තුව ඔබට එරෙහිව සිටියා කියලා ඔබ කිව්වා. ඔබ තාමත් එහෙම හිතනවද?  
පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්! මට විතරක් නොවෙයි. මේ රටේ දේශපාලනය තේරෙන කවුරුත් ඒක දන්නවා. පහුගිය රජයේ හිටපු ඇමැතිවරුන්ගේ වංචා, දූෂණවලට සම්බන්ධ වැඩ අවසන් කළ ලිපිගොනු විශාල ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැහිලා තියෙනවා. නමුත් ඒ පරීක්ෂණ ඉතාම මන්දගාමීව බොහොම හෙමින් තමයි ඒ වැඩ කෙරෙන්නේ. නමුත් මේ ප්‍රශ්නයේ දී ව්‍යාපාරිකයෙක් හා රවී කරුණානායක කළ දුරකථන පණිවිඩ ගැන හොයන්න නීතිපති දෙපාර්තමේන්තුව ​වේගයෙන් ක්‍රියාත්මක වුණා. ඒක නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ පක්ෂපාතී බව කාටත් පේනවා.  

 


ප්‍රශ්නය - කොහොම වුණත් දැන් පේන්න තියෙන්නේ දේශපාලනඥයින් නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහන බවයි?  
පිළිතුර - එහෙම කරන්න බෑ, අපි කවුරුවත් කැමති නෑ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩවලට ඇඟිලි ගහන්න. අපි ඒ අයට වැරදි විදියට ඇඟිලි ගැහුවා නම් අද මේ තත්ත්වය මේ විදියටම වෙන්නෙත් නැහැනේ. එදා බැඳුම්කර කොමිසමේ විනිශ්චයකාරවරුන් මගෙන් ප්‍රශ්න අහපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවවාද කරන්න සිදු වුණේ අපි ඒ අයට බලපෑම් නොකළ නිසා බව කාටත් පේනවා.

 

 
ප්‍රශ්නය - නීතිපති දෙපාර්තමෙන්තුවත් බාරව හිටපු ඇමැති විජයදාස රාජපක්ෂට ඇමැතිකම අහිමි වුණා. ඔබට ඒ ගැන සතුටුයිද? ඔබ හිතනවද ඔබට සාධාරණය ඉටු වුණා කියලා?  

පිළිතුර - පළමු කාරණය තමයි මට එහෙම සතුටක් නෑ. අනික් කාරණය තමයි කවුරුවත් ඇමැති ධුරයෙන් ඉවත් කළා කියලා මට කොහොමද සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ? ඔහු සමග මගේ කිසිම අමනාපයක් නෑ. නමුත් වඩාත් වැදගත් වෙන්නේ රටට සාධාරණයක් වෙන ආකාරයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සක්‍රීය හා ස්වාධීන ආයතනයක් බවට පත් කරන එකයි. රටට සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් මට අසාධාරණයක් වුණාට කමක් නෑ.  

 


ප්‍රශ්නය - ​ඔහොම කියලා බලාපොරොත්තු වෙන්නේ මුලින් කියපු විදියටම නීතිපති දෙපාර්තමේන්තුව ඔබලාට අවශ්‍ය පරිදි හසුරුවන්නයි?  
පිළිතුර - නැහැ. කිසිසේත්ම නැහැ. මෙතැන හිනාවට කාරණය වෙන්නේ පහුගිය කාලයේ මුළු නීතියම තමන්ට ඕනෑ විදියට හසුරවපු උදවියම අපට මෙහෙම චෝදනා එල්ල කිරීමයි. ඔවුන් අධිකරණයට කරපු හානිය මුළු රටම දැක්කා. අද හුඟ දෙනෙකුට මේ රට තිබුණ තැන අමතක වෙලා. නීතිය අතට ගන්න හදපු හොරු, මංකොල්ලකාරයෝම අද නීතිපති දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන්න ඉදිරිපත් වීම ජනතාවට නම් විහිළුවක්. මම ඉතාම පැහැදිලිවත්, වගකීමෙන් යුතුවත් කියනවා..... මේ යහ පාලන ආණ්ඩුව මොනම හේතුවක් නිසාවත් නීතියට අත තියන්නේ නෑ.  

 


ප්‍රශ්නය - බැඳුම්කර කොමිසම ගැන දැන් ඔබ මොකද හිතන්නේ?  
පිළිතුර - බැඳුම්කර කොමිසම ජනාධිපතිතුමා පත්කළ කොමිසමක්. එම කොමිසම පත් කළේ‍ යහ පාලන ප්‍රතිපත්තියට අනුව ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීමටයි. ඔබ අහන ප්‍රශ්නයට මට උත්තරයක් දිය හැකිවන්නේ කොමිසමේ අවසන් වාර්තාව නිකුත් වුණාට පස්සෙයි.  

 


ප්‍රශ්නය - ඔබට විශ්වාසභංගයක් ඉදිරිපත් කරපු ඒකාබද්ධ විපක්ෂය දැන් ඇමැති රාජිතටත් විශ්‍වාසභංගයක් ඉදිරිපත් කරලා?  
පිළිතුර - ඉතාම පැහැදිලියි. පල ඇති රුකටනේ කොල්ලෝ ගල් ගහන්නේ. මේ රටේ මේ සමාජ වෙනස ඇති කරන්න මූලිකත්වය ගත්ත මට මේ ගොල්ලෝ අසාධාරණ චෝදනා එල්ල කළා. දැන් රාජිතටත් පදනමක් නැති චෝදනා එල්ල කරලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ යහ පාලනය ඉදිරි ගමන වළක්වන්න මේ හොරුන්ට අපරාධකාරයන්ට තියෙන වුවමනාවයි.  

 


ප්‍රශ්නය - නමුත් ඇමැති රාජිතට එල්ල කරලා තියෙන චෝදනා.....?  
පිළිතුර - පොඩ්ඩක් ඉන්න. රාජිත කරපු වැරැද්ද මොකද්ද? පැනඩෝල් පෙත්තේ මිල බාගෙට බාගයක් බස්සපු එකද? අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 46ක මිල බස්සවපු එකද? ඩෙංගු පරීක්ෂණයේ රුපියල් 3000ට තිබුණ ගාස්තුව රුපියල් 1000ට අඩු කරපු එකද? නැත්නම් සිවිකාච නිකම් බෙදපු එකද? නැත්නම් බයිපාස් සැත්කම් නිකම් කරපු එකද? අපි ජනතාවගෙන් අහන්න ඕනෑ ජනතාව ඒවා වැරදියි කියලා තීරණය කරනවා නම් අපි බැහැල යන්නම්. එහෙම නැතිව මේ පල්හොරු කිව්වට අපි බැහැලා යන්නේ නෑ. හැබැයි අපි කනගාටු වෙන්නේ යහ පාලනය හදන්න ජනාධිපතිතුමා පත්කර ගනිද්දී අපිත් එක්ක නොහිටපු පසුව එකතු වෙච්ච උදවියට මේ පිළිබඳව හැඟීමක් නැති එක ගැන. අපි යහ පාලන ආණ්‍ඩුව හැදුවේ තනියෙන් වැඩ කරන්න බැරි නිසා නොවෙයි. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් පැහැදිලිව තේරුම් ගත්තා 1948න් පස්සේ මේ රටේ ඉදිරි ගමනට අවශ්‍ය පක්ෂ දේශපාලනය නිසා බෙදී ගිහින් විසඳන්න බැරි වෙච්ච මූලික ප්‍රශ්න කිහිපයක් විසඳන්න. එහෙම නැතිව මේකට එකතු වුණ සමහරු නිවැරදියි කියලා අපි පිළිගන්න නිසාවත් අපි නිවැරැදියි කියලා ඔවුන් පිළිගන්න නිසාවත් නොවෙයි. ඒක කවුරුත් පිළිගන්න ඕනෑ. ඒ නිසා එකිනෙකාට චෝදනා කරගන්න කලින් අපි අපේ පොදු අරමුණ ජයග්‍රහණය කරවන්න කැප වෙන්න ඕනෑ. ඒකයි ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි අරමුණ. එහෙම නැතිව පිල් බෙදෙන ප්‍රකාශ කළොත් ඒක යහ පාලනයේ සතුරන්ගේ ජයග්‍රහණයක්.

සාකච්ඡා කළේ:
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්