බහුතරය තියෙන්නේ අපිට කියලා මුළු රටම දන්නවා


එක්සත් ජාතික පක්ෂයේ 
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ආරක්ෂක රාජ්‍ය අැමැති 
රුවන් විජයවර්ධන

දිනෙන් දින ගිනියම් වන රටේ දේශපාලනය ගැනත් ඒ දේශපාලනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාමාර්ග ගැනත් විමසමින් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.

• ප්‍රශ්නය - අගමැති රනිල් වික්‍රමසිංහට දෙපාරක්ම ආණ්ඩුව රැකගන්න බැරි වුණා. මොකද්ද මේ අපලය?


• පිළිතුර - ඔව්. මේක රටේ අපලය තමයි. මේ පාර නම් මුළු රටම දන්නවා ජනාධිපතිවරයා කරපු ව්‍යවස්ථා විරෝධි නීති විරෝධි දෙයක් නිසා තමයි මේ දේ වුණේ කියලා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කාබාසිනියා කරමින් තමයි ජනාධිපතිවරයා මේ පියවර ගත්තේ.


• ප්‍රශ්නය - නමුත් එක්සත් ජාතික පක්ෂය අධිකරණයට ගියේ පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිවයි. අගමැති පත්කිරීම අභියෝගයට ලක් කළේ නෑ?


• පිළිතුර - අගමැති පත්කරන්න අධිකරණයට බෑ. ඒක පාර්ලිමේන්තු ක්‍රියාදාමයක්. කොහොමත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එක්සත් ජාතික පක්ෂය විතරක් නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සියලු පක්ෂ අපේ අරගලයට එකතු වෙලා ඉන්නවා. පාර්ලිමේන්තුව ඇතුළේ අපි දෙවරක්ම මේ ඊනියා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව අපි අපේ බහුතරය පෙන්නුවා. ඒ නිසා අපි කියන්නේ නම්බු පිටින් ගෙදර යන්න කියලයි.


• ප්‍රශ්නය - මෛත්‍රී-මහින්ද සතුරු කඳවුරු දෙකක්. නමුත් අවසාන මොහොතේ මේ කඳවුරු දෙක එක් වුණා. එහෙම තීරණයකට එන්න ජනාධිපති මෛත්‍රීට බලපාපු හේතු හැටියට ඔබ දකින්නේ?


• පිළිතුර - ඒක ජනාධිපතිවරයාට එච්චර ලොකු දෙයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග උදේ ආප්ප කාලා පිටිපස්සෙන් ඉඳගෙන එතුමට පිහියෙන් ඇනලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා පොදු අපේක්ෂකයා වෙලා ජනාධිපති වුණා. එතුමා රජ පුටුවේ තියන්න අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන් හා පාක්ෂිකයන් තමයි විවිධ අභියෝග, මැරකම්වලට මුහුණදෙමින් කටයුතු කළේ. ඒ නිසා ඔය වගේ හැසිරිලා එතුමාට පුරුද්දක් ඇති. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පිටට පිහියෙන් ඇන්නා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පිටට පිහියෙන් අනින එක එතුමාට ප්‍රශ්නයක් නොවෙයි.


• ප්‍රශ්නය - ඔබ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති. ඔබේ ඇමැතිවරයා වුණේ ජනාධිපති මෛත්‍රීයි. ජනාධිපති මෛත්‍රීගේ වෙනස ඔබට දැනුණේ නැද්ද?


• පිළිතුර - මෙහෙමනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයයි කොහොමත් ප්‍රතිවිරුද්ධ දේශපාලන ප්‍රතිවිරෝධතා සහිත කඳවුරු දෙකක්නේ. සතුරු කඳවුරු දෙකක්නේ. ඉතින් මේ කඳවුරු දෙක එකතු වෙනවා කියන්නෙම යම් යම් ඝට්ඨන ඇති වෙනවා. පහුගිය අවුරුදු තුනේදී ජාතික ආණ්ඩුවක් හැටියට වැඩ කරනකොට මත දෙකක් නිසා ලොකු ඝට්ටන ඇති වුණා. ඒත් අපි ඒ ගැටුම්වලට මුහුණදෙමින් ඉදිරියට යමින් ඉන්නකොට තමයි මේ වගේ දෙයක් වුණේ. කොයිතරම් ඝට්ටන තිබුණත් මේ තරම් නරක තැනකට ජනාධිපතිවරයා මේ රට ඇදලාදායි කියලා කවුරුවත් හිතුවේ නෑ. මේ තත්ත්වය ගැන හරිම කනගාටුයි. රටේ ව්‍යවස්ථාව මේ තරම්ම නරක ලෙස උල්ලංඝනය කරයි කියලා කවුද හිතන්නේ?


• ප්‍රශ්නය - ​ඔබ කිව්වා පාර්ලිමේන්තුව තුළ දී දෙවරක්ම බහුතරය පෙන්නුවා කියලා. නමුත් එහෙම කළේ‍ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායට එරෙහිවයි?


• පිළිතුර - නෑ. ඔබ කියන දේ නොවෙයි එතැන වුණේ. කථානායකතුමත් එක්ක ඊට පස්සේ කතා කළාමත් එතුමා කිව්වේ නීත්‍යනුකූලව තමයි සියල්ල කළේ‍ කියලා. එතුමාට පූර්ණ බලය තියෙනවා පාර්ලිමේන්තුවේදී කට හඬින් ඡන්දය විමසන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. සුමන්තිරන් මන්ත්‍රීතුමා මුලින්ම යෝජනාවක් ගෙනාවා ස්ථාවර නියෝග අත්හිටුවන්න කියලා. ඒ යෝජනාව සම්මත වුණාට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසීම කළේ. කථානායකතුමා තුන් වතාවක් රාජපක්ෂ මැතිතුමාගේ පොහොට්ටුවේ කණ්ඩායමට කිව්වා “කරුණාකරලා ගිහින් ආසනවල වාඩිවෙන්න. අපි ඡන්දය තියමු” කියලා. නමුත් ඒ අවස්ථාවේ පොහොට්ටුවේ කණ්ඩායම හැසිරුණු විදිහ නිසා ‘කට හඬින්’ ඡන්දය විමසන්න කතානායකතුමා කටයුතු කළා. ඒක නීත්‍යනුකූලයි. ඇරත් පාර්ලිමේන්තුවේ කටහඬින ඡන්දය විමසූ පළමු අවස්ථාව මේක නොවෙයි.


• ප්‍රශ්නය - අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගය භාර දුන්නේ මාර්තු මාසයේ. ඒ ගැන විවාද කරලා ඡන්ද විමසීමට ගියේ අප්‍රේල් 5 වැනිදා. ඒ සාධාරණත්වය ඇයි අගමැති මහින්ද රාජපක්ෂට නොදෙන්නේ?


• පිළිතුර - ස්ථාවර නියෝගවලට අනුව යනවානම් ඔබ කියන ක්‍රමය හරි. ඒක ගැනත් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඉදිරියේ දී එහෙම කරලත් පෙන්වන්නම්කෝ.


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍ ජනාධිපති මෛත්‍රීගේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියන ඔබලා අගමැති මහින්දට එරෙහිව ප්‍රජාතන්ත්‍ර විරෝධි විදියට ඡන්ද විමසීමට යන්නේ කියන එකයි?


• පිළිතුර - ඒක තමයි මම කිව්වේ. බහුතරය තීරණය කළොත් ස්ථාවර නියෝග අත්හිටුවලා ඡන්ද විමසීමකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කියන විදියට යන්න පුළුවන්. නමුත් පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය බලන්න. තක්කඩි මගෝඩි විදියටනේ හැසිරෙන්නේ. කතානායකවරයට සලකන විදිය බලන්න. බෝතල්වලින් ගහනවා. කුණු බක්කිවලින් ගහනවා. එහෙම හැසිරුණු නිසා තමයි කථානායකතුමාට ඒ වගේ තීන්දුවකට යන්න වුණේ. විනයක් තියාගෙන සංවරව හැසිරුණා නම් එතැන කිසිම ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ. එහෙම නම් ඔය ඔබ කියන විදියට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ඡන්දය තියන්න පුළුවන්. නමුත් බහුතරය නැති බව දන්න නිසා ඔය විදියේ වියරු ත්‍රස්ත හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නේ. දේශපාලනඥයන් හැටියට අපිටත් ලැජ්ජයි. අපිත් ජාතික ඇඳුම ඇඳගෙන තමයි පාර්ලිමේන්තුවට යන්නේ. ඒත් ජාතික ඇඳුම ඇඳගෙන පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය දැක්කාම ලොකු කම්පාවක් ඇති වුණා. රටේ උත්තරීතරම ආයතනයනේ මේ. ඔහොම තිරිසන්නු වගේ හැසිරුණාම ජාත්‍යන්තරය අපේ රට ගැන කොහොමද හිතන්නේ. මේක ජාත්‍යන්තරවත් අපේ රටට ප්‍රබල ලෙස බලපානවා.


• ප්‍රශ්නය - අපි මේ කතා කරන මොහොත වනවිටත් පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයක් විදියට වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ අගමැති මහින්ද රාජපක්ෂට?


• පිළිතුර - ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පක්ෂ නායකයන්ගේ රැස්වීමක් තිබුණා. ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයෙක් කිව්වා “ඔයගොල්ලන්ට පුළුවන් නම් අත්සන් 113ක් පෙන්වන්න” කියලා. අපි ඒ අභියෝගය බාරගත්තා. අපි කිව්වා හෙට උදේ 10 වෙනකොට අත්සන් 113 පෙන්වන්නම් කියලා. නමුත් ඒකත් මගඇරියා.


• ප්‍රශ්නය - කවුද මගඇරියේ?


• පිළිතුර - ජනාධිපතිතුමා කිව්වා “නෑ නෑ ඒක එහෙම කරන්න බෑ. ඒක කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේදී” කියලා. එහෙම කියලා හෙමින් සීරුවේ මගඇරියා. මුළු රටම දන්නවා බහුතරය තියෙන්නේ අපිට කියලා. 29 වැනිදා ආපහු ඡන්දයකට යයි කියල මම හිතනවා. ඒ අවස්ථාවේදීත් අපි අපේ බහුතරය පෙන්වනවා. එතැනදී මහින්ද රාජපක්ෂ මැතිතුමා හිරවෙනවා. පරාජය භාරගෙන එක්සත් ජාතික පෙරමුණු ආණ්‍ඩුවට ඉඩ දෙන්න ඒ අයට සිදු වෙනවා.


• ප්‍රශ්නය - දෙමළ සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් ‘අපේ’ කියලා හිතාගෙන තමයි එජාපය ගණන් හදන්නේ?


• පිළිතුර - ඔව්. ඔවුන් අත්සන් කරලා තියෙනවනේ. එතැන අත්සන් 126ක්ම තියෙනවා.


• ප්‍රශ්නය - ඒ අත්සන් කළේ‍ පාර්ලිමේන්තුව වහා කැඳවන්න කියලා මිසක් රනිල් වික්‍රමසිංහට පක්ෂයි කියලා නොවෙයි?


• පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ සන්ධානයත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධියි, ව්‍යවස්ථා විරෝධියි කියලා පිළිගන්නවා. ඒක තමයි බහුතරය. ඒ 126න් 113 පෙන්වන්න අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.


• ප්‍රශ්නය - ඇයි අගමැති මහින්දගෙන් බහුතරයම ඉල්ලන්නේ. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිකම භාර ගත්තේ මන්ත්‍රීවරුන් 41ක් තියාගෙන?


• පිළිතුර - ඔය ඔබ කියන කතාව නිවැරදි වුණත් පාර්ලිමේන්තුවේ දැන් තියන තත්ත්වයට ඒක සමාන කරන්න බැහැ. මොකද 2015 ජනාධිපතිවරණයේදී ජනවරම ඉල්ලුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්නත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්නත්. ඒකට ජනවරම ලැබුණා.


• ප්‍රශ්නය - බොහෝ දෙනකුගේ මතය තමයි මේ අර්බුදයට හොඳම විසඳුම මැතිවරණයකට යාම කියලා. ඔබේ ස්ථාවරය?


• පිළිතුර - අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. මහ මැතිවරණයකට යන්න අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි කිව්වා මහ මැතිවරණයයි ජනාධිපතිවරණයයි දෙකම එක වර තියන්න කියලා. ඒ වගේම මෙතැන ව්‍යවස්ථා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒවා නිවැරැදි විය යුතුයි. ඒවා නිවැරැදි කරගෙන මැතිවරණයකට යායුතුයි. අනීතික ආණ්ඩුවක් එක්ක හොර ආණ්ඩුවක් එක්ක මොන මැතිවරණද? පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දයක් තියන්න දෙන්නේ නැත්නම් එළියේ කොහොම ඡන්දයක් තියයිද? හොර අනීතික ආණ්‍ඩුව වෙනස් කරලා නීත්‍යනුකූල ආණ්‍ඩුවක් යටතේ මැතිවරණයකට යා යුතුයි. මොන මැතිවරණයක් ආවත් අපි සූදානම්.


• ප්‍රශ්නය - මේ අර්බුදය සමගම එක්සත් ජාතික පක්ෂය ඇතුළේ හඬක් ආවා ‘පක්ෂ නායකත්වය සජීත්ට දිය යුතුයි’ කියලා?


• පිළිතුර - ඒක හරි. සජිත් ප්‍රේමදාස මැතිතුමා තරුණ නායකයෙක් හැටියට වේගයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා. රටේ මතයක් තියෙනවා එතුමාට නිසි තැන ලබාදිය යුතුයි කියලා. අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වසර 23ක් පක්ෂයට නායකත්වය දීලා තියෙනවා. එතුමත් හොඳ පරිණත නායකයෙක්. පක්ෂයට විශාල සේවයක් කරපු නායකයෙක්. රනිල් - සජිත් නායකයන් දෙන්නම එකට එකතුවීමෙන් තමයි පක්ෂයට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉදිරි මැතිවරණයේදී පක්ෂය තීරණය කරයි කවුද නායකයා කියලා. සුදුසුම නායකයත් එක්ක අපිට මැතිවරණයට යන්න පුළුවන්.


• ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී කිව්වා රනිල් හැර යූඑන්පීයේ වෙන ඕනෑම කෙනෙකුට අගමැතිකම දෙන්න සූදානම් කියලා?


• පිළිතුර - දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඇත්තටම එහෙම අවශ්‍යතාවක් තිබුණානම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක වැඩ කරන්න බැහැ කියලා, එහෙම නම් එතුමාට යුතුකමක් තිබුණා අපේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගන්න. එතුමා පක්ෂයත් එක්කයි කටයුතු කළයුතු වන්නේ. ඒ වගේම මෙතැන එක්සත් ජාතික පක්ෂය විතරක් නොවෙයිනේ, තව පක්ෂ රාශියක් තියෙනවා. අපි එක්සත් ජාතික පෙරමුණක්. ඒ වගේම ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්. ඒ නිසා අනික් පක්ෂ නායකයන් එක්කත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න තිබුණා.


• ප්‍රශ්නය - සජිත් හා කරු එක්ක සාකච්ඡා කළා කියලා ජනාධිපතිවරයා කිව්වා?


• පිළිතුර - එහෙම වෙන වෙනම එන්න කියලා අගමැතිකම දෙන්න කතා කළානම් එතැන එහෙනම් සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්නේ දියත් කරලා තියෙන්නේ.

කුමන්ත්‍රණවලින් අලුත් ජයග්‍රහණ ගන්න බෑ. අපේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමයි, අනෙක් පක්ෂ නායකයෝයි එක්ක විධිමත්ව සාකච්ඡා කළා නම් ඉතාම හොඳ විසඳුමකට එන්න තිබුණා.


• ප්‍රශ්නය - ආණ්‍ඩුවෙන් පසුගිය වසර තුන හමාරටම රටට දැනෙන වැඩක් කෙරුණෙත් නෑ?


• පිළිතුර - මෙහෙමයි. අපි අවුරුදු තුනක් තිස්සේ මේ ජාතික ආණ්‍ඩුවේ වැඩ කරගෙන යනකොට විවිධ අභියෝගවලට අපිට මුහුණ දෙන්න වුණා. රට තිබුණේ ණය උගුලක. ජාතික ආණ්ඩුවක් හැටියට පක්ෂ දෙකේ මතිමතාන්තර අතර තියෙන වෙනස්කම් සමනය කරගෙන අපි වැඩ කරන්න පුළුවන් තැනකට ආවා. ගමට සංවර්ධනය ගෙනියන්න අපි ආරම්භ කළා අපේ ගම්පෙරළිය වැඩසටහන. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නානම් මේ රට කෙටි කාලයක් තුළ වැඩියෙන්ම සංවර්ධනය කරපු ආණ්ඩුව හැටියට අපේ ආණ්ඩුව ඉතිහාසයට එක්වෙනවා. ඒ ගමන ආරම්භ කරනවාත් සමගම තමයි ජනාධිපතිතුමා මේ ප්‍රජාතන්ත්‍රවිරෝධි, ව්‍යවස්ථා විරෝධි පියවරට අවතීර්ණ වුණේ. ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි අයවැයෙන් ඉතා ඉහළ සහන දෙන්න වැඩපිළිවෙළක් හදලා තිබුණේ. මේ සියල්ලම එකට ක්‍රියාත්මක කරන්න හදනකොටම තමයි ජනාධිපතිවරයා කකුලෙන් ඇද්දේ. රටට, ජනතාවට තමයි මේ අලාභය සිද්ධ වුණේ. ජනතාවගෙන් තමයි මේ පළිගත්තේ. ජාත්‍යන්තර වශයෙන් බැලුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබෙන්න තිබුණ මුදල නතර කරලා. ඇමෙරිකාව අපට මුදල් දෙන්න පොරොන්දු වෙලා හිටියේ. ඒකත් නතර කළා. මෙහෙම ගියොත් අපට නම් පේන්නේ රට ජාත්‍යන්තරය තුළ කොන්වෙයි කියලයි. එහෙම ගමනකට තමයි මේ අවතීර්ණ වෙලා තියෙන්නේ. අද රුපියල ඩොලරයට සාපේක්ෂව කීයද? ඔක්තෝබර් 26 වැනිදාට කලින් ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කළා. දැන් නිශ්ශබ්දයි. ඒත් මේ ආර්ථික කඩාවැටීම රටට ඉතාම අහිතකරයි. දැවැන්ත ආර්ථික අර්බුදයකට තමයි ​අපි මේ ගමන් කරමින් ඉන්නේ. මේ බල අරගලයෙන් පීඩාවට පත් වෙන්නේ ජනතාවයි.


• ප්‍රශ්නය - ජනාධිපතිවරයා එක්ක අතරමග සමාදානයක් ඇතිකර ගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද?


• පිළිතුර - මම හිතන්නේ එහෙම අවස්ථා තියෙනවා. රටකට මෙහෙම දිගින් දිගටම යන්න බෑ. ජනාධිපතිතුමත් එක පැත්තකින් බලාපොරොත්තු වුණා අපේ පක්ෂය මේ වෙලාවේ දෙකට කඩන්න. නමුත් එහෙම වුණේ නෑ. අපි පක්ෂයක් විදියට සමගි වුණා. එකමුතු වුණා. අනික් පක්ෂත් අපිත් එක්ක එකතු වුණා. රටේ ජනාධිපතිවරයාටත් අනීතික ආණ්ඩුවටත් එරෙහිව දැවැන්ත මතයක් ගොඩනැගිලා තියෙනවා. මහින්ද මහත්තයා මේ ආණ්ඩුව ගත්තේ පස්ස දොරින් ඇවිත් කියලා සිහිබුද්ධිය තියෙන ඕනෑම කෙනෙක් පිළිගන්නවා. මම ඇත්තටම කනගාටුවෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ රටේ මිනිසුන්ගේ ගෞරවය හා ආදරය දිනාගත්ත නායකයෙක්. ඒත් ඒ ප්‍රතිරූපය දැන් සුනුවිසුනු වෙලා ඉවරයි. ඇත්තටම මම හිතනවා මහින්ද රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහයි දෙන්නවම විනාශ කරන්න ද ජනාධිපතිවරයා මේ පියවර ගත්තේ කියලා. මේ සියලු තත්ත්වයන් තේරුම් අරගෙන කරපු වැරැද්ද නිවැරැදි කරන්න ජනාධිපතිවරයා කටයුතු කරයි කියලා මම හිතනවා. ඒවගේම පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙ බාරකරුවන් සිටින ආයතනයයි. නමුත් ඔබ දන්නවා ඇතැම් පිරිස් එතැන හැසිරුණු ආකාරය. ඉතාම නිර්ලජ්ජිතයි. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මැරයන්, මුදලට පක්ෂයත් ප්‍රතිපත්තිත් පාවාදෙන පුද්ගලයන් මේ උත්තරීතර ආයතනයට එවන්න එපා කියලා.

 

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්