බහුතරය ඉන්න කණ්ඩායමෙන් අගමැති කෙනෙක් පත් කළා නම් ප්‍රශ්නය ඉවරයි


රටේ මොකද වෙන්නේ? රටේ සිදුවිය යුත්තේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි. 

එක්සත් ජාතික පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   

ලක්ෂ්මන් කිරිඇල්ල

 

• ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය සමග එක්ව රට අස්ථාවර කරන බවට චෝදනාවක් තියෙනවා?   


පිළිතුර:- නෑ ඒක වැරදියි. රට අස්ථාවර කළේ ජනාධිපතිතුමා. අද වුණත් බහුතරයට ගරු කරලා බහුතරයේ කැමැත්ත තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධුරය දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි. ප්‍රශ්නය ඇති කළේ ජනාධිපතිතුමා. එතුමා අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් කරන්නේ නැතිව එතුමා පත් කරන්න නායකත්වය දීපු කඳවුරේ නායකයා ඉවත් කරලා එතුමා විසින්ම පරාජය කරපු පුද්ගලයාට අගමැතිකම දුන්නා. ඒක අපි ඇති කරපු දෙයක් නොවෙයි.   


• ප්‍රශ්නය:-කොහොම වුණත් ජනාධිපති මෛත්‍රී කියන කතා දිහා බැලුවම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහත් එක්ක බරපතළ ප්‍රතිවිරෝධයක් තියෙනවා?   


පිළිතුර:- ඉතින් එතුමා අපිත් එක්ක කතා කරන්න එපැයි. මං මීට කලිනුත් ඔබේ පත්තරයට කියලා තියෙනවා කැබිනට් එක රැස්වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එතුමා තමයි කැබිනට් එකේ මූලස්ථානය ගන්නේ. ඉතින් මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමට කියන්න තිබුණා. අපේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට කියන්න තිබුණා. එහෙම මුකුත් කිව්වේ නෑ. අපියි දෙමළ ජාතික සන්ධානයයි ජනතා විමුක්ති පෙරමුණයි තමයි දිගින් දිගටම එතුමට සහයෝගය දුන්නේ. අපිට කියන්න තිබුණා. ‘මට රනිල් වික්‍රමසිංහත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා.’ කියලා කියන්න තිබුණා. නමුත් එහෙම කිව්වේ නැහැනේ. කිසිම ඉඟියක් කළේ නෑ.   


• ප්‍රශ්නය:-රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරලා මහින්ද රාජපක්ෂ පත් කළාම ඔබලා අධිකරණයට ගියේ නෑ. කථානායකවරයත් ඒක පිළිගත්තා. නමුත් ඔබලා පසුව අධිකරණයට ගියා...?   

පිළිතුර:- ඔව්. අපි පසුව අධිකරණයට ගියේ රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු සම්ප්‍රද‌‌ාය අනුව අගමැතිකම පත් කරන කෙනාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රද‌ාය. මොකද අපි බැඳී සිටිනවා විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රද‌ායන් පිළිපදින්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනතක්. ඒකේ තියෙනවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රද‌ායන් රැකිය යුතුයි කියලා. ඒක නීතියක්. ඒ නිසා බහුතරය පෙන්විය යුතුයි. අනික් එක ඡන්දයකින් තේරී පත්වෙච්ච කෙනෙක් නම් කමක් නෑ. 2015 ජනාධිපතිවරණයේදී අපි කිව්වා ‘මෛත්‍රී ජනාධිපති රනිල් අගමැති කියලා.’ ඒක අපි හැම වේදිකාවකම කිව්වා. ඒකට තමයි ජනවරම ලැබුණේ. නමුත් මහින්දට එහෙම ජනවරමක් නැහැ. එහෙම ජනවරමක් නැති කෙනෙක් පත් වුණාම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය යුතුයි. මට මතකයි 1990 ගණන් වලදී ඉන්දියාවේ අවුරුදු හතරකට පහකට අගමැතිවරුන් හය දෙනෙක් හිටියා. සභාග ආණ්ඩු ආවේ. ඒවා මාස තුනෙන් වැටුණා. එතකොට අලුත් සභාග ආණ්ඩුවක් එනවා. දේව් ගවුඩා කියන අගමැතිතුමා හිටියේ සුමාන දෙකයි. එයා පත් වුණා. බහුතරය පෙන්වන්න බැරිවුණා. සති දෙකෙන් ගෙදර ගියා. එහෙම බලනකොට මහින්ද රාජපක්ෂ මුහුණ දීලා ඉන්නේ අලුත් තත්ත්වයකට නොවෙයි.   


• ප්‍රශ්නය:-ඔබ මහින්ද රාජපක්ෂගෙන් බහුතරය ඉල්ලනවා. නමුත් ඔහුට බහුතරය පෙන්වන්න අවස්ථාවක් දුන්නේ නැහැනේ?   


පිළිතුර:- ආණ්ඩුව තමන් කියලා කියන අයනේ බහුතරය පෙන්විය යුත්තේ. කථානායකතුමා එතුමාට කිව්වා බහුතරය පෙන්වන්න කියලා. නමුත් එදා බහුතරය පෙන්වන්නේ නැතිව ඡන්දෙට යන එක වැළැක්වුවා. හැමද‌ාම කළේ ඒකනේ. අදත් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ආණ්ඩුව අපියි කියලා කියාගන්නා අය දැන් මාසෙකටත් වැඩියි එක දවසක්වත් පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දයකට මුහුණ දුන්නේ නෑ. එක්කෝ පාර්ලිමේන්තුවේ කලබල කරනවා. නැත්නම් පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. එක පනතක් ගෙනල්ලා නෑ. එක නීතියක් සම්මත කරලා නෑ.   


• ප්‍රශ්නය:- අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් ගෙනාවා තමයි. නමුත් ඒවා ගෙනාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසයි කියන චෝදනාව බැහැර කරන්න බෑ.   


පිළිතුර:- විශ්වාසභංග යෝජනා දෙකම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව සම්මත වුණා. අපිට පාර්ලිමේන්තුවට යෝජනා ගේන්න පුළුවන් ක්‍රම දෙකකට. එක ක්‍රමයක් තමයි දවස 5 ක් කල් දීලා ගේන එක. අනික් ක්‍රමය තමයි හදිසි අවස්ථාවකදී ස්ථාවර නියෝග අත්හිටුවලා. යෝජනාවක් ගෙන ඒම.   


• ප්‍රශ්නය:- විශ්වාසභංග යෝජනාවක් එහෙම ගේන එක ප්‍රජාතන්ත්‍රවාදීද?   


පිළිතුර:- අපි එද‌ා ඒක කළේ. ස්ථාවර නියෝග අත්හිටුවලා විශ්වාසභංග යෝජනාව ගෙනාවේ. 13 වැනිදා තමයි නඩු තීන්දුව දුන්නේ. ජනාධිපතිතුමා 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවලා තිබුණා. එතකොට අපිට ආරංචියක් ලැබුණා ජනාධිපතිවරයා 14 වැනිද‌ා රාත්‍රියේ යළිත් පාර්ලිමේන්තු කල් දාන්න සූද‌ානම් වෙනවා කියලා. එතකොට අපිට පැය 24 ක් වගේ කාලයක් තමයි තිබුණේ කරන දෙයක් කරන්න.   


• ප්‍රශ්නය:-අපිට කියලා ඔබ කිව්වත් ඒ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ?   


පිළිතුර:- ඔව්. ඔව්. අපි සාකච්ඡා කරලා තමයි එහෙම කළේ. ඒක හදිසි අවස්ථාවක්.   


• ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ එ්ක ප්‍රජාතන්ත්‍රවාදීද කියලයි?   


පිළිතුර:- ඒක හදිසි අවස්ථාවක් කියලා කිව්වේ ඒකනේ. උද‌ාහරණයක් විදියට අපේ රට ආක්‍රමණය කරන්න එනවා නම් ඒක ගැන පාර්ලිමේන්තුවේ දින පහක් තිස්සේ කතා කර කර ඉන්න පුළුවන්ද? වහාම තීරණයක් ගන්න ඕනෑ. ඒකත් හදිසි අවස්ථාවක්.   


• ප්‍රශ්නය:- ඔබ කිව්වා ස්ථාවර නියෝග අත්හිටුවලා විශ්වාසභංගය ගෙනාවේ එද‌ා රෑ පාර්ලිමේන්තුව කල් ගියයි කියලා ආරංචියක් ආව නිසා කියලයි?   


පිළිතුර:- ඔව්. ඒ ආරංචිය හැම තැනම ගියා. එහෙම මතයක් තිබ්බනේ කල් දායි කියලා.   


• ප්‍රශ්නය:-ඔබලාට හිතෙන ඒවාටත් ස්ථාවර නියෝග අත්හිටුවනවද?   


පිළිතුර:- හිතෙන ඒවම නොවෙයිනේ මනුස්සයෝ. ඒ ආරංචිය හැම තැනම ගියානේ.   


• ප්‍රශ්නය:-නමුත් ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුව කල් තියන්නේ නෑ කියලා.   


පිළිතුර:- ඒ ඊට පස්සේ. ඊට පස්සේ තමයි කිව්වේ.   


• ප්‍රශ්නය:- විපක්ෂයෙ ඉන්න ඔබලාත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියා කරන නිසා නේද ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ?   


පිළිතුර:- කථානායකතුමා විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණා කියලා සහතික කරලා තියෙනවා.  


• ප්‍රශ්නය:-එකක් සම්මත වුණේ කටහඬින්?  


පිළිතුර:- ඔව්. ඒකත් එක ක්‍රමයක් තමයි.  


• ප්‍රශ්නය:-නමුත් එද‌ා පාර්ලිමේන්තුවේ තත්ත්වය මුළු රටම දැක්කා?  


පිළිතුර:- පාර්ලිමේන්තුවේ බහුතරය නැති අය මිරිස් කුඩු ගැහුවා. ඒකයි වුණේ. අනික මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් දැනගන්න ඕනෑ අවුරුදු 27 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට කථානායකතුමා සහතික කළාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයටවත් ඒක ප්‍රශ්න කරන්න බැහැ කියලා. කථානායකතුමාගේ තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණය පිළි අරගෙන තියෙනවා. කථානායකතුමා කිව්ව අගමැතිවරයෙක් නෑ කැබිනට් එකක් නෑ කියලා. අධිකරණය අද අගමැතිතුමාවයි කැබිනට් එකයි තහනම් කරලා තියෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවාලීමේ නියෝගයත් අත්හිටුවලා තියෙනවා. මේ ජනාධිපතිවරයා ගත්ත හැම තීරණයක්ම මේ අධිකරණයෙන් අත්හිටුවලා තියෙනවා.  


• ප්‍රශ්නය:- කථානායකවරයාම කියනවා ‘අගමැතිවරයෙක් නෑ කැබිනට් එකක් නෑ’ කියලා. එහෙනම් කාට විරුද්ධවද දෙවැනි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ?  


 පිළිතුර:- මේ පත්වෙච්ච කණ්ඩායම ව්‍යවස්ථාවට පටහැණිවයි පත් කරන්නේ. 48 වැනි වගන්තිය අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණාම අගමැතිවරයයි කැබිනට් එකයි අහෝසියි. අමාත්‍යාංශ ලේකම්වරුන් අහෝසියි. අද අමාත්‍යාංශවල ලේකම්ලා නෑ.  


• ප්‍රශ්නය:- විපක්ෂයේ ඉන්න ඔබලා කොහොමද විවිධ යෝජනා සම්මත කරගන්නේ? අගමැතිගේ වැය ශීර්ෂය කපලා ද‌ාන්න ඔබලා යෝජනා සම්මත කරගත්තා.  


පිළිතුර:- ආණ්ඩුව තමන් කියලා කියාගන්න අය එහෙනම් ඒවා පාර්ලිමේන්තුවට ඇවිත් ඉදිරිපත් කරන්න ඕනෑ. ආණ්ඩුව තමන් කියලා කියන අය පාර්ලිමේන්තුවට එන්න එපැයි.  


• ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ඔබලා සම්මත කරගන්න යෝජනා නීත්‍යනුකූලද කියලයි?  


පිළිතුර:- පැහැදිලිවම ඔව්. අධිකරණ තීන්දු ගණනාවක් දීලා තියෙනවා. ඇමැතිවරුන්ගේ නීති විරෝධී නියෝග අමාත්‍යාංශ ලේකම්ල පිළිගත්තොත් නිලධාරින් පිළිගත්තොත් ඒ අයට පෞද්ගලිකව වන්දි ගෙවන්න වෙනවා. ජනාධිපතිවරයාගේ නීති විරෝධී නියෝග ලේකම්ලා පිළිපැද්දොත් ඒ අයට පෞද්ගලිකව වන්දි ගෙවන්න වෙනවා. දන්නවනේ හිටපු ජනාධිපති ලේකම් කෙනෙකුත් හිරේ ගියා.  


• ප්‍රශ්නය:- විපක්ෂයේ ඉන්න ඔබලාට ඕනෑ රටේ නැති අවුලක් හදන්නයි?  


පිළිතුර:- නෑ එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ. එකම දෙයයි තියෙන්නේ. බහුතරය තියෙන්නේ අපිට. බහුතරය ඉන්න කණ්ඩායමෙන් අගමැති කෙනෙක් පත් කළා නම් ප්‍රශ්නය ඉවරයි.  

 

ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු සම්ප්‍රද‌‌ාය අනුව අගමැතිකම පත් කරන කෙනාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රද‌ාය. මොකද අපි බැඳී සිටිනවා විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රද‌ායන් පිළිපදින්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනතක්. ඒකේ තියෙනවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රද‌ායන් රැකිය යුතුයි කියලා. ඒක නීතියක්. ඒ නිසා බහුතරය පෙන්විය යුතුයි.


• ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී කියනවා ‘පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කරලා දුන්නත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ’ කියලා?  


පිළිතුර:- ඒකත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්නේ. ඒ කතාවම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. දැන් 19 වැනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ. 225 ම කිව්වත් පත් කරන්නේ නෑ කිව්වම කාවද එයා පත් කරන්නේ?  


• ප්‍රශ්නය:-ඔය ඔබ කියන ව්‍යවස්ථාවට අනුව අගමැති ධුරයට පත්වෙන්නේ ජනාධිපතිවරයාගේ අභිමතානුසාරි පුද්ගලයා.   


පිළිතුර:- ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනාධිපතිවරයට පුළුවන් අගමැතිවරයෙක් පත් කරන්න. එයාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබිය යුතුයි. අපි එතුමා හමුවුණාම එතුමා කිව්වනේ ‘මට ගැළපෙන මට කියන දේ අහන මාත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඕනෑ.’ කියලා. ඒවා ව්‍යවස්ථාවේ නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය තමයි වැදගත්.  


• ප්‍රශ්නය:-ඉතින් ඔබලාට පුළුවන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් කෙනෙක් නම් කරන්න. මේ අර්බුදය විනාඩි පහෙන් අවසන්.  


පිළිතුර:- එහෙම වෙන කෙනෙක් ගැන අපි හිතලවත් නෑ. තව පුද්ගලයෙක් ගැන හිතන්න කලින් එයාට බහුතරය තියෙනවද කියලා බලන්න එපැයි.  


• ප්‍රශ්නය:-දැන් ඔබලාට බහුතරය තියෙනවා කියල කියනවනේ?  


පිළිතුර:- ඔව්. අපිට තමයි බහුතරය තියෙන්නේ.  


• ප්‍රශ්නය:- ඉතින් එහෙම නම් ප්‍රශ්නයක් නෑනේ. ඔබේ කඳවුරේ කෙනෙක් නම් කරන්න පුළුවන්නේ. ඔබට වුණත් ඉදිරිපත් වෙන්න පුළුවන්.  


 පිළිතුර:- දැන් මෙතැන තියෙන ප්‍රශ්නය එද‌ා අපි ජනාධිපතිතුමා හමුවෙන්න ගියාම සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා ඉතා පැහැදිලිවම කිව්වා. එද‌ා එතුමා තමයි අපේ කණ්ඩායමේ නායකත්වය ගත්තේ. එතුමා පැහැදිලිව කිව්වා එතුමාගේත් අනිත් සියලු දෙනාගෙම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා’ කියලා.  


• ප්‍රශ්නය:-රනිල් වික්‍රමසිංහට දෙවරක්ම අගමැතිකම රැකගන්න බැරි වුණා. ඔහු අසමත් කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- අපි මේ සටන් කරන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නොවෙයි. අපි මේ සටන් කරන්නේ අනාගත පරම්පරාවට වැරදි පූර්වාදර්ශයක් වීම වැළැක්වීමටයි. අපි බහුතරයක් නැති පුද්ගලයෙක් පත් කරනවා. අපි හිතමු දැන් අපි කාව හරි තෝරා ගත්තා කියලා. රනිල් වික්‍රමසිංහ වෙනුවට. එතකොට ඉදිරියේදී පත්වෙන ජනාධිපතිවරයකු පුළුවන් බහුතරය තියෙන කෙනා ගණන් ගන්නේ නැතිව බහුතරය නැති කෙනෙක් පත් කරන්න. එතකොට අද මේ දේ වුණොත් ඒක වැරදි පූර්වාදර්ශයක්නේ. අපි අනාගත පරම්පරාවට මොනවද ඉතිරි කරලා යන්නේ.  


• ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කියනවා නම් ‘රනිල් වික්‍රමසිංහ එක්ක වැඩ කරන්න බැහැ. එයා රට කෑවා. පක්ෂය කෑවා අන්තිමට මාවත් කෑවා’ කියලා.  


පිළිතුර:- එහෙම කිව්වට ඒවා පෞද්ගලික දේවල්.  


• ප්‍රශ්නය:- නෑ නෑ ජනාධිපතිවරයා කියන්නේ ප්‍රතිපත්තිමය කරණා?  


පිළිතුර:- මොන ප්‍රතිපත්තිමය කාරණාද? මේවා පෞද්ගලික ප්‍රශ්න. මට ගැලපෙන, මාත් එක්ක වැඩකරන්න පුළුවන්. මං කැමැති ඒවා පෞද්ගලික ප්‍රශ්නනේ.  


• ප්‍රශ්නය:-නමුත් ජනාධිපතිවරයා කියන්නේ ‘රනිල්ගේ අන්ත දක්ෂිණාංශික නව ලිබරල් ප්‍රතිපත්ති මේ රටට ගැළපෙන්නේ නෑ’ කියලයි.  


පිළිතුර:- වැඩපිළිවෙළ සාකච්ඡා කළානේ 2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී. අපි පොදු වැඩපිළිවෙළකට ආවනේ. ඒ වැඩ පිළිවෙළ තමයි ක්‍රියාත්මක කළේ.  


• ප්‍රශ්නය:-ඒ පොදු වැඩපිළිවෙළින් රනිල් පිට පැන්නා කියලා තමයි ජනාධිපතිවරයා කියන්නේ?  


පිළිතුර:- එතුමා එහෙම කිව්වට එතුමනේ කැබිනට් එකේ මූලාසනයේ හිටියේ.  


• ප්‍රශ්නය:- අඩුම තරමින් විද්‍යාත්මකව කැබිනට් මණ්ඩලයක්වත් හද‌ාගන්න දුන්නේ නෑ කියලා ජනාධිපති මෛත්‍රී කිව්වා?   


පිළිතුර:- පොඩි ළමයි කියන කතානේ. තමන්මනේ හෑල්ලු වෙන්නේ. එතුමා තමයි කැබිනට් එකේ මූලාසනයේ හිටියේ. එතුමා කවද‌ාවත් කැබිනට් පත්‍රිකා වීසි කරලා නෑ.  


• ප්‍රශ්නය:-නමුත් කැබිනට් රැස්වීම් බොහොම උණුසුම් වුණා.  


පිළිතුර:- ඔව්. ඔව්. උණුසුම් වුණා. සමහර කැබිනට් පත්‍රිකා ගැන ප්‍රශ්න කළා. නමුත් යෝජනා සියයක් ඉදිරිපත් කළා නම් අනූ නවයකට එතුමා එකඟ වුණා. කිසිම ඇමැතිවරයකුගේ කැබිනට් යෝජනාවකට එතුමා විරුද්ධ වුණේ නෑ. මම මහා මාර්ග ඇමැති විදියට ඉන්න කාලේ හැම තීරණයක්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තමයි සිද්ධ වුණේ.  


• ප්‍රශ්නය:-ප්‍රශ්නය අරගෙන ජනතාව ඉදිරියට යන්නේ නැතිව ඇයි තානාපති කාර්යාල ඉදිරිපිට දණින් වැටෙන්නේ?  


පිළිතුර:- දණින් වැටෙන්නේ නෑ. අපි ශිෂ්ට රටක් හැටියට ජාත්‍යන්තර සම්මුතීන්වලට අපි යටත්. අද ජාත්‍යන්තර ප්‍රජාව අපේ රටට සහයෝගය දෙන්නේ ජාත්‍යන්තර සම්මුතීන් රකින ආකාරය අනුවයි. කාලයක් අපිට යුරෝපා සංගමයෙන් ජී.එස්.පී සහනය නැති කරලා තිබුණා. පසුව යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි යම් යම් තීන්දු ගත්ත නිසා ජී.එස්.පී. සහනය යළිත් ලැබුණා. අද අපේ රටේ අපනයනයෙන් සියයට 60 ක් යන්නේ යුරෝපයට. වෙන කොහේටවත් නොවෙයි. චීනයට නොවෙයි. ඉතින් ඒ රටවල් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවදය ආරක්ෂා කරනවද කියලා විමසිල්ලෙන් ඉන්නේ. අපි බැඳිලා ඉන්නේ එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන්න අපි බැඳිලා ඉන්නවා.  


• ප්‍රශ්නය:-අපි ස්වාධීන රටක්. නමුත් ඔබලාගේ ක්‍රියාමාර්ග නිසා අපේ රටේ අභ්‍යන්තරයට අත පොවන්න පිටරටවල්වලට හැකි වෙනවා.  


පිළිතුර:- මම ඒකයි කිව්වේ. අපේ රට දිහා ලෝකය බලාගෙන ඉන්නවා. මේ තත්ත්වය ඇති කළේ අපි නොවෙයි. ජනාධිපතිවරයා ගත්ත තීරණ තුන් පාරක්ම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවලා තියෙනවා. ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා තියෙනවා. විසුරුවාහරින්න බලයක් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙනවා. කතානායකවරයාගේ නියමය පිළිගන්නේ නැතිව හිටියා. 225 ක් ඉල්ලුවත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නෑ කියනවා. ඒකත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.  


• ප්‍රශ්නය:- විපක්ෂය හැටියට ඔබලාත් ජවිපෙත් කියනවා ‘අධිකරණමය ජයග්‍රහණයක් ලැබුවා.’ කියලා. නමුත් අධිකරණය කරලා තියෙන්නේ තාවකාලිකව අත්හිටුවීමක්?  


පිළිතුර:- තාවකාලිකව කියන්නේ ඒ අයට ක්‍රියාත්මක වෙන්න බෑ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටෙව්වා. කැබිනට් මණ්ඩලය අත්හිටෙව්වා. නඩු අහලා නිවැරදිව තීන්දුව දෙයි.  


• ප්‍රශ්නය:- ඇයි බය මැතිවරණයට එන්න?  


පිළිතුර:- අපි බයත් නෑ. අකමැතිත් නෑ. අපි කියන්නේ නීත්‍යනුකූල ආණ්ඩුවක් යටතේ මැතිවරණයකට යමු කියලයි. මේක මේ හොර රහසේ පික්පොකට් ගහපු ආණ්ඩුවක්නේ.  


• ප්‍රශ්නය:-ඔබලා ගේන්නෙම නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් අවශ්‍යයි කියන වර්ගයේ යෝජනා?  


පිළිතුර:- නෑ. නෑ. අපි කියන්නේ ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි දෙකම එකට ගේන්න කියලා.  


• ප්‍රශ්නය:-යූඑන්පිය මැතිවරණයකට යන්න භය නැත්නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න පුළුවන් ‘පාර්ලිමේන්තුව විසුරුවා හරින්න’ කියලා.  


පිළිතුර:- ඔව්. නීත්‍යනුකූල ආණ්ඩුවක් යටතේ අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. මේක නීති විරෝධී ආණ්ඩුවක්. ඒක පාර්ලිමේන්තුව ඇතුළෙත් ඔප්පු වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙත් ඔප්පු වෙලා තියෙනවා.  


• ප්‍රශ්නය:- භාරකාර ආණ්ඩුවක් ගැන යෝජනා නොකරන්නේ ඇයි?  


පිළිතුර:- ඒකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ. බංග්ලාදේශයේ එහෙම මැතිවරණයක් එනකොට අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් භාරකාර ආණ්ඩුවක් තමයි රට පාලනය කරන්නේ.  


• ප්‍රශ්නය:-ජනාධිපති මෛත්‍රී කිව්වා ‘තව සතියකින් මේ වියවුල විසඳනවා’ කියලා?  


පිළිතුර:- මං දන් නෑ ඒකෙන් මොනවා අදහස් කරනවද කියලා.  


• ප්‍රශ්නය:-- ඔබට හිතෙන විදියට තියෙන විසඳුම?  


පිළිතුර:- අධිකරණය තමයි. අපි අධිකරණය ස්වාධීන කරලා තියෙන්නේ. ඒ ස්වාධීන අධිකරණයෙන් ඉතාම නිවැරදිම තීන්දුව ලැබෙයි.

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්