පෙස්සම් දැම්මේ කවුද කියල ​ඔප්පු වුණානෙ


මැතිවරණය පිළිබඳ උණුසුම් කතාබහක් රටපුරා පැතිරෙන මොහොතේ ඒ පිළිබඳ මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගෙනි.  


පළාත් පාලන මැතිවරණය තමයි මේ දවස්වල ප්‍රධාන මාතෘකාව?  
ජනතා විමුක්ති පෙරමුණ නම් ඡන්දෙට කල්තියාම සූදානම් වෙලා හිටියේ. කාලයක් කල් ගිය ඡන්දෙ, ඡන්ද ක්‍රමයේ තිබුණු අඩුපාඩු මඟඇරලා හදාගන්නත් අපි උත්සාහ කළා. බොහෝ දෙනාගේ මැදිහත්වීම උඩ අලුත් ඡන්ද ක්‍රමයක් එක්ක ඡන්දෙ පවත්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒත් එහෙම ඡන්දෙ තියන්න හදනකොටම තමයි ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පෙත්සම් ඉදිරිපත් කරලා ඡන්දෙ කල් දාගන්න උත්සාහ කළේ. ඒත් ඒ ප්‍රශ්නෙ මේ වෙනකොට සමතයකට පත්වෙලා තියෙනවා. රටේම ඡන්දය පැවැත්වීමේ වුවමනාවක් තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා රට පුරා අපි බලවේග ගොඩනැඟුවා.  


මේ පෙත්සම් ඉදිරිපත් කළේ ආණ්ඩුවට සම්බන්ධ අය කියලා ඔබ කිව්වට ආණ්‍ඩුවෙ අය ඒක ප්‍රතික්ෂේප කරනවා.  
ආණ්ඩුවට මේකෙන් ගැලවෙන්න බෑ. රටම දැන් දන්නව ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයක් තමයි මේ වැඩේට හවුල් වුණේ කියලා. මේක ඉල්ලා අස්කර ගැනීමේ ක්‍රියාවලිය දිහා බැලුවත් ඒක පැහැදිලි වෙනවා. මේ අය බලාපොරොත්තු වුණේ පෙත්සම් දාලා මුළු ඡන්දෙම කල්දාන්න. එහෙම මුළු ඡන්දෙම කල්දාන්න අවශ්‍යතාවයක් නැති තත්ත්වයක් තුළ තමයි ඒ අයට සිද්ධ වුණේ පෙත්සම් ටික ඉල්ලා අස්කරගෙන ඡන්දෙකට ඉඩ සලසන්න. ඒක නිසා දැන් හරිම පැහැදිලියි කවුද මේක පිටිපස්සෙ ඉන්නේ කාගෙ වුවමනාවට ද මේක වුණේ‍ කියලා. ඒකට හේතුවකුත් තියෙනවා.

මොකද ඔය වැඩේ පිටිපස්සෙ ඉඳපු අයගෙ පක්ෂේ මේ වෙනකොට දෙකඩවෙලා තියෙන්නේ. ඒ අයට පක්ෂය සමගි කරගන්න බැරිවෙලා තියෙනවා. කොහොම ඡන්දෙ ඉල්ලුවත් දෙගොල්ලොම පරදිනවා කියලත් ඒ අය දන්නවා. මේ තත්ත්වය උඩ ඡන්දය කල්දාගන්න තමයි ඒ අයට ඕන වුණේ. ඒ කාලය තුළ දෙගොල්ලො එකතුවෙන්න තමයි උත්සාහ කරන්නේ. ආණ්ඩුවෙ පාර්ශ්වවල ඒ උත්සාහය පරාජය කරන්න අපිට පුළුවන් වුණා. ඒක රට ලබපු ජයග්‍රහණයක්. ඒක අපේ ජයග්‍රහණයක් වෙන්න නම් පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක බලය මේ දූෂිත පක්ෂවලට නොදී ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්න ඕනෑ. ඒක නැවතත් ජනතාව ලබන ජයග්‍රහණයක්. මොකද මේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු ගණනාවක් පුරා මේ පළාත් පාලන ආයතන පාලනය කරල ඒ අයගෙ ආසාර්ථකත්වය පෙන්නල තියෙන්නේ. ජනතාව ඉදිරි ඡන්දයේදී මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න ඕනෑ.  


සමහර පක්ෂ දැනටමත් ඇප බඳින වැඩත් පටන් අරන්. ජවිපෙ තත්ත්වය කොහොමද?  
මැතිවරණය පැවැත්වෙන විදිහ නොදන්න අය තමයි මේ කලබලයට පත්වෙලා ඕවට දැනටමත් දුවන්නේ. මේ මැතිවරණයේදී ඇප තැන්පත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂයක ලේකම්වරයාට හෝ පක්ෂයක් විසින් ඒ සඳහා පත් කරපු බලයලත් නිලධාරියාට.  


ස්වාධීන කණ්ඩායමක නම් කණ්ඩායම් නායකයට. මේ ඇප තැන්පත් කරන්න බලය තියෙන අය ඇරෙන්න වෙන ඕනෑම කෙනෙක් කරන ඇප තැන්පත් කිරීමක් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඡන්ද ක්‍රමය ගැන හරි අවබෝධයක් නැතිකම සහ අනවශ්‍ය කලබලය උඩ එක එක්කෙනා දැනටමත් ඇප තැන්පත් කළාට අපිට එහෙම කලබලයක් නෑ. අපි වෙලාවට කලාවට අවශ්‍ය දේවල් කරනවා. මේ බොරුවට කලබල වෙන අය ඡන්ද නීතියවත් හරිහැටි නොදැන තමයි ඡන්දෙට යන්නේ. අපි හැම සභාවකටම අදාළව බලය ලත් නියෝජිතයෙක් පත් කරනවා. ඒ අය හරහා ඉදිරි සතිය ඇතුළෙ ඇප තැන්පත් කිරීමේ කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.  

 


අපේක්ෂක ලැයිස්තු එහෙම හරිද දැන්?  
අපි මේ වෙන විටත් අපේක්ෂක ලැයිස්තු බොහෝදුරට පිළියෙල කරලා තියෙන්නේ. පහුගිය කාලේ අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා මේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ගම හදන්න ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙන්න කියලා. ඒකට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ඉල්ලීම් එහෙමත් සලකා බලා අපි අපේක්ෂක ලැයිස්තු සකස් කළා. ගම ගොඩනගන්න පුළුවන් පිරිසිදු අපේක්ෂක කණ්ඩායමක් අපි හැම සභාවකටම ඉදිරිපත් කරනවා. මේ ඡන්දෙදි විශ්වාසවන්ත හොඳම කණ්ඩායම් ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්.  

 


ජනතා විමුක්ති පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලන්න එකතුවෙන්න කියලා ඔබලා පුවත්පත් දැන්වීම් පවා පළ කරලා ඉල්ලුවෙ ඡන්දෙ ඉල්ලන්න තරම්වත් අය පක්ෂෙන් හොයාගන්න බැරුවද?  
එහෙම එකක් නෑ. ඉතාම දුෂ්කර අවස්ථාවල පවා අපිට ඡන්දෙකට ඉදිරිපත් කරන්න පක්ෂෙ අය හිටියා. පක්ෂ සාමාජිකයොම දානවනම් ඕනෑ තරම් අය අපිට ඉන්නවා. ඒත් අපේ අදහස වුණේ පක්ෂ සාමාජිකයන්ට ඉඩ දෙන අතරෙම පක්ෂයට සෘජුව සම්බන්ධ නැති ඒත් මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න සැබෑ වුවමනාවක් තියෙන ප්‍රගතිශීලී පිරිස්වලටත් අපේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් දෙන්න. ඒ ඉල්ලීමට ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපෙන් ඡන්දෙ ඉල්ලන් ආපු හැමෝටම අවස්ථාව දුන්නෙත් නෑ. ඒ අය අතරින් ඉහළම සූදානම් සපුරපු අයට තමයි අවස්ථාව දුන්නේ.  

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා තරඟ කරන එක ජවිපෙට අමතර වාසියක්ලු නේද?  
රටේ දේශපාලනය පෙළගැහිලා තියෙන තත්ත්වය අනුව ඒගොල්ලො දෙකට බෙදිලා ආවත් අපිට වාසියි, එකතු වෙලා ආවත් අපිට වාසියි. මේගොල්ලෙ එකතු වුණත් ප්‍රශ්නවල නතරවීමක් නෑ. අපේක්ෂක ලැයිස්තුවල ඉඳන් ප්‍රශ්න ඇති කරගන්නවා මේ අය. වෙනම තරග කරද්දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා දෙකට බෙදීම හරහා දෙපැත්තටම ජයග්‍රහණයක් ලබාගන්න හැකියාවක් නෑ. මේගොල්ලො කොහොම ආවත් අපිට ප්‍රශ්නයක් නෑ. කොහොම ආවත් ඒ අයට බලය ලබාගන්න අමාරුයි.  

 


තිස්සමහාරාමෙන් එහාට මේ වතාවෙ ජවිපෙට යන්න පුළුවන් වෙයිද?  
රටේ ජනමතය දිහා බැලුවට පස්සේ අපිට ජයග්‍රහණය සඳහා ලොකු අවස්ථාවක් තියෙනවා. වැඩි පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය ලබාගන්න අපිට මේ වතාවෙ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ර​ෙට් දේශපාලනය පෙළගැහිලා තියෙන ආකාරය අනුව අපේ ජයග්‍රහණයට වැඩි සම්භාවිතාවක් තියෙනවා. අවසන් ප්‍රතිඵලය තීරණය කරන්නේ ජනතාව. අපි හිතනවා රට ගැන හිතන ප්‍රගතිශීලි ජනතාව නිවැරදි තීන්දුවක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අරගනීවි කියලා.  

 

ප්‍රියන්ත කොඩිප්පිලි