පෙබරවාරිය මේ යහපාලනයට රතු එළියක් විතරක් නොවෙයි ඔවුන් එළවන සටනේ තීරණාත්මක සංධිස්ථානයක්


පුංචි ඡන්දය අත ළඟටම පැමිණ තිබේ. කුමක් වෙයිද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.  
ප්‍රශ්නය:- ඡන්දයට සති දෙකයි. මොනවද තබා තිබෙන බලාපොරොත්තු?  
පිළිතුර:- කිසිම දේශපාලනඥයකුගෙන් ඔය ප්‍රශ්නය ඔබ මේ මොහොතේ අහන්න එපා.  


ප්‍රශ්නය:- ඇයි ඒ උත්තරයක් නැද්ද?  
පිළිතුර:- මේ වෙලාවේ හැම කෙනෙක්ම බලාපොරොත්තු ගැන කියන්නේ ඉහළින්නේ. ගමේ බිම් මට්ටමේ යථාර්ථය දන්නවා නම් ඇත්තටම ඒක තමයි මට ඔබේ ප්‍රශ්නයට තියෙන උත්තරය.  


ප්‍රශ්නය:- ඔය ඔබ කියන ගමේ යථාර්ථය කොහොමද?  
පිළිතුර:- මෙහෙමනේ, අවුරුදු 10 ක් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට පාලනය කළා. එතුමා බාරගත්ත රට මොකක්ද? බාර දුන්න රට මොකක්ද කියලා හොඳ අවබෝධයක් ර​ෙට් ජනතාවට තියෙනවා. එතුමා රට බාරගන්න කොට මුහුදෙන් තුනෙන් දෙකක් අපට නෑ. තුනෙන් එකක් ගොඩබිමෙන් නෑ. කුණු කඳු නොවෙයි මිනී කඳු තිබුණේ. මිනී කඳු පැතිරුණු රටක් තිබුණෙ. අපිට අපේ ජීවිතවල අයිතියක් තිබ්බේ නෑ. මායිම් ගම්මාන විතරක් නොවෙයි මුදා නොගත් ප්‍රදේශත් රටේ තිබුණා. ඒ තිබුණ රට මහින්ද රාජපක්ෂ මැතිතුමා මොනතරම් පරිවර්තනයකට ලක් කළාද?  


ප්‍රශ්නය:- යුද ජයග්‍රහණය තවදුරටත් අලෙවි කරන්න බැරි භාණ්ඩයක් බව මැතිවරණ දෙකකින්ම ඔප්පු වුණා.  
පිළිතුර:- ඔව්. දහසක් බොරු බේගල් නිසා එහෙම වුණා. නමුත් යුද්ධය විතරක්ද? එහෙම කියනවා නම් චන්ද්‍රිකා නෝනා කියන විදියට ඉතිහාස පොතත් අයින් කරන්න වෙයි. එයා කියන විදියට දුටුගැමුණු, වේළුසුමන පුරාවෘත්තාන්ත අයින් කරන්න කියලා. මොකද එතුමියට දැනෙනවා ඇති තව අවුරුදු 200 කින් 300 කින් ඉතිහාස පොත ලියන කොට මහින්ද රාජපක්ෂ හා ඒ යුගය රනින් ලියැවෙයි. එතකොට ඒක බණ්ඩාරනායකලාට හොඳ නෑ කියලා. එතුමියට එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය පමණක්ද ජයග්‍රහණය කළේ? දෙවැට කොන්ක්‍රීට් වුණා. ගමේ සාමාන්‍ය පාර කාපට් වුණා. සේවා පියසවල් හැදුණා. බලන්න පාසලේ විද්‍යාව කරන්න සාමාන්‍ය පෙළ පන්තියට ගියාම ගමේ දරුවාට බැහැ. වෙන ස්කෝලෙකට යන්නත් බෑ. අද විද්‍යාගාර හැදිලා තියෙනවා. මගේ ආසනයේ පමණක් විද්‍යාගාර 5 ක් හැදිලා තියෙනවා. තාක්ෂණ විද්‍යාගාර 5 ක් හැදිලා තියෙනවා. ඒවායේ දැන් මහින්ද කියන නම කපලා දාලා තියෙනවා. ඒකට කමක් නෑ. ගමේ ළමයට ආඩම්බරයෙන් පාසල් යන්න පුළුවන් තත්ත්වයක් හැදිලා තියෙනවා. ඒ නිසා තමයි යාපනේ දරුවෙකුට උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 3 වැනි තැනට එන්න පුළුවන් වුණේ. දැන් ඒ ලැයිස්තුව බලන්නකෝ. ඉස්සර කොළඹ සුපිරි පාසල්වල ළමයිනේ මුලට ආවේ. දැන් ගමේ ළමයා පෙරට ඇවිත් තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී ඒකට අවශ්‍ය ප්‍රායෝගික පරිසරය හදලා දුන්නා. අධිවේගි මාර්ග බලන්න. මීට අවුරුදු දහයකට විතර ඉස්සර අපි රූපවාහිනියෙන් බලනවා ජපානයේ අධිවේගි මාර්ග හැදෙනවා. ඩුබායිවල අධිවේගී මාර්ග හැදෙනවා. සිංගප්පූරුවේ ගුවන් පාලම් හැදෙන කොට ගුවන් තොටුපළවල් හැදෙනකොට ඕස්ට්‍රේලියාවේ වරායවල් හැදෙන කොට අපි හීල්ලුවානේ. අපි හිතුවේ නෑ අපේ ජිවිත කාලයේදී අපේ රටේ අපිට මේවා දකින්න ලැබෙයි කියලා. නමුත් මහින්ද මහත්තයා අපේ රටේ ඒවා යථාර්ථයක් කළානේ. ඒකනේ ඇත්ත.  


ප්‍රශ්නය:- නමුත් රට ණය උගුලක හිර කරලා කියලයි ආණ්ඩුව කියන්නේ?  
පිළිතුර:- මහින්ද මහත්තයා රට බාරගන්න කොට මුළු රටේ වත්කම ඩොලර් බිලියන 25 යි. හැබැයි බාර දෙන කොට ඩොලර් බිලියන 80 යි. බාරගන්නකොට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 102 ක් අපි ණයයි. හැබැයි හන්දියක් ගානේ ආඩපාලි කිය කියා මහින්ද මහත්තයා ගියේ නෑ. ඒ වගකීම ගත්තා අතට. අරගෙන වැඩේ කළා. බාරදෙන කොට සියයට 70.6 යි. හැබැයි අර කගෙ චෝදනාවේ ඇත්තක් තියෙනවා. මහින්ද මහත්තයා බාර ගන්නකොට රටේ ණය බර තිබ්බේ 2222 යි. බාර දෙන කොට පන්දාහස් ගානක්. ඒක ගැනනේ ඔය කතා කරන්නේ. හැබැයි වාර්ෂිකව බැලුවොත් ප්‍රතිශතය වැඩිවෙලා.  


ප්‍රශ්නය:- ගත්ත ණය වලින් ප්‍රයෝජනවත් ආර්ථික ව්‍යාපෘති පටන් ගත්තේ නෑ කියලා ආණ්ඩුව බරපතළ චෝදනාවක් කරනවා?  
පිළිතුර:- මම ඔබට එක උදාහරණයක් කියන්නම්. එදා වරාය හදන කොට විපක්ෂය ඩෙඟා නැටුවා. මේක ලෝකයේ ලොකුම පිහිණුම් තටාකය කියල අපහාස කළා. ඒකට ගිය වියදම ඩොලර් බිලියන 1.4 යි. ඒ වරාය ගන්නවා වරාය හදපු කොම්පැණියට ඩොලර් බිලියන 1.5 ට චීනා මොන මැට්ටෙක් වෙන්න ඕනැද එහෙම ගන්න. රනිල් වික්‍රමසිංහට ඩොලර් මිලියන 300 ක චෙක් එකක් අරන් බයිලා නටන්න පුළුවන් වුණේ මහින්ද මහත්තයා ඒක හදලා තිබුණ නිසයි. මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කළා. අද හාල් නැවක් එනකන් මුහුද දිහා බලාගෙන ඉන්න වෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- නමුත් ඡන්ද දෙකකින්ම පරාදයි.  
පිළිතුර:- ඔව්. මිනිස්සු වෙනසක් අපේක්ෂා කළානේ. ඒක කමක් නැහැ. අවුරුදු 22 ක්ම වාමාංශික දේශපාලන බලවේගයක් රටට නායකත්වය දුන්නේ. ඒ නිසා වෙනසක් උවමනා වුණා. හැබැයි ඒ වෙනසට ආපු විදිය කොහොමද? ලැම්බෝගිනි තියෙනවා කිව්වා. රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා. පාරවල් කාපට් කරන්නේ රත්තරන් වලින්ද කියලා ඇහුවා. ලැම්බෝගිනි 18 ක් තියෙනවා කියලා කිව්වා. අර අනුර කුමාර කට උල් කර කර කිව්වේ. හෙලිකොප්ටර් 6 ක් ගෙනාවා කිව්වා. මහරජාට එකයි. මහ රැජිනට එකයි. යුව රජවරු දෙන්නට දෙකයි. කුමාරවරුන්ට අනිත් එව්වා කිව්වා. එහෙමනේ කිව්වේ මතකනේ. ඔහොම කියලනේ බලය ගත්තෙ. දැන් අවුරුදු තුනක් ගෙවිලා ගියානේ. මේ අවුරුදු තුනේ මොනවද වුණේ? ලංකා ඉතිහාසයේ ලොකුම බැංකු මංකොල්ලය වුණා. ඒකට රටේ අගමැතිවරයාගේ ඉඳන් පල්ලෙහාම කට්ටිය සම්බන්ධයි. ඒකට අනියම් ලෙස අනුබල දුන් පුද්ගලයෙක් වෙනවා ර​ෙට් ජනාධිපතිවරයා. මොකද අර්ජුන මහේන්ද්‍රන්ගේ පත්වීමට අත්සන් කරන්​නේ එතුමා. අද 19 වැනි සංශෝධනය ගැන මහ ලොකුවට කතා කරනවා. ඒකේ තියෙනවා ද්විත්ව පුරවැසි භාවය තියෙන එකෙකුට මේ තනතුරු දරන්න පාර්ලිමේන්තුවට එන්නත් බෑ. හැබැයි ද්විත්ව පුරවැසියෙක් නොවෙයි ලංකාවෙ පුරවැසියෙක් නොවන අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකුව බාර දුන්නා. එයා දැන් ලංකාවෙන් පැනලා ගිහින්. ඔන්න ඕකයි රටේ තත්ත්වය. මේ ගැන රටේ ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නේ. අනිත් එක මේ ආණ්ඩුව ගොනයි, මීමයි වගෙයි. එකට යන්න බෑ. මේක විනාශ වෙනවාමයි.  


ප්‍රශ්නය:- මේක ජාතික දේශපාලන කාරණා ගැන අවධානය යොමු කරන මැතිවරණයක් නොවෙයි. ගම හදන ගමේ මිනිහා තෝරාගන්නා මැතිවරණයක්. එතැනදි ආණ්ඩු බලය තියෙන අපේක්ෂකයාට වෙනම වටිනාකමක් තියෙනවා.  
පිළිතුර:- අමූලික බොරුවක්. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සමාජගත කරන්න හදන මතවාදය තමයි ඔය. ඔය තුන්ගොල්ලොම එකයි. එකට ඉන්නේ. අපි කියන්​ෙන වෙනස් කතාවක්. අපේ වැඩපිළිවෙළ වෙන්නේ ඔබ දන්නවා එට්කා ගිවිසුම අත්සන් කරන එක අපි නතර කරගෙන ඉන්නවා. අපි ඒකට එරෙහි මතවාදයක් ගොඩනගලා තියෙනවා. අලුත් ව්‍යවස්ථාව ගේන එක නතර කරගෙන ඉන්නවා. රණවිරුවන් දඩයම් කරන එකට එරෙහිව විශාල ජන මතයක් ගොඩනගලා එල්ටීටීඊ ඩයස්පෝරාව සතුටු කරන වැඩපිළිවෙළ අඩාළ කරලා තියෙනවා. රටේ ජාතික සම්පත් විකුණන එක හම්බන්තොට වරායෙන් නතර කරගෙන තියෙනවා. ජාතික සම්පත් 37 ක් විකුණන්න ලැයිස්තුගත කරලා තියෙනවා. නමුත් අපි නිසා ඒවා කරගන්න බැරිවෙලා තියෙනවා. පොහොර සහනාධාරය කප්පාදු කරලා ගොවියා නන්නත්තාර කරලා තියෙනවා. ඒ නිසා ජාතික තලයේ ප්‍රශ්න තමයි මේ මැතිවරණයේදී විශේෂ අවධානයට ලක් කරන්නේ. එහෙම නැතිව ගමේ මෙම්බර් මහත්තයා තෝරා ගන්නා මැතිවරණයක් විතරක් නොවෙයි මේ මැතිවරණය. රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් මේක. බැරි වෙලාවත් මේ මැතිවරණයේදී රනිල් - මෛත්‍රි - අනුර සුසංයෝගය දිනුවොත් පෙබරවාරි 11 වැනිදා ඉඳලා රට විනාශ කරන වැඩපිළිවෙළ අලුත් වටයකින් පටන් ගන්නවා. ජනතාව ඒ සම්බන්ධයෙන් විශේෂ අවබෝධයකින් ඉන්නේ.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා හැම වේදිකාවකම කියන්නේ ගම දිනවලා දෙන්න. ගම හදන්න අවශ්‍ය හැම සම්පතක්ම පහසුකමක්ම ජනාධිපතිවරයා හැටියට මම දෙන්නම්’ කියලයි.  
පිළිතුර:- ඒකත් පට්ටපල් බොරුවක්නේ. ඔහොම කියන ජනාධිපතිවරයාට තව ඉන්න තියෙන්නේ මාස කීයද? රටේ ජනතාව හිතාගෙන හිටියෙ පට්ටපල් බොරු කියන්​ෙන් අගමැති රනිල් හා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර විතරයි කියලයි. බලනකෙට මෙයත් පට්ටපල් බොරු කියන ජනාධිපතිවරයෙක් වෙලා. ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ගැන කිව්වෙත් ඔය විදියටමනේ. දැන් ඔය කතාව තනිකරම බොරුවක්නේ. එයා කොහොමද සල්ලි දෙන්නේ? එයා මුදල් ඇමැතිද? එතකොට යූඑන්පී එක කියයි. මුදල් ඇමැති අපේ. ආර්ථික සංවර්ධන ඇමැතිත් අපේ. ඒ නිසා අපි තමයි සල්ලි දෙන්නේ කියලා.  
මතක තියාගන්න.... මේ සල්ලි මහජනතාවගේ සල්ලි. පාර්ලිමේන්තුවට තමයි මුදල් හැසිරවීමේ බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවේ අපිව ශක්තිමත් කරන ප්‍රමාණයට තමයි අපිට මේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිට කරපු ලොකුම විවේචනය තමයි ඔහු යූඑන්පී යට අවශ්‍ය විදියට වැඩ කරනවා කියන එක. හැබැයි දැන් යූඑන්පිය මෛත්‍රීට චෝදනා කරනවා යූඑන්පිය විනාශ කරනවා කියලා.  
පිළිතුර:- ඕක රංගනයක්නේ. ඊයෙ පෙරේදා කියනවා ‘අගමැතිතුමනි, මට හොරු ටික අල්ලන්න උදව් කරන්න.’ කියලා. එහෙම කියලා අනික් අතට කියනවා ‘මේ කැබිනට් එකේ දහ දෙනෙකුගේ ෆයිල් එළියට දානවා’ කියලා. ඔය එකක්වත් කරන්නේ නෑ. පෙබරවාරි 10 වෙනකම් බැඳුම්කර විවාදය දෙන්නෙත් නෑ. ඒ ගොල්ලෝ කතා කරගෙන තමයි ඔක්කොම කරන්නේ. වේදිකාවේ එක එක ඒවා කියයි. නමුත් ඔබතුමාලා ඕවට රැවටෙන්න එපා. ඔය තුන්ගොල්ලොම එකිනෙකාට බැණ ගන්​ෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගන්නයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා හිතනවා ‘ජනාධිපතිතුමා දැන් හරි පීල්ලට ඇවිත්’ කියලා. යූඑන්පී කාරයා හිතනවා මෙහෙම කළාම යූඑන්පිය ශක්තිමත් වෙනවා කියලා. නමුත් ඔය ​ඔක්කොම බොරු විරෝධයක්.  


ප්‍රශ්නය:- ජනපති මෛත්‍රී කරන්නේ රංගනයක් නම් බැඳුම්කර කොමිසම දායිද? දැන් බැඳුම්කර කොමිස​ෙම් වාර්තාවත් එළියට ඇවිත්.  
පිළිතුර:- ඔබතුමා එහෙම කියන්නේ කොහොමද? බැඳුම්කර හොරකම එළියට ආවේ අපි හින්දත් නොවෙයි. කවුද ඒක මුලින්ම අනාවරණය කළේ. මේ රටේ බැංකුකරුවෝ. ​ෙම් රටේ වාණිජ සමාජය. ඔය කියන විදියෙ වෝහාරික පරීක්ෂණයක් අවශ්‍ය නෑ. හැම මාස තුනකටම සැරයක් ප්‍රාථමික වෙළෙන්දන් ලාබ සාරාංශ ඉදිරිපත් කරන්න ඕනැ. ඒක බැලුවම පැහැදිලිවම පේනවා කවුරුහරි අයුතු ලාභයක් ලබලා තියෙනවා නම් වෙන්දේසිය කියන එක බේස්ට්මන්ට් කියන එක හොරෙන් කරන්න බෑ. ඒක කවුරුත් දන්නවා. ඔය හොරකම වෙච්ච දවස්වල ලංකාවේ ඉන්න ප්‍රබලම බැංකුකරුවන් හතර දෙනෙක් මට කතා කළා. අපි එතැනින් තමයි මේක පාර්ලිමේන්තුවට ගත්තේ. 2008 ඉඳන් 2014 වෙනකම් වංචාවක් වුණා කියන එකත් පට්ටපල් බොරුවක්. ඒ නිසා තමයි අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ ‘මම රට ගිහිල්ලත් නෑ. රට යන්නෙත් නෑ. ඕනෑම වෙලාවක ඇවිත් පරීක්ෂණයක් කරන්න කියලා. මම අභියෝග කරනවා.’ කියලා.  


ප්‍රශ්නය:- ඒ කාලේ ගැන හොයන්න කියලා කියන්​ෙන් බැඳුම්කර කොමිසම් වාර්තාවයි.  
පිළිතුර:- මිලියන 4000 ක අලාභයක් වෙලා කියලා වාර්තාවේ තිබෙනවලු. එහෙම නම් මම ජනාධිපතිවරයටයි අගමැතිවරයාටයි අභියෝග කරනවා. ඔය කියන වාර්තාවේ පිටු 945 ක් තියෙනවා. ඒකේ 915 වැනි පිටුවේ තියෙනවා 11 වැනි නිර්​දේශය ඒකේ තියෙනවා 2008 සිට 2014 දක්වා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණයක් කරන්න කියලා. රවි කරුණානායක මුදල් ඇමැති හැටියට ඔඩිටර් ජනරාල්ට කියනවා මේ ගැන වහාම හොයන්න කියලා. මතකද ඒ ලියුම ඔඩිටර් ජනරල් ඒකට විරෝධය පළ කළා. ‘ඇමැතිවරුන් කියන කියන විදියට එහෙම කරන්න බැහැ.’ කියලා. කොහොම වුණත් ඔඩිටර් ජනරාල් ඒ ගැන පරීක්ෂණයක් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා.  


ප්‍රශ්නය:- මන්ත්‍රී රවි කරුණානායක කියනවා වාර්තාව විකෘති කරලා කියලා.  
පිළිතුර:- බැංකුව විතරක් නොවෙයි පිටු 103 කුත් හොරකම් කරලා. ඔය හොරකම් කරපු පිටු 103 තුළ ඇති සමහර විට කවුද මේ හොරකමේ මහ මොළකාරයා කියලා. එක දරුවෙක් ‘ෆේස්බුක්’ එකේ දාලා තිබුණා. ම​ෙග් තාත්තා විතරද මේකට වග කියන්න ඕනෑ’ කියලා.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට කවුද ඔය පිටු හොරකම් කරලා තියෙන්නේ?  
පිළිතුර:- ඒක ඉතින් අහන්න ඕනෑ රජයෙන්. රජය වගකිවයුතුයි. අපි දන්​ෙන් පිටු 103 ක් හොරකම් කරලා කියලා විතරයි.  


ප්‍රශ්නය:- මේ තත්ත්වය පෙබරවාරි ප්‍රතිඵලයට බලපෑමක් කරයි කියලා ඔබ හිතනවාද?  
පිළිතුර:- අනිවාර්​ෙ‌යන්ම. මේ මූසල යහපාලනයට රතු එළියක් විතරක් නොවෙයි. ඔවුන් එළවන සටනේ තීරණාත්මක සංධිස්ථානයක් බවට පෙබරවාරිය පත්වීම අනිවාර්යයි.

 සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්