පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයා බෝම්බ ගෙනාවේ පුනරුත්ථාපන වැඩ සටහන අසාර්ථක නිසාද ?


හිටපු පුනරුත්ථාපන කොමසාරිස් සහ හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් 
දයා රත්නායක උත්තරදෙයි 

තිස් වසරක යුද්ධය නිමා වුවද කාලයෙන් අකාලයට ත්‍රස්තවාදී භීතිය මතුව එන්නේය. විටෙක ‘ආවා’ කල්ලිය පිළිබඳව කියෙවයි. තවත් විටෙක ක්ලේමෝ බෝම්බ ගැන කියවෙයි. ත්‍රස්තවාදී ඇඳුම්, ගිනි අවි පතු​රොම් තවත් මාතෘකාය. මහපොළොවෙන්, ළිංපතුලෙන් හමුවන්නේ අමිහිරි යුද්ධයේ මතක සටහන්ය. ඒත් සමගම දෙමළ ඩයස්පෝරාවත්, උතුරේ දමිළ නායකයනුත් විවිධ යෝජනා. චෝදනා එල්ලකරයි. මෙම ක්‍රියාදාමය තුළ අප අමතක නොකළ යුතු තවත් කරුණුද වෙයි. එනම් නැගෙනහිර හා උතුරු ප්‍රදේශවල පැවැති යුද්ධයත්, යුද පුහුණුව ලද පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 4000 ට අධික ප්‍රමාණයක් නිදැල්ලේ සිටින බවයි. පුනරුත්ථාපනය වී සමාජගත වූ ත්‍රස්තවාදී සාමාජිකයන් 14000 ක් පමණ සිටින බවයි. 


වෙන්වූ වාතාවරණයකදී නැවතත් උතුරෙන් මෙවන් වූ පුවතක් අසන්නට ලැබේ. ඒ පසුගිය බ්‍රහස්පතින්දා ක්ලේමෝ බෝම්බයක්, ටී. පනස් හය ගිනිඅවි යන පතරොම් එල්.ටී.ටී.ඊ කොඩි සහිතව ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවයි. එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර පුනරුත්ථාපනය කරන ලද එල්.ටි.ටී.ඊ. සාමාජිකයෙකු සිටින බවද වාර්තා විය. 


සැබැවින්ම දැන් උතුරේ පවතින්නේ කෙබඳු තත්ත්වයක්ද? ආවා කල්ලිය කවුද? ත්‍රස්ත කොඩි හා අවිආයුධ කුමටද? ඔවුන් අර අදින්නේ නැවතත් මහා ව්‍යසනයකට මුල පිරීමටද මතු වන ගැටලු රාශියකි. මෙය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වන්නේය. 


මේ නිසාම පුනරුත්ථාපනය, ආවා කල්ලිය, උතුරේ ආරක්ෂාව වැනි ගැටලු පිළිබඳ කතා කිරීමට විශ්‍රාම ලත් හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සම්බන්ධකර ගත්තෙමු. 


යුද්ධයෙන් පසු සිදුවූ පුනරුත්ථාපන ක්‍රියාදාමය විස්තර කළොත්... 


2009 මැයි 19 න් පස්සේ අපිට ලොකු වගකීමක් පැවරුණා. එල්.ටී.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන් 12.000 ට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කිරීම. එහිදී හිටපු ත්‍රස්ත සාමාජිකයන්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් අපට භාර වී හිටියා. ඉතිරි කණ්ඩායම කඳවුරුවල සිටි සිවිල් ජනතාව විසින් අල්ලා​ අපට භාරදුන්නා. ඒ අතර එල්.ටි.ටී.ඊ. හමුදාව, බුද්ධි අංශ, සහ පොලිසියත් යන ආයතන නියෝජනය කළ පි​රිස් හිටියා. 
මේ විශාල කණ්ඩායම පුනරුත්ථාපනය කිරීම සුවිශාල කාර්යභාරයක්. මේ කාලය වෙනවිට සිවිල් කණ්ඩායම් පුනරුත්ථාපනය කිරීමයි සිදුකළේ. ඒ වගේම ළමා සොල්දාදුවෝ පුනරුත්ථාපනයටත් මුල් තැනක් දී තිබුණා. ඒත් 12000 එල්.ටී.ටී.ඊ. සාමාජික ප්‍රමාණයක් පුනරුත්ථාපනය කිරීමට පවත්වාගෙන ගිය පුනරුත්ථාපන ක්‍රමවේද ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා එහි කළමනාකරණයට රජය විසින් මාව පුනරුත්ථාපන කොමසාරිස් ලෙස පත්කළා. 


ඊට පස්සේ අපි මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කළා. හේතුව අපටත් මේ පිළිබඳ ලොකු අවබෝධයක් නොතිබීම. ඒ නිසා අපි ලෝකයේ පුනරුත්ථාපන ක්‍රමවේද සිදුකළ හැටි පිළිබඳ සොයා බැලුවා. ජාත්‍යන්තර සංවිධාන වල ක්‍රමවේද සොයාබැලුවා. එහිදී සිංගප්පූරුව මුස්ලිම් අන්තවාදීන් පුනරුත්ථාපනය කරන ක්‍රමවේදය, කොළොම්බියා වල පුනරුත්ථාපන ක්‍රමවේදය, ඉරාකයේ ඇමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් සිදුකරන පුනරුත්ථාපන ක්‍රමවේදය. ජාත්‍යන්තර යූ.එන්.ඒ. එකේ ක්‍රමවේදය. එක්සත් ජාතින්ගේ කණ්ඩායම් ක්‍රියාත්මක කළ පුනරුත්ථාපන ක්‍රමවේදය ආදිය අපි හොඳින් අධීක්ෂණය කළා. ඊට පස්සේ අපි තේරුම් ගත්තා මේ කිසිදු ක්‍රමවේදයක් මේ පිරිස් පුනරුත්ථාපනයට හරි නොයන බව. 


ඒ නිසා අපි හොඳ අලුත් පුනරුත්ථාපන වැඩසටහනක් නිර්මාණය කළා. එය අද ලෝකයේ මෙතෙක් සිදුකළ හොඳම පුනරුත්ථාපන වැඩසටහන බවට පත්වෙලා තිබෙනවා. 


පුනරුත්ථාපන කටයුත්තේදී එය සිදුකළේ යම් වර්ගීකරණයකට අනුවද? 


මේ 12,000 ක කණ්ඩායම අපි කඳවුරු 28 කට යොමුකළා. ඒ කාලයේ අතෑරලා තිබුණ පාසල්, රජයේ ගොඩනැගිලි අපි ඊට භාවිත කළා. එහිදී මුලින්ම අපි කළේ දරුවෝ කාන්තා සහ පිරිමි වශයෙනුත්, තරුණ පිරිස කාන්තාවෝ සහ පිරිමි වශයෙනුත්, වර්ග කර වෙන වෙනම කඳවුරු වලට යොමුකිරීම ඊට පස්සේ අපි මේ අය හඳුනාගැනීමේ ක්‍රමවේදය සිදුකළා. එහිදී අපි ළඟ තිබුණු බුද්ධි අංශ තොරතුරු, සාමාන්‍ය පොලිස් වාර්තා, හමුදා වාර්තා, ආදී හැම වාර්තාවක්ම භාවිතයට ගත්තා. ඊට පසු ඒ ඒ පුද්ගලයා හඳුනාගැනීම සිදුකළා. එහිදී ඔවුන් කවුද, ඔවුන් එල්.ටී.ටී.ඊ. එක ඇතුළේ සිදුකළ ක්‍රියාදාමය කුමක්ද? (පොලිස්) බුද්ධි අංශ, ඉංජිනේරු, මරාගෙන මැරෙන ආදි ලෙසින් යන්නත් හඳුනාගත්තා. 


ඒ අනුවයි අපි ඔවුන්ව වර්ගීකරණය කළේ. දරුණුම ක්‍රියාකළ කණ්ඩායම්, නායකත්වය, එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ උගන්වන අය බඳවාගන්නා අය, පුහුණු කරුවන්, සටන් කණ්ඩායම්, ආදී සෑම ආකාරයකම වර්ගීකරණයක් සිදුවුණා. 


අවුරුදු 18 ට අඩු දරුවන් 600 ක් හිටියා. ඒ අය වෙනම අරගෙන ළමා පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කළා. 


පුනරුත්ථාපන නිලධාරීන් ​තෝරාගත්තේ කුමන සුදුසුකම් මතද? 


මේ පුනරුත්ථාපන වැඩසටහන හමුදාවට භාරදුන්නාට සියයට 90 ක් පමණ යුද හමුදාවේ කණ්ඩායම් මීට සම්බන්ධ කරගත්තේ. ඒ අය තෝරාගත්තේ යම් ක්‍රමවේදයකට අනුව. එහිදී විනය ප්‍රමුඛ වුණා. ඒ වගේම ඔවුන්ගේ හමුදා ජීවිතයේ ක්‍රියාකාරිත්වය. මේ ආකාරයට තෝරාගත් පිරිසට වෙනම පුහුණු වැඩසටහන් පැවැත්වුවා. මීට ලොකු කාලයක් වෙන්කරන්න කාලසීමාවක් තිබ්බේ නෑ. හරියට ඔන් ද ජොබ් ට්‍රේනින් වගේ. 


රාජකාරිය කරන ගමන්මයි පුහුණු වැඩසටහන් සිදුකළේ. ඒවා කෙටි පාඨමාලා. වැඩමුළු, වැඩසටහන්, ආදී ලෙසින් සැළසුම් කළා. 


මෙහිදී විශේෂයෙන් කිවයුතු තව දෙයක් තියෙනවා. හමුදාවේ අය ක​ළේ පරිපාලනය කළමනාකරණය කිරීම පුනරුත්ථාපන වැඩසටහන් නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදුකළේ ජාතික සහ ජාත්‍යන්තර විශේෂඥයෝ. 
හමුදාවේ ඔවුන්ගේ සැලැසුම් ක්‍රියාත්මක කරවීමයි සිදුකළේ. 


පුනරුත්ථාපනය උදෙසා සැලසුම් කල වැඩසටහන් මොනවාද? 


වැඩසටහන් සැළැසුමේදී අපිට ගොඩක් දේවල් ගැන හිතන්න වුණා. මෙතැන එල්.ටී.ටී.ඊ. එකට කැමැත්තෙන් බැඳුණු පිරිසක් වගේම අකමැත්තෙන් බලහත්කාරයෙන් බඳවාගන්න පිරිසකුත් හිටියා. ඒ එ් අය කළේ වෙනස් වෙනස් රාජකාරි. අදහස් ආකල්ප, උගත්කම් විවිධාකාරයි. ඒ නිසා රජය ක්‍රමානුකූලවයි පුනරුත්ථාපන කාර්ය සැලසුම් කළේ‍. 


මුලින්ම ඒ අයට පොදු සමාවදීමක් සිදුකළා. ඊට පස්සේ ඒ අයට අවස්ථාව දුන්නා සාමාන්‍ය නීතිමය ක්‍රියාදාමය අනුව ඉදිරියට යනවාද කියලා තිරණය කරන්න. එහිදී සියයට සීයක්ම පිරිස් පුනරුත්තාපනය තුළින් සාමාජගත වෙන්න කැමැති වුණා. ඒ අනුව ඔවුන්ගේ මානසික මට්ටමේ අනුව වර්ගී කරණයටකට ලක්කරලයි පුහුණුවීම්වලට යොමුකරවූයේ. 


මේ පිරිස අතර දරුණුම කණ්ඩායම 250 ට ආසන්න වුණා. ඒ අය නීති මාර්ගයෙන් කටයුතු කිරීමට යොමුකරා. ඉතිරි පිරිස අපි පුනරුත්ථාපනය සඳහා දායක කරගත්තා. ඒ පිරිසෙන් දරුණුම අය වසර 2 ක් පුනරුත්ථාපනයට යොමු කළා. ඊට අඩු අය අවුරුද්ද, මාස 6 ආදී ලෙස වර්ග කර ඒ ඒ වැඩසටහන්වලට යොමු කළෘ. 


මේ කාලසීමාවල විශේෂ පරීක්ෂණ කණ්ඩායම් පුනරුත්ථාපනය වූ අයට දිනපතා සතිපතා, මාස් පතා ලෙස අධීක්ෂණයකට ලක්කළා. එහිදී ලැබෙන ප්‍රගතිය අනුවයි ඔවුන් සමාජගත කිරීම සිදුකළේ‍. 


පුනරුත්ථාපන කාලයේදී ඔවුන් හැසිරුණු ආකාරය කොහොමද? 


මේ අය ත්‍රස්තවාදීන් වුණාට හමුදාවක් වගේ විනය ගරුක සංවිධානයක්. ඒ වගේම හමුදාවටත් වඩා දරුණු විනය මාලාවක් යටතේ ගිය කට්ටියක්. ඒ නිසා මේ අය පුහුණු කිරීමේදී ලොකු සංයමයක් දැක්කා. 


ඒ අය භාරවෙනකොට හිතාගෙන හිටියේ අත්අඩංගුවට ගෙන මරලාදායි කියලා. ඔවුන් බයෙන් භාරවුණේ. ඒත් සිද්ධවුණේ ඔවුන් නොහිතුව දෙයක්. අපේ සොල්දාදුවෝ නිලධාරීන් ආදරයෙන් කරුණාවෙන් ඔවුන්ට සැලකුවා. එතනදීම ඔවුන්ගේ අදහස් ආකල්ප සියයට 50 ක් වෙනස් වුණා. එතනදී තමයි අපි ගැන යම් විශ්වාසක් ඔවුන්ගේ සිත්වල ගොඩනැඟුණේ. අද වෙනකම් කවුරුවත් ගෝරිදාගෙන,මේ දේවලට විරුද්ධව වැඩකරලා කලබල ඇතිකරලා නෑ. ඒක තමයි මෙහි තිබෙන වැදගත්කම. 


මෙතනින් එළියට ගිය සෑම කෙනෙක්ම සිංහල බෞද්ධ ක්‍රමයට අනුව දණ ගහලා වැඳලායි පිටවෙලා ගියේ. අදටත් අපි පිටතැනකදී හමුවුණොත් ළඟට ඇවිත් කතා කරලා වැඳලයි යන්නේ. එය ලොකු සතුටක්. ඒ වගේම ලොකු ජයග්‍රහණයක්. 


මේකට මට හොඳ උදාහරණයක් තිබෙනවා කියන්න. එක දවසක් මම 2000 ට අධික පිරිසකට කතාවක් පැවැත්තුවා. එතන හිටිය ඒ කාලයේ යාපනේ විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය වරයෙක්. ඔහුගේ එක කකුලක් තිබුණේ නෑ. ඔහු අමාරුවෙන් නැගිටලා මගෙන් ඇහුවා. ඇයි සර් අපි වගේ උගත් අයව පුනරුත්ථාපනයට ගත්තේ. මෙතන කොච්චර අය ඉන්නවද පුනරුත්ථාපනය කරන්න කියලා. ටික වෙලාවකින් සභාව කලබලයි. එක එක්කෙනා අදහස් දක්වන්න අත උස්සනවා. හරිම නොසන්සුන්. මම ඒ අයටත් අවස්ථාවක් දුන්නා. අදහස් දක්වන්න. එක තරුණ ළමයෙක් නැගිටලා කියනවා මට 
සර් අපි යුද්දෙට ගියා. හමුදාවත් එක්ක යුද්ධ කළා. මිනීමැරුවා. හැබැයි අපිව සංවිධානයට බඳවාගෙන අපේ මොළ කුණු කෙරෙව්වේ ඔය නැගිටපු අය. ඒ නිසා අපිව නිදහස් කෙරුවත් මුන්වනම් නිදහස් කරන්න එපා කවදාවත්. මුන් තමයි කවදාහරි එළියට ගිහින් අහිංසක අපි වගේ අයගේ මොළවලට කුණු දාලා අතරමං කරන්නේ කියලා. 


මෙන්න මේක තමයි තිබුණ තත්ත්වය. මේ වගේ දේවල් අමතක වෙන්නේ නෑ. කමලනීත් සමඟ මම සෑහෙන වෙලාවක් කතා කළා. ඇය හිටියේ දරුණු ස්ථානයක. ඒත් අපි පුනරුත්ථාපන කටයුතු කරන ක්‍රමය දුටු ඇය පැහැදුණා. 


ඒ අය වැරදි මතයක හිටි බව පිළිගත්තා. ශ්‍රී ලංකා රජයත් යුදහමුදාවත් ජනතාවට යහපත කරන පිරිසක් කියලා ප්‍රකාශ කළා. ඒ වගේම ඇය සිදුවූ දේ ගැන පසුතැවිලිවෙමින් ඇඬුවා. ඊට පස්සේ ඇය ලොකු පාපොච්චාරණයක් කළා. පසුව පොත් ලිව්වා. එවැනි වෙනස්වීම්වලට හේතු වුණේ මේ පුනරුත්ථාපන වැඩසටහන. මේ පිරිස වගේම තව ගොඩක් අය අද සමාජයේ හොඳ තැන්වල ඉන්නවා. 


පුනරුත්ථාපනය වූ පිරිස සමාජයට මුදාහැරීමේදී ඔවුනගේ අනාගතය වෙනුවෙන් කළ දේ මොනවාද? 


අපි මේ පුනරුත්ථාපන වැඩසටහනේදීත් කියා සිටියේ මේ රටේත් වෙනම රාජ්‍යයක් හදන්න බෑ කියලා. ඒත් අපි කිව්වේ නෑ එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලා. අපි කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ අවිආයුධ අරගෙන ත්‍රස්ත කටයුතු නොකළ යුතු බව. මෙවැනි ස්ථාවරයක සිටයි අපි ඔවුන්ව පුනරුත්ථාපනය කළේ‍. මේ ආකාරයට පුනරුත්ථාපනය කළ අයගේ විවාහ ජීවිතය, රැකියාව ආදී පිළිබඳ අපි විනිවිදභාවයකින් කටයුතු කළා. එතැන විවාහවීමට කැමැත්තෙන් හිටි අය එකතු කරලා ලස්සන විවාහ උත්සවයක් කියලා නිත්‍යානුකූලව විවාහ කරලා දුන්නා. ඒ අය සතුටු කිරීම් සඳහා රාජ්‍ය නායකයෝ නළු නිළියෝ ගෙන්නුවා. අපේ කටයුත්ත සාර්ථක වුණා. 


මේ ආකාරයට විවාහ කරවපු පිරිසට වීස්විලේජ් කියලා වෙනම ගම්මානයක් හදලා පදිංචි කෙරෙව්වා. ඊට පස්සේ මේ අයගේ අධ්‍යාපන තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඒ ඒ වෘත්තීන්ට අවශ්‍ය දැනුම ලබාදුන්නා. ගොවියන්, ධීවරයන්, වඩුවන්, කාර්මික ශිල්පීන් ලෙස ඔවුන් සමාජගත කළා. අධ්‍යාපනය ලබමින් සිටි පිරිස් ඒ ඒ විෂයන්වලින් නැවත ඉගෙනීමට යොමුකරලා. ඒ අනුව සාමාන්‍ය පෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔවුනට ලැබුණා. ඊට ලංකාවේ හොඳම ගුරුවරු ගෙන්වලා ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. 


ඒ වගේම නිදහස් කළ පිරිසකගේ පුහුණුව ලද වෘත්තීන්ට අදාළ ආම්පන්න ලබාදීම් සිදුකළා. මේ ආකාරයටයි අපි ඔවුන්ව සමාජගත කළේ. 


මේ පිරිසට අමතරව පුනරුත්ථාපනයට හසු නොවුණ ත්‍රස්ත පිරිසකුත් ඉන්නවා නේද? 


ඒ කාලයේ 4000 ට ආසන්න ප්‍රමාණයක් හිටියා. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ සිටි ත්‍රස්ත සාමාජිකයන් වැඩි හරියක් අහුවුණේ නෑ. ඔවුන්ව පුනරුත්ථාපනයට හසුවුණේ නෑ. ඒ වගේම උතුරෙන් සුබසාධක කඳවුරුවලට හසුනොවුණ පිරිසකුත් හිටියා. ඒ වගේම අන්තිම කාලයේ එල්.ටී.ටී.ඊ. එකෙන් පාතාල සමාජයේ සැඟ වී සිටි පිරිසකුත් සිටියා. මේ අය සියලු දෙනා පුනරුත්ථාපනයට ලක් වී නැහැ. 


අද වෙනකොට උතුරේ ‘ආවා’ වගේ ත්‍රස්ත කල්ලි නැගීසිටිමින් ඉන්නවා නේද? 


එයට හේතුව පරිපාලන දුර්වලතා. මට ආරංචි හැටියට නම් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් කිසිවෙකුත් ඔය අන්තවාදී කණ්ඩායම්වලට බැඳිලා නෑ. ඒත් එක්කම ඒ අය සාමාන්‍ය වැරදිවලට වත් පොලිසියට හසුවෙලා නැති බවටයි වාර්තා තිබෙන්නේ. 


අපි 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානය නැතිකරන්නේ භෞතිකව. සටන්කාමී කොටසයි ඉන් ඉවත්වන්නේ. ඒත් ඔවුන්ගේ බුද්ධි අංශ කණ්ඩායම් හා ජාත්‍යන්තර කණ්ඩායම් එහෙමම ඉන්නවා. ඒ නිසා ත්‍රස්වාදයට විරුද්ධව තිබූ සටන නවත්වන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ‍ නෑ. ඒ නිසයි අපේ බුද්ධි අංශ නිරන්තරවම සක්‍රියව සිටියේ. 


ත්‍රස්තවාදයට යළිත් හිස ඔසවන්න බැරිවෙන විදියට ඒ කටයුතු දිගටම සිදුවිය යුතුයි. තවමත් මාධ්‍ය තුළින් දකින්න පුළුවන්නේ පිටරටවල ත්‍රස්තවාදීන් හැසිරෙන්නේ කොහොමද කියන එක. ඒ අය හැම විටම උත්සාහ කරන්නේ මේ රටේ නැවතත් එවැනි ප්‍රශ්නයක් ඇති කිරීමට. ආරක්ෂක හමුදාව ඒවා මැඩලමින් හොඳ පාලනයක් ගෙන ගියා. එයට රජයේ අනුග්‍රහයද ලැබිය යුතුයි. ඒත් රජය එම වගකීම් පැහැර හැරියොත් එවැනි කණ්‍ඩායම් හිස එසවීම පුදුම වියයුතු කාරණයක් නොවෙයි. 


පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ක්ලේමෝ බෝම්බයක් සහිත අවි කීපයක්ද ත්‍රස්වාදී ඇඳුම්ද සහිත තිදෙනෙක් හසු වී තිබෙනවා. ඉන් එක් අයෙක් පුනරුත්ථාපනය ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ලෙසයි පැවසෙන්නේ.

මොකක්ද ඔබට ඒ ගැන තිබෙන අදහස? 


ඒ ගැන නම් මට ආරංචියක් නෑ. ඒත් මෙය මේවගේ පිරිස නැවත හිස ඔසවන්න හැදූ පළමු අවස්ථාව නෙවෙයි. කීප අවස්ථාවකම ඔවුන් උත්සාහ දැරුවා. ඒත් ඒ දවස්වල අපි එවැනි කණ්‍ඩායම්වලට හිස ඔසවන්න අවස්ථාව දුන්නේ නෑ. නිතරම කැලෑබද ප්‍රදේශවල තොරතුරු රැස්කළා. බුද්ධි අංශ මගින් සොයා බැලුවා. 2015 ඉස්සර වෙලා තුන් වතාවක් මේ ආකාරයට එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස ඔසවන්න හැදුවා. ත්‍රිකුණාමලයේ චාවාකච්චේරිවලදී එවැනි කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට ගත්තා. 2014 අවසාන භාගයේ ත්‍රස්තවාදීන් තුන්දෙනෙක් මැරුණා. පොලිස් රාලහාමි කෙනෙකුටත් වෙඩි වැදුණා. ගෝජි සහ තවත් දෙදෙනෙක් කැලේ සැඟවී ඉඳලා අපි අතින් මැරුම් කෑවා. 


ඒ වගේ දේවල් සිදුවුණා. ඒ අවස්ථාවෙත් අප 70 ක වගේ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයට භාජනය කළා. නැවත ඔවුන් පුනරුත්ථාපන වැඩසටහන්වලට යොමුකළා. 


මේ අය එවැනි දේ නිරන්තරයෙන්ම කරන්න උත්සාහ කරනවා. ඒ පිළිබඳව අපි සූක්ෂමව කටයුතු කළ යුතුයි. ඒවා නිකන් අතෑරලා දාලා ඉන්න බෑ. 


දේශපාලන බලපෑම්, ජාත්‍යන්තර බලපෑම් හා නිදැල්ලේ සිටි ත්‍රස්ත සාමාජිකයින් නැවතත් ඊළමකට අර අදිනවාද? 


ඒවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්න. ඒත් අපේ හමුදාව ඊට ඉඩ දෙයි කියලා මම හිතන් නෑ. බොහොම ශක්තිමත් හමුදාවක් තිබෙනවා. රටේ තිබෙන අස්ථාවර භාවය තමයි තිබෙන ප්‍රධානම ගැටලුව. අනික උතුරේ දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය. ඔවුන් නිතරම කටයුතු කරන්නේ යුදමය ආකල්පයකින්. දේශපාලන නායකයන් එහෙම කරද්දී පහළ ඉන්න අය ඉන් උත්තේජනයට පත්වෙනවා. ඒ නිසයි දුරදිග නොහිතා ත්‍රස්ත ක්‍රියාවලට පැටලෙන්නේ 


ඒ නිසා සාමාන්‍ය ජනතාව වැරදි මතයකට නැඹුරු කරන එවැනි දේශපාලකයන් පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි. එසේ නොකර කුඩා මිනිස්සු ආයුධ අතට ගත්තට ඔවුන් මර්දනයට කටයුතු කර වැඩක් නැහැ. මෙය අවුරුදු 30 ක් යුදමය අත්දැකීම් ඇති රටක්. සමස්ත ජනතාවම ඉන් පීඩාවට පත්ව සිටියා. ඒ නිසා රාජ්‍ය පාලනය ස්ථාවර විය යුතුයි. මෙම ප්‍රශ්නය බුද්ධිමත්ව විසඳීම රජයේ ප්‍රධාන වගකීම. 


සමාජගත කළ එල්.ටී.ටී.ඊ පිරිස පිළිබඳවත් සමාජ විරෝධී කල්ලි පිළිබඳවත් හමුදාවේ අධීක්ෂණයක් සිදුවෙනවාද? 


දැනට සිදුවෙන දේ පිළිබඳව නම් මම වැඩිදුර තොරතුරු දන්නේ නෑ. ඒත් එහෙම ක්‍රම තිබුණා. ඒත් මෑත කාලයේ බුද්ධි අංශවලට හමුදාවට විවිධ චෝදනා කරමින් පහර දෙනවා. මේවා කනගාටුවට කරුණු. තිස් වසරක යුද්ධයක් නිමාකරලා සාමය ඇති කරපු හමුදාවේ සොල්දාදුවන්ගේ අභිමානයට හානි වන ලෙස කටයුතු කිරීම සුදුසු නෑ. 


ඒවා පසුගිය වකවානුවේ බොහොම දුක හිතෙන විදියට සිදුවුණා. මේවා පාලනය කිරීමට රටේ රාජ්‍ය නායකයාගේ සිට ලොකු වගකීමක් තිබෙනවා. යම් කෙනෙක් වරදක් කළොත් ඔහුට දඬුවම් දීම සාමාන්‍ය දෙයක්. ඒත් ඊට ඔබ්බට ගිහින් සොල්දාදුවාගේ අභිමානය අපකීර්තියට පත්කිරීම නුසුදුසුයි. එය රටේ ජාතික ආරක්ෂාවටත් බල පෑ හැකියි. 


ඒ කියන්නේ රටේ ආරක්ෂාව අනාරක්ෂිතයි කියන එකද? 


එහෙමම නොවෙයි. ඒත් කළමනාකරණයේ ප්‍රශ්න තිබෙන බව පේනවා. 


ඒවා වළක්වා ගත යුතුයි. අංක එක රටේ ජාතික ආරක්ෂාව ඊට හානි වෙන දේ නොකළ යුතුයි. ඒ වගේම රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත් බුද්ධි අංශ තොරතුරුත් ආරක්ෂා විය යුතුයි. එය රාජ්‍ය වගකීමක්. 

 

 

 


සටහන කුමාරි හේරත්