පිදුරුතලාගල ගිලපු මිනිහා දැන් අග්ගලාවක් ගැන කතා කරනවා


රටේ නව දේශපාලන තත්ත්වය පිළිබඳව වාරිමාර්ග රාජ්‍ය අැමැති රංගෙ බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- යහ පාලනය හදන්න ආපු ආණ්ඩුව අන්තිමට පන්සලේ පිං කැටේටත් විදිනවා?   
පිළිතුර:-
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රකාශ කරලා තිබුණා මේක අලුතෙන් කරන වැඩක් නොවෙයි සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදයක් කියලා. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතේ පාලනය වන්නාවූ ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ ස්ථාන ගණනාවම මේ විදියට ලැබෙන පඬුරු මුදල් විගණනය කරනවා.   


ප්‍රශ්නය:- මේ විගණනය කරනවද? ඒ මුදල් ආණ්ඩුවට ගන්නවද?   
පිළිතුර:-
නෑ. ආණ්ඩුව ගන්නේ නෑ. අමාත්‍යංශයට ගන්නේ නෑ. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙම නැතිව පින් කැටයේ සල්ලි ගන්න ආණ්ඩුව අලුතෙන් කරපු දෙයක් නොවෙයි.   


ප්‍රශ්නය:- රංගිරි දඹුල්ල රජමහා විහාරයට අදාළව ප්‍රශ්නයක් ආවා. කන්දෙ විහාරයේ පින් කැටවලට සීල් තියනවා. හාමුදුරුවරුන්ට නම කියලා බණිනවා. බෞද්ධ විරෝධී වැඩ පිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ.   
පිළිතුර:-
එහෙම නෑ. පුරාවිද්‍යාවට අයත් ස්ථාන වැඩි දියුණු කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා දේශීය හා විදේශිකයන්ට ටිකට්පත් අලෙවි කරලා මුදල් ඉපැයීමක් සිද්ධ කරනවා. ඒ හරහා ලොකු මුදලක් මේ ස්ථානවල උපයනවා. හැබැයි සමහර ස්ථානවල නඩත්තුව ඉතාම දුර්වල තත්ත්වයක තියෙන්නේ. විෂය භාර අමාත්‍යතුමා අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මේ සල්ලි ශතයක්වත් රජයට ගන්නේ නෑ. මේ සෑම මුදලක්ම ශාසනයේ අභිවෘද්ධිය හා එම ස්ථානවල නඩත්තුවට තමයි යොමු කරන්නේ කියලා.   


ප්‍රශ්නය:- ආණ්ඩුව සල්ලි හොයන්න දඩ වැඩි කළා. බදු වැඩි කළා. දැන් පින් කැටේටත් විදිනවා කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ   
පිළිතුර:-
ඇත්තටම ශාසනයට රිංගමින් ඉන්න උදවියට තමයි එම චෝදනාව කරන්නේ. රැස්වීමක් තියාගන්න එළියෙ බැරිවෙනකොට පන්සලක් පන්සලක් ගානේ ගිහිල්ලා රැස්වීම් තියන උදවිය. ගෞරවණීය භික්ෂූන් වහන්සේලාත් බෞද්ධ ජනතාවත් කුලප්පු කරන්න ඔය වගේ වචන සෙට් එකක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ ඉන්නකම් කළේත් ඕකමයි. පින් කැටය ගැන අද කතා කරන උදවිය ශ්‍රීපාදයේ ඝණ්ඨාරයට කරපු වැඩේ මුළු රටම දන්නවා. ඒ විදියට සඟ සතු දේපොළ, නිධන් වස්තු හාරපු උදවිය දැන් පින් කැට ගැන කතා කරනවා. පිදුරුතලාගල ගිලපු මිනිසා දැන් අග්ගලාවක් ගැන කතා කරනවා.   


ප්‍රශ්නය:- කොහොම වුණත් මේ වෙනකොට මහා සංඝරත්නය ආණ්ඩුවට “රතු නිවේදන” නිකුත් කරන තැනට තත්ත්වය භයානක වෙලා?   
පිළිතුර:-
ව්‍යවස්ථාවට සම්බන්ධ කරලා විවිධ පාර්ශ්ව විවිධ මත ප්‍රචාරය කරනවනේ. ව්‍යවස්ථාව තුළ බුදු දහමට හිමි තැන අහිමි කිරීමක් කරන්නේ නැ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ හැමෝගෙම අදහස් අරගෙනයි. එහෙම ව්‍යවස්ථාවකින් කොහොමද බුදු දහමට තියෙන තැන අහිමි කරන්නේ? ඒ වගේම කාදිනල් වහන්සේත් බොහොම පැහැදිලිව කිව්වා බුදු දහමට තියෙන තැනට හානියක් වෙනවා දකින්න කවුරුවත් කැමැති නෑ කියලා. ඉතින් එහෙම නම් ලංකාවේ ඉන්න කතෝලික දහමේ පියාණන් කාදිනල් වහන්සේත් ඒ ස්ථාවරයේ ඉන්නවා නම් කාටද එහෙම දෙයක් කරන්න ඕනෑකම තිබෙන්නේ.   


ප්‍රශ්නය:- නමුත් ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාවල එවැන්නක් සඳහන් වෙනවා.   
පිළිතුර:-
ඕනෑම කෙනෙකුට යෝජනා ගේන්න පුළුවන්. නමුත් ක්‍රියාත්මක කරන්නේ මුළු පාර්ලිමේන්තුවමනේ. මෙතැන වැඩක් වෙලා තියෙන්නේ මාධ්‍ය තුළ ආණ්ඩුවට විරුද්ධව යමක් කිව්වම එතැන මාර්කට් එකක් හැදෙනවා. ඒ මාර්කට් එකෙන් ප්‍රයෝජන අරගෙන විපක්ෂයේ අය දවසෙන් දවස ගොතන අවනඩු තමයි මේවා.   


ප්‍රශ්නය:- ඔබ කියන්නෙ මේවායේ ඇත්තක් ඇත්තෙම නෑ කියලයි?   
පිළිතුර:-
මම ඔබට උදාහරණ දෙකක් කියන්නම්. එකක් ගොවීන්ට පොහොර සහනාධාරය මුදලින් ලබාදීමට කටයුතු කිරීම. ඒක ගොවියට කොච්චර පහසුද?. තමන්ගේ ගිණුමට මුදල් ටික එනවා. තමන්ට ඕනෑ දවසට ඕනෑ ප්‍රමාණයට පොහොර ටික ගන්න පුළුවන්. කලින් තිබුණ ක්‍රමයේදි ගොවියා ගොවි ජන සේවා කාර්යාලයට යන්න වෙනවා. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා හමුවෙන්න දෙතුන් වතාවක් යන්න වෙනවා. පොහොර ටික ගොවිජන සේවා මධ්‍යස්ථානයට කවදා හරි එනකම් බලාගෙන ඉන්න ඕනෑ. එකවර සියලුම පොහොර රැගෙන යා යුතු වෙනවා. ඒ පොහොර ටික ආරක්ෂා කර ගන්න වෙනවා. ට්‍රාන්ස්පෝට් එක එක දවසෙන් කර ගන්න වෙනවා. දැන් ඒ ක්‍රමය නෑ. ගොවියාට ඉතාම පහසු ක්‍රමයක් මේක. එහෙම තිබියදීත් අමුඩයක් ඇඳගෙන කිසිම ගොවියෙක් මේ මෑත කාලයේ කුඹුරට බහින්නේ නෑ. අපිත් කුඹුරු කරන මිනිස්සු. හැබැයි අමුඩ අන්දලා මිනිස්සු කොළඹට ගෙන්වලා පෙළපාළි යනවා. මෙන්න මේ කරන විගඩම් වැඩ. පාසල් නිල ඇඳුමට මුදල් දීමත් එහෙමයි. අවශ්‍ය කෙනෙකුට මුදල් අරගෙන නිල ඇඳුම මහ ගන්නත් පුළුවන්. අනවශ්‍ය කෙනෙකුට මුදල් නොගෙන ඉන්නත් පුළුවන්. ඒකටත් කොච්චර උද්ඝෝෂණ කළාද? හැබැයි ආණ්ඩුවෙත් වරදක් තියෙනවා මෙතැන.   


ප්‍රශ්නය:- ආණ්ඩුවේ වැරැදි තියෙනවා කියලා පිළිගන්න ඇමැතිවරු අඩුයි?   
පිළිතුර:-
නෑ. නෑ. ඔබ කියන අර්ථයෙන් නොවෙයි මම කිව්වේ. ආණ්ඩුව කරන වැරැද්ද තමයි අපි කරන වැඩේ හරියට මාර්කට් කරන්නේ නැහැ. රාජ්‍ය මාධ්‍ය වුණත් අපේ මතවාදය හරියට ජනතාව අතරට ගෙනියන්නේ නෑ. අපේ දර්ශනය තියෙනවා. නමුත් සංදර්ශනය නෑ. එදා සංදර්ශනය තිබුණා. නමුත් දර්ශනය නෑ.   


ප්‍රශ්නය:- මාධ්‍ය ඇමැති වෙනස් කළෙත් ඒ නිසාද?   
පිළිතුර:-
එ්ක මම දන්නේ නෑ. මාධ්‍ය පිළිබඳ හොඳ නිපුණතාවක් තියෙන දක්ෂයෙක් තමයි මාධ්‍ය ඇමැතිකමට පත් කරලා තියෙන්නේ.   


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂය අනාගමිකයි කියලා පක්ෂයේ ලේකම් ඇමැති කබීර් හෂීම් කිව්වා?   
පිළිතුර:-
අපි සෑම ආගමකටම සම්බන්ධයිනේ. ඉස්ලාම් හින්දු කතෝලික බෞද්ධ මේ සියලු දෙනා එකට එකතුවෙලයි මේ පක්ෂය හැදුවේ. එක් එක්කෙනාට උරුම වෙච්ච ආගමික පසුබිමක් තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය අසවල් ආගමේ කියලා වෙන් කරන්න බැහැනේ.   


ප්‍රශ්නය:- බුදු දහමට විශේෂ තැනක් දෙන්නද පෝය දවසෙත් බාර් අරින්න ඕනෑ කියලා ඇමැති මංගල සමරවීර කිව්වේ?   
පිළිතුර:-
අද පෝය දවසේ හා බාර් වහන දවසටනේ මත්පැන්වලට දැවැන්ත ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් මේක බරපතළ තත්ත්වයක්. මේ දවස්වලට හොර රහසේ නිෂ්පාදනය කරන මත්පැන් තමයි බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ. ඒ අයව බේරා ගන්නත් අවශ්‍ය වෙනවා.   


ප්‍රශ්නය:- ඒ කියන්නේ පෝය දවසේ බාර් ඇරීම ස්ථිරයි?   
පිළිතුර:-
මම නම් ඒක සුදුසුයි කියලා කොතැනකදිවත් කියන්නේ නෑ. මම අනුමත කරන්නෙත් නෑ. නමුත් රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වය තමයි මංගල සමරවීර ඇමැතිතුමා කිව්වේ.   


ප්‍රශ්නය:- රටේ සිද්ධවෙන දේවල් දැක්කම රටේ ආණ්ඩුවක් තියෙනවද කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා?   
පිළිතුර:-
මේ තත්ත්වය හරියට තේරුම් ගන්න ඕනෑ. මාධ්‍යවේදීන්ට ඇත්ත ලියන්න කතා කරන්න පුළුවන් තත්ත්වයක් රටේ තිබුණද? මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් රටේ තිබුණද?  මාධ්‍ය ආයතන කීයකට ගිනි තිබ්බද? බෝම්බ ගැහුවද? මාධ්‍යවේදීන් කී දෙනෙක් පැහැර ගෙන ගියාද? පහර දුන්නද? මරලා දැම්මද? වෘත්තීය අයිතීන් ඉල්ලපු අයට මොකද වුණේ? කටුනායක රොෂේන් චානකගේ සිද්ධිය ගන්න. ජෙනරල් ​ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පා ගමන් ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පවා පහර දුන්නා ජෙනරල් ෆොන්සේකාගේ බිරියට පවා පහර දුන්නා. රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තියලා මරලා දැම්මා. හලාවත ධීවරයෝ කිව්වේ “අපට සහන එපා, අපට නියමිත මිලට භූමිතෙල් දෙන්න” කියලයි ඉල්ලුවේ. සහනාධාර එපා කියපු මිනිසුන්ට වෙඩි තියලා මැරුවා.   


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ රටේ දැන් තියෙන තත්ත්වය ගැනයි?   
පිළිතුර:-
අතීතය අමතක කරන්න එපා. ඔය තත්ත්වය තුළ කවුද රටේ එළියට බැහැලා කතා කළේ? එදා උද්ඝෝෂණ කරන්න බෑ. කතා කරන්න බැහැ. නමුත් මේ යහපාලනය ආවට පස්සේ මිනිසුන්ට නිදහස උපරිමයෙන්ම ලැබිලා තියෙනවා. ඒ නිදහස ඉතාම අයුතු සහගත ලෙස අද විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් හසුරුවනවා. හේතු නැතුව සටන් කරනවා. ගොවියට පොහොර මිටිය වෙනුවට සල්ලි දුන්නාම ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරවනවා. කොළඹට ගොවීන් ගෙන්වලා පෙළපාළි යැව්වා.   


ප්‍රශ්නය:- මිනිස්සු වීදි බැහැලා තියෙන්නේ සාධාරණ හේතුමත නොවෙයිද? උමා ඔය විනාශය රටම දන්නවා.   
පිළිතුර:-
උමා ඔය ප්‍රශ්නය බරපතළ ප්‍රශ්නයක්. 2001 සැප්තැම්බර් මාසෙ 28 වැනිදා ඒ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඉංජිනේරු මහත්මයා ඔහු වාර්තාවක් ඉදිරිපත් කළා. ඩොලර් මිලියන 160කින් මේ බහු කාර්ය ව්‍යාපෘතිය නිම කරන්න. ඊට පස්සේ මේක ඩොලර් මිලියන 300 දක්වා ඉහළ යනවා. නැවත 2008 වෙනකොට ඩොලර් මිලියන 548 දක්වා මේ ව්‍යාපෘතියේ මිල වැඩි වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ අමාත්‍යංශයේ හිටපු කීර්තිමත් ලේකම්තුමා ගුණවර්ධන මහත්මයා මේ තත්ත්වය නිසා ඉල්ලා අස්වුණා. එහෙම කොන්ද පණ තියෙන නිලධාරීන් මේ අමාත්‍යංශයේ හිටියා. මේකට පාරිසරික වාර්තාව ගත්තේ අප්‍රේල් 12 වැනිදාවක. පරිසර අධිකාරියේ සභාපතිවරයාව හිටියේ චරිත හේරත්. ඔහු වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. මේ පොළොවේ තියෙන පැලුම් මේ ව්‍යාපෘතිය කිරීමේදී බාධාවක් නෑ කියලා. එහෙම වාර්තා අරගෙන තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඊට දින 4 කට කලින් චරිත හේරත් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් උමා ඔයට ගියා. එහෙම ගිහින් කරුණු 24කින් සමන්විත වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් ඒ වාර්තාව ඉදිරිපත් කළාම චරිත හේරත්ට වුණේ බලධාරින්ගෙන් බැණුම් අහන්න. ඊට පස්සෙ තමයි අප්‍රේල් 12 වැනිදා කඩිමුඩියේ අනික් වාර්තාව දුන්නේ.  


ප්‍රශ්නය:- ඒ කාලේ ඇමැති චමල් රාජපක්ෂ?  
පිළිතුර:-
ඔව් චමල් රාජපක්ෂ තමයි ඇමැති  


ප්‍රශ්නය:- නමුත් ව්‍යාපෘති පටන් ගන්නකොට හිටපු ඇමැති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන?  
පිළිතුර:-
ඔව්! ඒ වෙනකොට මේකේ ඔක්කොම කටයුතු කරලා ඉවරයි. පාරිසරික වාර්තා ඉදිරිපත් කරලා ඉවරයි. ඉරානය එක්ක ගිවිසුම් අත්සන් කරලා ඉවරයි.  

 
ප්‍රශ්නය:- ඔය කාලේ පරිසර ඇමැති චම්පික රණවක?  
පිළිතුර:-
ඔව්! ඒ වෙනකොට පරිසර ඇමැති චම්පික රණවක තමයි. එතුමා ඉන්න කාලේ හිටපු ඇමැතිතුමා තමයි පරිසර ශක්‍යතා වාර්තාව දීලා තියෙන්නේ?  


ප්‍රශ්නය:- එහෙමනම් උමා ඔය විනාශයට මහින්ද රාජපක්ෂ පමණක් වගකිව යුතුයි කියලා කියන එක සාධාරණද?  
පිළිතුර:-
එහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙම නම් එයා ඒ වෙලාවේ මේ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට කරපු තර්ජනය හා බලපෑම නොකර හිටියානම් ඒ වරදෙන් මුදවන්න තිබුණා. නමුත් නිලධාරින්ගේ හිසට පිස්තෝලය තියලා. දේශපාලනඥයන්ට බලපෑම් කරලා තමන්ට අවශ්‍ය විදියට වාර්තාවන් හදා නොගත්තා නම් නිදහස් කරන්න තිබුණා. ස්වාධීන නිවැරැදි වාර්තාවක් එන්න දුන්නේ නෑ. බලය අයුතු විදියට පාවිච්චි කරලා මහා විනාශයකට පාර කැපුවේ එයා. අයියා මහවැලි ඇමැති, මල්ලි ජනාධිපති. මේ අයිය මලෝ ගේම් එකෙන් පීඩනයට පත්වෙලා ඉන්නේ බණ්ඩාරවෙල ජනතාව. ඔවුන්ට බොන්න වතුරත් නැ. ඉන්න තැනකුත් නෑ. එහෙම කරපු මහින්ද රාජපක්ෂ කියනවා “සයිටම් එකටත් මාව අල්ලනවා. මත්තලටත් මාව කියනවා. මාගම්පුර වරායටත් මාව අල්ලනවා. උමා ඔයටත් මාව සම්බන්ධ කරනවා. එහෙම කියලා කියනවා සිරියාවේ ප්‍රශ්නයටත් මාව අල්ලයි කියලා. සිරියාවේ තත්ත්වයට තමයි බණ්ඩාරවෙල ජනතාව පත් කරලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- යහපාලනය බලයට ආපු ගමන් මහින්ද රාජපක්ෂ යුගයේ අාරම්භ කරලා තිබුණ බොහෝ ව්‍යාපෘති නතර කළා. වරාය නගරය පටන් ගත්තෙත් සෑහෙන කාලයකට පස්සේ. උමා ඔය ව්‍යාපෘතිය නතර කළත් ඉක්මනින්ම පටන් ගත්තා. එතකොට මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නැද්ද?   
පිළිතුර:-
මේ ප්‍රශ්න නිසානේ නතර කරන්න වුණේ? වරාය නගරය නතර කරන්න වුණේ සින්නක්කරව දීලා තිබුණ නිසයි. නමුත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පුළුවන් වුණා. ඒක වෙනස් කර ගන්න.  


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ උමා ඔය ගැනයි?  
පිළිතුර:-
ඔව්! ඒක තමයි උමා ඔය ගත්තත් ඒ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් කරගෙන ගිහිල්ලා. එතකොට කොහොමද නතර කරන්නේ? එක්කෝ අඩුපාඩු හදලා ඉදිරියට අරගෙන යන්න ඕනෑ. එහෙම නැත්නම් ඉවත් කරපු පස් නැවත පුරවලා වහලා දාන්න ඕනෑ. මේක කරන්න පුළුවන්ද? ඉරානය සමඟ තියෙන ගිවිසුම කැඩුවොත් අපට නඩු දායි.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ උමා ඔය ව්‍යාපෘතිය නතර කරන්නෙ නෑ.  
පිළිතුර:-
පවතින තත්ත්වය තමයි මම ඔබට පැහැදිලි ක​ෙළ්  


ප්‍රශ්නය:- සයිටම් එක වහන්නෙත් නෑ  
පිළිතුර:-
සයිටම් එක කියන්නේ ආයෝජනයක්. ඒක නතර කළොත් මෙතැනින් එහාට එක ආයෝජකයෙක් එයිද ලංකාවට? ඒක එක පැත්තක්. අනික් අතට සයිටම් එක ගැන වෛද්‍ය සභාවටත් රටේ අනික් අයටත් තියෙන ප්‍රශ්නය මේකේ ප්‍රමිතිය ගැනයි. එහෙමනම් වහන එක නොවෙයිනේ කරන්න තියෙන්නේ. සයිටම් එකෙන් මුළු රටටම අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කරන්න බැහැනේ. තව වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කළත් ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කරන්න බැහැ. සයිටම් වගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වැඩිම වුණොත් වරකට වෛද්‍යවරුන් සියයක් බිහිවෙයි. ඉතින් මේක වහන එක නොවෙයි කරන්න තියෙන්නේ. දැන් මේ දරුවන්ට මොකද්ද කරන්නේ? මහින්ද රජයනේ මේක පටන් ගත්තේ. රාජපක්ෂ පවුලේ අය ගිහින් මේක ආරම්භ කරලා එනකොට ඒ අය මේ ප්‍රශ්න ගණනාවක් ඇති කරලා. අද ගිහින් අනික් පැත්තේ හිට ගන්නවා. මේ අය හරිම දෙබිඩි මිනිස්සුනේ.  

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්


ප්‍රශ්නය:- රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක කියනවා ”සැප්තැම්බර්යේදී තීන්දුවක් ගන්නවා. මාත් එක්ක 16ක් ඉන්නවා කියලා?  
පිළිතුර:-
ඉතින් මොකටද සැප්තැම්බර් වෙනකම් ඉන්නේ? මෙච්චර කාලයක් හිටපු එකත් අපරාධයක් නේ ඇමැතිකම් කර කර. කලින්ම යන්න තිබුණානේ.  


ප්‍රශ්නය:- ගිවිසුම සැප්තැම්බර්වලින් ඉවරයි.   
පිළිතුර:-
ගිවිසුම තිබුණ නිසා ඉන්න වුණා නම් ඒකාබද්ධ විපක්ෂයෙ පනස් ගාණක් ඉන්නේ. එතකොට ගිවිසුම තිබියදීත් ඒ අය විපක්ෂයෙ ඉන්නේ? ඉතින් එහෙම නම් සැප්තැම්බර් වෙනකම් එයාට ඉන්න අවශ්‍ය නෑනේ. එයාට යන්න තිබුණානේ. ඒකාබද්ධ විපක්ෂයෙ හිටිය කියලා ඒ අයගෙ කාගෙද පක්ෂ සාමාජිකත්වය නැතිවුණේ. එහෙමනම් මෙයාට අද වුණත් යන්න පුළුවන්නේ.   


ප්‍රශ්නය:- ආණ්ඩුවේ අය විපක්ෂයට යන්නේ ප්‍රශ්න එච්චරටම උග්‍ර නිසා?  
පිළිතුර:-
නෑ. නෑ. ඒ ගොල්ලෝ හදවතින් මෙතැන නොවෙයිනේ ඉන්නේ. මෙතැන ඉන්නේ යැපීම සඳහායි. තව තැනක හදවත තියෙන්නේ.  


ප්‍රශ්නය:- සුජීව සේනසිංහ, හරීන් ප්‍රනාන්දු වගේ තරුණ දේශපාලනඥයන් කියන්නෙත් “ඉන්නේ කලකිරීමෙන්” කියලයි.  
පිළිතුර:-
ඔව්! යම් යම් කාරණා උඩ බොහෝ දෙනෙකුට එවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. වේදනාවට පත් වෙන්න වෙලා තියෙනවා. නමුත් එහෙම හරි අපට වැඩ කරන්න වෙලා තියෙනවා. රටේ ආගමනය වෙනුවෙන්. අපේ මිනිස්සු වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනෑ. මෙහෙ පීඩනයක් තිබුණත් නැවත ජනතා පීඩාවට පත්වන ආකාරයට වැඩ කරන්න අපට බැහැ.   


ප්‍රශ්නය:- මහින්ද සමරසිංහ ඇමැතිවරයා යටතේ ඔබ රාජ්‍ය ඇමැතිවෙලා හිටපු කාලේ ඔබට ගොඩාක් ප්‍රශ්න තිබුණා. අලුත් ඇමැති යටතේ ඔබ සතුටෙන්ද?  
පිළිතුර:
- ඇත්ත වශයෙන්ම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ​ෙය ඉන්නකොට කිසිම අවස්ථාවක කිසිම දෙයකට සහභාගි වෙන්නවත් අවස්ථාවක් දුන්නේ නෑ. අඩුම ගානෙ මම පටන් ගත්තු ව්‍යාපෘති එකක්වත් කරන්න දුන්නේ නැ.  


ප්‍රශ්නය:- ඇමැති මහින්ද සමරසිංහ?  
පිළිතුර:-
ඔව්! නිලධාරින් එක්ක සැලසුම් හදලා එනකොට නිලධාරින්ට සිග්නල් එකක් ලැබෙනවා මෙතැනින් එහාට ඕක ගෙනියන්න එපා කියලා. මම ඒ ඇමැතිවරයා දැනුම්වත් කරලයි ඔක්කොම කළේ. ඒත් කරන්න දුන්නේ නෑ.   


ප්‍රශ්නය:- අද ඔබ සතුටෙන්ද?  
පිළිතුර:-
ඔව් අද කිසිම ප්‍රශ්නයක් නෑ. අපි එකට එකතුවෙලා වැඩ කරනවා. මං හිතනවා මේ ඇමැතිතුමා විජිත් විජිතමුනි සොයිසා ඇමැතිතුමා අර කුහක මානසිකත්වයෙන් වැඩ නොකරයි කියලා.