පාස්කු ඉරිදා ප්‍රහාරය ආවේ මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම අතහැරීම නිසයි


හිටපු ආරක්ෂක ලේකම් 
ගෝඨාභය රාජපක්ෂ  

 

පාස්කු ඉරිදා ප්‍රහාරය ආරක්ෂක අංශවල මෙන්ම බුද්ධි අංශවල බිඳවැටීමේ ප්‍රතිඵලයක් බවට මතයකි. එය සත්‍යයක්ද? තිස්වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ කතා බහ එදා අද ආරක්ෂාව සම්බන්ධයෙනි.   


ප්‍රශ්නය:- ගෝලීය ත්‍රස්තවාදයට ලෝකයේ සෑම රටක්ම අඩු වැඩි වශයෙන් ගොදුරු වෙලා. ලංකාවට අත් වුණෙත් ඒ ඉරණම නේද? 


පිළිතුර:- ගෝලීය ත්‍රස්තවාදය කියලා කියන්නේ මුස්ලිම් අන්තවාදය මුල් කරගෙන මතුවෙලා තියෙන තත්ත්වයට. ත්‍රස්තවාදය කියන එකට උත්තරයක් වශයෙන් තමයි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කියන එක පටන් ගත්තේ. සැප්තැම්බර් 11 නිව්යෝර්ක් ප්‍රහාරයෙන් පස්සේ. ඊට පස්සේ ලෝකයේ හැම තැනම ඒකට සම්බන්ධ ත්‍රස්තවාදීන් ප්ලේන් පිටින් අරන් ගිය. ඇෆ්ගනිස්ථානයේ යුද්ධය... ඉරාකයේ යුද්ධය පටන් ගත්තේ ඊට පස්සේ. 


ප්‍රශ්නය:-එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඔය කියන ගෝලීය ත්‍රස්තවාදයට ඇතුළු කළ නොහැකිද? 


පිළිතුර:- ඇයි බැරි? එල්.ටී.ටී.ඊ. එකෙත් අවුරුදු 30ක් යුද්ධ කළා. එහෙම යුද්ධ කළේ අපේ රටේම කණ්ඩායමක් වුණාට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා. මුලින්ම ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායම පුහුණු කළේ ඉන්දියාවේ, තමිල්නාඩුවේ තිබුණ පුහුණු කඳවුරු. 


ඊළඟට ලෝකය පුරාම හිටපු එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව අරමුදල් එකතු කරලා අවි ආයුධ එව්වා. විවිධ රටවල්වල බලපෑම් ඇති කළා. විවිධ රටවල්වලින් දැනුම්වත්ව ආයුධ ආවා. එල්.ටී.ටී.ඊ. එක ගිහින් රජීව් ගාන්ධිව ඝාතනය කළා. 


ඒ අනුව එල්.ටී.ටී.ඊ.ය ගෝලීය ත්‍රස්තවාදයක් බවට පත් වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය විශාල හමුදාවක් වශයෙන් වැඩුණා. ඒ වගේ සංවිධානයක් ඒ වෙනකොට ලෝකයේ තිබුණෙත් නෑ. මරාගෙන මැරෙන කණ්ඩායම් ලෝකයේ හිටියේම නෑ. ඔය අද කියන අයි.එස්.අයි.එස්. සංවිධානය පූර්වාදර්ශ ගත්තේ එල්.ටී.ටී.ඊ. එකෙන්. ත්‍රස්තවාදය ගෝලීය ද දේශීය ද කියන එක නෙමෙයි ත්‍රස්තවාදය නැවතත් අපේ රටේ ඇතිවෙලා තියෙනවා. 


ප්‍රශ්නය:- එල්.ටී.ටී.ඊ. එකට සටන් පාඨ තිබුණා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට තියෙන්නේ අන්තවාදී ආගමික අරමුණු. ඒ අනුව ඔවුන්ගේ ප්‍රහාර එල්.ටී.ටී.ඊ. ප්‍රහාර සමග සසඳන්න බැහැ. 


පිළිතුර:- එහෙම කියන්න බැහැ. මෙය පාලනය කරගන්න කිසිම අමාරුවක් නැහැ. අද විවිධ කතා කියනවා. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ අපි බුද්ධි අංශ සමග සාකච්ඡා කරනකොට පැහැදිලිවම ඔවුන් හඳුනාගෙන තිබුණා රටේ ආරක්ෂාවට අදාළ අනාගත අභියෝග. 


එකක් තමයි එල්.ටී.ටී.ඊ. එකේ ඉතිරි වෙච්ච කොටස් යළිත් ත්‍රස්තවාදය ආරම්භ කරයි ද කියන එක. දෙවැනි එක තමයි මේ වගේ ඉස්ලාම් අන්තවාදී කොටස්වලින් ත්‍රස්තවාදයක් ඇති වෙයි ද කියන එක. තුන් වැනිව අන්තර්ජාතික කුඩු වගේ මාෆියා එයි ද කියන එක. මේ අභියෝග හඳුනාගෙන තිබුණා. 


ප්‍රශ්නය:- ඒ සම්බන්ධයෙන් ගත්ත පියවර? 


පිළිතුර:- ඔව්. ඒ වෙනුවෙන් අපි පියවර ගත්තා. මේ තර්ජනවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි සැලසුම් කළා. ඒ නිසාම තමයි අපේ කාලයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට යළිත් හිස ඔසවන්න බැරි වුණේ. 


සුළු සිද්ධියක් වුණත් අපි ඒවා හඹා ගියා. ඔබට මතක ඇති ගෝපිගේ සිද්ධිය. ඒ එක්කම තවත් එකක් අපි කළා. ඒ තමයි අපි නිලධාරීන්ව පුහුණු කළා. විශේෂයෙන්ම බ්‍රිගේඩියර් සුරේෂ් සලේව තෝරාගෙන ඇමරිකාවට යවලා පුහුණුවක් දුන්නා. එයා ලංකාවට ඇවිත් හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස වැඩ බාරගත්තා. එයා මට කිව්වා මේ ත්‍රස්තවාදය සයිබර් අවකාශය හරහා පැතිරෙනවා. අපි ඒක “මොනිටර්” කරන්න ඕන කියලා. ඒවා හොයන්න ඕනෑ. ඒකට අවශ්‍ය ස්ථානයක් අපි හදන්න ඕනෑ කියලා. 


ඒ අනුව අරලියගහ මන්දිරය ඉදිරිපස තිබුණු යුද්ධ කාලයේ අපි මාධ්‍ය වෙනුවෙන් පාවිච්චි කරපු ස්ථානය අපි එයාට දුන්නා. එතැනට අපි අවශ්‍ය උපකරණ ඒ කියන්නේ කොම්පියුටර්, ඒවා රෙකෝඩ් කරන ඒවා, ඒවට අවශ්‍ය මෘදුකාංග ඔක්කොම අරන් දුන්නා. එතැන ඉන්න නිලධාරීන් අපි පුහුණු කළා. 


ඇත්තටම ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ රටවල්වලින් ඇවිත් විවිධ අවස්ථාවල අවශ්‍ය පුහුණුව දුන්නා. ඊටත් එහා තරමට තවත් දේවල් කළා. ඒවා බුද්ධි අංශ දන්නවා. අපි මේකට සූදානම් වුණා. තර්ජන හඳුනාගෙන එය ඇති නොවන ආකාරයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. 


ප්‍රශ්නය:-ඔබ කියන්නේ 2015න් පස්සේ ඒ වැඩපිළිවෙළ නතර වුණා කියල ද? 


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. 2015 බලයට ආපු රජය මේක ඉදිරියට නොගෙන යෑම නිසා තමයි අද මේ ප්‍රශ්නය මතු වුණේ. 


ප්‍රශ්නය:- ඒ ඔබේ ආරක්ෂක වැඩපිළිවෙළ සුළු ජාතිකයන් මත මිලිටරි ආඥාදායකත්වයක් පැටවීමක් ලෙසයි අර්ථ දැක්වුණේ.  


පිළිතුර:- අපි යාපනයේ ඒ කාර්ය කරනකොට සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ආකාරයේ කිසි දෙයක් කළේ නැහැ. මාර්ග බාධක අයින් කළා. හමුදාව නිරන්තර සෝදිසි කිරීම් කිසිවක් කළේ නෑ. බුද්ධි අංශ හරහා සාමාන්‍ය ජනතාවගේ ශරීරවලට නොදැනෙන ආකාරයට තමයි ඒ කාර්යය කළේ.  


දියුණු රටවලත් ඒ අයගේ ආරක්ෂාවට යම් යම් දේවල් කරනවා. සමහර තැන්වලදී දැනෙන විදියට කරන්න වෙනවා. ගුවන් තොටුපලවළදී සපත්තුත් ගලවලා, බඳ පටිත් ගලවලා පරීක්ෂා කරනවා. නමුත් අනිත් අවස්ථාවලදී බුද්ධි තොරතුරු එකතු කිරීම විවිධ ආකාරයෙන් කරනවා. එහෙම දෙයක් කෙරෙනවා කියලා ජනතාව දන්නේ නෑ.  


සයිබර් අවකාශයේ කොහොමද යන්නේ. මොනවද බලන්නේ. අන්තවාදී වෙබ් සයිට්වලට හැම තිස්සෙම යනවාද? මේ ආකාරයෙන් පරීක්ෂා කිරීම් කරනවා. මේක සිදු කරන්නේ ජනතාවට නොදැනෙන ආකාරයට. ඔබ කියපු කාරණය හරි.  


ඒක සමහර අය වැරැදි විදියට අර්ථ දක්වලා සුළු ජාතිකයන්ට හිංසා කිරීමක් කියලා දේශපාලන වාසි ගන්න කටයුතු කළා. එහෙම කියපු අය තමයි 2015ට පස්සේ අර අපි කරගෙන ආපු වැඩපිළිවෙළ නැවැත්තුවේ. මේවා නැවැත්වීමෙන් පස්සේ වෙච්ච දේ තමයි මේ. මේකෙදී මෙච්චර වෙලාවට කතා කරනවා මේ සිද්ධිය විතරක් අරගෙන. සමහර පුද්ගලයන් කිසිම වගකීමක් නැතිව බුද්ධි අංශයට විවිධ ​චෝදනා කරනවා.   


මේ රජය මේවා නවත්තලා මේ තත්ත්වයට ගෙන්වා ගත්තා. මේ සිද්ධිය විතරක් අරගෙන මේ සිද්ධිය වළක්වන්න බැරි වුණා. තොරතුරු ලැබුණා නම් පොලිසිය ඇක්ෂන් ගත්තේ නැත්තේ ඇයි, පොලිස්පති අස්වෙන්න. ආරක්ෂක ලේකම් අස්වෙන්න. එහෙම කියනවා.  


ප්‍රශ්නය:-ඔබ කියන්නේ එහෙම වෙන්න අවශ්‍ය නෑ කියලද?  


පිළිතුර:- එතැන වැරැද්දක් වෙලා තියෙනවා. ඒක හරි. නමුත් ඊට එහා ගිය තැනක් තියෙනවා. මේක මේ එක දවසෙන් වෙච්ච දෙයක් නොවෙයි. මේ ආණ්ඩුව එන්න කලින් අපේ කාලයේ මේ වගේ දේවල් නොවෙන්න යොදපු ක්‍රමවේදයකුත් තිබුණා. ඒවත් මේ අය නැවැත්තුවා. ඒ නිසා තමයි මෙතැනට ආවේ.  


ප්‍රශ්නය:-එහෙම නවත්වන්නේ ඇත්තේ ඇයි? ඒ ගැන ඔබේ හැඟීම?  


පිළිතුර:- ඒකට හේතුව තමයි මම විශ්වාස කරන විදිහට ලෝකයේ සාමාන්‍ය සම්ප්‍රදාය විදියට ජාතික ආරක්ෂාව තමයි රජයක මූලික ප්‍රතිපත්තිය විය යුත්තේ. නමුත් මේ රජය ආවට පස්සේ ජාතික ආරක්ෂාවට දිය යුතු ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. ඒක කළේම දේශපාලන හේතු මත.  


අපේ කාලයේ අපි ආරක්ෂාව කියලා විරුද්ධ පක්ෂ පස්සේ එලෙව්වේ නැහැ. අපි බුද්ධි අංශවලට හමුදාවලට ප්‍රමුඛත්වය දුන්නේ ජාතික ආරක්ෂාව මුල් කරගෙනයි. මේ ආණ්ඩුව ආවට පස්සේ සංහිඳියාව, මානව හිමිකම්, පුද්ගලයන්ගේ නිදහස ගැන කතා කරන්න පටන් ගත්තා.  

ප්‍රශ්නය:-ඔබ කියන්නේ ඒවා යට කළ යුතුයි කියලද?  


පිළිතුර:- ඒවා අවශ්‍යයි. ඒවා පදනම් විය යුත්තේ ජාතික ආරක්ෂාව මතයි. ජාතික ආරක්ෂාව නැත්නම් මේ එකක්වත් ස්ථිර වෙන්නේ නෑ. අද මොකද වෙලා තියෙන්නේ. ඒ මේ අය හිතුවා ජාතික ආරක්ෂාව ගැන ක්‍රියා කළොත් සහජීවනය නැතිවෙයි, මානව හිමිකම් කඩවෙයි කියලා. මේක වැරැදි මතයක්.  


ඒ වැරැදි මතය තුළ ඉඳගෙන ජාතික ආරක්ෂාවට මේ රජය ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. දැන් අවුරුදු තුන හමාරකට හතරකට පස්සේ ඒ සියල්ලම නැති වෙලා. අද සංහිඳියාවක් කරන්න පුළුවන්ද? බෑ. අද මිනිසුන්ට නිදහස තියෙනවද? කතා කිරීමේ නිදහස තියෙනවද? මාධ්‍ය නිදහස තියෙනවද? අද පාරට බහින්නේ කොච්චර බයෙන්ද? අන්තර්ජාලය අද තියෙනවද? ආරක්ෂාව ගැන ප්‍රමුඛස්ථානය නුදුන් නිසා ඒ සියල්ලම අද අහිමිවෙලා.  


මේවා වැරැදියට මේ අය තේරුම් ගත්තේ. මානව හිමිකම් කියන එක ලෝකයේම පිළිගන්නවා. හැබැයි මානව හිමිකම් තියෙන්නේ හොඳ මිනිසුන්ට. අද වෙලා තියෙන්නේ මානව හිමිකම් ගැන කතා කරන්නේ ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැනයි. මේ රජයත් එකතු වෙලා ජිනීවා ගිහින් අපට චෝදනා නගලා තියෙනවා මොකටද?  


ත්‍රස්තවාදය නැති කිරීම නිසා. ත්‍රස්තවාදීන් කරපු ජන සංහාර ගැන කිසිම කතාවක් නැහැ. හැබැයි ඒ අයගේ මානව හිමිකම් ගැන තමයි අද කතා කරන්නේ. අපිට නඩු දාන්නෙත් ඒ ගැන. දැන් මට ඇමෙරිකාවේ නඩුවක් දාලා තියෙනවා. මගෙන් වන්දි ඉල්ලලා. මම හිටපු ආරක්ෂක ලේකම් විදියට.  


ප්‍රශ්නය:- ඔබ ඔහු ගැන දන්නවද?  


පිළිතුර:- පෞද්ගලිකව නෑ. නමුත් ඔහු ත්‍රස්තවාදීන්ට රේඩියෝ සන්නිවේදන උපකරණ ගෙන්වපු මිනිහා. ඒ සම්බන්ධයෙන් මේ රටේදී වැරැද්ද පිළිගත්ත මනුස්සයා. ලක්ෂ පහක දඩයකුත් එයාට ගැහුවා. ඒ මනුස්සයා ගිහින් මගෙන් වන්දි ඉල්ලලා නඩුවක් දාලා එයාට හිංසා කළා කියලා. බලන්න මේ වගේ තත්ත්වයකට ගිහිල්ලනේ.  


ඒ නිසා මානව හිමිකම් වගේ සංකල්පවලදී අපි පරිස්සම් වෙන්න ඕනෑ වැරැදි ආකාරයෙන් පාවිච්චි නොකරන්න. ඒ නිසා මම කියාගෙන ආවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණේ මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම අතහැරීම නිසයි. 

 
ප්‍රශ්නය:- හමුදා බුද්ධි අංශ බොහොම කඩිසරයි කියලා රජයේ පාර්ශ්වයෙන් කිව්වා? 


පිළිතුර:- එහෙම කියනවා. නමුත් මේ අය බුද්ධි අංශ ජාලය කඩලා දැම්මා. අපේ රටේ තියෙනවා බුද්ධි අංශ ගණනාවක්. මුලින්ම තියෙනවා ජාතික බුද්ධි අංශය. ඊළඟට පොලිසියේ විවිධ බුද්ධි අංශ තියෙනවා. ටී.අයි.ඩී., සී.අයි.ඩී. සී.සී.ඩී. ස්පේෂල් බ්‍රාන්ච් මේ වගේ ඒවා තියෙනවා. ඊළඟට යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ බුද්ධි අංශ තියෙනවා. මම මේ අතින් බුද්ධි අංශ පහත් කරනවා නොවෙයි.


මගේ පළපුරුද්ද අනුව මම කියන්නේ මේ රටේ තිබුණු හොඳම ඉහළම බුද්ධි අංශය යුද හමුදා බුද්ධි අංශය. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය. මේ බුද්ධි අංශයට විශාල වශයෙන් තොරතුරු ඒකරාශි කරලා දෙන කණ්ඩායම් ඉන්නවා. පන්දාහක් විතර ඉන්නවා. අවුරුදු ගණනාවක් තිස්සේ. බුද්ධි අංශ පටන් ගත්ත දවසේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගෙන ආපු එකක්. බුද්ධි අංශ නිලධාරීන් මැරුවා කිව්වම අපිට මතක් වෙන්නේ මුතාලිෆ්ලා. හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් තමයි මතක් වෙන්නේ.


මේ රජය ආපු ගමන් මොකද කළේ? මේ බුද්ධි අංශය අක්‍රිය කළා. ඒ අයට තිබුණු බලය ඉවත් කළා. බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාව, අපි මේකට පුහුණු කරපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා මේකෙන් අයින් කරලා මැලේසියාවට යැව්වා. මොකටද? ඇයි ඒ. මොනවාටද යවන්නේ. එයාව යැව්වා. මෙන්න මේ වගේ අදූරදර්ශී වැඩ නිසා තමයි අද මේ තත්ත්වයට ආවේ.
අපි ඒවා ගැන කතා නොකර අද දවසේ සිදුවීම් ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. දැන් මේක සිද්ධ වෙලා ඉවරයි. අපි දැන් කල්පනා කළ යුත්තේ කොහොමද මේකෙන් ගැලවිලා රටක් ජාතියක් විදියට ඉදිරියට යන්නේ කියලා. එහෙම යන්න අපි කරපු වැරැදි හඳුනාගත යුතුයි. මේක මේ ගෝලීය ත්‍රස්තවාදයක්, මේක එල්.ටී.ටී.ඊ. වගේ නෙවෙයි, එහෙම කියන්න බෑ. අපිට පිටරටින් බුද්ධි තොරතුරු ලබාගන්න පුළුවන්. මොකද මේ ත්‍රස්තවාදීන්ට පිටරට සම්බන්ධතා තියෙන නිසා. නමුත් අපේ බුද්ධි අංශ තමයි ශක්තිමත් විය යුත්තේ.


ප්‍රශ්නය:- මුස්ලිම් අන්තවාදය මතුවෙන්න ඔබේ කාලයේ අලුත්ගම සිද්ධිය, දර්ගා නගරයේ සිද්ධිය බලපෑවා කියලා ඔබ හිතන්නේ නැද්ද? මුස්ලිම් ජනතාවට ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඒ සිද්ධි නිසා ඇති වුණා.


පිළිතුර:- එහෙම කියන්න බැහැ. ජාතිවාදී ප්‍රශ්න අපේ කාලයේ විතරද? සිංහල මුස්ලිම් කෝලාහලවල ද ඉතිහාසය කොච්චර ඇද්ද? අලුත්ගම සිද්ධිය නිසා මෙහෙම ත්‍රස්තවාදයක් ඇති වෙනවා කියලා කියන්න පුළුවන්කමක් නෑනේ. මේ වගේ සිද්ධි මෙයට පෙරත් ඇතිවෙලා තියෙනවා.


අපේ කාලයේ යම් යම් සිදුවීම් වුණා. ඒ වගේම ඒවට අපි ප්‍රතිකර්මත් කළා. නමුත් මේවා වැරැදි විදියට අර්ථකථන දුන්න නිසා තමයි ජනතාව තුළ වැරැදි මතයක් ඇති වුණේ. ඒ නිසාම තමයි මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව ඡන්දය දුන්නේ. ඒක දේශපාලනික දෙයක්. එහෙම එක සිද්ධියකට මේ වගේ ත්‍රස්තවාදයක් ඇති වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑනේ.


ප්‍රශ්නය:-ඔබ හිතන විදියට මුස්ලිම් අන්තවාදය මෙහෙම හිස ඔසවන්නේ ඇයි?


පිළිතුර:- ගෝලීය ත්‍රස්තවාදය කියන්නේ මුස්ලිම් ආගම තුළ අන්තවාදී අදහස් ඇති පිරිස් සිටී. මුළු ලෝකයේම විවිධ ආගමික ප්‍රචාරකයන් අතර අන්තවාදීන් හිටියා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව තුළත් ප්‍රශ්න මතු වෙන තරමට ඉස්ලාම් අන්තවාදය ආවා.


මේවා නිසා ලෝකයේ හැම රටකම ප්‍රශ්න මතුවුණා. ඒ නිසා සිංගප්පූරුවේ පවා ආගමික සහජීවන මධ්‍යස්ථාන ඇති වුණා. මමත් ගියා ඒක බලන්න. ඒකම තමයි අපේ රටේත් ඇති වුණේ. අපේ මුස්ලිම් සමාජය තුළත් අන්තවාදීන් බිහිවුණා.


ප්‍රශ්නය:-මේ ප්‍රශ්නයට තියෙන උත්තරය.


පිළිතුර:- විවිධාකාරයෙන් මැදිහත් වෙන්න වෙනවා. ත්‍රස්තවාදයක් තරමට වර්ධනය වුණාම ඒක මර්දනය කළ හැකි වන්නේ යුදමය වශයෙන් පමණයි. බුද්ධි අංශවලින් කළේ එවැනි අන්තවාදී අදහස් පැතිරෙනවාද? ඒවා ත්‍රස්තවාදයක් බවට පත් වෙයි ද කියලා සොයා බැලීමයි. මෙහෙම නොමග ගිය අය අත්අඩංගුවට ගන්න හැකිවෙන්නේ බුද්ධි අංශ තොරතුරු හරහායි. ප්‍රමුඛතාව බුද්ධි අංශයයි. මේ අවස්ථාවේදී වුණත් ත්‍රස්තවාදීන් අල්ලා ගන්නා ගමන්ම සමාජය තුළ විවිධ කටයුතු කරන්න වෙනවා. මේවා ඒ අවස්ථාවල කතා කළොත් ජාතිවාදී වෙනවා.


එහෙම ජාතිවාදී කියලා චෝදනා කරන්නේ හැම දෙයක්ම දේශපාලනිකව බලන්න ගිහින්. අපේ සමජය තුළත් මුස්ලිම් සමාජයේ වෙනසවීම් ගැන කතා කළානේ. ප්‍රසිද්ධියේ කතා නොකළත් සමාජය ඇතුළේ එහෙම කතාවක් තිබුණා. සාම්ප්‍රදායිකව තිබුණු තත්ත්වයෙන් මිදිලා වෙනස් වෙනකොට ඒ ගැන කතාවක් සමාජය තුළ ඇති වුණා.


ප්‍රශ්නය:-ඔබ කියන කාරණය පැහැදිලි මදි?  


පිළිතුර- මුස්ලිම් සමාජයේ සාම්ප්‍රදායික තත්ත්වය වෙනස් වුණානේ. මෑත කාලයේ වේගයෙන් වෙනස් වුණානේ. අපි පොඩි කාලේ බුර්කාව අඳිනවා දැක්කේ නැහැනේ. මැදමුලන අපේ ගෙදරට යන්න ඉස්සෙල්ලා යක්ගස්මුල්ල කියලා ගමක් පාස් කරගෙන අපි යන්නේ. ඒක මුස්ලිම් ගමක්. පොඩි කාලේ අපි දැකපු ගම නොවෙයි දැන් තියෙන්නේ. බුර්කාව තමයි අද එහෙ ඇඳුම. අද මුස්ලිම් සමාජයෙන් පවා මේ සම්බන්ධයෙන් විවේචනයක් තියෙනවා. සමාජයක් එහෙම වේගයෙන් වෙනස් කොට ඒ ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුයි.   


ප්‍රශ්නය:-ඔබ බුද්ධි අංශ අකර්මන්‍ය කරලා කිව්වත් ඔවුන් වැඩේ කරලා තියෙනවා. එතැනින් එහාටයි ක්‍රියාත්මක වෙලා නැත්තේ?  


පිළිතුර- දැන් හොයාගෙන වැඩක් නැහැනේ. එතැනට එන එක වළක්වන්නනේ අවශ්‍ය. බුද්ධි අංශ අකර්මන්‍ය කරපු නිසානේ එතැනට එනකන් මේක වර්ධනය වුණේ. එතැනට එනකන් වර්ධනය වෙන්න ඉඩ දුන්නා නම් වැඩක් නැහැනේ. ඔය බුද්ධි අංශ තොරතුරුවලට වඩා තොරතුරු පත්තරවල තියෙනවනේ. අනික ඔය තොරතුරු දීලා තියෙන්නෙත් ඉන්දියාවේ බුද්ධි අංශ. ඒක සිංහලට පරිවර්තනය කරලා යවලා තියෙනවා. ඒක බුද්ධි අංශයට අයත් වැඩක් නෙවෙයිනේ. ඒක මේ තැපැල් දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් වැඩක්. එතැනට එනකම් බලාගෙන ඉඳීම තමයි මෙතැන වැරැද්ද.  


ප්‍රශ්නය:- මේ මොහොත වනවිට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වෙලා.  


පිළිතුර- ඊළඟට අපි බලාගෙන ඉන්න ඕනෑ පස්වැනි ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙනකම්. මේ අවුරුදු හතරට ඊළඟට එන්න ඉන්නේ පස්වැනි ආරක්ෂක ලේකම්. තනතුරුවලට සුදුසු අය දාන්න ඕනෑ. මම අහන්නෙ ඇයි? ඇයි අර බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා මාරු කළේ. එයා ගෝඨාගේ මිනිහා කියලා. ගෝඨාගේ මිනිස්සු කියලා නෑ මේකේ. හමුදාවේ ගෝඨාගේ මිනිස්සු නැහැ. ඒ අය අවුරුදු විස්සක් තිහක් තිස්සේ වෘත්තිමය වශයෙන් හමුදාව තුළ ඉහළට ආපු නිලධාරින්. මම එනකොටත් ඒ අය ඔය අංශවල හිටපු අය. ඒ අය ගෝඨාගේ මහින්දගේ අය නොවෙයි. මේක තමයි මේ අය කරපු වැරැද්ද? හරි පුද්ගලයන් හරි තැන්වලට දාන්න ඕනෑ. මේ අවුරුදු හතරට ආරක්ෂක ලේකම්වරු පස් දෙනයි. පස් වැනියත් කොච්චර කාලයක් ඉඳියි ද?  


ප්‍රශ්නය:-ජනාධිපතිවරයා විශේෂ කොමිසමක් පත් කරලා තියෙනවා?  


පිළිතුර- තනිකර බොරුවක්නේ. මට කනගාටුයි එහෙම කියන්න වීම ගැන. හමුදා නිලධාරින් බුද්ධි අංශ නිලධාරින් ඉන්නවා. ඔවුන්ව පත් කරන්න. ඒ අය දන්නවා වැරදුනේ කොහේද කියලා. පිට අය දාලා මේක හොයන්න පුළුවන්ද?   


ප්‍රශ්නය:-ඔබේ මිත්‍රයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ​ෆොන්සේකාට නීතිය හා සාමය භාර අමාත්‍යාංශය භාර දෙන්න යනවා කියලා ආරංචියි?  


පිළිතුර- එයා හරි කියලා හිතනවා නම් එයාට බාර දෙන්න ඕනෑ. ඒක රජයේ වැඩක්. එහෙම බාර දුන්නොත් එයා හරියට කළොත් හොඳයි. එයත් දේශපාලනික වශයෙන් එයාගේ හතුරන් කියලා එයා හිතාගෙන ඉන්න මිනිස්සු පස්සේ යන්න ගියොත් එයාගෙනුත් වැඩක් නෑ. ​ඕක නොවෙයි ප්‍රශ්නය. අද නිලධාරින් බයයි වැඩ කරන්න. තීන්දු ගන්න බයයි. අපි හරි දේ කරන්න ගිහිල්ලා අනාගතේ හිරේ යන්න වෙයි කියලා මේ නිලධාරින් හිතනවා. ඒනිසා පැහැදිලි තොරතුරක් ආවාමත් ඒවා ඉහළට යොමු කරලා නිකම් ඉන්නවා. ඔබ දන්නවා ආරක්ෂක ලේකම් දුන්න උත්තරය. එයා එහෙම උත්තරයක් දුන්නත් එයා දන්නවා මේ රජය ජාතික ආරක්ෂාව ගැන විශේෂයෙන් සලකන්නේ නැහැ කියලා.

පොලිස්පතිවරයට මේ වගේ දරුණු තොරතුරක් ලැබුණම ඒක නිකම්ම පහළට යැව්වේ ඇයි? අනික් නිලධාරින් ඇක්ෂන් ගත්තේ නැත්තේ ඇයි? මේ ඔක්කොම අය දන්නවා මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා. මේක තමයි ඇත්ත.  


ප්‍රශ්නය:-රට මෙතැනින් කොතැනටද?  


පිළිතුර- රට ඉදිරිපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. රටේ ආර්ථිකය විනාශයි. ජන ජීවිතය විනාශයි. භීතියෙන් සැකයෙන් ඉන්න වෙලා තියෙනවා. තිස් අවුරුද්දක යුද්ධය ඉවර කරන්න මූලික වෙච්ච කෙනෙක් හැටියට මම කනගාටු වෙනවා. රට නැවතත් මේ තත්ත්වයට පත්වීම ගැන.  

 

 

සාකච්ඡා කළේ- 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්