පන්සලෙන් පන්සලට ගිහින් දේශපාලනය කරන්නෙ නැතුව ඩාලි පාරට ඇවිත් අපිත් එක්ක දේශපාලනය කරන්න


වරාය සහ නාවික කටයුතු අමාත්‍ය 
මහින්ද සමරසිංහ

 

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අමාත්‍ය මහින්ද සමරසිංහ සමඟ කළ සාකච්ඡාවකි.

 

ජනාධිපතිතුමාම පහුගිය දවසක උත්සවයක් අමතමින් කිව්වා යම් යම් දේ අතින් අපි ෆේල් කියලා. එතුමාම එහෙම කියද්දි අපි මොනව කියන්නද? 


එතුමා සමස්තයක් හැටියට අපි ෆේල් කියලා නෙවෙයි කිව්වෙ. එතුමා උද‌ාහරණ දෙකක් දක්වලා ඒ අතින් අපට තාමත් හරි විසඳුමකට එන්න බැරිවෙලා. ඒ අතින් අපි ෆේල් කියලා තමයි කිව්වේ.

 
ඇත්තටම මම නම් දකින්නේ එතුමා වගේ අවංක නායකයෙක් හරි වටිනවා කියලා. හරිම විවෘතව එතුමා තමන්ගේ අඩුපාඩු ගැන කතා කරනවා. එතුමා ඉදිරි දේශපාලනය ගැන විතරක් හිතනවා නම් තමුන්ගෙ අඩුපාඩු ගැන විවෘතව ඔය වගේ ප්‍රකාශ කරන්නේ නෑ. එතුමා හැම තිස්සෙම හිතන්නේ රටක් වශයෙන්. 


ඒක තමයි වෙන නායකයන්ට වඩා එතුමාගෙ තියෙන වෙනස. එතුමගෙ මේ විවෘත අදහස් ප්‍රකාශ කිරීම සුබවාදී විදියට භාරගන්න ඕන කියලයි මම හිතන්නේ. 


ඒ වගේම එතුමා තවත් තැනක සඳහන් කරලා තිබුණා. දැන් ඉන්න බහුතරයක් දේශපාලකයෝ වංචාකාර, දූෂණයට බර කපටියො වගේ අදහසක්. කවුරු ගැන ද මේ කියන්නේ? 


නම් කියලා කිව්වෙ නැති නිසා අපට කියන්න බෑ කවුරු කවුරුන් ගැන ද මේ කියන්නේ කියලා. ඒත් අපි මාධ්‍යයෙන් එහෙම දන්නවනේ ඔය සමහර දේශපාලකයන්ගේ කෙරුවාවල්? 


දේශපාලකයෝ මීට වඩා තමන්ගෙ හැසිරීම යහපත් කරගත්තොත් මේ වගේ චෝදනාවලට ලක්වෙන එකක් නෑ. 


දැන් මහින්ද සමරසිංහ ඇමැතිතුමා වැඩිවෙන පඩිය අරගන්නවද? 


මම සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට වගකීමෙන් යුතුව කියනවා. පක්ෂයක් විදියටත් අපි ඔය පඩි වැඩි කිරීමට විරුද්ධයි. මේ මොහොතේ එවැනි දේකට අපිට එකඟවෙන්න බෑ කොහෙත්ම. ජනාධිපතිතුමත් මේ ගැන දැඩි ස්ථාවරයක ඉන්නවා පඩි වැඩි කිරීමක් නොකළ යුතුයි කියලා. 


එතකොට මේ හදිස්සියේ කාගේ ඕනකමට ද ඔය කතාව කරළියට එන්නේ? 


ඕකේ යම් පසුබිමක් තියෙනවා. පාර්ලිමේන්තුවෙ යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා වසර ගණනාවකට පෙර විනිසුරුවරුන්ගේ පඩි වැඩිවීමක දී ඒ හා සමාන පඩි වැඩිවීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ලැබෙනවා කියලා. නමුත් මට නම් මතක නෑ මෑත ඉතිහාසයේ ඔය දේ ක්‍රියාත්මක කළා කියලා. වෙන වෙන අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩි සහ දීමනා වැඩිවෙලා තිබුණත් විනිසුරුවරුන්ට සමගාමීව මන්ත්‍රී වැටුප් වැඩිවීමක් මෑතක සිදුවුණේ නෑ. ඔන්න ඔය පදනම මත තමයි මේ කතාව මේ මොහොතේ කරළියට එන්නේ. 


මොකද පසුගියදා විනිසුරුවරුන්ගේ පඩි වැඩි වීමකට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒත් අපිට තීරණයක් ගන්න පුළුවන් ඒක කාලෝචිත ද නැද්ද කියලා. ඒ අනුව එය ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. මේ පිළිබඳ අදහස් දක්වපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුගෙ අදහස වෙලා තියෙන්නේ මේ වෙලාවෙ මෙවැනි දෙයක් අවශ්‍ය නෑ කියලා. ඒක ඉතාම හොඳ දෙයක්. එහෙම දෙයක් සිද්ධවුණොත් ලොකු ජනතා විරෝධයක් එන්නත් පුළුවන්. 


එතකොට කවුද මේ වැඩි පඩි ඉල්ලුවේ? 


ඇත්තටම මම නම් දන්නේ නෑ කවුද ඉල්ලුවෙ කියලා. පක්ෂ නායකයන්ගෙ රැස්වීමේදී මේ ගැන කතාබහ කළෙත් නෑ. මම පක්ෂ නායක රැස්වීම නියෝජනය කරන නිසා වගකීමෙන් යුතුවයි කියන්නේ. මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඇවිල්ලත් නෑ. මුදල් ඇමැතිතුමා පවා මේකට විරෝධතාව දැක්වූවා. මට පේන විදියට කවුරු හරි ආණ්ඩුවෙ එකවුන්ට් එකට වැටෙන්න ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න මතු කරපු කාරණයක් වගේ තමයි පේන්නේ. ඇත්තටම මේක මේ තරම් සාකච්ඡාවට ලක්වීම අපිටත් ප්‍රහේලිකාවක්. 


ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා කියන්නේ පක්ෂනායක රැස්වීමේ දී මේ කාරණය එ්කමතිකව තීන්දු වුණා කියලා. බොරු ද එතකොට ඒ කතාව? 


ඇත්ත වශයෙන්ම ඒක අසත්‍යයක්. මම දැනුම්වත්ව එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ. මම පක්ෂ නායක රැස්වීම් හැම එකකටම වගේ සහභාගි වුණා. ඒත් මේ මාතෘකාව සාකච්ඡාවට ගත්තේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ක්‍රමයක් ගැන නම් යම් කතාබහක් ඇති වුණා. ඒත් ඒ ගැනත් අවසන් තීරණයකට එළඹුණේ නෑ. 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුදුම සැප ටිකක්නේ හම්බවෙන්නේ. කොච්චර දුන්නත් මදිද? මේ අයට ඇත්තටම මේ තරම් අහේනියක් තියෙනවද? 


ඇත්තටම මේක පුළුල් විදියට බලන්න ඕන කාරණයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට මහජනයා නොදන්න නොපෙනෙන වියදම් ටිකක් තියෙනවා. ඒක ගොඩක් අය තේරුම් අරගෙන නැති දෙයක්. තමන්ගේ ආසනේ මළ ගෙදරකට මන්ත්‍රීවරයෙකු යද්දී වුණත් අත්දෙක වන වන යන්නේ නෑනේ. බීම කේස් එකක්, හාල් මිටියක් හරි ගෙනියනවා. එහෙම නැත්නම් සල්ලි ටිකක් දෙනවා. ඒ ඒ අයගෙ තරාතිරම අනුව ඒ උදව් පදව් කිරීම වෙනස් වෙනවා. ඔය වගේ කොච්චර දේවල් තියෙනවද? ගොඩක් අය මේ ගැන කතා කරන්නේ නෑ. අපිත් මේ වගේ කොච්චර දේවල්වලට අමතර මුදලක් වියදම් කරන්නද? අපිට හම්බවෙන පඩිය ගෙඩිය පිටින් සාක්කුවෙ ද‌ාගන්න හම්බවෙන්නෙ නෑ. සමාජ සුබසාධනයට ඒකෙන් වැඩි හරියක් වියදම් වෙනවා. අපේ රටේ මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට දරන්න තියෙන වගකීම් සහ යුතුකම් එක්ක ඔවුන්ට තාම සරිලන වැටුපක් නොලැබෙන බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නන්නත්තාරවෙලා නේද? ඉරණම කොයි වගේ වෙයිද? 


මම නම් එහෙම හිතන්නෙ නෑ. පක්ෂය හොඳ ශක්තිමත් තැනක තියෙනවා. පක්ෂය අද බෙදිලා තියෙන බව මම පිළිගන්නවා. අපේ පක්ෂයේ හිටපු අයගෙන් බහුතරයක් අද ඉන්නෙ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ගොඩේ කියන එක පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඔප්පු වුණා. සමස්තයක් විදියට සීයට පහළොවක ඡන්ද ප්‍රමාණයක් අපටත් ලැබුණා. මම හිතන්නේ ඒ සීයට පහළොව තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් කියලා. ජනාධිපතිවරණයක දී විශේෂයෙන් මේ සීයට පහළොව තමයි තීරණය කරන්නේ කවුද ජනාධිපති වෙන්නේ කියලා. 


පාර්ලිමේන්තු මැතිවරණයකදිත් කවුද ආණ්ඩුවක් පිහිටුවන්නේ කියන එක තීරණය වෙන්න මේ ඡන්ද ප්‍රමාණය විශාල බලපෑමක් වෙනවා. අපි දැන් මේ සීයට පහළොව තවදුරටත් වැඩි වර්ධනය කරගැනීමේ වැඩපිළිවෙළක නිරත වෙමින් ඉන්නවා. 


මොකක්ද ඒ ක්‍රමය? පොහොට්ටුවෙ කට්ටිය ඇදලා ගන්න ට්‍රයි කරන එකද? හිටපු ද‌ාසයකුත් ගැලවිලා ගියා මේ අස්සේ? 


අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ. අපි කොහාටවත් යන්න ඕන කමක් නෑ. මෙතෙන්ටයි හැමෝම එකතුවෙන්න ඕන. අපි ඉන්නෙ හරි තැන. 


හැබැයි ඔය තැන් තැන්වලට ගිය ශ්‍රීලනිපයේ කට්ටිය ආපහු එන පාටකුත් නෑ නේද? 


ඒ උදවිය එන එක හෝ එන්නෙ නැති එක ඒ ගොල්ලන්ගෙ තීරණයක්. හැබැයි අපේ දොරවල් ඒ ඕනම කෙනෙකුට විවෘතයි. අපි ප්‍රාර්ථනා කරනවා හරි වෙලාවට ඒ අය නියම තැනට එයි කියලා. පන්සලෙන් පන්සලට යන ගමන් දේශපාලනය කරන්නේ නැතුව ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයට ඇවිත් අපිත් එක්ක දේශපාලනය කරන්න කියල ඒ අයට අපි ආරාධනා කරනවා. ඒක ඒගොල්ලො ගන්න ඕන තීරණයක්. 


එතකොට 16 දෙනා....? 


ඒ අයගෙ ප්‍රශ්නයක් නෑ. ඒ පිරිස ආණ්ඩු විරෝධී කණ්ඩායමක් හැටියට විපක්ෂයෙ වාඩිවෙලා හිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු හැටියට තාම කටයුතු කරගෙන යනවා. 


• ඒ ‌‌ද‌ාසයෙනුත් සමහරු මගට ගිහින් ආපහු හැරෙනවා වගේ. ඇත්තටම දයාසිරි ජයසේකර කොතනද ඉන්නේ හරියටම? 


දයාසිරි ජයසේකරම පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනවා එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරෙන්න වෙන කොහේවත් යන්නෙ නෑ කියලා. ඒ වගේම ඔය 16 දෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට යන්නෙ නෑ. ඔය කවුරුවත් පොහොට්ටුවෙ සාමාජිකත්වය අරගෙන නෑනේ. පොහොට්ටුවෙ ඉන්න අයත් පොහොට්ටුවෙ සාමාජිකත්වය අරගෙන නෑනේ. ඒකනිසා මේ හැමෝටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙන එකේ ප්‍රශ්නයක් නෑ. 
අපි විසිතුන් දෙනා පැහැදිලිවම ආණ්ඩුවෙ ඉන්නවා. අපි ආණ්ඩුවෙ හිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාවට පිටින් වැඩ කරන්නේ නෑ. 


16 දෙනාගේ කණ්ඩායම ඔබලටත් කියන්නේ ඇමැති පුටු බද‌ාගෙන ඉන්නෙ නැතුව පුළුවන් නම් ආණ්ඩුවෙන් එළියට බැහැල පෙන්නන්න කියලා. 


ආණ්ඩුවෙන් යනවා කියලා තීරණය කරපු එක ඒ අයගෙ වැඩක්. ඒ අය අපට අභියෝග කරලා වැඩක් නෑ. ආණ්ඩුවත් එක්ක ඉන්න තීන්දු කිරීම අපේ වැඩක්. ඒ අයට බෑ ඒකට බලපෑම් කරන්න. ඒ අය ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් ඒකෙන් සෑහීමකට පත්වෙලා ඉන්න ඕන වෙන අයට කරදර කරන්නේ නැතුව. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳපු අයගෙන් පිරිසක් ආණ්ඩුවෙ ඇමැතිවරු. තව කට්ටියක් ඇමැතිවරු වෙලා ඉඳලා ඒවයින් අයින්වෙලා පැත්තක. තව පිරිසක් පොහොට්ටුවක් බදාගෙන. මේ දෙතුන්ගොල්ල එක ගොඩකට ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ තියෙන කොන්ද පණ නැතිකම නෙවෙයිද? 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මුල ඉඳලම බොහොම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තමයි අනුගමනය කළේ. ජාතික ආණ්ඩුවකට සම්බන්ධ වෙමු කියලා ඡන්දෙන් පස්සේ එතුමා යෝජනා කළාම පිරිසක් කිව්වා විපක්ෂයේ කටයුතු කරන්න ඕන කියලා. එතුමා ඒකට ඉඩ දුන්නා. එ අයට. ඔය 16 දෙනා ඇමැතිකම් අත අරිනකොටත් ඒ අයට කැමැති තීරණයක් ගන්න ඉඩ දුන්නා. එතුමා අපට කියලා නෑ විපක්ෂයට යන්න කියලා. එතුමා අපිට ස්වාධීන තීන්දු ගන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් එතුමා අනුගමනය කරන්නේ. ඒක වැරදියට සමහරු තේරුම් අරන් තියෙන්නේ. 
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදියට මගේ නම් යුතුකම හා වගකීම තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ ඉඳලා එතුමව ආරක්ෂා කිරීම. 


ඒක හරි. ඡන්දෙන් පැරදිලත් ජාතික ලැයිස්තුවෙන් අරගෙන කැබිනට් ඇමැතිකමකුත් දීපු එකේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයව ආරක්ෂා කරන යුතුකම ඔබ කරන්න එපැයි. 


මෙතැනදී විශේෂ කාරණා කීපයක් මතක් කරන්න ඕන. මට ඡන්දය දීපු කළුතර ජනතාව මාත් එක්ක අදත් ඉන්නවා. මම ඒ අයට අවශ්‍ය යුතුකම ඉටු කරනවා. මම පහුගිය මැතිවරණයෙන් පරාජය වුණේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා. ඒක හැමෝම දන්නවා. ඒ වෙලාවෙ සිද්ධ වුණේ මොකක්ද කියලා රටම දන්නවා. ඒ ගැන ආපහු අමුතුවෙන් පුන පුනා කියන්න දෙයක් නෑ. මම පරාජය වුණා නෙවෙයි පරාජය කළා. අපේ පක්ෂයේම සමහරුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් නිසා. 


මම දේශපාලනයට ආපු දවසෙ ඉඳලා හැම ඡන්දයකදීම ඉහළින්ම මනාප අරගෙන ජයග්‍රහණය කරපු කෙනෙක්. මට හොරකම්, දූෂණ, වංචා කිසිවක් ගැන චෝදනා නෑ. කළුතර ජනතාව දන්නවා මහින්ද සමරසිංහ කවුද කියලා. 


අද විපක්ෂ නායකකමට තියෙන්නේ මාර පොරයක්. දිනේෂ් ගුණවර්ධනලා විතරක් නොවෙයි කුමාර වෙල්ගමලත් සටනට බැහැලා. 


මේ ගැන ම​ෙග් පුද්ගලික මතය මොකක් වුණත් අපිට අද‌ාළ වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය. පාර්ලිමේන්තුව පිළිගන්නේ මැතිවරණ කොමසාරිස් පිළිඅරන් තියෙන දේශපාලන පක්ෂ පමණයි. මැතිවරණ කොමසාරිස් පක්ෂ හයක් පිළිඅරගෙන තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය වෙනවා කියලා. ඒ පක්ෂ හය තමයි කතානායකතුමන් පිළිගන්නේ. එ් පක්ෂ එක්ක පමණයි පාර්ලිමේන්තුව ඇතුළෙ ගනුදෙනුව තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියලා පක්ෂයක් නෑනේ. ඒක නිර්මාණයක් විතරයි. 


ඒක පාර්ලිමේන්තුවෙ නිල වශයෙන් සඳහන් වෙන එකක් නෙවෙයි. විපක්ෂ නායක ධුරය ලබාදීමේ සම්ප්‍රදාය කවුරුත් දන්නවා. ඒක කතානායකතුමා දිගින් දිගටම ප්‍රකාශ කරලත් තියෙනවා. කතානායකතුමාට ඒ සම්ප්‍රදායෙන් පිට පැනලා වැඩ කරන්න බෑ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ කවුරු විපක්ෂනායක සිහින දැක්කත් වැඩක් නෑ. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් කරගත්තු අලුත් මහලේකම් මේ ටිකට පක්ෂය ගොඩ දැම්මද? 


ඇත්තටම ඔහු ඒ සඳහා බොහොම කැපවීමෙන් කටයුතු කරන බව පේනවා. එතුමා උගත් බුද්ධිමත් ක්‍රියාශීලි පුද්ගලයෙක්. පක්ෂ මූලස්ථානයේ ඉඳගෙන එතුමා ලොකු වැඩ කොටසක් කරනවා. ඇත්තටම ඔහු අපේ පක්ෂ මහලේකම්වරයා ලෙස පත්කිරීම ඉතා හොඳ තේරීමක් කියලා තමයි මම නම් දකින්නේ. එතුමා මෙතෙක් කරපු වැඩ ටික ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්. තවදුරටත් ඔහු එ් තනතුරේ තියාගන්නව ද? නැද්ද? කියන එක ජනාධිපතිතුමා තීරණය කරන්න ඕන දෙයක්. 


අර්ජුන රණතුංගගෙන් ගලවල වරාය මහින්ද සමරසිංහට දුන්නා. මේ ටිකට වැඩ පෙන්නුව කියල හිතනවද? 


මම මේක සංසන්දනය කරන්න යන්නේ නෑ. කලින් ඉඳපු කෙනාට වඩා මම දක්ෂ ද? ඊට වඩා මම වැඩකාරයෙක් ද? වැඩ කළා ද? කියන එක මම කියන්න යන්නේ නෑ. ඒත් මේ අමාත්‍යාංශය ඇතිකරගත් ප්‍රගතිය දිහා බලලා ඕන කෙනෙකුට ඒ පිළිබඳ නිගමනයකට එන්න පුළුවනි. මට කරන්න පුළුවන් දේ මේ මාස ගණනට මම උපරිමයෙන්ම කළා කියන එක වගකීමෙන් මට ප්‍රකාශ කරන්න පුළුවන්.

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි