පක්ෂයේ ලේකම් දුමින්දත් ඔය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළේ හිටියා


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  හිටපු ඇමැති 
ජෝන් සෙනෙවිරත්න

 

ඇමැතිකම් අතහැර ආණ්ඩුවේ සිට විපක්ෂයට අභිනිෂ්ක්‍රමණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් දහසය දෙනාගෙන් ඉදිරි පෙළ නියමුවකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සමග කළ සංවාදයකි.  


• ප්‍රශ්නය:- ඔබලා ඇමැතිකම්වලින් අයින් වුණ නිසා ආණ්ඩුවට පුළුවන් වුණා විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් හදාගන්න?  


පිළිතුර:- ඔව්, විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් කරනවා කියලා තමයි කිව්වේ. විද්‍යාත්මක ඇමැති මණ්ඩලය පත් කළාට පස්සෙත් මම දැක්කා ජනාධිපතිතුමා කියනවා ‘විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් කළා’ කියලා. ඉතින් මේ පත් කරලා තියෙන ආකාරය දිහා බැලුවම මට නම් ඒකේ විද්‍යාත්මක කමක් පේන්නේ නැහැ. විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් හදනවා කියන එකෙන් මොකක් අදහස් කළාද කියලත් මට තේරෙන්නේ නැහැ. කොහොම වුණත් විද්‍යාත්මක මොකක් වුණත් අලකලංචි තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ.  


• ප්‍රශ්නය:- විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් හදාගන්න බැරි වුණේ ඔබලා ඇමැති මණ්ඩලයේ හිටපු නිසා කියලයි පේන්නේ.  


පිළිතුර:- ඔව්. ඒක සමහර විට වෙන්න පුළුවන්. අපි ඉවත්වීම නිසා ඒ තනතුරු යම් යම් අයට දෙන්න පහසුවක් නම් වෙලා තියෙනවා.  


• ප්‍රශ්නය:- ඇමැතිකම්වලින් ඉවත් වෙන්න ගත්ත තීරණය ගැන දැන් මොකද හිතෙන්නේ?  


පිළිතුර:- ඉතාම නිවැරදි තීරණයක් කියන එක අපට එ්ත්තු ගැන්විලා තියෙනවා. මොකද රටේ ජනතාව ඉතාමත්ම විශාල විදියට අපේ ඉවත්වීම අනුමත කරනවා. ඒ අය ගිය ගිය තැන අපට කතා කරනවා. අපට ප්‍රශංසා කරනවා. අපේ ආසනවල ජනතාව හැම කෙනාම වගේ අපට ප්‍රශංසා කරනවා. ඒ නිසා මම හිතනවා අපි ගත්තේ ඉතාම නිවැරදි පියවරක් කියලා.  


• ප්‍රශ්නය:- නමුත් මේක හරියට අශ්වයා පැන ගියාට පස්සේ ස්තාලය වසා දැමීමක් වගේ හිතෙන්නේ නැද්ද?  


පිළිතුර:- මෙහෙමයි. අපි ආණ්ඩුවට එකතු වුණේ අවුරුදු දෙකකට. අවුරුදු දෙක ඉවර වුණාට පසුවත් අපි ආණ්ඩුවේ හිටියා.  


• ප්‍රශ්නය:- එහෙම හිටියේ ඇයි?  


පිළිතුර:- එහෙම ඉන්න වුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ අපි ඉවත් වෙන්න ඉලක්ක කරගෙන කටයුතු කළත් ඒ කාරණය අපි ජනාධිපතිතුමාට කියපු වෙලාවේ එතුමා කිව්වා දෙසැම්බර් වෙනකම් ඉන්න’ කියලා. ඒ අනුව ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ගෞරවයක් වශයෙන් අපි දෙසැම්බර් වෙනකම් හිටියා. ඊට පස්සේ ආවා පළාත් පාලන ඡන්දය. ඡන්දයක් ඉදිරිපිට අපිට පක්ෂය දාලා එන්න විදියක් නෑ. මොකද පළාත් පාලන ඡන්දයට තරග කරන්න පක්ෂය තීන්දු කරපු හින්දා. ඒ නිසා අපට පක්ෂයේ රැ​ෙඳන්න වුණා. ඔය කාරණා නිසා තමයි අවුරුදු දෙක ගිහිල්ලත් මාස තුනක් විතර වැඩිපුර කාලයක් අපිට ඉන්න වුණේ. එතකොට අපට ලැබුණු පළමු වැනි අවස්ථාවේදීම අපි අපේ තීරණය ක්‍රියාත්මක කළා.  


• ප්‍රශ්නය:- ඔබලා ඇවිත් වාඩිවෙන්නේ විපක්ෂයේ ද ඒකාබද්ධ විපක්ෂයේද?  


පිළිතුර:- අපි ඇවිල්ලා වාඩි වෙන්නේ විපක්ෂයේ. එතකොට ඒකාබද්ධ විපක්ෂය හැටියට හැඳින්වෙන්නේ කණ්ඩායම් කිහිපයක් නම් අපිත් සමහර විට ඒකට එකතුවෙයි. ඒකේ ප්‍රශ්නයක් අපට නැහැ. එතැන න්‍යායාත්මක ප්‍රශ්නයක් අපට නැහැ. අපිට ඕනෑ විරුද්ධ පක්ෂයට එන්නයි. විරුද්ධ පක්ෂයට ඇවිත් පක්ෂයත් ආරක්ෂා කරගෙන අපිට ඉදිරියට යන්න ඕනෑ අපේ අදහස්වලට අපේ ප්‍රතිපත්තිවලට ගැළපෙන පක්ෂත් එක්ක.  


• ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු නම් ඉතාම පැහැදිලිව කියනවා ‘අපේ නායකයා මහින්ද රාජපක්ෂ’ කියලා. ඔබලා විපක්ෂයේ වාඩි වුණාම ඔබේ නායකයා කවුද?  


පිළිතුර:- අපිට දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා තමයි ඉන්නේ. අපි එතුමාගේ සභාපතිත්වය පිළිගන්නවා. ඒ සභාපතිකම එතුමාගෙන් අයින් කරන්න අපට පුළුවන්කමක් නෑ. මොකද එතුමාගේ නායකත්වයෙන් තමයි පක්ෂය පවතින්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආරක්ෂා කරගෙන ඒ තුළ රැඳී සිටිමින් කටයුතු කිරීම තමයි අපේ අභිප්‍රාය.  


• ප්‍රශ්නය:- එතකොට ඔබේ පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රී තමයි රජයේ නායකයා. එතකොට විපක්ෂයේ ඉඳගෙන පක්ෂයත් රැකගෙන පක්ෂයේ නායකයාගේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නේ කොහොමද?  


පිළිතුර:- අපි ජනාධිපතිතුමාට පැහැදිලි කළා අපට ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය තියෙන්න ඕනෑ කියලා. ඒ වගේම ආණ්ඩුව හොඳ වැඩක් කළොත් අපි ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. එහෙම නැත්නම් ජනාධිපතිතුමා ආණ්ඩුවේ හිටියා කියලා ආණ්ඩුව විවේචනය කිරීමෙන් වළකින්නේ නෑ. අපේ කාර්ය භාරය විරුද්ධ පක්ෂය හැටියට ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීමයි. ජනතාවට සිදුවන අගතිය, අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීමයි.  


• ප්‍රශ්නය:- ඔබ ඇතුළු දහසය දෙනාට අමතරව තවත් පිරිසක් ආණ්ඩුවෙන් ගැලවෙනවා කියලා කියනවා ඒ කතා ඇත්තද?  


පිළිතුර:- ඔව්. එහෙම සාකච්ඡා යනවා.  


• ප්‍රශ්නය:- ඔවුන් කවද්ද එන්නේ?  


පිළිතුර:- ඔවුන්ට එන්නත් හේතුවක්, අවස්ථාවක් තියෙන්න ඕනැනේ. දැන් එන්න බෑනේ. විශ්වාසභංගය හේතුවක් කරගෙන. ඒ නිසා ඒ අය ඉදිරියේදී යම් යම් අවස්ථා මුල් කරගෙන එන්න ඉඩ තියෙනවා.  


• ප්‍රශ්නය:- ඔබලාගේ පැමිණීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙ ප්‍රතිචාරය ගැන ඔබේ හැඟීම?  


පිළිතුර:- අපට අවශ්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය පමණයි. ඒ අනුමැතිය තියෙනවා. අපේ කණ්ඩායම එතුමා එක්ක සාකච්ඡා කළා. මට නම් පහුගිය දවස්වල කතා කරන්න බැරි වුණා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනක දී එතුමා හමුවෙලා කතා කරන්න. කෙසේ නමුත් ඉතාම ඉක්මනට කණ්ඩායමක් හැටියට අපි එතුමා හමුවෙලා සාකච්ඡා කරනවා.  


• ප්‍රශ්නය:- පොහොට්ටුවේම ඇතැම් අය ඔබලට ‘සංචාරක කුරුල්ලන්’ වගේ නම් පටබඳිමින් ගරහනවා?  


පිළිතුර:- දේශපාලනය කියන්නේ ඕකනේ. දේශපාලන දැනීමක් නැති අයට නොයෙක් දේවල් කියන්න පුළුවන්. ඔය කියන ප්‍රකාශ කිසිම වගකීමක් ඇතිව කරන ප්‍රකාශ නොවෙයි. ඔය කරන ප්‍රකාශ ඔක්කෝම පදනමක් ඇතිව කරන ප්‍රකාශත් නොවෙයි. සමහර අය ඉන්නවා හැමදේටම විරුද්ධ වෙන. තවත් සමහර අය ඉන්නවා තමන්ගේ පක්ෂයට කවුරු ආවත් මොන පදනමක් උඩ ආවත් ඔහුට විරුද්ධයි. මොකද තමන්ට අනාගතයේදී යම් යම් අවස්ථාවන් නැතිවෙයි කියන බයට. නමුත් පක්ෂයක පොදු හැඟීමකින් කටයුතු කරනවා නම් ඒ වගේ අදහස්වලට ඉඩක් නැහැ.  


• ප්‍රශ්නය:- ඇයි විශ්වාසභංගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුණේ?  


පිළිතුර:- ප්‍රධාන වශයෙන් පක්ෂය බෙදුණේ විශාල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් පක්ෂය තුළ ක්‍රියාත්මක වුණා. ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ජයග්‍රහණය කළා. ඒක තමයි පක්ෂය බෙදෙන්න හේතුව.  


• ප්‍රශ්නය:- කවුද ඔය ඔබ කියන කුමන්ත්‍රණය කළේ?  


පිළිතුර:- පක්ෂයේ ප්‍රධාන පෙළේ වගකීම් දරන අය තමයි.  


• ප්‍රශ්නය:- එහෙම කිව්වම අපිට හිතෙන්​ෙන් පක්ෂයේ ලේකම් ඇමැති දුමින්ද දිසානායක හා සන්ධානයේ ලේකම් ඇමැති මහින්ද අමරවීර ඔය ඔබ කියන කුමන්ත්‍රණය කළා කියලයි.  


පිළිතුර:- ඔව්. ඔව්. පක්ෂයේ ලේකම් දුමින්දත් ඔය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළේ හිටියා.  


• ප්‍රශ්නය:- මොකක්ද කරපු කුමන්ත්‍රණය?  


පිළිතුර:- කුමන්ත්‍රණය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වය අරගෙන සහයෝගිතා වැඩපිළිවෙළක් විශ්වාසභංගයට අදාළව අරගෙන ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළා එ් විශ්වාසභංග යෝජනාවට සහයෝගය දෙන්න. එහෙම තිබියදී මේ කුමන්ත්‍රණකාරී පිරිස් එක්සත් ජාතික පක්ෂයත් එක්්ක සම්බන්ධ වෙලා ඔවුන් සමග සාකච්ඡා කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මේ සම්බන්ධයෙන් යම් යම් වැරදි මත ඉදිරිපත් කළා. ඒ වැරදි මත ඔස්සේ ගමන් කරපු උදවිය ඒ කුමන්ත්‍රකාරී පිරිසත් සමග අත්වැල් බැඳගෙන ඡන්දයට එන්​ෙන් නැතිව හිටියා.  


• ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි කෙළින් තීන්දුවක් ගත්​ෙත් නැද්ද?  


පිළිතුර:- ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කෙළින් තීන්දුවක් ගත්තේ නැහැ. අවසානයේදී එතුමා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට තමන් කැමැති තීන්දුවක් ගන්න කියලා.  


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය සමරන්නේ මඩකළපුවේ. ඔබ ඇතුළු දහසය දෙනා යනවද?  


පිළිතුර:- ඔව්. පාක්ෂිකයෝ හැටියට යා යුතුයි. පක්ෂය ගත්ත තීන්දුවක්නේ.  


• ප්‍රශ්නය:- පක්ෂයේ ලේකම්කමින් දුමින්ද දිසානායකත් සන්ධානයේ ලේකම් කමින් මහින්ද අමරවීරත් අයින් කළොත් පමණයි මැයි රැලියට යන්නේ කියල ඔබේ කණ්ඩායම කිව්වා?  


පිළිතුර:- නෑ. අපි එහෙම කිව්වේ නෑ.  


• ප්‍රශ්නය:- ඔබතුමාට මතක නැතිව ඇති. එහෙම කිව්වා.  


පිළිතුර:- මං හිතන්​ෙන් අපේ ඩිලාන් පෙරේරා ඇමැතිතුමා තමයි එහෙම කියලා තිබුණේ. ඒක මේ අපි ගත්ත තීරණයක්...., පොදු තීරණයක් නෙවෙයි. ඒක මැයි දිනයට සම්බන්ධ කිරීම නම් මම නම් එකඟ නෑ.  


• ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔවුන් ඉවත් කළ යුතු නෑ?  


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි. එහෙම නැත්නම් ඔහු ඉවත් කළ යුතුයි.  


• ප්‍රශ්නය:- ඇයි ඇමැති දුමින්ද වැඩේට සුදුසු නැද්ද?  


පිළිතුර:- ඔහු මුල ඉඳලම මේ කාරණය ඒ කියන්නේ විශ්වාසභංගය සම්බන්ධයෙන් පමණක් නොවෙයි මුල ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වීමට පටහැණිව යම් යම් ප්‍රසිද්ධ ප්‍රකාශ කරපු කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුණා. අපි දන්නවා ඒක. කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන්. අනික් කණ්ඩායම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ නායකත්වයෙන්. මේ කණ්ඩායම් දෙක එකතු කිරීම තමයි පක්ෂයේ අනාගත දියුණුව අවංකවම අපේක්ෂා කරන අයගේ අදහස වුණේ. මේ රටේ බහුතරයගේ අදහස වුණෙත් මේ පක්ෂයේ කණ්ඩායම් එකතුවෙලා පක්ෂයේ වැරදි හදාගෙන නැවත වරක් මේ පක්ෂය බලයට එයි කියලයි. ඒ වෙනුවෙන් පක්ෂයේ කණ්ඩායම් එකට එකතු විය යුතුයි. නමුත් මේ කාරණය ඉදිරිපත් වෙච්ච හැම වෙලාවෙදිම පක්ෂයේ ලේකම්වරයා ඊට පටහැනිව කටයුතු කළේ. ඔහු සමහර අවස්ථාවල කරපු ප්‍රකාශ පක්ෂයේ සමගියට විශාල වශයෙන් බාධාකාරී වුණා.  


• ප්‍රශ්නය:- එතකොට සන්ධානයේ ලේකම් ඇමැති මහින්ද අමරවීර?  


පිළිතුර:- එතුමා ඒ තරමටම මම හිතන්නේ නෑ ඒ කෝවෙම දාන්න පුළුවන් කියලා. නමුත් ඔහු මෑත කාලයේදී ඔහුගේ හැසිරීම ගැනත් විශේෂයෙන්ම විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ඔහු වරින්වර තමන්ගේ ස්ථාවරය වෙනස් කළා. ඒ වෙනස් කිරීම නිසා අපට පෙනුණා ඔහු ඉතාම අපහසුතාවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉන්නත් ඕනෑ. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ උදවිය සතුටු කරන්නත් වුවමනා වෙලා තිබුණා. මේ දෙකම ක්‍රියාත්මක කරන්න යාම නිසා ඔහුගේ සැබැ ස්වරූපය හෙළි වුණා.  


• ප්‍රශ්නය:- ඔබට පුළුවන්​ෙන් පොහොට්ටුවත් එක්ක මැයි දිනය සමරන්න?  


පිළිතුර:- ඔව්. එහෙම අවශ්‍ය වුණොත් එහෙම කරන්න වෙනවා. නමුත් මම හිතනවා තාම ඒ තත්ත්වයන් මෝරල නෑ. අපට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සමරණ මැයි දිනයක්.  


• ප්‍රශ්නය:- මෙහෙම ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක් වෙයිද?  


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කැඩිලා ගිහින් ඉන්න සියලුම කොටස් එකතු විය යුතුයි. එහෙම නැත්නම් මේ රටේ ජනතාවට කරන්නේ විශාල අසාධාරණයක්. මොකද මේ රටේ ජනතාව අද තේරුම් අරගෙන තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රටට කරන සේවාව කිරීමට එක්සත් ජාතික පක්ෂයට කොහොමටවත් හැකියාවක් නෑ කියලා. අද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය මුල් කරගෙන කරගෙන යන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඒ වගේම ර​ෙට් සමාජ ආර්ථික වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මේකට එකම පිළියම විකල්පය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් පක්ෂය සූදානම් කළ යුතුයි. එහෙම නොකළොත් ඒකට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙනවා මේ බෙදීම සඳහා පියවර ගත්ත සියලු නායකයන්ට.  


• ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් එළියට ඒමේ තීරණයට පහුගිය පළාත් පාලන ඡන්දයෙ ප්‍රතිඵලය ප්‍රධානම හේතුව කියලා මම කිව්වොත්. ඔබලාට ඔබලාගේ දේශපාලන අනාගතය ගැන ලොකු බියක් ඇතිවුණා.  


පිළිතුර:- ඔය ප්‍රතිඵලය මම නම් බලාපොරොත්තුවෙන් හිටියේ. මම මුල ඉඳලම අපේ පක්ෂය බෙදුණු හැමදාම මම කියපු දෙයක් තමයි අපි එකට එකතු වෙන්න ඕනෑ කියලා. මම ප්‍රසිද්ධියේ ඒක ප්‍රකාශ කළා. මම මෛත්‍රිපාල සිරිසේන කණ්ඩායමේ හිටියත් එම කණ්ඩායමේ සාකච්ඡාවලදිත් මම දිගින් දිගටම ඔය කතාව කිව්වා. සමහර කාලයක් තිබුණා මම විතරයි ඒ ප්‍රකාශය කරන්නේ.අනෙක් අය බයේ හිටියේ. මම එහෙම ප්‍රකාශ කරන කොට සමහර අය මට අනතුරු ඇඟවීම් කළා.  


• ප්‍රශ්නය:- මොනවා කියලද අනතුරු ඇඟෙව්වේ?  


පිළිතුර:- ආණ්ඩුවේ ඉඳගෙන ඇමැතිකමක් දරමින් ඒ විදිහේ ප්‍රකාශ කරන්න එපා කියලා කිව්වා.  


• ප්‍රශ්නය:- ​ඔබේ උත්තරය වුණේ?  


පිළිතුර:- මම කිව්වා ඒක ම​ෙග් දේශපාලන චින්තනය. දේශපාලන චින්තනයට තමයි මම මුල්තැන දෙන්නේ. මම පක්ෂයට ආදරේ නිසා මේ ආණ්ඩුවේ ඉන්නවා. හේතුව පක්ෂය ආණ්ඩුවේ ඉන්න නිසා. ඒ වගේම මම මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ ආකාරයෙන්ම කතා කළා. එතුමා ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පුද්ගලයෙක්. ඔහුත් කිව්වා අපි එකතුවෙමු. නමුත් එකතු වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිවෙන්න ඕනෑ. කණ්ඩායමක් ආණ්ඩුවේ ඉන්දැද්දී තවත් කණ්ඩායමක් විපක්ෂයේ සිටිද්දී එහෙම එකතු කරන එක අමාරු කාර්යයක්. ඉතින් කෙසේ වෙතත් අපි එකතුවෙලා මැතිවරණයක් දිනන්න පුළුවන් තත්ත්වයට යා යුතුයි. ඒ මතයේ මහින්ද මහත්තයත් හිටියා. මට හිතෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ශක්තිය ලැබෙයි කියලා ඒ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකට ගමනක් යන්න අවශ්‍ය නායකත්වය දෙන්න පුළුවන් කියලා. එකක් කිව යුතුයි. ඒ හැකියාව තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට විතරයි.  


• ප්‍රශ්නය:- අනාගත ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කවරෙක්ද? ඒ සම්බන්ධයෙන් ඔබේ තක්සේරුව?  


පිළිතුර:- ඒක මම හිතනවා. ඒ ගැන කීම තාම කාලෝචිත නෑ කියලා.  


• ප්‍රශ්නය:- මම අහන්නේ ඒ සම්බන්ධයෙන් ඔබේ හැඟීම?  


පිළිතුර:- දැනට ඉන්න ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා කණ්ඩායමක් කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නමක් කියැවෙනවා. අපට ඕනැ ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක්. ඉතින් වැඩිම ආකර්ශණය තියෙන අපේක්ෂකයා ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරවීම තමයි පක්ෂය කළ යුත්තේ.

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්