පක්ෂයට ද්‍රෝහි වූයේ චන්ද්‍රිකාද මෛත්‍රීද ?


හිටපු ජනපති මෛත්‍රීට 
හිටපු ජනපතිනි චන්ද්‍රිකා පිළිතුරු දෙයි

ඉරිදා ලංකාදීප 2021 ජනවාරි 31 වැනිදා කලාපයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළකළ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් පිළිතුරු ලිපියක් අප වෙත එවනු ලැබ ඇත. එහි මෙසේද සඳහන් වේ. 


ඉහත සම්මුඛ සාකච්ඡාවේ පිටුවක් පුරා සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ එකිනෙකට පරස්පර විරෝධී සියලු කරුණු පිළිබඳ පැහැදිලි කිරීමට අදහස් නොකරන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මාගේ සම්බන්ධතාව පිළිබඳ සිදුකර ඇති සම්පූර්ණ අසත්‍ය සහ දෝෂ සහගත කරුණු පිළිබඳ පමණක් නිවැරැදි කිරීමක් සිදු කරමි.

2019 ජනාධිපතිවරණයේදී මම සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම වෙනුවෙන් විශාල සම්මේලනයක් පැවැත්වූ බවට සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයකි. 2018 මැයි මාසයේ සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා, සාමාජිකයන් කිහිප දෙනකු ලවා ඉදිරි මැතිවරණවලදී තනිව ඉදිරිපත්වීමට අපට ශක්තියක් නොමැති බවත්, අප පක්ෂය පොහොට්ටු පක්ෂය සමග සන්ධානගත විය යුතු බවත් යෝජනා කළ අවස්ථාවේ මම සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් බහුතරයක් ඒ අදහසට විරුද්ධ වෙමින් පැහැදිලිව කියා සිටියේ, ශ්‍රී.ල.නි.ප.ය තවත් පක්ෂයක් සමග සම්බන්ධ වීම සුදුසු නැති බවත්, සමහරෙක් විසින් දුර්වල කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් නගාසිටුවීම පිණිස, ශ්‍රී.ල.නි.ප.යේ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවය. 


පොහොට්ටු පක්ෂයට එකතුවීමෙන් අප පක්ෂය දියකර හැරීමක් සිදුවන බව අවධාරණය කළෙමි. 


ඒ වනවිට පොහොට්ටු පක්ෂය සමග තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා හොර ගිවිසුම්වලට එළඹ සිටි පක්ෂයේ නායකයින් කීප දෙනකුට, මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම ප්‍රශ්නයක් වන්නට ඇත. මේ හේතුවෙන් මා ඇතුලු මධ්‍යම කාරක සභිකයින් 16 දෙනකු සිරිසේන මහතා විසින් ඉවත් කළේය. පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවූ විරෝධය නිසා නැවත මා පමණක් මධ්‍යම කාරක සභාවට පත් කළද, කිසිදු රැස්වීමක් මා හට නොදන්වන ලෙස පක්ෂ මූලස්ථාන සේවකයින්ට සිරිසේන මහතා උපදෙස් දී ඇත. ඉන්පසු දිගින් දිගටම අවස්ථා ගණනාවකදී මම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු පිරිසක්, ලිඛිතව පොහොට්ටු පක්ෂය සමඟ සංවිධාගතවීමෙන් අප පක්ෂයට ඇතිවිය හැකි අනතුරු පැහැදිලි කළෙමු. ඒ කිසිම ලිපියකට පිළිතුරු ලබාදීමට ඔහු අසමත් විය. 


කරුණු මෙසේ තිබියදී, 2019 සැප්තැම්බර් මාසයේදී සිරිසේන මහතා විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභා නි​යෝජිතයින් ප්‍රමුඛ සියලු ආසන සංවිධායකවරුන් ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන්ට පෝර්මයක් ලබාදී, ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න විමසන ලදී. සහභාගි වූ අයගෙන් 92%ක් ලිඛිතව කියා සිටියේ අප පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති රැක ගනිමින්, පක්ෂය පාවා නොදී, ශ්‍රී.ල.නි.ප.ය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. මෙම තීන්දුව පක්ෂ ලේකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය. ඊට සතියක් ගත වන්නටත් පෙර, සභාපතිවරයාගේ මෙහෙයුමෙන් පක්ෂ ලේකම්වරයා විසින් හොර රහසේ පොහොට්ටුව සමග ගිවිසුමක් අත්සන් කළේය. 


දිගින් දිගටම පක්ෂ නායකත්වය දැනුවත් කළත්, අත්තනෝමතික ලෙස ඔවුන් කටයුතු කළ නිසා, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් ලෙස පාක්ෂිකයින් දැනුවත් කිරීම මාගේ වගකීම බැවින්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක සෑම සාමාජිකයකුටම තිබෙන අයිතිය අනුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පාක්ෂිකයින් කැඳවා, ඔවුන් දැනුවත් කළෙමි. එහිදී පොහොට්ටු පක්ෂයට හෝ වෙන කිසිම පක්ෂයකට එකතුවීමෙන් අප පක්ෂයට සිදුවිය හැකි හානිය අවධාරණය කළෙමි. 


එමෙන්ම, පොහොට්ටුව සමග සන්ධානගතවීමේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි, රහසිගතව අත්සන් කරන ලද ගිවිසුමේ වගන්ති උපුටා දක්වමින්, ඒ තුළින් පක්ෂයට නියත වශයෙන් සිදුවන හානිය පෙන්වා දුන්නෙමි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විවිධ පක්ෂවල වලිගයක් සේ පවතිනවා වෙනුවට අප පක්ෂයේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ලෙස තරයේ යෝජනා කර සිටියෙමි. ඒ හැර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුට සහයෝගය ලබාදෙන ලෙස කිසිසේත් ප්‍රකාශ නොකළෙමි. 
ඉතා කෙටි දැනුම්දීමකින් මෙම සමුළුවට දිවයිනේ නන් දෙසින් 7000ක් පමණ සාමාජිකයින් ස්ව කැමැත්තෙන් පැමිණියේ පක්ෂ නායකත්වය පක්ෂයට සිදුකරමින් පවතින විනාශය අවබෝධ කරගත් නිසා යයි මම සිතමි. ඒ සමුළුවට සහභාගි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පමණි. වෙනත් පක්ෂවල නායකවරු පස් හය දෙනෙක් සහභාගි වූයේ, පක්ෂ සම්මේලන පවත්වන විට අනුගමනය කරන සාමාන්‍ය සම්ප්‍රදාය අනුව අපගේ ආරාධනාව පරිදිය. 


මා යළි යළිත් අවධාරණය කරන්නේ මෙම සමුළුව පැවැත්වීමට එකම හේතුව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වන හානිය පිළිබඳ පාක්ෂිකයින් දැනුවත් කර පක්ෂය බේරා ගැනීමේ චේතනාවෙන් පමණයි. 


මා එජාපයට සම්බන්ධ වූ බව කියන සිරිසේන මහතාට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. 


• තම බලලෝභිත්වය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂිකයින් ඉදිරියේ දනින් වැටී ඔවුන්ගේ ඡන්ද බිලි බා ගත්තේ කවුද? 


එජාප නායකයාට ගැතිකම් කර, ඔහු අගමැති කළේ කවුද? 


• අගමැතිධුරය බාර ගන්නා ලෙස කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස ඇමැතිවරුන්ට අවස්ථා ගණනාවකදී ආරාධනා කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ කවුද? 


කරුණු මෙසේ වනවිට, සජිත් ප්‍රේමදාස මහතාට අප සහාය ලබාදුන් බවට සිරිසේන මහතා චෝදනා කරන්නේ යහපත් මානසික තත්ත්වයකින් දැයි සැක සිතේ. 


පොහොට්ටුවේ වලිගයේ එල්ලී, පෞද්ගලික වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂ ප්‍රතිපත්ති පාවාදුන් පක්ෂයේ සභාපති, ලේකම් ප්‍රමුඛ පක්ෂ ප්‍රබල නියෝජිතයින් කිහිප දෙනා, අද පොහොට්ටුව විසින් පක්ෂයට සිදුකරන කෙනහිලිකම් පිළිබඳව කඳුළු හෙළන ආකාරය දුටුවිට, එදා අප ප්‍රකාශ කළ දේ නිතැතින් සිදුවී ඇති බව පැහැදිලි වනු ඇත. පක්ෂයට නිසි පිළිගැනීමක් නැත. පක්ෂයේ සභාපතිවරයාට කිසිම තනතුරක් නැත. පක්ෂයේ ලේකම්ට බතික් ඇමතිකම ලබාදී ඇත. පක්ෂයේ සංවිධායකවරුන් අවලංගු කාසි බවට පත්කර ඇත. 
මේ සියල්ලටම වඩා මට දේශපාලන වශයෙන් ඉමහත් කණගාටුවක් හා වේදනාවක් ඇතිවෙන්නේ අප පක්ෂයේ අනර්ඝ දර්ශනය සහ ශක්තිමත් සංවිධාන ව්‍යුහය සම්පූර්ණයෙන් විනාශ කර ඇති සැටි දකින විටය. 
ඇතැමුන් විසින් අප පක්ෂය විනාශ මුඛයට ඇද දැමූ තුන් වතාවක්ම පක්ෂය බේරා ගැනීමේ සටනේ නායකත්වය ගත් කිහිප දෙනා අතරින් මමද එක් අයෙක් වීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වෙමි. 
මේ අනුව පක්ෂයට ද්‍රෝහි වුණේ චන්ද්‍රිකාද? සිරිසේනද? කියා මම විමසන්නට කැමැත්තෙමි. 


සිරිසේන මැතිතුමා විසින් සිදුකරන ලද ඊළඟ ප්‍රකාශයට සිනාසිය යුතුද, කඳුළු හෙළිය යුතුද යන්න මට ප්‍රහේලිකාවක් වී ඇත. තමාගේ දිස්ත්‍රික්කයේ හැර ජාතික මට්ටමේ නායකයකු නොවූ දේශපාලනිකව අපේක්ෂා භංගත්වයට පත්ව සිටි සිරිසේන මහතා ජනාධිපති පුටුවේ ඉන්දවීමට මා කළ කැපවීම ඔහුට අමතක නැති බව ප්‍රකාශ කරයි. සිරිසේන මහතාගේ කෙළෙහිගුණ සැලකීම පුදුමාකාර දෙයක් වෙතැයි හැ​ඟේ. 


• පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මධ්‍යම කාරක සභාව තුළ අදහස් දැක්වීම හේතුවෙන් මා මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ අතර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් හෝ සිදු නොකළේ කළගුණ සැලකීම වෙනුවෙන්ද? 


• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදවත බඳු වූ අත්තනගල්ල ආසනය වසර 80කට අධික කාලයක් මාගේ පියා, මව, සහෝදරයා සහ මම නියෝජනය කරමින්, සෑම මැතිවරණයකදීම වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ශ්‍රී.ල.නි.ප.යට ඡන්දය දිනාදුන් නමුත්, පාක්ෂිකයින්ගේ බලවත් විරෝධය නොතකා සිරිසේන මහතා මා අත්තනගල්ල සංවිධායක ධුරයෙන් පන්නා දැම්මේ මා හට කළගුණ සැලකීමටද? 


• පක්ෂයේ අති බහුතරයකගේ විරෝධය නොතකා, සිරිසේන මහතාගේ ගැත්තන් දෙදෙනකු ලවා ඉතාමත් පහත් හා නින්දිත අන්දමට ප්‍රසිද්ධියේ මට නින්දා අපහාස කළේ කළගුණ සැලකීම වෙනුවෙන්ද? 


ඔහු ජනාධිපති ධුරයට පත්වූ මොහොතේ සිටම සිදුකළේ තමන්ට ජනාධිපතිධුරයට ඒමට උදව් කළ මා ඇතුළු පිරිසටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් පහරදී ඔවුන් පක්ෂයෙන් දුරස් කිරීම පමණකි. 
ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් සහගතව විනාශ කිරීමේ කුමන්ත්‍රණය නිසා පක්ෂයට ලැදි, පක්ෂය වෙනුවෙන් බොහෝ කැපවීම කළ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් පක්ෂයෙන් ඈත් කළේය. 


ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂයේ හිටපු සභාපති සහ වත්මන් ජ්‍යෙෂ්ඨ අනුශාසක වන මට විවිධ කෙලහිලිකම් කර, පක්ෂයෙන් පන්නා දැමීමට උත්සාහ කළත්, එය අසාර්ථක වූ තැන මා පක්ෂයේ නොමැති බවට ප්‍රචාරය කරමින් සිටී. 


පණ්ඩු බණ්ඩාරනායක, අර්ජුන රණතුංග, ෆීලික්ස් පෙරේරා වැනි හිටපු ඇමැතිවරුන් හා රුවන් රණතුංග, තිලක් වරාගොඩ, ලලිත් ටෙන්සිල් යන සංවිධායකවරුන් අද කෝ? 


• කළුතර දිස්ත්‍රික්කයේ කුමාර වෙල්ගම හිටපු අමාත්‍යතුමා අද කොහෙද? 


කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, ජීවන් කුමාරතුංග, ගාමිණී තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ සහ 2015 ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිප දෙනා අතරින් ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් දේශපාලන වනාන්තරයට තල්ලු කර ඇතිවාක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න සහ ලලිත් දිසානායක යන මහත්වරුන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න සහ 2015 ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රාදේශීය සභා සභාපති සරත් සන්දනායක යන මහත්වරුන්ද නන්නත්තාර කර, මොණරාගල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ කැබිනට් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ටද එවැනි අනාගතයක් අත්කර දී ඇත. 


එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ දශක කිහිපයක් ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ සරත් ඒකනායක හා අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහත්වරුන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා දේශපාලන කුණු බක්කියට දමා ඇති අතර හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, දේශපාලන වනාන්තරයටම යවා ඇත. 


පොළොන්නරු දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ දේශපාලන භූමිකාව සැලසුම් සහගතව විනාශ කරමින් සිටී. 


කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මිල්රෝයි ප්‍රනාන්දු, දයාශ්‍රිත තිසේරා සහ වික්ටර් ඇන්තනි යන මහත්වරුන්ද, ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුන් වන දකුණේ මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන පියසේන ගමගේ, යූ.ජී.ඩී. ආරියතිලක යන මහත්වරුන් සහ මාතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුන් වන චන්දිම රාසපුත්‍ර සහ හේමාල් ගුණසේකර යන මහත්වරුන් අද කොහේද? 


ඉහත සඳහන් කළ සහ සඳහන් නොකළ විශාල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ සමග සම්බන්ධ වූයේ හෝ දේශපාලනයෙන් සමුගත්තේ සිරිසේන මහතා විසින් පක්ෂය විනාශ කිරීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කළ කෙලහිලිකම් නිසා බව ප්‍රසිද්ධ රහසකි. 


පක්ෂ ප්‍රබලයින් විශාල පිරිසක් කෙටි කලක් තුළ පක්ෂයෙන් පිටමං කිරීමේ මෙහෙවර හැර සිරිසේන මහතා පක්ෂය වෙනුවෙන් කළ වෙනත් යමක් වේද? 


රට සහ පක්ෂය විනාශ මුඛයට ඇද දමා, දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටින සිරිසේන මහතා, මුළු රටින්ම එල්ලවෙන චෝදනාවලින් ගැලවීම පිණිස මා පිළිබඳ කිසිදු සත්‍යතාවයකින් තොර, අමූලික බොරු ප්‍රචාර කිරීම ඔහුගේ තිබූ දේශපාලන ක්‍රියාවලිය බවට පත් කරගෙන තිබීම කනගාටුවට කරුණකි. 


වසර 50කට ආසන්න කාලයක් පුරා මාගේ දේශපාලන ජීවිතය තුළ රට, ජනතාව සහ පක්ෂය වෙනුවෙන් කළ සේවය සහ කැපවීම සිරිසේන මහතා වැන්නකුගේ වහසි බස්වලින් ජනතා හදවත්වලින් තුරන් කළ නොහැකි බව මම දනිමි. සිරිසේන මහතා කුමන පක්ෂයකට සම්බන්ධ වුවත්, මාගේ ජීවිත කාලය පුරාවට අප පක්ෂය සහ පාක්ෂිකයා වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරන බව නැවත සපථ කරමි. 


මෙයට හිතවත්, 
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග