පක්ෂය දෙකට කැඩිලා නෑ


එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ආචාර්ය හර්ෂ ද සිල්වා   

 

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මොකද වෙන්නේ? මහ මැතිවරණයට ඇති සූද‌ානම කුමක් ද? ඊට පෙර පක්ෂය දෙකඩ වෙයි ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


 ප්‍රශ්නය:- මහ මැතිවරණ අල්ල පනල්ලේ තිබියදී කොහොම හරි පක්ෂය දෙකට කඩා ගත්තා?   


පිළිතුර:- පක්ෂය දෙකට කඩා ගත්තා නොවෙයි. සන්ධානයක් හදලා අපේ පක්ෂයට තවත් පක්ෂ එකතු කරගෙන මහ මැතිවරණයට ශක්තිමත්ව ඉදිරිපත්වීමේ පියවර තමයි මේ ගන්නේ. පක්ෂය දෙකට කැඩිලා නෑ.   


 ප්‍රශ්නය:- ඇයි අලියට ඔච්චර බය? මේ රටේ තනි විශාලම පක්ෂය ලෙස සැලකෙන ඔබේ පක්ෂය මේ විදියට හෑල්ලු කර ගන්නේ ඇයි?   


පිළිතුර:- මේ අපි ගොඩනගන සන්ධානයේ මව් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. මේ මව් පක්ෂය වටේට අනෙකුත් පක්ෂ එකතු වෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය තමයි සන්ධානයේ ලොකුම පක්ෂය.   


 ප්‍රශ්නය:-එහෙම නම් අලියා ලකුණෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්නේ?   


පිළිතුර:- අලියා ලකුණෙන් ඉල්ලන්න බැරි කමක් නෑ. අලියා ලකුණ සම්බන්ධයෙන් තියෙන්නේ තාක්ෂණික ගැටලුවක් පමණයි. සමහරු මේක ලොකුවට උලුප්පලා පෙන්නුවට අලියා ලකුණ එක්සත් ජාතික පක්ෂයේ ලකුණ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ලකුණ අනෙක් සියලුම දෙනා පිළිගනී ද කියන ප්‍රශ්නය තියෙනවා. අලියා එක්සත් ජාතික පක්ෂයේ ලකුණ නිසා අපට තර්ක කරන්න පුළුවන් ඔයගොල්ලෝ මේ ලකුණ එක්ක එකතු වෙන්න කියලා. අපි මීට කලින් හංසයා පාවිච්චි කරලා තියෙනවා. නොයෙකුත් ලකුණු පාවිච්චි කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම ඒ අය​ගේ ලකුණ අත වුණාට පුටුව, බුලත් කොළය ආදී වශයෙන් ඒ අයත් සන්ධානගත වෙලා තියෙනවා. මේවා මේ රටේ නොයෙක් අවස්ථාවල සිද්ධ වෙච්ච දේවල්. අනික් පැත්තෙන් තර්ක කරන්න පුළුවන් අපේ පක්ෂය තමයි ප්‍රධාන පක්ෂය. ඒ නිසා අපේ පක්ෂයේ ලකුණෙන් යමු කියලා. පක්ෂයේ ලකුණ සන්ධානයට ලබා දෙනවා නම් මං හිතන්නේ කිසිම කෙනෙක් අකමැති වෙන්නේ නෑ ඒ ලකුණෙන් යන්න.   


 ප්‍රශ්නය:-රනිල් හා සජිත් පාර්ශ්ව දෙක අතර සැකයක් නේද මෙතැන තියෙන්නේ?   


පිළිතුර:- මෙතැන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමා කිව්වා සජිත් ප්‍රේමද‌ාස මහත්මයාට ‘සන්ධානයක් හදන්න’ කියලා. ඒ සන්ධානයට මහ ලේකම් කෙනෙක් පත් කරන්න’ කියලත් කිව්වා. ඒකට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුත් අනුමැතිය ලැබුණා. එතකොට සජිත් මහත්තයා ගිහින් සන්ධානයක් හැදුවා. මහලේකම් කෙනෙකුත් පත් කළා. එතකොට මේ පාර කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආවම තර්කයක් ගෙනාවා එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයෙන් තමයි ඡන්දයට ඉදිරිපත් විය යුත්තේ කියලා. ඒක ඒ වෙලාවෙ එතැනට අවශ්‍ය මාතෘකාවක් හැටියට මම දැක්කේ නෑ. මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිම දවසක කතා කරන්නේ නැති ප්‍රබලයෙක් තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලය පටන් ගත්තු ගමන් රතිඤ්ඤ පත්තු කරනවා වගේ මේ තර්කය ගෙනාවේ.   


 ප්‍රශ්නය:-කවුද ඒ?   


පිළිතුර:- සුනිල් සිල්වා. අගමැතිතුමා පත්කරපු සභිකයෙක්. මීටිම පටන් ගන්නකොටම එයා මේ අලියාගේ කතාව දැම්මා. සජිත් විපක්ෂ නායකතුමා කිව්වෙත් ‘අපට මේක සාකච්ඡා කර ගන්න පුළුවන්.’ කියලයි. ඒත් මේක වෙන පැත්තකට ඇදීමක් හැටියට තමයි මම දැක්කේ. සාකච්ඡා කරනවා වෙනුවට අතුරු ප්‍රශ්නයක් ගෙනාවේ. සජිත් විපක්ෂ නායකතුමා කිව්වේ ‘සාකච්ඡා කරමු’ කියලයි. අපි කවුරුවත් දැඩි ස්ථාවරයක නෑ. අපි කවුරුත් යූඑන්පී කාරයෝ. යූඑන්පී කාරයෙක් විදිහට මට කිසිම උවමනාවක් නෑ යූඑන්පිය දෙකට කඩන්න. ඊට වඩා මට හොඳයි නැවතත් වෘත්තීයවේදියෙක් විදියට මගේ වැඩ ටික කර ගන්න එක. මොකද එතැනදී මේ විදියට මිනිසුන්ගෙන් බැණුම් අහන්න වෙන්නේ නෑ. හැබැයි අපිට වගකීමක් තියෙනවා. මේ රට තියෙන්නේ මහා භයානක තැනක. ආර්ථිකය ගත්තොත් සෑහෙන්න අමාරු තැනක තියෙන්නේ. මේ රට ඉදිරියට යනකොට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඒක මේ ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා නොවෙයි මුළු රටටම මේ අවද‌ානමට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි මෙතැනින් ඉදිරියට යන්න ඕනෑ. පක්ෂය කෑලි කෑලිවලට කැඩිලා යනවට මම නම් කිසිසේත්ම කැමැති නෑ.   


 ප්‍රශ්නය:- අකිල විරාජ් පක්ෂයේ මහලේකම් කිව්වා ‘අලියා එපා කියනවා නම් එයා එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවෙයි’ කියලා.   


පිළිතුර:- එතකොට එහෙනම් අපි හංසයාගෙන් ඉල්ලුවේ? අරගොල්ලෝ පුටුවෙන් බුලත් කොළයෙන් ගියේ? පාක්ෂිකයෝ කියන්නේ ඒක තියෙන්නේ හදවතේ. පාක්ෂිකයෝ වෙන්නේ හදවතින්. අපි කාටවත් කොතැනකවත් හිර කරලා නෑ. හදවතේ තියෙන්නේ පාක්ෂිකත්වය. එහෙම තර්ක විතර්ක ගේනවට වඩා මෙයා යූඑන්පී ද නැද්ද කියලා මේ වෙලාවේ කතා කරන්නේ මොකට ද? උද‌ාහරණයක් විදියට අද ලංකාදීප පත්තරේ තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා මුලින්ම සභාපතිවෙලා තියෙන්නේ අපේ ජාතික පෙරමුණ කියන පක්ෂයේ. ලංකාදීප පත්තරේ එහෙම තියෙනවනේ. රනිල් වික්‍රමසිංහ සභාපති, රාජිත සේනාරත්න ලේකම්. ඒ පක්ෂය දීල තියෙන්නේ සේනක ද සිල්වා. අනික් පැත්තෙන් ඩයනා ගමගේ, එහෙම නම් කාට හරි තර්ක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ වෙන පක්ෂයක සභාපති කෙනෙක්නේ කියලා. ඒක එහෙම බලන එක වැරදියි. මොකද සන්ධානයක් නිර්මාණය කර ගැනීමට තිබුණු උවමනාවට තමයි ඒක කරලා තිබුණේ. ඒක රනිල් වික්‍රමසිංහ කළත් වැරදි නෑ. සජිත් ප්‍රේමද‌ාස කළත් වැරදි නෑ. එහෙම සන්ධානයක වගකීමක් ගත්තට පක්ෂය අතහැරීමක් නෑ.   


 ප්‍රශ්නය:- ඔබලාගේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමද‌ාසගේ නායකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම.   


පිළිතුර:- ඔව්. ඔව්.   


 ප්‍රශ්නය:-නමුත් සජිත් ප්‍රේමද‌ාස කියන්නෙත් පහුගිය ජනාධිපතිවරණයේදී උරගා බැලූ නායකයෙකි. ඔහු ලක්ෂ 14 කින් පරාදයි.   


පිළිතුර:- මෙහෙමයි. දිනනවා පරදිනවා. එහෙම නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඡන්ද සෑහෙන ප්‍රමාණයකින් පරාදයිනේ.   


සජිතුත් ඡන්දයකින් පරාදයි. මහින්ද රාජපක්ෂත් ඡන්ද පැරදිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මීට කලින් ඡන්දවලට ඉදිරිපත් වෙලා නෑනේ. කවුරුත් ඡන්ද පැරදිලා තියෙනවා. ඒබ්‍රහම් ලින්කන් එක දිගට 13 වතාවක් විතර පැරදිලා තමයි ඇමෙරිකාවේ ජනාධිපති වුණේ. එක පාරක් ඡන්ද පැරදුණා කියන එක මං හිතන්නේ නෑ එයාව අයින් කරන්න හේතුවක් කියලා. හැබැයි අනික් පැත්තෙන් ගත්තොත් සජිත් ඡන්ද ලක්ෂ 55 ක් ගත්තා. ඒක විශාල ඡන්ද ප්‍රමාණයක්. එයාට සියයට 42 ක් ලැබුණා. ගෝඨාභය මහත්තයට ලැබුණේ සියයට 51 යි. ඒ කියන්නේ වෙනස සියයට 10 යි. සියට 5 ක් එහාට මෙහාට වුණා නම් දෙවැනි මනාපය ගනින්න වෙනවා. සියයට පහේ වෙනසක් මෙතැන තියෙන්නේ. සියයට 5 ට වගකිවයුතු බො​හෝ දේවල් කැම්පේන් එකේ වුණා. ඒ නිසා මම සූද‌ානම් නෑ සජිත් ප්‍රේමද‌ාස පරාජිතයෙක් කියලා අයින් කරල ද‌ාන්න.      


 ප්‍රශ්නය:-සජිත් ප්‍රේමද‌ාස දේශපාලන ඉතිහාසය තුළම ඔහු දිස්ත්‍රික්කය දිනල නෑ.   


පිළිතුර:- සමහර ආසන තියෙනවා පාරම්පාරිකව එක පක්ෂයකට සීමා වෙච්ච ආසන. කෝට්ටෙ වගේ ආසනයක් ගත්තම සමහර දවස්වල දිනනවා. සමහර දවස්වල පරදිනවා. සමහර ඒවා තියෙනවා හැමද‌ාම යූඑන්පිය දිනනවා. යූඑන්පිය කිසි දවසක පැරදිලා තියෙනව ද කොළඹ ආසනය? බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ පැරදිලා තියෙනව ද? ඒවා පරදින්නේ නෑ. සමහරු පරදින ආසනවලින් අයින්වෙලා පක්ෂයෙ ලොකු තැන්වලට ආවම දිනන ආසනවලට ගිහින් තියෙනවා. ‘අපි ආසනය දිනුවා’ කියලා. එහෙම නොවෙයිනේ මේක දිහා බලන්න ඕනෑ. මනාප ක්‍රමයක්නේ මේ තියෙන්නේ. තමන්ට ලැබෙන ආසනයෙනේ තමන් තරග කළ යුත්තේ. ඒක දිනුවත් පැරදුණත් මන්ත්‍රීවරයෙක් නම්. වෙන්න ඕනෑ ඒකනේ.   


 ප්‍රශ්නය:-රනිල් හා සජිත්ගේ දේශපාලන පරිණතභාවය සසඳනකොට වැඩි ලකුණු වැටෙන්නේ රනිල් වික්‍රමසිංහට?   


පිළිතුර:- මම ඒක පිළිගන්නවා. සජිත් ප්‍රේමද‌ාසට වඩා අවුරුදු 20ක් දේශපාලනයේ ඉඳලා තියෙනවා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට ඒ දේශපාලන අත්දැකීම් තියෙනවා. එතුමා 77 දී නියෝජ්‍ය ඇමැතිවරයෙක් වෙන්නේ අවුරුදු විසි ගණන්වලදී. ඉතාම පුළුල් අවබෝධයක් එතුමාට තියෙනවා. රටේ දේශපාලනය ගැන විතරක් නොවෙයි ලෝක දේශපාලනය ගැනත් එතුමාට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා නායකතුමා මේ පක්ෂයෙ ඉන්න ඕනෑ. අපිට නායකතුමාගේ ද‌ායකත්වය ඉතාම වැදගත්. නමුත් මෙතන ප්‍රශ්න තියෙන්නේ ජනප්‍රියත්වය පිළිබඳ ප්‍රශ්නයක්නේ. පරිණතභාවය එකක්. නමුත් ජනප්‍රියත්වය තව එකක්. සජිතුත් කාලයක් යනකොට මීට වඩා අත්දැකීම් ලබලා තමන්ගේ පරිණතභාවය ගොඩනගා ගනීවි.   


 ප්‍රශ්නය:- ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට දුන්නා. විපක්ෂ නායකකම ඉල්ලුවාම ඒකත් දුන්නා. මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකකම ඉල්ලුවා ඒකත් දුන්නා. සන්ධානයේ නායකකමත් ඉල්ලුවා. ඒකත් දුන්නා. එහෙම නම් තවත් මොනවද ඉල්ලන්නේ කියලා පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් අහනවා?   


පිළිතුර:- මම කියනෛ් මෙතැන එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් මෙතැන සමහර පුද්ගලයන්ට ඕනවෙලා තියෙනවා මේ දේ නොවෙන්න. දෙපැත්තෙම ඒ වගේ කට්ටිය ඉන්නවා.   


 ප්‍රශ්නය:-ඒ අය කවුද කියලා කියන්න ඔබ බයයි?   


පිළිතුර:- බය නොවෙයි. කැමැති නෑ. අපි වාගේ පුද්ගලයෝ මේ පක්ෂය කැඩෙනවට කැමැති නෑ. අපි බලන්නේ කොහොමද මේ දැවැන්ත පක්ෂය ඉස්සරහට අරගෙන යන්නේ කියලා. නමුත් මේකේ සමහර චරිත ඉන්නවා ඒ චරිත හින්ද අපේ පක්ෂයට හානියක් මිසක් කිසිම වාසියක් නෑ. සමහර පුද්ගලයන්ට මිනිස්සු කැමැති නෑ. ඒ පුද්ගලයන් අයින් කරන්න කියලා තමයි මිනිසුන්ගේ ඉල්ලීම. අපිට පුළුවන් නම් මේ පක්ෂය ශුද්ධ කරගෙන හොඳ පිරිසක් එක්ක ඉදිරියට යන්න ඒක තමයි වැදගත්ම දේ. මෙතැනදී සජිත් ප්‍රේමද‌ාසටවත්, රනිල් වික්‍රමසිංහටවත් තියෙන අවශ්‍යතාව දෙපැත්තෙම ඉන්න පිරිසක් කඩාකප්පල් කරන්න හදනවා. ඒ පුද්ගලයෝ උත්සාහ කරනවා නොයෙකුත් විදිහට මේ වැඩේ අවුල් කරන්න. හැබැයි මම විශ්වාස කරනවා හරි තැනකට එන්න අපිට පුළුවන්වෙයි කියලා.   


 ප්‍රශ්නය:- සජිත්ගේ අලුත් පක්ෂය සමගි ජනබලවේගය දැන් ලියාපදිංචි කරල ද තියෙන්නේ?   


පිළිතුර:- පක්ෂයක් නොවෙයි. සමගි ජාතික පෙරමුණ කියන්නේ සන්ධානයක්. ඔය රනිල් වික්‍රමසිංහ අපේ ජාතික පෙරමුණ අත්සන් කළා වගේම තමයි සජිත් ප්‍රේමද‌ාසත් අත්සන් කරලා තියෙන්නේ. ඒකේ වෙනසක් නෑ.   


 ප්‍රශ්නය:-නමුත්, ඔබේ පක්ෂයේ නීති ලේකම් මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා ‘ඒ සන්ධානය ලියාපදිංචි කරන්න එපා. ඒක ඉංග්‍රීසියෙන් ලිව්වම කෙටි නම යූ.එන්.පී. කියලා?  


පිළිතුර:- නෑ නෑ නෑ ඒක මේ ඉංග්‍රීසි පිළිබඳ ගැටලුවක්. ඉංග්‍රීසි කියලා නොවෙයි එන්නේ. සමගි ජන බලවේගයනේ. සමගි කිව්වම යුනිටි වෙන්න පුළුවන්. ජන කිව්වම පීපල්නේ. එතකොට යූඑන් නෙවෙයිනේ. මං දන් නෑ මගේ ඉංග්‍රීසි අවබෝධයට අනුව ඒක එන්නේ යූඑන්පී කියලා නොවෙයි. මං හිතනව මටත් ඉංග්‍රීසි පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා කියලා. ජන කියන්නේ පීපල්.  


 ප්‍රශ්නය:-එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය අලියා නැතිව ඡන්දෙට යන්න කොහොමටවත් කැමැති නෑ. නමුත් ඔබලා යන්න හදන්නේ හදවත ලකුණෙන්?  


පිළිතුර:- ඔය හදවත කියන එක කොහෙන් ආව එකක් ද කියල මම දන්නේ නෑ. මම නම් දන්නේ නෑ හදවතේ කතාවක්. ඔය ලාංඡන ඡන්දය ප්‍රකාශයට පත් කරන්න කලින් තීරණය කර ගන්න පුළුවන්. ලාංඡනය මාරු කරනවා කියන්නේ මහ ලොකු දෙයක් නොවෙයි. මොකක් හරි ලාංඡනයක් තියෙන්න එපැයි. එක්සත් ජාතික පක්ෂය නීත්‍යනුකූලව සන්ධානයට අලියා ලබා දෙනවා නම් මේ ප්‍රශ්නය මතුවෙන්නේ නෑ.  


 ප්‍රශ්නය:- අලියා සන්ධානයට දුන්නාමත් සන්ධානයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරම ද?  


පිළිතුර:- ඔව්. ඔව්. ඒක වෙනස් වෙන්නේ නෑ.  


 ප්‍රශ්නය:- සන්ධානයේ ලේකම්ට තමයි නාම යෝජනා අත්සන් කිරීමේ බලය වගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීමේ බලය ලැබෙන්නේ?


පිළිතුර:- ඔව්. ඔව්.  


 ප්‍රශ්නය:- ඒකට රනිල් පාර්ශ්වය භයයි?  


පිළිතුර:- ඒකනේ මම කිව්වේ. මෙතැන රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නයක් නොවෙයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ එක්ක ඉන්න සමහර දෙතුන් දෙනෙක්ගේ ප්‍රශ්නයක් මෙතැන තියෙන්නේ. ඒ නිසා මුළු වැඩපිළිවෙළම ‘හයි ජැක්’ වෙන තත්ත්වයට ගේන්න හදන්නේ මේ දෙතුන් දෙනෙක්. එක පැත්තකින් කට්ටියක් කියනවා. ‘අපිට යූඑන්පිය ඕනැ නෑ. අපි වෙනම යමු’ කියලා. තව පිරිසක් කියනවා නෑ අපි යූඑන්පියෙන්ම යමු’ කියලා. එහෙම නොවෙයි. යූඑන්පී එකයි අනික් අයයි ඔක්කොම එකතුවෙලා මේ සන්ධානය හද‌ාගෙන ඉදිරියට යමු. ඒකයි වෙන්න ඕනෑ.  


 ප්‍රශ්නය:-කොහොම නමුත් මේ ප්‍රශ්නය නිසා පක්ෂය දෙකඩවීම වළක්වන්න බෑ.  


පිළිතුර:- එහෙම නොවේවි. එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.  


 ප්‍රශ්නය:- ඔබට යම් අදහසක් තියෙවා?  


පිළිතුර:- අපි මේ සාකච්ඡාව කරන්නේ බ්‍රහස්පතින්ද‌ා. සිකුරාද‌ා ආපහු අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනවා. එතැනදී තමයි කියන්න වෙන්නේ හරියටම මොකද වෙන්නේ කියලා.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්