පක්ෂය එක්ක වැඩ නොකරන අය ජනප්‍රියයි කියලා විශේෂ සැලකිලි දක්වන්න බෑ


 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේදැයි එහි මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙවර “මුහුණට මුහුණ” සමග එක්වෙමින් පැහැදිලි කරන්නේ මෙසේය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තරම් නන්නත්තාර වෙලා ගිය කාලයක් තිබුණේ නැති තරම් නේද මහලේකම්තුමා?
අපි පක්ෂෙ වැඩ ටික කරගෙන යනවා මොන ප්‍රශ්න තිබුණත්. ප්‍රශ්න, අර්බුද කියන ඒවා දේශපාලන පක්ෂයකට සාමාන්‍ය දේවල්. ඕනෑම පක්ෂයකට අමාරු කාලවල් එනවා. ඒක අමුතු දෙයක් නොවෙයි. ආසන සංවිධායකවරු පත්කරලා පක්ෂයේ සංවිධාන ව්‍යුහය අපි මේ වෙනකොටත් ශක්තිමත් කරගෙන යනවා. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන අපේක්ෂකයින් තේරීම් වගේ වැඩ කටයුතුත් මේ දිනවල කෙරීගෙන යනවා. පොඩි පොඩි ප්‍රශ්න තිබුණා කියලා පක්ෂය ඉදිරියට යන එක නවතින්නේ නෑ.


ජනප්‍රිය සහ ඡන්ද පදනමක් තියෙන ආසන සංවිධායකයින් පන්නලා අලුත් ආසන සංවිධායකයො දාගෙන පක්ෂෙ ඉදිරියට ගෙනියන එක ලේසි වැඩක් නොවෙයි නේද?
පක්ෂයට වැදගත් වෙන්නේ ආසන සංවිධායකවරයා ජනප්‍රිය ද ඒ පුද්ගලයාට ඡන්ද කීයක් ලැබුණද කියන එකටත් වඩා ආසන සංවිධායකවරයා පක්ෂය වෙනුවෙන් කොයිතරම් ආදරයක්, කැපවීමක් සහ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව එකමුතුවෙන් වැඩ කරනවද කියන එක. කවුරු හරි ආසන සංවිධායකවරයෙක් ඡන්දයේදී වැඩි මනාප ගත්තු පමණින් පක්ෂ විනයට පිටින් පක්ෂ ප්‍රතිපත්තිවලට පිටින් වැඩ කරනවා නම් ඒ අය ගැන පියවරක් ගන්න පක්ෂයට සිදුවෙනවා. නමට ආසන සංවිධායකවරු විදියට තියාගෙන ඉඳලා වැඩක් නෑ. අපි පහුගිය දවස්වල ආසන සංවිධායක තනතුරුවල සංශෝධනයක් ඇති කළේ හිටපු සංවිධායකවරුන් තම තමන්ගේ වගකීම් පැහැර හැරලා කටයුතු කරපු නිසා. පක්ෂය ඉදිරියට ගෙනියන්න නම් වැඩ කරන පක්ෂ ප්‍රතිපත්ති අනුගමනය කරන දක්ෂයෝ ආසන සංවිධායක තනතුරුවලට පත් කරන්න ඕනෑ. ඒකයි අපි කළේ. එහෙම නැතුව අපි හිතුමතේ මේවා කළේ නෑ.
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නිසා නේද මේ අයට කැපිල්ල වැඩිපුරම ආවේ...


 අපි කවුරුවත් කපන්නේ නෑ පක්ෂ ප්‍රතිපත්ති එක්ක ඉන්නවනම්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ සභපාති වෙච්ච දවසේ ඉඳලා එතුමා සියළු දෙනාටම ආරාධනා කළා පක්ෂෙත් එක්ක සම්බන්ධවෙලා එකට කටයුතු කරන්න එන්න කියලා. එතුමා කිසිම වෙලාවක පක්ෂෙ දෙකඩ කඩන්නවත් පක්ෂෙ ඉඳපු අය නෙරපන්නවත් උත්සාහ කරලා නෑ. අපිටත් එතුමා නිතරම කියන්නේ පුළුවන් තරම් හැමදෙනාම එකතු කරගෙන පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යමු කියලා. ඒක පක්ෂයට ආදරය කරන සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ආරාධනයක්නේ. අපි මේ පක්ෂයේ නායකයෝ කීප දෙනෙක් යටතේ ඉඳලා තියෙනවා. අපි ඒ හැම වෙලාවෙම පක්ෂයට නායකත්වය දෙන නායකයා එක්ක කටයුතු කළා. ඒක තමයි ප්‍රතිපත්තිය.


පක්ෂ නායකත්වයට පත්වෙන ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න පක්ෂයට ආදරේ කරන අයට පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නොකරන කෙනෙක් ඉන්නවා නම් පක්ෂයේ ඉදිරි දියුණුව ගැන හිතලා ඒ අය ගැන තීන්දුවක් ගන්න වෙනවා. එවැනි තත්ත්වයක් තමයි අදත් ඇතිවෙලා තියෙන්නේ.


පක්ෂෙ ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ චරිත පැත්තකට දාලා වැඩ කරන්න ගිහින් වැඩ වැරදුණු අවස්ථා ඉතිහාසයේ අපි දැකලා තියෙනවා. ප්‍රධාන පක්ෂ කීපයකටම මේ අර්බුදයට මුහුණ දෙන්න වුණා...


ඔය අපේ පක්ෂෙ ඉඳලා දැන් වෙනම ඉන්න කණ්ඩායමේ අය ඇත්තටම පක්ෂයට ආදරේ නම් අර්බුද නිර්මාණය කරන්නේ නැතුව පක්ෂ නායකත්වය පිළිඅරගෙන ඇවිත් පක්ෂය එක්ක වැඩ කරන්න ඕනෑ. පක්ෂය එක්ක වැඩ නොකරන අය ජ්‍යෙෂ්ඨයි, ජනප්‍රියයි කියලා විශේෂ සැලකිල්ලක් දක්වන්න බෑ. මේ කණ්ඩායමට ඇයි බැරි මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය පිළිගන්න? ඒ අයට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපි ඒකත් සාකච්ඡා කරන්න සූදානම්. පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨත්වය නොබලා පියවර ගන්න වෙනවා. ඒ අය ඇත්තටම ජ්‍යෙෂ්ඨයෝ නම් පක්ෂය සමගි කරවලා එකමුතුකමින් වැඩ කරලා ආධුනිකයන්ටත් ආදර්ශයක් පෙන්නන්න ඕනෑ. මේ කණ්ඩායම එහෙම කරන පාටක් පේන්නේ නෑ. පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැණිව කටයුතු කරන අය ගැන ගන්න පියවර වාසි වුණත්, අවාසිවුණත් ගන්න වෙනවා. කෙටිකාලීනව මේක අවාසියක් වගේ පෙනුනට දීර්ඝකාලීනව වාසියක් වෙන්න පුළුවන්.


ඒ අය කියන්නේ යූඑන්පී එකත් එක්ක දීගකන්න එයාලට බෑ කියලා...


මෙතන යූඑන්පීයත් එක්ක දීගකෑමක් නෑ. ඒක එයාල වාසියට කියන කතාවක්. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ දෑත් ශක්තිමත් කරන්න යූඑන්පී එකෙන් කී දෙනෙක් ආවාද? ඒ ආපු අය ආවෙම ඇමැතිකම් අරගෙන.


දැන් මොකද මේ යූඑන්පී දීගයක් ගැන කතා කරන්නේ? 
අපි අද ජාතික ආණ්ඩුවක ඉන්නේ. පක්ෂ දෙක පක්ෂ දෙකේ ප්‍රතිපත්තිවල ඉන්න අතරේ ජාතික ආණ්ඩු ගිවිසුම අනුව වැඩ කරනවා. මේක අපි කාටවත් හොරෙන් කරපු දෙයක් නොවෙයිනේ. ඉතාම පැහැදිලිව මේ තත්ත්වය රටට කියලා තමයි මේ ආණ්ඩුව හැදුවේ. මේ ආණ්ඩුව හැදුවේ ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන්. රට වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය මොහොතක ඕනෑ පක්ෂයක් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. රට වෙනුවෙන් වැඩ කරන දේශපාලනඥයින්ට නම් ඒ තීන්දුව ගන්න බැරි කමක් නෑ.


මහින්ද රාජපක්ෂ කිය කිය යන්නේ තව වෙසක් පෝය දෙකකින් මේ ආණ්ඩුවට වැඬේ දෙනවා කියලා. එහෙම වුණොත් දුමින්ද දිසානායකලාට මොකද වෙන්නේ?
ඔය කතාව ප්‍රායෝගික නෑනේ. කොහොමද එයාලා තව වෙසක් පෝය දෙකකින් බලයට එන්නේ. දේශපාලන වේදිකාවේ ඉඳලා මිනිස්සු සංතෝෂ කරන්න ඔය වගේ කතා කිව්වට දේශපාලනය ගැන හය හතර තේරෙන ඕනෑ කෙනෙක් දන්නවා ඔය කතාවල ඇත්ත නැත්ත. තමන් පිටිපස්සේ එන කට්ටිය “කික්” එකේ තියාගන්න ඔය කතා හොඳයි. ඒත් ඕවා ප්‍රායෝගික නෑ කියලා කියන අයම දන්නවා.


මීට කලින් කී දෙනෙක් ඔය වගේ පෝය ගණන් කළාද? ඕවා අමුතු තනක්දර නොවෙයි. අඩුම තරමේ 2020 ආණ්ඩුවක් ගන්න සූදානම් කියනවා නම් ඒක පිළිගන්න පුළුවන්. ඔය ගොඩක් පක්ෂ කියන්නේ 2020 බලය ගන්නවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයලා ඒ තරම්වත් ප්‍රායෝගික නැති එක ගැන අපිට කනගාටුයි.


මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරටු කරගෙන ඔය ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායම දැන් කී දවසක් ඉඳලා කියනවද මේ ආණ්ඩුව හෙට පෙරළනවා අනිද්දා පෙරළනවා කියලා. රැස්වීම් කීයක්  තිබ්බද? ඒ හැම එකකම කිව්වේ ඊළඟ දවසෙ ආණ්ඩුව පෙරළනවා වගේ කතා නේ. ඒත් මුකුත් වුණේ නෑ. පාගමන් ගිය අයගෙ කකුල්වල දිපට්ට ආපු එක විතරයි සිද්ධ වුණේ. මහින්ද මහත්තයා වටේ ඉන්න පිරිස දිගටම රඳවගන්න මොන මොනව හරි කියන්නට එයාට අද සිද්ධවෙලා තියෙනවා.


2020 මැතිවරණයකට යද්දිත් ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂය මේ අර්බුද ටික එක්ක මේ විදියට දෙකඩවෙලා නම් යන්නේ ඒක එක්සත් ජාතික පක්ෂයට වාසිය බන්දේසියේ තියලා දෙනවා වගේ වැඩක්...


මේ කාරණය අපිට වඩා තේරෙන්න ඕනෑ ඔය ඒකාබද්ධ විපක්ෂෙ කියන කණ්ඩායමට නේද? ඒ අයටත් දේශපාලන විඥාණයක් තියෙනවනේ. එයාලා කියනවා ඒ එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කන්න බෑ කියලා. එයාලා පක්ෂය එකමුතු කරගෙන එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් වෙන්න එයාලටත් වගකීමක් තියෙනවා. එයාලටයි පක්ෂයට එකතු වෙන්න බැරිවෙලා තියෙන්නේ. අපි එයාලට ඕනෑ වෙලාවක පක්ෂයට එන්න ආරාධනා කරලා තියෙන්නේ.


එයාල පක්ෂයට එන්නේ නැතුව මේ කරන වැඩෙන් යූ.එන්.පීයට වාසියක් වෙනවා නම් ඒකෙ වැරැද්ද ඔය ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායම බාරගන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමනට අභිවෘද්ධියට අකුල් හෙළන්නේ ඔය කණ්ඩායම.


කොහොමද ඇමැතිතුමා පක්ෂෙ මැයි දින සූදානම?
මැයි දිනය මෙවරත් ඉතාම සාර්ථකව පවත්වන්න අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. පසුගිය වසරටත් වඩා සාර්ථක මැයි දින සැමරුමක් මේ සැරේ අපි පවත්වනවා. මේක අපේ පක්ෂයේ හයිය පෙන්නන්න අවස්ථාවක් වගේම මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරන වැඩපිළිවෙළක්. ජයග්‍රහණය කරවන්න කරන උත්සාහයක්.


ඔබ කියන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිය ගැටඹේදී පෙන්නන්න පුළුවන් වෙයිද? මොකද බන්දුල ගුණවර්ධනලා ගෝල්ෆේස් එකට ලක්ෂ විස්සක් බස්සන්නයි සූදානම...


ඔය කට්ටිය ඔය වගේ ගණන් හිලව් තියන්න ගිහින් මීට ඉස්සෙල්ලත් සවුත්තු වුණානේ. ඒක නිසා ඔය ලක්ෂ ගණන් ගැන කියන කතා ගණන් ගන්න ඕනෑ නෑ. මේ අය ඔය වගේ ලොකු කතා කියන්නේ රටේ මිනිස්සු මෝඩයෝ කියල හිතාගෙනද? දන්නේ නෑ. ගෝල්ෆේස් එකට ලක්ෂ විස්සක් දාන්න පුළුවන්ද බැරිද කියලා පොඩි ළමයෙකුට වුණත් තේරෙනවනේ. මේ අය හයිඞ් පිටියේ රැස්වීමක් තියලත් කිව්වනේ ඒකටත් ලක්ෂ ගාණක් ආවා කියලා.


මැයි දිනේට ගැටඹෙට එන්නේ නැති අයට විනය පියවර ගන්නවද?
අපි එහෙම තාම කියලා නෑ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් පක්ෂ ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන අවස්ථාවක ඒ අයට විනය පියවර ගන්නවා.


හැබැයි දුමින්ද දිසානායකගේ විනය පියවර කතාව දැන් විහිළුවක් වෙලා කියලා සමහරු කියන්නේ?
අපි ප්‍රසිද්ධ කරලා විනය පියවර ගන්නේ නෑ. මාධ්‍ය අපෙන් විවිධ පුද්ගලයො නම් කරලා අහනවා. ඒ අයට විනය පියවර ගන්නවද කියලා. පක්ෂෙ එක එක පුද්ගලයාට ඕනෑ ඕනෑ විදියට කාටවත් විනය පියවර ගන්න බෑ.


ඒක කරන්න ඕනෑ පක්ෂ ව්‍යවස්ථාවට අනුකුලව. අපි එහෙම විනය පියවර ඉතිහාසයේ අරගෙන තියෙනවා. අදත් ඒක ඒ ආකාරයටම සිද්ධ වෙනවා. ඉදිරියටත් එහෙමයි. අපි දැන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයට ඉතාම පැහැදිලිවම විනය ක්‍රියාමාර්ග අරගෙන යනවා. අපි ඉතාම විනිවිදභාවයෙන් තමයි මේ විනය පියවර ගන්නේ.


ඔබලා යූඑන්පී එකත් එක්ක ආණ්ඩු කරන අතරෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් දෙනා රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය එක්ක වෙන ඩීල් එකක ඉන්නවා කියලා කියන කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද?
අපි කාගෙවත් එහෙම ඩීල් එකක් නෑ


ඇයි එහෙනම් මහින්ද අමරවීර පුන පුනා කියන්නේ එයා යූඑන්පීයට යන්නේ නෑ කියලායි?
ඇයි එතුමා ඒක පුන පුනා කියන්නේ කියලා එතුමගෙන්ම තමයි අහන්න ඕනෑ. ඒත් අපි කවුරුත් රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය එක්ක කිසිම ඩීල් එකක නෑ. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ. අපි දෙගොල්ලෝ එකට ආණ්ඩු කරනවා. ඊට ඩීල් එකක් නෑ. අපිට එහෙම හොර ගනුදෙනු වලට යන්න කිසිම ඕනෑකමකුත් නෑ. 


පසුගිය ආණ්ඩුවෙන් මෛත්‍රීපාල සිරිසේන එක්ක එකට එළියට බැහැපු කෙනෙක්නේ ඔබ. ඒත් එදා මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව ඉඳපු ඩිලාන් පෙරේරලා අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟට ඇවිත් කියනවා එතුමා රටේ ජනාධිපති කියලා මතක් කරලා දෙන්න සිද්ධවෙලා  කියලා. ඔච්චර ළඟ  ඉඳපු ඔබලා ඇයි ජනාධිපතිතුමාට අමතක වෙන දේවල් මතක් කරලා දෙන්නේ නැත්තේ?
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එතුමා කවුද කියලා අමතක වෙලා නෑ. කවුරුවත් ඒක අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනෑ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයේ ඉන්න කාලේ විධායක ජනාධිපති ධුරයේ බලතල අසීමිතව පාවිච්චි කළා. ඒ ගැන රටේ ජනතාවගේ අප්‍රසාදයක් තිබුණා. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ වැරැදි නිවැරදි කරලා තමයි කටයුතු කරන්නේ.

එතුමාගේ නිහතමානිකම නිසා පසුගිය ආණ්ඩුව කාලේ තිබුණු පීඩනය, මර්දනය අද නෑ.  ඒක නිසා සමහරු වැරදි මාර්ගවල යන්න පුළුවන්. ඒකයි ඩිලාන් පෙරේරා ඒ වගේ කතාවක් කියන්න ඇත්තේ. 


කෘෂිකර්ම අමාත්‍යාංශය අලුත් බිල්ඩිමකට යනතුරු තව කොච්චර කල් ඒකට ගෙව ගෙව ඉන්නද කල්පනාව? 
අපි ඒ බිල්ඩිම ගත්තු  දවසේ ඉඳලා ඒකට ගෙවලා  තියෙනවා. දැන් ඒ බිල්ඩිම වැඩ ඉවර වේගෙන යනවා. ඉතාම ඉක්මනින් අපි ඒකෙ පදිංචියට යනවා. 


එතකොට ගොඩක් දෙනෙක් චෝදනා කරන විදියට මෙතන මුදල් නාස්තියක් වෙලාම නෑ කියලද කියන්නේ? 
ඒක මුදල් නාස්තියක් කියලා  කියන්නේ කොහොමද? මම ආණ්ඩුවේ බිල්ඩිමකට ගියත් මේ වියදම් ටික යනවා. මම ඒකත් හදාගෙන තමයි යන්න වෙන්නේ. මම සෙත්සිරිපායට ගියත් අමාත්‍යාංශයට අවශ්‍ය විදියට මට දෙන තට්ටුව සකස් කර ගන්න ඕනෑ. ඒවට මේ යන මුදල යනවා. මගේ ඕනෑකමට වෙන බිල්ඩිමකට යනවා නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ ඕනෑකමට මම  ඉන්න තැන ඉල්ලුවා. මට ඒ නිසා වෙන තැනකට යන්න සිද්ධ වුණා. පාර්ලිමේන්තුවට මම ඉන්න තැන දෙන්න වුණේ නැත්නම් මට මේ කිසි චෝදනාවක් නෑ. මම දැන් මේ අනුන්ගේ පරිප්පුවක්නේ කන්නේ.

සාකච්ඡාව
ප්‍රියන්ත කොඩිප්පිලි