දෙන්නා සමගි වෙන්න ඕනෑ කියන කතිකාව දිගටම තිබුණා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකතු කිරීමේ සාකච්ඡා මැතිවරණ සූදානම මේ ආදී දේශපාලන කරුණු කාරණා රැසක් පිළිබඳ මේ සාකච්ඡාව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සමඟය. 

 

ප්‍රශ්නය:- ඇමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ? 


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී ලෙස පෙරට ගමන් කරනවා. 


ප්‍රශ්නය:- එතකොට මෛත්‍රි-මහින්ද එකතු වෙනවද? 


පිළිතුර:- මෛත්‍රි-මහින්ද එකතු වීමකට වඩා අපි මේක ගැඹුරින් කල්පනා කළොත් ශ්‍රීලනිපය බලාපොරොත්තු වෙන්නෙ අපේක්ෂකයො එකතු​ෙවන එක. පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමයි, එතුමත් එක්කයි එකතු වෙන්න ඕනෑ. ශ්‍රිලනිපය තියෙන්නෙ එතන. අපිට ජයග්‍රහණය තියෙනවා. නමුත් අර විදියට එකතු වුණොත් ඒ ජයග්‍රහණය තහවුරු වෙනවා. 


ප්‍රශ්නය:- ඒ වුණාට රාජපක්ෂ මහත්තයලා නම් කියන්නේ ඩාර්ලි පාරේ තියෙන්නේ පක්ෂ බෝඩ් ලෑල්ල විතරයි. හැබෑ ශ්‍රී ලාංකාකාරයො ඉන්නෙ ඔවුන් එක්ක කියලා. 


පිළිතුර:- මෙහෙමනෙ. ගෑනියි මිනිහයි තරහ වුණාහම කොයි තරම් දේවල් කතා කරගන්නවද. ඒ වගේ තමයි ඕකත්. ළඟින් හිටපු අය තරහ වුණාහම තමයි නරකම. 


ප්‍රශ්නය:- මෛත්‍රී - මහින්ද කණ්ඩායම් දෙක එකතුවෙලා පුංචි ඡන්දෙට එනවා කියලා ඔබතුමා කියලා තිබුණා. කොහොමද එහෙම කියන්නේ? එහෙම දෙයක් ගැන ඇතුළෙ සාකච්ඡාවක් යනවද? 


පිළිතුර:- සාකච්ඡා ඉතින් මුල ඉඳලම යනවනෙ. අමුතුවෙන් සාකච්ඡා කරන්න දෙයක් නෑ. මේ දෙපැත්තෙම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො. දෙගොල්ලො යාළුවො. හම්බ වෙනවා. කතාබහ කරනවා. දෙන්නා සමගි වෙන්න ඕනැ කියන කතිකාව දිගටම ගෙනිහින් තියෙනවා. ඒක තවත් තීව්‍ර වෙන්න ඇති. 


ප්‍රශ්නය:- බදාදා තිබුණු පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ ගැන කතා වුණාද? 


පිළිතුර:- මම ඒ රැස්වීමට ගියේ නෑ. ම​ෙග් අමාත්‍යාංශයෙ වැය ශීර්ෂය විවාදයට ගත්ත නිසා මම පාර්ලිමේන්තුවට ගියා. 


ප්‍රශ්නය:- ජනාධිපතිවරයගෙ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 


පිළිතුර:- ශ්‍රීලනිපයෙ නිලයි, නොනිලයි කියලා කොටස් දෙකක් නෑ. එක ශ්‍රීලනිපයයි තියෙන්නේ. ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ නායකත්වයෙන් තියෙන ශ්‍රීලනිපය. 


ප්‍රශ්නය:- එහෙම නම් මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා තරග කරන්න කතා කරන්නෙ තනියෙන් ඡන්දෙට ගිහින් ශ්‍රීලනිපයට දිනන්න බැරි නිසාද? 


පිළිතුර:- නෑ. එකමුතුකම නැත්නම් කම්මුතු වෙනවා කියලා අහලා නැද්ද. එකමුතුකම තියෙන්න ඕනෑ. ඒක ගජමුතුවලට වඩා වටිනවා. මේ කැඩිලා තියෙන්නෙ ශ්‍රීලනිපය. ශ්‍රීලනිපය තනි කණ්ඩායමක් විදියට ජයග්‍රහණය කිරීම ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ ජයග්‍රහණය තහවුරු කරගත යුතුයි. එක්සත් ජාතික පක්ෂයත් කොටස් කීපයකට කැඩිලා තිබුණද? 


ප්‍රශ්නය:- ඔබලා හිතන විදියට ගමේ ශ්‍රී ලංකාකාරයා ඉන්නේ මහින්ද රාජපක්ෂ එක්ක නෙවෙයිද? 


පිළිතුර:- නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයට ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයා ආදරෙයි. අපි ඒක නෑ කියන්නේ නෑ. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවෙලා එල්ටීටීඊයෙන් යාපනය මුදාගන්නකන් පාක්ෂිකයා එතුමියට බැන්නා. මිනිස්සු සිරිමා මැතිනිය ගැන තමයි හොඳ කිව්වේ. ඊළඟට මහින්ද මහත්තයා ජනාධිපති වුණාට පස්සෙ එතුමට මිනිස්සු බැන්නැහැ. චන්ද්‍රිකා මැතිනිගෙ හොඳ තමයි කිව්වෙ. හැබැයි මහින්ද මහත්තයා යුද්දෙ දිනලා තිබුණු අඩුපාඩුකම් හදාගත්තට පස්සෙ මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තෙ එතුමට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සම්බන්ධයෙනුත් තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. හැබැයි මැතිනි චන්ද්‍රිකාට ඇඟිලි ගැහුවෙත් නෑ. චන්ද්‍රිකා මහින්දට ඇඟිලි ගැහුවෙත් නෑ. හැබැයි මෙතනදි වෙච්ච දේ තමයි මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණාට පස්සේ මහින්ද මහත්තයා ඇඟිලි ගැහුවා. එතුමා ක්‍රියාකාරී දේශපාලනයට නැවත අවතීර්ණ වුණා. 2015 ජනවාරි 09 වැනිදා එතුමා අපිට කියලා ගෙදර ගියාට ආයිත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණ වුණා. 


ප්‍රශ්නය:- ඔබතුමා කියන්නේ එතුමා නැවත දේශපාලනයට ආවෙ මේ පක්ෂය කැඩීමේ වුවමනාවෙන් කියලද? 


පිළිතුර:- අපේ පක්ෂය කඩන්න වුවමනා අයගෙ බලපෑම මත තමයි එතුමා නැවත ​දේශපාලනයට ආවෙ. 


ප්‍රශ්නය:- කාටද මේ පක්ෂය කඩන්න වුවමනා වෙලා තියෙන්නෙ? 


පිළිතුර:- විමල් වීරවංශලා, ගම්මන්පිලලා. ඊළඟට එතුමා ළඟ හිටපු එතුමගෙ ඥාතීන්. ඒගොල්ලන්ට ඕනෑ බලය මිසක් පක්ෂයක් නෙවෙයි. නමුත් මහින්ද මහත්තයට ඊට එහා ගිය අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කැඩිච්ච සුළු කොටසක් ඒකාබද්ධ කරලා එතුමා ජනාධිපතිතුමා එක්ක එකඟතාවකට එයි කියලා අපි හිතනවා. 


ප්‍රශ්නය:- මෛත්‍රිපාල මහත්තයා ශ්‍රීලනිපයෙ සභාපතිකම අරගෙන දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා. එතුමට තවම ගම් මට්ටමේ පාක්ෂිකයා අතර පදනමක් ගොඩනගා ගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි? 


පිළිතුර - නැත්තෙ නෑ. එතුමට පදනමක් තියෙනවා. කොහොමද එහෙම කියන්නේ? මහින්ද මහත්තයට වගේම මෛත්‍රිපාල මහත්තයටත් පදනමක් තියෙනවා. එතුමට මැයි දිනය කරන්න පුළුවන් නම් හැම ආසනයකම පක්ෂ සම්මේලන තියන්න පුළුවන් නම් හැම ඡන්ද කොට්ඨාසයකටම එතුමාගෙන් ඉල්ලන්න හත්අට දෙනෙක් ඉන්නවා නම් මතක තියාගන්න පදනම තියෙනවා. ඒ පදනමේ කිසිම ගැටලුවක් නෑ. 


ප්‍රශ්නය:- එහෙම පදනමක් තියෙනවා නම් ඇයි මේ ඡන්දෙ දිගින් දිගටම කල්දාන්නෙ? 


පිළිතුර:- ඡන්දෙ කල්දාන්නෙ අපි නෙවෙයි නඩුකාරයොනෙ. 


ප්‍රශ්නය:- ඒ වුණාට ඒ නඩුව ගොනු කරලා තියෙන්නේ ශ්‍රීලනිපයෙ ඇමැතිවරු කීප දෙනෙක්ගෙ ගෝලයො. 


පිළිතුර:- ඇත්ත වශයෙන්ම පක්ෂයෙන් මට ඕක පැවරුවා නම් මම ඔය නඩුව දාන්නෙ ජේවීපී, යූඇන්පීකාරයො ටිකක් අල්ලගෙන. දෙමළ, මුස්ලිම් කට්ටියකුත් අල්ලගන්නවා. අපි ළඟ අද ඉන්න මිනිහා හෙට නෑ. ඔය මිනිස්සු එක එක මැති ඇමැතිවරු ළඟ හිටියා කියලා අල්ල ගන්න බැරිද? ඒ නිසා මේ නඩුව ශ්‍රීලනිපය දැම්මා කියලා කියනවා නම් ඒක වැරැදියි. අපට ඕන ඡන්දය තියන්න. අපි ඕනෑ වෙලාවක ඡන්දයට ලෑස්තියි. බදාදා රැස්වුණු මධ්‍යම කාරක සභාවත් තීරණය කරලා තියෙනවා ඡන්දය තියන්න ඕනෑ කියලා. 


ප්‍රශ්නය:- හැමදාම ඡන්දය තියනවා කියලා කියනවා විතරනෙ. 


පිළිතුර:- එහෙනම් ඕක අහන්නකො අගමැතිතුමාගෙන්. රාවුෆ් හකීම් ඇමැතිතුමාගෙන්. තමුන්නාන්සේලාගෙ ඔළුවෙ තියෙන්නේ පරණ ආකෘතියෙ ආණ්ඩුවක් ගැන. මේ රටේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය හැසිරෙන්නේ ඒක ඔළුවෙ තියාගෙන. මේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. අධිකරණය ස්වාධීන කළා. ඒ නිසා මේ ආණ්ඩුවට මැතිවරණ කොමිසමට ඇඟිලි ගහන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙච්ච ආණ්ඩුවක් දිහා බලන විදියටයි මේ ආණ්ඩුව දිහා බැලිය යුත්තෙ. 


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව දිහා අලුත් විදියකට බලන්න කියලා ඔබතුමා කිව්වට වංචා දූෂණ අතින් මේ ආණ්ඩුවත් ගිය ආණ්ඩුව වගේමයි කියලා චෝදනා නැගෙනවා. 


පිළිතුර:- යුද්ධයක් ඉවර කරපු රටක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියන එක ගතානුගතික උප සංස්කෘතිකවලින් මිදෙනවා කියන එක ලේසි පහසු නෑ. ජනවාරි අට වැනිදා මිනිස්සු කතිරය ගහලා මෛත්‍රීපාල මහත්තයට ලක්ෂ හැට දෙකක ජනවරමක් දුන්නා මිසක මේ රටේ සංස්කෘතික විප්ලවයක් වුණේ නෑ. ඒක නිසා මේ තියෙන වේදිකාව උඩ තමයි අපි කාටත් නටන්න වෙන්නෙ. ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා විදියට පත්වෙලා දූෂණය පිටුදකින්න, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ආර්ථිකය යහපත් මගට යොමු කරන්න කටයුතු කළා. මත්ස්‍ය තහනම ඉවත් කරගෙන ජීඑස්පී ප්ලස් සහනය ලබාගෙන අලුත් වෙළෙඳ පොළවල් හොයාගෙන දැවැන්ත වෙනසක් කරලා තියෙන්නෙ. මහින්ද මහත්තයා ළඟ ෆයිල් තියෙනවා කියපු සමහර අයට අල්ලස් කොමිසම නඩු පැවරුවට පස්සේ ඒ අය උසාවි නොයා කිව්​ෙව් නයි ගැහුවා ව​ෙග කතා. හැබැයි මතක තියාගන්න, මේ රටෙ අගමැතිත් බැඳුම්කර කොමිසමට ඇවිල්ලා සාක්කි දුන්නා. හරි හෝ වැරැදි වේවවා, දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු හෙළිවු්ණා. පරණ ආකෘතිය නම් තියෙන්නෙ මේවා මෙහෙම සිද්ධ වෙයිද? 


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය කියනවා ඉදිරි පුංචි ඡන්දේදි ශ්‍රීලනිපය එක්ක එකතු වෙන්න නම් අගමැතිකම හරි විපක්ෂනායකකම හරි දෙන්න ඕනෑ කියලා. ඒ ගැන පක්ෂෙ ස්ථාවරය මොකක්ද? 


පිළිතුර:- ඒවා ඉතින් කතාබහ කරගෙන කරයි. මහ මුලාදෑනිලා කතා කරගෙන ඒවා කරයි. මහින්ද මහත්තයා ආණ්ඩුවක් හැදුවොත් මම ඒකෙ කැබිනට් ඇමැතිකම් ගන්න යන කෙනෙක් නෙවෙයි.

මම ඇමැතිකම් ගන්න යන්නේ නෑ. 


ප්‍රශ්නය:- ඒ කියන්නේ අප්පච්චි තවම මැරිලද? 


පිළිතුර:- නෑ...නෑ.. අප්පච්චි මැරිලා නෙවෙයි. මහින්ද මහත්තයාද, මෛත්‍රී මහත්තයද, විජයමුනි සොයිස ද කියන එක නෙමෙයි අපට ලොකු. 


අපේ අනාගත පරපුරට ජයග්‍රාහීව මේ පක්ෂය බාරදෙන්නයි අපිට ඕනෑ කරන්නේ. 


ප්‍රශ්නය:- ජනාධිපතිවරයෙක් කිව්වා 2020 න් පස්සේ ශ්‍රීලනිපය ආණ්ඩුවක් හදනවා කියලා. නායකයො දෙන්නා දෙපැත්තට වෙලා ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙයිද? 


පිළිතුර:- එ්කනෙ පාක්ෂිකයො මේ දෙන්නට සමගි වෙන්න කියන්නේ. ඒකට පුංචි ඡන්දෙත් පදනමක් දාගත්තොත් තමයි අපිට ලොකු ශක්තියක් ලැබෙන්නේ. 

 

 

 

 

 

 

 

 

 සාකච්ඡා කළේ- උපුල් වික්‍රමසිංහ