දෙන් නෑ කියපුවා ඔය දුන්නේ


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති  
රාජිත සේනාරත්න

 

රටේ අලුත් දේශපාලන තත්ත්වයක් සමග ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මොනවද? මේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


• විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කිව්වා ‘ආණ්ඩු පක්ෂයේ පුටුවල වාඩිවුණාට කොයි වෙලාවේ නැති වෙයිද කියලා කියන්න බැහැ.’ කියලා.  


ආණ්ඩුවේ පුටු ගැන අපි බලාගන්නම්. එයාගේ පුටුව ගැන පොඩ්ඩක් බලාගන්න කියන්න. විපක්ෂ නායක පුටුව නොවෙයි මන්ත්‍රී පුටුවත් ඉතිරි වෙයිද දන්නේ නෑ.  


• ඔබලා ජාතික ආණ්ඩුවකට යනවා කියලත් කියනවා?  


නෑ එහෙම දෙයක් නැහැ. ජනාධිපතිතුමා එකඟ නෑනේ.  


• මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රීවරයෙක් එක්ක ජාතික ආණ්ඩුවට යනවා කියලයි කියන්නේ?  


ඔව්' අපිට එහෙම ජාතික ආණ්ඩුවක් හදතෑකි. නීතිය අනුව අපිට එහෙම හදන්න පුළුවන්.  


• එහෙම බලාපොරොත්තුවක් තියෙනවාද?  


විපක්ෂයේ තව කට්ටිය ඉස්සරහදි අපිට එනවා. තව මන්ත්‍රීවරු 20 ක් 25 ක් අනිවාර්යයෙන්ම එනවා.  


• ඔවුන් සමග සාකච්ඡා යනවා?  


ඔව්. ඔව්. මම අද උදෙත් සාකච්ඡා කළා. ඒ අය ආවම අපි කල්පනා කරනවා කොහොමද තත්ත්වය කියලා.

  
• ඒ ආවත් ඒ අයට ඇමැති තනතුරු දෙන්නේ නෑ කියලා ජනාධිපති මෛත්‍රි කිව්වා?  


බලමුකෝ ඉතින් ඒවා. ඔය දෙන්නේ නෑ කියපුවා දුන්නේ. පාර්ලිමේන්තුවේ 225 ම කිව්වත් දෙන්නේ නෑ කිව්වට අගමැතිකම දුන්නේ.  


• එහෙම දුන්නේ හොඳට ලුණු ඇඹුල් එක්ක කතාවක් පවත්වලයි?  


මොන ලුණු ඇඹුල් ද? කිසිම ලුණු ඇඹුලක් තිබුණෙ නෑ. ඒ ලුණු ඇඹුල් මොනවද? මගුල් උත්සවයට ගියාම ලංකාවේ සංස්කෘතියක් තියෙනවා මනාලයගේ තාත්තා මනමාලියට කැමැති නැති වෙන්න පුළුවන්. නමුත් මගුල් ගෙදරදී කතාවක් කරනකොට මනමාලයාගේ තාත්තා ඒවා කියන්න යන්නේ නෑ. මොකද ඒක මගුල් ගෙදරක්. ඉතින් අපි හිතුවා ජනාධිපතිතුමා ගැමියෙක් හින්ද‌ා ගැමි සංස්කෘතිය දන්නවා කියලා. නාගරික සංස්කෘතියේ ඔහොම දෙයක් වුණත් ගැමි සංස්කෘතියේ එහෙම දෙයක් වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒ නිසා ඒක සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ලුණු ඇඹුල් නොවෙයි.  


• මන්ත්‍රී සරත් ෆොන්සේකාට ඇමැතිකම් දුන්නේ නෑ. ශ්‍රී ලංකා එකෙන් ආපු අයට ඇමැතිකම් දුන්නේ නෑ. ඔබලා කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ?  


අපොයි මුහුණ දෙන්න පුළුවන්. අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ජනාධිපතිවරයාට තීන්දු කරන්න බැහැ කාටද ඇමැතිකම් දෙන්නේ කාට ද නොදෙන්නේ කියලා. ඒකේ සම්පූර්ණ බලය තියෙන්නේ අගමැතිවරයාට. ජනාධිපතිවරයාට තීන්දු කරන්න පුළුවන් වෙන්නේ විෂය පමණයි.  


• මේ මොහොත වනවිටත් අමාත්‍යාංශවල විෂයන් ගැසට් කරලත් නෑ. ජනාධිපතිවරයා විදේශ සංචාරයක?  


ඒ කියන්නේ ඇමැති ධුර 30 කට සීමා කරලනේ තියෙන්නේ. 30 කට ඔබින විදියට තමයි විෂයන් ගැසට් කරන්නේ.  


• ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කොටසක් ජනපති යටතට ගන්නවා කියලත් ආරංචියි?  


බැහැනේ. එහෙම ගන්න බැහැනේ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවට අනුව තියෙන්නේ අමාත්‍යාංශ දෙකයි. ඒ අමාත්‍යාංශ දෙක නම් කරලා තියෙනවා. එකක් තමයි ආරක්ෂක අමාත්‍යාංශය. ඒ ආරක්ෂාව කියන එකෙත් එද‌ා ඒ දව​ෙස් ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා දෙන ආකාරයට තමයි තියෙන්නේ. එද‌ා ඒ යටතේ නීතිය හා සාමය තිබුණේ නෑ. ඒ නිසා ජනාධිපතිවරයාට ඒක තියා ගන්නත් බැහැ. අනික් අමාත්‍යාංශය තමයි මහවැලිය හා පරිසරය.  


• අමාත්‍යාංශ නැති වුණත් ආයතන පවරා ගන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා?  


බෑනේ. ආයතන තියෙන්න ඕනෑ මොන අමාත්‍යාංශ යටතේද කියලා හඳුන්වලා දීලා තියෙනවනේ.  


• ඉතින් මේ විදියට ආණ්ඩුව කරන්න පුළුවන් ද?  


පුළුවන්. ඇයි බැරි. මේ අපි ආණ්ඩු කරන්නේ.  


• ජනාධිපතිවරයත් සමග ගැටුමකට ගිහින් කොහොමද ආණ්ඩු කරන්නේ?  


අපි බලමු ඒක. අපි කොහොමද ඉස්සරහට කරන්නේ කියලා.  


• ඔබට සෞඛ්‍ය ඇමැතිකම දෙන්න එපා කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් කිව්වා?  


ඉතින් ඔය දුන්නේ?  


• දුන්නට ඔවුන් වැඩවර්ජනය නොකරන්නේ උතුරේ ගංවතුර නිසා කියලත් ඔවුන් කියනවා?  


දකුණේ ගංවතුරක් නෑනේ. දකුණේ කරන්න පුළුවන්නේ. උතුරෙත් කෑල්ලක විතරයිනේ ගංවතුර.  


• රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇයි ඔබට මෙහෙම අරියාදුකම් කරන්නේ?  


ඒගොල්ලෝ ඉන්නේ ඖෂධ සමාගම් එක්ක. දුම්කොළ සමාගම් එක්ක. පැණි බීම් සමාගම් එක්ක. ඒකනේ පැණි බීම් බද්ද අඩු කළාම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයි විරුද්ධ වුණාම මේ ගොල්ලොත් විරුද්ධ වුණේ. මේවා ඇත්ත කාරණා. මේ ගොල්ලන්ට විරුද්ධ බව අද කණ්ඩායම් දෙකක් ඇවිත් මාව හමුවුණා. මේ ගොල්ලන්ට විරුද්ධව තුන්සිය ගාණක් වෛද්‍යවරු ආවා. ඒත් මම කොටසක් විතරයි හමුවුණේ. ඒ ආපු ඔක්කොම වෛද්‍ය සංගමයට විරුද්ධයි. මේක තමයි ඇත්ත තත්ත්වය.  


• ඔබ කියලා තිබුණා ‘මම නැතිව ආණ්ඩු පෙරළන්න බෑ’ කියලා. ඒ කියන්නේ මෛත්‍රි ඔබට කතා කළා නම් වැඩේට සපෝට් කරනවා?  


එයා තනියම කරගන්න ගිහින් අන්තිමට මොකද වුණේ? කරගන්න බැරි වුණානේ.   


• ඔබට කතා කළා නම් ඔබ වැඩේට සපෝට් කරනවා?  


මට ​ේදශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. දේශපාලන දර්ශනයක් තියෙනවා. කවුරු වෙනස් වුණත් මම වෙනස් වෙන්නේ නෑ. ඒකනේ එතුමා මගේ මිත්‍රයා වුණත් මම එතුමා එක්ක එකතු වුණේ නැත්තේ.  


• ඒ කොහොම වුණත් ඔබත් ඒ අවස්ථාවේ මහින්ද කඳවුරට එකතු වීමේ සූද‌‌ානමින් හිටියේ?  


මම ගියා නම් ඔය ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දිනලනේ එහෙමයි. මහින්ද රාජපක්ෂ තමයි එහෙනම් අගමැති.  


• ඔබේ එහෙම සූදානමක් තිබුණේ නෑ?  


නෑ. නෑ. කොහෙත්ම නෑ. මට එහෙම ඔළුවෙ අමාරුවක් නෑ. ඔබ හිතනවද මට එහෙම ඔ​ළුවේ අමාරුවක් තියෙනවා කියලා.  


• එහෙම නම් ඇයි ඔබ ඔබේ හිතවතුන් ද‌ාලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කිව්වේ ‘රාජිතට සෞඛ්‍ය ඇමැතිකම දෙන්න’ කියලා?  


ඒ ගොල්ලෝ ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න අවශ්‍ය නෑ මට සෞඛ්‍ය ඇමැතිකම දෙන්න. ඔය ජනාධිපතිතුමාමනේ කිව්වේ මේ තරම් විශිෂ්ට සේවයක් කරපු සෞඛ්‍ය ඇමැතිවරයෙක් තවත් නෑ කියලා. එහෙම කියලා එතුමාට පුළුවන්ද මට නොදී ඉන්න.  


• ඔය අර්බුද අස්සේ ඔබ ඇයි එහෙම නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ?  


මම කවද‌ාවත් ගිහිල්ලා නෑ. මම ගියේ ජනාධිපතිතුමා පක්ෂයට කරපු ආරාධනාවකට. එහෙම නැතිව මම ගියේ නෑ. අඩුම තරමින් මම දුරකථන ඇමැතුමක්වත් දුන්නේ නෑ. මගේ ක්‍රමයක් තියෙනවනේ මං වැඩ කරන. ඒ ක්‍රමයට අනුව ඔය ඔබ කියන විදියට මට ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න විදියක් නැහැ.  


• ඔබ කියලා තිබුණා එජාපය මූලික කරගත් අලුත් පෙරමුණක් හදනවා කියලා?  


ඔව්. අපි අලුත් සන්ධානයක් හදනවා. ඒකේ තියෙනවා නායකත්වය මණ්ඩලයක්. ඊට අමතරව විධායක මණ්ඩලයක් තියෙනවා. ඒකට එන්න පුළුවන් පාර්ලිමේන්තවෙ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවලට. එහෙම පුළුල් සංවිධානයක් තමයි අපි ගොඩනගන්නේ. ඒකට අලුත් ලාංඡනයක් අලුත් නමක් තියෙනවා ඕනෑම කෙනෙකුට සහභාගි වෙන්න එක්වෙන්න පුළුවන් විදියට තමයි අපි ගොඩ නගන්නේ.


• තනි නායකයෙක් නෑ. තියෙන්නේ නායකත්ව මණ්ඩලයක්?  


ඔව්. නායකත්ව මණ්ඩලයක් තියෙන්නේ.  

ඒ ගොල්ලෝ ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න අවශ්‍ය නෑ මට සෞඛ්‍ය ඇමැතිකම දෙන්න. ඔය ජනාධිපතිතුමාමනේ කිව්වේ මේ තරම් විශිෂ්ට සේවයක් කරපු සෞඛ්‍ය ඇමැතිවරයෙක් තවත් නෑ කියලා. එහෙම කියලා එතුමාට පුළුවන්ද මට නොදී ඉන්න.  

 


• එහෙම නායකත්ව මණ්ඩලයක් ද‌ාන්නේ රනිල් වික්‍රමසිංහ ගැන විශ්වාසයක් නැති නිසාද?  


නෑ. එහෙම දෙයක් නොවෙයි. නායකත්ව මණ්ඩලයෙa සභාපතිධුරය දෙනවා අපි එක්සත් ජාතික පක්ෂයේ නායකයාට. හැබැයි තීන්දු ගන්න බෑ තනියෙන්. තීන්දු ගන්න පුළුවන් වෙන්නේ නායකත්ව මණ්ඩලයකටයි.  


• ඔය ඔබ කියන පුළුල් සන්ධානයට දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණත් එක්කර ගන්නවද?  


දෙමළ ජාතික සන්ධානය එන එකක් නෑ. මොකද ඔවුන්ගේ දේශපාලනය අපේ ජාතික දේශපාලනයට තවම නෑනේ. අනාගතයේ දවසකදී ඔවුන් ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසඳ‌ා ගත්තට පස්සේ ඔවුන් එකතු වේවි අපිත් එක්ක. නමුත් අද ඔවුන් අපත් සමඟ එන්නේ නෑ.  


• එතකොට ජවිපෙ?  


ජනතා විමුක්ති පෙරමුණ කවද‌ාවත් කිසිම සන්ධානයකට එන්නේ නෑනේ. ඒ නිසා ඒගොල්​ෙලාත් එන එකක් නෑ. හැබැයි ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 2015 සටනේදී ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකින් ගියා. අපි වෙන පැත්තකින් ගියා. හැබැයි දෙගොල්ලොම කළේ එකක්නේ.  


• ඉදිරියේදීත් එහෙම වෙයි?  


අනිවාර්යයෙන්ම. අපි සටන් කඳවුරු දෙකක්. හැබැයි ඉන්නේ එක පොදු හතුරෙක්. ඒ පොදු හතුරට විරුද්ධව කඳවුරු දෙකක ඉඳන් එකම සටනක් කරනවා. පහුගිය දවස්වල අපි සටන් කළේත් ඒ විදියටනේ.  


• එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කියලා තිබුණා ‘ඕවා බොරු වැඩ’ කියලා  


එ් දේශපාලනය දන්නේ නැතිකමටනේ. ඔය ගොඩක් දෙනෙක් තාම දේශපාලන ළදරුවෝ. මෝරන කොට හරි යයි.  


• දෙමළ ජාතික සන්ධානය තවම ජාතික දේශපාලනයට ඇවිත් නෑ කියලා ඔබ කිව්වට ඔවුන්ගේ සහායෙන් තමයි ආණ්ඩුව ගෙනියන්නේ?  


ඔව්. පැහැදිලිවම ඒක ඉතින් සතුටු වෙන්න ඕනෑනේ. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට ජාතික දේශපාලනයත් සමඟ සම්බන්ධ වීම ගැන කවුරුත් සතුටු වෙන්න ඕනෑ. මෙච්චර කල් තිබුණ ප්‍රශ්නය තමයි ඔවුන් උතුර හා නැගෙනහිර ගැන පමණක් කතා කිරීම. දැන් ඔවුන් ජාතික දේශපාලනයට ඇවිල්ලා තියෙනවා.  


• ඒ සඳහා රහසිගත ගිවිසුම් තිබෙන බවක් කියැවුණා?  


පට්ටපල් බොරු. කිසිම ගිවිසුමක් නෑ. එකම එකඟතාව සංවර්ධන ක්‍රියාද‌ාමයේදී ඔවුන් කොටස්කරුවන් බවට පත්කර ගැනීම.  


• එතකොට අලුත් ව්‍යවස්ථාව?  


ඔව් ඒකත් එක කොන්දේසියක් තමයි.  


• ඒ අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලත් කියනවා?  


ඒකත් බොරුවක්නේ. ඒකීය රාජ්‍යයකට ඔවුන් එකඟ වෙලා තියෙන්නේ. ඒකීය රාජ්‍යයකට එකඟයි නම් මොකක්ද ප්‍රශ්නය?  


• ඔබලාට තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ. මහින්ද රාජපක්ෂගෙන් බහුතරය ඉල්ලපු බහුතරය නිහඬ ඇයි?  


අපිට ඕනෑ වෙලාවට අපි බහුතරය පෙන්වන්නම්. මහින්ද රාජපක්ෂටත් පුළුවන් නම් පෙන්වන්න කියන්න. හැම තිස්සෙම තියෙන්න ඕනෑ නැ බහුතරය.  


• අතුරු සම්මත ගිණුම සම්මත කරගත්තෙත් ඡන්ද 102 කින්?  


එද‌ා ඉතින් එච්චර ලොකු තරගයක් තිබුණේ නැහැනේ. තීරණාත්මක ඡන්දයක් නෙවෙයිනේ.  


• එද‌ා පාර්ලිමේන්තු ආව නැති එජාප මන්ත්‍රීවරුන්ට එරෙහිව තීන්දු ගන්නවා කියලත් පුවත් පළ වුණා?  


බලමු ඉතින්. ඒක එතරම් ලොකු ප්‍රශ්නයක් නොවෙයිනේ.  


• රවි කරුණානායකට මුදල් ඇමැතිකම නොලැබුණේ පක්ෂයේ කුහකයන් නිසා කියලා ඔහු කියලා තිබුණා?  


ඒක ඉතින් එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්නේ.  


• 2019 මැතිවරණ වසරක් කියලා කියනවා?  


අපි නම් ඉතාම හොඳ තත්ත්වයක ඉන්නේ. පොහොට්ටුවේ අයත් කියනවා ඔවුන්ට වඩා අපි ඉදිරියෙන් ඉන්නේ කියලා. ඒ අයට අඩු තරමේ පක්ෂයක්වත් නෑනේ දැන්. සාමාජිකත්වය ගත්ත පක්ෂයේ නම කියන්නෙත් නෑ. එතකොට ඒගොල්ලන්ට පක්ෂයකුත් නෑ. තව ටික දවසකින් මන්ත්‍රීකමත් ෂුවර් නෑ. එහෙම තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.  


• එච්චර ලොකු පිබිදීමක් තියෙනවා නම් මහමැතිවරණය එපා කියලා අධිකරණයට ගියේ ඇයි?  


ඔබතුමා කියවන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා නීතිවිරෝධී රජයකින් පවත්වන කිසිම මැතිවරණයක් නීත්‍යානුකූල නැහැ කියලා. ඒ නිසා මෙවැනි නීතිවිරෝධී රජයක් පවත්වන කිසිම මැතිවරණයක් නීතියට අනුව පැවැත්වෙයි කියලා හිතන්නත් බෑ කියලා. ඒකම තමයි අපි ගියේ.  


• ඡන්දවලට බය නැත්නම් පළාත් සභා ඡන්දය හරි තියන්න කියලා ඒකාබද්ධ විපක්ෂය අභියෝග කරනවා?  


ඔව් ඉතින් පළමුව එකඟ විය යුතුයිනේ කොහොමද ඡන්දය තියන්නේ කියලා. ඒ ගොල්ලොත් කියනවනේ පරණ ක්‍රමයට ඡන්දය තියන්න කියලා. අපිත් කියන්නේ ඒකම තමයි. ඒකේ තීන්දුවක් ගත්තට පස්සේ පළාත් සභා ඡන්දයට යනවා.  


• ජනාධිපතිවරණය?  


ඒකත් අපි ජයග්‍රහණය කරනවා.  


• කවුද ඔබේ අපේක්ෂකයා?  


ඒ වෙලාවට දිනන උඩින් දිනන අපේක්ෂකයෙක් අපි ද‌ානවා. ඊට කලින් අහන්නකෝ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා?  


• සුදුසු අය ඕනෑ තරම් ඉන්නවා කියලා ඔවුන් කියනවා?  


ඒ ඔක්කොම අය එන්නේ පවුලෙන්නේ. අපිට එහෙම පවුලක් නෑ.  


• ජනාධිපති මෛත්‍රී එක්ක යළිත් පැරැණි සබඳතා අලුත් කරගන්නේ නෑ?  


නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ. හරි පාරෙන් එනවා නම් ඕනෑම දෙයකට අපිත් ඔට්ටුයි.  

 

 

 

සටහන : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්