දැන් සිදුවෙමින් තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලේ වගේ දෙයක්


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  
නලින්ද ජයතිස්ස  

 

මේ දිනවල දේශපාලන වේදිකාවේ ජනප්‍රියම මාතෘකා පිළිබඳ මේ කතාබහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සමගිනි.  


 

පාස්කු දින ප්‍රහාරයේ වගකීම පහත් තැනින් යයි ගලා ජලේ වගේ සීන් එකක් නේද පෙන්නුම් කරන්නේ?  


පාස්කු ප්‍රහාරයට කලිනුත් ඊට පසුවත් ජනාධිපතිවරයා මත්කුඩු මර්දනය කරනව කියලා ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒකෙ සම්පූර්ණ ගරුත්වය ජනාධිපතිවරයා අත්පත් කර ගනිමින් ඉන්නවා. ඒකට දේශපාලන නායකත්වය දෙන එකේ දී ඒ ගරුත්වය ඔහුට හිමිවුණාට ප්‍රශ්නයක් නෑ. ඒත් කුඩු අල්ලන්නේ ජනාධිපතිවරයා නෙවෙයි. ඒක බුද්ධි අංශ තොරතුරු මත හමුදාව හෝ පොලිසිය සහ අනෙක් පාර්ශ්වවල මෙහෙයුම් මගින් තමයි සිද්ධ වෙන්නේ. ඒකට දේශපාලන නායකත්වයක් වගේම මෙහෙයුම් යාන්ත්‍රණයකුත් ඕන.  
පාස්කු දින ප්‍රහාරයටත් බුද්ධි අංශ තොරතුරු ලැබිල තිබුණා. ඒ මෙහෙයුම් කටයුතුවලට හමුද‌ා, පොලිස් ආරක්ෂක අංශ සම්බන්ධයි. ඒත් ඒ ප්‍රහාරය වළක්වා ගන්න ඒ කාටත් බැරිවුණා. කුඩු අල්ලන එකේ ගෞරවය බද‌ා ගන්න ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ගැලවෙන්න විදියක් නෑ. පාස්කු ඉරිද‌ා ප්‍රහාරය වළක්වා ගන්න බැරිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතුයි.  


ඔබ කිව්වා වගේම දැන් සිද්ධ වෙමින් තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලේ වගේ දෙයක් තමයි. ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට මේ ප්‍රහාරයේ වගකීමක් තියෙනවා වගේම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වගේම ආණ්ඩුවට මේ වගකීමෙන් ලිස්සලා යන්න බෑ.  


ඔබත් නියෝජනය කරන තේරීම් කාරක සභාවල දී මොනවද වෙන්නේ ඇත්තටම?  


රටේ ජනතාව දැනගත යුතු බොහෝ කරුණු තේරීම් කාරක සභාව හරහා හෙළිදරවු වෙමින් තියෙනවා. මේ ප්‍රහාරයට පෙර වසර කීපයක සිටම සහරාන් ඇතුළු කණ්ඩායම පිළිබඳ තොරතුරු ආරක්ෂ අංශ වෙත ලැබිල තිබුණා. නමුත් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ප්‍රහාරයට දින කීපයකට පෙර නිශ්චිතවම ලැබුණු බුද්ධි තොරතුරු පවා නොතකා හරිමින් මේ ප්‍රහාරයට පසුබිම සකස් කරල තියෙන්නේ. ඒක දැන් කරුණු රාශියක් ඔස්සේ හෙළිදරවු වෙමින් තියෙනවා. මේක වැදගත් මොකද මේ ප්‍රහාරයට නියමින් සහ අනියමින් උදවු කළ සියලු දෙනා රටට අනාවරණය විය යුතුයි.  


ඒ වගේම නැවත මෙවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීමේ දී ගතයුතු පියවර පිළිබඳ අවධානය යොමු කරන්න මේ හරහා පුළුවන් වෙනවා. තේරීම් කාරක සභාව පිළිබඳ කාට හෝ මුල දී අපැහැදීමක් ඇති වුණා නම් දැන් මේ හෙළිදරවු වෙන තොරතුරුත් එක්ක තේරීම් කාරක සභාව පිළිබඳ තියෙන ජනතාවගේ ඒ සැකයත් දුරුවෙමින් යනවා.  


ජනාධිපතිතුමා නම් කියන්නේ තේරීම් කාරක සභාව අරලියගහ මන්දිරේ ප්‍රැක්ටිස් කරලා ඇවිත් කරන ඩ්‍රාම එකක් කියලා......  


පොලිසිය තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ඒ නිසා පොලිසියට සම්බන්ධ බුද්ධි අංශ මෙහෙයවන්නේ ජනාධිපතිවරයා. ත්‍රිවිධ හමුද‌ාවම තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ත්‍රිවිධ හමුද‌ාවට අයත් බුද්ධි අංශ මෙහෙයවන්නෙත් ජනාධිපතිවරයා. රාජ්‍ය බුද්ධි සේවාව මෙහෙයවන්නෙත් ජනාධිපතිවරයා. ඒ නිසා මේ තේරීම් කාරක සභාව සම්බන්ධ පූර්ව සාකච්ඡා හෝ පෙර සූදානම්වීම් කිසිවක් අරලියගහ මන්දිරේ සිදුවෙනවා නම් ඒක සාක්කි සහිතව පෙන්වා දීම ජනාධිපතිවරයාගේ වගකීමයි.  


ජනාධිපතිවරයා එහෙම පෙන්නල දුන්නොත් ඒ මොහොතේම ජනතා විමුක්ති පෙරමුණ තේරීම් කාරක සභාවෙන් ඉවත් වෙන්න සූද‌ානම්. නමුත් ජනාධිපතිවරයාට අයිතියක් නෑ, රාජ්‍ය නායකයා හැටියට මේ විදියට අවලාද නගමින් තේරීම් කාරක සභාවේ කටයුතු කඩාකප්පල් කරන්න. මේක ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. පුද්ගලික තරහවල් මේක පිටින් යවන්න දෙන්න බෑ.  


ජනාධිපතිවරයෙකුට එහෙම බොළඳ වෙන්න පුළුවන් ද? තමන්ගෙ වගකීම ඉටු නොකිරීම ගැන පාර්ලිමේන්තුවේ යම් විමර්ශනයක් කරගෙන යද්දී ඒකට එරෙහිව එළියේ දී අදහස් ප්‍රකාශ කිරීම, සදාචාර සම්පන්න ක්‍රියාවක් නෙවෙයි. ඒක රාජ්‍ය නායකයෙකුට ගැළපෙන ක්‍රියාවකුත් නොවෙයි.  


ඉස්සර කවි මඩුවල කලිසම ද හොඳ, සරම ද හොඳ වගේ වාද තිබුණ අපිට මතකයි. ඒ වගේ දැන් 18 ද හොඳ 19 ද හොඳ කියල වාද විවාද යනවා......  


ජනාධිපතිවරයා කියපු ඒ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන මහතා කොතරම් මුග්ධ සහ ජනතා විශ්‍වාසය කඩකරන කෙනෙක් ද කියන එක.  


මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය 18 වෙනි සංශෝධනයට අත ඉස්සුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා 18 ගෙනාවේ මොකට ද කියල කවුරුත් දන්නවා. ඒ වගේ ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයකට අත ඔසවා තිබියදීත් ඒක අහෝසි කරනවා කියල කියපු පොරොන්දුව තමයි මෛත්‍රීපාල මහත්තයට මේ රටේ ලක්ෂ හැටදෙකක ජනතාව ඡන්දය දුන්නේ. කැබිනට් ඇමැති කෙනෙක් විදියට දේශපාලනයෙන් විශ්‍රාම යන්න ඉඳපු කෙනෙකුට විධායක පුටුවේ වාඩිවෙන්න මේ රටේ ජනතාව අවස්ථාවක් දුන්නේ මොකටද කියන කාරණාව දැන් එයට අමතක වෙලා.  


එයාගෙ ප්‍රධාන පොරොන්දුව වෙච්ච විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කුණු බක්කියට ද‌ාලා පයින් පාගගෙන ජනාධිපතිවරයා 19 ගැන මේ කියපු ප්‍රකාශය ගැන ඒ තරම් පුදුම වෙන්න ඕනත් නෑ. මොකද ඔහු ජනාධිපති පුටුවේ වාඩිවෙච්ච වෙලාවෙ ඉඳන් හැසිරෙන්නේ තමන්ට ලැබුණ ජනවරම නොතකාහරිමින්. ඒ ජනවරමට පිටුපාමින්.  


ජනාධිපති පුටුවෙන් බැහැල ගෙදර යන්න මාස තුන හතරක් තියෙද්දී ජනාධිපතිවරයා මේ කරන ප්‍රකාශ හරහා පේන්නේ මුල ඉඳලම ඔහු ව්‍යාජ රංගනයක යෙදිල ඉඳපු බව.  

 

කුඩු අල්ලන එකේ ගෞරවය බද‌ා ගත්ත ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ගැලවෙන්න විදියක් නෑ. පාස්කු ඉරිද‌ා ප්‍රහාරය වළක්වා ගන්න බැරිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතුයි.  ඔබ කිව්වා වගේම දැන් සිද්ධ වෙමින් තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලේ වගේ දෙයක් තමයි. ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට මේ ප්‍රහාරයේ වගකීමක් තියෙනවා වගේම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වගේම ආණ්ඩුවට මේ වගකීමෙන් ලිස්සලා යන්න බෑ.  

 


ජවිපෙ නායක අනුර දිසානායකත් වෙන දේශපාලකයො වගේම පිරිකර වට්ටි අරගෙන මහානායක හාමුදුරුවරු බැහැදකින්න ගියා පහුගිය දවස්වල......  


අපේ රටේ බහුතර ජනතාවක් අදහන ආගම බුද්ධාගම. ඒ විතරක් නොවෙයි අපේ රටේ සංස්කෘතිය ගොඩනැගීමේ දී සිංහල බෞද්ධ පදනම විසින් කරන ලද මැදිහත්වීමත් තියෙනවා. ඒක අමතක කරල අපිට දේශපාලනය කරන්න බෑ. පක්ෂයක් හැටියට අපි මේ රටේ මහා සංඝරත්නය එක්ක කටයුතු කරනවා. අපේ පක්ෂය බිහිවුණු දවසෙ ඉඳල අපේ රටේ හාමුදුරුවරු මේ පක්ෂය එක්ක යම් යම් සීමාවල කටයුතු කළා. වැදගත් අවස්ථාවල අපි මහානායක හාමුදුරුවරු මුණගැහිලා සාකච්ඡා කිරීම අමුතු දෙයක් නොවෙයි. ඒත් අපි යන්නේ අනෙක් අය වගේ යන්නං වාලෙ නෙවෙයි.  


පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපේ පක්ෂය විසින් සකස් කරන ලද යෝජනා මාලාව පිළිගැන්වීම සඳහා තමයි අනුර දිසානායක සහෝදරය පහුගියදා මහානායක හාමුදුරුවරු මුණගැහුණේ. එහෙම නැතුව මේක දේශපාලන සංදර්ශනයක් නෙවෙයි.  


කොහොමද ජේවීපී එකේ පාරේ සටන?  


මේ ආණ්ඩුව අසමත් කියලා මේ අවුරුදු හතර හමාර පුරා ඒ අය විසින්ම ඔප්පු කරමින් ඉන්නවා. කියපු කිසිම දෙයක් ඒ විදියට ඉටු කරන්න බැරි වුණා. නොකියපුවම තමයි කරමින් ඉන්නේ. එහෙව් ආණ්‍ඩුවක් තවත් තියෙන්න ඕන නෑ. වහාම මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. මේ පිළිබඳව බලකරමින් අපි උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළා. පහුගිය ජුනි 12 කොළඹ කොටුවෙන් ඒක පටන් ගත්තෙ. රටේ තැන් තැන්වල උද්ඝෝෂණ හා සම්මන්ත්‍රණ පැවැත්වූවා. ඊළඟ පියවර හැටියට ජුලි 7 සහ 8 යන දිනවල කළුතර ඉඳලා කොළඹට පාගමනක් එනවා. 8 වැනිදා නුගේගොඩ දැවැන්ත රැළියක් පැවැත්වෙනවා. ඒ වගේම ජුලි 10, 11 දිනවල ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී සංවාදයට ගන්නවා.  


විශ්වාසභංග යෝජනාව දිනයි ද?  


අපි හිතනවා ඒක දිනන්න පුළුවන් කියලා. මහින්ද රාජපක්ෂ දැනටමත් ප්‍රකාශ කරල තියෙනවා ඔහුගේ කණ්ඩායම මේකට සහාය දෙනවා කියලා. ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරත් ප්‍රකාශ කරල තිබුණා ​ඔවුන්ගේ සහාය මේකට ලැබෙනවා කියලා. මේක ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න අසමත් වුණු ආණ්ඩුවකට එරෙහිව ගේන විශ්වාසභංගයක්.  


ගෝඨාභය රාජපක්ෂ කියනවා එයාට දැන් සනීපලු. ලංකාවට ආපු ගමන් ජනාධිපතිවරණ වැඩ පටන් ගන්නවලු. මොකක් වෙයිද?  


ගෝඨාභය රාජපක්ෂගේ අසනීප තත්ත්වය සුව අතට හැරීම ගැන අපි සතුටු වෙනවා. එයා දේශපාලනයට එනවා කියලත් තියනවා. ඒ තරම් වයසක කෙනෙක් ඔය වගේ හෘදය සැත්කමකට පස්සේ විවේකී සුවයෙන් ඉන්න එක ඔහුගේ ශරීර සෞඛ්‍යයට වඩා හිතකරයි කියලත් අපි හිතනවා.  


ජනාධිපතිවරණයට එනවා කියල කියැවෙන නම් හැම එකක්ම වෙනසක් නෑ. එකම වගේ තමයි. මේ කවුරුත් ලෙඩ වුණාම දුවන්නේ සිංගප්පූරුවට නැත්නම් ඇමරිකාවට. අපේ රට සුවපත් කරන්න තියා තමන්ගේ ලෙඩකට මෙහේ ඉස්පිරිතාලෙකටවත් ඔය කවුරුවත් යන්නේ නෑ. එහෙම රටක් සුවපත් කරන්න පුළුවන් නායකයෙක් තමයි රටට ඕන.  

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි