දැන් රාජපක්ෂලා පචවෙලා ඉන්නේ


දේශපාලන කරළියේ කතාබහට ලක්වන මාතෘකා පිළිබඳ මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සමගය.

 

● ගොඩක් දේශපාලන පක්ෂවල මැයි දින පම්පෝරි තාම ඉවරයක් නෑ. ජවිපෙත් එමෙද?
අපිට නම් එහෙම පම්පෝරි ගහන්න වුවමනාවක් නෑ. කොහොමත් මේ සැරේ පවත්වපු මැයි රැලිවලින් ජාත්‍යන්තර මට්ටමේ තිබුණු ඉහළම මැයි රැලිය තමයි ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය. ඒක නිසා අමුතු කයිවාරු නැතත් ජනතාව ඒක දැක්කා. වෙන වසරවලට වඩා විශාල පිරිසකුත් ඒකට සහභාගි වුණා. අපිට බී.ආර්.සී. පිට්ටනිය ඉඩමදි වුණා. ලංකාවේ පවත්වපු එකම ජාත්‍යන්තර මැයි සැමරුම තමයි මේ. අනිත් අය කළේ දේශපාලන පක්ෂවල රැස්වීම් මිසක් මැයි දින සැමරුම් නොවෙයි. මැයි දිනේ පාට රතු. රතු පාටින් තොරව මැයි දිනේ සමරන්න බෑ. මැයි දිනයට අදාළ ලාංඡන නැතුව මැයි දිනේ සමරන්න බෑ. අපේ මැයි දින සැමරුමේ විතරයි ඒවා තිබුණේ. අනිත් රැස්වීම්වල තිබුණේ ඒ ඒ පක්ෂවල ලාංඡන. අපි සීනුව ලකුණ අපේ මැයි රැලියට ගන්නේ නෑ. ඒක අපිට ඡන්ද කොමසාරිස් ඡන්දෙ ඉල්ලන්න දීපු ලකුණ. කොළ පාටින්, නිල් පාටින් මැයි දිනේ සමරන්න බෑ. මැයි දිනේ සමරන්න බෑ කාල් මාකස්, එංගලස්, ලෙනින් නැතුව. ඒක රනිල්  වික්‍රමසිංහගෙවත්, මෛත්‍රීපාල සිරිසේනගෙවත්, මහින්ද රාජපක්ෂගෙවත් පිංතූර ගහගෙන සමරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අතිනුත් අපේ මැයි දින සැමරුම තමයි නියම මැයි සැමරුම වෙන්නේ. මැයි දින සැමරුමේ සම්ප්‍රදාය, සංස්කෘතිය සහ අනන්‍යතාව ඉහළින්ම රැක්කේ අපි විතරයි.


ලෝකයේ වැඩ කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වය අපේ මැයි සැමරුමට ලැබුණා. ඔවුන් අපේ රටේ වැඩ කරන ජනතාව ඇමතුවා. ඒ අය වසරේ තුන්සිය හැටපස් දවසම වැඩකරන ජනතාව වෙනුවෙන් සටන් කරන අය. ජනතා විමුක්ති පෙරමුණේ අපිත් හැම මොහොතෙම වැඩ කරන ජනතාව වෙනුවෙන් සටන් කරන අය. ඒක තමයි ඔවුන් අපේ මැයි දින සැමරුමට එන්නේ.

 


● හැමදාම වගේ මේ සැරෙත් ඔබලා ආණ්ඩුව  විවේචනය කළා. මේකත් තවත් එක මැයි දින  සැමරුමක් නොවෙයි ද? මෙතනින් එහාට මොකක්ද වෙන්නේ?
අපි ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරපු චෝදනා, අපි ඉදිරිපත් කරපු  විවේචනය තවදුරටත් නොසලකා ඉන්න ආණ්ඩුවට බෑ. ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වහාම ගේන්න ඕන. හැම දෙනාටම එකඟ විය හැකි  ව්‍යවස්ථාවක් තවදුරටත් පමා කරන්න බෑ. ආණ්ඩුව මේක මේ වෙනකම් ඇද ඇද ආවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට 2020 දී නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න ඕන වෙලා වගේ කියලා අපට පේනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ එහෙම කතා දැන් කියනවා. ඒක නිසා මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට බල කරන්න ඕන මේ තියෙන ව්‍යවස්ථාවට වඩා රටේ හැම දෙනාටම සාධාරණය ඉටු වෙන හැම දෙනාටම එකඟ විය හැකි නව ව්‍යවස්ථාවක් වහාම ගේන්න කියලා. රනිල් වික්‍රමසිංහලා මේ ගෙනියන ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් අරගෙන ගියොත් රටට අනාගතයක් නෑ. ඒ රටේ සම්පත් විකුණන ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕන. ඒ සඳහා ජනතා බලවේග පෙරට එන්න ඕන. ඒක නිසා අපේ විරෝධය සටන් පාඨවලට විතරක් සීමා වෙලා වැඩක් නෑ. අපි ඒ අරගලය මහ පාරට ගේනවා. දැනටමත් එහෙම පාරට බැහැලා. අපි මේ ආණ්ඩුවේ වැඩ ආපස්සට හරවලා තියෙනවා. ඉදිරියටත් ඒක නොනවත්වාම කළ යුතුයි. සයිටම් අහෝසි කිරීමේ සටන ජයග්‍රහණයකින් කෙළවර කරන්න ඕන.

 


● වැඩ වර්ජන මට්ටු කරන්න විශේෂ ඒකකයක් පිහිටුවන කතාවක් ආවා. ඒක විහිළුවක් කියා දැනට යට ගිහින් තිබුණට වෙන විදියකට මේක ආවොත් මොකද වෙන්නේ?
මේකෙන් ආණ්ඩුව කළේ වෙන වෙනම සටන් කරපු පිරිස් ඒකාබද්ධ අරගලයකට කැඳවපු එක. පොදුවේ එකතු වෙලා මේක පරාජය කළ යුතුයි. මේ වගේ එකක් ගෙනල්ලා ආණ්ඩුවට වෘත්තීය සටන් මට්ටු කරන්න හම්බවෙන්නෙ නෑ. ලෝකයේ කොහේවත් යුක්තිසහගත වෘත්තීය අරගල මර්දනය කරලා දිනපු පාලකයෙක් නෑ. එසේ නොවන සටන් පරාද වෙන්න පුළුවන් සමහරවිට. හැබැයි යුක්තිසහගත, සාධාරණ අරගල මර්දනය කරන්න උත්සාහ කරපු පාලකයන්ට සිද්ධ වුණේ ඒ අය ඉඳපු පුටුවලින් බැහැලා යන්න.

ආසන්නම සහ හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ. බොන්න වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු රතුපස්වල ජනතාවට වෙඩි තියලා මර්දනය කරපු රාජපක්ෂලාට බලයේ ඉන්න පුළුවන්  වුණා ද? මේවා තමයි රජපක්ෂලා පරාජයට එකතුකර ගත්තු හේතු. කටුනායකදී, හලාවතදී සාධාරණ උද්ඝෝෂණ මර්දනය කරපු රාජපක්ෂලා දිනුවද? ඒවට තුවක්කු පත්තු කරන්න ආපු පොලිසියේ ලොකු මහත්තුරු අද හිරගෙවල්වල කූරු ගණන් කරනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරලා, මාධ්‍යවේදීන්ගේ අතපය කඩලා, මාධ්‍යවේදීන් අතුරුදන් කරලා, මාධ්‍ය ආයතන ගිනි තියලා රාජපක්ෂලා දිනුවද? මේවා කරන්න කරන්න රාජපක්ෂලා තමන්ගේ විනාශය ළං කර ගත්තා.

ඉදිරියේදී මේ ආණ්ඩුවත් ඒ ආකාරයේ මර්දන වැඩපිළිවෙළකට ගියොත් රාජපක්ෂලාට අත්වුණු ශෝකජනක ඉරණම අත්වීම වළක්වන්න බෑ. මේ මර්දන වැඩපිළිවෙලවල්වලට නායකත්වය දෙන්න බලාගෙන ඉන්න අය වගේම ඒවාට සම්බන්ධ වෙන්න ලැබෙන ආරක්ෂක අංශ සාමාජිකයනුත් මේ අතීත පාඩම ඉගෙන ගත්තොත් හොඳයි. මේ ආණ්ඩුව දැනට පළ කරපු සලකුණු අනුව කියන්න පුළුවන් අනාවැකිය තමයි මේ අයත් ඉතාම ඉක්මනින් ගෙදර යන්න ළඟයි කියන එක තමයි. ලිච්ඡවී ක්‍රමයට රට පාලනය කරනවා කියලා ආපු මේ පාලකයො අද මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා ගිය පාරටම  වැටිලා.

 


● හැබැයි මහින්ද රාජපක්ෂලත් මේ අවුඅස්සේ නැවත බලය ලබා ගැනීමේ මෙහෙයුමේ ඉන්නවා.
මහින්ද රාජපක්ෂ තමන් පස්සේ එන ජනතාව තවදුරටත් රඳවා තබා ගන්න මේ වගේ සුරංගනා කතාවක් දෙකක් නිතර නිතර කියන්නම ඕන. එහෙම නැතිවුණොත් ඒ ජනතාව හැලෙනවා. හෙට අනිද්දටත් ආපහු බලය ලබා ගන්නවා කිව්වෙ නැත්නම් මහින්ද වටේ ඉන්න ඔය පිරිස හොයාගන්නවත් නෑ. එහෙම බොරුවක් නඩත්තු කරන්නම වෙනවා මහින්දට. මේ බොරුව දිගටම කරලා දැන් රාජපක්ෂලා පචවෙලා ඉන්නේ. මහින්ද රාජපක්ෂලගෙ ව්‍යාපෘතිය දවසින් දවස පිළුණු වෙලා ගඳ ගහන මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ.

 


● ඔය ඔබ කියන්නේ ඔබලා එදත් කියපු “උනුත් එකයි මුනුත් එකයි” කියන සටන් පාඨයමනේ. මේක අහලා 2020 ජනතා විමුක්ති පෙරමුණට ජනතාව බලය දෙයි කියලද බලාගෙන ඉන්නේ?
මේ තියෙන තත්ත්වය උඩ ජනතාව අලුත් වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඡන්දදායකයා අතර පක්ෂග්‍රාහී නොවන තීරණාත්මක පිරිසක් ඉන්නවා. ඒ පිරිස අද ටිකෙන් ටික ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ජන බලවේගය දෙසට හැරෙමින් තියෙනවා. ඒක සුබ ලකුණක්. ප්‍රධාන පක්ෂ දෙක  වසර ගණනක් මේ රටට කරපු විනාශය ගැන තවත් පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ. අපි අමාත්‍ය ධුර දරපු කාලය තුළ පෙන්නපු ආදර්ශ ටිකක් තියෙනවා. මිනිස්සුන්ට පුළුවන් මේවා කිරා මැන බලන්න. යුක්තිය, සාධාරණත්වය රජ කරන රටක් බලාපොරොත්තු වෙන කිසිම කෙනෙක් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් එක්සත් ජාතික පක්ෂයටවත් ඡන්දය දීමේ තේරුමක් නෑ. ඒ නිසා ඒ අයට තියෙන ප්‍රබල සහ විශ්වාසදායකම විකල්පය ජනතා  විමුක්ති පෙරමුණ පමණයි.

ප්‍රියන්ත කොඩිප්පිලි