දවල් දොළහ වෙනකොට අපි මුළු කොළඹම ආක්‍රමණය කළා


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මහින්දානන්ද අලුත්ගමගේ

 

ඒකාබද්ධ විපක්ෂය ඉකුත් බදාදා කොළඹ වැටලුවේය. එහි සාර්ථක අසාර්ථක බව පිළිබඳ විවිධ මතවාද එළි දැක්වෙමින් තිබේ. මේ ඒ කොළඹ සටනේ ඉදිරි පෙළ නියමුවකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සංවාදයකි.  


ප්‍රශ්නය - ඔබට අනුව කොළඹ උද්ඝෝෂණය කොහොමද?  


පිළිතුර - අති සාර්ථක උද්ඝෝෂණයක් හැටියටයි මම දකින්නේ.  


ප්‍රශ්නය - එහෙම දකින්නේ?  


පිළිතුර - ලංකා ඉතිහාසයේ අපි උද්ඝෝෂණ දැකලා තියෙනවා. කොළඹ උද්ඝෝෂණ තැන් තැන්වල පැවතිලා තිබෙනවා. එහෙම උද්ඝෝෂණවලට සාමාන්‍යයෙන් සහභාගි වෙන්නේ දාහක්, දෙදාහක්. වැඩිම වුණොත් පන්දාහක්. ඒවා තමයි උද්ඝෝෂණ කියන්නේ. අපි මෙවර කොළඹ කරපු උද්ඝෝෂණය මේ රටේ උද්ඝෝෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළපු දවසක්.  


ප්‍රශ්නය - ඔබ එහෙම කියන්නේ?  


පිළිතුර - ඒකට හේතුව තමයි අපි ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක් කොළඹට ගෙනාවා. බස් තුන්දාහකට වැඩි ප්‍රමාණයකින් සෙනඟ කොළඹට ආවා.  


ප්‍රශ්නය - නමුත් පොලිස් වාර්තාවක සඳහන් වෙන්නේ බස් 2400යි ආවේ කියලා.  


පිළිතුර - ඔව්! නමුත් සංවිධායකවරු හැටියට අපි කියනවා බස් රථ තුන් දාහකට වැඩියෙන් ආවා කියලා. අවම වශයෙන් ගත්තොත් ලක්ෂ දෙකකට වැඩියෙන් ජනතාව ආවා. දවල් 12 වෙනකොට මුළු කොළඹ ම කාර්යාල වැහුවා. මුළු රාජ්‍ය සේවයම අකර්මණ්‍ය වුණා. කොළඹ පාසල් පවත්වාගෙන යන්න බැරි වුණා. ගුරුවරු ආවේ නෑ. ශිෂ්‍යයන් ආවේ නෑ. කාර්යාලවල මිනිස්සු නෑ. දවල් 12 වෙනකොට අපි මුළු කොළඹ ම ආක්‍රමණය කළා. දවල් 12න් පස්සේ මුළු කොළඹ ම ‘පැරලයිස්’ වුණා. හවස හතර වෙනකොට කොළඹ තියෙන ආර්ථික මර්මස්ථාන ප්‍රදේශ සියල්ලම අපි ආක්‍රමණය කළා. ඉතාම සාර්ථකව හා සාමකාමීව ඒ උද්ඝෝෂණය මෙහෙයවන්න, අපේ ශක්තිය, ජනතාවගේ ශක්තිය මේ පරගැති ආණ්ඩුවට පෙන්වන්න අපිට පුළුවන් වුණා. දවල් 12ට තමයි අපේ පෙළපාළි එන්න පටන් ගත්තේ. රෑ 12 වෙනකම් අපි පැය 12ක් කොළඹ නගරය තිබුණේ අපේ අතේ. පැය 12ක් අපි කොළඹ බලය ඇල්ලුවා.   


ප්‍රශ්නය - උද්ඝෝෂණයට කලින් නම් කිව්වේ ‘‘අපි එන්නේ යන්න නොවෙයි. අපි කොළඹ අල්ලනවා. ආණ්ඩුව පෙරළනවා’’ කියලයි. නමුත් රෑ 12න් පස්සේ කට්ටිය ඇඳේ පෙරළුණාද?  


පිළිතුර - මෙහෙමයි. මේ උද්ඝෝෂණය නවත්වන්න ආණ්ඩුව කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. අධිකරණ නියෝග තුනක් ගන්න ගියා. පොලිස්පතිවරයා අපිට තර්ජනය කළා. චන්ද්‍රිකා නෝනා නුවර පාරේ නිට්ටඹුවේ ලොකු වළක් කැපුවා. පොලිසියේ පන්දාහක් ගෙනාවා අපිට ගහන්න. කොහොම වුණත් ගමෙන් නගරයට එන සෙනඟ වැඩියි කියලා පොලිසියට ඒත්තු ගියා. ඒ නිසා පොලිසිය බැරැක්කවලට සීමා කෙරෙව්වා. කඳුළු ගෑස් 3000ක් ලෑස්ති කරලා තිබ්බා. ට්‍රක් රථ ජල ප්‍රහාරක රථ සියල්ල සූදානම් කරලා තිබුණා. නමුත් ආණ්‍ඩුව දැන ගත්තා තමන් නොසිතපු මහ සෙනඟක් කොළඹට ආවා කියලා. ඒ නිසා ආණ්‍ඩුව පසු බැස්සා.  


ප්‍රශ්නය - ආණ්ඩුව එහෙම පසුබැස්සා නම් ඇයි උද්ඝෝෂණය රෑ 12ට නතර කළේ?  


පිළිතුර - අපි ළඟ අදියර දෙක තුනක්ම තිබුණා. අපිට උවමනා වුණේ රෑ 12 වෙනකම් උද්ඝෝෂණය කරන්න තමයි. ඒකට බාධා වුණොත් ඊළඟ අදියරට යනවා. එහෙමයි සැලැස්ම තිබුණේ. මොකද මේ උද්ඝෝෂණ මාදිලිය ජනතාවට නුහුරුයි. අපි කිව්වා අපි සාමකාමී උද්ඝෝෂණයක් කරනවා කියලා. ආණ්ඩුව කිව්වා අපි රාජ්‍ය දේපොළවලට පහර දෙයි කියලා. අපිට ඕනෑ මිනිස් බිල්ලක් ගන්න කියලත් කිව්වා. දිගින් දිගටම කිව්වේ මේ කොළඹ එන්නේ මිනියක් මරන්න කියලා රැ 12ට කිට්ටුවෙනකොට අපි සාකච්ඡා කරලා අපි සාර්ථක උද්ණඝෝෂණයක් කළා. අපිට ඕනෑ ඉලක්කයට අපි ඇවිල්ලා අපිට අවශ්‍ය පණිවිඩය ආණ්ඩුවට දීලා ඉවරයි කියලා. හැබැයි ආණ්ඩුව බලාගෙන හිටියේ අපෙන් මොනවා හරි දෙයක් කරවා ගන්න. අපි ගහන්න පටන් ගනී කියලා හිතුවා. අපිට ඕනෑ ඉලක්කයට අපි ගියා. ඒ නිසා රෑ 12 වෙනකොට උද්ඝෝෂණය නතර කරන්න අපි තීරණය කළා.  


ප්‍රශ්නය - ඉලක්කය තිබුණේ ඒකනම් ඇයි රටට ඒක කලින් නොකිව්වේ. ඇත්තම කතාව නම් තවදුරටත් අල්ලගෙන ඉන්න බැරි නිසා වැඩේ අතහැරියා?  


පිළිතුර - නෑ. සම්පූර්ණයෙන්ම වැරදියි. හරි අපි කිව්වද අපි කොළඹ කොතැනටද එන්නේ කියලා? ඇයි අපි නොකීවේ? ඒකත් මේ කැම්පේන් එකේම කොටසක්. ඒකත් ‘මීඩියා අයිටම්’ එකක් වුණා. අවසාන මොහොත වනතෙක් කොළඹ කොතැනට ද එන්නේ කියලා කවුරුවත් දන්නේ නෑ. රාජ්‍ය බුද්ධි අංශ පවා හද්ද අනාථ වෙච්ච අවස්ථාවක්. කතානායකතුමා රාජගිරිය පොලිසියට කිව්වා ‘වාරණ නියෝග’ ගන්න කිව්වා. තව සමහරු කොළඹ නගර ශාලා පරිශ්‍රයට වාරණ නියෝග ගන්න ගියා. ජනාධිපති නිල නිවෙස අවට ප්‍රදේශයට වාරණ නියෝග ගන්න ගියා ආණ්‍ඩුව දැනගෙන හිටියේ නෑ අපි කොහේටද එන්නේ කියලා. එහෙම කුතුහල අපි හදනවා. සටනේ ආස්වාදය තියෙන්නේ එතැන. ඒ ආස්වාදය රටේ මිනිසුන්ට දෙන්න ඕනෑ. අපිට අවශ්‍ය නම් තාමත් අපිට ඉන්න තිබුණා. නමුත් අපේ ඉලක්කය සම්පූර්ණ කළාට පස්සේ මේ මිනිසුන්ට තවත් කරදර දෙන්න ඕනෑ නෑ කියලා මිනිසුන්ව එතැනට ගෙනියන්න වෙලාවක් එයි. එහෙම අවස්ථාවක් ආවොත් අපි ජනතාවට අරාධනා කරනවා රට වෙනුවෙන්. රටේ අනාගතය වෙනුවෙන් ඒ කැපවීම කරන්න කියලා. මේක අපේ පළමු සටන. ඒක හිතුවාටත් වඩා ඉහළින් සාර්ථක වුණා. අපේ රටේ මිනිසුන්ටත් මේ සටන් ආකෘතිය, සටන් මාදිලිය අලුත් අත්දැකීමක්. නමුත් මිනිස්සු පැය 12ක් කොළඹ වට කරගෙන හිටියා. අපේ අරමුණට අපි ආවා කියලා දැනුනාම සාමකාමී උද්ඝෝෂණය අපි අවසන් කළා.  


ප්‍රශ්නය - ආණ්‍ඩුවත් බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව මේ උද්ඝෝෂණයට මුහුණ දුන්නා?  


පිළිතුර - නෑ. ආණ්ඩුවට තක්සේරු කරන්න බැරි වුණා අපි මොකද කරන්නේ කියලා. නමුත් සටන දිග්ගැස්සුණොත් ඒකට මුහුණ දීමේ රහසිගත සාකච්ඡා තිබුණා.  


ප්‍රශ්නය - රහසිගත සාකච්ඡා තිබුණා? 

 
පිළිතුර - ඔව්! ආණ්ඩුවේ රහසිගත සාකච්ඡා තිබුණා. ඒවත් අපිට ආරංචි වුණා. උදේ පාන්දර වෙනකොට යම් යම් ඉලක්ක සපුරා ගැනීමේ සූදානමක් තිබුණා කියලා අපිට වාර්තා වුණා.  


ප්‍රශ්නය - ඒ නිසා පසු බැස්සා?  


පිළිතුර - නෑ. අපිට ඕනෑ වුණා ගැටුමක් ඇතිකර නොගෙන මේ උද්ඝෝෂණය අදම නවත්වන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපට උපදෙස් දුන්නේ ගැටුමක් ඇති කර නොගෙන මේක අවසන් විය යුතුයි කියලයි. ඒ නිසා ගැටුමකින් තොරව අපි මේක අවසන් කර ගත යුතුවම තිබුණා. එහෙම නැත්නම් මාධ්‍යයේ සාකච්ඡාවලට බඳුන් වෙන්නේ අපේ අරගලය ගැනවත්, ඒ අරගලයෙන් උණ ගැනුණ ආණ්ඩුව ගැනවත් නොවෙයි. ඒ ගැටුම ගැනයි. ආණ්ඩුව කපලා තිබුණ බොරු වළවල්වල අපි නොවැටී අපේ අරමුණ ඉටු කරගනිමින් අපේ සටන ජයග්‍රාහීව අවසන් කරන්න අපට පුළුවන් වුණා.  


ප්‍රශ්නය - දැන් මෙතැනින් එහාට මොකද්ද වෙන්නේ?  


පිළිතුර - පැහැදිලිවම මේ උද්ඝෝෂණ ව්‍යාපාරය අපි පටන් ගන්නවා. කන්ද උඩරටින්, මහනුවරින්. මේක අපි දිගටම කරගෙන යනවා. මහනුවර උද්ඝෝෂණයෙන් පස්සේ දිස්ත්‍රික් මට්ටමින් මේ උද්ඝෝෂණය කරනවා. එහෙම කරලා අපේ අවසාන ඉලක්කය හැටියට පුරා දින ගණනාවක් කොළඹ යළි වටලනවා. අපි තේරුම් ගන්න ඕනෑ මේ සටන් ශෛලිය මේ රටේ ජනතාවටත් අලුත් අත්දැකීමක්. දේශපාලන පක්ෂ විදියට අපිටත් අලුත් අත්දැකීමක්. පැයක් උද්ඝෝෂණය කරලා පුරුදු අපි පැය 12ක් උද්ඝෝෂණය කරනවා. අපිටත් මේක අලුත් අත්දැකීමක්. හැබැයි අපේ පළමු වෙඩි මුරය සාර්ථක වුණා. ආණ්ඩුවට දැනුණා මේක. රටේ ජනතාවට දැනුණා මේක. ඔව් මේක සාර්ථක ආරම්භක වෙඩි මුරයක්.  


ප්‍රශ්නය - මේ අවුරුදු තුනට ඔය වගේ ආරම්භක වෙඩි මුර කීයක් තිබ්බද?  


පිළිතුර - මම මේ උද්ඝෝෂණ මාලාවේ පළමු වෙඩි මුරය කියලයි කිව්වේ. ඔබ බලන්න තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් තිබිය දී අපි කරපු උද්ඝෝෂණ ව්‍යාපාර බලන්න. ඒ කරපු උද්ඝෝෂණ ව්‍යාපාරවල ප්‍රතිඵලය තමයි ජනතාව පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් එළියට දැම්මේ. අපි මහනුවර ඉඳන් කොළඹට පාගමන් ආපු නිසා තමයි ගෝල්ෆෝස් පිරෙව්ව නිසා තමයි අපිට පුළුවන් වුණේ පෙබරවාරි ප්‍රතිඵලය ගත්තේ. මේකේ ප්‍රතිඵල අපි ගන්නේ ඊළඟ මැතිවරණයෙන්.  


ප්‍රශ්නය - ඔබ ඊළඟ මැතිවරණයක් ගැන කතා කරනවා. අනික් පැත්තෙන් කියනවා. ආණ්ඩුව මැතිවරණ කල් දානවා කියලා. කොයිකද ඇත්ත?  


පිළිතුර - ජනවාරියේ පළාත් සභා මැතිවරණය තියනවා කියනවා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම එනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.  


ප්‍රශ්නය - උද්ඝෝෂණයේ දී අගමැති රනිල්ට එරෙහිව වගේම ජනාධිපති මෛත්‍රීටත් එරෙහිව සටන් පාඨ කියැවුණා?  


පිළිතුර - ඔව්! ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනෑ රටේ මේ තියෙන අර්බුදය. අද එතුමටත් ගහනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමට ඒක තේරෙන්නෙත් නැත්නම් රට යන අගාධය ගැන තේරෙන්නෙත් නැත්නම් රනිල් වික්‍රමසිංහට විතරක් චෝදනා එල්ල කරන්න බෑ. මේ දෙන්නම වගකීම් බාරගන්න ඕනෑ. මේ සියලු දේට දෙන්නම වගකීම බාර ගන්න ඕනෑ. ඒ නිසා ආණ්ඩුවට ගහනකොට බෙදලා ගහන්න බෑ. තීරණාත්මක මැතිවරණයක දී කවුද එකතු වෙන්නේ. කවුද වෙන් වෙන්නේ කියන එක වෙනම දෙයක්. ජනතා විමුක්ති පෙරමුණටත්, දෙමළ ජාතික සන්ධානයටයි එකතු වෙන්න පුළුවන් වුණා නම් අර්බුද මතුවෙච්ච මහින්ද මහත්තයාටයි මෛත්‍රී මහත්තයාටයි තීරණාත්මක අවස්ථාවකදී එකට එකතු වෙන්න බැරි නැහැ. අද මේ ආණ්‍ඩුවට විරුද්ධවයි ජනතා බලවේග පෙළ ගැහිලා තියෙන්නේ. ඒ නිසා තමයි මහින්ද මහත්තයා අනුරාධපුරයේ දී නයාට ඡන්දය දෙන්න කිව්වම මිනිස්සු ඡන්දය දුන්නේ. මහරගමදී බයිසිකලයට මිනිස්සු ඡන්දය දුන්නේ. ඒ නිසා මිනිස්සු ආණ්‍ඩුවට විරුද්ධයි. ඒ ආණ්ඩු විරෝධය දෙකට බෙදන්න බෑ. මෛත්‍රී-රනිල් දෙන්නටම මේ රටේ ජනතාව විරුද්ධයි. ඒ ජනතාව තමයි කොළඹට ආවේ.  


ප්‍රශ්නය - කොළඹ විරෝධතාව බාප්පලාට හයිය පෙන්වන්න ගිහිල්ලා නාමල් රාජපක්ෂ ඇන ගත්තා කියලා කියන අයත් ඉන්නවා.  


පිළිතුර - හොඳට මතක තියාගන්න ඕනෑ මේ විරෝධතා ව්‍යාපාර බැසිල් රාජපක්ෂගේවත් ගෝඨාභය රාජපක්ෂගේවත්, නාමල් රාජපක්ෂගේවත් මහින්දානන්ද අලුත්ගමගේවත් විරෝධතා ව්‍යාපාර නොවෙයි. මේ ඔක්කොම කොළඹ එන්නේ මහින්ද මහත්තයා නිසා. මම තමයි නුවර ඉඳලා කොළඹට ආපු පා ගමන සංවිධානය කළේ. ඒක මගේ සංකල්පයක්. මම තමයි බර ඇද්දේ. මම තමයි පයින් ආවේ. මම තමයි වියදම් කළේ. හැබැයි මම කියනවා නම් මම තමයි පාගමන කළේ කියලා, මම මෝඩයෙක්. පාගමනට මිනිස්සු ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයා නිසා, පාගමන මහින්ද මහත්තයාගේ, ඒක අපි තේරුම් ගන්න ඕන. නුගේගොඩ රැස්වීමක් කළා. මම කළේ, මම තමයි කමිටු සභාපති එහෙම කියලා ඒක මගේ කියලා මම කියනවා නම් මම මෝඩයෙක්. හයිඩ් පාක් රැස්වීම කළේ මම කියලා මම කියනවා නම් මම මෝඩයෙක්. 


ගෝල්ෆෝස් රැලිය අපේ කියලා කියනවා නම් ඒකත් වැරදියි. මේවා මහින්ද මහත්තයාගේ. මේ එන්නේ මහින්ද මහත්තයාගේ මිනිස්සු. කොළඹ උද්ඝෝෂණයට නාමල් රාජපක්ෂ නායකත්වය දුන්නා. ඒක ඇත්ත. නමුත් මිනිස්සු ලක්ෂ ගණනින් ආවේ මහින්ද මහත්තයා නිසයි. චරිත ගණන් ගන්න එපා. එක චරිතයයි මේ කඳවුරේ ඉන්නේ. ඒ මහින්ද රාජපක්ෂ චරිතය. මහින්ද මහත්තයා එන්නේ නෑ කියලා එක රැස්වීමක් තියන්න කියන්න. මට කරන්න කියන්න, නාමල්ට කරන්න කියන්න, බැසිල්ට කරන්න කියන්න, මහින්ද මහත්තයා එන්නේ නැත්නම් කවුරුවත් එන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා තමයි මේ ජනතාව රොද බැඳ ගෙන ඉන්නේ.  


ප්‍රශ්නය - අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දී කිව්වෙත් නාමල්ට නායකත්වය දෙන්න තමයි මේක කළේ කියලා?  


පිළිතුර - රනිල් ඒ ගැහුවේ සජිත් ප්‍රේමදාසට. රනිල් සජිත්ට දෙන්න හිතාගෙන හිටපු ෂොට් එක තමයි නාමල්ට දුන්නේ. ඒ නිසා ඒක අපිට අදාළ කාරණාවක් නොවෙයි.  


ප්‍රශ්නය - නඩු හබවලට යම් බලපෑමක් කරන්නයි මේ සෙනඟ පෙන්වන්නේ කියලා එජාපය කියනවා.  


පිළිතුර - ඕක ඉතින් හැමදාම කියනවනේ. අපි පාරේ උද්ඝෝෂණය කළාට අපිට වැටිච්ච නඩු ගාන අඩු වුණාද? අපි උද්ඝෝෂණ කළා කියලා විශේෂ අධිකරණ නොදා හිටියද? ඒවට දාන නඩු නැති කළාද? අපේ නඩු අහන එක නතර කළාද? ​​ජෝන්ස්ටන්ව ඇතුළට​ දාන එක නතර කළාද? ඒවා ආණ්ඩුව හදන සුරංගනා කතා. නඩුවලට බයේ ද අපි මේ උද්ඝෝෂණ කරන්නේ? මිනිස්සු මේවට එන්නේ අපිට නඩු දාන නිසාද? නෑ. ජනතාව මේ එන්නේ පරගැති ආණ්ඩුවට තියනෙ විරෝධතාව පෙන්වන්නයි.  


ප්‍රශ්නය - ඔබ තාම හිතනවා කොළඹ උද්ඝෝෂණය සාර්ථකයි කියලා.  


පිළිතුර - ඇයි නැවතත් ඒ ප්‍රශ්නය අහන්නේ? සීයට සීයක් නොවෙයි සීයට දාහක් සාර්ථකයි. ඊළඟ දවසකදී අපි ප්‍රතිඵලයත් එක්කම සාකච්ඡාවක් කරමු.

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්