තාමත් පක්ෂයේ සභාපති මමයි කියලා මහින්ද කියන්නෙ එයාගෙ කල්පනාව අඩු හින්දා


 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම සහ කාලීන දේශපාලන මාතෘකා පිළිබඳ මෙම සාකච්ඡාව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමඟය. 

 

 

රටේ දේශපාලනයට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම ගැන කතා කරමුද? 
මේ වගේ අවුල් අපේ පක්ෂයට නුපුරුදු දේවල් නෙවෙයි. ඉතිහාසයෙන් සැරින්සැරේ මේ වගේ අර්බුද ඇති වෙලා තියෙනවා. සමහර අර්බුදකාරී තත්ත්වයන් එක්ක බලද්දී මේක බොහොම පුංචි දෙයක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට ඇතුල් වෙන කාලේ තමයි පක්ෂය ලොකුම අර්බුදය තිබුණේ. 


වතාවක් පක්ෂයේ ප්‍රධාන තනතුර දැරූ පිරිසක් කඩාගෙන ගිහින් ලොකු අර්බුදකාරී අවස්ථාවක් උදාවුණා. මෛත්‍රී පිලයි සිරිමාවෝ මැතිනිය පිලයි කියලා දෙකට බෙදුණා. ඊට පස්සෙත් නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. ඒවත් එක්ක බලනකොට මේ තත්ත්වය සාමාන්‍ය දෙයක්. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්තයට දෙන්න තීන්දු කළත් මහින්ද රාජපක්ෂ. ඒ තීන්දුව එක්ක අපිත් හිටියා. දැන් පක්ෂ නායකත්වයේ ඉන්නේ මෛත්‍රීපාල මහත්තයා. ඒක අපි කවුරුත් පිළිගන්න ඕනෑ. පක්ෂය දෙකඩ කරන්න ඕනෑ පිරිසක් තමයි පැත්තකට ගිහින් වෙන වෙන පක්ෂ හදන්න උත්සාහ කරන්නේ. ඔය පිරිස විපක්ෂයේ වාඩිවෙන්න ගියෙත් මෛත්‍රීපාල මහත්තයගෙ ආශිර්වාදය උඩ. ඒ අය කිව්වෙ විපක්ෂයේ ඉන්න ගමන් මෛත්‍රීපාල මහත්තයට උදවු කරන්නම් කියලා. ඒක ටිකෙන් ටික වෙනම කණ්ඩායමක් විදියට පක්ෂයෙන් ඈත් වෙන්න ගත්තා. දැන් පොහොට්ටු පක්ෂයක් හදාගෙන යනවා. ඒ අය තමයි පක්ෂය දෙකට කැඩීමේ ව්‍යාපාරය අරගෙන යන්නේ. මේ ඔක්කොම ප්‍රශ්නවලට වගකියන්න ඕනෑ මහින්ද රාජපක්ෂ. අපි එපා කියද්දී ජනාධිපතිවරණයකට ගිහිල්ලා ඡන්ද දෙකම පැරදිලා පක්ෂය අර්බුදයකට දැම්මෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා. බැසිල් රාජපක්ෂලා වගේ අය අඩියක් පස්සට අරන් මෛත්‍රීපාල සිරිසේන මහලේකම් විදියට ඉන්න කොට තිබුණු පුංචි පුංචි ප්‍රශ්න ටික පක්ෂ ඇතුළෙ විසඳාගත්තා නම් මේ පක්ෂට මේ වගේ අර්බුදය ඇති වෙන්නේ නෑ. එහෙනම් තාමත් මහින්ද තමයි ජනාධිපති, මේ පරාජයන්ට සහ අර්බුදවලට රාජපක්ෂවරුම තමයි වගකියන්න ඕනෑ. 

 


පහුගිය පක්ෂ සමුළුවටත් මහින්ද රාජපක්ෂල ආවේ නෑ. දැන් දෙපැත්ත වෙන්වෙන්න ඉර ඇඳලා නේද? 
ඒකටත් කලින් තමයි පක්ෂ දෙකට බෙදුනෙ. පක්ෂ නායකත්වය මෛත්‍රීට දුන්නම ඊට පස්සෙ මහින්ද කළේ‍ පක්ෂයට විරුද්ධව කණ්ඩායම් හදපු එක. ඒ අය විපක්ෂෙට ගියාම තමයි බෙදීමේ ඉර ඇඳුනෙ. පහුගිය සම්මේලනය වෙනකොට කණ්ඩායම් දෙකක් විදියට පැහැදිලිවම බෙදිලා.


ඒ අයත් අලුතෙන් පක්ෂයක් හදනවා. එතකොට තරගෙ පටන් ගන්නේ ඔබලා දෙපිරිස අතරෙ..... 
ඔව්, එයාලත් පක්ෂයක් හදනවලු. ඒ කොන්ත්‍රාත්තුව බැසිල් රාජපක්ෂ තමයි අරගෙන තියෙන්නේ. තමන්ගේ ආරක්ෂාවට සහ ඊළඟ වතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාද කිරීමේ වගකීමත් එක්ක තමයි ඒ කොන්ත්‍රාත් එක අරගෙන තියෙන්නේ. ඒක දැන් හරි පැහැදිලියි. ඒ අය මේ පක්ෂය දෙකඩ කිරීමෙන් වාසිය ලැබෙන්නේ කාට ද කියන එකත් කාටත් තේරෙනවා. කවුරු එක්ක ද මේ අය ගනුදෙනු කරන්නේ කියලා පැහැදිලියිනේ. 


ලලිත් වීරතුංගයි අනුෂ පැල්පිටයි සිරගතවීම පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් කරපු මාතෘකාව.... 
මේකටත් වගකියන්න ඕනෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. එයා ගත්ත තීන්දුවක් නිසා කෙරුණු වැඩකටනේ මේ දෙන්නට නඩු වැටුණේ. මහින්ද රාජපක්ෂ මේකෙ වගකීම බාරගත්ත නම් මේ දෙන්නට හිරේ යන්න වෙන්නේ නෑ. 

 


දැන් මේකට ආගමික මුහුණුවරක් දෙන්න යනවානේ. ඒ ගැන මොකද කියන්නේ? 
මෙතන මූල්‍ය වංචාවක් වෙලා කියලා නෑ. හැබැයි මේ වැඩේ කරපු වෙලාව තමයි ප්‍රශ්නෙ. රාජ්‍ය යාන්ත්‍රණයෙන් පිට මේක සිද්ධ වෙච්ච නිසා තමයි ප්‍රශ්නේ. මේකට වෙන වෙන දේවල් පටලවන්න ඕනෑ නෑ. මහින්ද රාජපක්ෂ මේකෙ වගකීම බාරගත්තා නම් ඉවරයි. එහෙනම් සල්ලි එකතු කරන්න හාමුදුරුවරුන්ට පාරට බහින්න ඕනැ නෑ. 

 


අරුන්දික ප්‍රනාන්දුට මොකද වුණේ‍? 
එයා පක්ෂයට හානි වෙන විදියේ ප්‍රකාශ නිකුත් කළා. අාණ්‍ඩු​ෙව් කොටස්කාරයෝ විදියට ඉඳගෙන ආණ්‍ඩුව විවේචනය කරද්දී ඒක කරන විදිහක් තියෙනවා. අරුන්දික හැසිරුණු ආකාරය පක්ෂයට හානිදායකයි. ඒ වගේම ආණ්‍ඩුවටත් හානිදායකයි. ඒක නිසා ජනාධිපතිතුමා අරුන්දික ගැන තීන්දුවක් ගත්තා. පක්ෂයත් එයා ගැන හෙට අනිද්දා තීන්දුවක් ගනීවි. 

 


අරුන්දික කිය කිය හිටියේ එයා එක්ක එළියට බහින්න තවත් අය ඉන්නවා කියලා. දැන් ඒ අය කෝ? 
අපි පහුගිය දවසේ පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වුණා. අපි ඒකෙදී ඊළඟ මැතිවරණය වෙනුවෙන් වගකීම් පැවරුවා එක් එක් අයට. ඔය යනවා කියලා ඉඳපු නිමල් ලංසා, ටී.බී. ඒකනායක වගේ අය ඒකෙදී ඊළඟ ඡන්දෙට වැඩ කරන්න වගකීම් බාර ගත්තා. හැබැයි අපි දන්නේ නෑ ඔය යනවා කියලා කියපු අය යනවද? නැද්ද? කියලා. 


ඒ කියන්නේ ඒ අය කකුල දෙපැත්තෙ තියාගෙන ගේමක් ගහනවද කියලා..... 
ඔය කට්ටියට ගිහින් වැටෙන්න වෙන්නේ ඒකාබද්​ෙදට. ප්‍රශ්න තියෙනව නම් සාකච්ඡා කරලා විසඳගන්න ඕනෑ. අපිටත් මේ ආණ්‍ඩුව ගැන ප්‍රශ්‍්න තියෙනවා. 

 


තාමත් පක්ෂ සභාපති මමයි කියලා මහින්ද රාජපක්ෂ කිය කිය යන්නේ මොකද? 
ඒක එතුමාගෙ කල්පනාවෙ අඩුවක් නිසා කියවෙච්ච දෙයක් වෙන්න ඇති. හැබැයි මං හිතන්නේ ඒක හිතාමතා කියන කතාවක් වෙන්නත් බැරි නෑ. මොකද එතුමා දන්නවා ඒ වගේ දෙයක් නොකියා පාක්ෂිකයා අතරෙ ඉන්න බෑ කියලා. පක්ෂෙන් ඈත්වෙලා කියන පණිවිඩය රටට යන එක තමන්ට අවාසියි කියලා එතුමා දන්නවා. 

 


ඔය බොරු වෙන් කවුද රවට්ටන්නේ? මහින්ද රාජපක්ෂට ඡන්දෙ දීපු පාක්ෂිකයා නේද? 
ඔය බොරුවෙන් මන්ත්‍රීවරු, සංවිධායකයෝ, පාක්ෂිකයෝ, ඔක්කොම රවට්ටන්න හදන්නේ. ඔය බොරුව එක්ක මේ පිරිස තාම ඉන්නවනේ. ටිකෙන් ටික පාක්ෂිකයා ඇත්ත අවබෝධ කර ගනීවි කියල අපි හිතනවා. 

 


ගෝඨාභය රාජපක්ෂගෙ එළිය ගැන ඔබේ අදහස මොකක්ද? 
මහින්ද රාජපක්ෂගේ පරාජයට බැසිල්ටත් වඩා වගකියන්න ඕනෑ ගෝඨාභය රාජපක්ෂ කියලයි මං හිතන්නේ. එයා නිසා තමයි අපිට මුස්ලිම්, දෙමළ සහ කතෝලික ඡන්ද අඩු වුණේ. යම් පිරිසක් ඔහු වටා ඉන්නවා. ඒ වාසියත් එක්ක තමයි ඔය බලවේග හදනවා කියන්නේ. 


ආරක්ෂක ලේකම් විදියට ඉන්න කාලෙත් එයා බොදුබල සේනා සංවිධානය වගේ ඒවට උදවු කළානේ. ඒවයින් තමයි එයා බරපතළ හානියක් කරගත්තේ. ආපහු එයා උත්සාහ කරන්නේ දැඩි සිංහල ජාතිවාදී, ආගමික මතවාද එක්ක ඉන්න මිනිස්සු ටිකක් එක්ක ගෝත්‍රික තත්ත්වයට ගේන්න. එයාට රටේ ගෞරවයක් තියෙන එක ඇත්ත. හැබැයි ඒක පාවිච්චි කරලා අන්තවාදී බලවේග හදන එක එච්චර හොඳ නෑ. 

 


ආණ්‍ඩුව ඡන්ද තියන්නෙම නැද්ද? 
ඒ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට ඇවිල්ලනේ තියෙන්නේ. සභාපතිතුමා කියන විදියට මේ අවුරුද්දෙ තියන්න පුළුවන්කමක් නෑ වගේ. එහෙම වුණොත් ලබන අවුරුද්දේ මුල පවත්වයි. 

 


ඊළඟ ආණ්ඩුත් හවුල් එකක්මද? 
අපි උත්සාහ ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න. ඉදිරි මැතිවරණ හැම එකක්ම අපි වෙනම තරග කරන්නේ. 


හැබැයි ජනාධිපතිතුමා 2025 ටත් ආර්ථික සැලසුම් හදනවා. 


එහෙම තමයි. ආණ්‍ඩුවෙ අවුරුදු පහට විතරක් නෙවෙයි ප්‍රතිපත්ති සැලසුම් හදන්නේ. මම උසස් අධ්‍යාපන ඇමැති වෙලා ඉන්නකොට මම අධ්‍යාපන සැලසුම් හැදුවෙ 2030 දක්වා. සමෘද්ධි ඇමැති විදියට දැන් මම 2030 වෙනකම් සැලසුම් හදලා තියෙන්නේ. 


අරුන්දිකලට දුන්නු සංග්‍රහයම මෛත්‍රීපාල නායකතුමා සුසිල් ප්‍රේම්ජයන්තලටත් දේවිද ආණ්ඩුව විවේචනය කරන්න යනකොට. 


එහෙම වෙන එකක් නෑ. පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ගැටුම නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ ගැන කතා කරද්දී අදහස් පළ කරද්දී කවුරුත් වගකිව යුතු විදියට කරන් ඕනෑ. 

 


ඇයි ආණ්ඩුව සයිටම් ප්‍රශ්නෙ ඉවරයක් කරන්නේ නැත්තේ? 
ඒකෙ දැන් ප්‍රශ්නයක් නෑ. ඔය තාම උද්ඝෝෂණ කරන්නේ බහුතරය නෙවෙයි. කීප දෙනෙක් තාම ඕක අල්ලගෙන ඉන්නවා.. 


ඔබත් හිටපු ක්‍රීඩා ඇමැති කෙනෙක්. ඇයි දැන් ක්‍රීඩා නන්නත්තාර වෙලා වගේ ගිහින් තියෙන්නේ? කාගෙද අවුල? 
හරි සැලසුමක් නැතිකම. අපි ක්‍රීඩකයෝ ගැන ගොඩක් හොයලා බලලා ඒ අයගෙ සුබසාධනය වැඩි කරලා ඒ අයට ක්‍රීඩාවට මනස යොමු කරවන්න උදවු කළා. දැන් ක්‍රීඩකයො සතුටින් නෙවෙයි වගේ ඉන්නේ. කවුරුත් එකතුවෙලා වැඩපිළිවෙළක් හදාගෙන ගියා නම් හරි. දයාසිරිට ඒක කරන්න බැරි කමක් නෑ. 


ආපහු ඔබට ක්‍රීඩා ඇමැතිකම දෙන්න යනවා කියලත් කියවුණා. ඒකෙ ඇත්තක් තියෙනවද? 
අනේ නෑ. ඒක බොරු කතාවක්. 

 

ප්‍රියන්ත කොඩිප්පිලි