තමන්ගේ වගකීම ඉටුකරලා නැතිනම් දඬුවම් විඳිය යුතුයි


 කෘෂිකර්ම ඇමැති  මහින්ද‌ානන්ද අලුත්ගමගේ   

  • අපේ වැරැද්ද තියෙන්නේ ආර්. ප්‍රේමද‌ාස මහත්තයා වගේ රටපුරා පෝස්ටර් ගහන්නේ නැති එක.   
  • අපිට 150 ක බහුතරයක් තියෙද්දි මේ සොක්කඩ විපක්ෂයට මොකට ද බය වෙන්නේ.   
  • අපි අපිම රණ්ඩු වෙනවා. විපක්ෂයට ආයුධ දෙනවා.   
  •  
  • ජනාධිපතිතුමා කීවා විෂය භාර ඇමැතිවරුන්ට කතා කරන්නේ නැතිව ගැසට් ගහන්න එපා කියලා.  
  • හාල්වලට ගැසට් ගැහුවට අපි ගාව හාල් නෑ.  

 

රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සංවාදයකි.   


ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂන් වාර්තාව ආණ්ඩුව හංගාගෙන හිටියේ. නමුත් විපක්ෂයේ උද්ඝෝෂණය නිසා ඒක එළිදක්වන්න වුණා?   


පිළිතුර:- නෑ ඒක සම්පූර්ණ බොරුවක්. විපක්ෂයට බයේ අපි ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එළියට දැම්මේ නෑ. අපිට ආණ්ඩුවක් තියෙද්දී... 150 ක බහුතරයක් තියෙද්දි මේ සොක්කඩ විපක්ෂයට අපි මොකටද බය වෙන්නේ ? ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවක් කියන්නේ අද ලැබිලා හෙට ද‌ාන්න පුළුවන් වාර්තාවක් නොවෙයි. ඒක එළියට ද‌ාන ක්‍රමවේදයක් තියෙනවා. ඒකේ පිටපත් ගහලා කැබිනට් ඒකට ද‌ාන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ද‌ාන්න ඕනෑ. ඊට පස්සේ තමයි එළියට ද‌ාන්නේ. එතකොට අපිට ඉංග්‍රීසි වාර්තාවක් ගෙනත් දුන්නා. පිටපත් ගහලා ගිය සතියේ කැබිනට් ඒකට දැම්මා. සතියක විතර පොඩි ප්‍රමාදයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සමස්තයක් වශයෙන් ගත්තොත් සුමාන දෙකක විතර ප්‍රමාදයක් තියෙන්නේ. අවුරුදු තුනක් ගිය කොමිෂන් එකක් සුමානයක දෙකක ප්‍රමාදයක් ගැන කතා කරනවා නම් ඒක විහිළුවක්. අපි මේ වාර්තාවේ තොරතුරු අරගෙන ඒ තොරතුරුවලින් සාක්කි සටහන් කරගෙන නඩු දැමීමේ හැකියාවක් අපට තියෙනවා.   


ප්‍රශ්නය:- එහෙම නැතිව මේ කොමිසමට අධිකරණ බලයක් නෑ? 

 
පිළිතුර:- ඔව්. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරලා තියෙනවා. නීතිපති කියනවා ඒක පිළිගන්න බෑ කියලා. වාර්තාවෙන් තොරතුරු අරගෙන සාක්කි සටහන් කරගෙන නඩු දැමීමේ හැකියාව අපට තියෙනවා.   


ප්‍රශ්නය:- නඩු ද‌ායි ද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම.... පැහැදිලිවම නීතිපතිවරයාට අවශ්‍ය ලේඛන ලබා දීලා තියෙනවා. ආණ්ඩුව හැටියට ගත යුතු පියවර අපි අරගන්නවා. ඒ ක්‍රමවේදය ඒ විදියටම යනවා.   


ප්‍රශ්නය:- ඉතිහාසය ගත්තොත් ජනාධිපති කොමිෂන් වාර්තා, විශේෂ කොමිෂන් වාර්තා කුණු කූඩයට තමයි ගියේ?   


පිළිතුර:- එහෙම බැලුවොත් පාස්කු කොමිෂන් වාර්තාව සුවිශේෂයි. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ දැකීමක් මේ ආණ්ඩුවට නැත්නම් ඉදිරි පියවර අරගන්නේ නැතිව ඉන්න පුළුවන්. මෙතැන තියෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉදිරි පියවරට යන්න වෙනවා. 

 
ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වගේම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට මේ වාර්තාවෙන් චෝදනා එල්ල වෙනවා ?   


පිළිතුර:- හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද ඇමැති ද කියලා අද‌ාළ නැහැ. තමන්ගේ වගකීම් ඉටු කරලා නැත්නම් දඬුවම විදිය යුතුයි. තනතුර ඒකට අද‌ාළ නැහැ. හිටපු ජනාධිපතිතුමා පැරදුණාම එක එක කොමිෂන්වලට කැඳෙව්වා. එතුමා ඒවට ගිහින් නිදහස් වෙනවා නම් ඒක වෙන දෙයක්. තනතුර අද‌ාළ නැහැ වරදට.   


ප්‍රශ්නය:- පාස්කු කොමිසමෙන් හොයලා තියෙන්නේ ප්‍රහාරය වැළැක්කුවේ නැත්තේ ඇයි කියලයි. ප්‍රහාරකයන් ගැන හොයලා නැහැ?   


පිළිතුර:- ඒවා හොයන්නේ නඩුවෙන්නේ. සී.අයි.ඩී. එක දැනට පරීක්ෂණ කරගෙන යනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙන විටත් සැකකරුවන් අත්අඩංගුවේ ඉන්නවා. හිස්බුල්ලාට, රිෂාද් බදුර්දීන් ඇමැතිවරයාට විශාල වශයෙන් චෝදනා තියෙනවා. මේ සියල්ලම අධිකරණයේදී අනාවරණය වෙයි.   


ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකුගේ බිරිඳ ඉන්දියාවට පැන්නා කියනවා. ආණ්ඩුව ඒ ගැන හොයන්නේ නැත්​තේ ඇයි?   


පිළිතුර:- ඒ කෙනා ඉන්දියාවෙද... ඉන්දියාවෙ නම් ඉන්දියාවේ කොහේද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. ඔබ දන්නවා මරාගෙන මැරෙන්න දිවුරුම් දීපු කාන්තාවන් ඔක්කොම ටික අත්අඩංගුවට අරන් තියෙනවා. ද‌ාහක් විතර ඉන්නවා නම් එක්කෙනෙක් දෙන්නෙක් එහාට මෙහාට වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් හැටියට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගතයුතු පියවර රැසක් මේ ආණ්ඩුව අරගෙන තියෙනවා.   


ප්‍රශ්නය:-බොදුබල සේනා සංවිධානයත් තහනම් කරන්න කියලා කොමිසම නිර්දේශ කරනවා?   


පිළිතුර:- මෙහෙමයි. කොමිෂන් සභා වාර්තාව තියෙනවා. ඒ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. අන්තවාදී පක්ෂ තහනම් කරන්න කියලා තියෙනවා. මේ ගැන තවම අවසන් තීන්දුවක් නැහැ. ඇමැති අනුකමිටුවක් ද‌ාලා තියෙනවා. ඒකේ තීන්දුව අපි පසුවට බලමු.   


ප්‍රශ්නය:-ඔය කියන ඇමැති අනු කමිටුවේ ඕලෙවල්වත් නැති අයත් ඉන්නවා කියලා අගරදගුරුතුමන් ප්‍රකාශ කළා.   


පිළිතුර:- අගරදගුරුතුමන් එහෙම ප්‍රකාශ කළා. හැබැයි මම ඔබට කිව්වා ජනාධිපති කොමිසමක් නිර්දේශ කරන දේ කරන්න බැඳිලා නැහැ. නීතියේ එහෙම කොහේවත් නැහැ. මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ 20 ක් විතර තියෙනවා. ආගමික කටයුතු අමාත්‍යාංශය කළ යුතු දේ තියෙනවා. අධිකරණ අමාත්‍යාංශය කළ යුතු දේ නිර්දේශ කරලා තියෙනවා. පොලිසියේ කළ යුතු දේ තියෙනවා. ඒ නිසා ඒ විද්වතුන් හදලා දුන්න වාර්තාව වෙන වෙනම අධ්‍යයනය කරලා කොටස් කර ගත යුතුයි. ඒකට තමයි ඇමැති අනු කමිටුව දැම්මේ. ඒකේ වරදක් නැහැ.   


ප්‍රශ්නය:- දේශපාලන පළිගැනීම් කොමිසම් වාර්තාවේ තත්ත්වය කොහොම ද? ආණ්ඩුවට අභියෝගයක් වෙන විපක්ෂයේ දේශපාලනඥයන් දඩයම් කරන්නද ඒ කොමිසම දැම්මේ?   


පිළිතුර:- බැඳුම්කර කොමිසම ද‌ාන කොට අනුර කුමාර මුකුත් කිව්වේ නැහැ. පාස්කු කොමිසම ගැනත් අනුර කුමාර ‘මීක්’ කිව්වේ නැහැ. මොකද එයා ඒවට සෘජුවම සම්බන්ධ නැති නිසා. හැබැයි දේශපාලන පළිගැනීම් ගැන හොයන කොට තමන්ගේ බෙල්ල මුලින්ම තද වෙන බව දැන ගත්තම ඒ කොමිසම හොඳ නැහැ. ‘ඒගොල්ලන්ගේ අම්මා අපේ අම්මා’ වගේනේ. ඒ නිසා ඒක සාධාරණ නැහැ. 

 
ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ විපක්ෂය මර්දනය කරන්නයි මේ යන්නේ කියලයි?   


පිළිතුර:- අගමැතිවරයාගේ මූලිකත්වයෙන් අරලියගහ මැදුරේ අනුර කුමාරලා, චම්පිකලා ද‌ාගෙන හිටපු කාර්යාලය නීති විරෝධියි. එෆ්.සී.අයි.ඩී. එක නීති විරෝධියි. ඒ සඳහා කෝටි ගණන් රාජ්‍ය මුදල් වැය කරලා තියෙනවා. එහෙම වැරැදි දෙයක් කළා නම් අනුර කුමාර ද රනිල් ද, කවුද කියලා නොවෙයි අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න වෙයි.   


ප්‍රශ්නය:-ආණ්ඩුව ‘ෆේල්’ එක වහගන්න තමයි මේ විදියට විපක්ෂය මර්දනය කරන්නේ කියලා විපක්ෂය කියනවා? 

 
පිළිතුර:- කොහේද ආණ්ඩුව ෆේල්? දැන් බලන්න මේ ආණ්ඩුව බලයට පත්වෙලා. කොයිතරම් කෙටි කාලයක් ද? ඒ කෙටි කාලයට දීපු දේවල් බලන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු ආදර්ශය තමයි කැබිනට් මණ්ඩලය 30 යි. ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් බලන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයගේ වියදම බිලියන 3.2 යි. මෙතුමගේ වියදම බිලියන 1.3 යි. බිලියන 1.7 ක් තමන්ගේ ලේකම් කාර්යාලයේ වියදමින් ඉතිරි කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න එතුමා පත්කරපු සභාපතිවරු. දැන් මට තියෙනවා මිල්කෝ එක. අපි ගන්න කොට මිලියන 400 ක් පාඩුයි. දැන් මිලියන 600 ක් ලාබයි. මට තියෙනවා ජනවසම, පහුගිය අවුරුද්ද වෙනකම් පඩි ගෙව්වේ මහා භාණ්ඩාගාරයෙන්. දැන් අපි පඩි ගෙවනවා. සුදුස්සෝ පත් කරපු එකේ වටිනාකම. ඒ විතරක්ද? මත්කුඩු පාලනය කළා. පාතාලය පාලනය කළා. මේවා සමාජයට දැනෙන්නේ නැද්ද? කිලෝ මීටර් ලක්ෂයක් පාරවල් හදනවා. 2025 වෙනකොට සියලුම දෙනාට ජලය දෙනවා. කොවිඩ් එක පාලනය කරන හැටි බලන්න. අඩු ආද‌ායම්ලාභී පවුල්වල දරුවන් ලක්ෂයකට රැකියා දුන්නා. සියලුමම උපාධිධාරීන්ට රැකියා දුන්නා. අපේ වැරැද්ද තියෙන්​නේ. ආර්. ප්‍රේමද‌ාස මහත්තයා වගේ රට පුරා පෝස්ටර් ගහන්නේ නෑ අපි. ප්‍රචාරණය මදියි. අපි කරන දේ කියනවට වැඩිය අපි අපිම විවේචනය කරගන්න එකනේ මේ කරන්නේ. අපි රණ්ඩු වෙනවා. අපි විපක්ෂයට ආයුධ දෙනවා. එහෙම නැත්නම් මේ කාලය තුළ අපි කරලා තියෙන වැඩ කොටස බලන්න.  


ප්‍රශ්නය:- ජෝතිපාල කැසට් ගැහුවට වඩා වැඩි වේගයෙන් මේ ආණ්ඩුව ගැසට් ගැහුවා?  


පිළිතුර:- ඔය මේ එක එක්කෙනා අර්ථකථනය කරන විදියනේ. මේ ගැසට් ගැහුවේ යම් සාධාරණ දෙයක් බලාපොරොත්තුවෙන්. අපි දැන් වී සඳහා සහතික මිලක් දැම්මා. වෙළෙඳ භාණ්ඩවලට ගැසට් ගැහීමේ දී යම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. හාල් කිලෝ එක රුපියල් 97 ට විකුණන්න නම් අපි ළඟ හාල් තියෙන්න එපැයි. අපි ළඟ හාල් නැතිව ගැසට් ගැහුවට වැඩක් නෑනෙ. ඒ නිසා මුදල් අමාත්‍යාංශය ගහපු චක්‍රලේඛය ගැන ජනාධිපතිතුමා පහුගිය කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් දුන්නා මින් ඉදිරියට අද‌ාළ ඇමැතිවරයාට කතා කරන්නේ නැතිව ගැසට් ගහන්න එපා කියලා. මොකද මගේ අලවලට ගැහුවා බද්දක්. ඒ නිසා දැන් ඒ වැරැද්ද වෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ වැරැද්දක් වෙලා තිබුණා. ජනාධිපතිතුමා වහාම කිව්වා විෂය භාර ඇමැතිවරුන්ට කතා කරන්නේ නැතිව ගැසට් ගහන්න එපා කියලා.  


ප්‍රශ්නය:- 2010 - 2015 ආවෙත් ඒ වගේ ගමනක්. ඇමැතිවරු කිසි දෙයක් දන්නේ නෑ?  


පිළිතුර:- මේක ඇමැතිවරු, ජනාධිපතිතුමා අතර ප්‍රශ්නයක් නොවෙයි. මේක මුදල් අමාත්‍යාංශයේ ප්‍රශ්නයක්.  


ප්‍රශ්නය:- මුදල් ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ?  


පිළිතුර:- අගමැතිතුමා දන්නෙත් නෑ. ජනාධිපතිතුමා දන්නෙත් නෑ. බදු වැඩි කිරීමේ අරමුණෙන් මේක කරලා තියෙන්නේ. නමුත් අපි බලන්න ඕනෑ මේකේ මහා පොළොවේ තත්ත්වය. ගැසට් එකක් ගැහුවට වැඩක් නෑනේ හරියටම තත්ත්වය දන්නේ නැත්නම්. හාල්වලට ගැසට් ගැහුවට හාල් තියෙන්නේ වෙන කෙනෙක් ගාව. අපි ගැසට් ගැහුවට වැඩක් නෑ. ඒ මිනිහා හාල් අරන් තියෙන්නේ වැඩි මිලට. එතකොට මේක ප්‍රායෝගික නෑ. ඒ නිසා අපි ගැසට් ගහනකොට මහ පොළොවේ යථාර්ථය දැනගෙන ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදියට ගැසට් එක ගහන්න ඕනැ.  


ප්‍රශ්නය:- ඇමැති බන්දුල ගුණවර්ධනත් කිව්වා ‘සමහර නිලධාරීන් නිස ඇමැතිවරුන් ‘පුලන්නන්’ බවට පත්වෙලා කියලා?  


පිළිතුර:- නෑ ඉතින්... පොඩි පොඩි යම් යම් පුද්ගලයන් ගැන චෝදනා තියෙනවා. ඒ ගැන විවේචන තියෙනවා. නැතුවා නොවෙයි. එහෙම නම් ඉතින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් පාස්කරලිංගම් හා චරිත රත්වත්තේ රට පාලනය කළා කියලා කිව්වේ.

  
ප්‍රශ්නය:-ඒ කියන්නේ මේ ආණ්ඩුවෙත් එහෙම අය ඉන්නවා ?  


පිළිතුර:- මේ ආණ්ඩුවේ එහෙම අය නැහැ. නමුත් සමහර තැන්වල සමහර නිලධාරීන්ගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. හැබැයි තිබුණ තත්ත්වය ජනාධිපතිතුමා සියයට 99 ක් සමතයට පත් කරලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- හාල් මාෆියාව බිඳිනවා කිව්වට අන්තිමට ඔබටත් දණ නමන්න වුණා.  


පිළිතුර:- කොහෙද කොහේද මම දණ නැමුවේ? කිසිම දණ නැමීමක් නෑ. වෙනදටත් වඩා හයියෙන් මම ගහනවා. අපිට රජයට හාල් මිල පාලනය කරන්න නම් රජය සතුව වී සංචිතයක් තිබිය යුතුයි. ඒක ගන්න එක තමයි මෝල්කාරයෝ නැවැත්තුවේ. ඒකට තරගකාරීව වෙළෙඳපොළට යන්න කැබිනට් අනුමැතිය ලැබුණා. දැන් මෝල්හිමියා ගන්න ගානටම මමත් ගන්නවා. ඉස්සර අපට දුන් නැත්තේ අපට යන්න යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. අපි පොහොර සහනධාරයෙන් ගන්න ගියා. ඒකට ගොවියෝ විරුද්ධ වුණා. අපි පොහොර සහනාධාරය අයින් කරලා ඕපන් මාර්කට් එකෙන් ගන්න තීන්දු කළා. දැන් අපි වී ටික ගන්නවා.  


ප්‍රශ්නය:-ඔබ කියලා තිබුණා ඔබේ අමාත්‍යාංශය ලේකම්තුමා ගියා කියලා. නමුත් ලේකම්තුමා කියලා තිබුණා ‘එහෙම තීරණයක් අරන් නැහැ’ කියලා. මොකක්ද මේ ගැටුම?  


පිළිතුර:- එතුමා කාර්ය බහුල පුද්ගලයෙක්. මම එතුමට කතා කරලා කිව්වා එතුමගේ කාර්ය බහුල කමත් එක්ක එතුමට මේ අමාත්‍යාංශයට වැය කරන්න කාලය මදියි. මම ඒක දැක්කා. ඒ නිසා අපි දෙන්නා බොහොම සුහදව කරපු සාකච්ඡාවක් අනුව තමයි මම එතුමට කිව්වේ ‘ඔබතුමා වෙනත් ස්ථානයකට යන්න. මට වැඩ කරන්න පහසු කෙනෙක් මගේ ගානට දුවන කෙනෙක් මගේ වේගෙට දුවන කෙනෙක් මට ගන්න ඕනා කියලා.  


ප්‍රශ්නය:- ගොඩාක් තැන්වලට විශ්‍රාමික හමුද‌ා නිලධාරීන් දැම්මා. නමුත් ඒක සාර්ථක ද? ඔබේ අමාත්‍යාංශයේ ලේකම්තුමත් හිටපු හමුද‌ා මේජර් ජෙනරාල්වරයෙක්?  


පිළිතුර:- ඒක අසාර්ථක නෑ. අපේ අමාත්‍යාශ ලේකම් හා සංස්ථා සභාපතිවරු ගත්තොත්, 500 ක් විතර ඉන්නවා. මෙයින් 15 කටවත් හමුද‌ාවේ අය ද‌ාලා නැහැනේ. හාරසිය අසූපහ ගැන කතා කරන්නේ නැහැනේ ?  


ප්‍රශ්නය:-ඇමැති විමල්ට පොහොට්ටුවෙන් යන්න කියලා පොහොට්ටුවේම පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කිව්වා, ඒ ගැටුම ඔබ දකින්නේ කොහොමද?  


පිළිතුර:- මම කියන්නේ දෙගොල්ලොම වැරැදියි. අපි ගේ ඇතුළේ ප්‍රශ්න ගේ ඇතුළෙම විසඳ‌ා ගන්න ඕනෑ. ඒ නිසා අපි එළියට බැහැලා ප්‍රශ්න කතා කරන්න හොඳ නැහැ. අපි හතුරන්ට ආයුධ දෙන්න හොඳ නෑ. ඒ නිසා මම ඒ දෙකම අනුමත කරන්නේ නෑ. අපේ ප්‍රශ්න අපිම කතා කරගන්න ඕනැ. ඒ නිසා එළියෙ අපි කතා කරන තාක් කල් ඒකේ අවාසිය අපටමයි.  


ප්‍රශ්නය:- ඇමැති විමල් මතු කළේ ‘ජනාධිපතිවරයව ජනාධිපති ලේකම් කාර්යාලය සීමා නොකර දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ කරගත යුතුයි’ කියන එකයි?  


පිළිතුර:- මමත් ඉන්නේ ජනාධිපතිතුමා දේශපාලනයට එන්න ඕනෑ කියන මතයෙයි. අපේ ප්‍රතිමුර්තිය තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. එතුමව උඩින්ම තියලා මේ දේශපාලනයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එන්න ඕනෑ. එතුමා දැන් රට පාලනය කළාට එතුමා දේශපාලනයෙන් මිදිලා ඉන්නේ. එතුමව එතැනට ගෙනාවේ දේශපාලනය. ඒ නිසා එතුමා දේශපාලනයෙ ඉන්න ඕනෑ. ඒ නිසා මහින්ද මහත්තයයි බැසිල් මහත්තයයි ගෝඨාභය මහත්තයයි මේ ඔක්කොම මේ දේශපාලන යාන්ත්‍රණයෙ ඉන්න ඕනෑ. ඔක්කොම ඒකට වැඩ කළාම තමයි මේක සාර්ථක වෙන්නේ.  


ප්‍රශ්නය:-ජනාධිපතිවරයා ගම සමග පිළිසඳරක් හරහා ගමින් ගමට යනවා. ඉදිරි අවුරුදු තුනට ජනාධිපතිවරයට ගම් කීයකට යන්න පුළුවන් වෙයි ද?  


පිළිතුර:- හැබැයි දැන් එතුමා කරන්නේ ගම සමග පිළිසඳරක් නොවෙයි රට සමග පිළිසඳරක්. මම එදා ගියා මහනුවරට. එතැනට පොළොන්නරුවෙන් ඇවිත් හිටියා. මාතලෙන් ඇවිත් හිටියා. ලග්ගලෙන් ඇවිත් හිටියා. දැන් මිනිස්සු දන්නවා මේකට ගියොත් වැඩක් වෙනවා කියලා. ඒ නිසා එතුමා දැන් කරන්නේ රට සමග පිළිසඳරක්.  


ප්‍රශ්නය:- මිනිස්සු ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. දැන් ආණ්ඩුවට ඡන්දෙ දීපු කෙනෙක් හොයාගන්නත් නැහැ?  


පිළිතුර:- අපි තේරුම් ගන්න ඕනෑ අපි ඉන්නේ අර්බුදයක. අපේ රටේ විතරක් නොවෙයි. හැම රටකම මේ තත්ත්වය තියෙනවා. අපේ රටේ අවාසනාවට මිනිස්සු මේක තේරුම් ගන්නේ නැහැ.  


ප්‍රශ්නය:- වැරැද්ද තියෙන්නේ මිනිස්සු අතේ?  


පිළිතුර:- මෙහෙමයි. මම හෙට ගමේ ගියොත් කොවිඩ් කොච්චර තිබුණත් ගෙදරට එනවා 1500 කට වැඩියෙන්. එහෙම ඇවිත් ඉල්ලන්නේ රස්සා. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා පෞද්ගලිකව තමන්ගේ අවශ්‍යතා. හැබැයි තේරුම් ගන්න ඕන අපේ රටේ දැන් වෙනකොට ආද‌ායම් නැහැ. සංචාරක ව්‍යාපාරය නෑ. විදේශ විනිමය නෑ. විදේශ ආයෝජන නැහැ. ආණ්ඩුවට ඩොලර් නෑ. ආණ්ඩුවේ ගෙනියන්නේ ඩොලරයක් තියාගෙන. මේ කොවිඩ් වසංගතයත් සමග බොහොම අමාරුවෙන් යන්නේ. ඉතින් මිනිස්සුත් පොඩ්ඩක් කැප කිරීමක් කරන්න ඕනෑ මේ වෙලාවේ.  


ප්‍රශ්නය:- දේශපාලකයන්ගෙන් ආදර්ශ ලැබෙනවා නම් ජනතාවත් කැප කිරීම් කරයි?  


පිළිතුර:- හොඳයි මට කියන්න දේශපාලකයන් නොදෙන ආදර්ශ මොනව ද?  


ප්‍රශ්නය:- කොවිඩ් එන්නත විද ගැනීමේ දී පවා පෝලිම් කඩාගෙන මැති ඇමැතිවරු එන්නත විඳගත්තා?  


පිළිතුර:- ඔබ පිළිගන්න පාර්ලිමේන්තුවේ 225 න් තවම 75 ක් වත් විදගෙන නෑ. වයසක කණ්ඩායමක් ඇවිත් විදගත්තා. අපි නම් තාම විදගත්තේ නෑ.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්