තනියෙන් ඉල්ලලා ආණ්ඩුව පිහිටුවනකොට එකතු වුණානම් හරි


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඇමති ප්‍රසන්න රණතුංග

 

  • ඔය දේ වුණාම ජනතාව කියයි ඕක ප්‍රසන්න රණතුංග කලින්ම කිව්වා කියලා

 

මහ මැතිවරණයට දින ඉතා ආසන්නය. කොවිඩ් 19 දෙවැනි වසංගත වළල්ලක් සම්බන්ධයෙන් ද භීතියකි. කුමක් වෙයිද මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය - කොහොමද ඡන්ද ව්‍යාපාරය?


පිළිතුර - ඉතාම සාර්ථකයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් වගේ ප්‍රමාණයක් අපට පත් කර ගන්න පුළුවන්. ගම්වල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම පිරිස් අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා.


ප්‍රශ්නය -  කොවිඩ් 19 දෙවැනි වළල්ලක් මතු වෙලා. ආණ්ඩුවට මිනිස් ජීවිත වලට වඩා ඡන්දය ලොකු වෙලා.


පිළිතුර - කොවිඩ් 19 වසංගතය මීට වඩා භයානක අවස්ථාවක තමයි ඡන්දය තියන්න තීරණය කළේ. අද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක පාර්ලිමේන්තුව ඉක්මනට පත් කර ගන්න ඕනෑ. ප්‍රතිපාදන වෙන් කරගෙන ඉදිරි වැඩ සැලසුම් කර ගත යුතුයි. සල්ලි වෙන් කිරීමක් කර ගන්න බැරි වුණොත් කිසිම දෙයකට මුහුණ දෙන්න බැරි වෙනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් පිළි අරගෙන මේ වසංගතය පාලනය කරන්න කටයුතු කරනවා වගේම ඡන්දය තියලා පාර්ලිමේන්තුව රැස් කරලා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ජනාධිපතිතුමාට ශක්තිය ලබා දිය යුතුයි.


ප්‍රශ්නය - ඡන්ද තියන්නත් පාර්ලිමේන්තුව රැස් කරන්නත් රට ඉතිරිවෙලා තිබිය යුතුයි. ජනතාව ජීවත් වෙලා සිටිය යුතුයි. ආණ්ඩුව ඒ ගැන තැකීමක් නොකරණ බවයි විපක්ෂය කියන්නේ.


පිළිතුර - මේ වෙන කොට දෙවැනි වළල්ලට සම්බන්ධ සියලු දෙනා නිරෝධායනයට ලක් කරලා තියෙන්නේ.
තව සතියක් දෙකක් යන කොට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ගන්න පුළුවන්. මේ ආණ්ඩුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගන්න ආණ්ඩුවක්. යහ පාලන ආණ්ඩුව වගේ උඩ බලාගෙන ඉන්නේ නැහැ. සුපුරුදු මැතිවරණ ව්‍යාපාරයෙන් ඈත් වෙලා මහ රැළි නොපවත්වා කටයුතු කරන්න ඕනෑ. ගෙන් ගෙට යමින් අවශ්‍ය ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන්. රටක් ඉදිරියට යා යුතුයි. ඒ නිසා නියමිත පරිදි මැතිවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයෙ තමයි මම ඉන්නේ.


ප්‍රශ්නය - ප්‍රසන්න රණතුංග පොදු ජන පෙරමුණේ සමගිය විනාශ කරනවා කියලත් චෝදනාවක් තියෙනවා.


පිළිතුර - පොදු ජන පෙරමුණේ සමගිය බිඳ වැටිලා නෑ. පොදු ජන පෙරමුණ කියන්නේ පොහොට්ටුවට. පොහොට්ටුවේ අපි එකා වගේ ඉන්නවා. අපේ සමගිය ඉතාම හොඳින් තියෙනවා.


ප්‍රශ්නය - ඔබ කියනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෑවිච්ච එකෙකුට ඡන්දය දෙන්න එපා කියලා. ඔහු තමයි ඔබේ සන්ධානයෙ සභාපති.


පිළිතුර - ඒ සන්ධානය ගැහුවේ මේ මහ මැතිවරණයට කලින්නේ. අපි ඡන්දෙ ඉල්ලන්නේ පොහොට්ටුවෙන්නේ. සන්ධානයෙ කොන්දේසි තියෙනවා ඇති. මම මොකවත් කියලා නෑනේ. මම ඇත්ත කියලා තියෙන්නේ.


ප්‍රශ්නය - ඔබ කිව්වා ශ්‍රී ලංකා එකෙන් දහයක් පහළොවක් පාර්ලිමේන්තුවට ආවොත් ඒ අයගේ කොන්දේසි වලට යටත් වෙන්න වෙයි කියලා?


පිළිතුර - ඒකනේ ඇත්ත. ඔය අභියෝගය මම දකින නිසා තමයි මං ඒක කලින්ම කියන්නේ. ඒ අභියෝගය ගැන ජනතාව දැනුම්වත් කරන්න ඕනෑ. ඔය මම කියන එක ඉතිහාසයෙ වෙලා තියෙනවා. එහෙම විෂකුරු විදියට රාජපක්ෂලා විවේචනය කරලා එහෙම විවේචනය කරපු අය මෙච්චර ඉක්මනට අපිත් එක්ක එකතු වීමේ අරමුණ මොකක්ද? අද සම බලය තියෙන නිසා අපිත් එක්ක එකතු වෙනවා. එහෙම එකතු වෙලා හිටියත් කාලයක් යන කොට ඇතුළෙන් කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි මම කල් ඇතිවම ජනතාව දැනුම්වත් කරන්නේ. ඔය දේ වුණාම ප්‍රසන්න රණතුංග ඕක කලින්ම කිව්වා කියලා ජනතාව කියයි.


ප්‍රශ්නය -  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා අපි අතර ගිවිසුමක් තියෙනවා. අපි කටයුතු කරන්නේ ඒ ගිවිසුමට අනුවයි. ඒ නිසා ඔය එක එක්කෙනා කියන ඒවා අපි ගණන් ගන්නේ නැහැ කියලා.


පිළිතුර - එතුමා ගැන අපි දන්නවනේ. 2015 ඉඳන් ගිවිසුම් ගහලා තියෙනවද? පක්ෂ කීයක් එක්ක ගිවිසුම් ගැහුවද? ඒවා එකක් වත් එයා ගණන් ගත්තේ නෑනේ. ඒ නිසා මේ ගිවිසුමත් ගණන් ගන්න ඕන නැහැ.


ප්‍රශ්නය - ඔබලා ආණ්ඩුවක් හැදුවොත් ඒ ආණ්ඩුවේ ඇමැති කම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයට නෑ.


පිළිතුර - මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නොවෙයි කතා කළේ. පුද්ගලයෙක් ගැනයි මම කතා කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට අදාළම නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මම දේශපාලනය ආරම්භ කරපු තැන. නමුත් වර්තමාන පක්ෂ සභාපති දිහා බලන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොයි විදියට හැසිරෙයි ද කියලා දන්නේ නැති නිසයි මම එහෙම කිව්වේ.


ප්‍රශ්නය -  දයාසිරි ජයසේකර කියනවා ‘‘අපි තනියෙන් ඉල්ලුවා නම් හොඳයි කියලා හිතෙනවා’’ කියලා.


පිළිතුර - අපිත් එහෙම තමයි යෝජනා කළේ. තනියෙන් ඉල්ලලා ආණ්ඩුව පිහිටුවන කොට එකතු වුණානම් හරි. එහෙම වුණා නම් තමයි හොඳ.


ප්‍රශ්නය - ඔබට කඳ බඩ විතරයි තියෙන්නේ කියලත් දයාසිරි ජයසේකර කිව්වා.


පිළිතුර - එතුමා එහෙම කිව්ව එකට ජනතාව පිළිතුරු දෙයි.


මට අපේ හාමුදුරුනමක් ප්‍රකාශ කළා. කේශර සිංහයෝ සිංහ නාද කරන කොට බල්ලො දුවනවා කියලා. ඒ නිසා මට කීප දෙනෙක්ම කිව්වා දැන් දුවන අය දුවන්න පටන් අරගෙන කියලා. ඒ නිසා මට ඒ ගැන තවත් කතා කරන්න අවශ්‍ය නෑ.


ප්‍රශ්නය - සමගියට හානි කරන ප්‍රකාශ කරනවා කියලා අගමැති මහින්ද රාජපක්ෂ ඔබට දොස් නැගුවා කියලත් වාර්තා වුණා.


පිළිතුර - ඒක බොරුවක්නේ. මගෙන් නොවෙයි අගමැතිතුමාගෙන් ඒක අහන්න. එතුමට කතා කරලා අහන්න මට දොස් කිව්වද කියලා. මොකද එතුමා නම් මට මුකුත් කියලා නෑ.


ප්‍රශ්නය -  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයන් පරාජය කිරීමේ මෙහෙයුමක් යටින් යනවා.


පිළිතුර - නෑ. අපිට එහෙම අවශ්‍ය නෑ. ජනතාවනේ ඡන්දෙ දෙන්නේ. ජනතාව හරි දේ තේරුම් අරගෙන කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. කවුද හිටියේ. කවුද නැත්තේ කියලා ජනතාව හොඳින් හිතලා බලලා තීරණයක් ගනීවි. ඒක


ඡන්ද දායකයා ඉතාම නිවැරදිව තේරුම් අරගෙන තමයි ඡන්ද පොළට යන්නේ. ඒකට අපිට වෙනම මෙහෙයුමක් කරන්න අවශ්‍ය නෑ.


ප්‍රශ්නය -  පොහොට්ටුව නම් කියන්නේ මෙවර තුනෙන් දෙකක බලයක් ගන්නවා කියලා. විපක්ෂය කියනවා පුළුවන් නම් 113 අරගෙන පෙන්වන්න කියලා.


පිළිතුර - අපි මේ අවුරුදු හතරහමාර තුළ ඔය විපක්ෂය රට විනාශ කරපු හැටි දැක්කා. මහ බැංකුව හොරකම් කරපු රටේ ආර්ථිකය කඩා දාපු මේ රටේ බෝම්බ බිය ඇති කරලා සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර අසමගිය ඇති කරලා ජාතිවාදය අවුස්සලා දේශපාලන වාසි ගන්න හදන අය තමයි ඔය විපක්ෂයෙ ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයයි සජිත්ගේ කණ්ඩායමයි ගත්තොත් ඔය දොගොල්ලොම. මේ සියලු අපරාධ වලට වග කියන්න ඕන. රනිල් පිලේ ඉන්නේ හොරු කියලා සජිත් පිලේ අය කියනවා. රනිල් පිලේ ඉන්න අය කියනවා සජිත් පිලේ ඉන්නේ හොරු කියලා. ඒ වගේම සියලු අන්තවාදී පිරිස් ඉන්නවා කියලත් කියනවා. ජනතාව මේ කියන ඒවා හොඳට තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා තමයි අපි ගම් වල යන කොට ගම්වල හිටපු ප්‍රබලම එක්සත් ජාතික පාක්ෂිකයන් අපිත් එක්ක එකතු වෙන්නේ.


ඒ නිසා අපි කියන්නේ කොහොම හරි ඡන්ද ටිකක් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් පෙන්වන්න කියලයි.


ප්‍රශ්නය - ඇයි ඔබලා තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ?


පිළිතුර - අපි තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ පහුගිය යහපාලන ආණ්ඩුව යම් යම් අණ පනත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නීත්‍යනුකූල විදියට නොවෙයි. ජාත්‍යන්තර අධිකරණ වල අපේ හමුදා වලට නඩු පවරන තීන්දු ගත්තේ. පළාත් පාලන ඡන්දෙ පවත්වන එක පරක්කු කළේ. කොහොමද? ඒ නිසා ඒ අත්තනෝමතික පාලනය අරගෙන ගියේ විකෘති ව්‍යවස්ථාවක් හරහායි. මේ තත්ත්වය තුරන් කරලා ජාතික සමගිය මත පදනම් වූ අලුත් ගමනක් යන්න අපට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. යහපාලන ආණ්ඩුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට නොවෙයි. කොටි ඩයස්පෝරාව සතුටු වෙන විවිධ විෂකුරු අන්තවාදී බලවේග සතුටු වෙන විදියට තමයි ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළෙත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ ඒකීය කියන වචනයත් කපලා දාලා. රට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමේ උවමනාවයි ඔවුන්ට තිබුණේ. අද ඔවුන් වේදිකා වල කියන්නෙත් ඒ කතාවමයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තීන්දු තීරණ කා මතවත් යැපෙන්න නැතිව, කාගෙවත් කොන්දේසි වලට යටත් නොවී ගන්න තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. ඒ බලය අවශ්‍ය වෙන්නේ රටේ ඉදිරි ජයග්‍රහණ වලටයි.


ප්‍රශ්නය -  ඔබ හිතනවද තුනෙන් දෙකක බලයක් ජනතාව දෙයි කියලා.


පිළිතුර - මේ රටේ ජනතාව පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කෙරෙව්වා. ජනාධිපතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. ඒ වගේම මෙවරත් ඉහළම ජයග්‍රහණයක් අප වෙත ලබා දෙන එක ඒකාන්තයි. අපට අවශ්‍ය වෙන්නේ අන්තවාදී බලවේග සමග සම්බන්ධ නොවන ගමනක් යන්න. ජනතාව ඒ ජයග්‍රහණ ලබා දෙන බව ඉර හඳ වගේ විශ්වාසයි.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්