තනි පක්ෂයක් විදියට තරග කරලා මේ තරම් ජයක් ගත්තේ ජවිපෙ විතරයි


ඇත්තටම මේ පළාත් පාලන මැතිවරණ පිළිබඳව රටේම අවධානය යොමුවෙලා තිබුණා. ඒක නිසාම වෙන මැතිවරණයකට වඩා ලොකු උනන්දුවක් දකින්න තිබුණා. දැන් මැතිවරණය ඉවරයි. ප්‍රතිඵලය ඇවිත් තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය ලැබිල නෑ කියන එක අපි පිළිගන්නවා. නමුත් මීට කලින් පැවැති මැතිවරණ හා සැසඳීමේදී අපේ පක්ෂයේ ඡන්ද පදනම සහ සභික සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව 2011 හා 2015 පැවැත්වුණු මැතිවරණ එක්ක සසඳා බලද්දී අපේ පක්ෂයේ පැහැදිලි වර්ධනයක් පේන්න තියෙනවා.

මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගෙනි.

 මේ තරම් ඉහළට අපිව ඔසවා තැබූ ඡන්දදායකයින් සම්බන්ධව අපිට තියෙන්නේ ගෞරවයක්. අපි කියපු දේට ඔවුන් ඉතා හොඳින් අවධානය යොමුකරලා තියෙනවා.  


 මේ ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවටයි බරපතලම සංඥාව නිකුත් කළේ. ආණ්ඩුවේ ගමන් මග, වැඩපිළිවෙල ඔවුන් අනුමත කරලා නෑ. ආණ්ඩුව දීපු පොරොන්දු ඉටුකරන්න සමත් නොවීමට උත්තරයක් ආණ්ඩුවට ලැබිලා තියෙනවා.  


 අලුත් හොරු එපා කියලා ජනතාව පරණ හොරුන්ට නැවත අවස්ථාව දීලා තියෙන්නේ. 2015 ජනවාරි 8 වෙනිදා පරාජයට පත් කළ දූෂිත බලවේගය යළිත් කරළියට ගේන්න ජනතාව කටයුතු කළේ මොකද කියලා තේරුම් ගන්න අමාරුයි. මේකෙ වගකීමෙන් ජනතාවට ගැලවෙන්න බෑ. ඉදිරියේදී මේ ජනතාව පත් කරපු අය සුපුරුදු පරිදි හොරකම්, වංචා, දූෂණ, මැරකම් කරද්දී ජනතාවට තේරේවි තමන් කරගත්තු වැරැද්දේ තරම. තමන් කරපු ක්‍රියාවේ වගකීමෙන් මිදෙන්න ජනතාවට බෑ.  


මේ කවුරු ආණ්ඩු බලය අරගෙන මේ පළාත් පාලන ආයතන කරගෙන ගියත් මේ තැන්වල අර්බුද මතුවෙන කොට හැමෝටම මතක් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. දුක කියන්න ජනතා විමුක්ති පෙරමුණ හොයාගෙන එනවා. අන්න දූෂිතයෝ කම්බ හොරු මේ තැන්වලට පත්කරපු අය ඊට පස්සෙ අහාවි රටේ හොරකම් දූෂණ සිද්ධ වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේවට මොකද කරන්නේ කියලා?  


අපි ඉදිරියටත් සූදානම් ජනතා හිතවාදී නොවන රටට අහිතකර මේ පීඩාකාරි බලවේගවලට එරෙහිව ජන බලවේගයක් ගොඩනගන්න. මේ සඳහා ප්‍රබල ජනමතයක් අවශ්‍යයි. එහෙම නොකර ජනතාව වෙනස් කරන්න බෑ.  


 අපි බලාගෙන ඉන්නවා මේ පළාත් පාලන ආයතනවල කටයුතු සිද්ධවෙන ආකාරය. ඡන්දෙට කලින් ජනාධිපතිවරයත් අගමැතිවරයත් කිව්වේ ආණ්ඩු බලය තියෙන ඒ අයටම මේ පළාත් පාලන ආයතනවල බලයත් දෙන්න කියලා. එහෙම නැත්නම් ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කියලා ඔවුන් කිව්වා. අපි දැන් බලනව මොකද වෙන්නේ කියලා. එහෙම කරන්න පුළුවන්කමක් නෑ.  


හැම පළාත් පාලන ආයතනයකම වගේ අපේ මන්ත්‍රීවරුන් පත්වෙලා ඉන්නවා. අපේ අය මේ ආයතනවල සිද්ධවෙන වැඩ ඉතා හොඳින් නිරික්ෂණය කරනවා. අපෙන් පත්වෙච්ච සියලු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට විශාල වගකීමක් තියෙනවා. බලයට පත්වෙච්ච අයට පිස්සු නටන්න දෙන්නේ නෑ අපි. ජනතා විමුක්ති පෙරමුණේ අපි විතරයි තනි පක්ෂයක් විදියට තරග කරලා මේ තරම් ජයග්‍රහණයක් ලැබුවේ. ඒක නිසා අපි මේක පරාජයක් විදියට සලකන්නේ නෑ.  


ඉදිරි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී අපි මැදිහත් වෙන්නේ කොහොමද කියලා ඉදිරියේදී තීරණය කරන්න වෙයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.   

ප්‍රියන්ත කොඩිප්පිලි