ඩී.අයි.ජී. නාලක එක්ක මට සම්බන්ධය හදාදුන්නේ පොලිස්පතිතුමා


ජනපති ඝාතන සිද්ධියක් රටට කී පොලිස් ඔත්තුකරු නාමල් කුමාර කියන කතා

මා හෙළි නොකළ තොරතුරු තව තියෙනවා

දූෂණ විරෝධී බළකාය නමැති සංවිධානයක මෙහෙයුම් අධ්‍යක්ෂ බව කියන නාමල් කුමාර නමැත්තා මේ දිනවල මුළු රටම දන්නා චරිතයකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලැස්මට අදාළ කුමන්ත්‍රණයක් ගැන රටට හෙළි කළේ ඔහුය. ඒ ගැන මුළු රටම මේ වනවිට දැන හමාරය.  


ඔහු දන්නා තවත් තොරතුරු තිබේදැයි දැන ගැනීමට අප ඔහු සමග කළ සාකච්ඡාවකි මේ.  


• දූෂණ විරෝධී බළකාය නමින් සංවිධානයක් ගැන මුලින්ම අනාවරණය වෙන්නේ ඉකුත් දිනවල. ඔබ කියනවා ඒක ඔබේ සංවිධානය ලැබූ ජයග්‍රහණයක් කියලා.  


අපේ බළකාය ආරම්භ වෙලා වසරක් ගත වුවත් මේ නමින් වැඩක් කරපු ප්‍රථම අවස්ථාව තමයි අපි කරපු රාජ්‍ය නායකයන් ඝාතනයට රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා කළ කුමන්ත්‍රණය. දූෂණ විරෝධී සංවිධානයක් විදියට වංචා දූෂණ ක්‍රියාවලි විතරක් නෙවේ මෙවැනි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ආදී රටට අගතියක් වන ප්‍රබල අපරාධ වගේ දේවල් හෙළිදරව් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි දූෂණ විරෝධී බළකායක් හැටියට ලැබූ ලොකු ජයග්‍රහණයක් ඒක. අපේ සංවිධානයට දැනට රට පුරා 2000ක පමණ පිරිසක් සිටිනවා.  


• රට ඉන්න බව කියන තුෂාර පීරිස්ව ඔබ දැන හඳුනා ගන්නේ කෙසේද?  


මෙයට වසරකට පෙර ඒ කියන්නේ 2017 අගෝස්තු 16 වැනි දින තමයි ඔහු මට මුලින්ම කතා කරන්නේ ෆේස්බුක් මැසෙන්ජර් හරහා. ඔහු මට මුලින්ම මැසේජ් කරන්නේ ප්‍රභාකරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක කියලයි. මම කරන වැඩ, මම සිදු කළ වැඩ වගේ දේවල් ඔහු ෆේස්බුක් මඟින් කාලයක් තිස්සේ දැනගෙන ඉඳල. මම කිසිම දෙයක් හංගල කරන කෙනෙක් නොවන නිසා හැම දේම ෆේස්බුක් දාල තිබුණේ. ඔහු මා එක්ක විස්තර කතා කරන ගමන් එකතු වෙලා රටට වැඩක් කරමු කියා මා සමග සාකච්ඡාවට එනවා.  


ඔහු මා සමඟ කතාවේදී කියන්නේ තවත් සුබසාධන සමිතියක් නොවන විදියට වෙනම විදියකට වැඩක් කරගෙන යමු කියල ඔහු කියනවා. ඔහුට තියෙන සබඳකම් ගැනත් ඔහු කියනවා. ඔහු මුලින්ම කතා කරන ආකාරය අනුව මම තීරණයකට එනවා ඔහු හොඳකට ආවොත් මම උදව් කරනවා නරකකට ආවොත් ලොකු වරදක් කර ගන්නේ කියලා.  


• ඔබ එවැනි තීරණයකට එළැඹීමට යම් කිසි හේතුවක් බලපෑවද? ඔහු ඔබටම මේ සඳහා කතා කිරීමට හේතු තිබුණාද?  


මම වගේ පුංචි මිනිහෙකුට ඔහු ඇයි කතා කරේ කියලා මට මුලින්ම ප්‍රශ්නයක් මතු වුණා. අන්තර්ජාලයෙන් විදේශීය රටවල සිටින ලාංකිකයන් කතා කරන එක සාමාන්‍ය දෙයක් වුණත් මම එහෙම හිතන කෙනෙක් නෙවේ. ලංකාවේ හිටිය කෙනෙක්, ඒ වගේම ප්‍රංශයේ සිටින කෙනෙක්, ආන්දෝලනාත්මක චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයෙක් නිසාත් මම ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ගත්තා. පසුව ඔහු නිතරම වාගේ දවස ගානේ කතා කරන්න ගත්තා. නාමල් අපි මේ රට හොඳ තැනකට ගේන්න බලමු කියන දේ තමයි ඔහු හැම විටම කීවේ. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. මිනිසුන්ට නිදහසක් නෑ. මේවට විමුක්තියක් ගේන්න ඕනෑ කියා ඔහු දවසක් කියනවා. ඒ පාර මම හිතුවා ඔහු ජේ.වී.පී. සාමාජිකයෙක් ද කියලා. ඔහුගේ ප්‍රොෆයිල් පින්තූර බලපුවම ඔහු එවැනි කෙනෙක් නොවේ කියා මට වැටහුණා.  


• ඔහු ඔබට යෝජනාවක් කරන්නේ කොයි ආකාරයටද?  


අපේ සංවාදය පටන් අරන් කිහිප දිනක් ගියාම ඔහුම එයට ප්‍රවේශ වෙනවා. ‘‘අපි ටික දවසක් ඉඳන් අඳුරනවා. අපි දෙන්නම දක්ෂයෝ. ඒ නිසා අපට යමක් කරන්න පුළුවන් එකතු වෙලා. අපි මෙහෙම වැඩක් කරමුද කියා’’ ඔහු මගෙන් අහනවා. එවිට තමයි ඔහු කියන්නේ තවත් කණ්ඩායම් 54කට ඔහු කතා කරල තියෙන බවත් මම නියෝජනය කරන බළකාය 55 වැනි කණ්ඩායම බවත්. ඒ මොහොතෙදි තමයි ඔහු මගෙන් අහන්නේ ගරිල්ලා සංවිධානයක් ලෙස මට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ද කියලා. එතනදී මට ප්‍රශ්නයක් එනවා. ගරිල්ලා කියන වචනයම හරි බැරෑරුම් නේ. ඒ නිසා මම ඔහුගෙන් නැවත විමසීමක් කරනවා. එවිට ඔහු කියනව ප්‍රංශයේ ඉන්න නිසා මුදල් තියෙන බවත් සංවිධානයට අවශ්‍ය ආයුධ ඔහු එවන්නම් කියලත්. ධීවර බෝට්ටුවලින් ඒවා ගන්න පුළුවන් කියලත් ඔහු කියනවා.  


• ගරිල්ලා සංවිධානය ගැන ඔහු වැඩිදුර පැහැදිලි කළේනැද්ද?  


සිංහල අපට විමුක්තියක් නෑ. අපට නිදහසක් නැහැ. මේවා මුස්ලිම් අය නිසා වෙන්නේ. ඒ නිසා ඔවුන්ට විරුද්ධව ප්‍රහාරයක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. මුස්ලිම් පල්ලිවලට පහර දෙමු කියා ඔහු කියනවා. සිංහල අයට වගේම දෙමළ අයටත් මුස්ලිම් අය නිසා කරදරයි කියා ඔහු කියනවා. ඒ නිසා ගරිල්ලා සංවිධානයක අවශ්‍යතාවක් තියෙන බව තමයි ඔහුගෙන් ඒ ගැන අහද්දී මට කිව්වේ. අපි දෙගොල්ලන්ම එකතු කරගෙන කටයුතු කරමු කියල ඔහු දීර්ඝ වශයෙන් කියනවා.  


• ඔබ ඒ යෝජනාවට කැමති වෙනවද? ඒ මොහොතෙදි මොනවද ඔහුට කිව්වේ?  


මම පිළිතුරක් පසුව දෙන්නම් කියල කීවත් ඔහු දීර්ඝව කරුණු කියනවා. මම ඔහුට මගේ ධීවර මිතුරන් සිටින බවත් කියනවා. මම ඒ ගැන කල්පනා කරල වගකිව යුත්තන්ට කියන්නයි කාලය තවත් ගන්න ඕනෑ නිසයි ඔහුට ඒ විදියට කිව්වේ.  


• ඔබ මොනවද ඉන් පස්සේ කළේ‍?  


ඔහුගේ කතාව ඇහුවම මට දැනුණේ ත්‍රස්ත කටයුත්තකට කතා කරනව කියලයි. මම ඒ සාකච්ඡාව තිබූ දවසට පහුවදා උදේම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකතනයෙන් කතා කළේ මාව අඳුන්වල දීල මේ විස්තරය කියනවා. ඒ එක්කම මට ඇති වුණ හැඟීමත් එතුමට දැනුම් දුන්නා.  


එතුමා මට මුණ ගැහෙන්න එන්න කියල වෙලාවකුත් කියනවා. මම ඒ වෙලාවට කාර්යාලයට යද්දීත් මම දැක්කා කැමිලස් අබේගුණවර්ධන නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇවිත් සිටින බවත්. මම අමුත්තන්ගේ කාර්යාලයේ හිටියත් පොලිස්පතිතුමාට වැඩ රාජකාරී නිසා මාව අමතක වෙලා යනවා. එතුමා යන්න හදද්දීත් එතුමගේ පුද්ගලික සහකාර නිලධාරියා අයි.පී. විජේරත්න මහත්තයා කියනවා මා ඇවිත් ඉන්න බව. ඒ මොහොතේදී එතුමට මාව මතක් වෙලා ‘‘මේ අපේ කොල්ලෙක් මේ ඇවිත් ඉන්නේ. මේක ලොකු කේස් එකක් කියලා බලල කරන්න ඕනැ කියල විජේරත්න මහත්තයටයි කැමිලස් මහත්තයටයි කියනවා. හොඳ නිධාරියෙක්ව දවස් දෙකක් ඇතුළත දෙනවා කියල ඒ වෙලාවේ මට පොරොන්දු වුණා.   


• ඔබ මෙයට පෙර පොලිස්පතිතුමාව මුණ ගැහිල සම්බන්ධකම් ගොඩනගා ගෙන සිටියද?


මෙහෙමයි. මම එතුමව දන්නවා කාලයක ඉඳන්. හමුවෙලාත් තියෙනවා කිහිප වරක්ම. ඉලංගකෝන් මහත්තයා පොලිස්පති කාලේ පූජිත් මහත්තයා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති. ඉලංගකෝන් මහත්තයා රට යන දවසක වැඩ බලන පොලිස්පති වුණේ පූජිත් ජයසුන්දර මහත්තයයි. ඒ දවසකදී මත්ද්‍රව්‍ය තොරතුරක් දෙන්නයි මම එතුමව මුලින්ම හමුවුණේ. ඒ ප්‍රශ්නය බොහොම සාර්ථකව එතුමා විමර්ශනය කරල දුන් නිසා මට ලොකු විශ්වාසයක් ඇති වෙලා තිබුණා. ඒත් එතුමා පොලිස්පති වෙන්න කලින් අපට එතුමා ගැන ලොකු බලාපොරොත්තු තබා ගත හැකි වූවත් පසුව වර්තමානයේ තිබූ හැසිරීම් නිසා එතුමා සීමාව ඉක්මවා ගියාදෝ කියල මට හිතෙනවා.  


• පොලිස්පතිතුමාට මේ ගැන කිව්වට පස්සේ මොනවද වුණේ?  


එතුමව මුණ ගැහෙන්න ගිහින් දින දෙකක් විතර යනකම් මම බලාගෙන හිටියා පිළිතුරක් ලැබෙනකම්. පිළිතුරක් නොලැබුණු නිසා මම නැවත පොලිස්පතිතුමාට කතා කළා. එතුමට මම කාරණය මතක් කරල දුන්නම මගෙත් එක්ක දුරකතන සංවාදය විසන්ධි නොකරම වෙනත් දුරකතනයකින් කාට ද කතා කරල මාව අඳුන්වල දෙනවා මට ඇහුණා. මොනව හරි ප්‍රශ්නයක් ආවොත් එතුමට කියන්න කියලත් කියනවා මට ඇහුණා. මගේ දුරකතන අංකයත් ඒ කෙනාට දීල නැවත මට කතා කරල ඩී.අයි.ජී. නාලක සිල්වා මහත්තයාට කේස් එක භාරදුන් බවත් ඔහුගේ දක්ෂකම ගැනත් මට විස්තර කළා.  


• නාලක සිල්වා මහතා ඔබට කතා කළාද? ඔහු මුණ ගැහුණද?  


පොලිස්පතිතුමාගේ දුරකථන සංවාදය නිමා කරල විනාඩි දෙකක් ඇතුළත නාලක සිල්වා මහත්තයා මට කතා කළා. දිනයක් දීලා කාර්යාලයට එන්න කිව්වා. ඒත් ඒ දිනය මඟ ඇරල වෙන දිනයකදී මම ගියේ. ඒ වෙද්දී වැඩ කර කර හිටිය තැනින් වරුවක නිවාඩුවක් දාල මම ගියේ.  


එතුමගේ කාර්යාලයට යන්න කලින් මම හැඳුනුම්පත දීල අමුත්තන්ගේ නාම ලේඛනයේ අත්සන් කරල අවසරපතක් අරගෙන ගියා. නමුත් දුරකතනය ඉල්ලා ගත්තා. ඒක මට අවශ්‍යයමයි කියලා. නාලක සිල්වා මහත්තයාව මට මුණ ගැහෙන්නෙත් සමීප සම්බන්ධයක් ගොඩ නැගෙන්නෙත් තුෂාර පීරිස් සම්බන්ධ සිද්ධිය නිසයි.  


ඒ සංවාදය අතරතුරදී මම තුෂාර පීරිස්ට මැසෙන්ජර් හරහා කෝල් කරල ඒක නාලක සිල්වා මහත්තයට ඇසීමට සැලසුවාම එතුමා ඒක පටිගත කළා. පසුව ඔහු කීවා නාමල් මේ කේස් එක දරුණුයි. අපි නැවත පොලිසියේදී මුණ ගැහෙන්නේ නැහැ. අපි එළියේදී හමුවෙමු කියලා. තුෂාර පීරිස්ට තොරතුරු දැනගන්න ක්‍රමවේද ගොඩක් තියෙන නිසාත් තාක්ෂණය හොඳින් භාවිත කරන නිසාත්, බුද්ධි අංශ සමඟත් සම්බන්ධකම් ඇති කියලා එළියේදී මුණ ගැසීම හොඳයැයි යෝජනා කළේ. මාව නිවසට ගිහින් ඇරලවන්නත් එතුමා උනන්දු වෙනවා. මම ඒ මොහොතෙදි මගේ හැඳුනුම්පත ගැන සිද්ධිය කීවාම නිලධාරියෙක් යවලා ඒක ලියපු පොතත් ගෙන්වගෙන ඒ නිලධාරීන්ට බැණ වැදුණා ඇයි ඒක ලීවේ කියලා. ඒවා ගැන තුෂාර පීරිස්ට තොරතුරු යන්න පුළුවන් කියලා නිලධාරීන්ට කිව්වා පොත හංගලා අලුත් පොතක් දාන්න කියලත්. පොලිස් විමර්ශන කරන අයට පුළුවන්නම් ඒ පරණ පොතයි අලුත් පොතක් ගැන හොයලා බලලා මම කීව දේ ඇත්ත ද බොරු ද කියල හොයා ගන්න පුළුවන්. මම වගකීමෙන් කියන්නේ අමුත්තන්ගේ නාම ලේඛනයේ 2017 අගෝස්තු 16-30 අතර කොටස් සහිත පොත නැහැ. අලුත් පොත පටන් ගත් දිනය මම ගිය දා හෝ ගියදාට පසු දිනයි.  


ඉන්පසු දිගටම නාලක සිල්වා මහත්තයයි මමයි එළියෙදි හමු වුණාම සාමාන්‍ය අංකවලින්වත් අපි කතා නොකර වට්ස් ඇප් හරහා කතා කරනවා. එතනදී තුෂාර පීරිස්ටයි නාලක සිල්වා මහත්තයා බය වෙන්නේ. එයා කේස් එක අත නෑර නිරන්තරව මට උපදෙස් දෙනවා ක්‍රියා කළ යුතු ආකාරය ගැන. ඒවා හමුවෙලා තමයි කතා කළෙත්, රැයක් දවාලක් නැතිව අපි කතා කරනවා. මුණ ගැහෙනවා.  


• ඔබ නාලක සිල්වා මහතා මුණ ගැසීමේ කාල සීමාවේ තුෂාර පීරිස්ගේ හැසිරීම් කතාබහ වෙනසක් දැක්කද?  


එහෙම කිසිවක් නැහැ. ඔහු දිගින් දිගටම මා සමග කතා කරනවා. ඒ වගේම ඔහු මට විවිධ පින්තූර ලබා දෙනවා ඒවා මම නාලක සිල්වා මහත්තයට දෙනවා නැත්නම් පෙන්වනවා. ඒව බලල මේ මේ විදියට කරන්න කියල මට උපදෙස් දෙනවා. මමත් ඒ විදියට ක්‍රියා කරනවා.  


ටික දිනක් ගියාම ඔහු මට කිව්වා ටී 56 ගිනි අවි දෙකක් හා මැගසින් හතරක් සොයා දෙන්න කියලා. මම ඒ මොහොතෙදි කිසිම පිළිතුරක් නොදී ඉද්දී ඔහු කියනවා කිසියම් තැනකට ප්‍රහාරයක් දෙන්න කියලා. මම දන්නවා මේ තොරතුරු නාලක සිල්වා මහතාට කිව්වම ඔහු මට අවශ්‍ය උපදෙස් දෙන බව. ඒ නිසයි මම කාලය ගන්න කල්පනා කළේ පිළිතුර දෙන්නම් කිව්වේ.  


• ඔය දේවල් කියපු දින වකවානු මතක නැද්ද?  


මට ඒ දින නම් මතක නැහැ. ඒවා අඩංගු දුරකතන හා වාර්තා මම සියල්ලම භාරදීල තියෙන්නේ. ඒවා විමර්ශනයේදී අනාවරණය වේවි. මට මුකුත් ඒ ගැන මතක නැහැ.  


• එතකොට නාලක සිල්වා මහතා ගිනි අවි දෙක ගැන කතාවට මොනවද කිව්වේ?  


ඒ තොරතුරු නාලක සිල්වා මහතාට කිව්වම එතුමා මට කිව්වා තුෂාර පීරිස්ට ගිනි අවිවල අවශ්‍යතාව තියෙනවා. ඒ වෙනුවෙන් මුදල් යොදවන්න පවා ඔහු ලෑස්ති වෙනවා. ඒ නිසා අපිට සාක්ෂි අවශ්‍යයි මේක ඔප්පු කරව ගන්න කියලා. කටින් කීවට වැඩක් නැහැ. සාක්ෂි හොයමු කියලා. එහෙම කියල මට කිව්වා ලක්ෂ තුනක් කියන්න කියලා.  


මම තුෂාරට කතා කරල ‘‘තුෂාර අයියේ, බඩු තියෙනවා ලක්ෂ තුනයි කියල ඔහු කිව්වා ලක්ෂ තුනකට ප්‍රශ්නයක් නැහැ. මේක රට වෙනුවෙන් කරන්න යන වැඩක් ගාන වැඩියි කියල පුළුවන් තරම් ගාන අඩු කර ගන්න කියලා.” නාලක සිල්වා මහතාට මේ බව කීවම ‘‘හරි නාමල් මොහු රුපියල් 10ක් හරි ආයුධ වෙනුවෙන් වියදම් කරන සාක්ෂිය අපට ඕනෑ. සල්ලි එවන එකයි අපට වැදගත්. ඔයා ලක්ෂ එක හමාරයි කියන්න. බලමු අපි වෙන්නේ මොනවද කියලා’’. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ගිනි අවිවල ෆොටෝ යැව්වේ ඒ අනුවයි.  


මම ඒ උපදෙස් අනුව කිව්වාම ඔහු කැමති වෙලා ඒවා බලන්න ඕනෑ කිව්වා. නාලක මහත්තයා ෆොටෝ අරන් දුන්නාම මම ඒවා යැව්වා. ලක්ෂ තුනක් එවනවා. ඒ සල්ලි තුන් පාරකදී මනි ග්‍රෑම් හරහා එවන්නේ. ඒවා මම ෆොටෝ ගහලා නව තාක්ෂණය මඟින් නාලක සිල්වා මහත්මයට ලබා දෙනවා. එයාල විමර්ශන සඳහා භාවිතා කරනවා. ඔය හරහා ලොකු විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ නිසාම අපි අතර සමීප සබඳතාවක් ඇති වෙනවා. මම පුද්ගලික දේවල් පවා කියන තත්ත්වයට අපි හිතවත් වෙනවා. කෑමට, බීමට අපි විශේෂ තැන් දෙකකට පවා ගියා.   


• නාලක සිල්වා මහතාව නිතර මුණ ගැසුණු බව ඔබ කිව්වා. රැකියා කරන ස්ථානයෙන් කොහොමද අවසර ගත්තේ එහෙම අවස්ථාවලදී?  


මම ඒ ආයතනය සමග කතාබහ කරල බොහොම ගරු සරු ඇතිව මට නිවාඩු අවශ්‍ය වෙලාවට ලබාගත්තා. මට එන්න කියන දවස්වලදී මම ගියා. සමහර දිනවලදී මට යන්න බැරි වුණා මුදල් අගහිඟකම් මත.  


• එහෙත් ඔබ මුලින් කිව්වා ​රැකියාවක් කළ බව. මොකද ඒකට වුණේ?  


තුෂාර පීරිස් මට කතා කරන කාල සීමාව වෙන විට මම රැකියාවක් කළේ නැහැ. මට තේරුණා මේ පුද්ගලයාගේ කතාබහ එක්ක මම කොළඹ අවට සිටිය යුතුයි කියල. මම කැලණියේ පුද්ගලික ආයතනයක රැකියාවක් හොයා ගත්තා. මගේ නිදහසවත් ආදායමවත් ගැන හිතන්න ගියොත් මේ පුද්ගලයා කරන්න හදන දේ සාර්ථක වෙනවා කියා මට දැනුණා. ඒ නිසයි කොළඹ අවටට මම යන්න තීරණය කළෙත්.  


පසුව නිතර නිතර නිවාඩු ගන්න වෙන නිසා මම රැකියාවෙන් ඉවත් වුණා. එහෙම මුදල් ගැටලුව කීවම නාලක සිල්වා මහතා රුපියල් පන්සියය දහස, දෙදහ බැගින් වරින් වර ලබාදීල තියෙනවා. නමුත් මම කවදාවත් සල්ලි ඉල්ලලා නැහැ. ඇත්ත තත්ත්වය කියනවා. රැකියාවෙන් නිවාඩු ගත්තම ආර්ථික ප්‍රශ්න ඇති වුණා. ත්‍රිරෝද රථවලින් ගිය ගමන් බිමන්වලට මුදල් වැය වුණා.   


• තුෂාර පීරිස් ඔබට මුදල් එව්වා නේද? ඒවට මොකද වුණේ?  


ඒ සල්ලි වලින් රුපියල් ලක්ෂයක් මම ගමේ පන්සලට දුන්නා. මගේ මූලිකත්වයෙන් කරඳ ගම්මානයේ චෛත්‍යයක් හා වැඩිහිටි නිවාසයක් ඉදිවෙමින් තිබූ නිසා මම ඒ මුදල් දුන්නේ. ඒ ගැන නාලක සිල්වා මහතාත් දැනගෙන හිටියේ. ඉතිරි මුදල් වලින් මම දුරකතනයක් ගත්තා තුෂාර පීරිස් කියපු නිසාම. ඒකත් නාලක මහත්තයා දැනගෙන හිටියේ.  


• ඔබ පසුව කළ ක්‍රියාවන් ගැන පොලිස්පතිතුමාට දැනුම් දුන්නේ නැද්ද?  


බන්ධනාගාර ඇතුළේ කුඩු විකුණන ආදී සිද්ධි ගැන මට තොරතුරු ලැබුණාම ඒවා නාලක සිල්වා මහතා ලව්වා විමර්ශනයට යොදවනවා. එහෙම වැඩ කළාම මම පොලිස්පතිතුමාට මැසේජ් එකක් දාල කියනවා මෙහෙම කළ බව. එතුමා මට ඒවට රිප්ලයි කරලත් තියෙනවා. ප්‍රශ්නයක් ආවොත් කියන්න කියලත් දන්වනවා.  


• රෝහින්‍යා සරණාගත සිද්ධිය ගැන ඔබේ සම්බන්ධය මොකක්ද?  


නාලක සිල්වා මහතා මට ඒ සඳහා උදව් කරන්න කීවත් මම එය ප්‍රතික්ෂේප කළා. ඒකට මම උදව් කළොත් ඒ ගැන තුෂාර පීරිස් දැන ගනීවි කියා මට හිතුණා. එහෙම වුණොත් අපි එළි කරන්න යන දැවැන්ත කුමන්ත්‍රණය හෙළි කරගන්න බැරි වෙන නිසා මම ඒක ප්‍රතික්ෂේප කළේ. නමුත් එතුමා ඒක පිළිගන්නේ නැතිව මට කිව්වා මේකට ඔයා උදව් කළොත් මට ලකුණු ලැබෙනවා කියලා. ඒ පාර මම ඇහුවා එහෙම කොහොමද වෙන්නේ කියලා. එතකොට කිව්වා ඊළඟ පොලිස්පති වෙන්නේ මම. ඒකට මේක බලපානවා කියල. මම ඒත් ඇහුවා ඔබතුමා කොහොමද පොලිස්පති වෙන්නේ කියලා.  


‘‘රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් නිසා සැකකරුවන් අත්අඩංගුවට ගන්න මේක පොලිසියට ලොකු අවස්ථාවක්. ඔයා උදව් කළොත් ඒ ලකුණුත් එක්ක මට පොලිස්පති වුණාම ඔහු ළඟින් ඉන්න පුළුවන් කියල’’ මට පැහැදිලි කළා.  


එතනදී මට කල්පනා වුණේ මෙයා පොලිස්පති වෙන සිහිනයේ ඉන්නවනම් මම මේ කරන දේවල් වලින් වැඩක් නැහැ. රටේ නීතිය ස්වාධිපත්‍යය ගැන කටයුතු කරන්න නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. චේතනාව උතුම් නැහැනේ. නමුත් මම ඒකත් හිතේ තියාගෙන කිහිප වතාවක්ම කීව නිසා එතුමට උදව් කළා. ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට. එතනදී යම් යම් අක්‍රමිකතා කිහිපයකුත් සිදුවුණා. මම ඉතින් නාලක සිල්වා මහත්තයා කවුද කියල හොඳාකාරවම දන්න නිසා මට පුදුම හිතුණේ නැහැ. එතුමා මට කියපුවා ගැන මට කියන්න පුළුවන් වුණත් මම ඒවා එළිදරව් කරන්නේ නැහැ, මට සාක්ෂි නැති නිසා. ඒවා කියල තියෙන ඒවා විතරයි.  


• ඔබ කියනවා නාලක සිල්වා මහතා යම් යම් අකටයුතුකම් සිද්ධි කළා කියලා. ඔබත් සමඟ කියපු එවැනි තොරතුරු මොනවද?  


මගෙත් එක්ක එතුමා දැඩි හිතවත්වීම නිසාම වරකාපොළ ඕ.අයි.සී. මහත්තයා ගැන නරක කතාවක් කියනවා. ‘‘ඌව ඉවරයක් කරන්න ඕනැ. ඌව ඔහෙන් යවන්න ඕනැ කියා පොලිස්පතිතුමාට, අගමැතිතුමාට,

ජනාධිපතිතුමාට පෙත්සමක් ගහන්න පගාව, අල්ලස් ගන්නවා කියා’’ මට කිව්වා. මට එයින් තේරුණා ඔහු දැඩි වෛරයකින් ඉන්න අයෙක් බව. ඒ නිසාම ඇයි එහෙම යවන්න ඕනැ. මට ප්‍රශ්නයක් නැහැ. මම වැඩේ කරන්නම් කියල ඇහුවා. එතනදී තමයි ඔහු කිව්වේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටිය ඩී.අයි.ජී. වාකිෂ්ඨ ගැන කීවේ. ඔහුගේ ගෝලයන් දෙන්න ගෙන් එක් අයෙක් වරකාපොළ ඕ.අයි.සී. හා අනික් කෙනා කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒ.එස්.පී. කියල. ඒ දෙන්නටම ගහන්න ඕනැ කියලත් කිව්වා. වාකිෂ්ඨ මහත්තයට වැඩක් දුන්නා කියලත් ඔහු කිව්වා.  


ඒක අහල මට හිතුණා මොහු විශාල වරදක් කරනවා. මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියන එක වගේම මාව පාවිච්චි කරන්න හදන එක ගැනත් මම හිතල බැලුවා.  


ඉන් පස්සේ ප්‍රසන්න අල්විස් මහත්තයාට කරන්න ඕනැ දේ කරමු කියා. ප්‍රසන්න අල්විස් මහතාගේ නිල නිවාසයට පිටුපස ගේට්ටුවෙන් ගියා. තව කාටද කතා කරල කාරෙකකින් ගෙන්වගෙන ඒකේ තමයි අපි එහෙට ගියේ. කාරෙක ගෙනා කෙනා ජීප් එකට ගියා. එතනට ගියාම බලල කිව්වා කට්ටිය දාල ගහන්න කිව්වා. මම ඇහුව කොහොමද ගහන්නේ කියා. නාලක මහත්තයා කිව්වා ‘‘උඹට ඕක කියන්න ඕනැ නැහැනේ’’ කියල. කිව්වා. මට තේරුණා මරන්න කීවේ කියලා.  


• ඉතින් ඔබ එතනදී මොනවද කළේ?  


එවේලේ පහර දෙන්න කියල නොවේ කව්වේ. අපි එහේ ගියේ රෑක. ඒ ගෙදර වාහන වගයක් පාර්ක් කරලත් තිබුණා වගේ මතකයි. පසුව මගෙන් වාර කිහිපයක්ම විමසුවා ඒකට මොනවද කළේ කියා මම එක එක පිළිතුරු දීල ඒකෙන් මඟ ඇරියා.   


• මහනුවර කලබල සිද්ධියටත් ඔබ සම්බන්ධ වෙනවා. ඒ ගැන තුෂාර පීරිස් දැන ගන්නවා නේද?  


මහනුවර සිද්ධියෙන් පසුව නාමල් කුමාර පොලිසියත් එක්ක ඉන්න කෙනෙක් කියා ෆෝස්බුක්වල පැතිරෙන්න ගත්තා. ඒකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්න තොරතුරු මගෙන් හැර වෙන කිසිම කෙනෙකුට දෙන්න බැහැ. ඒ සැකය නිසාමයි තුෂාර පීරිස් මම ගැන තොරතුරු හොයන්න ගත්තේ. ඔහු ගිනි අවි ගැනත් තොරතුරු ඉල්ලනවා වගේම ඒවා දෙන්න කියලත් කිව්වා. මම වේලාවක් ගන්න ඕනැ නිසා මගේ ප්‍රශ්න කිය කියා මම මඟ අරිමින් හිටියා.  


ඔය අතරතුරදී ඥානසාර හිමියන් වෙනුවෙන් කොටුවේ පැවැති විරෝධතා වැඩසටහනට ගියා. එතනදී මුණ ගැහුණ ජනිත මට කිව්වා ඩෑන් ප්‍රියසාද් ගැන. මම ඩෑන්ට මට කතා කරන්න කිව්වා. ඒ එක්කම ඔහු කියනවා ඔහු කළ දේවල් නිසා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අනිවාර්‌යෙන්ම අත්අඩංගුවට ගන්න නිසා මොනව හරි කරන්න කියා අඬ අඬ කිව්වා. නාලක සිල්වා මහතාගෙන් ෂේප් එකක් දාල දෙන්න කියලා. මම එය ප්‍රතික්ෂේප කරල ඔහුට අවවාද කළා ඔළුව පාවිච්චි කරල වැඩ කරන්න. නාලක සිල්වා මහත්තයා හොඳ කෙනෙක් නෙවේ කියා කිව්වා. මේක එයාට කිව්වත් එකයි නැතත් මට කමක් නෑ කියල. නාලක සිල්වා මහත්තයා මට කතා කරන හඬ පටියක වචන කිහිපයක් අහන්න දුන්නා. ඒක අහල ඔහුට හොඳට හිතල බලල හරි දේ කරන්න කියා කිව්වා. ඩෑන් ඒ වෙලාවේ මුකුත් නොකියා ගියා. මගේ ඔළුවේ මේ රහස ඩෑන්ට කියපු එක ගැන වදවීමක් තිබුණා.  


• ඒ ගැන නාලක සිල්වා මහතා විමසීමක් කළාද?  


දින එක හමාරකට පස්සේ නාලක සිල්වා මහත්තයගේ ගෝලයා මට හදිසියේම කෝල් කරල සර් ඔයාට කතා කරන්න ඕනැ යනුවෙන් කිව්වා යැයි පැවසුවා. මට එතනදී ඩෑන් කුමක් හෝ කියන්න ඇතැයි සැකයක් සිතුණා. මම ඒක නාලක මහත්තයාගෙන් අහන්න ඕනැ කියල හිතල ඇහුවා. ඒ හඬ පටය තමයි මම මාධ්‍ය්‍යට මුදා හැරල තියෙන්නේ දැන්. ඒක දැන් මුළු රටම දන්නවානේ. ඔහු එතනදී ඩෑන්ව සැක නොහිතන තැනට මට ඔප්පු කරවන්න උත්සහ ගත්තත් මට ඒක දැනුණා. ඔහුගේ මිනිස්සු හැම තැනම ඉන්න බවත් මට අවවාද කරනවා. එතනින් මම තේරුම් ගත්තා ඔහු මාව සැක කරන බව. ඒ වගේම ඔහු දන්නවා ඔහු වරදක් කළොත් ගහන්න වුණත් මම ඒකත් කරන ජාතියේ කෙනෙක් කියලත්. මම එයින් පස්සේ ඔහුට එරෙහි සාක්ෂි එකතු කළා. සමහර ඒවා මම දුරකතනයෙන් මකල දානව. එළිදරව් කරන්න ඕන තොරතුරු හා ඒ ගැන ජනතාවගේ අදහස් දැනගන්න ඕනැ නිසා මම ෆේස්බුක් පෝස්ට් එකකින් ඒ ගැන ජනතාවගෙන් ඇහුවා. එතනදී බොහෝ අය අදහස් දැක්වූවා. මට තේරුණා මිනිස්සු ඒක දැනගන්න උවමනාව තියෙන බව.  


• ඉන් පස්සේ ද ඔබ ඒක රටට එළිදරව් කළේ?  


ඒ වගේම මගේ හිතත් කිව්වා මේක රටට එළි කරන්න ඕනැ කියා. ඒක හිත හිත ඉද්දි ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටිය මගේ ඥාති වන පොලිස් කොස්තාපල් කෙනෙක් කල්මුණේට ට්‍රාන්සර් කළ බව අපේ ගෙදරට කෝල් කරල කියල තිබුණා. ඔහු ගැන මම නාලක සිල්වා මහතාට කියලයි තිබුණේ. මේ වෙද්දීත් මම විරසකයක ඉන්න බව ගෙදර අය දැනගෙන හිටියේ නැහැ. ඒත් ගෙදරට ඔහු කියා තිබුණා ඔහුගේ ට්‍රාන්සර් එකට හේතුව එය බවත්. ආන් ඒතනදි මම හිතුවා මෙයා ක්‍රියාත්මක වෙලා ඉන්න නිසා මම කතා කරන්න ඕනැ කාලය ඇවිත් කියලා. සැප්තැම්බර් පහ තමයි මම කතා කරන්න හිටියේ. රැළිය නිසා මම ඊළඟ සතියේදී ඒ ගැන කතා කළා. ඒ ගැන මුළු රටම දන්නවනේ. මම රටට එළිදරව් කළ දේ අඩුයි. හෙළි නොකළ දේවල් රාශියක් තියෙනවා.  


• ඩෑන් ප්‍රියසාද් කියා තිබුණා ඔබ මුදල් නොදීම නිසා නාලක සිල්වා මහතාට චෝදනා කරන බව. ඒක ඔබ ප්‍රතික්ෂේප කරනවද?  


ඒක මුළු රටම දන්නවනේ. මම තුෂාර පීරිස් නිසයි එතුමව මුණ ගැහුණේ. එහෙම නැතිව මුදල් නිසා නෙවෙයි. මම හෙළි කළ තොරතුරු අනුවනේ නාලක මහතා අත්අඩංගුවට ගත්තේ. මම ඔය හැම මඩ ප්‍රචාරයක්ම බලාගෙනයි මේවා එළියට දැම්මේ. මම දේශපාලනයට එන්න බලාගෙනවත් ජනප්‍රිය වෙන්නවත් නොවේ රටට යහපතක් කරන්නයි ඔය තොරතුරු දුන්නේ. සත්‍යවාදී වීමයි මට ඕනැ වුණේ.   


මුළු මෙහෙයුම කාලයේදී මට රුපියල් ලක්ෂ පහක් දීල තියෙනවා. මම ඒක පිළිගත්තා. කවුරුවත් දන්නේ නෑ මම ඒ කාලෙදි ජීවත් වුණේ‍ කොහොමද කියලා. මාස නවයක් දහයක් වෙනුවෙන් මම දිව්වේ කෙහොමද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසාම මට රැකියාවත් අහිමි වුණා. රෝහින්යා සිද්ධියෙන් පසුව මම පූර්ණකාලීනව ක්‍රියාත්මක වෙන්න ගත්තාම රැකියාව මට අහිමි වුණා.   


ඒත් මේ සිද්ධිය රටට හෙළි කරන්න පෙරාතුව මම කලින් වැඩකළ ආයතනයට සම්බන්ධ වුණා. ඒ නාලක සිල්වා මහත්තයයි තුෂාර පීරිසුයි මම එක්ක විරසකය නිසා මම ස්ථාවර වෙන්න ඕනැ කියා මට හිතුණ නිසා නැවත රැකියාවට යොමු වුණේ.

 

 

 

පුෂ්පා වීරසේකර