ජනාධිපතිතුමා හමුවූ මුල්ම දවසේම මා ඉල්ලුවේ රාජපක්ෂලාට කරන හිරිහැර නවත්වන්න කියලයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආශ්‍රිතව උණුසුම් දේශපාලන සංවාදයක් ඉකුත් දා නිර්මාණය විය. මේ ඒ සම්බන්ධයෙන් ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි.  

 


ප්‍රශ්නය:- ඔබේ ජීවිතයට තර්ජනයක් තිබෙන බව ඔබ ප්‍රකාශ කළා? දැන් කොහොමද ඒ තර්ජනයේ අලුත් තත්ත්වය?  
පිළිතුර:-
ඇත්තටම මේ තර්ජනය පටන් ගත්තේ... ප්‍රධාන වශයෙන්ම... මොකද තර්ජන නම් මට හැමදාම තිබ්බා. මට ඒවා ප්‍රශ්න නොවෙයි. ප්‍රධාන වශයෙන්ම තර්ජන එන්න පටන් ගත්තේ ජනාධිපතිතුමා එදා දකුණේ නව නායකයෙක් ගැන ඉඟි කරමින් කරපු කතාවක් එක්ක එක කණ්ඩායමකට මේක දරා ගන්න බැරි වුණා. ඒ කණ්ඩායම තමයි සැලසුම් සහගතව ප්‍රහාරය පටන් ගත්තේ. ඒ ගොල්ලෝ සාකච්ඡා කරලා තියෙනවා. එතැන මන්ත්‍රීවරු කණ්ඩායමකුත් ඉන්නවා. ෆේස්බුක් කල්ලියක් ඉන්නවා. විවිධ විදියට චරිත ඝාතනය අපහාස, රහස් කුමන්ත්‍රණ විතරක් නොවෙයි එළිපිට මේ ප්‍රහාරය දියත් වෙලා තියෙනවා.  

 


 ප්‍රශ්නය:- කවුද මේ කණ්ඩායම?  
පිළිතුර:-
අපේම ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියක් තමයි.  

 


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ අයද?  
පිළිතුර:-
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් මම දන්නවා. ඒත් දැන්ම නම් කියන එක සාධාරණ නෑ කියලා හිතෙනවා. අවශ්‍ය වුණොත් ඉදිරියේදී හෙළි කරන්නම්. මේ ගොල්ලේ කරපු කතාත් මම දන්නවා.  

 


 ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියලා ඔබ කිව්වලු?  
පිළිතුර:-
ඒ කතාව බොරු. පට්ටපල් බොරුවක්. මම ඔය ගැන ගෝඨාගෙන් ඇහුවා. එයා රාජපක්ෂ පවුලේ තවත් කෙනෙක්ගේ නමක් කියලා එහෙම තමයි මේ පණිවිඩය ලැබුණේ කියලා කිව්වා.  

 


 ප්‍රශ්නය:- ​ඔබ මොකද කිව්වේ?  
පිළිතුර:-
මං කිව්වා ඒ ගැන විමසලා බලන්න ඒ කියපු කට්ටියගෙන් කියලා.

 

 
ප්‍රශ්නය:- ගෝඨාභයගේ ප්‍රතිචාරය වුණේ?  
පිළිතුර:-
ඊට පස්සේ එතුමා මට දැනුම් දීමක් කළා මගේ හිතවතෙක් මාර්ගයෙන් තමයි මම කිව්වේ. මේ කියපු විදියේ දෙයක් නොවෙයි. ඒ ලැබුණු තොරතුරු නිවැරැදි නෑ කියන විදියේ මතයක් තමයි ඉදිරිපත් කළේ. මේකත් අර මම කියපු කුමන්ත්‍රණයේ එක් කොටසක්.  

 


 ප්‍රශ්නය:- ඇයි ඔබ එහෙම හිතන්නේ?  
පිළිතුර:-
ගෝඨාභය ලව්වා එහෙම කියෙව්වහම. මෙහෙමනේ හමුදාව අතහැර ගිය විශාල පිරිසක් ඉන්නව නේ. ගෝඨාභයට කැමැති විශාල පිරිසක් හමුදාවේ ඉන්නවා. ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභයට ප්‍රසාදය තියෙන විශාල පිරිසක් රටේ ඉන්නවා. එත​ෙකාට එයා ලව්වා කියෙව්වම එයාව අත්අඩංගුවට ගන්නේ මමයි කියලා. මට නිකම්ම තර්ජනයකුත් එල්ල වෙනවා වගේම මම අප්‍රසාදයට පත්වෙනවනේ.  

 


ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඉන්න ශ්‍රී ලංකා එකේ ඇමැතිවරුන් පිරිසක් කැඳවලා ඔබ ඒ කතාව කිව්වා කියලා තමයි වාර්තා වෙන්නේ.  
 පිළිතුර:-
නෑ.. නෑ... ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. නියෝජ්‍ය ඇමැතිවරු හය දෙනෙක් මට එන්න කියලා කිව්වා.  

 


 ප්‍රශ්නය:- කොහාටද ගියේ?  
 පිළිතුර:- ඒ ඇමැති කෙනෙකුගේ ගෙදරකට තමයි ගියේ. හැබැයි මම එතැන කතා කළේත් නෑ. ඔහොම දෙයක් මම කිව්වෙත් නැහැ. එහෙම දෙයක් කියන්න මම කවුද? අනික පොලිසිය මට අයිතියකුත් නෑ. අපට මේ පොලිසියෙන් ඔහොම දේවල් කරගන්න පුළුවන්ද? අර මම මගේ ඉන්න පළාත් සභා​ෙව් ඇමැතිට සිකුරිටි දෙන්නෙක් ඉල්ලලා තියෙනවා. තාම ඒ මනුස්සයාට හම්බ වුණේ නෑ. පළාත් සභාවේ ඇමැති කෙනෙකුට එහෙම ගන්න පුළුවන් ඔච්චර බලයක් මට තියෙනවා නම් මට ඒක කරලා දෙන්න බැරි වෙනවායැ.  

 


 ප්‍රශ්නය:- පස්සේ ඔබ කියලා තිබුණා ‘මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට සමාව දෙන්න ඕනෑ කියලා.’  
පිළිතුර:-
ඔව්. මම ඒක කිව්වේ ඇත්තටම. යුද්ධය අවසාන කරන්න දායක වීම ගැන හිතලා මගේ පෞද්ගලික අදහසක් හැටියටයි. මම ඒකට හුඟාක් බැණුම් ඇහුවා.  

 


ප්‍රශ්නය:- කාගෙන්ද බැණුම් ඇහුවේ?  
 පිළිතුර:-
ඔය මාධ්‍යවේදීන් දෙන්නෙක්ම තදින්ම දොස් කිව්වා. බහුජන සංවිධානවල වැඩ කරන කීපදෙනෙක්ම මට බැන්නා. කැබිනට් මණ්ඩලයේදිත් මට දොස් අහන්න වුණා. කොහොම වුණත් දැන් ඒක අදාළ වෙන්නෙත් නැහැනේ. එතුමා ඒක ප්‍රතික්ෂේප කළානේ. ‘සමාවක් ඕනෑ නෑ’ කියලා. ඉතින් මම ඔය ගැන තවත් කතා කරන්නේ නැහැ. මම දැන් සමාව දෙන්න කියන්නෙත් නැහැ. දඬුවම් දෙන්න කියන්න යන්නෙත් නැහැ. මට ඕක අදාළ කාරණාවක් නොවෙයි. මොකද මම ඔය දඬුවම් දෙන වැඩ පිළිවෙලකත් නෑ. බේරන වැඩපිළිවෙලක ඉන්න අවශ්‍යත් නෑ.  

 


ප්‍රශ්නය:- කොහොම වුණත් මේ ආණ්ඩුව ආව ගමන් රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ පෙනී හිටියා?  
 පිළිතුර:-
ඔව්. ඒවා පොත්වලත් ලියලා තිබුණා නේ සමහර කට්ටිය.  

 


ප්‍රශ්නය:- ඒ කතාව බොරුද?  
පිළිතුර:-
මෙහෙමයි. ජනාධිපතිතුමා මුණ ගැහුණ පළමු වැනි දවසෙදි මගේ ගෙදරදී. අපේ මන්ත්‍රීවරු 30 ක් විතර හිටියා. ඒකෙන් බාගයක් විතර දැන් ඉන්​ෙන් ඒකාබද්ධ විපක්ෂයේ. එදාම ජනාධිපතිතුමා හමුවුණ පළමුවැනි මොහොතෙදිම මම කළ පළමුවැනි ඉල්ලීම තමයි. ‘රාජපක්ෂවරුන්ට වෙන හිරිහැර නවත්වන්න. රාජපක්ෂවරු ආරක්ෂා කරන්න.’ කියලා තමයි. මම ඡන්දෙදි වැඩ කළේත් මහින්ද රාජපක්ෂ මහත්තයලට නේ. රාජපක්ෂවරුන් එක්කනෙ මම හිටියෙ. ඒ නිසා ඒ ඉල්ලීම මම කළා. ඒකට දිගුවක් විදියට තමයි මම ඔය කෑල්ල කිව්වෙත්. ඒකට ඉතින් එතුමටත් එච්චර ඕනෑකමක් නෑ කියලා පේනවා. රටෙත් ඒකට හොඳ මතයක් නෑ. ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේම සමාව දෙන්න කතා කරන්න යන්නෙත් නෑ. දඬුවම් දෙන්න මම කොහොමටවත් කතා කරන්නෙත් නෑ. මම ඒ වගේ දේවල්වලට මැදිහත් වෙන්නෙ නෑ. මැදිහත් වෙන්න අවශ්‍යත් නෑ.  

 


ප්‍රශ්නය:- රාජපක්ෂවරුන්ට ආරක්ෂාව දෙන්න ඔබ ගන්න උත්සාහය සාර්ථක වුණාද?  
පිළිතුර:-
ඒක අහන්න ඕනෑ එතුමන්ලා ගෙන්ම තමයි.  

 


ප්‍රශ්නය:- ඔවුන් නොදන්නා ඔබ දන්නා දේවල් තියෙන්න පුළුවන් නේ?  
 පිළිතුර:-
එතුමන්ලා දන්නවා මම කරපු කාර්යයන් පිළිබඳව. එතුමන්ලාගෙ හෘදය සාක්ෂිය දන්නවා ඇති. මට හිතෙනවා මම කරපු කාර්යයන් නිසා එතුමන්ලාට යම් සැනසිල්ලක්, සහනයක් ලැබුණා කියලා.   

 


ප්‍රශ්නය:- ඒ දේවල් ප්‍රසිද්ධියේ කියනවා කියලා ඔබ කිව්වා?  
 පිළිතුර:-
ඔව්. නමුත් තවම ඒකට වෙලාව නොවෙයි. මේකයි මං හිතනවා ඉදිරියේදී ‘නෑ’ හරි  ‘ඔව්’ හරි කියයි නේ. මමත් බලනවා ඒක. මම සාමාන්‍යයෙන් කෙනෙක්ගේ චරිත ඝාතනය කරන්නෙත් නෑ. පුද්ගලයෙක් විදියට මට එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා. මම ඒ වගේම කිසිම නායකයෙක් විවේචනය කරන්නෙත් නෑ. ඒක එදා ඉඳලම මගේ දේශපාලනය හැඩ ගැහිලා තියෙන විදිය. හැබැයි ඒ වගේම මම කේලාම් අහන්නෙත් නෑ. මම කාටවත් කේලාම් කියන්නෙත් නැහැ. හැබැයි ඒ වගේම තමයි මට කවුරුහරි ප්‍රහාරයක් එල්ල කළොත් මම නිකම් ඉන්නෙත් නෑ. ම​ෙග් හැටි එහෙම තමයි. මං ගැන විවේචනයක් කළොත් එයා ගැන කියන්න මට දෙයක් තියෙනවා නම් මම ඒක කියනවා. හැබැයි මම බොරු කියන්නෙත් නෑ.  

 


 ප්‍රශ්නය:- ඔබ දේශපාලනය කරන්නේ හම්බන්තොට? ඒ කියන්නේ රාජපක්ෂ අඩවියේ. රාජපක්ෂ පාලන සමයේදී ඔබ හිටියේ පීඩනයකින්ද?  
 පිළිතුර:-
දැන් එහෙම කියන එක හරි නෑනේ. මම ඒ ආණ්ඩුවේ හිටියනේ. හැබැයි මම එක දෙයක් කියන්න කැමැතියි. මම එතුමන්ලාගෙන් කිසිම ආකාරයෙකින් පෞද්ගලික උදව් අරගෙන නෑ. සමහර ඔය ආධුනික මන්ත්‍රීවරු එහෙම කියන නිසයි. මම මේ කියන්නේ. ඒ ගොල්ලෝ නිකම් කියන්නේ මම රාජපක්ෂවරුන්ගේ පිහි​ෙටන් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ආවා. මම රාජපක්ෂවරුන්ගෙන් උදව් ගත්තා කියලා.  

 


 ප්‍රශ්නය:- ඔබ එහෙම උදව් අරගෙන නෑ.?  
පිළිතුර:-
මට බය නැතිව කියන්න පුළුවන් රාජපක්ෂවරුන් ඉන්නවනේ. මම කිසිම පෞද්ගලික උදව්වක් අරගෙන නෑ. ෂෙඩ් පර්මිට්, බාර් පර්මිට්, වැලි පර්මිට්, ගල් පර්මිට්, බස් පර්මිට්, ඒජන්සි ඔය කිසිම දෙයක් කිසිම කොන්ත්‍රාත් එකක් මම එතුමන්ලාගෙන් අරගෙන නෑ. මට ඒක බය නැතිව කියන්න පුළුවන්. ආසන්නම ඡන්දෙ ගත්තොත් මම කිසිම උදව්වක් අරගෙන නෑ. ඒ විතරක් නොවෙයි ගිය මහ මැතිවරණයේදී මට විරුද්ධව නේ හිටියේ ඔය කට්ටිය. මට ඡන්දෙ දෙන්න එපා කිව්වනේ.  

 


ප්‍රශ්නය:- ඔබ ඒ ගැන අප්සෙට්?  
පිළිතුර:-
අපොයි නෑ. මගේ කිසිම තරහක් නෑ. මාව පරදන්නයි හැදුවේ. දින 100 ආණ්ඩුවෙ ඇමැතිකම් කරපු අය ඔක්කොම ව​ගේ පැරදුණා නේ. මාත් බොහොම අමාරුවෙන් අල්ලාගෙන ආවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට මොනවා කිව්වත් මට එන්න පුළුවන් වුණා.  

 


 ප්‍රශ්නය:- ඔබටත් ඇමැතිකම් දීලා එහෙම තව සැලකුවා මහින්ද රාජපක්ෂ.  
පිළිතුර:-
නෑ.... ඇත්තටම මම ඒ ගැන දැන් කතා කරන්න කැමැතිත් නෑ. නමුත් ඔබ අහපු නිසාම කියන්නම්. මම 2004 දී නාගරික සංවර්ධන හා ජල සම්පාදන නියෝජ්‍ය ඇමැති. ඒ කියන්නේ ​ෙම් රටේ තියෙන ප්‍රබලම අමාත්‍යාංශයේ. ආයතන විශාල ප්‍රමාණයක්. පහත්බිම් නාගරික සංවර්ධන අධිකාරිය, ඒ සේරම මගේ යටතේ. මම ඇමැතිවරයෙක් වගේ කටයුතු කළේ. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලය වෙනකොට මම ආපදා කළමනාකරණ අමාත්‍යවරයා.  

 


 ප්‍රශ්නය:- ඒක මදි?  
පිළිතුර:-
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියන්නේ සමාජ සේවා අමාත්‍යාංශයේ කෑල්ලක්. මම ඒකට දොස් කියන්න යන්නේ නෑ. මට ඒක ලැබුණා. කවුරු හරි කියන්න හදනවා නම් එක සැරේටම ලොකු ප්‍රමෝෂන් එකක් දුන්නා කියලා ඒක එහෙම නෑ. මම මේ ඔබ අහන හින්දා කියන්නේ. නැත්නම් මම කියන්න කැමැතිත් නෑ. නමුත් සමහර අය රාජපක්ෂ පවුලේ අයට වැඩිය ආධුනික මන්ත්‍රීවරුන් කියනව නේ රාජපක්ෂවරුන් මට මහ ලොකු දේවල් දුන්නා කියලා. නමුත් එහෙම නෑ. හැබැයි මම වැඩ කළා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියන්නේ මොකක්ද කියලා දැන ගත්තේ මගෙන් පස්සේ. මම මේවා කියන්න ආස දේවල් නෙවෙයි. මම කියන දේවලුත් නොවෙයි. නමුත් සමහර ආධුනික මන්ත්‍රීවරුන් ඔය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවනේ. ඒ නිසයි මම මේ කියන්නේ.

 

 
ප්‍රශ්නය:- කොහොම නමුත් 2015 ජනාධිපතිවරණයේදී ඔබ යටින් උදව් කළේ මෛත්‍රිපාල සිරිසේනට?  
පිළිතුර:-
නෑ... නෑ.. ඒ කතාව බොරුවක්.  

 

 ප්‍රශ්නය:- නමුත් ජනවාරි විප්ලවයේ නිර්මාතෘවරුන් ලියපු පොත්වල තියෙනවා. ‘ඔබව මරයි කියලා බයට එළියට ආවේ නෑ’ කියලා?  
 පිළිතුර:-
මෙහෙමයි. මට කවුරුවත් කතා කළේ නෑ. මම යනවා කියලා කිව්වෙත් නෑ. හැබැයි ඒ ගොල්ලෝ සාකච්ඡාවලදී කතාවෛලා තියෙනවා. එහෙම සාකච්ඡාවලදී කියලා තියෙනවා. ‘මහින්ද අමරවීරත් කලකිරීමෙන් ඉන්නේ. එයාව ගන්න පුළුවන්.’ කියලා කතා වෙලා තියෙනවා. හැබැයි ඒ සාකච්ඡාවල හිටපු ප්‍රධානම අය කියලා තියෙනවා. ‘මහින්ද අමරවීරව ගත්තොත් මැරුම්කාවි’ කියලා. ඒ නිසා කතා කරන්න ඕනැ නෑ කියලා කතාවෙලා තියෙනවා. ඉතින් මට කතා කළේ නෑ. මට එහෙම යන්න අදහසක් තිබුණෙත් නෑ. මම තරම් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ ඡන්දෙදි වැඩ කරපු වෙනත් කෙනෙක් නැතිව ඇති. මට ඒක බය නැතිව කියන්න පුළුවන්. ඡන්ද ප්‍රතිඵලිවලින්ම මට ඒක ඔප්පු කරන්න පුළුවන්. තංගල්ල ආසනයෙන් තමයි එතුමට වැඩියෙන්ම ඡන්ද ලැබුණේ.  

 


 ප්‍රශ්නය:- මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයගත්තත් ඔහු අතට බලය යන්න නොදී මේ වගේ හවුල් ආණ්ඩුවක් හදන්න යටින් කුමන්ත්‍රණයක් තිබුණා?  
 පිළිතුර:-
ඒක ඇත්ත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම දෙයක් කිව්වා. එහෙම කියන්න හේතුවකුත් තිබුණා.  

 


ප්‍රශ්නය:- මොකක්ද ඒ හේතුව?  
 පිළිතුර:-
අපේ ජනාධිපතිතුමාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කිව්වා. තරග කරන්න එපා .අපි දෙන්නම උදව් කරලා ඡන්දෙ කරමු’ කියලා. නමුත් තව කට්ටියක් කිව්වනේ. ‘කැන්ද කොළෙන් හරි පොල් කට්ටෙන් හරි ඉල්ලන්න වෙනවා’ කියලා. ඒ වෙලාවේ අපි තමයි ඇත්තටම කිව්වේ මහින්ද මහත්තයාට නාම යෝජනා දෙන්න කියලා. ඒ සටනේ මූලිකයෙක් මම. අවසානයේදී නාමයෝජනා දීලා ටික දවසක් හිටියනේ ජනාධිපතිතුමා.  

 


ප්‍රශ්නය:- ඊට පස්සේ මොකද වුණේ?  
පිළිතුර:-
ඒ අය කැම්පේන් එක තනිකරම ගෙනිච්චේ මෛත්‍රිපාලන සිරිසේන ජනාධිපතිතුමාට ගහන්න නේ. එතුමත් එක්ක හිටපු කණ්ඩායම පරදින්න නේ. ඒ වෙලාවෙ​ෙන ඔය සමහර මන්ත්‍රීවරු කිව්වේ ‘මෛත්‍රිපාල අගමැතිකම දුන්නේ නැත්නම් ගේට්ටු කඩලා බලෙන් අගමැතිකම් ගන්නවා.’ කියලා. තව එක්කෙනෙක් කිව්වනේ. ‘මෛත්‍රිපාලගේ රෙද්ද ගලවලා ජටාවක් හදලා ඇවිද්දවනවා’ කියලා. එහෙම කිව්වනේ. අරහෙම වුණේ අපේම කට්ටිය තමයි වරද්ද ගත්තේ.  

 


ප්‍රශ්නය:- දකුණෙන් බිහිවෙන අනාගත නායකයා කියලා ජනාධිපති මෛත්‍රි කිව්වම ඔබට මොකද හිතුණේ?  
පිළිතුර:-
ම​ගේ එහෙම බලාපො​ෙරාත්තුවක් තිබුණෙත් නෑ. මම එහෙම කිව්වෙත් නෑ. මට එහෙම ලොකු හැඟීමකුත් නෑ. මම හැබැයි එක දෙයක් දැන ගත්තා. එදායින් පස්සේ තමයි මට ප්‍රහාර වැඩි වුණේ. ඒ වගේම ජනාධිපතිතුමගේ හොඳ ලක්ෂණයක් ඒ ප්‍රදර්ශනය වුණේ. ​ෙම් රටේ ඉතිහාසයෙ කිසිම ජනාධිපතිවරයෙක් එහෙම කියලත් නෑ. ඒ වගේම එතුමා අද පක්ෂයට හොඳ දෙවැනි පෙළක් හදලා තියෙනවා.  

 


 ප්‍රශ්නය:- ඒ කවුද?  
පිළිතුර:-
මම, දුමින්ද දිසානායක වගේ කට්ටිය. ඒ විතරක් නොවෙයි තුන් වැනි පෙළකුත් හදලා තියෙනවා. අනුරාධ ජයරත්න, දුෂ්‍යන්ත මිත්‍රපාල, තාරානාත් බස්නායක, ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන. ඒ අයට පක්ෂයේ තරුණ සංවිධාන බාර දීලා තියෙනවා. අපේ පක්ෂ ඉතිහාසයේ විතරක් නොවෙයි කුමන පක්ෂයක ඉතිහාසයක වත් මෙහෙම දෙවැනි පෙළක් තුන්වැනි පෙළක් හදලා තියෙනවද කියලා. ඒ තරමටම මේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරලා තියෙනවා. පක්ෂයට අනාගතය හදලා තියෙනවා ජනාධිපතිතුමා.  

 


 ප්‍රශ්නය:- දැන් කොහොම වුණත් ආණ්ඩුවට මොකද වෙන්නේ?  
පිළිතුර:-
ආණ්ඩුවේ ගමනේ හොඳ හා නරක දෙපැත්තකුත් තියෙනවා. මේ ආණ්ඩුව ලොකු ජයග්‍රහණ කීපයක් ගත්තා. ජිනීවාවල තිබෙන දැවැන්ත ගැටුලව, ඒ කාලේ අපි බිත්තියට හේත්තු වෙලා හිටියේ. දැන් ඒක කතා නොවෙන තැනටම ඇවිල්ලා තියෙන්නේ. යුරෝපා මත්ස්‍ය තහනම අපි අයින් කරගත්තා. ජී.එස්.පී. තහනම ඉවත් වුණා. ජාත්‍යන්තරය එක්ක ඇති කරගත්ත සම්බන්ධතා බලන්න. දැන් ​ෙම් රටට ඇමරිකාවත් ඉන්නවා. රුසියාවත් ඉන්නවා. චීනයත් ඉන්නවා. ඉන්දියාවත් ඉන්නවා. මැද පෙරදිගත් ඉන්නවා  බටහිරත් ඉන්නවා. ඔක්කොමත් ඉන්නවා. ඒක හොඳම ලක්ෂණයක්. තව නොවිච්චි දේවලුත් තියෙනවා.  

 


 ප්‍රශ්නය:- ඔබට අනුව ඒ මොනවද?  
 පිළිතුර:-
යම් යම් කටයුතු පිළිබඳව අපේ එච්චර ප්‍රසාදයක් නැහැ. මහ බැංකු බැඳුම්කර සිද්ධිය. ඒ වගේම රටේ සංවර්ධනය මීට වැඩිය වේගවත් විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. තීන්දු මීට වඩා කඩිනමින් ගත යුතුයි කියන මතයේ අපි ඉන්නවා.  

 


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කියලා තිබුණා ටීවී බලද්දී රටේ ආණ්ඩුවක් නෑ කියලා තේරෙනවා කියලා.  
 පිළිතුර:
- ඇත්ත තමයි. මේ ආණ්ඩුවට නොවෙයි කිසිම ආණ්ඩුවක් කරන්න බැහැ ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙම දීලා කොහොමද ආණ්ඩු කරන්නේ? ෆේස්බුක් හරහා කොච්චර චරිත ඝාතන කරනවාද? මාධ්‍ය නිදහස අද කොච්චර කැත විදියට පාවිච්චි කරනවද? ප්‍රවෘත්ති බැලුවම හිතෙන්නේ ඊළඟ දව​ෙස් ආණ්ඩුව කැඩෙයි කියලා. පත්තරවල දාන ප්‍රධාන ප්‍රවෘත්ති කීයක් ඊළඟ දවසේ නිවැරැදි කරන්න වෙනවද බලන්න. ඒ දාන හැම එකක්ම ආණ්ඩුවට අවාසි වෙන්න දාන්නේ.  

 


 ප්‍රශ්නය:- යූඑන්පී, ශ්‍රී ලංකා ගිවිසුම සැප්තැම්බරයේදී ඉවරයි. මොකක් වෙයිද?  
පිළිතුර:-
සැප්තැම්බර්වල නොවෙයි දෙසැම්බර්වල තමයි ගිවිසුම ඉවර වෙන්න තියෙන්නේ. අපි ඉතින් මෙතැනින් එහාට ආණ්ඩුවේ ඉන්නවා නම් තියෙන අඩුපාඩු හදාගෙන තමයි ඉස්සරහට යන්න ඕනැ. නැත්නම් යන්නම් වාලේ යන්න බෑ.  

 


 ප්‍රශ්නය:- ඔබේ මතය කියන්න?  
 පිළිතුර:-
අපි රට ගැන හිතලා තමයි තීන්දු කරන්නේ. අපි අයින් වුණොත් රටට හොඳයිද? හොඳයි නම් අපි අයින් වෙනවා. රටට හොඳ නැත්නම් රට අරාජික වෙනවා නම් අපි ඒ ගැන හිතනවා. හැබැයි අපි යන්නම් වාලේ යන්නෙත් නෑ. ඉන්නම් වාලේ ඉන්නෙත් නෑ.  

 


ප්‍රශ්නය:- ටී.බී. ඒකනායක, අරුන්දික ප්‍රනාන්දු වගේ නියෝජ්‍ය ඇමතිවරුන් කියනවා ‘අපිත් එක්ක 18 ක් ඉන්නවා. අපි අනිවාර්යයෙන්ම අයින් වෙනවා.’ කියලා.  
 පිළිතුර:
- මම ටී.බී. ඒකනායක ඇමැතිතුමා හමුවුණා නේ එයාට කැඩිලා යන ලොකු වැඩපිළිවෙළක් නෑ.  

 


 ප්‍රශ්නය:- ඔබ කියන්නේ කවුරුවත් යන්නේ නෑ?  
පිළිතුර:-
මම හිතන්නේ නෑ. දෙන්නෙක් තුන් දෙනෙක් යයි. ඊට වැඩිය මුකුත් ඒ ගැන කියන්න බෑ.  


  ප්‍රශ්නය:- ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ දේශපාලනයට නාවානම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?  
පිළිතුර:- ම්...ම්... පක්ෂය දෙකඩ වීමට එතුමා නැවත පැමිණීම හේතුවක් කියලා මම හිතනවා.  

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්