ජනාධිපතිතුමා සහ අප අතර අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් පවතිනවා


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් ප්‍රහාර එල්ලවන විට අපත් ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල නොකළ යුතුය යන ස්ථාවරයට පැමිණ තිබෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවේදී පැවසුවේය. මේ ඒ සටහනය. 

 

ප්‍රශ්නය:විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නම් කිව්වේ ‘සිහින මාළිගාවලට වැසිකිළි හදන අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා?   
පිළිතුර:- ඒ ගොල්ලන්ගේ සිහින මාළිගා ඔක්කොම කඩාවැටුණා. ඒ ගොල්ලන්ගේ සිහින මාළිගා ඒ ගොල්ලෝ හදාගෙන හිටියා ජනාධිපතිතුමත් එක්ක. එහෙම සිහින හද‌ාගෙන තමයි කිව්වේ ‘අයවැය පරද්දවනවා’ කියලා. තමුන්නාන්සේලාගේ පත්තරවලත් ගියා ‘අයවැය පරද්දවන්න විශාල මෙහෙයුමක්’ කියලා. නමුත් දැක්කනේ මෙහෙයුමට මොකද වුණේ කියලා. අයවැය දෙවැනිවර කියවීමේදී ලැබූ වැඩි ඡන්ද. 


ප්‍රශ්නය:- රටට අවශ්‍ය කරන්​ෙන් නිෂ්පාදන ආර්ථිකයක්. නමුත් මේ අයවැය ඒ දෙසට කිසිම අවධානයක් නෑ?   
පිළිතුර:- නෑ නෑ මේ මුළු අයවැය ලේඛනයම නිෂ්පාදන ආර්ථිකයකට පදනම දැමීමක්. ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ කියන්නෙම සම්පූර්ණයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියක්. මේකේ සියලුම යෝජනා තිබෙන්​ෙන එක් එක් කාණ්ඩවලට. නිෂ්පාදනයට දිරි දීමක්. මේකේ කොහේවත් නෑ මේ මේ භාණ්ඩවල මිල අඩු කළා. මේ​ මේ භාණ්ඩ නොමිලේ දෙනවා. මේ මේ දේවල් ජනතාවට දෙනවා’ කියලා. මුදල් ඇමැතිවරයා අය වැය ඉදිරිපත් කරමින් කරපු පැහැදිලි ප්‍රකාශය තමයි ‘මම මාළුවෙක් දෙන්නේ නෑ. මාළුවෙක් අල්ලගන්න බිළි පිත්තක් දෙනවා’ කියලයි. මේ අය වැය ලේඛනය පුරාම බිළි පිති දීලා තියෙනවා මිසක් මාළු දීලා නෑ. මේ තරම්ම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන අයවැය ලේඛනයක් මේ මුළු ඉතිහාසයෙම ඇවිත් නෑ. සෑම යෝජනාවක්ම තියෙන්නේ කෙනෙකුට තමන්ගේ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට පෙලඹවීමක්. ඒක තමයි නිෂ්පාදනය කියන්නේ.   


ප්‍රශ්නය:- 2019 ජනවාරි වෙනසෙදි පුංචි කාර් සිහිනය බරපතළ විදියට තිබුණා. මේ අයවැයෙන් ඒ පුංචි කාර් සිහිනය උස්සලා පොළොවේ ගහලා?   
පිළිතුර:- ආණ්ඩුවක් තීරණය කරන්න ඕන රටකට අවශ්‍ය වාහන ප්‍රමාණය කොච්චරක් ද කියලා. දැන් සිංගප්පූරුව තීන්දු කරලා තියෙනවා ඒ රටට අවශ්‍ය වාහන ප්‍රමාණය කොපමණ ද කියලා. ඕනෑම කෙනෙක් ඕනෑම පවුලකට පළමුවැනි වාහනය ගන්නවා වගේ නොවෙයි දෙවැනි වාහනය ගන්නකොට ඒ දෙවැනි වාහනයට බදුත් දෙගුණයක් ගෙවන්න වෙනවා. ඒ විදියට ඔවුන් සීමා කරලා තියෙනවා වාහන ගැනීම. ඒ ප්‍රමාණයට තමයි ඔවුන් වාහන ආනයනයට ඉඩ දෙන්නේ.   


ප්‍රශ්නය:- ඒ කියන්නේ මේ රටේ පුංචි මිනිහට අලුතෙන් වාහනයක් ගන්න වෙන්නේ නෑ?   
පිළිතුර:- මෙහෙමයි. අපේ රටේ තියෙන මාර්ග පද්ධතියට අනුව සලකා බලන්න ඕනෑ කොපමණ වාහන සංඛ්‍යාවක් මේ රටට ඔරොත්තු දෙනවද කියලා. තව ඉදිරියේදී දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර ඉඳලා කතරගම දක්වා දිග් වෙනකොට රත්නපුර සබරගමුව රුවන් අධිවේගය ආරම්භ වෙලා. අද වෙනකොට මධ්‍යම අධිවේගය ආරම්භ වෙලා තියෙනවා. මේවා සාර්ථක වෙනකොට වාහන බදු අඩුකරලා ආනයනය වැඩි කරනවා. එහෙම නැත්නම් වෙන්නෙ වාහන ගෙන්වයි. හැබැයි පාරේ වාහන ඇතුළටම වෙලා ඉන්න වෙයි. ඒ නිසා තමයි මේ තීන්දුව ගත්තේ.   


ප්‍රශ්නය:- අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය දුන්නා. ඔවුන්ගේ කොන්දේසි මොනවාද?   
පිළිතුර:- කිසිම කොන්දේසියක් නෑ. මම තමයි තොණ්ඩමන් මහත්තයත් එක්කත් කතා කළේ ඡන්දය ගන්න. එතුමාගෙවත් කිසිම කොන්දේසියක් නෑ. එතුමා අඩුම තරමින් තනතුරු සඳහාවත් කොන්දේසි දැම්මේ නෑ. හොඳ අයවැයක් හින්ද‌ා ඡන්දය දෙනවා කියලා තමයි එතුමා කිව්වේ.   


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ දෙමළ ජාතික සන්ධානය ගැනයි?   
පිළිතුර:- ඔව්, දෙමළ ජාතික සන්ධානය කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ. ඔවුන් කිව්​ෙව් උතුරට තියෙන සංවර්ධන යෝජනා ක්‍රම ඉක්මන් කරන්න කියලයි. අනික දෙමළ සන්ධානය කොහොමද මේ අයවැයට විරුද්ධ වෙන්නෙ? උතුරට නැගෙනහිරට තියෙන සංවර්ධන යෝජනා ක්‍රම. උතුරේ අතුරුදන් වෙච්ච අය වෙනුවෙන් මාසෙකට රුපියල් 6000ක් ලබා දීම. මේවනේ ඒ ජනතාවගේ මූලිකම ප්‍රශ්න. ඉතුරු ප්‍රශ්න තමයි ඔවුන්ගේ ඉඩම් නැවත ලබාදීම. ඒ වගේම උතුරේ නිවාස ක්‍රම ආරම්භ කිරීමට විශාල මුදලක් වෙන් කිරීම තුළ කොහොමද ඔවුන් මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙන්නෙ.   


ප්‍රශ්නය:- ඔවුන් ප්‍රසිද්ධියේ කිව්වා ‘අපේ කොන්දේසි ඉටු කළොත් විතරයි අයවැයට පක්ෂව ඡන්දය දෙන්නේ කියලා?   
පිළිතුර:- දැන් මම කිව්වනේ කිසිම කොන්දේසියක් නෑ කියලා.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට දෙමළ සන්ධානයෙ නායකයෝ කිව්වා ‘අපේ කොන්දේසි තියෙනවා කියලා. කල්මුනේට වෙනම දෙමළ කලාපයක් දිය යුතුයි කියලත් ඔවුන් කිව්වා.   
පිළිතුර:- කොහේද? කොහේවත් නෑ එහෙම.   


ප්‍රශ්නය:- නමුත් ඔවුන් මාධ්‍යයට එහෙම කිව්වා?   
පිළිතුර:- ඕවා ඉතින් මාධ්‍යයෙන්නේ කියන්නේ. මාධ්‍ය ඉතින් ද‌ාන්නේ එක එක්කෙනා කියන ඒවනේ. අපිට කවුරුවත් ඉදිරිපත් කරලා නෑ කල්මුනේට දෙමළ කලාපයක් අවශ්‍යයි කියලා. දෙමළ කලාපයක් කොහේද කල්මුනේ ඉල්ලන්නේ? එහෙම එකක් අද වෙනතුරු අපිට ඉදිරිපත් කරලා නෑ. ඕවා ඔය ඔක්කොම මාධ්‍යවල ද‌ාන ඒවනේ. අද පත්තරවල ද‌ානවා දෙමළ සන්ධානය දෙමළ කලාපයක් ඉල්ලනවා කියලා. හෙට ද‌ානවා මුස්ලිම් කොංග්‍රසය වෙනම කලාපයක් ඉල්ලනවා කියලා. 

 
ප්‍රශ්නය:- දෙමළ සන්ධානය කියනවා ඔය ගැන මුස්ලිම් කොංග්‍රසයත් එක්කත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා’ කියලා?   
පිළිතුර:- ඔය එක එක මන්ත්‍රීවරුන්ගේ කතානේ. දෙමළ සන්ධානය කියපු එකම දෙය තමයි මේ උතුරට දීලා තියෙන සංවර්ධන කටයුතු එන මැතිවරණයට පෙර සීග්‍රයෙන් ඉවර කරන්න කියලයි. අපටත් ඕනෑ ඒකම තමයි.   


ප්‍රශ්නය:- ඔබ වගකීමෙන් කියනවද දෙමළ සන්ධානය සමඟ ගිවිසුමක් හෝ රහස් එකඟතා මුකුත් නෑ කියලා?   
පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. ඒ කිසිම දෙයක් නෑ.   


ප්‍රශ්නය:- තේරුම් ගන්න බැරි කොහොමද එහෙම එකපාරටම ඔවුන් වෙනස් වෙන්නේ කියලා?   
පිළිතුර:- එහෙම වෙනස් වෙන්නේ විරුද්ධ පක්ෂයේ ඉන්න ජාතිවාදීන්ට විරුද්ධවයි. ඒක තමයි පළමුවැනි කොන්දේසිය. ගෝඨාභය රාජපක්ෂ කියනවා ‘මම ජනාධිපතිවරණයට එන්නේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණයි කියලා. එතකොට දෙමළ සමාජය එහෙම කියන කඳවුරට විරුද්ධව ඡන්දය නොදී ඉඳියිද? ඉතින් ගෝඨාභය රාජපක්ෂ එන්නෙම පරදින්න. මම එන්නේ පරදින්නමයි කියාගෙන තමයි ගෝඨාභය එන්නේ. අනිත් අය ඔක්කොම අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ නිසා මෙයාලගේ සටන් පාඨ තියෙනකම් අපට හොඳයි.   


ප්‍රශ්නය:- ජනාධිපතිවරයගේ වැය ශීර්ෂය පරාජය කරනවා කියලා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිව්වා. නමුත් වැඩේ ගැස්සුණා.   
පිළිතුර:- ජනාධිපතිතුමා අපිත් එක්ක විශාල තීන්දුවක් ගත්තා. එතුමාම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදි අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඒකට පක්ෂව ඡන්දය දිය යුතුයි කියන ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියේ. ඒ විතරක් නොවෙයි එතුමා ප්‍රකාශයක් කළා ‘මේ අයවැය ලේඛනය ඉතා හොඳයි. මේකේ වැරදි තියෙනවා නම් මීට වඩා හොඳ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. එතුමා එහෙම අභියෝගයකුත් කළා. ඉතින් එහෙව් එකේ අපි කොහොමද එතුමාගේ වැය ශීර්ෂය පරාජය කරන්නේ? ජනාධිපතිතුමා අද අපිත් එක්ක හොඳ අවබෝධයෙන් කටයුතු කරනවා. ඉතින් අපි මොකටද එතුමට විරුද්ධව ඡන්දය දෙන්නේ.   


ප්‍රශ්නය:- එහෙම නම් ඇයි ඔබේ පසුපෙළ මන්ත්‍රීවරුන් කැරලි ගැහුවේ?   
පිළිතුර:- එතුමන්ලාට තියෙනවා විශාල මැසිවිලි. ඔවුන්ට දීපු දීමනා කප්පාදු කිරීම ගැන එතුමන්ලාට විශාල විරෝධයක් තියෙනවා. නමුත් ඡන්දය තියපු දවසේ අපි ඔවුන් එක්ක සාකච්ඡා කළා. ජනාධිපතිවරයාගේ අලුත් ස්ථාවරයත් එක්ක ජනාධිපතිවරයාට එරෙහිව පොහොට්ටුව සටනට එනකොට අපිත් ඔහුත් එක්ක සටනට නොයා යුතුයි කියලා අපි තීරණය කළා.   


ප්‍රශ්නය:- එජාපයේ මන්ත්‍රීවරුන් එජාපයේම මන්ත්‍රීවරුන්ට කියනවා ‘එයාලට රාජ්‍ය ඇමැතිකම් ලැබුණේ ජනාධිපති මෛත්‍රිට කේලාම් කියන නිසා කියලා’.   
පිළිතුර:- ඒ විදියට එක එක පෞද්ගලික කාරණා තියෙන්න පුළුවන්. නමුත් ඡන්දය තියන දවස වෙනකොට පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වෙනස් වුණා. ජනාධිපතිවරයා හා ඔහුගේ කණ්ඩායම අයවැය ගැන ගත්ත ඓතිහාසික තීන්දුව මත ඒ විදියට ස්ථාවරය වෙනස් වුණා. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ ප්‍රධාන කණ්ඩායම අයවැය පරාජය කරන්න ගිහින් පස්ස බිම ඇණගත්තේ.   
නෑ. අවබෝධය ඉතා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවනේ. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම් ගත්තත් ජනාධිපතිතුමාගේ හැසිරීම අනුව බලනකොට එතුමා මේ අපේ රජය වෙනුවෙන් තමයි කතා කළේ. මම උද‌ාහරණයක් කියන්නම්. මේ සතියේ නොවෙයි ඊට පෙර සතියෙ කැබිනට් මණ්ඩලයට ආවේ කිරිපිටි මිල සම්බන්ධ මිල සූත්‍රයයි. ඒක ආපු වෙලාවේ එතුමා කිව්වේ’ මේක මේ වෙලාවේ ද‌ාන්න එපා. එතකොට කියයි අයවැයෙන් මුකුත් වැඩි කරන්නේ නැතිව ගැසට් එකෙන් වැඩි කලා කියලා. එතකොට මේ අය වැය ලේඛනය බාල්දු වෙයි කියලා. ඒ නිසා මේක පස්සට ගන්න කියලා ජනාධිපතිතුමා තමයි ඒ ඉල්ලීම කළේ. ඉතින් ජනාධිපතිතුමා තමයි අපටත් වැඩියෙන් ඉදිරියෙන් අය වැය ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ.   


ප්‍රශ්නය:- ඒ කියන්​ෙන් ජනාධිපතිතුමා නැවතත් විශ්වාස කරන තැනට ආණ්ඩුව ඇවිල්ලා?  
පිළිතුර:- විශ්වාසය අවිශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔහු හිට ගන්නේ කොයි පිලේ ද කියන එකයි වැදගත් වෙන්නේ. ඔහු හිටගන්නේ අපිත් එක්ක නම් අපි ඔහු සමඟ ඉදිරියට ගමන් කළ යුතුයි. මේක මැතිවරණ වසරක්. මේ මැතිවරණ වසර අපට ඉතාම වැදගත්. මේ රජය ආරක්ෂා කරන්න.  


ප්‍රශ්නය:- මට මේ ප්‍රශ්නයට සෘජු උත්තරයක් දෙන්න. ඔබ ජනාධිපති මෛත්‍රී යළිත් විශ්වාස කරනවද?  
පිළිතුර:- ජනාධිපතිවරයා හා අප අතර පෞද්ගලික විශ්වාසයක් තිබුණා කියලා කිසිම තේරුමක් නෑ. පුද්ගලයන් අතර විශ්වාසයක් නොවෙයි තිබිය යුත්තේ ක්‍රියාමාර්ග පිළිබඳ විශ්වාසයක් තමයි තිබිය යුත්තේ. එතකොට මම ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබනවා.  


ප්‍රශ්නය:- ජනාධිපති සමඟ අලුත් මිතු දමක් ගොඩනැගෙමින් තිබෙන බව ද ඔබ කියන්නේ?  
පිළිතුර:- දෙසැම්බර් 20 දී අපි රජය නැවත පටන් ගන්නකොටම අපි ඔහුත් සමග වැඩ කිරීමේ සූද‌ානමින් හිටියේ. ඒ අවබෝධය ඉදිරියේදී අඩුවෙනව ද වැඩිවෙනව ද කියන එකයි තියෙන්නේ. එහෙම නැතිව දේශපාලන ක්‍රියාමාර්ගවලට ඔහුත් සමඟ කොතෙක් දුරට යා හැකිදැයි කියන එකයි බලන්න ඕනෑ. ඔක්තෝබර් 26 ත් එක්ක බලනකොට එතුමා හොඳ තත්ත්වයකට ඇවිත් තියෙනවා.  


ප්‍රශ්නය:- බැඳුම්කර හොරකම ගැන පරීක්ෂණ කරන්න බැරි බැඳුම්කර හොරු ආණ්ඩුව තුළ ඉන්න නිසා කියලා ජනාධිපති මෛත්‍රී කිව්වේ ඉතාම මෑතකදී?  
පිළිතුර:- ඒ වගේ ප්‍රකාශ කරන නිසා තමයි මම මගේ අයවැය කතාවේදී කිව්වේ බැඳුම්කරය පිළිබඳව දැන් ඕනෑ තරම් පරරීක්ෂණ කරලා ඉවරයි. බැඳුම්කරේ විත්තිකරුවන්ව උසාවි අරන් ඇවිත් ඉවරයි. බැඳුම්කරේ ප්‍රධාන විත්තිකරුට එරෙහිව රතු නිවේදන නිකුත් කරලා ඉවරයි. මේ රජය ඒ සම්බන්ධයෙන් ගතයුතු හැම පියවරක්ම අරගෙන තියෙනවා. ඒ වගේම ඒ රතු නිවේදනයේ ප්‍රතිඵල ගන්නේ කොහොමද ගිය රජයේ මිග් ගනුදෙනුවට උදයංග වීරතුංගට ද‌ාපු රතු නිවේදනයත් තවමත් ක්‍රියාත්මක නොකර තිබියදී. ඒක තමයි ජාත්‍යන්තරයේ හැසිරීම. ඉතින් උදයංගවත් ගෙන්වන්න බැරිනම් මහේන්ද්‍රන්ව කොහොමද ගෙන්වන්නේ? ඒක තමයි ජනාධිපතිවරයාගේ කතාවට අපේ පිළිතුර.  


ප්‍රශ්නය:- යුද අපරාධ හොයන්න විදේශ යාන්ත්‍රණයක් අවශ්‍යයි කියන සුපුරුදු හඬ තමයි ජිනීවාවලින් ඇහෙන්නේ. මොකක්ද ආණ්ඩුවේ ස්ථාවරය?  
පිළිතුර:- යුද අපරාධ කියල කියන්නේ මොනවාද? ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම අපරාධයක් නොවෙයි ද? ඔබලාගේ සගයා මරා දැම්මා. ඔබ වැනිම මාධ්‍යවේදියකු වන එක්නැලිගොඩ අතුරුදන් කළා. ඒක අපරාධයක් නොවෙයිද? එතකොට දරුවන් 11 දෙනෙකු කප්පම් ගැනීමේ මුවාවෙන් යුද්ධයේ මුවාවෙන් මරා දැමීම අපරාධයක් නොවෙයිද? ඒවා ගැන නොසෙවිය යුතු ද? යුද්ධයක් තිබුණ හෝ නොතිබුණ රටක එවැනි දෙයක් ගැන සොයා බැලිය යුතු නැහැ කියල ඔබ මට යෝජනා කරනව ද? අන්න ඒ වගේ සිද්ධි ගැන වගකිව යුතු රජයක් වශයෙන් අපි බැඳී සිටිනවා. අපි මේවා තමයි පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණේ. අපේ ජයග්‍රහණය අපි සනිටුහන් කරගත්තේ මේවත් එක්ක. මෙවැනි ඒකාබද්ධ යෝජනාවකට අපි යනකොට මම ඊයේ මහින්ද සමරසිංහ මන්ත්‍රීතුමාට කතා කළා. එතුමා ජිනීවාවල ඉඳලා ඊයේ අැවිත් හිටියේ. එතුමා මට පැහිදිලිවම කිව්වේ එතුමා යෝජනා කරනවා කියලා ජනාධිපතිතුමාට එහෙම ජනාධිපතිතුමාගේ කණ්ඩායම කියලා වෙනම කණ්ඩායමක් හැඳින්වීම වැරදියි. ඒක රටක් වශයෙන් වැරදියි. මොකද එතුමා අවුරුදු 10ක් මෙවැනි ජිනීවා සමුළුවට ගිහින් යම් අවබෝධයක් තියෙන කෙනෙක් විදියට එතුමා පැහැදිලිවම කියන්නේ රජයේ යෝජනා සමඟ සිට ගත යුතුයි කියලා. ඒක තමයි රට ගැන හිතනවා නම් ආ යුතු ස්ථාවරය. අද අපේ මේ රජය නිසා අපට තිබුණ චෝදනා අඩුවෙලා අපට තියෙන දැඩි කොන්දේසි එකින් එක ලිහිල් කරගන්න පුළුවන් වුණා. එතකොට අපි ජාත්‍යන්තරයත් එක්ක යම් අවබෝධයකටත් එන්න වෙනවා. මුකුත්ම වුණේ නැහැ කියලා අපි කිව්වට ලෝකය එහෙම පිළිගන්නේ නෑ. එහෙම නම් යම් සාධාරණ වැඩපිළිවෙළකට අපිට ජාත්‍යන්තරයත් එක්ක යන්න වෙනවා.  


ප්‍රශ්නය:- යුද අපරාධ චෝදනා එල්ල කරමින් හිටපු නාවික හමුද‌ාපති කරන්නාගොඩ පවා කොටු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි කියන්නේ?  
පිළිතුර:- මොනවා වුණත් ඔහු වැරදිකරුවෙක් නොවෙයිද? ඔහුට ෆීලික්ස් පෙරේරා හිටපු ඇමැතිවරයා කියලා තිබියදීත් මෙහෙම ළමයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් රඳවා ගෙන ඉන්නවා කියලා තිබියදීත් ඇයි ඔහු ක්‍රියාමාර්ගයක් නොගත්තේ? එතුමා හොයලා බැලුවා මේක ඇත්ත ද කියලා. එතුමට අවබෝධ වුණා මේක ඇත්තක් කියලා. එතකොට මේ ළමයින් රඳවා තබා ගත්තේ මාගේම ශරීර භටයා බව දැන දැනත් ඔහු කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඔහුට දැනුම් දීලා පැය 48කට පස්සේ ඔවුන් ඝාතනය වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු උත්තර නොදිය යුතු ද? ඔහු රණවිරුවෙක් කියලා රණවිරුවොයි කියන්නේ මිනී මරුවොද? මිනීමරුවෙක් කියන්නේ රණවිරුවොද? මේ දෙක අපි වෙන්කර ගන්න ඕනෑ.  


ප්‍රශ්නය:- දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න. බටහිර බලවතුන් සතුටු කරන්න මේ රණවිරු දඩයම කරන බවටයි චෝදනා නැගෙන්නේ?  
පිළිතුර:- ඔය කතා බොරුනේ. මම අහන්නේ යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති මනුෂ්‍ය ඝාතන කිරීම හරි ද? චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ ක්‍රිෂාන්ති කියන දැරිය දූෂණය කරලා මරා දැම්මට පස්සේ ඒ සෙබළාට නීතිය ක්‍රියාත්මක වුණේ නැද්ද? ඒ වගේ තමයි මේකත්. ඒ නිසා තමයි යුද්ධය මෙහෙයවපු සරත් ෆොන්සේකා වගේ අයත් කියන්නේ කිසිම යුද භටයකුට යුද්ධයට මුවාවෙලා අපරාධ කරන්න බෑ කියලා.  


ප්‍රශ්නය:- අගමැති රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කිව්​ෙව ‘යුද්ධයේ අමිහිරි සිදුවීම් අමතක කරමු. සමාව දෙමු’ කියලයි. නමුත් ක්‍රියාත්මක වෙන්නේ වෙන දෙයක්?  
පිළිතුර:- නෑ පැරැණි සිදුවීම් කියන්නේ මෙවැනි තිරිසන් ක්‍රියා නොවෙයි. යුද්ධයේදී අප අතර සිදුවුණ දේවල් ඒක වෙනම කතාවක්. ඔව් ඒවා අමතක කරමු. සමාව දෙමු. නමුත් අපරාධකරුවන්ට දඬුවම් කරමු.  


ප්‍රශ්නය:- මත්පැන් බෝතලයක මිල ඉහළ යාම නිසා අඩුවට තියෙන කා​ෙල බෝතල් බොන්න පටන් අරන් තියෙනවා කියලා පුවත් පළ වුණා.  
පිළිතුර:- හරි අඩුවට තියෙන කාලෙ බෝතලය බොන එක හොඳයිනේ. සම්පූර්ණ බෝතලය බොන්නේ නැති එක. ඒක තමයි සෞඛ්‍ය ඇමැති හැටියට මම කැමැති. මොකද කාලයි නම් බොන්නේ තුන්කාලක් ඉතිරි වෙලා.  


ප්‍රශ්නය:- නමුත් කාලෙ බෝතලයෙ මිල අඩු හින්ද‌ා නොබොන අයත් බොන්න පෙලඹෙන්න පුළුවන්.  
පිළිතුර:- නෑ. නෑ. එහෙම වෙන්නේ නෑ. මම නම් කියන්නේ අර ගල් බෝතලයෙ මිලත් වැඩි කළා නම් තමයි හොඳ.  


ප්‍රශ්නය:- ඇයි ගල් ​අරක්කු බෝතලය බේරලා අනික් මත්පැන් මිල ඉහළ දැම්මේ?  
පිළිතුර:- ඒක මේ දුප්පත් පොහොසත් කතාවක් කියලනේ.  


ප්‍රශ්නය:- ඔබ ඒක පිළිගන්නවද?  
පිළිතුර:- මත්පැන් බීමට දුප්පත් පොහොසත් කතාවක් නෑ. සෞඛය පැත්තෙන් ගත්තොත් ඔය හැම මත්පැන් වර්ගයක්ම අහිතකරයි.  


ප්‍රශ්නය:- ගල් අරක්කු බෝතලේ මිල ඉහළ නොදැම්ම නිසා රටේ සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට හෘද සාක්ෂියට එකඟව ඔබට මේ අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පුළුවන්ද?  
පිළිතුර:- අනිත් ඒවා ඔක්කොමගේ මිල ඉහළ ද‌ාපු නිසා මට ඉතාම ආශාවෙන් මේ අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පුළුවන්.  

සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්