ජනාධිපතිතුමා ආරාධනා කළොත් ඇරෙන්න මම දේශපාලනයට එන්නෙ නෑ


ජනාධිපති සොහොයුරු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික, ඩඩ්ලි සිරිසේන   

 

මහජන මුදල් ගසාකමින් දූෂණය නාස්තිය සිදුකරන දේශපාලනඥයන්ට එරෙහිව තමන් පෙරමුණ ගෙන ක්‍රියාකරන බව ප්‍රධානපෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. මේ සඳහා දූෂණයෙන් තොර ඕනෑම අයෙකුට තමන් සමඟ එකතුවෙන ලෙස විවෘත ආරාධනයක් කරන බවද ඔහු සඳහන් කළේය. ‘‘ඉරිදා ලංකාදීප’’ සමඟ කළ සාකච්ඡාවකදී ඔහු එසේ ප්‍රකාශ කළේය  මෙවැනි දේශපාලනඥයන් පිළිබඳ ජනතාව විසින් ඉදිරි මැතිවරණවලදී පැහැදිලි තීරණයක් ගනු ඇති බවද්‍ ඔහු පැවසීය.  


ඉරිදා ලංකාදීපය සමඟ ඩඩ්ලි සිරිසේන මහතා කළ සාකච්ඡාවයි මේ. 

 

 

ප්‍රශ්නය - ඔබ ගැන සඳහන් කළහොත්?   


පිළිතුර - මගේ පියා දෙවැනි ​ෙලා්ක යුද්ධයේදී යුද හමුදා සොල්දාදුවෙක්. ඒ කාලයේ ඩී.එස්. සේනානායක මහතා පරාක්‍රම සමුද්‍ර ජනපද ව්‍යාපාරය යටතේ ජනපද 400ක් පමණ කළා. 292 වැනි ජනපදයේ තමයි මම ඉපදුනේ. පොළොන්නරුව රෝහලේ ඉපදුන කෙනෙක් මම. මගේ සොහොයුරු මෛත්‍රීපාල සිරි​ෙස්න මහතාත් මමත් අපේ අනිකුත් සහෝදරවරුන් සියලු දෙනාම ඉගෙන ගත්තේ පොළොන්නරුව ලක්ෂ උයන විද්‍යාලයේ. මූලික අධ්‍යාපනය ලැබූවේ අපි සියලු දෙනාම එම විද්‍යාලයේ. උසස් අධ්‍යාපනය සඳහා මගේ වැඩිමල් සොහොයුරු ​ෙමෙත්‍රීපාල සිරිසේන මහතා තෝපාවැව රාජකීය විද්‍යාලයට ඇතුළු වුණා. මම පලුගස්දමන සේවාගම කියන විද්‍යාලයට ඇතුළු වුණා. අපි ගමේ හැදුනු වැඩුනු ගමේ පාසලෙන් අධ්‍යාපනය ලබපු අය. මම 1980 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණා ගුවන් භටයෙක් වශයෙන්‍්. 1987 ගුවන් හමුදාවෙන් ඉවත් වුණා.   


මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සඳහන් කළොත් ගුවන් හමුදාවේ සේවය කළ කාලය සඳහන් කරන්න පුළුවන්. ඉන්පසුව මම ගුවන් හමුදාව තුළ සේවය කරද්දීම සුළු ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒක ලියාපදිංචි කළ ව්‍යාපාරයක් නෙවෙයි. ඒකට හේතුව ගුවන් හමුදාවේ සේවය කරන කාලය තුළ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව නැහැ. ඒ ව්‍යාපාරය සඳහා මගේ බාල සොහොයුරාගේ මිතුරන් දෙදෙනකු රුපියල් 75,000/- මුදලක් ලබා දුන්නා. කුඩාවට මම ආරම්භ කළ ව්‍යාපාරය තමයි අද මේ රටේ ප්‍රධාන ව්‍යාපාරයක් ලෙස ගෙන යන්නේ. මේ ව්‍යාපාරය තුළ තිබෙන විශේෂත්වය තමයි අනිකුත් ව්‍යාපාරිකයන් ගතහොත් එක්කෝ දෙමාපියන්ගෙන් ලැබුණු අරමුදල්වලින් නැතිනම් පරම්පරාවෙන් ලැබුණු මුදල්වෙන්න පුළුවන් නැතිනම් දෑවැද්දට ලැබුණු දෙයක් හෝ ලොතැරැයි ජයග්‍රහණයකින් ලැබුණු මුදලක් එ් ව්‍යාපාරයට යොදවන එක. නමුත් මට එහෙම දෙයක් නැහැ. මම ණයට ඉල්ලා ගත්ත රුපියල් 75,000න් තමයි ව්‍යාපාරය ආරම්භ කරලා අද මේ තත්ත්වය දක්වා ඉහළට ගොස් තිබෙන්නේ. ව්‍යාපාරික ලෝකයේ යම් යම් ස්ථාන ගැන ජනතාව කතා කරනවා මම අහලා තිබෙනවා. මම හිතනවා ව්‍යාපාරික ලෝකයේ ජනතාව අතර මට හොඳ තැනක් තිබෙනවා කියලා මම දන්නවා.   


ප්‍රශ්නය - පසුගිය දිනවල ඔබ ගැන මාධ්‍ය මගින් කතා කළා ඒකට හේතුවක් තිබෙනවාද?   


පිළිතුර - ඇත්තටම එදා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් මගින් මම කරන සත්කාර්ය විකාශනය වුණා. එ් වැඩපිළිවෙළ යටතේ ‘‘අරලිය’’ සමූහ ව්‍යාපාරයේ සේවකයන් 5000කට වැඩි සංඛ්‍යාවක් සේවය කරනවා. ඒ සියලු දෙනාගේම දරුවන්ට ජනවාරි 01වැනිදා පාසල් උපකරණ බෙදාදෙනවා. පාසල් සිසුන්ට අවශ්‍ය සියලු දේවල් ලබා දෙනවා. මේ වසරේ ජනවාරි 01 වැනිදාට ඊ​ට එහා ගිය වැඩපිළිවෙළක් අපි ක්‍රියාවට නැංවුවා. ඒක තමයි පැළ බෙදාදීමේ ව්‍යාපෘතිය. මේ රටේ පරිසරය රකින්න පරිසරයට ආදරය කරන්න ජනතාවට පුරුදු කරන්න අපි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා ජනාධිපතිතුමාගේ සංකල්පයක් වශයෙන්. මොකද එතුමා පරිසරයට හරි ආදරෙයි. මමත් පරිසරයට ආදරය කරන කෙනෙක් නිසා ජනතාවත් ඊට හුරුකරන්න තමයි ඒ වැඩපිළිවෙළ දියත් කළේ. අපේ රටේ සුළු පිරිසක් මේ පරිසරය විනාශ කරනවා. ඒක හරි කනගාටුවට කරුණක්. ජනතාව දැන ගන්න ඕනෑ පරිසරය නැතිනම් මානවයාගේ පැවැත්මක් නැහැ කියන එක. නමුත් ඊට පටහැණිව තමයි සුළු කොටසක් වැඩ කරන්නේ පරිසරය සම්බන්ධව ගතහොත් පැළ රෝපණය කිරීම වටිනාම දෙයක් ලෙස සලකලා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.   


එතනදී මම කතාවක් කළා. මේ රටේ සියලුම මාධ්‍යවලට ජනතා සේවයක් කරන්න පුළුවන්. මාධ්‍ය කිහිපයක් ව්‍යාපාර පැත්තට නැඹුරු වෙලා තිබෙනවා. ව්‍යාපාර පැත්තක් නැතුව මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න බැහැ. මිනිසුන්ට පැවැත්මක් ති​ෙබන්න ඕනෑ. ඒ කරන දේවල ප්‍රතිඵලයක් තිබෙන්න ඕනෑ. සෑම දෙයක්ම මධ්‍යම ප්‍රතිපදාව කියන එක රටේ අනාගතය වෙනුවෙන් දරු පරපුර වෙනුවෙන් ජීවත්වෙන මේ වර්තමාන තත්ත්වය යටතේ සමාජයේ තිබෙන දැවෙන ප්‍රශ්න ඒ සියලු දේවල් සංකලනය වුණු වැඩපිළිවෙළක් තමයි මාධ්‍ය තුළින් කෙරෙන්න ඕනෑ. නමුත් අපේ රටේ අවාසනාවකට මාධ්‍ය තුළින් ප්‍රචාරය වෙන්නේම පිළුණුවුණු දේශපාලනඥයන්ගේ දේශපාලන කතා විතරයි අහන්න දකින්න ලැබෙන්නේ. අපි මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. එදා ඒ වැඩසටහනේ මගේ සහෝදරයා ජනාධිපති වුණාට සහෝදරයා කරගෙන යන වැඩපිළිවෙළ තුළ වුණ අසාධාරණය එතුමාට වැඩකරන්න නොදීපු එක පිළිබඳව සහ එතුමාගේ ප්‍රතිපත්ති අනුව කරගෙන යන්න හදපු වැඩපිළිවෙළට විශේෂයෙන් දේශපාලන පක්ෂ වෙනත් සමාජ සංවිධාන බොහොම ලොකුවට නම් සඳහන් කරගන්න, දේශය අවදිකරන වගේ දේවල් කියන සංවිධාන ඒවගේ සමාජ එකතුවෙලා ඒ දීපු අභියෝග පිළිබඳව මම මේ රටේ ව්‍යාපාරිකයෙක් වශයෙන් කනගාටු වෙනවා. බොහෝ සංවිධාන තිබෙන්නේ දේශය කන සංවිධාන.   


ප්‍රශ්නය - ඔබ ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?   


පිළිතුර - එදා මම කළ කතාවෙන් පැහැදිලිව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය හෝ එම දිස්ත්‍රික්කයේ ආසනයක් ගන්න, බහුතර රටේ ප්‍රදේශයකින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න නොයෙක් යෝජනා ඉදිරිපත් වුණා. නමුත් දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් කවදා හෝ මගේ වැඩිමහල් සහෝදරයාගේ ආරාධනයක් යෝජනාවක් ඇතුව ඇරෙන්න මම දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් එතුමාට ශක්තියක් වෙන්න මම ළඟින්ම සිටිනවා.   


ප්‍රශ්නය - ඔබගේ වැඩිමහල් සහෝදරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගෙන් ආරාධනාවක් ලැබිලා තිබෙනවාද?   


පිළිතුර - තවම නැහැ. බලාපොරොත්තුවකුත් නැහැ. ලැබෙයි කියලා මම සිතන්නෙත් නැහැ.   


ප්‍රශ්නය - හදිසියේවත් ආරාධනාවක් ලැබුණොත් කොහොමද දේශපාලනයට එන්නේ?   


පිළිතුර - මට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ රටේ මම දැනට ජීවත්වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාර කටයුතු කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කය හෝ ගාල්ල වගේ ව්‍යාපාර කටයුතු කරන දිස්ත්‍රික්කවල සහ මම හිතනවා ලංකාවේ දිස්ත්‍රික්ක 25න් මම ස්වාධීනව තරග කළත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ විශ්වාසය අනිවාර්යයෙන් මම දිනනවා කියලා විශ්වාසයි. ස්වාධීනව ඉල්ලුවත් දිනනවා. ඊට කවුරු හරි අභි​ෙයා්ග කළොත් ඒ අභියෝගය බාරගන්න මම සූදානම්.   


ප්‍රශ්නය - වත්මන් දේශපාලනය පිළිබඳ ඔබ දකින්නේ ​ෙකාහොමද?   


පිළිතුර - වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කළහොත් 1948 නිදහස ලබලා අවුරුදු 70 ගණනක් වෙනවා. එදා ඉඳලා ​මේ රට පාලනය කරපු දේශපාලනඥයන් රැසක් සිටියා. මේ දේශපාලන නායකයන්ට අමතරව එවකට අගමැති, ජනාධිපති, කැබිනට් ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති, මහඇමැති, පළාත් සභා ඇමැතිවරු, සංස්ථා සභාපතිවරු, අධ්‍යක්ෂවරු, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මේ සෑම දෙයකම නායකත්වය දරණ අයට අමතරව උපදේශකයන් රැසකුත් සිටිනවා. මහජන මුදලින් නඩත්තු වෙනවා. ඒ ගණන කොපමණ සංඛ්‍යාවක් ද කියන්න බැහැ. අපි ආපසු හැරිලා බලපුවහම ඒ අවුරුදු 70 තුළම කරගෙන ආපු ​ෙද්ශපාලනය අනුව සේනානායක අගමැතිවරුන් යටතේ අඩුපහසුකම් යටතේ ජනතාව කරදරයක් ගැටලුවක් නැතුව ජීවත් වුණා. ඒ ක්‍රමවේද සියල්ලම වෙනස් කරලා 1970 පත්වුණු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක වුණානම් ලෝකයේ වැදගත්ම උසස්ම තැනක සිටින්නේ ​අපේ රටයි. නමුත් එතුමියට එය කරගෙන යන්න බැරිවුණා. මෙහි විශේෂම දේ තමයි අධ්‍යාපන ක්‍රමවේදය මාරු කළා. මාරු කරලා වැඩ 8 වැඩ 10ක් කළා. එ් දහයෙන් විශේෂම විෂය තමයි කෘෂිකර්මය සහ අත්වැඩ කියන විෂයන් දෙක. උදාහරණයක් ගතහොත් ලණු වියන ක්‍රමය පුරුදු වුණා. පොල් ලෙල්ල මඩේ පොඟවලා පල් කරලා ඒක තලලා කොහු අඹරලා ලණු හදලා ලණුවලින් පාපිසි හදලා ලණු වලින් කඹ හදලා ජනතාව අතර එ් කර්මාන්තය හඳුන්වලා දුන්නා.   


පාසල් විභාගවලට විෂයයන් 8 ක් තිබෙනවානේ. ඒ විෂයන් 8ට ඇතුළත් ජ්‍යාමිතිය සහ විද්‍යාව. මම ඒ විද්‍යාව සමත් වුණ නිසා ගුවන් හමුදාවේ කාර්මික අංශයට ඇතුළත් වුණා. එතකොට තිබුණ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කියලා. දැන් බලන්න ඒ විභාගය අසමත් වුණා කියලා උසස් පෙළ කරන්න බැරි කතාක් තිබෙනවා. මෙය තනිකරම දේශපාලන කරුණු කාරණා ඡන්දය ලබාගන්න තමයි මේ සෑම දෙයක්ම කරන්නේ. මේ කියන වෘත්තීය වශයෙන් තිබෙන පුහුණුව නැතිනම් කොතරම් අධ්‍යාපනය අතින් ඉහළ ගොස් තනතුරු ලැබුවත් කිසිම ප්‍රයෝජනයක් නැහැ.   


අද මේ රටේ සියලුම දේවල් පසුගිය සහ දැන් තිබෙන සියලුම රජයවල් ළමයින්ගේ අධ්‍යාපනය, ජන ජීවිතයේ දුප්පත්කම ආර්ථික තත්ත්වය ව්‍යාපාරිකයගේ තත්ත්වය සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ තත්ත්වය වගේ මේ සියලුම දේවල් දේශපාලන අරමුණු කරානේ මෙහෙය වන්නේ. ජනතාව වෙනුවෙන් මොකක්ද කරන්නේ. මම අභියෝග කරනවා ඕනෑම කෙනෙකුට මේ රටේ මගේ ව්‍යාපාර ලෝකයේ සුළුවෙන් ආරම්භ කළේ. අද ලෝකයම කතා කරන තත්ත්වයට මම ගෙනැවිත් තිබෙනවා. ලබන වසරේ කාමර 1000 ක් තිබෙන තරු පන්තියේ හෝටලයක තනි අයිතිකරු වෙනවා මේ රටේ මම. සහල් ව්‍යාපාරය මේ රටේ අංක එකට ගෙනැවිත් තිබෙනවා. මාර්ගවල ගල් අල්ලා අලංකාර කරන ව්‍යාපාරයේ අංක 1 ට මම ඇවිල්ලා තිබෙනවා. ප්‍රාදේශීය වශයෙන් කරන ව්‍යාපාරවල ප්‍රධානියෙක් ලෙස මම කටයුතු කරනවා. මම සාමාන්‍ය පෙළ විභාගය පාස්. නමුත් මම ලොකු උපාධි අරගෙන ව්‍යාපාර පටන් ගත්තේ නැහැ. නොදන්නා දෙයක් දන්න අයගෙන් අහලා දැනගන්නවා.   


විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් වූ ධම්මික පෙරේරා. ඒ මහතාගෙන් මම උපදෙස් අරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. අනික මම විශේෂයෙන් උපදෙස් ගන්නේ මගේ බාල සොහොයුරු කුමාරසිරි සිරිසේන මහතාගෙන්. ඔහු අපට වඩා හොඳ දැනුම් තේරුම් ඇති අයෙක්. උපදෙස් කියන්නේ සමහර තීන්දු අරගෙන තමයි මම සොහොයුරාගෙන් අහන්නේ. සමහර විට මම ගන්න තීරණ ඔහුත් අනුමත කරනවා. සමහර ඒවට මම එකඟ නැහැ. එහෙම සුහදත්වයෙන් තමයි ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන්නේ. මම අභියෝග කරනවා ඕනෑම කෙනෙකුට, මට කියනවා දේශපාලනයෙන් හම්බ කළා, නිදන් හෑරුවා එක එක දේවල් කියන අයට ඒවා ඔප්පු කරලා පෙන්නන්න. මේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න නිදහස තිබෙනවා. නමුත් බොහෝ ඒවා පදනම් රහිතයි. ජනතාවගේ මහජන මුදල් කොල්ලකාපු අයට බැහැ මගේ ගැන පරීක්ෂණයක් පවත්වන්න. ඒත් මහජනතාවට පුළුවන් මම අන්න එතන ඉන්නේ.


ප්‍රශ්නය - ඔබ සඳහන් කළා පළාත් 9කට රට කැඩෙන්න යනවා කියලා. එහෙම ප්‍රකාශයක් කළේ කුමක් පදනම් කරගෙනද?   


පිළිතුර - අනිවාර්යයෙන්ම මම එදා කළ කතාවේදී පෙන්වා දුන්නා අපේ රට කොච්චර වාසනාවන්ත රටක් ද කියලා. අපිට මොළයක් කල්පනාවක් නැතිනම් සාමාන්‍ය පෙළ සමත් වෙලා මෙතනට එන්න පුළුවන්ද? මෙතනට ආවට පස්සේ තමයි මගේ වැඩිමල් සහෝදරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලනය කරගෙන ජනාධිපති වුණේ. අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් අරගෙන නැහැ. අපි ජාතික දේශපාලනයට ආවේ මගේ සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාට පස්සේ. එතකම් අපි පොළොන්නරුවෙන් තමයි දේශපාලනය කළේ. මම ඊට පස්සේ තමයි දැනගත්තේ ජාතික දේශපාලනයට ආවට පස්සේ අපේ රටට තිබෙන විදේශ බලපෑම් මොනවද කියලා. විශේෂයෙන් මැතිවරණයකදී ලෝක දේශපාලන බලවතුන් මෙයට අත පොවලා මෙය විනාශ කරන හැටි මම දැනගත්තේ ඉන් පසුවයි. ඊට පස්සේ මම මේ පිළිබඳව විශාල වශයෙන් අධ්‍යයනය කළා. ඒක නිසා මේ රට තවත් ඇෆ්ගනිස්ථානයක්, සිරියාවක් සෝමාලියාවක්, ලිබියාවක්, ඉරාකයක්, යේමනයක් කරන්න දෙන්න බැහැ. ඒ රටවල් ගැන සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇසුවොත් කියන්නේ හරිම දුප්පත් රටවල් නේ කියලනේ. නමුත් ලෝකයේ වැඩිම ඛණිජ සම්පත් තිබෙන රටවල් තමයි ඔය රටවල්. ඇෆ්ගනිස්ථානයේ 30 දෙනෙක් මැරිලා තිබුණා. පසුගියදා රත්‍රන් පතලක් කඩා වැටිලා. නමුත් ඒ රටේ රත්‍රන් තිබෙනවා කියලා කීයෙන් කී දෙනාද දන්නේ. සෝමාලියාව ලෝකයෙන්ම වැඩිම දියමන්ති තිබෙන රට. නමුත් ඒ රටේ රජයක්වත් නොමැති තරම්.   
දැන් මාව ඝාතනය කළත් මේ දේවල් ප්‍රකාශ කරන්න ඕනෑ. මම සිතනවා ඉදිරියේදී එහෙම දේවලුත් වෙන්න පුළුවන්. මම සිටිය කාලය වැඩියි. ඉන්න තිබෙන කාලය අඩුයි. මගෙ මරණය වයසට ගිහිල්ලා හරි ඔය ලෙඩක් දුකක් හැදිලා මැරිලා යනවට වඩා ගෞරවනීයව එ්ක කරගන්න පුළුවන් නම් මාව ඝාතනය කරන අයට ස්තුති කරනවා හුස්ම යන්න ඉස්සර වෙලා.   


ප්‍රශ්නය - ඇයි ඔබ එහෙම කියන්නේ.   


පිළිතුර - දැන් බලන්න මේ සමාජයේ තෝරන්න පුළුවන් වඩාත් නිවැරදි මිනිස්සු මිසක් 100%ක් හොඳ මිනිස්සු සොයන්න බැහැ. ඔය කියන කාගේ කාගෙත් සුළුවෙන් හෝ කුමක් හෝ දෙයක් තිබෙනවා. මේ රටේ මෙන්ම ලෝකය ගත්තත් වඩාත් නිවැරදි මිනිස්සු අතරේ යම් තැනක මම ඉන්නවා කියලා මගේ විශ්වාසයක් තිබෙනවා. ඒනිසා මට බය නැතුව ඕනෑම දෙයක් කතාකරන්න පුළුවන්. ඕන දෙයක් මගෙන් අහන්න පුළුවන්. මම කෙළින් කතාකරන කෙනෙක්. වංචාව දූෂණය මගේ ගාව නැහැ. එයට විරුද්ධ වෙන නිසා තමයි මගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුණොත් එල්ලවෙන්නේ.   


ප්‍රශ්නය - කලින් සඳහන් කළ ආකාරයට රට කෑලි කෑලිවලට වෙන්වෙනවා කියපු එක නැවත පැහැදිලි කළොත්?   


පිළිතුර - ඒ ගැන සඳහන් කරනවානම් සියලු නැව් මාර්ග තිබෙන්නේ අපේ රට හරහායි. ෆෝක් සමුද්‍ර සන්ධියෙන් නාවික ගමන් මාර්ගය අවහිර වන නිසා මේ ලෝකයේ බලවතුන් වන චීනය, ජපානය, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව තිබෙන්නේ අපේ රටේ පිහිටීම අනුව දකුණු පැත්තට වෙන්න. රටට ඉහළින් තිබෙන්නේ මැදපෙරදිග රටවල්. ඒ රටවල තිබෙන්නේ ඛණිජ තෙල් ආකර, වම් පැත්තෙ තිබෙන්නේ ඇමරිකාව අප්‍රිකාව වගේ රටවල්. අපේ රට හරහා අපේ මුහුදු සීමාව හරහා නැතිව ඔය කියන රටවලට ගමන් කරන්න බැහැ. නාවික මාර්ගය පිහිටලා තිබෙන්නේ අපේ රට හරහායි.   


දැන් හම්බන්තොට චීනයට දුන්නා. ත්‍රිකුණාමලය දෙන්න හදනවා ඇමරිකාවට. කොළඹ සහ කන්කසන්තුරේ දෙන්න හදනවා ඉන්දියාවට. ප්‍රබලම බලවතුන් 3 දෙනාගේ බළකොටුවක් කරලා මේ රට කෑලි කෑලිවලට වෙන්කරලා. මම කලින් සඳහන් කළ රටවල් වගේ විනාශ කරලා කෑලි 9කට කඩලා සිංහල දෙමළ මුස්ලිම් අපි සහෝදර ජනතාව අවුරුදු ගණනාවක් සුහදව ජීවත් වුණේ අපිට නිදහස ලබන්න කලිනුත් ඔවුන් සමඟ සමගියෙන් ජීවත් වුණේ. නිදහස ලබලත් ඔවුන් එක්ක ඉන්නේ. ඔය ප්‍රභාකරනුත් පිටරට බලවතුන්ගේ ක්‍රියාකලාපයකට ඔය වගේ දෙයකට පෙලඹුණා මිසක් වෙන දෙයක් නොවෙයි එතන වුණේ. ත්‍රස්තවාදයේ ස්වභාවයෙන් මුල්‍ය ස්වභාවයෙන් වෙනත් මර්දනකාරී වැඩපිළිවෙළ තුළින් විශේෂයෙන් මත්ද්‍රව්‍ය රට තුළට ගෙනැවිත් තරුණ පිරිස විනාශ කරන අපට සිතාගන්න බැරි ක්‍රමවේද තුළින් අපේ රට විනාශ කරන වැඩපිළිවෙළක් රහසිගතව ක්‍රියාත්මක වෙනවා.   
ජාත්‍යන්තර නාවික මාර්ගය ගන්න ලෝකයේ කිසිම රටකට මේ සම්පත නැහැ. අපේ රට දියුණු කරන්න මේ සම්පතම ඇති නිසි ලෙස දියුණු කරලා ගත්තොත්. මේ සම්පත පිටරටවලට විකුණලා ඒගොල්ලන්ගේ වැසිකිළි සෝදන තත්ත්වයට අපේ අය පත්කරන්න හදන්නේ. ඒ තැනට ඉඩදෙන්න බැහැ. ඒක තමයි මේ කරන්න හදන්නේ. ඒකට කොහෙත්ම මම නම් ඉඩ දෙන්නේ නැහැ. මම එදත් සඳහන් කළේ ජීවිත පරිත්‍යාගයෙන් මේ දේවල් කරන්නේ කියලා. ඒක මම කරනවාමයි. මට හිටියත් ඇති. කොහොමත් මැරෙනවානේ.   


ප්‍රශ්නය - වත්මන් දේශපාලනය සහ ඔවුන් හැසිරෙන ආකාරය ගැන ඔබ දකින්නේ කොහොමද?

   
පිළිතුර - බොහෝ දෙනා සඳහන් කරනවා 2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ලබපු ජයග්‍රහණය ගැන. දැන් බලන්න අද එක්සත් ජාතික පක්ෂයේ බොහෝ උදවිය සඳහන් කරනවා අපි නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ කියලා. මම එක්සත් ජාතික පක්ෂයට මතක්කර දෙන්න කැමතියි 2010 ජනවාරි 26 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 58ක් ලබාගත්තා. 2010 දී සරත් ෆොන්සේකා මහතා ඡන්ද ලක්ෂ 42ක් ලබා ගත්තා. 2018 අප්‍රේල් 08 වැනිදා පැවැති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ 23ට පහත වැටුණා. ඒ ඡන්ද ලක්ෂ 23ට බැහැපු එක්සත් ජාතික පක්ෂය අපි සම්බන්ධ කරගෙන වසර 4කට පස්සේ ඡන්ද ලක්ෂ 63 දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතා ඔසවා තැබුවා. මහින්ද රාජපක්ෂ මහතා 2010 ගත්තෙත් ඡන්ද ලක්ෂ 58 යි. 2015 ගත්තෙත් ලක්ෂ 58 යි. ඔහුගේ ඡන්ද පදනම ඔහු තබා ගත්තා. ලක්ෂ 23ක් ලබාගත්ත එක්සත් ජාතික පක්ෂය මුල් කරගෙන අපි ලක්ෂ 63 දක්වා වැඩි කරගත්තා. මෛත්‍රීපාල මහත්තයා මේවා කියන්නේ නැහැ. මම සිරස නමා ආචාර කරනවා ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට නොවෙයි ඒ පක්ෂයේ නායකයෝ නැහැ. ඔවුන් කියන්නේ ඒගොල්ලෝ නිසා මෛත්‍රීපාල මහතා බලයට පත්වුණා කියලා. නමුත් මම වගකීමෙන් කියන්නේ මගේ සහෝදරයා නිසා තමයි එක්සත් ජාතික පක්ෂය ඔය තැනට ආවේ. ඒ ඇවිල්ලා අයියවත් විනාශ කරන වැඩපිළිවෙළක් තමයි ඔවුන් ක්‍රියාත්මක කළේ. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයක් රටේ ඇති වුණේ. මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන මේ දේ කරයි කියලා සිතනවාද? මෛත්‍රීපාල මහතාගේ දේශපාලන දැනුමට අභියෝග කරන්න කිසි කෙනෙකුට පුළුවන් කියලා මම සිතන්නේ නැහැ. මගේ සහෝදරයා නිසා කියනවා නොවෙයි.   


මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එතන දී ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සෑහෙන්න කැපකිරීමක් කළා. ඒක නිසයි මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරයා ලෙස තේරුණේ. විශේෂයෙන් මෙතනදී සඳහන් කරන්න ඕනෑ මහින්ද රාජපක්ෂ මහතා ඔහුට නියමිත කාලය තවත් තිබියදී තමයි ජනාධිපතිවරණය පැවැත්වූයේ. එතුමා මට බොහෝම උදව් උපකාර කළා. එතුමා බලයට පත්වෙලා ගමට කර්මාන්ත කියන ණය යෝජනා ක්‍රමයක් හදලා 200 දෙනෙකුට ඒ ණය දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. නමුත් එතුමා මේ රජය බාරගත්ත වෙලාවේ භාණ්ඩාගාරයට තිබුණ ශක්තිය ද මම දන්නේ නැහැ. පුද්ගලයන් 37 දෙනෙකුට පමණයි ණය දෙන්න හැකි වුණේ. ඒ 37 දෙනාගෙන් පළමු ණය ලබා දුන්නේ මට. ඒක මැරෙනතුරා මගේ හිතේ තිබෙනවා.   


මේ රටේ මේ පල් වුණු දේශපාලනය හරියට මීතොටමුල්ලේ කුණු කන්ද වගේ. මම ගියා ජර්මනිය ඇතුළු රටවල් කිහිපයකට. ඒ කුණු එකතු කරගෙන ඇවිල්ලා එක යන්ත්‍රයකට දමපුවම එය බෙදා වෙන් කරනවා. ප්ලාස්ටික් වෙනම වීදුරු වෙනම ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කළහම බරද්‍රව්‍ය ඈතට විසිවෙනවා. යකඩ කෑලි බෝතල් ප්ලාස්ටික් ඈතට විසි වුණාම එතනින් ඒවා වෙන්කරලා ප්‍රතිචක්‍රීය කරනවා. කුණු වශයෙන් වෙන් කෙරෙන ටික ඉතුරු වෙනවා. එයින් විදුලිය නිපද වෙනවා. එක්කෝ පොහොර නිපදවනවා.   
ලංකාවේ පළාත් සභා පාර්ලිමේන්තු ප්‍රාදේශීය සභා අන්න ඒ වගේ කුණු ස්ප්‍රිං කරනවා වගේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් දාලා කරකවලා තිබෙන්නේ. මේක මේ වසර ගණනාවක් කුණු වෙච්ච කුණු ගොඩක් මේ දේශපාලනය කියන්නේ. මේකේ හොඳ මිනිස්සුන් ඉන්නවා. මම අපේ අම්මට පින් දෙනවා අම්මා දීපු කිරිවල හයියෙන් තමයි මගේ වැඩිමහල් සහෝදරයා මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 4ක් ඇතුළත රට පිරිසිදු කරන්න ගත්ත එකට. කොහොම වුණත් වසර 5 වෙද්දී සම්පූර්ණයෙන්ම සුද්ද වෙනවා. මොකද මේ රටේ ජනතාව තීන්දු කරනවා ඊළඟ මැතිවරණයේදී කාටද ඡන්දය දිය යුත්තේ කියලා. එක එක දේවල් දුන්නට ඡන්දය ගන්න බැහැ. හොරකම් කළේ කවුද වැඩ කරන්නේ කවුද? පාර්ලිමේන්තුවේ නිදාගන්නේ කවුද? වෙන වෙන දේවල් කරන්නේ කවුද? පෞද්ගලික දේවල් කරගන්නේ කවුද කියලා ජනතාව දන්නවා. ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ඔවුන් තීරණය කරයි.   


ඒත් මෙහෙම දෙයක් තිබෙනවා. දැන් අද බලන්න රාජ්‍ය සේවයේ නිලධාරීන් ගන්න. බහුතරයක් අල්ලස්වලට විශේෂයෙන් පොලිසිය මුළු පොලිස් දෙපාර්තමේන්තුවම නොවෙයි ඉතා සුළු පිරිසක් අල්ලස්වලට අහුවෙනවා. මොකක්ද මෙතන වෙන්නේ? මම ව්‍යාපාරිකයෙක් තව අය නොයෙක් නොයෙක් කටයුතුවල නිරතවෙනවා.  


තවත් අය දේශපාලනය කරන අය. අපි මෙහෙම වෙන්වෙන් වශයෙන් විවිධ වෘත්තියවල නිරත වුණාම අපේ දරු සෙනෙහස ගත්තම ඒ ඒ තරාතිරම්වල අයට දරු සෙනෙහස වෙනස් වෙනවාද? නැහැනේ. දරු සෙනෙහස ඕනෑම තනතුරකට එකයි. සෑම දෙමාපියෙක්ම දරුවට විතරක් නොවෙයි තමුන්ගේ බිරිඳ දෙමාපියන් හොඳ තත්ත්වයේ පවත්වාගෙන යන්න මහා සටනක්නේ උදේ සිට හවස් වෙන තුරු කරන්නේ.   


දැන් ඔය පොලිස් නිලධාරියෙකුගේ වැටුප බලන්නකෝ 28,000ක් වගේ ගණනක් ලැබෙන්නේ. මම නම් කියන්නේ මමත් සිටිය හමුදා සෙබළෙක් හැටියට අඩුගානේ ඔවුනට තුන් වේල කෑම කන්න මොකක් හරි දීමනාවක් එක්කෝ සලාකයක් දෙන්න ඕනෑ. ඒක දෙන්න පුළුවන් රාජ්‍ය සේවකයන්ට හොරකම් නොකරන මට්ටමේ වැටුපක් ගෙවන්න ඕනෑ එතකොට වැටුප ගෙවන ගමන් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනෑ. එහෙම නැතුව බෑ මේක නවත්වන්න. පොලිස් නිලධාරියෙක් රුපියල් 3000ක් අල්ලස් ගත්තා කියලා වසර 8ක් හිරේට දැම්මා. එතකොට මහ බැංකුවේ බිලියන ගණන් මුදල් ගත්ත අයට සදාකාලිකව පරම්පරාවම සිරගත කරන්න ඕනෑ. පගාවයි හොරකමයි කියන්නේ දෙකක්. පගාවට වසර 8ක් හිරේ දැම්මත් හොරකමට වසර 15 ක් වෙන්න ඕනෑ.   


ප්‍රශ්නය - ඔබගේ ඉදිරි දේශපාලන පරමාර්ථය කොහොමද?   


පිළිතුර - අපි කලින් සඳහන් කළා වගේ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ කාලයේ විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. පරාක්‍රම සමුදාය, ගල්ඔය වගේ ව්‍යාපාර එතකොට සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් මහවැලියේ මුල් අදියර ක්‍රියාත්මක වුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ යෝධ සංවර්ධන වැඩකොටසක් කළා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයෙත් එහෙමයි. ඒ වගේමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයෙත්. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයෙත් විවිධ සංවර්ධන කාර්යයන් කෙරුණා. ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. ඒක ඇතැම් අය වැරදි විදිහට පාවිච්චි කළා. දැන් බලන්න අද තාක්ෂණය ගතහොත් කීයෙන් කී දෙනා ද හරි විදියට පාවිච්චි කරන්නේ. ඕනෑ දෙයක දෙපැත්තක් තිබෙනවා. මේ සෑම නායකයෙක් තුළම ඒ ඒ කාර්ය පිළිබඳව මහන්සිවෙලා කාර්යයන් පිළිබඳව අපේ කිසිම තර්කයක් නැහැ. ඒ පිළිබඳ අපි ගෞරව කරනවා. කිසිම නායකයෙක් මේ වැඩ කටයුතු කරද්දී රටේ විනය රටේ පරිසරය රටේ ගුණාත්මකභාවය විදේශ රටවල සබඳතා තිබිය යුතු ක්‍රම පිළිබඳ කිසිම නායකයෙක් අවධානය යොමු කළා කියලා මම සිතන්නේ නැහැ. විෂයක් නැතිනම් ක්‍රමයක් නැතිනම් විනාශයක් වෙනවා නම් ඒ මොනවා කළත් වැඩක් නැහැ. ඒක හරිආකාරව කරන්න බිහිවූ එකම නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා. එතුමාට මේ වැඩපිළිවෙළ කරගෙන යන්න දුන්නේම නැහැ. ඒක නිසා අපි ඒ පිළිබඳ බොහෝම පැහැදිලි තීන්දුවක් අරගෙන ඉදිරියේදී ජනතාව මේ පිළිබඳ දැනුවත් කරලා එතුමාගේ ඒ කරගෙන ආ වැඩපිළිවෙළ කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ශක්තිය අවශ්‍ය විදිහට සංවිධානය කිරීම තමයි මගේ මූලික දේශපාලන පරමාර්ථය වෙන්නේ. ඒක කරන්න මම කලින් සඳහන් කළ ආකාරයට කුණු ටික වෙන්කර හඳුනා ගන්න ඕනෑ. එතුමා ඒක කරලා තිබෙනවා. පරිසරය පැත්තෙන් ඉතාම තදබල නීතිරීති ගෙනැවිත් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයන් එතුමාව ජනාධිපති කරවීම සඳහා ගත් මහන්සියට ගරුත්වයට කළගුණ සැලකීමක් වශයෙන් හැකි සෑම උත්සාහයක්ම ගත්තා මේ ආණ්ඩුව සමඟ එකතු වෙලා. මහින්ද රාජපක්ෂ මහතාව අයින් කළේ හොරා කියලා. ඒත් මේ ගොල්ලො අපේ ඇඳිවත එළිපිටම ගලවලා දැම්මා. ඒකයි සත්‍ය කතාව. ඒක නිසා එතුමාට ශක්තියක් වෙන්න, එතුමාට සහයෝගයක් දෙන්න රට පිළිබඳ හැඟීමක් තිබෙන ඒකට ඉදිරි ඕනෑම මැතිවරණයකදී ඒකට සුපිරිසිදු තමුන්ට තේරෙන, හොඳයි කියලා සිතන අන්න ඒ විදියේ කණ්ඩායමක් එවන්න ආදරණීය ජනතාවගෙන් දෙපා නැමද ඉල්ලා සිටිනවා. මෝඩ තීන්දු ගන්නා අයගෙන් මම ඉල්ලීමක් කරනවා කාටවත් චෝදනා කරන්න එපා තමුන්ට තමුන්ම චෝදනා කරගන්න. රටක් පාලනය කරද්දී නිවසක් පාලනය කරද්දී ආයතනයක් පාලනය කරද්දී ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ද්වේශයත් එක්ක ගියොත් කිසිම පාලනයක් හරියන්නේ නැහැ. 

 

 

 

 

සාකච්ඡා කළේ - නිශාන්ත කුමාර බණ්ඩාර   
ඡායාරූප - අලෙක්සැන්ඩර් බාලසූරිය