ජනවාරි 8 අපට සැපයි


‘ආණ්ඩුව ජනවාරි 8 ට යා යුතුයි’ ජනවාරි 8 වෙනස වෙනුවෙන් වෙහෙසුණු අදත් ඒ වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ සාධාරණය සඳහා වූ ජාතික ව්‍යාපාර​ෙය් කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පවසති. ඒ ඇයි? මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි. 

 

ප්‍රශ්නය:- පුරවැසි බලය හා ඔබවහන්සේ ආණ්ඩුවට නිතරම කියනවා ‘ජනවාරි 8 එකඟතාවලට යන්න’ කියලා. මොනවද මේ ජනවාරි 8 එකඟතා?  
පිළිතුර:- මෙහෙමයි. ජනවාරි 8 කියන්නේ තිබුණ ආණ්ඩුව හා ජනාධිපතිවරයාව ඉවත් කරන්න පළමුවැනි පියවර ගත්ත දවස, එතකොට හිටපු ජනාධිපතිවරයාව ඉවත් කරන්න ගත්තු හේතු ටික සලකා බලා තමයි අපි කියන්නේ ජනවාරි 8 ට යන්න කියලා.  

 


ප්‍රශ්නය:- මොනවද ඒ හේතු?  
පිළිතුර:- හේතු තමයි. විශේෂයෙන්ම මේ දවස්වලට අදාළව තියෙන කාරණයක් ගත්තත් ජනවාරි 8ට පෙර තිබුණ කියලා. බොදුබල සේනා වගේ සංවිධාන බැහැලා තවත් සංවිධාන කිහිපයක් මැදිහත් වෙලා මුස්ලිම් ජනතාවට එරෙහිව වූ ප්‍රයෝගික ක්‍රියාකාරකම්වල යෙදුණා. කඩ ගිනි තැබීම් දර්ගා නගරය, අලුත්ගම නගරය වගේ සිද්ධි පෙන්වන්න පුළුවන්.   


අමාත්‍යාංශවලට පනිද්දි ඉතා අශීලාචාර විදියට හැසිරෙද්දී ඒ කාලයේ තිබුණු ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත්තේ නෑ. ඒවා ආරක්ෂා              කරන ස්ථාවරයක තමයි හිටියේ. ආණ්ඩුවේ ස්ථාවරයත් ඒකම බව තමයි කියන අදහස ආවා අපි කාටත්. ඒක තමයි හිටපු ජනාධිපතිවරයා ඉවත් කරන්න අපට බලපාපු එක් ප්‍රධාන හේතුවක්. නැවත තිස් අවුරුදු යුද්ධයකට සිංහළ හා මුස්ලිම් ජනයා යන එක වලක්වා ගතයුතුව තිබුණා. උතුරේ හා නැගෙනහිර තිස් අවුරුදු යුද්ධයක් තිබුණා.  බොහොම අමාරුවෙන් තමයි කවුරුත් මැදිහත් වෙලා අපිත් මැදිහත්වෙලා. හිටපු ජනාධිපතිතුමත් මැදිහත් වෙලා ඒක ඉවර කරගත්තේ. ආපහු නැවත වෙනත් එකක් පටලවාගන්න හදනවද කියන කාරණයත් එක්ක තමයි අපි ඒක දැක්කේ. එහෙම තැනකට යන්න ඕනැ නෑ කියන අදහසට ඇවිල්ලා අපි එයාව ඉවත් කළා. ඒක ප්‍රධානම කාරණයක්.  


 ඊට අමතරව හොරකම, වංචාව, දූෂණයට අදාළව කතා ගොඩක් තිබුණා. ඕව එක්කත් ගියා. ඊට අමතරව මාධ්‍ය නිදහස, නිදහස, මානව හිමිකම්, යහපාලනය නෑ කියන ඒවා ඊට අතිරේකව තිබුණ ඒවා. නමුත් මේ කාර්ය ප්‍රධාන එකක්. දැන් අපි ආපහු ජනවාරි 8 ට යමු කියලා කියන්නේ දැනුත් මුස්ලිම් විරෝධයක් හදාගෙන රට පුරා ජාතිවාදය අවුස්සන ගතිලක්ෂණ පහළ වෙමින් තියෙනවා.  

 


ප්‍රශ්නය:- ජනවාරි 8 ට කලින් මුස්ලිම් විරෝධයට ආණ්ඩුවේ ආශිර්වාදය තිබුණා කියලා ඔබවහන්සේ කිව්වා. එතකොට මේ ආණ්ඩුවත් අද තියෙන වැඩේට ආශිර්වාද කරනවා කියලා ඔබවහන්සේ හිතනවද?  
පිළිතුර:- ඔව්. ඒක තමයි එහෙමද කියන සැකය ආපු නිසා තමයි ජනවාරි 8 ට ආපහු යං කියලා කියන්න්නේ. ජනවාරි 8 හිටපු ස්ථාවරය හොඳයිනේ. ජාතිවාදයට එරෙහි වූ ස්ථාවරයකනේ අපි හිටියේ. නමුත් ආපහු මේවා ඇතිවීමෙන් පේනවා. අත්අඩංගුවට ගන්න කියලා කිව්වම අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්නකොට ඒවා දිගින් දිගට වෙනකොට රජයක් හැටියට ඒවට ප්‍රතිචාර දැක්විය යුතුයි කියන ස්ථාවරයේ අපි කවුරුත් ඉන්නවා. ඒවායේ උපාය මාර්ග හා අවස්ථාචෝචිත තත්ත්වයන් බැලීම ගැනත් අපේ විරෝධයක් නැහැ. නමුත් රජයක් හැටියට ඒ ස්ථාවරය දක්වන්න ඕන කියලයි අපි කියන්නේ. ඉතින් ඔබ අහන ප්‍රශ්නයට ඔව් එහෙමද කියලා සැකයක් අපට තියෙනවා. ජනවාරි 8  ස්ථාවරය ගත්තොත් ජාතිවාදයට එරෙහි ස්ථාවරයකින් මේ ආණ්ඩුව ආවේ. ආණ්ඩුවේ පැවැත්ම තීරණය වෙන්නෙත් ඒ ස්ථාවරය දිගටම පවත්වා ගෙන යාමෙන්. ජාතික සමගිය කියන එක දිගටම පවත්වාගෙන යාමෙන්. ජාතික සමගියෙන් පිට පැන්නා කියන්නේ ජනවාරි 8 න් පිටපැන්නා කියන එකයි.  

 


ප්‍රශ්නය:- ඔබවහන්සේලාට දැන් ආණ්ඩුවෙන් ලැබිලා තියෙන ප්‍රතිචාරය කොහොමද?  
පිළිතුර:- මාධ්‍ය හමුවක් කැඳවලා අපි මේක කිව්වට පස්සේ යම් සාධනීය තත්ත්වයක් දැන් දක්නට ලැබෙනවා.  

 


ප්‍රශ්නය:- ඒ කොහොමද?  
පිළිතුර:- අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දියත් වෙමින් තිබෙනවා. මුස්ලිම් පල්ලිවලට ගහන එකේ අඩුවක් පේන්න තියෙනවා. සමාජය තුළත් අපි හදපු මතය වැඩ කරමින් තිබෙන බවක් පේනවා. අගමැතිවරයා, ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරලා තියෙනවා තමන්ගේ ස්ථාවරය. ලොකු වෙනසක් ඒ හරහා ඇතිවෙලා තියෙනවා කියලා පේනවා.  

 


ප්‍රශ්නය:- ජාතිවාදය අවුස්සල හදිසි නීතිය පනවලා ඒ හරහා ඡන්ද කල් දමා ගැනීමේ උස්සාහයක මේ ආණ්ඩුව ඉන්නවා කියලත් චෝදනාවක් තියෙනවා.  
පිළිතුර:- ඔව්. ඉතින් එහෙම වෙනවා නම් ජනවාරි 8 න් පිට පැනීමක්. යහපාලනය නැහැ කියලනේ ඒ කියන්නේ. මැතිවරණ පැවැත්වීම යහපාලනයක ලක්ෂණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. ජනවාරි 8 ට කලින් ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නෑ කියලා තමයි අපි කිව්වේ. ඉතින් මේ ආණ්ඩුවත් ඒකම කරන්න හදනවා නම් ඒ කියන්නේ ජනවාරි 8 න් පිට පැනීමක්.  

 


ප්‍රශ්නය:- ඔබ වහන්සේටත් ඒ සැකය තියෙනවා?  
පිළතුර:- නෑ. එහෙම හිතන්න අමාරුයි. ජාතිවාදය ඇති කිරීම ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කළාම ජනාධිපතිතුමත් එක්ක අපි කතා කළා. අගමැතිතුමත් එක්ක කතා කළා. පොලිස්පතිතුමත් එක්ක කතා කළා. හිටපු ජනාධිපතිනිය එක්කත් කතා කළා. මේ දවස් කිහිපය ඇතුළත අපි ඔය ඔක්කොම එක්ක කතා කළා.  

 


ප්‍රශ්නය:- ප්‍රතිඵලයක් තියෙනවාද?  
පිළිතුර:- ඒ අයගේ ස්ථාවරය අපි දැනගත්තා. මේ සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන උපාය උපක්‍රම සමතුලිත බව රැකගනිමින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වන ආකාරය. තවත් ගැටුමකට යන්නේ නැතිව කොහොමද? මේක ‘හැන්ඩ්ල්’ කරන්නේ. ඒවා ඔක්කොම අපි දැනගත්තා.  

 


ප්‍රශ්නය:- එහෙම දැනගත්තයි කියලා?  
පිළිතුර:- එහෙම දැන ගත්තම ඒක පහසුයිනේද? දැන් මුස්ලිම් කඩවලට ගහන එක නතරවෙලා තියෙනවා. ඒවා මෙහෙයවපු අය හැංගෙනවා. ඔවුන් පසුබාමින් ඉන්න බවකුත් පේනවා. ඒ අනුව අපට පේනවා ආණ්ඩුව මේකට උල්පන්දම් ​ෙදන්නේ නෑ. මේ ආණ්ඩුව එහෙම කරන ආණ්ඩුවක් ​ෙනවෙයි කියලත් දැන් අපිට තහවුරු වෙලා තියෙනවා දැනට. එ් නිසා හදිසි නීතිය ගේන්න, ඡන්ද කල්දාන්න ආණ්ඩුව මේ වගේ එකක් පාවිච්චි කරන්නෙ නෑ කියලා පැහැදිලියි.  

 


 ප්‍රශ්නය:- ඔබවහන්සේ සමග එකම වේදිකාවේ ඉන්න ඇතැම් ප්‍රකාශකයන් කියනවා ‘අපට තිබුණෙ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම විතරයි’ කියලා. ඔබවහන්සේටත් එහෙමද?  
පිළිතුර:- ඔව් ඉතින් මෙහෙමයි. මහින්ද රාජපක්ෂ පරාජය කිරීම කියන එක අපට තේරැම් ගන්න වෙන්නේ සංකේතාත්මකවනේ. මහින්ද නමැති පුද්ගලයා සම්බන්ධයෙන් අපට කිසිම ප්‍රශ්නයක් නෑනේ පෞද්ගලිකව. පුද්ගලයෙක් ගැන නොවෙයි එතැන කියන්නේ. මහින්ද සංස්කෘතිය කියලා එකක් තිබුණනේ. මහින්ද සංස්කෘතියේ ලක්ෂණ තමයි යහපාලනය නොතිබීම. අර අපි හැමදාම කියන ටික. ඒවා තිබුණේ නෑ. ඕවා තිබු​ෙණ් නැති නිසානේ ඡන්ද ලක්ෂ 62 කින් ඒ මහින්ද සංස්කෘතිය පරාජය කළේ. මං හිතනවා ඒක වැරදීමක්වත් පසුතැවීමටම හේතුවක් වත් නොවෙයි. ඒක හරි එදා ඉතාම නිවැරැදි තීන්දුවක් ගත්තා ඒ සංස්කෘතිය අපට එපා කියලා. අපට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා පරාජය කිරීමේ අවශ්‍යතාවක් නෑ. පුද්ගල ප්‍රශ්නයක් නොවෙයි තිබුණේ. අපට ප්‍රශ්නය තිබුණේ ඒ සංස්කෘතිය සම්බන්ධයෙන්.   

 


ප්‍රශ්නය:- ඥානසාර හාමුදුරුවන් අත්අඩංගුවට ගත යුතුයි කියලා ඔබවහන්සේ හිතනවද?  
පිළිතුර:- මෙහෙමයි. ඥානසාර කියන පුද්ගලයා ගැන නෙ​වෙයි මම මේ කියන්නේ. මේක පුද්ගලයකුට කොටුකරන්න එපා. මේක ඥානසාරද? කාදිනල්තුමාද? ලෙබ්බෙ කෙනෙක්ද? පූසාරි කෙනෙක්ද? අගමැතිවරයෙක්ද? ඇමැතිවරයෙක්ද? මාධ්‍යවේදියෙක්ද? ගැහැණියෙක්ද? පිරිමියෙක්ද? එහෙම එකක් නොවෙයි. එහෙම පුද්ගලවාදීව බලන්න හොඳ නෑ ඔය වගේ කාරණාවකදී. සම්පූර්ණයෙන්ම බලන්න ඕනෑ හරිම මධ්‍යස්ථවයි.  

 


 ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ  
පිළිතුර:- ඔව්. රටේ ගින්නක් ඇතිවන විදියට... විශේෂයෙන්ම ජාතිය හා ආගම පදනම් කරගෙන කවුරුහරි ගිනි අවුළුවන්න හදනවා නම් එයාව නීතියට යටත් කරන්න ඕනෑ. ඒ කියන්නේ අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.  

 


 ප්‍රශ්නය:- ඥානසාර හිමියන්ට අදාළව ඔබවහන්සේ සතු ස්ථාවරය මුස්ලිම් සාමජයයෙන් හා දෙමළ සමාජයෙන් මතුවන ජාතිවාදී ප්‍රකාශවලට වලංගු වෙන්නෙ නෑ වගෙයි.  
පිළිතුර:- නෑ... එහෙම එකක් නෑ. නමුත් අපි දකින්නේ නෑනේ මුස්ලිම්වරුන්ගෙන් හෝ දෙමළ අයගෙන් මේ මෑත ඉතිහාසයේ බෞද්ධ පන්සල්වලට ගහනවා හෝ ගහමු කියලා වීදි බහිනවා හෝ රැස්වීම් තියනවා හෝ උද්ඝෝෂණ කරනවා කියලා මෑත ඉතිහාසයේ අපි දැකලා නෑ.  

 


ප්‍රශ්නය:- නමුත් උදාහරණ දෙන්න පුළුවන්?  
පිළිතුර:- මෙහෙමයි. විග්නේෂ්වරන් හා සිවාජිලිංගම් කියන එක්කෙනාත් රාවුෆ් හකීම් කියන එක්කෙනත් ඔන්න ඔය තුන්දෙනා පිළිබඳව අපට තියෙනවා ඔවුන් සමහර තැන්වලදී කරපු ප්‍රකාශ. අපි ඒ වෙලාවෙම ඒවට විරෝධය පළ කරලා තියෙනවා. මාධ්‍ය හමුවේදීත් මම කිව්වා. ‘දෙමල නමින් තියෙන සංවිධාන තහනම් කරන්න ඕනෑ කියලා. ඒ කියන්නේ සංවිධානය නොවෙයි තහනම් කරන්නේ. තහනම් කරන්න ඕනෑ ඒවට දාලා තියෙන නම්. ජාතිකත්වය හෝ ආගමිකත්වය මතුවෙන නම්වලින් දේශපාලන පක්ෂ හෝ සංවිධාන කිසිවක් තියෙන්න බෑ. ඒවා ව්‍යවස්ථාවෙන්ම තහනම් කරන්න ඕනෑ.  

 


ප්‍රශ්නය:- එතකොට ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය?  
 පිළිතුර:- අනිවාර්යයෙන්ම ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රස් තහනම් කරන්න ඕනෑ. ඒක තමයි පොදු අර්ථය. ඒක විග්නේෂ්වරන්ද, හකීම්ද, අතාවුල්ලාද, චම්පික රණවකද කියන එක නොවෙයි වැදගත්. සකලවිධ ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට එරෙහිව බඳින වැට කඩොල්ලක් හැටියට අපි ඒක දකින්න ඕනෑ. ඒකත් මධ්‍යස්ථ විදියට කරන්න ඕනෑ.  

 


ප්‍රශ්නය:- ඔබවහන්සේලා යහපාලනය ගැන කතා කරනවා. ඒත් ඡන්ද තියන්නේ නෑ. පළාත් පාලන ඡන්දය අවුරුදු දෙකක් තිස්සේ නෑ. ඕවා යහපාලනයට වලංගුද?  
පිළිතුර:- මෙහෙමයි. හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට අලුත් ඡන්ද ක්‍රමයක් ගැන අදහසක් ගෙනල්ලා දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ නායකත්වයෙන් අලුත් ඡන්ද ක්‍රමය යට​ෙත් පළාත් පාලන ඡන්දය තියන්න ඕනෑ කියලා තියෙනවා. ඒකට සියලු පක්ෂ එකඟ වෙලා තියෙනවා. ඒකට දැන් ක්‍රමවේද හදලා තියෙනවා. මනාප ක්‍රම නැති. මුළු දිස්ත්‍රික්කයම ආවරණය කරලා විශාල වියදමක් දරලා ඡන්දෙ කරන්නේ නැති ඒ දෙකම මිශ්‍ර කරපු සාධාරණයි කියලා දැන් කවුරුත් පිළිගත්ත ක්‍රමවේදයකට දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ඒකට අදාළව පළාත් පාලන පනත සංශෝධනය කරන්න ඕනෑ. දැන් මේක අලුත් තත්ත්වයක්නේ. ඒ පනත සංශෝධනය කිරීමයි දැන් තියෙන්නේ. ඒවා ඉක්මනට කරගන්න ඕනැ. ප්‍රශ්නය:- අද කැබිනට් එකේ විෂයන් බෙදන හැටි දැක්කම මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එහෙම ඔහොම වුණා නම් ඔබවහන්සේ සමග ඉන්න පිරිස් මරාගෙන මැරෙන්න තිබුණා?  
පිළිතුර:- ඔය කියන එක ඇත්ත. ආරක්ෂක අමාත්‍යාංශයට නාගරික සංවර්ධන අධිකාරිය ඒකතු කළා ඒ කාලයේ. මොකක්ද ගැලපීම කියලා අහන්න තිබුණා. නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ ඔය නගරවල වැඩ ටිකක් කරන එක. ආරක්ෂක අමාත්‍යංශය කියන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. ඒකේ ගැලපීමක් තිබුණේ නැහැ. නමුත් ඒකේ යෝග්‍යතාව බැලුවත් හොඳයි. අපි එහෙම පටු වශයෙන් හිතන්න අවශ්‍ය නෑ. ඒ විෂයන් අදාළ අයට පැවරුවාට පස්​ෙස් විෂයන් වෙනම කෙරෙන්නේ කොහොමත්. ඒ ගැන අපි එච්චර කලබල වෙන්න අවශ්‍ය නෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයට ජනමාධ්‍ය දුන්නා කියලා ප්‍රශ්නයක් නෑනේ.  

 


ප්‍රශ්නය:- විදේශ ඇමැතිට ලොතරැයි දීම?  
පිළිතුර:- ප්‍රශ්නයක් නෑනේ. ‘ඕල්රවුන්ඩ්ස්ලා’ ඉන්න පුළුවන් ඕනෑම එකක. දැන් ගෝඨාභය රාජපක්ෂ ගත්තාම යුද්ධයට අදාලව ආරක්ෂක ලේකම් වුණේ පරිපාලන විභාගය පාස්වෙලා නොවෙයිනේ. හිටපු ජනාධිපතිවරයා එයාව පත් කළා. ඒකට අදාළව රිසල්ට් එකක් ආවා. ඒක ප්‍රශ්නයක් වුණේ නැහැනේ. ඒක හරියට ගැලපිලා ගිය නිසා යුද්ධය දිනුවා. මානුෂික මෙහෙයුමක් හැටියට ඒක සමාප්ත කළා.


ඊට පස්සේ කරපු දේවල් නිසා තමයි ප්‍රශ්න ඇති වුණේ. අමාත්‍යාංශ වෙන් කිරීම ජනාධිපතිවරයා සතු කාර්යභාරයක්. ඔහු ඒක කල්පනා කරලා සුදුසුකම් මත කරලා තියෙනවා. මම හිතනවා ඒකට අපි කාටවත් ඇඟිලි ගහන්න බෑ. රිසල්ට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ අපි හිතාගෙන ඉන්න අයට වඩා අත්දැකීම් තියෙන අයට යම් යම් අංශ බාර දුන්නාම විමතිය දනවන ප්‍රතිඵල ගෙනත් දෙනවා. ආණ්ඩුවේ සංයුතිය ගත්තත් ඉතිහාසයක් පුරා විරසක කම් තිබුණ පක්ෂ දෙකක් යම් එකඟතාවකට ඇවිත් තියෙනවා. එහෙම එනකොට යම් කැපවීම්, බෙදා හදා ගැනීම්, විරෝධතා, සිත් අමනාපවීම් ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. විපක්ෂයේ අය මේක රජයේ දුර්වලතාවයක් හැටියට දැකලා විවේචනය කරනවා. ඒක ඉතින් විපක්ෂයේ දේශපාලනයනේ.  

 


ප්‍රශ්නය:- ජනවාරි 8 වෙනසට අදාළව ඔබවහන්සේලා අතර යම් ලිඛිත එකඟතාවක් තිබුණා?  
 පිළිතුර:- ඔව්. අනිවාර්යෙන්ම. සංවිධාන 49 ක් එකතුවෙලා ගෙනාවා අදහසක් සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ නායකත්වය යටතේ එතැන එක ලේඛනයක් තියෙනවා. ඊළඟට ඔය පක්ෂ ඔක්කොම එකතු වෙලා එකඟ වෙච්ච ගිවිසුමක් තියෙනවා. ඒවා ඔක්කොම යහපාලනය සඳහා වූ එකඟතා.  

 


ප්‍රශ්නය:- එසේ ප්‍රකාශයට පත්වූ ගිවිසුම්වලට අමතරව අප්‍රකාශිත ගිවිසුම් තියෙනවද?  
පිළිතුර:- මම දැනුවත්ව නැහැ.  

 


ප්‍රශ්නය:- නොදැනුවත්ව?  
පිළිතුර:- ප්‍රායෝගිකව නම් එහෙම දෙයක් නෑ. එහෙම තියෙනවා නම් දැන් ඒවා වැඩ කරන්න එපැයි. මොනවා හරි රහසිගත ව්‍යාපෘති තියෙනවා නම් එළියෙ​ෙන් ක්‍රියාත්මක කළ යුත්​ෙත්. රහසිගතව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති මට තාම අහුවෙලා නෑ.  

 


ප්‍රශ්නය:- දෙමළ සන්ධානය, උතුරේ දේශපාලන පක්ෂ කියනවා ජනවාරි 8 පෙ​ාරොන්දු ඉටු කරන්න කියලා. මොනවද ඒ පොරොන්දු?  
පිළිතුර:- එහෙම කියනවා. අපිත් කියනවනේ කියනවා කරන්න කියලා. කියපුවා කරමුකෝ කියලනේ අපි කියන්නේ. ඒවත් එහෙම තමයි.  

 


ප්‍රශ්නය:- දඹර අමිල හාමුදුරුවෝ ජවිපෙන් බිඳුණේ ඇයි?  
පිළිතුර:- මම කවදාවත් ජවිපෙ සාමාජිකයෙක් වෙලා හිටියේ නෑ. මම හිතන්නේ ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්තුමාගෙන් ඇහුවා නම් හරිම උත්තරේ ලැබෙයි. අමිල හාමුදුරුවෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් වෙලා හිටියද කියලා. මම කවදාවත් ජවිපෙ සාමාජිකයෙක් වෙලා හිටියේ නෑ. ඒ වගේම කිසිම පක්ෂයක මම සාමාජිකයෙක් වෙලා දැනුත් නැහැ. නමුත් මට අවශ්‍ය වෙලාවෙදි ඒ තීරණය ගත්තා. 2009 දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවේ හිටියේ. නමුත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවෙයි. ඔහුව ජනාධිපති කළා අපි. 2010 දී ජෙනරල් සරත් ෆොන්සේකාට මැදිහත් වුණා. නමුත් මම ජෙනරාල්ගේ පක්ෂයේ කෙනෙක් නෙවේ.

 


ප්‍රශ්නය:- 2009 දීත් 2010 දීත් ඒ තීන්දුවලට යන්​ෙන් ජවිපෙ තීන්දුව ඒක වීම නිසා?  
පිළිතුර:- එහෙම නම් 2015 දී මෛත්‍රීපාලට සහාය දෙන්න ජවිපෙ තීරණය කළේ නෑ.  

 


ප්‍රශ්නය:- ඒක තමයි මම ඇහුවේ ජවිපෙන් බිඳුණේ ඇයි?  
පිළිතුර:- එතැනදී නොවෙයි එතැනදී කතාවක් නෑ. ඒක මම දකින තත්ත්වයත් එක්කයි තීරණය වෙන්නේ. දැන් ජවිපෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධයි. නමුත් මම පක්ෂයි. මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂයි. ඒ ම​ෙග් හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන නිසා.  

 


ප්‍රශ්නය:- විමල් වීරවංශ ජවිපෙන් ඉවත් වෙනකොට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ විමල්​ෙග් තැන ගන්නේ ඔබවහන්සේයි?  
පිළිතුර:- අනිවාර්යයෙන්ම. ඇයි මොකද හේතුව කාර්යභාරය අවසන් නොවී තිබුණ නිසා. ඒක අවසන් කරන්න නම් අනිවාර්යයෙන්ම ඒ සංවිධානය අවශ්‍යයි. නමුත් අද අවශ්‍ය නෑ. අද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය අවශ්‍ය නෑ. මානෙල් මල් ව්‍යාපාර අවශ්‍ය නෑ. අද ඒ වගේ ඒවා කිසිවක් අවශ්‍ය නෑ. ඊට වඩා අද අවශ්‍ය කරන්නේ යම්කිසි සංහිඳියාවක් ගොඩනගන වැඩපිළිවෙලක්.  

 


ප්‍රශ්නය:- ජනවාරි 8 වෙනස දැන් සැපද කියලා ඇහුවොත්?  
පිළිතුර:- ඔව්. සියයට වැඩි ප්‍රමාණයකින් සැපයි. තවත් අවුරුදු දෙක හමාරක් විතර තියෙනවා. ඉතුරු සැප ටික ගන්න. ඒ අවුරුදු දෙක හමාර තුළ ඒ සැපත් අපි ගන්නවා.  

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්