ජනබලවේගය යනඑන මං නැති දේශපාලකයන්ට ලගින්න තැනක් නොවෙයි


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා   

ජනාධිපතිවරණයට දින නියම වී ඇති පසුබිමක ඉදිරි දේශපාලන වාතාවරණය කෙසේ උණුසුම් වේදැයි මේ කතාබහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟයි.

ඔන්න ජනාධිපතිවරණයට දිනත් නියම වුණා.   


අපි කල් ඇතුවම ජනාධිපතිවරණයට සූදානම් වුණා. අපි මීට කලින් උත්සාහයක් දැරුවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒත් ඒක අනිත් දේශපාලන පක්ෂ සැලකිල්ලට ගත්තේ නෑ. ඒක නිසා අපි තීන්දු කළා ජනාධිපතිවරණයට තරග කරන්න. ඒ තීරණය මත අපි ගොඩනගපු ජාතික ජන බලවේගය මේ වෙනකොටත් වැඩ ආරම්භ කරලා තියෙන්නේ.   


අපේ අපේක්ෂකයා විදියට අනුර දිසානායක සහෝදරයා නම් කළා. දැන් අපි සටනට සූදානම්. රටටත් ජනතාවටත් ජයග්‍රහණයන් ගේන්න පුළුවන්. වැඩපිළිවෙළත් එක්ක අපි ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණ දෙනවා.   


සමහර පක්ෂවල අපේක්ෂකයො තාම නම් කරලත් නෑ. සටන කොයි වගේ උණුසුමක් ගනීවිද?   


ඇතැම් පක්ෂවලින් තාමත් අපේක්ෂකයෙක් නම් කරගන්න බැරිවීම කියාපාන්නේ ඒ පක්ෂවල ඇතිවෙලා තියෙන බල අරගලය. එක්සත් ජාතික පක්ෂයේ තමයි ලොකුම බල අරගලය මේ මොහොතේ පවතින්නේ. දැන් ඒක තුන්කොන් සටනක් බවට පත්වෙලා.   


අනිත් පැත්තෙන් මහින්ද රාජපක්ෂලා ගෝඨාභය අපේක්ෂකයා බවට නම් කළාට ඒ කඳවුර තුළත් ආරවුල් තියෙනවා. තාමත් මහින්ද රාජපක්ෂ තමයි ඉස්සරහින් යන්නේ. එතනත් සීතල යුද්ධයක් තියෙන්නේ. 

 
මේ හැම අතරෙ ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් සංවිධාන එකතුවෙලා හදාගත්තු ජාතික ජන බලවේගය පෙරමුණේම ඉන්නවා. අපි ගෝල්​ෙෆ්ස් එකේ පවත්වපු රැළියත් එක්ක විශාල පිබිදීමක් රටේ ඇති වුණා. ඒ අතින් අපිට වාසිදායක තත්ත්වයක් තියෙනවා. රටේ ජනතාව බුද්ධිමත්ව නිවැරැදි තීන්දුවක් ගත්තොත් රටට ජයග්‍රහණයක් තියෙනවා.   


කතානායකතුමත් දැන් තරග බිමට බැහැලා.   


ඒක කරු ජයසූරිය මහත්තයගෙ අයිතිය. ඒකට අපිට මුකුත් කියන්න බෑ. ඒත් ඒකෙනුත් පෙන්නුම් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ තරම. පක්ෂයට එකමුතුකමින් සාමුහික තීරණයක් අරගෙන අපේක්ෂකයෝ නම් කරගන්න බෑ. මෙහෙම අය තමයි රට ගොඩනගන්න කියලා එන්නේ.   


එක්සත් ජාතික පක්ෂයේ බල අරගලයේ තරම කියාපාන තවත් අවස්ථාවක් තමයි මේ. දැන් එක එක්කෙනා කිය කිය යනවා මම ජනාධිපතිවරණයට එනවා කියලා.   


රනිල් වික්‍රමසිංහ මහත්තයා තාම වචනයක් කියලා නෑ මේ කවුරුවත් ගැන. පොදු එකඟතාවයකින් අපේක්ෂකයෙක් තෝරල පත් කරගන්න බැරි මේ අය කොහොමද සාමුහික මැතිවරණ කැම්පේන් එකක් කරන්නේ. මේ අය කොහොමද බලය ගන්නේ.   

 

අපි ආදර්ශයෙන් පෙන්නලා තියෙනවා අපි පරිසරය විනාශ නොකරන පිරිසක් කියලා.   අපි රැස්වීමක් පැවැත්වුවත් පා ගමනක් ගියත් ඒ කිසි තැනක කොළ කෑල්ලක්වත් බිම ඉතුරු නොකර ඒ තැන් පිරිසුදු කරල යන පිරිසක්. දැන් ඔය පෝස්ටර් කටවුට් ගහන්නෙ නෑ කියලා කියාගෙන ආපු අයගෙ කටවුට් පෝස්ටර් නැද්ද පාර පුරවලා.

 


දයාසිරි ජයසේකර කියලා තිබුණා යූඑන්පීයට හා පොදුජන පෙරමුණට බැහැරව විකල්ප තැනක් විදියට ඒ අයට එකතුවෙන්න ජාතික ජන බලවේගය හොඳ තැනක් වගේ අදහසක්. විජිත හේරත් ඒගැන කොළ එළියක් පත්තු කරලා තිබුණා. එකතු කරගන්නවද මේ එන අය?   


ඒ තැන්වල අවුල් හදාගෙන ඒවා බේරුම් කරගන්න බැරිවෙලා අන්තිම තුරුම්පුව විදියට නවාතැන් ගන්න ජාතික ජන බලවේගය හොඳ තැනක් කියල හිතන අයට නම් මෙතන තැනක් නෑ. ඒත් ඔය පක්ෂවල ඉන්න චෝදනාවලට ලක් වෙච්ච නැති ප්‍රගතිශීලී අදහස් තියෙන අයට ජාතික ජන බලවේගය තෝරගන්න ඕන නම් අපි ඒ ගැන සලකා බලන්න සූදානම්.   


එහෙම අපි ආරාධනා කරනවා. මේ මජර ක්‍රමය පරාජය කරන්න තමන් මෙතෙක් කටයුතු කරපු පක්ෂවලින් වෙනස් ප්‍රගතිශීලී කඳවුරක් විදියට ජාතික ජනබලවේගය එක්ක එකතු වෙන්න කියලා. ඒත් යන එනමං නැති දේශපාලන අනාථයින්ට ලගින්න තැනක් නැතුව ලතවෙන අයට සුදුසු තැනක් නෙවෙයි ජාතික ජන බලවේගය! මේක රටට ජයග්‍රහණ ගෙන එන්න වෙහෙසෙන මිනිස්සුන්ගේ කඳවුර මිසක් එහෙට මෙහෙට පැනල තනතුරක් ගන්න බලාගෙන කටයුතු කරන ආත්මාර්ථකාමී දේශපාලකයින්ගෙ කඳවුරක් නෙවෙයි. 

 
මහින්ද රාජපක්ෂ යුගයේ කටවුට් පෝස්ටර් ගැහිල්ල ගැන විවේචන එල්ල කරපු ඔබල අද ප්‍රසිද්ධියෙම කියනවා ඔව් අපි කටවුට් පෝස්ටර් ගහනවා තමයි කියලා.   


මුලින්ම කියන්න ඕන ඔය සම්බන්ධව සමාජ මාධ්‍යවල වැරැදි වීඩියෝ එකක් ප්‍රචාරය වෙනවා ලාල් කාන්ත සහෝදරය කරපු කතාවක කොටස් විකෘති කරපු..අපි කොතනකවත් එවැනි දෙයක් කියල නෑ.   


ලාල් කාන්ත සහෝදරයා පහුගියදා වෘත්තිය සමිති සාමාජිකයන්ගෙ එකමුතුවෙන් පැවැති සමුළුවෙදි කරපු කතාවක තැනින් තැන කොටස් පූට්ටු කරල කරපු වීඩියෝ එකක තමයි ඔය වැරැදි අදහස තියෙන්​ෙන්. ඒ කොහොම වුණත් අපි ආදර්ශයෙන් පෙන්නලා තියෙනවා අපි පරිසරය විනාශ නොකරන පිරිසක් කියලා.   


අපි රැස්වීමක් පැවැත්වුවත් පා ගමනක් ගියත් ඒ කිසි තැනක කොළ කෑල්ලක්වත් බිම ඉතුරු නොකර ඒ තැන් පිරිසුදු කරල යන පිරිසක්. දැන් ඔය පෝස්ටර් කටවුට් ගහන්නෙ නෑ කියලා කියාගෙන ආපු අයගෙ කටවුට් පෝස්ටර් නැද්ද පාර පුරවලා. වැඩිපුර තියෙන්නේ ඒ අයගෙ කටවුට් පෝස්ටර්. මහරගම ගෝඨාභයට සහාය පළ කරලා ගහපු තොරණක් බිමට කඩාගෙන වැටිලා. කීප දෙනෙක් තුවාල වෙලා. ඒ ගැන කතා කරන්නෙවත් නෑ කවුරුවත්. අපි ඒ වගේ වැඩ කරන්නෙ නෑ. සියලු රූපවාහිනි චැනල් අල්ලගෙන තමන්ගෙ ප්‍රචාරණ කටයුතු දැනටත් කරගෙනයන අය කියනවා ඒ ගොල්ලො පෝස්ටර් කටවුට් ගහන්නේ නැතිලු. එහෙම කිය කිය ඒකම කරනවා. අපිටත් ටී වී චැනල් දෙක තුනක් තියෙනව නම් අපිත් පෝස්ටර් ගහන්නෙ නැතුව කැම්පේන් එක කරනවා.   


පෙරටුගාමි පක්ෂයෙන් දුමින්ද නාගමුවත් ජනාධිපති තරගෙට ඇවිත්. වමේ ඡන්ද කැඩෙන එක ජාතික ජන බලවේගයේ අපේක්ෂකයට අවාසියක් නේද?   


සුදුසුකම් තියෙන ඕන කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බාධාවක් නෑ. අපිට ඡන්ද කීපයක් හෝ අහිමි වෙනව නම් ඒක පාඩුවක් තමයි. ඒත් අපිට ඒ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. එක එක්කෙනා මේ ඡන්දයට ඉදිරිපත්වීමේ අරමුණු තියෙනවා. 

 
අපි ඉදිරිපත්වෙලා තියෙන්නේ දිනන්න. තව සමහරු වෙන වෙන අරමුණුවලින් ඉදිරිපත්වෙලා ඇති. ඒක ඒ තරම් සැලකිය යුතු දෙයක් නෙවෙයි.   


හදන්නෙ පැනලා මැරෙන්නද කියලා ඔබ අහපු නෙළුම් කුලුන අන්න ඕපන් කළා.   


මම කියපු කතාව විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා සනාථ කළා ඔහුගේ කතාවෙන්. දැන් ඒ කියපු චෝදනා ඔප්පු වුණොත් ඒක තමයි කරන්න වෙන්නේ. ජනාධිපති මේ වංචාව ගැන හෙළිදරව් කළේ වගකීමක් ඇතුව කියලා අපි හිතනවා. ඒක ගැන වහාම විමර්ශනය කළ යුතුයි. ඒ වගකීම තියෙන්නෙත් ජනාධිපතිවරයාට තමයි. මේ තරම් මුදලක් වංචා කිරීම සමාව දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි.   


අපි රටේ ඉදිකිරීම් සිදු කරනවට විරුද්ධ නෑ. ඒත් ණයට දුවන රටක් බොරු සංදර්ශන කරන්න කෝටි ගණන් වියදම් කිරීම අනුමත කරන්න බෑ.   


රට සංවර්ධනය කරල ඒ අභිමානය පෙන්නන්න මේ වගේ දෙයක් ඉදිකළා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් තමන්ගෙ නම ගහගන්න රටම ණයකරලා කරපු මේ සංදර්ශන අපේ වගේ රටකට උහුලන්න අමාරුයි. දැන් පේනවනෙ ඒකෙනුත් ගහපු ගැහිල්ල. මම එදා කියපු දේ ජනාධිපතිතුමා අද සනාථ කළා.   

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි