ජනපතිවරණයට තරග කරන්න නොවෙයි තරගය දිනවන්න මම සූදානම්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති  
බැසිල් රෝහණ රාජපක්ෂ

පොහොට්ටුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද? ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග මේ කතාබහ. ඒ මාතෘකාව සමග වෙනත් දේශපාලන මාතෘකා සම්බන්ධයෙනි.  


ප්‍රශ්නය:- පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කළත් ඒ ජයග්‍රහණය රට තුළ පේන්න නැහැ.  


පිළිතුර:- රට තුළ පේන්න නම් ඇත්තටම රටේ පාලනයේ වෙනසක් විය යුතුයි. නමුත් ජයග්‍රහණ පොකුරක් ඒ හරහා රටට ලැබිලා තියෙනවා.  


ප්‍රශ්නය:- මොනවද ඒ?  


පිළිතුර:- පළමුවැනි ජයග්‍රහණය තමයි ජනතා නියෝජිතයන් නැතිව අවුරුදු තුනක් විතර තිබුණු ගමේ සභා ජනතා නියෝජිතයන්ගේ පාලනයට යටත් වෙලා තියෙනවා. මේ ගංවතුර උවදුර වෙලාවෙත් අපේ ගමේ නියෝජිතයෝ උදේ රෑ වෙනසක් නැතිව ඒ පීඩාවට පත්වෙච්ච මිනිස්සු වෙනුවෙන් කැප වෙලා සේවය කරනවා. අපේ පක්ෂ මූලස්ථානයේ කණ්ඩායමකුත් ඒ ඒ ප්‍රදේශවලට යවලා තියෙන්නේ අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න. නමුත් මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. අපේ කාලේ ලබා දුන්නු බෝට්ටු හරි විදියට නඩත්තු කරලා නැති නිසා ඒවා දැන් පාවිච්චියට ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ ප්‍රශ්නත් විසඳගෙන අපේ නියෝජිතයෝ බැහැලා වැඩ. ඒ නිසා ඒ පළාත් පාලන ඡන්දයෙන් අපි ලබන ජයග්‍රහණය හරහා අර ඔබ කියපු රටේ ජයග්‍රහණයට අවශ්‍ය මාවත සකස් කරගන්න පුළුවන් වුණා.  


ප්‍රශ්නය:- පොහොට්ටුව දිනුවත් සමහර සභාවල බලය පොහොට්ටුවට තියාගන්න බැරි වුණා. ඔබ තමයි ඒ කටයුතු සම්බන්ධිකරණය කළේ?  


පිළිතුර:- ඒක ඇත්තටම ඡන්ද ක්‍රමයෙ ප්‍රශ්නයක් නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. 2012 දිනේෂ් ගුණවර්ධන කමිටුවෙන් සියලු පක්ෂ එකතුවෙලා කරපු පනත විකෘති කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. මේ ක්‍රමයෙ හොඳ ලක්ෂණ තමයි තමන්ගේ ගමට නිශ්චිතවම නියෝජිතයෙක් ලැබීම දෙවැනි එක තමයි මනාප පොරය නැති වුණා. පක්ෂ අභ්‍යන්තරයෙ ඇණ කොටා ගැනීම් නතර වුණා. තුන්වැනි හොඳ දෙය තමයි සමානුපාතික ක්‍රමය අනුවත් හැම ඡන්දයක්ම නියෝජනය වන විදියට යම්කිසි නියෝජනත්වයක් ලැබීම. මේ ආණ්ඩුව ඇවිල්ලා මේක වෙනස් කළා. ඒ වෙනස් කරපු එකේ එක හොඳ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම. ඒක හොඳ ලක්ෂණයක්.  


ප්‍රශ්නය:- ඇයි ඔබලාගේ කාලයේදී කාන්තාවන් අමතක වුණේ?  


පිළිතුර:- නෑ. නෑ. අමතක වුණා නොවෙයි. අපි කරන්න හැදුවා. නමුත් එදා ඒකට විරුද්ධ වෙච්ච පිරිස් මේ වෙලාවේ නිහඬව ඉඳීම නිසා ඒ අවස්ථාව ලැබුණා. ඒක තමයි මේ ආණ්ඩුවෙන් කරපු හොඳ දේ. හැබැයි අනික් ඔක්කොම මේ අය විකෘති කළා. ඒ නිසා තමයි ඔය ඔබ කියන දේ වුණේ. අපිට බලය ගන්න පුළුවන්කම තිබුණ පළාත් පාලන ආයතන 20 ක් අපිට අහිමි වුණා. ඒ වගේම අපට බහුතර බලය නොතිබුණ ආයතන පහක් විතර අපට ලැබුණා. ගාල්ල, බදුල්ල, සීතාවක නගර සභාව වගේම මීගමුවත්, හම්බන්තොට නගර සභාව අපට ලැබුණා. හැබැයි අපි හදපු පනතේ එක්තරා තැනක තියෙනවා. සියට 50 ක් හෝ එයට වඩා වැඩියෙන් නියෝජිතයන් ආව නම් බලය දිය යුතුයි කියලා. ඉතින් මේ ඡන්ද ක්‍රමයෙ විකෘතිය ගැන හැම පක්ෂයක්ම දැන් තේරුම් අරගෙන තියෙනවා.  


ප්‍රශ්නය:- පළාත් සභා තුනක් විසුරුවා හැරලා තියෙනවා. තවත් පළාත් සභා තුනක් සැප්තැම්බරයේදී විසුරුවන්න තියෙනවා. නමුත් පළාත් සභා ඡන්දය පේන තෙක් මානයක වත් නෑ. පොහොට්ටුව මොනවද කරන්නේ?  


පිළිතුර:- අපිට පළාත් පාලන ඡන්දයත් දුන්නේ නැහැ. මහින්ද ජනාධිපතිතුමා වගේ නිසි කලට හෝ නිසි කලටත් කලින් ඡන්ද පැවැත්වීමේ සම්ප්‍රදාය නැති කරලා මැතිවරණ කල් දැමීමේ සම්ප්‍රදාය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ජේ.ආර්. මැතිවරණ සිතියම අකුළනවා කියන එක මේ ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලා විතරක් නොවෙයි සිතියම ගිනිත් තියලයි තියෙන්නේ. ප්‍රාදේශීය සභා ඡන්දය ගන්න අපට අවුරුදු තුනක් ගියා. පළාත් සභා ඒතරම් කල් යන එකක් නෑ. මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි ඒක ලබාගන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා අප ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ දැඩි සටනක් කරනවා. ඊට අමතරව මහජනයා දැනුම්වත් කරනවා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමග කතා කරනවා. මැතිවරණ කොමිසම් සභාව එක්ක අපි නිතරම සම්බන්ධ වෙනවා. අධිකරණය මාර්ගයෙන් අපි සමහර සහන ලබාගෙන තියෙනවා. ඒ නිසා කෙසේ හෝ අපි මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා මැතිවරණය ලබා ගන්නවා.  


ප්‍රශ්නය:- ඒ මැතිවරණයට ඔබ යන්නේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය හැටියටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියටද? එහෙම නැත්නම් දෙකම එකතු කළ සන්ධානයක් හැටියටද?  


පිළිතුර:- පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. පළාත් සභා මන්ත්‍රී සංසදය ළඟදීම රැස් කරලා. ඔවුන්​ෙග් අදහස් විමසන්න ළඟදීමම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සෙ අපේ පක්ෂය සමගත්‍ ඊට පස්සෙ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්න දේශපාලන පක්ෂත් එක්කත් කතා කරලා පොදු තීන්දුවකට එන්න බලාපොරොත්තු වෙනවා.  


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනාවක් ආවොත් ඔවුන් සමග සන්ධානගත වෙන්න කියලා?  


පිළිතුර:- අපෙන් තමයි ආරාධනය යන්න ඕනෑ. මොකද මහ මුහුදට ගංගාවල් එකතු වෙනවා මිසක් ගංගාවට මහ මුහුද ආවොත් ඒක සුනාමියක් වෙනවනේ. ඒක මහා නස්පැත්තියක් වෙනවා.  


ප්‍රශ්නය:- ඒ තරම්ම අධි තක්සේරුවක්?  


පිළිතුර:- නෑ. නෑ. අධි තක්සේරුවක් නොවෙයි. මේ රටේ ප්‍රධානම දේශපාලන දහරාව දැන් අපි. ඡන්දවලින් ලක්ෂ 50 ක් අපට ඉන්නවා. ලංකාව පුරාම නියෝජනය වන වැඩිම මහජන නියෝජිතයන් ඉන්නේ අපිට. ඒක 3900 ක්. කොට්ඨාස තුන්දහස් තුන්සිය ගානක් දිනපු එකම පක්ෂය. ඔය ඔබ කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනලා තියෙන්නේ ලංකාවෙන්ම කොට්ඨාස 200 යි. අද පළාත් සභාවල විසුරවපු ඒවායෙහි විසුරුවන්න තියෙන ඒවායෙයි වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් ඉන්​ෙන් අපිට. අපි දැන් ක්‍රමයෙන් පාර්ලිමේන්තුව තුළත් අපේ නියෝජිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනවා. ඡන්දයෙන් පත්වෙච්ච මහජන නියෝජිතයන් ඉන්නේ අපේ පක්ෂයට.  


ප්‍රශ්නය:- එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන්න ඔබ බලාපොරොත්තු වෙනවද?  


පිළිතුර:- අපි ගිය ඡන්දෙදිත් එකතු වෙමු කියලා කිව්වා. ඒ ආරාධනාව පිළි අරගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො විශාල පිරිසක් අපිට ඡන්දය දුන්නා. හැබැයි ඒ අය ඔක්කොම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ ශක්තිමත් වීම ගැන ඔබ කතා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 16 දෙනෙක් විපක්ෂයට ආවා. හැබැයි එහෙම එනවට ඔබ ඒ තරම් කැමැත්තක් නෑ.

  
පිළිතුර:- නෑ. නෑ. මගේ ලොකු මනාපයක් තියෙනවා එහෙම ආවම.  


ප්‍රශ්නය:- එහෙම නම් ගෝලයන් දම්මලා ඔවුන්ට ‘සංචාරක කුරුල්ලන්’ කියලා පරිභව කෙරෙව්වේ?  


පිළිතුර:- කවද‌ාවත්ම නෑ. මම එහෙම දෙයක් දන්නෙත් නෑ. නමුත් මෙතැන මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවනේ. ‘ආවයි’ කියලා කිව්වට කොහොම ආවද කියලා දන්නේ නැහැනේ. අද පාර්ලිමේන්තුව තුළ බැලුවොත් ආණ්ඩු පක්ෂයක් තියෙනවා. විපක්ෂයක් තියෙනවා. එතකොට විපක්ෂය ගත්තම විපක්ෂ නායකයා අයවැයේදීත් පක්ෂව ඡන්දය දෙනවා. අගමැතිවරයට එරෙහිව විශ්වාසභංගය ආවට ඒකට විරුද්ධව ඡන්දය දෙනවා. ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහත්තයත් ආණ්ඩුවේ මතයට තමයි වැඩිපුරම බර. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන් පත්වීම් ගත්ත පුද්ගලයෙක්. නිල වශයෙන් කැබිනට් පත්‍රිකාවකින් අගමැතිවරයගේ යෝජනාවකින් කැබිනට් එකෙන් පත්වීමක් ලබපු කෙනෙක්. දැන් ඒකේ තත්ත්වය කොහොමද කියලා කියන්න මම දන්නේ නෑ. නමුත් එහෙම එක්කෙනෙක්. හැබැයි ඒ අයත් විපක්ෂයේ. ඊට අමතරව ඉන්නවා ඒකාබද්ධ විපක්ෂය. ඒකාබද්ධ විපක්ෂය හැටියට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ‍ නායකත්වයෙන් ඉන්න කණ්ඩායම තමයි අද විපක්ෂයෙ සැබෑ කාර්ය භාරය කරන්නේ. එතකොට විශ්වාසභංගයෙදී ඒකට පක්ෂව ඡන්දය දීපු දහසය දෙනෙක් තමන්ගේ තනතුරු අත හැරලා විපක්ෂයට ඇවිත් තියෙනවා. ඊළඟට ඔවුන් තීන්දු කරන්න ඕනෑ විපක්ෂයට ඇවිත් විපක්ෂයේ ඉන්න අර මම මුලින් කියපු කණ්ඩායම් දෙකෙන් කොයි කණ්ඩායම ද තෝරා ගන්නේ කියලා. ඒ ප්‍රශ්නය තමයි මතුවුණේ.  


ප්‍රශ්නය:- ඔවුන් කිව්වේ ‘අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපේ නායකයා ජනාධිපති මෛත්‍රි කියලයි.  


පිළිතුර:- ඔව්. නමුත් ඔවුන් අද වෙනකොට තීරණය කරල තියෙනවා ඔවුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය පිළිගන්නවා කියලා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක තමයි කටයුතු කරන්නේ කියලා.  


ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් ආපු දහසය දෙනා පිළිගන්න ඔබේ පාර්ශ්වය දක්වපු අකමැත්ත නිසා තවත් එන්න හිටපු පිරිසක් තමන්ගේ අදහස වෙනස් කරගත්තා කියලා ආරංචියි.  


පිළිතුර:- එහෙම නෑ. එහෙම නෑ.... තවත් පිරිසක් එන බව තමයි මගේ විශ්වාසය. මම කියාගෙන ආවේ ඒ පාර්ලිමේන්තුවේ ව්‍යූහය නේ. ඊළඟට දේශපාලන ව්‍යූහය යන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ නායකත්වයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් එකතුවෙලා ඉන්නවා. පක්ෂ නායකයෝ හැම අඟහරුවාද‌ාම මුණ ගැහිලා විවිධ තීන්දු ගන්නවා. අන්න ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ හොඳ සන්ධානය තුළ තමයි අපේ පක්ෂය තියෙන්නේ. ඒකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. පක්ෂත් තියෙනවා. නැති පක්ෂත් ඉන්නවා. ඒකෙදි අපි විවිධ තීන්දු තීරණ ගන්නවා. ඒ අනුව තමයි පළාත් පාලන මැතිවරණය අපි තරග කළේ. දැන් මේ දහසය දෙනාට ඊළඟ පියවර හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සන්ධානයට එකතු වෙන්න පුළුවන්. ඒවා ඔවුන් තමයි තීරණය කළ යුත්තේ. ඒවා ගැන අපට තීන්දු ගන්න බෑ. ඊළඟට තමන් ඉදිරියට ගිහිල්ලා ඒ කණ්ඩායමට පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන ඉස්සරහට යන්න. ඒ අනුව මේක ඒ ක්‍රියාවලියක විවිධ අවස්ථාවල තියෙන්නේ.  


ප්‍රශ්නය:- දහසය දෙනාම ඔය පියවරට එයි කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- මම එහෙම හිතන්නෙත් නෑ. එක එක මට්ටමින් ඔවුන් ක්‍රියාත්මක වෙයි. මට අදාළ වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෙන අවස්ථාවේදී තමයි. එතැනදි තමයි මගේ සම්බන්ධය සෘජුවම හැදෙන්නේ.  


ප්‍රශ්නය:- අවුරුදු තුනක් ඇමැති කටු සූප්පු කරල තමන්ගේ අනාගතය දැකලා බයවෙලා පොහොට්ටුවට ආවම කට්ට කාලා පොහොට්ටුව හදපු අපිට යන එන මං නැතිවෙයි කියලා කියන එහෙම හිතන අයත් ඉන්නවා.  


පිළිතුර:- ඒක ඒතරම් ගැටලුවක් හැටියට දකින්නේ නෑ මම. ඒ අවස්ථාවට ආවම අපි ඒකට හරි විදියට මුහුණ දෙන්නම්. නමුත් ජනතාවගේ පැත්තෙන් බැලුවොත් පහුගිය ඡන්දෙදිත් අත ලකුණටයි බුලත් කොළයටයි යම් පිරිසක් ඡන්දය දුන්න නේ. දහතුන් ලක්ෂයකට වැඩි ගානක් ඔවුන්ටත් ඡන්දය දුන්න නේ. එයින් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කරගන්න අපි උත්සාහ කරනවා. මොකද ඊළඟ ජනාධිපතිවරණයේදී අපි දෙකට බෙදෙන කොට අපිට අවාසියක් වෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:- ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ජවිපෙ ගේන බව කියනවා?  


පිළිතුර:- ඕවා ගැන කරුණු කියනවට වඩා රටට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ තව අවුරුදු එකහමාරකින් එන ජනාධිපතිවරණය ගැන නොවෙයි. ඒ වෙනකම් මේ ආණ්ඩුව කරන කටයුතු නිසා ඒ කාලය වෙනකොට මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. අද නොයෙකුත් වසංගත රෝග පැතිරිලා. ගංවතුර ඇවිල්ලා. බඩු මිල ඉහළ ගිහිල්ලා. තෙල් මිල, කිරි පිටි, ගෑස් විතරක් නොවෙයි පරිප්පු මිලත් ඉහළ ගිහිල්ලා. ආද‌ායමක් නැති වුණත් ආදායම් බදු අය කරන විදියේ බදු ගහනවා. ඒ වගේම ඔවුන්ම කියනවා මේ අවුරුද්ද වැඩිම ණය ගෙවන අවුරුද්ද කියලා. ඒ ගෙවන ණය වලින් වැඩි හරියක් මේ ආණ්ඩුව ගත්ත ණය. සමහර වෙලාවට ඔවුන් ණයට අරගෙන වෙන තැන්වල තැන්පත් කරලා තියලා අඩු පොලියට දීල තියෙනවා. ඒ වගේ විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. මේ දේවල් කරන වේගය දිහා බැලුවම අවුද්දක් නොවෙයි තව මාසයක් මේ අවුරුද්දට යන්න දුන්නොත් ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා අපේ ක්ෂණික කාර්ය භාරය මේ තත්ත්වය තාවකාලිකව හෝ නතර කරගැනීමයි.   


ප්‍රශ්නය:- ඒකට වැඩපිළිවෙළක් තියෙනවද?  


පිළිතුර:- රටවල්වල මෙවැනි තත්ත්වයන් ඇති වුණාම ඒ ඒ රටවල විවිධ ක්‍රියාමාර්ග ඒ ජනතාව අරගෙන තියෙනවා. ඒ සඳහා යම් යම් අය නායකත්වය දීලා තියෙනවා. එවැනි දේවල් ගැන කල්පනා කරලා අපි ඉක්මනින්ම සුදුසු පියවර ගන්න ඕනෑ. එහෙම නොවුණොත් අපි 2020 වෙනකම් කතා කර කර ඉඳලා ඒක කරන්න ගියොත් එහෙම කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ එහෙම වැඩපිළිවෙළක් තියෙනවද කියලයි?  


පිළිතුර:- එහෙම තිබුණත් කිවයුතු නෑ දැම්ම.   


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද?  


පිළිතුර:- මහින්ද රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයා හැටියට මගේ නම් එකම තේරීම මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි. නමුත් ජනතාවට ඒ අයිතිය දැන් නැහැ. තමන්ට කැමැති සුදුස්සෙක් රටේ නායකයා බවට පත් කරන්න බැරි විදියට ජනතාවගේ ප්‍රජා අයිතිය මේ ආණ්ඩුව නැති කරලා. ඒක සුදුසු නෑ. ජනතාවට අවශ්‍ය නායකයා පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට තිබිය යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඕක සිරිමාවෝ මැතිනියට කරලා 82 දී ජනාධිපතිවරණයකට ගියා. දැන් මේ ආණ්ඩුව කරන්න හදන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවට අවශ්‍ය වුණත් එතුමාව පත් කරන්න බැරි කරලා ඡන්දෙකට යන්න. මම හිතන්නේ නෑ ඒක සුදුසු යැයි කියලා.  


ප්‍රශ්නය:- මම හිතනවා මගේ ප්‍රශ්නයට පිළිතුර ඒක නොවෙයි කියලා. කවුද අපේක්ෂකයා?  


පිළිතුර:- මගේ මනාපය ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මනාපය තමයි.

  
ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂගේ නම වගේම ඔබේ නමත් ඒ සම්බන්ධයෙන් කියැවෙනවා. වැඩේ බැලැන්ස් කරන්න චමල් රාජපක්ෂගේ නමත් කියනවා. ඔබ සූද‌ානම්ද? 

 
පිළිතුර:- ඔය කියන නම් සුදුස්සෝ වෙන්නැති. නමුත් ඒ සියලු දෙනා තරගයට සුදුස්සෝ වුණාට තරගකරුවෝ නොවෙයි. ඒක මම හොඳටම දන්නවා. ඔය කියපු නම්වලට අමතරව දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ අපේ වෙල්ගම ඇමැතිතුමලා වගේ හොඳ අය ඉන්නවා. අපේ පැත්තට ඕනෑ තරම් සුදුස්සෝ ඉන්නවා. හැබැයි ඒ සුදුස්සෝ සියලු දෙනාම තරග කරන්න සූද‌ානම් නැහැ. ඒ අය තරගකරුවෝ නොවෙයි. මට ඒක කියන්න පුළුවන්.  


ප්‍රශ්නය:- මට කෙළින් උත්තරයක් දෙන්න. ඔබ සූද‌ානම්ද?  


පිළිතුර:- මැතිවරණයට තරග කරන්න නොවෙයි තරගය දිනවන්න මම සූද‌ානම්.  


ප්‍රශ්නය:- වියත් මග අඳුර හදාගෙන ගෝඨාභය රාජපක්ෂත් ​ මේ යන්නෙත් ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන?  


පිළිතුර:- නෑ. ඒක එතුමාගේ වෙනම වැඩ පිළිවෙලක්. මේක මේ අද ඊයේ ආපු එකකුත් නොවෙයි. එතුමා ඇතුළු වෘත්තීයවේදීන් එකතු වෙලා මේ සංවිධානයක් බිහි කරලා තියෙනවා. ඒක දැන් ටික ටික පුළුල් වෙලා තියෙනවා. ඒක රටේ ලොකු අවශ්‍යතාවක්. ඒක දේශපාලන අවශ්‍යතාවයකට වඩා ජාතික අවශ්‍යතාවක්.  


ප්‍රශ්නය:- ඔබ කියන ඔය ජාතික අවශ්‍යතාවය ඊළඟ ජනාධිපතිවරණයත් එක්ක ගැටගැහිලා තියෙනවා?  


පිළිතුර:- සමහරු එහෙම ගැට ගහන්න හදනවා. ඒ වගේම ඉබේ ගැට ගැහෙනවා. සමහරු කියනවානේ දේශපාලනයෙන් තොරව වැඩ කරන්න කියලා. ගන්න හුස්ම ටිකෙත් දේශපාලනය තියෙනවනේ. නමුත් ඒ සංවිධානයේ ආරම්භක අරමුණවල ඔය ඔබ කියන දේශපාලන අරමුණ තිබුණේ නෑ.  


ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ ආවොත් බැසිල් රාජපක්ෂට කැපිල්ලක් ද‌ායි කියලා කියන අයත් ඉන්නවා.  


පිළිතුර:- නෑ. ඒක කවදාවත් වෙන්නේ නෑ. කවුරුහරි සුදුස්සා මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් කළාට පස්සේ ඒ ඕනෑම කෙනෙකුට මම සහයෝගය දෙනවා.  


ප්‍රශ්නය:- පොහොට්ටුවට සුළු ජාතික ඡන්ද ගන්න බැහැ කියලා ගණන් හදන අයත් ඉන්නවා.  


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔවුන් දිනා ගැනීම අත්‍යවශ්‍යයි. සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපති වෙන්න පුළුවන් කියලා කියන අයත් ඉන්නවා. ඒක බැහැයි කියලා කියන්න මම තර්ක කරන්න යන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම ජයග්‍රහණයක් නොවෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ සියලු ජන කොටස් වගේම සියලු ප්‍රදේශ නියෝජනය කරන ජනාධිපතිවරයෙක් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ.  


ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ ආවොත් ඒ ඡන්ද ලබා ගැනීම කොහොමටත් පහසු වෙන්නේ නෑ කියන තර්කය. ඔබේ උත්තරය?  


පිළිතුර:- ඒවා ඉතින් මත තමයි. ඒක අභියෝගයක් වශයෙන් බාර ගත්තම හරි.  

 

 

 

 

 

 

සාකච්ඡා කළේ,  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්