ජනතාව ඉල්ලන දේ අපි දෙන්න ඕනෑ පාක්ෂිකයෝ නව නායකත්වයක් ඉල්ලනවා


කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ඇතුළු දේශපාලන මාතෘකා පිළිබඳ මේ අදහස් දැක්වීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ගෙනි.

ඡන්දෙ ඉවර වෙලත් මාසයෙක් ගියා. යූඑන්පී එක තාම හතර ගාතෙ දාලා වැටිලනේ. නැගිටින්නේ කවද්ද?   


ඕනෑම මැතිවරණයක් පරාජයට පත්වුණාම දේශපාලන පක්ෂයක් අර්බුදයකට මුහුණ දෙනවා. ඇදවැටීමකට ලක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපේ පක්ෂයටත් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් යූඑන්පීය මෙතනින් ඔසවා තබන්න ඉතා ඉක්මනින් වැඩපිළිවෙළක් හැදුවෙ නැත්නම් ඊළඟට බලය ලබාගන්න එක ලේසි නෑ. දේශපාලනය කියන්නේ බලය ලබාගැනීම සහ ලබාගත් බලය රැකගැනීමනේ. දේශපාලන පක්ෂයක් මෙහෙයවන පුද්ගලයට හෝ පුද්ගල කණ්ඩායමට ඒ සඳහා නිවැරදි වැඩපිළිවෙළක් නැත්නම් පක්ෂයට ඉදිරි ගමනක් නෑ. එක්සත් ජාතික පක්ෂය මේ රටේ දීර්ඝ ඉතිහාසයක් තියෙන ප්‍රබල පක්ෂයක්. ඒ පක්ෂය රටට කරපු දේවල් සුළු පටු නෑ. ඒ පක්ෂය දියවෙලා යන්න දෙන්න බෑ. දැන් දැන් පාක්ෂිකයන් අපෙන් ඈත් වෙමින් යනවා. ඒකට හේතු හොයන්න ඕන. ජනතාව ඉල්ලන දේ අපි දෙන්න ඕන. ජනතා හඬට ඇහුම්කන් නොදී ඒකාධිපති ගමනක් යන්න ගියොත් පක්ෂය විනාශ වෙන එක වළක්වන්න බෑ. පාක්ෂිකයෝ ඉල්ලනවා නව නායකත්වයක්. අපි ඊට ඇහුම්කන් දෙන්න ඕන. පාක්ෂිකයො නැත්නම් ඡන්ද දිනන්නෙ කොහොමද? මම පක්ෂ නායකත්වයේ වෙනසක් ගැන කතා කළේ 2010 ඉඳලා. ඒ ගැන කතා කරලම ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මගේ ආසනේ මිනිස්සු මුණගැහිලා මම මේ ගැන කතා කළා පහුගිය දවසෙ. ඒ අය කියන්නේ පක්ෂ නායකත්වයේ වෙනසක් වුණේ නැත්නම් ඒ අය ඊළඟ වතාවෙ ඡන්ද පොළට යන්නෙ නෑ කියලා. 

 
ඇයි මේ බරපතළ ඇද වැටිම ගැන පක්ෂ නායකත්වය සංවේදී නොවෙන්නේ?   


ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය. එතුමා වටා ඉන්නව පිරිසක්. ඒ අයගෙ තනතුරුවලට මොකද වෙන්නෙ කියලා එතුමා හිතනවා ඇති. එතුමා අයින් වුණොත් අපිට දේශපාලනය දැන් එපා වෙලා මේ යන විදියට. මම තවදුරටත් දේශපාලනය කරනවද? නැද්ද? දෙගිඩියාවක දැන් ඉන්නේ. අපිට ඒක තීන්දු කරන්න වෙයි මේ යන තත්ත්වය අනුව. නායකත්වය කල්පනා කරන්න ඕන වටේ ඉන්න සුළු පිරිසක් සන්තෝස කරනවද? එහෙම නැත්නම් බහුතර පාක්ෂිකයගෙ හඬට ඇහුම්කන් දෙනවද කියලා. අවුරුදු විසිපහකට වැඩි කාලයක් පක්ෂ නායකත්වයේ ඉදල මැතිවරණ ගණනාවක් පරාජයට පත්වුණාට පස්සෙවත් නායකත්වය වෙනසක් විය යුතුයි කියලා එතුමා තේරුම් ගන්න ඕන.   


ඡන්දෙන් පස්සෙ සජිත් ප්‍රේමදාසට එළියට බහින්න මෙච්චර දවස් ගියේ ඇයි? දිනුවනම් ගෙවල් ගාණෙ ඇවිත් දුක සැප බලනව කියපු කෙනා......   


ප්‍රධාන මැතිවරණයක් පරාජයට පත් වුණාට පස්සෙ යම් කිසි පසුබැසීමක් තියෙනවා. ඒක මනුස්ස ස්භාවය. යථා තත්ත්වයට පත්වෙන්න පොඩි කාලයක් අවශ්‍යයි. මහින්ද රාජපක්ෂත් ඡන්දෙ පැරදිලා මැදමුලනට වෙලා හිටියනේ. කට්ටිය ගිහින් තමයි ආපහු එක්ක ආවේ. ඡන්ද ප්‍රතිඵලයත් එක්ක ආපු මානසික කම්පනයත් එක්ක යම් විවේකයක් සජිත් ප්‍රේමදාස ගන්න ඇති. දැන් ආපහු සුපුරුදු වැඩ පටන් අරන්. දැන් රට පුරා රැස්වීම්වලට යන්න පටන් අරගෙන. අපි නිතර නිතර ඔහු මුණගැහුණා පහුගිය දවස්වල. ඔහු ඒ හැමවෙලාවෙම කියපු දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයේ ඉන්නකම් ඔහු තවදුරටත් ඡන්දවලට තරගකරන්නෙ නෑ කියලා. ජනාධිපති වෙන්න සුදුසු පුද්ගලයා පක්ෂෙ නායකයා වෙන්න සුදුසු නැතිවෙන්නෙ කොහොමද කියන එක තමයි අපි කාටත් තියෙන ප්‍රශ්නය. ජනාධිපතිවරණයේදීත් වුණේ ඕකමයි. ඔක්කොම දෙනවා කිය කිය ඉඳලා අන්තිමට දවස් ගාණක් තියලා තමයි අපේක්ෂකත්වය දුන්නේ. ඒකෙන් අපිට හරියට ප්‍රචාරක ව්‍යාපාරය කරගන්න වෙලාවක් තිබුණෙ නෑ. බැසිල් රාජපක්ෂලා අවුරුදු කීපයක් තිස්සේ කරපු වැඩපිළිවෙළත් එක්ක තමයි සජිත් ප්‍රේමදාසට තරග කරන්න සිද්ධ වුණේ. ඉදිරි මහමැතිවරණයේදීත් ඔය තත්ත්වයම ඇති වුණොත් එක්සත් ජාතික පක්ෂයට ඔළුව උත්සන්න අමාරුයි. පක්ෂ නායකත්වය ඒකට වගකියන්න ඕන.   


රනිල් වික්‍රමසිංහ දැන් කියනව සමීක්ෂණ වාර්තාවලින් සජිත් ගෝඨාභයට වඩා පස්සෙන් හිටිය කියලා ඔහු දැනගෙන හිටපු බව......   


ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය. දැන් ඒක මොකටද කියන්නේ. නායකයෙකුගෙ වගකීම ඒකද? එක්සත් ජාතික පක්ෂය ගැන ආදරයක් තිබුණානම් එහෙමද කරන්න ඕන. පාස්කු ප්‍රහාරයට කලින් සමීක්ෂණ වාර්තාවල සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් හිටියා. පාස්කු ප්‍රහාරයත් එක්ක ඒක යම් වෙනසක් වුණා. සිංහල බෞද්ධ ඡන්ද පදනම ඒ එක්ක යම් වෙනස්වීමක් වුණා. රාජපක්ෂ කඳවුර මේ කාරණයම තමයි ඡන්ද ව්‍යාපාරය පුරාම මාර්කට් කළේ. හැබැයි අපි උපරිම උත්සාහ කළා ඒ තත්ත්වයේ ඇත්ත නැත්ත රටට පැහැදිලි කරලා දෙන්න. රනිල් වික්‍රමසිංහ අගමැති අපේක්ෂකයා කියලා දිගින් දිගට කියපු එකෙනුත් අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වුණා. රාජපක්ෂ කඳවුරේ අය අපිට එරෙහිව සිංහල බෞද්ධ ජනතාවට වෙනම මතයක් පැටෙව්වා. ඒ අය පංසල්වලත් මැතිවරණ ව්‍යාපාරය කළා. අන්තිමට පංසල්වලට උදවු කරපු මිනිහ පැරදිලා පංසල් ගියපු මිනිහා දිනුවා.   


හැබැයි ඔබේ පක්ෂයේ ඇතැම් අය සංඝයා වහන්සේලා ගැන සහ බුද්ධාගම ගැන කරපු ඇතැම් ප්‍රකාශ ඡන්දයේදී දැඩි විවේචනයට ලක්වුණා.......   


ඒක ගැන මම කතා කරන්න යන්නෙ නෑ. ඒ ගැන කතා කරලා මමත් බැට කාලා ඉන්නේ. අපේ රටේ සත්‍ය කතා කරන එක අවාසියි. ආගමක් ගැන ඇත්ත කතා කෙරුවොත් ඉවරයි. මමත් ඊයේ පෙරේදා රූපවාහිනී වැඩසටහනකදී ඔය ගැන කතා කරලා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අපේ අය කරපු ඇතැම් ප්‍රකාශ නිසා සමාජයේ විවේචනයක් ආපු බව ඇත්ත. බුදුහාමුදුරුවෝ කියපු දේට පිටින් අද බුදුදහමට මුවා වෙලා මිත්‍යාව වපුරනවා. ඒත් ඒ ගැන කතා කරන්න කියාම අපි අමාරුවෙ වැටෙනවා. ඒක තමයි ඇත්ත.   


සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය නොලැබුණොත් ඊළඟට මොකද කරන්නේ?   


අගමැති අපේක්ෂකයා කවුද? එයාට පක්ෂ නායකත්වය ලැබිය යුතුයි. නැතුව මහ මැතිවරණ කරන්න බෑ. අගමැති අපේක්ෂකයත් රනිල් වික්‍රමසිංහම නම් එතුමා පක්ෂ නායකයා වෙලා ඉදපුවාවෙ. අගමැති අපේක්ෂකත්වය දීලා පක්ෂ නායකත්වය නොදී හිටියට ඊළඟ මහ මැතිවරණයත් සුපුරුදු පරිදි පරාජය වෙන්න පුළුවන්. වෙන දෙයක් නෑ.   


මොනව කිව්වත් අන්තිමට සජිත් ප්‍රේමදාස රනිල්ගෙ වචනෙට එකඟවෙලා වැඩ කරයි. ජනාධිපතිවරණයේදීත් ඒකමනෙ වුණේ. පස්සෙන් යන ඔබලා තමයි නිකං අමාරුවෙ වැටෙන්නේ?   


එහෙම වැඩ කරන්නෙ නෑ මේ පාර. ඊයෙත් සජිත් ප්‍රේමදාස අපි එක්ක මේ ගැන කතා කළා. ඔහු පැහැදිලිවම කියනවා රනිල් වික්‍රමසිංහගෙ පක්ෂ නායකත්වය යටතේ ඔහු ඡන්දවලට තරග කරන්නේ නෑ කියලා. හැබැයි එතුමා දේශපාලනයෙන් අයින්වෙන්නෙත් නෑ.   


ප්ලෑන් B එකක් තියෙනව ද ඒ කියන්නේ?   


ප්ලෑන් B එකත් ඒවි මේ විදියට දිගටම ගියොත්. ඒක ගැන දැන්ම අපි කතා කරන්න ඕන නෑ. 


පක්ෂෙ කඩාගෙන යනව ද?   


නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගටම කියපු දේ තමයි පක්ෂය කඩාගෙන යන්නෙ නෑ කියන කාරණය. පක්ෂේ ඇතුලෙ ඉඳගෙන සටන් කරන්න වෙනවා. අනෙක් කණ්ඩායම් එක්ක එකතුවෙලා පුළුල් පෙරමුණක් හදලා ගමනක් යන්න පුළුවන්. අපිත් එක්ක එකතුවෙලා ඉන්න අනෙක් පක්ෂ හා කණ්ඩායම්වල අයත් රනිල් වික්‍රමසිංහ එක්ක තවදුරටත් යන්න කැමතිද? නැද්ද? කියල බලන්න ඕන. ඒ කවුරුවත් කැමති නෑ පරාද වෙන පිලක ඉන්න. එහෙම පෙරමුණක් හැදුවොත් ඒකෙ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ගන්න පුළුවන්.   


එක්සත් ජාතික පක්ෂයට හිතවත් තිනියාවල පාලිත හාමුදුරුවො කියන්නේ ඔබලාගෙ කණ්ඩායම සජිත් ප්‍රේමදාසව අමාරුවෙ දාලා පක්ෂයත් අමාරුවෙ දානවා කියලා.......   


ඔව්. ඔය කියපු කණ්ඩායමේ මගේ නමත් තිබුණලු. හැමදාම වෙන දේ තමයි ඕක. ඕක අලුත් දෙයක් නෙවෙයි. ඡන්දෙකට පස්සෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔය වැඩේ කරනවා. දැන් අපිට ආරංචියි කැලෑ පත්තරයකුත් බෙදා හරිනවා කියලා. ඕව කරල පුළුවන්ද පක්ෂය ඉස්සරහට ගෙනියන්න. ඔය කැලෑ පත්තරේ කවුද හැදුවෙ කියලත් අපි දන්නවා. සජිත්ට විරුද්ධව කැලෑපත්තර ගහල වැඩක් නෑ. හැමදාම කියන කතාව තමයි ඔය හාමුදුරුවෝ කියන්නේ. පක්ෂය අමාරුවෙ දාන්නෙ කවුද කියල හැමෝම දන්නවා.   


රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් අයින් වුණේ නැත්නම් ඔබලට මොකද වෙන්නේ?   


මමත් තීරණය කරලා තියෙනව ඡන්දෙට ඉදිරිපත් නොවෙන්න. එහෙම වුණොත් ඒක පුද්ගලික තීරණයක්. දෙසැම්බර් 31 පෙර මේ ප්‍රශ්නෙ විසඳුවෙ නැත්නම් අපිට මේ තීන්දුව ගන්න වෙනවා.   


ඔය තීරණයේ තවත් අය ඉන්නවාද?   


තව අය ඉන්නවා. විශාල ප්‍රමාණයක් ඒ අදහසේ ඉන්නවා. මොකද මේ විදියට තවදුරටත් යන්න බෑ. අපිට ගමට ගිහින් පාක්ෂිකයට උත්තර දෙන්න බෑ. ඒ පාක්ෂිකයෝ දැන් අපෙන් අහනවා වෙන පැත්තකට හැරෙන්නද කියලා.   


එහෙම වුණොත් ඔබලගෙ දේශපාලන ඉරණම මොකක්ද?   


මොනව වෙයිද කියල කියන්න බෑ. අපේ දේශපාලනය ඉවර කරන්න තමයි වෙන්නේ. කී දෙනෙක් අපේ පක්ෂය අතඇරලා ගියාද? අද මහින්ද රාජපක්ෂලා එක්ක ඉන්න කී දෙනෙක් අපේ පක්ෂෙ අයද? ජනප්‍රිය චරිත කී දෙනෙක් රනිල් වික්‍රමසිංහ එක්ක බෑ කියලා පක්ෂයෙන් ගියාද? ප්‍රධාන චරිත 65කට වඩා ගිහිල්ලා.   


කරූ ජයසූරිය කියලා තිබුණා පක්ෂය කැමතිනම් හැමෝම එකතු කරගෙන පක්ෂය සමගි කරවන්න සූදානම් කියලා.......   


ඒකට බාධාවක් නෑ. එතුමාටත් පුළුවන් මේ සඳහා එතුමාගේ සහයෝගය දෙන්න. ඒත් එතුමටත් මිනිස්සු කැමති වෙන්න එපාය.   


ඒ කියන්නෙ ඔහුත් දැන් පක්ෂෙ ඇතුළේ අවලංගු කාසියක් ද?   


එහෙම ප්‍රශ්නයක් නෑ. එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක්. හැබැයි එතුමටත් දැන් වයස අවුරුදු අසූවයි. පක්ෂයක නායකත්වය අරන් ගමනක් යන්න පුළුවන්ද? එතුමා එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් රට ඉල්ලන නායකයා නැතුව වෙන වෙන උත්තර හොයලා පක්ෂය ගොඩගන්න අමාරුයි.   


මේ ආණ්‍ඩුවෙ මාසෙක කෙරුවාව ඇතුලෙ බඩු මිල ඉහළ යාම වගේ සටන් පාඨ කරලියට ඇවිත්. කෝ ඔබලගෙ විපක්ෂ කාර්යභාරය?   


අපි ඒව ගැන සංවේදියි. අපි අපිට පුළුවන් හැම විටම ඒ ගැන කතා කරනවා. ඒත් අපේ පක්ෂෙ ප්‍රශ්නවලට මුහුණ දෙන ගමන් ඉන්නේ. අපි ඉදිරියේදී ආණ්ඩු විරෝධය එක්ක සටනට සූදානම්.   


දැන් රටේ ප්‍රශ්නවලට වඩා පක්ෂෙ කචල් බේරගන්න වෙලා ඒ කියන්නේ?   


පක්ෂෙ අර්බුද විසඳගන්නත් අවශ්‍යයි. ඒ වගේම රටේ ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නත් අවශ්‍යයි. අපි ජනතා නියෝජිතයෝ විදිහට ජනතාව අමතක කරන්නේ නෑ.   
 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි