ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාව ගේන්නේ අපිව උගුලකට කොටු කරන්නයි


දේශපාලනය ද කාලගුණය මෙනි. එයද වරින්වර වෙනස් වේ. මේ ඒ වෙනස් වෙන දේශපාලන ලෝකයේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය සමග සංවාදගත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ හඬය.  


• ප්‍රශ්නය:- ආණ්ඩුව විද්‍යාත්මක කැබිනට් එකක් හදලා පෙන්නුවා.  


පිළිතුර:- ඔව්. ඔව්.  


• ප්‍රශ්නය:- මොකද හිතෙන්නේ?  


පිළිතුර:- මොනව හිතෙන්නද? ඔය කියන විද්‍යාත්මක බවක් නම් අපිට පේන්නේ නෑ. එක ඇමැතිට විෂයන් පහක් හයක් දීලා තියෙනවා. මට නම් කිසිම විද්‍යාත්මක බවක් පේන්නේ නැහැ. අලුත් මුහුණු එකක්වත් නෑ. ඉන්න කට්ටියටම දීලා තියෙනවා. මේවා ඉතින් බොහොම තාවකාලිකයි. මාස කීයද තව තියෙන්නේ?  


• ප්‍රශ්නය:- මාස කීය වුණත් ශක්තිමත්ව ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්න සූදානම් බව මේ මගින් ආණ්ඩුව පෙන්වලා තියෙනවා?  


පිළිතුර:- ඔව්. ඉතින් කොහොමත් තව මාස 18 කින් ජනාධිපතිවරණයකට යන්න වෙනවනේ. ඒ නිසා ආණ්ඩුව මැතිවරණයට ලෑස්ති වෙයි.  


• ප්‍රශ්නය:- ඒක ඒකාබද්ධ විපක්ෂයට අභියෝගයක් නොවෙයිද?  


පිළිතුර:- මොන අභියෝගයක්ද? අපි ඒකට එවරෙඩි. අපි ඒකට හොඳට සූදානම් වෙලා තියෙන්නේ. අපි මේ මැතිවරණයක් තියන්නේ කවදද කියල බලාගෙන ඉන්නේ.  


• ප්‍රශ්නය:- නමුත් ඒකාබද්ධ විපක්ෂය තුළ විවිධ මත ගැටුම් පුපුරලා යමින් තියෙනවා නේද?  


පිළිතුර:- ඒ මොකක්ද ඒ කතාව?  


• ප්‍රශ්නය:- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගේන බව කියන යෝජනාව ගැන?  


පිළිතුර:- 20 වැනි සංශෝධනය ගැන විවිධ මත තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයක්නේ මේක. එතකොට විවිධ මත තියෙන්න එපායැ. නමුත් අන්තිමට ඔක්කොම අය එක මතයකට එනවා. දැන් සමහරු කියනවා විධායක ජනාධිපති ධුරය තියෙන්න ඕනෑ කියලා.  


• ප්‍රශ්නය:- ඔබ ඉන්න මතය මොකක්ද?  


පිළිතුර:- මම නම් කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනෑ කියලයි. මගේ මතය ඒකයි. මම මුල ඉඳලම විධායක ජනාධිපති ධුරයට විරුද්ධයි. බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදපු කාලේ ඉඳලම අපි විරුද්ධයි. අපි විවිධ අවස්ථාවල විවිධ දේවල් දැකලා බලය පාවිච්චි කරපු හැටි දැකලා අපි ඒකට විරුද්ධව තමයි හැම තිස්සේම කතා කෙරුවේ. අපේ ජනාධිපතිවරු ආවෙත් මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන සටන් පාඨය කියාගෙනමයි. ඒ ආවට ඒ අය ඒක කළේ නෑ.  


• ප්‍රශ්නය:- ඔබේ නායකයා මහින්ද රාජපක්ෂත් ඒක කළේ නැහැ.  


පිළිතුර:- මහින්ද රාජපක්ෂ මහත්තයා විතරක් නොවෙයි චන්ද්‍රිකා නෝනා කළේත් නෑ. කවුරුත් ඒ විධායක ජනාධිපති ධුරයේ එල්ලිලා හිටියා.  


• ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආවෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා කියාගෙන?  


පිළිතුර:- ඔව්. ඔව්. උන්නැහැ එහෙම ප්‍රකාශයට පත් කළා විතරක් නොවෙයි මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරිපිටදී කිව්වා මාස කිහිපයකින් විධායක ජනාධිපතිධුරය අයින් කරනවා කියලා. නමුත් ඒක කළේත් නෑ.  


• ප්‍රශ්නය:- ඔබ ඇයි විධායක ජනාධිපති ධුරයට විරුද්ධ?  


පිළිතුර:- මම කියන්නේ ඕක අපේ රටට සුදුසු නැහැ කියලයි.  


• ප්‍රශ්නය:- නමුත් සමහරු තර්ක කරන්නේ ඔබේ පාර්ශ්වයේ විමල් වීරවංශ එහෙම කියන්නේ යුද්ධය දිනන්න පුළුවන් වුණෙත් විධායක ජනාධිපති ධුරය නිසා කියලයි?  


පිළිතුර:- ඒ විතරක්ම නොවෙයිනේ. සමහරු කියනවා මේ පළාත් සභා ක්‍රමය තියෙන නිසා ආණ්ඩුකාරවරු පත් කිරීමට විධායක ජනාධිපති ධුරය අවශ්‍යයි කියලා.  


• ප්‍රශ්නය:- ඔබට එහෙම හිතෙන්නේ නැද්ද?  


පිළිතුර:- මගේ මතය ඒක නොවෙයි. මගේ මතය ඇවිල්ලා ඉන්දියාවේ ජනාධිපතිටත් බලයක් තියෙනවා. නාම මාත්‍රික ජනාධිපති වුණාට ඒ පළාත් සභාවලට සම්බන්ධ සියලු බලතල ඉන්දියාවේ ජනාධිපතිට තියෙනවා. ජනාධිපතිවරයට පුළුවන් ඒ තීරණ ගන්න. ඒක ව්‍යවස්ථාවෙන් හදාගන්න පුළුවන්. නාම මාත්‍රික ජනාධිපතිවරයටත් ඒ බලතල දෙන්න පුළුවන්. ඒ විදියට අවශ්‍ය කරන ඒවා විතරක් දෙනවා මිසක් විධායක බලතල දෙන්න නරකයි. එහෙම විධායක බලතල දීලා පේන්නේ නැද්ද... වැඩිය ඕනෑ නැහැ. මේ ආණ්ඩුවේ දැන් ඉන්න ජනාධිපතිවරයා දිහා බලන්න. බලතල තිබිලත් කොච්චර දුර්වල ද එයා.  


• ප්‍රශ්නය:- මට මේ ප්‍රශ්නයට කෙළින් උත්තරයක් දෙන්න. තිබුණ තත්ත්වය තුළ විධායක ජනාධිපතිවරයෙක් නොහිටියා නම් යුද්ධය දිනන්න පුළුවන්ද?  


පිළිතුර:- විධායක ජනාධිපති ධුරයේ හොඳ ඒවා තියෙනවා. නරක ඒවාත් තියෙනවා. නමුත් දැන් අපිට පේන්නේ ඔක්කොම නරක දේවල්. යුද්ධය ජයග්‍රහණය කරපු බව ඇත්ත. නමුත් ඉදිරියේදී යුද්ධයක් ඒවිද? යුද්ධයක් නැවත එයිද? රට ගැන හිතලා තනි එක්කෙනෙකුට බලය දෙන එක මම නම් හිතන්නේ එච්චර සුදුසු නැහැ. කොහොම වුණත් අපි ඔක්කොම එක මතයකට එයි පස්සේ. නමුත් දැන් මගේ මතය මම අන්තිමට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදිත් මං කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. ඒ වෙලාවේ මේ විධායක ජනාධිපති ධුරය ගැන කතා කරමින් හිටියේ. මම කිව්වා ඔබතුමා ගත්ත තීරණය හරි. ඔබතුමා කිව්වා මේක අහෝසි කරන්න ඕනෑ කියලා. මමත් ඉන්නෙ ඒ මතයේ. ඒ නිසා කොන්දේසි විරහිතව මම ඔබතුමත් එක්ක ඉන්නවා කියලා.  


• ප්‍රශ්නය:- ඔබ ඒකාබද්ධ විපක්ෂයෙන් අහලද එහෙම කිව්වේ?  


පිළිතුර:- මම ඒකත් එතැනදීම කිව්වා. මේක ඒකාබද්ධ විපක්ෂයේ මතය නොවෙයි. මේක මගේ පෞද්ගලික මතය. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නෙත් ඒ මතයෙනේ. එතුමගේ මැතිවරණ ප්‍රකාශනයෙත් තියෙනවනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඉතින් තවත් මොනවද කතා කරන්නේ? මමත් මේ ක්‍රමයට විරුද්ධයි. ඒ නිසා ඕනෑම වෙලාවක මම ඔබතුමාට සහයෝගය දෙනවා කියලා මම එතුමාගේ මූණටම කිව්වා.  


• ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රීගේ ප්‍රතිචාරය වුණේ?  


පිළිතුර:- එදා එහෙම කිව්ව දවසේ ඉඳන් මාව මධ්‍යම කාරක සභාවට කැඳෙව්වෙත් නෑ.  


• ප්‍රශ්නය:- ඔබව මධ්‍යම කාරක සභාවෙන් නෙරපලාද දන්නේ නෑ.  


පිළිතුර:- නෑ... නෑ... මම තාම මධ්‍යම කාරක සභාවේ සභිකයෙක්. මාව පත් කළේ සමස්ත ලංකා කාරක සභාවෙන්. එතකොට මාව අයින් කරන්නත් ඕනෑ සමස්ත ලංකා කාරක සභාවෙන්මයි. මම පත් වුණේ ඡන්දයෙන්. නමුත් මට මධ්‍යම කාරක සභා රැස්වීමට දැන් එන්න කියන්නේ නෑ මම විධායක ජනාධිපති ධුරයට විරුද්ධ නිසා.  


• ප්‍රශ්නය:- ඔබ ඉස්සෙල්ලා කිව්වා ‘දැන් ඉන්න ජනාධිපතිවරයා දිහා බැලුවම වුණත් විධායක ජනාධිපති ධුරය අවශ්‍ය නෑ කියලා පේනවා කියලා?  


පිළිතුර:- ඔව්. රටේ තත්ත්වය මොකක්ද? දැන් ජනාධිපතිතුමා ඉන්නවා. නමුත් ජනාධිපතිතුමා කිසි දෙයක් දන්නේ නැහැනේ. ඇහුවොත් කිසි දෙයක් දන්නේ නැහැනේ. දැක්කේ පත්තරෙන් කියනවනේ. මෙහෙම විධායක ජනාධිපතිවරයෙක් අපට අවශ්‍යද? මම අහන්නේ එච්චරයි. ඊට වඩා අපට නරක ද පාර්ලිමේන්තුවට බලතල දුන්නොත්. ඒ 225 දෙනාටම පුළුවන් කතා කරන්න. ප්‍රශ්න කරන්න. අගමැතිවරයත් එක්ක වාද කරන්න. අපිට බලපෑම් කරන්න පුළුවන්. හරි අපිට කෑගහන්න පුළුවන්. මේ එක විධායක ජනාධිපති කෙනෙක් තියාගෙන... මම හිතන්නේ නෑ මේ ක්‍රමය අපට සුදුසුයි කියලා. නමුත් විවිධ දේවල් දැන් කියනවා විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන්. උගත් අයත් කතා කරනවා. ඉතින් මම දන්නේ නෑ මේකේ එක එක්කෙනාට කඩේ යන අය ඉන්නවද කියලා. නමුත් මගේ පෞද්ගලික මතයයි මම මේ කියන්නේ.  


• ප්‍රශ්නය:- සමහරු කියනවා අගමැති රනිල් ශක්තිමත් කරන්නයි ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාව ගේන්නේ කියලා.  


පිළිතුර:- මමත් ඒක පිළිගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ මේක ගේන්නේ අපිව උගුලකට කොටු කරන්න. ඒ අය රනිල් වික්‍රමසිංහ මහත්තයා ශක්තිමත් කරන්නයි ඔය යෝජනාව ගේන්නේ. එහෙම නැතිව ඒ අය ඔය හිතට එකඟව කතා කරනවා නෙවෙයි. ඒ අය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තට නැඹුරු වෙලා. ඒ පැත්තට සපෝට් කරනවා.  


• ප්‍රශ්නය:- ඔබ එහෙම කියන්නේ කොහොමද?  


පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරණයකින් දිනන්න බැහැනේ. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ ඔහුට විධායක බලතල අරන් දෙන්න දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. මේක මේ තනිකරම බොර දියේ මාළු බෑමක්.  


• ප්‍රශ්නය:- රටේ තියෙන තත්ත්වය දිහා බැලුවාම හොඳ ශක්තිමත් විධායක ජනාධිපතිවරයෙක් හිටියා නම් හොඳයි කියලා කියන අයත් ඉන්නවා.  


පිළිතුර:- ශක්තිමත් කෙනෙක් එන්නත් පුළුවන්. ශක්තිමත් නැති කෙනෙක් එන්නත් පුළුවන්. එතකොට මෙයා ශක්තිමත් කෙනෙක් වෙයි කියලා කලින් අපට කියන්න බෑනේ. රටේ මහජනතාව ලක්ෂ 62 ක් ඡන්දය දීලා මෛත්‍රීපාල උන්නැහැ පත්කර ගත්තේ ශක්තිමත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න යහපාලනය ගේන්න. නමුත් අද ඒක වුණාද? රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ වුණාද? ඉතින් අපි කොහොමද දන්නේ ඔය ජනාධිපති පුටුවට ගියාට පස්සේ වැඩේ කියන්නේ තමන්ට හිටපු තැන අමතක වෙනවනේ. මොකද බලතල වැඩියි. ඊට පස්සේ ඔක්කොම අය වට වෙනවා. තමන්ට විරුද්ධව කවුරුවත් කතා කරන්නේ නැහැ. තමන්ට විරුද්ධව නඩු දාන්න බැහැ. ඒ තියෙන වරප්‍රසාදත් එක්ක පත්වෙන ජනාධිපතිතුමා පොළොවෙ පය ගහලා ඉන්නේ නෑ. එයාගේ ඔළුව නරක් වෙනවා. ඔළුව නරක් කරවනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි කියන තැන නම් මම නැහැ.  


• ප්‍රශ්නය:- බෙදුම්වාදී තර්ජනය තියෙන රටක විධායක ජනාධිපති කෙනෙක් ඉඳීම හොඳයි කියලත් මතයක් තියෙනවා?  


පිළිතුර:- ඒකට අපි ක්‍රමයක් හදා ගන්න ඕනෑ. දැන් විධායක ජනාධිපති කෙනෙක් නැතිව බෙදුම්වාදීන්ට මුහුණ දෙන්න අපට වෙන ක්‍රමයක් හදාගන්න බැරිද? දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්මයානේ මේක ගෙනාවේ. එයාට බලයේ ඉන්න ඕනෑ නිසයි ඒක ගෙනාවේ. වෙන එකක් නොවෙයිද? බණ්ඩාරනායක මැතිනිය ඉන්නකන් ඔළුව උස්සන්න දුන්නේ නැහැනේ. ප්‍රජා අයිතියත් අහිමි කළා. මැතිනියට මැතිවරණයකට එන්න බැරිවෙන්න කටයුතු සැලැස්සුවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා බය වුණේ බණ්්ඩාරනායක මැතිනියට විතරයිනේ. එයා දැනගෙන හිටියා එයාව පරදවන්න පුළුවන් බණ්ඩාරනායක මැතිනියට විතරයි කියලා. ඒකට ගැළපෙන විදියට තමයි මේ විධායක ජනාධිපති ධුරය ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගෙනාවේ. එයාට වාර දෙකම බලයේ ඉන්න පුළුවන් විදියට එයා හදාගත්තා. මේක මේ තනි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයකට තමයි ගෙනාවේ.  


• ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය නිසා ඒකාබද්ධ විපක්ෂයත් දෙදරලා?  


පිළිතුර:- නෑ නෑ එහෙම දෙදරන්නේ නැහැ. අපි ඔක්කොම එකට ඉන්නවා. නමුත් අපේ විවිධ අදහස් තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය ගැන. නමුත් අපි අන්තිමට එක මතයකට එනවා. ඒක ගැන කිසි සැකයක් හිතන්න එපා. මම මේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කතා කළත් අපි අන්තිමට එක පොදු මතයකට එනවා. ඒ එන්නේ රට ගැන හිතලා. අපේ එකමුතු භාවය ගැන හිතලා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.  


• ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ඒකාබද්ධය දැන් බැසිල් කල්ලිය, ගෝඨා කල්ලිය කියලා දෙකට බෙදිලා. මහින්ද රාජපක්ෂ ඒ තුළ හිරකාරයෙක් වෙලා?  


පිළිතුර:- නෑ ඒක බොරු කතන්දරයක්. මම ඒක පිළිගන්නේ නැහැ. බැසිල් මහත්තයා මෙහෙමයි. බැසිල් මහත්තයා නියම පාලකයෙක්. නියම වැඩකාරයෙක්. ඒ ගැන නම් මට කියන්න පුළුවන්. මම මේ අවුරුදු තුනේ බැසිල් මහත්තයව ආශ්‍රය කළා. බැසිල් මහත්තයාගේ වැඩ මම දැක්කා. බැසිල් මහත්තයා මේ පොහොට්ටුව ඉදිරියට ගෙන ආපු හැටි මම දැක්කා. මමත් ඒකට ගොඩාක් උදව් කළා. එතැනදී මම දැක්කා බැසිල් මහත්තයාට හෙඳ සංවිධාන ශක්තියත් තියෙන ඉතාම දක්ෂ පුද්ගලයෙක්. මොකද මේ පොහොට්ටුව අද මේ තැනට ආවේ මහින්ද මහත්තයාගේ ප්‍රතිරූපය මහින්ද මහත්තයට මිනිස්සු ආදරෙයි. මිනිස්සු ගරු කරනවා. ඒවා එහෙම තිබ්බට බැසිල් මහත්තයා තමයි පොහොට්ටුව මෙතැනට ගෙනාවේ. තිරය පිටුපස ඉඳගෙන මේක ගෙනාපු පළමු වැනි මනුස්සයා. ඒක අපිට නෑ කියන්න බෑ. අපි මේ පළාත් පාලන ඡන්දෙදි ජයග්‍රහණය ලැබුවේ බැසිල් මහත්තයා නිසා. බැසිල් මහත්තයාගේ පක්ෂය නිසා.  


• ප්‍රශ්නය:- 2015 ජනාධිපතිවරණ පරාජයටත් බැසිල් ප්‍රධාන සාධකයක් වුණා කියලා කියැවුණා?

  
පිළිතුර:- ඔව්. හරි 2015 දී මතයක් තිබුණා එතුමා පැරැද්දුවා කියලා. ඒක හරි. නමුත් ඒ 2015 දී. දැන් මේ 2018. මේ වෙනකොට එයාගෙ තිබුණ වැරදිත් හදාගෙන එතුමාගේ ජාන ශක්තිය ඔක්කොම යොදලා එතුමා දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. පොහොට්ටුව මේ තත්ත්වයට ආවේ කොහොමද? කවුරු හින්දද? මට ඔයා කියන්න. බැසිල් රාජපක්ෂ හින්ද නොවෙයිද? පළාත් පාලන සභිකයන් ගෙනැල්ලා පැය 24 න් පැය 2 ක් නිදාගන්නේ නැතිව වැඩ කළේ. ලංකාවේ ඕනෑම පළාතක ඕනෑම ගමක් ගැන ඕනෑම සභිකයෙක් ගැන කෙළින්ම කතා කරන්න පුළුවන්. ඔක්කොම දන්නවා. එයාගේ නියපොතුවල ඇඟිලිවල ඔක්කොම තියෙනවා. මට හරි පැහැදීමක් ඇතිවෙලා තියෙන්නේ එතුමා ගැන.  


• ප්‍රශ්නය:- ඒතරම්ම පැහැදීමක්?  


පිළිතුර:- ඔව් පුදුම පැහැදීමක් තියෙන්නේ. මට මහින්ද මහත්තයයි බැසිල් මහත්තයයි කිව්වම බදුල්ලට ගිහින් සංවිධානය කරන්න කියලා මම බොහොම කැමැත්තෙන් ගියේ. මට බැසිල් මහත්තයා එතනදී ගොඩක් උදව් කළා. බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 9 ක් තියෙනවා. ඒ ආසන නවයෙම ඉන්න පහළම සාමාජිකයා ගැන පවා හොඳ මතකයක් අවබෝධයක් බැසිල් මහත්තයාට තියෙනවා. ඒ මොකද මම බදුල්ලට යන්න ඉස්සෙල්ලා එයා ඒ ගම්වලට ගිහින් රැස්වීම් තියලා හොඳ අවබෝධයක් අරගෙන තිබුණා. ඉතින් බැසිල් මහත්තයාව එහෙම අවතක්සේරු කරන්න බෑ. අද ලංකාවේ දේශපාලන පක්ෂවල ඉන්න හොඳ අංක එකේ දක්ෂතම මනුස්සයා තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ.  


• ප්‍රශ්නය:- ඔබේ ඒ පැහැදීමට අනුව පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ?  


පිළිතුර:- නෑ නෑ මං එහෙම කියන්නේ නෑ. අනාගත ජනාධිපති ගැන කියන්න යන්න ඕනැ නෑ. මොකද මේක පක්ෂයක්නේ. මේ පක්ෂයෙත් විවිධ අයට එන්න පුළුවන්. දැන් ප්‍රේමදාස මහත්තයා ආවේ. ඩඩ්ලිගෙන් පස්සේ සේනානායක පරපුර ඉවර වුණානේ. ඊට පස්සේ ජයවර්ධනලා ආවා. ඊට පස්සේ ආව ප්‍රේමදාස මහත්තයා. ඊට පස්සේ ආවා චන්ද්‍රිකා නෝනා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආවා. මේ විදියට විවිධ අයට එන්න ඉඩ තියෙන්න ඕනෑ.  


• ප්‍රශ්නය:- ඒ කියන්නේ රාජපක්ෂලා විතරක් නොවෙයි?  


පිළිතුර:- මම කියන්නේ මේක එක පවුලකට විතරක් සීමා විය යුතු නැහැ කියලයි. එහෙම වෙන්න දෙන්න බෑ. පක්ෂයක් වුණාම අනික් අයටත් දෙන්න ඕනෑ ‘චාන්ස්’ එක. ජනප්‍රියත්වය තියෙන දක්ෂ කෙනෙක් ඉන්නවා නම් ඒකට ඉඩ තියෙන්න ඕනෑ. අද එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයට ඔහොම වෙලා තියෙන්නේ ‘බ්ලොක්’ කරපු හින්දනේ. ඉතින් එතැනදී මං කියන්නේ නෑ බැසිල් මහත්තයා ගෝඨා මහත්තයා කියලා. එහෙම කියන්න බෑ. අපේ නායකයා මහින්ද මහත්තයා. මහින්ද මහත්තයා රාජ්‍ය නායකයා වෙනවා නම් අපි ඕනෑම දෙයක් කරනවා. පක්ෂය තීන්දුවක් ගත්තට පස්සේ. තාම ඒකට වෙලාව වැඩියි. තව කල් තියෙනවා. පක්ෂය තීන්දුවක් ගත්තට පස්සේ පක්ෂය නම් කරන්නේ කවුද එයා කවුරු වුණත් අපි එයාට වැඩ කරනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි. බණ්ඩාරනායක මැතිනියට තරග කරන්න බැරි වුණාම කොබ්බෑකඩුව මහත්තයාව දැම්මා. එතකොට අපි කොබ්බෑකඩුව මහත්තයා වෙනුවෙන් රට වටේම ගියා විජය කුමාරතුංග මහත්තයත් එක්ක. යාපනේ පවා ගියා මම. පක්ෂය වෙනුවෙන් වැඩ කරන්නේ එහෙමයි. ඒ නිසා මං කියන්නේ මේක මේ එක පවුලකට විතරක් සීමාවෙන්න බෑ. මේක ‘ඕපන්’ කරන්න ඕනෑ දක්ෂයට ඉදිරියට යන්න. පුළුවන් හොඳ කෙනෙක් ඉන්නවා නම් එයාට ඉදිරියට යන්න. හැබැයි මහින්ද මහත්තයා ඉන්න කල් එතුමා දේශපාලනයේ ඉන්න තාක් කල් එතුමා තමයි අපේ නායකයා. එතුමා ඉදිරිපත්වෙන ඕනෑම මැතිවරණයකදී කොන්දේසි විරහිතව අපි ඕනෑම දෙයක් කරනවා.  


• ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් 16 ක් එළියට ආවා. ඔවුන් ඔබ සාදරයෙන් පිළිගන්නවාද?  


පිළිතුර:- එහෙම ආපු එක බොහොම හොඳයි. ඒ ගොල්ලෝ ගත්ත තීන්දුව හොඳයි. අපි මුල ඉඳලම ඒ අයට කිව්වේ එන්න කියලා තමයි. අපි අනික් අයටත් කියන්නේ එන්න කියලයි. ඒගොල්ලෝ භය නැතිව විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය දුන්නා. ඒ ගොල්ලෝ ආපහු ඇමැතිකම් ගත්තෙත් නෑ. කෙළින් තීන්දු අරගෙන ඒ අය එළියට ආවා.  


• ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයත් එක්ක නොවෙයි විපක්ෂයත් එක්කයි වැඩ කරන්නේ කියලා ඔවුන් කියනවා.  


පිළිතුර:- විපක්ෂයෙ වාඩි වෙන්නේ. එතකොට ඉතින් ඔවුන් අපිත් එක්ක තමයි .අපි ඔක්කොම විපක්ෂයෙ මන්ත්‍රීවරු.  


• ප්‍රශ්නය:- ඒ මන්ත්‍රීවරුන් ගැනත් ඒකාබද්ධයේ මත දෙකක් තියෙනවා?  


පිළිතුර:- නෑ නෑ අපි හැමෝම ඔවුන්ව පිළිගන්නවා. අපිට මේ ආණ්ඩුව පෙරළන්න ඕනෑ නම් අපිට මන්ත්‍රීවරු වැඩි සංඛ්‍යාවක් ඉන්න ඕනෑනේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ හැම මන්ත්‍රී කෙනෙකුටම අපි කියන්නේ විපක්ෂයට එන්න කියලයි.  


• ප්‍රශ්නය:- නමුත් පොහොට්ටුවේම ඇතැම් හඬ ප්‍රකාශකයන් ‘සංචාරක කුරුල්ලන්’ කියමින් ඔවුන් හෑල්ලු කරනවා?  


පිළිතුර:- ඒ ඉතින් කවුද එහෙම කියන්නේ? දන් නැද්ද ඉතින් වැඩිය දේශපාලනය ගැන දන්නේ නැති අයත් ඉන්නවනේ. ඒ අයට එහෙම සංචාරක කුරුල්ලන් කියලා කියන්න බෑ. මහින්ද මහත්තයා වුණත් මන්ත්‍රීවරුන් එකසිය හතළිස් ගානක් වෙනතුරු ගත්තනේ. එහෙම නැතිව යන්න බෑ. ඒ නිසා එන මන්ත්‍රීවරුන්ව අපි සන්තෝෂයෙන් ආදරයෙන් බාර ගන්න ඕනෑ. ඒ මොකද ඒකාබද්ධ විපක්ෂයෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පාර්ශ්වය ගත්තොත් මහින්ද මහත්තයා ඇරුණාම ඊළඟට ඉන්නේ මම. මම තමයි ඉන්න ජ්‍යෙෂ්ඨම පුද්ගලයා. මම ආසන සංවිධායකවරයෙක් හැටියට දැන් අවුරුදු 36 යි. ඔය නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ඉන්නෙත් මට පල්ලෙහා. මම පක්ෂයේ සංවිධායකවරයෙක් වෙන කොට එතුමා බණ්ඩාරනායක මැතිනියගේ නීතිඥවරයෙක් විතරයි. ජෝන් සෙනෙවිරත්න මහත්තයා හිටියෙත් නෑ. හැබැයි දි.මු. ජයරත්න මහත්තයා නම් හිටියා. ඒ නිසා මම මේ කියන්නේ කාටවත් බය නැතිව කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඉන්න ජ්‍යෙෂ්ඨම සාමාජිකයෙක් හා මන්ත්‍රීවරයෙක් හැටියටයි. මමනේ ඉස්සෙල්ලාම කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ‘ඔය යූඇන්පී හවුල හරියන්නේ නෑ’ කියලා. මමනේ මධ්‍යම කාරක සභාවෙදි එතුමා පත්වෙලා දවස් දෙකෙන් කිව්වේ. ‘මම ඔය හවුලට විරුද්ධයි. ලියා ගන්න වෙල්ගම විරුද්ධයි හවුලේ යන්න.’ කියලා. එහෙම කියලා මම දොට්ට බැස්සා. එදා දින 100 ආණ්ඩුවේ හුඟාක් දෙනෙක් ගියානේ ඇමැතිකම් අරගෙන. අපි ගියේ නෑ. අපි දැක්කා ජ්‍යෙෂ්ඨයෝ හැටියට මෙහෙම හවුලකට යන්න බෑ කියලා.  


 අපිට දේශපාලනය ඉගැන්නුවේ බණ්ඩාරනායක මැතිනිය. ඒ මැතිනියට ගරු කරනවා. අත් දෙකම උස්සලා හැමදාම වඳිනවා. ඒ මැතිනියගෙ මග පෙන්වීම ඇතුළේ අපි ප්‍රායෝගික දේශපාලන බුද්ධියක් ඇතිකර ගත්තා. එතකොට එදා මම කියපු දේ අද මුළු රටම පිළිගන්නවනේ. මේ ශ්‍රී ලංකා-යූඑන්පී හවුල අවුලක් කියලා. එදා මම ගත්ත තීන්දුව හරියට හරිනේ. මේ පස්දුන් කෝරළේ ඉපදිච්ච මිනිහා ගත්ත තීන්දුව හරියටම හරිනේ. නැද්ද?  


• ප්‍රශ්නය:- ඔය ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව අඩුම තරමින් විපක්ෂ නායක ධුරයවත් ඔබට ලැබිය යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- විපක්ෂ නායක කම මුලින්ම දුන්නේ මටනේ. මතක නැද්ද ඕක සම්බන්ධව දෙන්න කලින් මගෙ නමනේ යෝජනා කළේ. පස්සෙනේ සිරිසේන මහත්තයා කතානායකතුමාට කතා කරලා වෙනස් කළේ.  


• ප්‍රශ්නය:- මම අහන්නේ ඇයි?  


පිළිතුර:- දැන් විපක්ෂ නායක ධුරය අපි ගන්න ඕනෑ. ඒක අරගෙන මගේ නම් මතය මේ සටන ඉස්සරහට ගෙනියන්න පුළුවන් මනුස්සයකුට දෙන්න ඕනෑ. මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් මිනිහෙකුට දෙන්න ඕනෑ.  


• ප්‍රශ්නය:- එහෙම නම් කවුද ඔබේ තේරීම?  


පිළිතුර:- මගේ තේරීම නම් මේ විපක්ෂ නායක ධුරය දිය යුත්තේ වෙන කාටවත් නොවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාට. මම යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම.  


• ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ බාර ගනීද?  


පිළිතුර:- බාර නොගත්තත් කොහොම හරි දෙන්න ඕනෑ. අපි කොහොම හරි කියනවා ගන්න කියලා. ආණ්ඩුව පෙරළා ගන්න ඕනෑ නම් එතුමට දෙන්න ඕනෑ.  


• ප්‍රශ්නය:- එතකොට මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට මොකද වෙන්නේ?  


පිළිතුර:- දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඉතාම දක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ හරිද? නමුත් මෙතැනදී රටේ මහජනතාව ආදරය කරන පිළිගන්න ඒ වගේම මහජනතාව ගොනු කරන්න පුළුවන් නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයයි.

 

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්