ඡන්දය නොතියන ඇමැති ඡන්ද ගැන කියන කතා


මැතිවරණවලට සිදුවන්නේ කුමක්දැයි රටම බලාගෙන සිටින මොහොතක අද ‘මුහුණට මුහුණ’ සමඟ එක්වන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ය.   

 


ෆයිසර් මුස්තාපා ඡන්ද තියන ඇමැති නොවෙයි ඡන්ද නොතියන ඇමැති කියලයි මිනිස්සු කියන්නේ. කෝ ඡන්ද?  
කවුරු ඔහොම කතා කියනවද කියලා නම් මම දන්නෙ නෑ. මට ඡන්ද නොතියන්න කිසිම වුවමනාවක් නෑ. ඡන්ද කොමසාරිස්ට පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සංස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ කෙටුම්පත දුන්නා. ඊට පස්සේ මනෝ ගනේෂන්, තොණ්ඩමන් සහ දිගම්බරන් වගේ වතුකරයේ දෙමළ පක්ෂ කිව්වා අඹගමුවයි නුවරඑළියයි කියන ප්‍රාදේශීය සභාවල ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ඉන්නවා කියලා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් පොරොන්දුවක් දිලා තියෙනවා මේ දෙක ඊළඟ ඡන්දෙට කලින් පළාත් පාලන ආයතනවලට කඩනවා කියලා. ඒ නිසා කැබිනට් එක තීන්දුවක් ගත්තා මේ දෙක සියලු දෙනාම එකඟ වන පරිදි කැඩුවට පස්සේ සංස්ථාපනය කරන්න කියලා. මේක මගේ අඩුපාඩුවක් හෝ තනි තීරණයක් නෙවෙයි. මේක කැබිනට් තීරණයක්. ඒ වගේම පළාත් පාලන ඡන්ද පනතේ තිබුණු වැරදි පක්ෂ නායකයන්ගේ යෝජනා සම්මතයෙන් නිවැරදි කරන්නයි එකඟ වුණේ. හැබැයි මැතිවරණ කොමිසම හා නීතිපති කිව්වා එය සංශෝධනයක් කළ යුතුයි කියලා. ඒත් ඒකට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ කෙටුම්පත ඊළඟට කැබිනට් එකට මම ඉදිරිපත් කරන්න ඉන්නේ.  


බාලගිරි දෝසෙ වගේ මේකෙ කෙළවරක් නැති එකනේ ප්‍රශ්නේ...?  
නෑ. එහෙම ප්‍රමාදයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ජනතා අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දීමේ වගකීමක් අපිට තියෙනවා. වතුකරයේ දෙමළ පක්ෂවලට ආණ්ඩුවක් හැටියට දුන්නු පොරොන්දුවක් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන ඇමැති හැටියට මම වගකීම බාරගන්න කැමැති වුණේ නෑ. මම කිව්වෙ ඒක කැබිනට් තීන්දුවකින් එන්න ඕන කියලා. දැන් මේක සාමූහික වගකීමකින් කරන්න ඕන කියන එක කැබිනට් මණ්ඩලය තීන්දු කළා. ඒක නිසා පළාත් සභා හා පළාත් පාලන ඇමැති හැටියට මම ගත්තු තීන්දුවක් නිසා වෙච්ච දෙයක් නොවෙයි. කැබිනට් තීන්දුවක ප්‍රතිඵලයක්. අඹගමුව හා නුවරඑළිය පළාත් පාලන ආයතනවල සියලු ජනකොටස්වලට සාධාරණය ඉෂ්ට වෙන ආකාරයට සැලැස්ම හැදුවට පස්සේ සංස්ථාපනය කරන එක තමයි අවසන් තීන්දුව. 

 

 
මේ වැඩේ ඇයි මීට කලින් කරන්න බැරි වුණේ?  

මේකට යම් කාලයක් ඕනෑ. අපිට හිතුමතේට වැඩ කරන්න බෑ. එහෙම කරලා වැරදුණාමත් විවේචනය කරන්න බලාගෙන ඉන්නේ හැමෝම. මම මේ ප්‍රශ්නයට වඩා අනෙක් කටයුතුවලටයි ප්‍රමුඛත්වය දුන්නේ. ඊට පස්සේ ඒ උදවිය දිගින් දිගටම කිව්වා මේක කරන්නම ඕන. මොකද මේක ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දීපු පොරොන්දුවක් කියලා.  

 


හෙට අනින්දා මේ වගේ තව තව ඉල්ලීම් ආවොත් මොකද කරන්නේ, තවත් කල් අදිනවද එතකොට?  
නෑ. නෑ. එහෙම කරන්න බෑ. මේක විහිළුවක් කරන්න බෑනේ. හැබැයි අපි එක ජනකොටසකට අසාධාරණයක් කරන්නත් බෑනේ. මේක ඒ අයගෙන් ආපු ඉල්ලීමක්. අනික් පැත්තෙන් ආණ්‍ඩුවක් විදියට මේක දීපු පොරොන්දුවක්. ආණ්‍ඩුව මට උපදෙස් දීලා තියෙනවා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා. ඒ උපදෙස් අනුව මම කටයුතු කරනවා.  

 


ඔබ කිව්වා තවත් මේක විහිළුවක් කරන්න බෑ කියලා. හැබැයි දැනටමත් මේක විහිළුවක් වගේ තමයි ​පේන්නේ රටට?  
යම් දෙයක් දිගින් දිගට ඇදෙන්නේ ජනතාවට සුබදායි හේතු නිසා නම් ඒක ප්‍රශ්නයක් නෑනේ. ජනතාවට අහිතකර විදියට ඇදෙනව නම් ඒක ප්‍රශ්නයක්. මෙතන සාමාන්‍ය ජනතාවට වඩා මේකට දඟලන්නේ දේශපාලන පක්ෂනේ. ජනතාව ඒ අයගෙ ඡන්දය පාවිච්චි කරනකොට ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හිතකාමී වාතාවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වරම තියෙනව නම් ඒක තමයි වැදගත්. අපි ඒකට තමයි පසුබිම සකස් කරන්නේ.  

 


හරියටම කියන්න බැරිද දැන් මේ ප්‍රශ්නෙ ඉවරයක් වෙන්නේ කවද්ද කියලා?  
පුළුවන් තරම් ඉක්මනට ඉවරයක් කරන්න තමයි අපි හදන්නේ. තව එක සාකච්ඡාවක් තියෙනවා. ලබන අඟහරුවාදා හවස දෙක හමාරට. ඒක සාර්ථක වුණොත් කිසි ප්‍රශ්නයක් තව නෑ. මම කොහොමත් මේක තව සුමාන දෙකක් ඇතුළත ගැසට් කරනවා.  

 


අඹගමුවයි නුවරඑළියයි වගේ ප්‍රශ්න තවත් නෑ කියලා ෂුවර්ද?  
නෑ. වෙන ප්‍රශ්න නෑ.  

 


එහෙනම් ඒ ආයතන ගැසට් කරන්න පුළුවන් නේ?  
ඒ අය කියන්නේ ඒ දෙක නැතුව අනිත් ඒවා විතරක් ගැසට් කරන්නත් එපා කියලා. සියලුම ඡන්ද එක දිනයක පවත්වන්න ඕන කියලා තමයි ඒ අය කියන්නේ. ඒ අය හැරෙන්න අනිත් ඒවා ගැසට් කළොත් එයාලට අසාධාරණයක් වෙයි කියලා එයාලා හිතනවා ඇති. එයාලා කියන්නේ එයාලට වෙනම ඡන්දෙ තියන්න එපා රජයේ ප්‍රතිපත්තිය අනුව සියලු තැන්වල ඡන්ද එක දවසක තියන්න කියලා.  


අඹගමුව සහ නුවරඑළිය සම්බන්ධව ආපු යෝජනා මොනවද?  
අපි යෝජනා කළේ සභික ගණන තුන ගානේ බෙදන්න. එයාල ඊට වඩා ප්‍රමාණයක් ඉල්ලල තියෙනවා. අපි මැද තැනකට එන්න ඕන. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වෙන සාකච්ඡාවක් තමයි ලබන අඟහරුවාදා තියෙන්නේ. ඒකෙදී ලැබෙන තීන්දුව අනුව තමයි මේක ඉක්මන් වෙන්නේ.   මම මේ ගැන කතා කරපු මනෝ ගනේෂන්, දිගම්බරන්, තොණ්ඩමන් ඇතුළු පිරිසට කිව්වා මේ ගැන අනෙකුත් පක්ෂ එක්කත් කතා කරන්න කියලා. එයාලගේ යෝජනාවලට අනෙකුත් දේශපාලන පක්ෂවල තීන්දුවත් වැදගත්නේ.  

 


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශවලින් මේක එයාලගෙ වුවමනාවකින් හෝ මැදිහත්වීමකින් ප්‍රමාද වෙන්නේ නෑ කියලා කියනවා. එතකොට මේ චෝදනාව ඔබ පිරිසගේ පැත්තට තල්ලු වෙනවා නේද?  
මහින්ද දේශප්‍රියත් පත් කරලා තියෙන්නේ ආණ්ඩුවෙන් නේ. එතුමට ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා. අපිත් ඇහුම්කම් දෙනවා. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් නෑ. ලංකාවේ ඉතිහාසයේ මැතිවරණ කොමිසමේ ස්වාධීනම සභාපති විදියට තමයි මහින්ද දේශප්‍රිය මම දකින්නේ. එතුමා සමහර අවස්ථාවල කියන කතාවලට නම් අපිට එකඟ වෙන්න අමාරුයි. සමහර අවස්ථාවලදී මම කරන ප්‍රකාශවලට එතුමත් එකඟ වෙන්නේ නෑ. එක එක්කෙනා විවිධ ප්‍රකාශ කරනවා. හැබැයි අපි අතරෙ කිසිම පුද්ගලික ප්‍රශ්නයක් නෑ. කොයික වුණත් මැතිවරණ කොමිසමේ සභාපති විදියට මම වඩාත්ම ගරු කරන සභාපති තමයි මහින්ද දේශප්‍රිය.  


සීමානිර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් එදා කිව්වෙත් ඔබ සීමානිර්ණ අවසන් කිරීම කරන්න නොදී අදින්න කිව්වා කියලා.....  


අශෝක පීරිස් මුලදී මම හොඳයි කියලා පස්සේ නරකයි කියපු කෙනෙක් නේ. එතුමගේ මුල් ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් නේ පස්සේ කිව්වෙ. ඒක නිසානේ අපි අතරේ මතභේදයක් ඇති වුණේ  

 


පළාත් සභාවල තත්ත්වය කොහොමද?  
පළාත් සභා සම්බන්ධ සීමානිර්ණ කටයුතු තව මාස තුනකින් අවසන් කරනවා. පළාත් සභා තුනක් ගැන අවධානය යොමු කරනවා. ඒ සම්බන්ධ උදවිය අපිත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂවල අදහසුත් මේකට ගන්නවා.  


මගේ වගකීම ඉටු කරද්දී පැනනැගුණු ප්‍රායෝගික ගැටලු ටිකක් තිබුණා. මට කෙළින්ම ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා ගැසට් එක ගහන්නත් තිබුණා. එතනදී සුළු පක්ෂවලට හඬක් නොදීම ඒක කරන්නත් තිබුණා. එතකොට ඒකද ප්‍රජාතන්ත්‍රවාදය. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නිහතමානී ගමනක නේ යන්නේ. අපිට බෑ ඒකට පිටින් වැඩ කරන්න. කවුරු මොනවා කිව්වත් අපි සියලු දේශපාලන පක්ෂවලට සාධාරණය ඉෂ්ට කිරීමේ වගකීමකට බැඳිලා ඉන්නවා.  

 


පක්ෂවලට ඇහුම්කන් දෙන ඔබ ජනතාවට ඇහුම්කන් දෙනවද?  
මොකද නැත්තේ. අපි දේශපාලන පක්ෂළුලට කිව්වා ඒ අයගෙ මතය ජනතාවට කියලා ජනතා අදහස දැනගන්න කියලා. එහෙම නැතුව අපි ජනතාව අමතක කරලා දාලා දේශපාලන නායකයින් සතුටු කරන්න ඒ අයගෙ ඕන එපා කම්වලට තීන්දු ගන්නෙ නෑ. අපිට එහෙම ඇඟිල්ල දික්කරන්න බෑ. නමුත් සමහර දේශපාලන පක්ෂ මට එහෙම චෝදනා එල්ල කරනවා. කොහොම වුණත් ලංකා ඉතිහාසයේ පළාත් පාලන අමාත්‍යාංශයේ ඇමැති පුටුවෙ වාඩිවෙච්ච ඇමැතිවරු අතරින් මම තමයි අසීරුම කාල පරිච්ජේදයේ මේකේ වාඩි වුණේ. ඒ වගේම මට හොඳ කියන අයට වඩා දොස් කියන අය ඉන්නවා ඇති. හැබැයි ඉතිහාසය මගේ කාර්යභාරය තීන්දු කරයි. මම තමයි වැඩිම පීඩාවකින් මේ ඇමැති පුටුවෙ වාඩිවෙලා ඉන්නේ. ප්‍රධාන හේතුව මේ ඡන්ද ගැටලුව. හැබැයි අනික් අංශවලදී මේ අමාත්‍යාංශයේ කිසිම පීඩනයක් මට නෑ. ඒ අතින් අපේ අමාත්‍යංශය ඉතාම කාර්යක්ෂම කරගෙන යනවා. අයවැයෙන් මුදල් වෙන් කිරීමේ දී හතර වැනියට හෝ පස්වැනියට වැඩිම බජට් එක වෙන් වෙන්නේ අපේ අමාත්‍යංශයට. ඒවා ගැන කිසිම අවුලක් නෑ. ඡන්දෙ තමයි එකම ප්‍රශ්නෙ.  

 


ඔබ දැන් ඔය ඉන්න පුටුවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැති කෙනෙක් හිටිය නම් මේ තරම් ඡන්ද කල්යයි කියලා හිතනවද?  
ඔබ අහන්නේ සිද්ධ වෙච්ච නැති දෙයක් නේ. ඉතිං මම කොහොමද ඒකට උත්තර දෙන්නේ. අනාවැකි කියන්න හැකියාවක් මට තාම නැති නිසා එහෙම වුණා නම් මෙහෙම වෙයි කියලා කියන්න මට බෑ. කොහොම වුණත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නිසා මේවා අදිනවා කියලා නම් චෝදනා කරන්න බෑ. අපිට ඡන්ද අදින්න ඕන නෑ.  

 


පහුගිය ආණ්ඩුව ඡන්ද තියෙනවා වැඩියි කියලා තමයි චෝදනා ආවේ. මේ ආණ්ඩුව ඡන්ද තියන්නෙ නෑ. ඔබ මේ ආණ්‍ඩු දෙකේම ඇමැතිධුර දරපු කෙනෙක්. මොකද මේ ගැන කියන්නේ?  
පහුගිය ආණ්ඩුවේදී සීමා නිර්ණ ප්‍රශ්න තිබුණෙ නෑ. වෙනත් ප්‍රායෝගික ප්‍රශ්න මේ තරම් තිබුණෙ නෑනේ. අපි හැමදාම කියන්නේ මැච් එක ගහන්න පිච් එක හොඳට තියෙන්න ඕන කියලනේ. කඩතොලු පිච් එකක මැච් එක ගහන්න දෙන්න මමත් කැමැති නෑ. හැම දේශපාලන පක්ෂයකටම සාධාරණය ඉෂ්ට නොකොට මැච් එකගැහුවොත් ඒකටත් දොස් අහන්න වෙන්නෙ අපිටමයි. ඇමැතිවරයා විදියට මට තියෙන බලය පාවිච්චි කරලා මේක ඉක්මන් කරන්නත් පුළුවන්. ඒත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි නේ. මං හිතන්නේ අපි නිහතමානි වෙන එකත් ප්‍රශ්නයක් ද කියලා දැන්.

ප්‍රියන්ත කොඩිප්පිලි