ගැටුම පිටුපස හිටියේ කවුද කියලා අපි හෙට අනිද්දම හෙළි කරනවා


නීතිය හා සාමය ඇමැති ධුරය සම්බන්ධයෙන් රටේ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබිණි. ඇතැම් ඇමැතිවරු එය තමන්ට දෙන්නැයි ප්‍රසිද්ධියේ කියා සිටියහ. එහෙත් අවසානයේ එම ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාය. ඒක වුණේ කොහොමද? මේ ඒ සම්බන්ධයෙන් නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

ප්‍රශ්නය:- ජනාධිපති මන්දිරයට යනතුරු ඔබට මේ අලුත් ඇමැති ධුරය ලැබෙන බවක් දැනගෙන හිටියෙ නෑ කියනවා?   


පිළිතුර:- නෑ. ඒක බොරුවක්. අගමැතිතුමා මට උදේ කතා කරලා කිව්වා. මම එතැනට යන්න කලින් දැනගෙන හිටියා මට මේක ලැබෙනවා කියලා.   


ප්‍රශ්නය:- කැබිනට් සංශෝධනය කරපු වෙලාවේ මේ ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේ අගමැතිවරයායි. ඇයි ඒ වෙලාවේ ඒක ඔබට නොලැබුණේ?   


පිළිතුර:- ඒ මොහොතේ අගමැතිතුමා මේක භාර ගත්තා. ඒ වෙලාවෙම එතුමා ප්‍රකාශ කරලා තිබුණා වැඩි දවසක් මම මේක තියාගන්නේ නෑ කියලා. සතියකින් දෙකකින් වෙන කෙනෙක් මේකට පත් කරනවා කියලා. එතුමා ඒ කාලය ගන්න ඇත්තේ මේක කාටද බාර දෙන්නේ කියලා කල්පනා කරන්න වෙන්න ඇති.   


ප්‍රශ්නය:- ඇමැති සරත් ෆොන්සේකාට මේ ඇමැතිකම දෙන බවට ලොකු රාවයක් ගියා. ඔහු මේ ඇමැතිකම ඉල්ලලත් තිබුණා.   


 පිළිතුර:- මට නම් එ් ගැන මුකුත් කියන්න බෑ. සරත් ෆොන්සේකා මහත්තයාගේ නම මේ සම්බන්ධයෙන් නිතර නිතර සඳහන් වුණා. එතුමා මගේ හොඳ මිත්‍රයෙක්. අපි එකට ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්ත කට්ටිය. ජනාධිපතිතුමත් අගමැතිතුමත් තීරණය කරලා තියෙන්නේ මට දෙන්න. නමුත් සරත්ගෙයි මගෙයි මිත්‍රත්වයට කිසිම හානියක් නෑ.   


 ප්‍රශ්නය:- තවත් කතාවකින් කියැවුණේ මේ ඇමැති ධුරය ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලට දෙන්න සූදානම් වුණත් ඇමැති කබීර් හෂීම් ඒකට විරුද්ධ වුණා කියලා?   


පිළිතුර:- අනේ මන් දන් නෑ. මම ඔය කිසි දෙයක් දන්නේ නෑ. මම ඔය ගැන හෙව්වෙත් නෑ. මේ අමාත්‍යංශය මම ඉල්ලුවෙත් නෑ. නමුත් අර්බුදකාරී අවස්ථාවක මං කෙරෙහි විශ්වාසය තැබීම ගැන නම් මම සතුටු වෙනවා.   


ප්‍රශ්නය:- මේ මොහොතේ ඔබ ගැන එහෙම විශේෂ විශ්වාසයක් ඇති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?   


පිළිතුර:- මම ඒක නම් දන්නේ නෑ. මම දීර්ඝ කාලයක් දේශපාලනයෙ නියැළිලා ඉන්නවා. මට පවරපු වගකීම් මම නියම ආකාරයෙන් ඉෂ්ඨ කරලා තියෙනවා. මම කරපු කිසිම අමාත්‍යංශයක මුකුත් අර්බුද තිබුණේ නෑ. මම ප්‍රවාහන ඇමැති විදියට හිටියා. රාජ්‍ය පරිපාලන ඇමැති, 2001-2004 දී සංචාරක ඇමැති විදියට හිටියා. කිසිම අර්බුදයක් නැතිව මම මගේ අමාත්‍යාංශය කරගෙන ගියා. ඒකේ ප්‍රතිඵල සහ මගේ ජ්‍යෙෂ්ඨත්වය සලකලා බලලා වෙන්නැති මේ ඇමැති ධුරය මට ලබා දුන්නේ.   

ප්‍රශ්නය:- මේ මොහොතේ මේ අමාත්‍යංශයේ බැරෑරුම්කම් ඔබට දැනෙන්නේ කොහොමද?   


පිළිතුර:- එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කරවීම තමයි ඇමැතිවරයකුගේ ප්‍රධාන කාර්යය. ඒ වගකීම ඉෂ්ඨ කරන්න මං හිතන්නේ මට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අවශ්‍ය තීන්දු ගන්නවා. ඒ නිසා සමහර අයට මිහිරි වෙන්න පුළුවන්. සමහර අයට අමිහිරි වෙන්න පුළුවන්. නමුත් ජනතාවගේ යහපතට ගන්න ඕනෑ තීන්දු තීරණ මම ගන්නවා.   


 ප්‍රශ්නය:- පොලිසිය හදන්න ඕනෑ කියලා මතයක් තියෙනවා ඔබටත් එහෙම හිතෙනවද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම. මම ඒ ගැන අධ්‍යයනයක් කළා. මම පොලිස්පතිවරයාගේ සිට පොලිස් කොස්තාපල්වරයා දක්වා සියලු දෙනාගෙන්ම ඒ අයගේ ප්‍රශ්න ගැන අදහස් විමසලා යම් අවබෝධයක් ලබාගෙන ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන පොලිස් සේවය සාධාරණව හා අවංකව ජනතාවට ලබා දෙන්නත් පොලිස් නිලධාරීන්ට සාධාරණය ඉටු කිරීමටත් කටයුතු කරනවා.   


ප්‍රශ්නය:- මහනුවර ජාතිවාදි ගැටුම් ඇතිවෙන්න පොලිසියේ මන්දගාමී බව හේතු වුණ බවටත් චෝදනාවක් තියෙනවා?   


පිළිතුර:- ඔව්. ඒ සම්බන්ධයෙන් යම් යම් චෝදනා තියෙනවා. ඒ ගැන හොයන්න විශ්‍රාමික විනිසුරුවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. මමත් මගේ අමාත්‍යංශයේ නිලධාරීන් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න කියලා.   


මෙතැන කාරණා දෙකක් තියෙනවා. දින කිහිපයක් තිබ්බ විශාල ප්‍රශ්නයක් අවම හානියක් ඇතුළෙ බේරාගන්න පුළුවන්කම තිබුණා. බැරි වෙලාවත් අපි හදිසි වුණා නම් වෙඩි තියලා ඒ වගේ ප්‍රශ්නයක් වුණා නම් මේක තව දුරදිග යන්න තිබුණා. මං හිතනවා මේක හොඳ ප්‍රතිඵලයක් තියෙනවා.   


 ප්‍රශ්නය:- ඇමැති රාජිත සේනාරත්න මාධ්‍යයට කිව්වා මහනුවර ගැටුම පිටිපස්සේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ළඟදී පිපුණු පක්ෂයක සාමාජිකයන් ඉන්නවා කියලා. ඔබත් ඒ කතාව පිළිගන්නවද?   


පිළිතුර:- දැන් ඒ ගැන අපි පරීක්ෂණයක් කරගෙන යනවා. ඔය තොරතුරු ලැබිලා තියෙනවා. නමුත් කෙනෙකුට චෝදනාවක් එල්ල කරද්දී ඊට පෙර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. රාජිත ඇමැතිතුමා කියපු කාරණා තුළ සත්‍යතාවක් තියෙනවා. හරියටම පරීක්ෂණ වාර්තාව මට ලැබෙයි තව දවස් දෙක තුනකින්.   


 ඒ අනුව අපි ජනතාවට හෙළිකරනවා කවුද මේක පිටිපස්සෙ හිටියේ. කවුද මේ වැඩ කළේ කියලා. පැහැදිලිවම අපි දැක්ක දේ තමයි මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත ගොඩාක් දෙනෙක් මහනුවර අය නොවෙයි. පිට පළාත්වලින් ආපු අය. ඒ අනුව ඉතාම පැහැදිලියි මේක සංවිධානාත්මකව සිද්ධ වෙච්ච දෙයක් කියලා.   


ප්‍රශ්නය:- මහසෝන් බළකායේ ප්‍රධානියාත් අත්අඩංගුවට ගත් බව කියවෙනවා. එහෙම අත්අඩංගුවට ගත්තෙත් සත්‍ය තොරතුරු මත පදනම්වද?   


පිළිතුර:- අනිවාර්‌්‍යයෙන්ම. මහසෝන් බළකායෙ අය සමාජ මාධ්‍ය ජාලය හරහා සමාජයට අහිතකර සමාජය කුපිත කරවන මේ ප්‍රශ්නය අවුස්සන යම් යම් දේවල් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ කරගෙන යනවා. මහසෝන් බළකය කියන නම ගත්තත් ඒකෙන්ම පේනවනේ මේ අයගේ අරමුණු මොකක්ද කියලා?   


ප්‍රශ්නය:- මේ විවිධ බළකා පිටිපස්සේ ආණ්ඩුවේ බලගතු ඇමැතිවරයෙක් ඉන්නවා කියලා ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා.   


පිළිතුර:- නෑ...නෑ....ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. අපි ඒක ගැන හොයලා බැලුවා. අපි හිතන්නේ විපක්ෂයේ අය තමන්ගේ ඇඟ බේරාගන්න තමන්ට චෝදනාව එල්ල වෙන විත්තිය දැනගෙන අනිත් අයට චෝදනා එල්ල කිරීමේ අරමුණෙන් එහෙම කියන බව අපි දන්නවා. එහෙම කරන එක නරකයි. අපි හෙට අනිද්දට හෙළි කරනවා මේක පිටිපස්සේ හිටියේ කවුද කියලා හරියටම.   


ප්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නයත් සමාජයේ කතාබහට ලක්වෙමින් තිබුණා. ඡන්ද ප්‍රතිඵලයෙනුත් ආණ්ඩුව හාන්සියි. නමුත් මහනුවර ගැටුම් සමග සියල්ල යට ගියා?   


පිළිතුර:- සම්පූර්ණ අසත්‍යයක්. මේ ප්‍රශ්නය මෙතැන විතරක් ඇතිවුණ එකක් නෙවෙයි. ගාල්ලේ ගිංතොටදි ප්‍රශ්නයක් වුණා. අම්පාරේ සිද්ධ වුණා. ඊට පස්සේ මහනුවර. බොහොම කෙටි කාලයක් තුළ තමයි ආවේ. සමාජ ජාල වෙබ් අඩවි හරහා නොයෙක් සංවිධාන හරහා නොයෙක් අය මේ ගැටුම් ඇති කළා. ප්‍රකෝපකාරී හැඟීම් ඇවිස්සුවා. මං හිතන්නේ මේක එකේ ප්‍රතිඵලයක්. හරියට පිදුරු එකතු කරලා තිබ්බට ගිනි පුපුරක් වැටුණම ඒක ගිනි ගන්නවා වගේ මේ තත්ත්වය ඇති කළා.   


 ප්‍රශ්නය:- නමුත් 83 කළු ජූලියත් සමග මේ සිද්ධිය ගලපන අයගේ මතය නම් මේක ආණ්ඩුවේම ව්‍යාපෘතියක් කියලයි.   


පිළිතුර:- නෑ... නෑ... ආණ්ඩුව මොකටද ප්‍රශ්න ඇතිකර ගන්නේ? අපිට ඕනෑ තියෙන ප්‍රශ්නත් බේරන්න. අපට අලුතෙන් ප්‍රශ්න ඇති කරන්න අවශ්‍ය නෑ. විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් මේ වගේ චෝදනා එල්ල කරන්නේ තමන්ට එල්ල වෙලා තියෙන චෝදනා ඔප්පු වෙයි කියන බයට. අපි පරීක්ෂණ පවත්වලා කවුද මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ කියලා එළිදරව් කරනවා.   


 ප්‍රශ්නය:- සමහර ඇමැතිවරු ඔය ඔබ කියන විදියේ පරීක්ෂණ කරන්නත් පෙර චෝදනා කියවලා විත්තිකරුවන් නම් කරලා ඔවුන් වැරදිකරුවන් කරලා දඬුවම් පවා නියම කරනවා මේක අවුලක් නොවෙයිද?


පිළිතුර:- මම ඒ නිසා තමයි මේකේ වගකීමක් තියෙන ඇමැතිවරයා හැටියට මේ සම්බන්ධයෙන් මම යම්කිසි ප්‍රකාශයක් කරන්නේ පරීක්ෂණ වාර්තාව අතට ලැබුණට පස්සෙයි. ඊට පස්සේ අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මේ සිද්ධි නිසා ජාත්‍යන්තරයෙ අපේ රටට කැළලක් ඇතිවෙලා තියෙනවා. අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. රට අස්ථාවර කරන්න යම් කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරව විනාශ කරන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා. අපි මේවට උත්තර දෙන්න අවශ්‍යයි.   


ප්‍රශ්නය:- ඇමැති සාගල රත්නායකට මේ ඇමැතිකම අහිමි වීමේ එක් කාරණාවක් හැටියට කියැවුණේ ඔහු ‘හොරු රැක්කා’ කියලා. ඔබත් හිතනවද ඇමැති සාගල එහෙම කළා කියලා.   


පිළිතුර:- නෑ. සාගල රත්නායක ඇමැතිතුමා ඒ කටයුත්ත හොඳට කළා. දැන් මමත් ඒ දූෂණ වංචා චෝදනා තියෙන අයට නඩු පවරලා තියෙනවා. අනික් පරීක්ෂණ කරගෙන යනවා. සාගල රත්නායක ඇමැතිතුමා ඒ කාර්ය හොඳට කරගෙන ආවා. ඉතින් දැන් මට තියෙන්නේ එතුමා නතර කරපු තැන ඉඳලා පටන් අරගෙන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන එකයි. පසුගිය ඡන්දෙදි ජනතාව අපට පොඩි සංඥාවක් දුන්නා මේවා ඉක්මන් කරන්න කියලා. සමහර අය කියනවා පළිගැනීම් කියලා. නමුත් එහෙම පළිගැනීම් නෑ. ද්වේෂයකින් තොරව ජනතාවට දුන්න පොරොන්දු ඉටුවෙන ආකාරයට අපි කටයුතු කරනවා.   


 ප්‍රශ්නය:- අලුතෙන් පිහිටුවන්න හදන විශේෂ මහාධිකරණ තුනට එරෙහිව නීතිඥ සංගමය අධිකරණයට ගිහින් තියෙනවා.   


 පිළිතුර:- ඒ අයට ඒකට අයිතියක් තියෙනවා. ස්වාධීන අධිකරණයක් තියෙන්නේ. එතකොට අනික් පාර්ශවයත් කරුණු ඉදිරිපත් කරයි. නීතියේ සාධාරණත්වය කියන්නේ ඒකනේ. දෙපාර්ශ්වයම කරුණු ඉදිරිපත් කළාට පස්සේ තීන්දුව එයි. හැබැයි මට මෙතැන සැකයක් තියෙනවා. මේ තියෙන නඩු ඉක්මන් කළොත් වැරදිකරුවන්ට දඬුවම් ලැබෙයි කියලා හිතලා මෙහෙම උසාවි යනවද කියලා.   


ප්‍රශ්නය:- එහෙම නම් දැන් බැඳුම්කර සිද්ධියට මොකද වෙන්නේ?   


පිළිතුර:- තියෙන රජයක් යටතේ ඒ රජයට යම් චෝදනාවක් එල්ල වුණාම ඒක ප්‍රසිද්ධියේ විභාග කරපු එකම සිද්ධිය තමයි බැඳුම්කර සිද්ධිය. බලන්නකෝ එතැනම තියෙන ප්‍රජාතන්ත්‍රවාදය? ඒ සිද්ධිය විභාග කළා. ඒ සිද්ධියට සම්බන්ධ අනෙක් කටයුතු ස්වාධීනව ඉදිරියේදී කරනවා. අගමැතිතුමත්, අනිකුත් අයත් ගිහින් සාක්ෂි දුන්නා. එච්චර ස්වාධීනත්වයක් දැන් අධිකරණයට තියෙනවා. මේවා කදිම ආදර්ශ. මේවා තමයි යහපාලනය.   


 ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් තවම ලංකාවට ආවේ නෑ. ඔහුට දෙවැනි වරටත් සිතාසි නිකුත් කළා?   


පිළිතුර:- ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අධිකරණයෙන් ගනීවි. ඒක මට අයිති දෙයක් නෙවෙයි. අධිකරණයට සම්බන්ධ කාරණාවක් ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ.   


 ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ වගකීම අගමැතිවරයා බාරගත යුතුයි කියලත් කියනවා?   


පිළිතුර:- ඇත්තෙන්ම ඒක අගමැතිතුමාගෙන් අහන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් මට ප්‍රකාශයක් කරන්න බැහැ.   


ප්‍රශ්නය:- ඔබ නීතිය හා සාමය භාර ඇමැතිවරයා හැටියට දිවුරුම් දෙනවාත් සමගම මාධ්‍ය වාර්තාවක් පළ වුණා. ‘දකුණේ පාතාල නායකයකු මුදා හරින ලෙස පොලිසියට ප්‍රබල ඇමැතිවරයකුගෙන් බලපෑම්’ කියලා.   


පිළිතුර:- දන්නේ නෑ කවුද ඒ කියලා. ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න ඕනෑ.   


ප්‍රශ්නය:- ඔබට සැක කවුරුහරි ඇමැතිවරයෙක් නැද්ද?   


පිළිතුර:- නෑ. ඇත්තටම පාතාලයත් එක්ක අපේ ඇමැතිවරුන්ගේ කිසිම සම්බන්ධයක් නෑ. අපි පාතාලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. පාතාලය මර්දනය කළ යුතුයි. මේ රටේ තියෙන මත්ද්‍රව්‍ය පාලනය කරන්න ඕනෑ. ඒකට පොලිසිය අවශ්‍ය කටයුතු කරනවා. ඒකට කවුරුවත් ඇඟිලි ගහන්න එන්නේ නෑ.   


ප්‍රශ්නය:- දකුණේ පාතාලය බේරලා දෙන්න කියලා ඔබට කවුරුහරි බලපෑම් කළාද?   


පිළිතුර:- මට කිසිම බලපෑමක් ආවේ නෑ. එහෙම බලපෑමක් ආවත් මම ඒවට යට වෙන්නෙත් නෑ.   


 ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් වේවිද?   


පිළිතුර:- ඒක මට කියන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ තියෙන ප්‍රශ්න මම ප්‍රසිද්ධියේ කතා කරන්න කැමැති නෑ. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ අපි කතා කරනවා. ඇතුළේ තීන්දු ගන්නවා. ඒවා ප්‍රසිද්ධියෙ කතා කරන ඒවා නොවෙයි.   


 ප්‍රශ්නය:- එජාප නායක රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේනවා කියලා පක්ෂයෙ තරුණ මන්ත්‍රීවරුන්ට කිව්වා.   


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කටයුතු ගැන ඉස්සෙල්ලා කිව්වා වගේම මන්ත්‍රීවරු දෙන්නෙක් තුන් දෙනෙක් කතා කරලා තිබුණා. ඒක ඒ අයගේ අදහස. මම ඒ සම්බන්ධයෙන් මෙතෙනදී යමක් කියන්න කැමැති නෑ.   


ප්‍රශ්නය:- පක්ෂ නායකත්වයෙන් රනිල් ඉවත්විය යුතුයි කියලා සටන් කරපු ඉතිහාසයක් ඔබට තියෙන්නේ. අලුත් ඇමැතිකමක් එක්ක ඒ අදහස් වෙනස් වෙලාද?   


 පිළිතුර:- මෙහෙමයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන විය යුතුයි කියන ස්ථාවරයේ අපි හැමදාමත් හිටියා. පක්ෂ නායකයාට පුද්ගලයාට විරුද්ධව අපි ගියෙ නෑ. පක්ෂය ජයග්‍රහණය කරන තැනකට ඔසොවා තබන්නයි අපි හැමදාමත් කටයුතු ක​ෙළ්. ඒ පක්ෂ ප්‍රතිසංවිධාන ගැන මම අදත් කතා කරනවා හෙටත් කතා කරනවා.   


 ප්‍රශ්නය:- දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා කියනවා ඊළඟ ජනාධිපතිවරණයට හොඳ අපේක්ෂකයෙක් දානවා කියලා. ඒ රනිල් නොවේ නම් වෙන කවුද?   


පිළිතුර:- අපේ අපේක්ෂකයා තාම තීන්දු කරලා නෑනේ. හොඳ අපේක්ෂකයෙක් තමයි ජයග්‍රහණය කරන්න දාන්න ඕනෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ.   


ප්‍රශ්නය:- පහුගිය ඡන්ද ප්‍රතිඵලය ඔබ තුළ තිගැස්මක් ඇති කරන්න සමත් වුණා කියලා මම කිව්වොත්?   


පිළිතුර:- අපට යම් යම් තැන්වලදි වැරදි වුණා. ඒ වැරදි නිසා තමයි ජනතාව මේ වගේ සංඥාවක් දුන්නේ. අපි ඒ වැරදි හදාගන්න ඕනෑ. මේ රජය පසුගිය වසර තුනේ කරපු වැඩ කොටසක් තියෙනවා. නමුත් යම් යම් ප්‍රශ්න තියෙන බව ජනතාවගේ සංඥාව තුළ තිබෙනවා.   


 ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ඇමැතිවරු කියනවා තවත් නම් මෙහෙම මේ ආණ්ඩුවත් එක්ක යන්න බෑ කියලා.   


 පිළිතුර:- ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තීන්දු කරයි. ​නොයෙක් දෙනා නොයෙක් නොයෙක් දේවල් කියනවා. අපි බලාගෙන ඉමු.   


ප්‍රශ්නය:- යූඑන්පියත් කිව්වා ‘ඡන්දෙන් පස්සේ තනි යූඑන්පී ආණ්ඩුවක් හදනවා.’ කියලා. ඡන්ද ප්‍රතිඵලවලින් පස්සේ ඒ ගැන ‘හ්ම්’ නෑ.?

   
පිළිතුර:- අපි ආණ්ඩුව ඇතුළේ අර්බුද ඇති කරන්න කැමැති නෑ. තනි ආණ්ඩුවක් ඇති කරනවා නම් එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහොම කැමැතියි. අපේ පාක්ෂිකයන්ගේ ඉල්ලීමත් ඒකයි. නමුත් ඉතිරි අවුරුදු දෙක අර්බුදයකින් තොරව රට ඉදිරියට ගෙන යා යුතුයි. කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන එක නතර කළ යුතුයි.   


 ප්‍රශ්නය:- ඔබලා බලයට ගෙනා ජනාධිපති මෛත්‍රී අද කටයුතු කරන ආකාරය ගැන ඔබට මොනම විවේචනයක්වත් නැද්ද?   


පිළිතුර:- මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව බලයට ගේන්න අපි තමයි ඡන්දය දුන්නේ. සියයට 85ක්ම අපේ ඡන්ද. මෙහෙම ජාතික ආණ්ඩුවක් හැදුණාම නොයෙක් නොයෙක් ප්‍රශ්න එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා ජනාධිපතිතුමයි. අපි එක්සත් ජාතික පක්ෂයේ. ප්‍රශ්න එපා. ඒවා ඉතින් අපි කතා කරලා බේරා ගන්න ඕනෑ. අර්බුද විසඳා ගන්න ඕනෑ. මම එතුමගෙ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයෙක්. එතුමා මාව විශ්වාස කරලා මේ ඇමැතිකමත් දුන්නා. ප්‍රශ්න මැද ප්‍රශ්න බේරාගෙන ආණ්ඩුව ඉස්සරහට අරගෙන යා යුතුයි. 

 

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්