ගාල්ලේ අපි හයදෙනා එකතුවෙලා කතා කරලයි කට්ටියක් ආණ්ඩුවට ආවෙ ඉතිරි අය විපක්ෂයට ගියා


 

එකක් පසුපස එකක් වශයෙන් ප්‍රශ්නවලින් රට පිරී තිබේ. ප්‍රශ්නවල ප්‍රමාණය අනුව ඇතැමුන් කියන්නේ රටේ ආණ්ඩුවක් නොමැති තරම් බවය. මේ ප්‍රශ්නකාරී පරිසරය සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සමඟ කළ සාකච්ඡාවකි.  

 


ප්‍රශ්නය:- ආණ්ඩුවට මොකද වෙන්නේ? ආණ්ඩුව මේ මොනවද කරන්නේ?  
පිළිතුර:-
හොඳ ප්‍රශ්නයක්. ආණ්ඩුවට නම් මුකුත් වෙන්නෙ නෑ.  


ප්‍රශ්නය:- නමුත් රටට?  
පිළිතුර:-
රටටත් මුකුත් වෙන්නේ නෑ. ​ෙම් ආණ්ඩුව 2020 වෙනතුරු රාජ්‍ය පාලනය කරනවා. කොහොම වුණත් ඔබ මතු කරපු ආණ්ඩුව මොකද කරන්නේ කියන එක මේ මොහොතේ බොහොම සංවේදී මෙන්ම ව්‍යාකූලයි.  


ප්‍රශ්නය:- ඔබටත් එහෙම හිතෙන්නේ ඇයි?  
පිළිතුර:-
මෙහෙමයි ආණ්ඩුව හැටියට මේ රටේ ජනතාවාදී වෙනසක් ඇති කරන්න නීතිමය රාමුව තුළ ව්‍යවස්ථාමය රාමුව තුළ කටයුතු කළා. ඒ අතරම ජනමාධ්‍ය නිදහස ඇති කරලා තියෙනවා. ඒ වගේම සියලුම මානව හිමිකම් භූක්ති විඳීමේ නිදහස ඇතිවෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- නමුත් ඇමැතිතුමනි?  
පිළිතුර:-
පොඩ්ඩක් ඉන්න. ඔව්. අපි ඇතිකරපු නිදහස කුමනාකාරයට ජනතාව උපයෝගී කර ගන්නවාද? දේශපාලනඥයන් කොහොම උපයෝගී කරගන්නවාද මේ නිදහස දීම තුළ රජයට කුමක්ද සිද්ධවෙලා තියෙන්නේ කියලා ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා කියලා මමත් පිළිගන්නවා. නමුත් අපි කියන්න ඕනෑ රජය හැටියට නිවැරදි දේ තමයි අපි වෙන්න දෙන්නේ.  


ප්‍රශ්නය:- එහෙම කිව්වත්....?  
පිළිතුර:-
ඔබ අහන්න යන ප්‍රශ්නය මම දන්නවා. ඔව්. මම කියන්නේ නෑ සිද්ධ වෙච්ච හැමදේම නිවැරදිම දේ කියලා. නමුත් ප්‍රතිශතයක් හැටියට විශාල අගයකින් නිවැරදි දේ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. එහෙම නැති කිහිපයකුත් තියෙනවා කියලා මම පිළිගන්නවා.  


ප්‍රශ්නය:- ඔබත් පිළිගන්න ඒ දේවල් මොනවාද?  
පිළිතුර:-
මෙහෙමයි ඉතින්. රජය හැටියට අපි සමහර කාරණා ‘හැන්ඩ්ල්’ කිරීමේදී හැසිරවීමේදී ප්‍රශ්නයක් තියෙන බව පේනවා. හොඳම උදාහරණය මේ දවස්වල තියෙන ‘සයිටම්’ ප්‍රශ්නය ගත්තත්, සයිටම් ආයතනය ඇති කළේ අපේ පහුගිය රජය. ඒ සඳහා අවශ්‍ය වටපිටාව හැදුවේ පාර්ලිමේන්තුවට ගෙනාවේ ළමයි. ‘බැචස්’ කීපයක් බඳවා ගත්​ෙත මේ සියල්ලම කළේ අපේ පහුගිය රජයයි. නමුත් ඒ කාලේ කිසිම ශිෂ්‍යයෙක් පෙළපාළි ගියෙත් නෑ. කිසිම කෙනෙක් මේකට විරුද්ධයි කියලා කිව්වෙත් නෑ. නමුත් අද වෙනකොට මේක දැන් ගත්තොත් වෛද්‍ය ශිෂ්‍යයෝ පාරේ. වෛද්‍ය ශිෂ්‍යයන්ට වැඩිය වෙනත් ශිෂ්‍යයන් ඉන්නේ පාරේ. වෛද්‍යවරු... ඇමැතිවරු....වෛද්‍ය නිලධාරි සංගමය... සමහර ඇමැතිවරු මේක පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත්කරගෙන. දැන් බොහෝ දෙනෙකුට අමතකවෙලා මේකේ තියෙන ජාතික අවශ්‍යතාව මොකක්ද කියලා. රටේ දරුවන්ගේ ප්‍රශ්නය මොකක්ද කියලා. ඒ වෙනුවට මේක පෞද්ගලික ප්‍රශ්නයක් කරගෙන.  

 

ප්‍රශ්නය:- මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය සයිටම් එක සම්බන්ධයෙන් රජයට නිවැරැදි ස්ථාවරයක් නොමැතිකමයි?  
පිළිතුර:-
එහෙම නොවෙයි. රජ​ෙය් ස්ථාවරය රටට කියලා තියෙන්නේ. අපි රජයක් විදියට හැම විටම පොදුවේ හිතන්න පුරුදු විය යුතුයි. අපි හැම විටම රට වෙනුවෙන් හිතන්න පුරුදු වෙන්න ඕනෑ. මේවා පෞද්ගලික ප්‍රශ්න බවට පත්කර ගැනීමට රජය හෝ ඇමැතිවරු හෝ වෘත්තීය සමිති, වෘත්තීයවේදීන් හෝ ශිෂ්‍යයෝ කටයුතු නොකළ යුතු බවයි මගේ අදහස.  


ප්‍රශ්නය:- රජයේ අඩුපාඩුව මේවා ‘බැලැන්ස්’ කර ​නොගැනීම කියලා ඔබ කිව්වා. ඇත්තටම මෙතැන තියෙන ප්‍රශ්නය නිසි නායකත්වයක් නොමැතිවීම නේද?  
පිළිතුර:-
එහෙම නෙවෙයි. රටේ නිසි නායකත්වයක් තියෙනවා. අද රටේ ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හොඳට බිම් මට්ටම අඳුන ගත්ත. රටේ විය යුතු නිවැරැදි දේ වෙනුවෙන් පෙනී සිටින නායකයෙක්. එතුමා ගත්ත හැම තීන්දුවක්ම ජනතාවාදීව රට වෙනුවෙන් ගත්ත නායකයෙක්. හැබැයි අපි ඒ වගේම තේරුම් ගන්න ඕනෑ මේක තනි පක්ෂයක ආණ්ඩුවක් නොවෙයි. පක්ෂ දෙකක ආණ්ඩුවක්. මත දෙකක් තියෙන පක්ෂ දෙකක් ආණ්ඩුවක් කරන අවස්ථාවක්. ඒ තුළ මතවාදී ගැටුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑනේ. අපි එදත් මේ වගේම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ආණ්ඩුවක් කළා. අන්ත දෙකක මත දෙකක් තිබීම නිසා එදත් යම් යම් ප්‍රශ්න ඇතිවුණා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න නැත්තේ නෑ. හැබැයි ඉතින් අපි රජය හැටියට ජනතාව​ෙග් වගකීම ඉටු කරන්න අභියෝග මැද කැප වෙලා ඉන්නවා.  


ප්‍රශ්නය:- නමුත් රටේ තියෙන ප්‍රශ්න දිහා බැලුවම රටේ ආණ්ඩුවක් තියෙනවද කියලා සමහරු අහනවා?  
පිළිතුර:-
මේකේ හොඳ පැත්තකුත් තියෙනවනේ. අද මිනිසුන්ට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මිනිසුන් අද අදහස් හිතේ තද කරගෙන ඉන්නේ නෑ. පහුගිය කාලේ අපට තිබුණ ප්‍රශ්නය තමයි සියල්ල හිතේ තද කරගෙන ඉන්න වුණා. ඒ නිසාම තීන්දුව එනකම් අපේ ආණ්ඩුව දන්නෙත් නෑ. මේ ආණ්ඩුවට ඉගෙන ගත්ත නම් ආණ්ඩුව නිවැරැදි මගට යොමුවෙන්න අවශ්‍ය නම් අද ‘සිග්නල්’ වැටෙන විදිය තේරුම් ගැනීමට රජයක් විදියට ලොකු වාසියක් වෙනවා. ඒ වගේම අපි දකිනවා. නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්ත දේශපාලනිකව පටු අරමුණු තියෙන කණ්ඩායම් යම් යම් උසිගැන්වීම් හා රඟ දැක්වීම් කරනවා.  


ප්‍රශ්නය:- කොහොම වුණත් අද ​ෙම් තියෙන තත්ත්වය රටේ අනාගතයට හොඳ නෑ කියලා ඔබ හිතන්නේ නැද්ද?  
පිළිතුර:-
මෙහෙමයි. රටේ අනාගතය සඳහා අපි. සංවර්ධනය කරා රැගෙන යාමට අවශ්‍ය කරන ශක්තිමත් තුනෙන් දෙකක ආණ්ඩුවක් මේ රටේ තියෙනවා. ඒ වගේම ලෝකයේ ලංකාව පිළිබඳ තිබෙන මතය ඉතාම හොඳ මට්ටමක තියෙනවා. අද ලෝකයේ කිසිම රටක් අපේ රටට හතුරු නෑ. ම​ෙග් අමාත්‍යාංශය ගත්තත් විදේශ සහයෝගය මත ලැබෙන විශේෂ ව්‍යාපෘති මේ රටට ලැබෙනවා. ඉතින් ඒ වගේ යහපත් ප්‍රවණතාවක් රටේ අනාගතය වෙනුවෙන් සිදුවෙනවා. දැන් හැම අංශයකින්ම සංවර්ධනය කරා යොමු වෙනවා. ඒ වගේම පාරේ පෙළපාළි යනවා දැක්කම, පාරවල් වහගෙන උද්ඝෝෂණය කරනකොට, පොදුවේ රටේ ජනතාව අතරත් මතයක් එනවා. ‘මොකක්ද මේ වෙන්නේ’ කියලා. හැබැයි ඒ වගේම අනික් ප්‍රශ්නය තමයි අපි රටේ බුද්ධිමතුන්ට කතා කළොත් ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට කතා කළොත් ඔවුන්​ෙග් මතය නොවෙයි මේ පෙළපාළිවලින් පිළිබිඹු වන්නේ. එ්කයි මෙතැන  තියෙන ප්‍රශ්නය. යම් කණ්ඩායමක මතය තමයි මේ තියෙන්නේ. දැන් බලන්න. ශිෂ්‍ය ප්‍රජාව එළියට ගන්නේ කවුද? පැහැදිලිවම ඒ පිටිපස්සේ ඉන්නේ පෙරටුගාමීන්. රටේ පෙරටුගාමී පක්ෂයට ඡන්දය දෙන කී දෙනෙක්ද ඉන්නේ. අන්න ඒ වගේ සුළුතරයක්. කුමක් හරි දෙයක් පාවිච්චි කරගෙන ලොකු මවා පෑමක් රට තූළ කරනවා.   


ප්‍රශ්නය:- පෙරටුගාමීන් නම් කියන්නේ අපි සටන පිටිපස්සෙන් නොවෙයි ඉස්සරහින් ඉන්නේ කියලා?  
පිළිතුර:-
ඒක තමයි. ඉදිරියෙන් ඉඳගෙන තමයි බලහත්කාරයෙන් මේ රටට මේ විනාශය කරන්නේ.  


ප්‍රශ්නය:- ප්‍රශ්න නැත්නම් සටන් ඇති කරන්නත් බෑ?  
පිළිතුර:-
ප්‍රශ්න කියන ඒවා.... ප්‍රශ්න නැති රටක් නෑ... නමුත් ප්‍රශ්න විසඳීම තමයි රජයක, විපක්ෂයක වගකිවයුතු දේශපාලන පක්ෂයක වගකීම. ප්‍රශ්න වැරදි ආකාරයට මවා පාලා. ඒ තුළින් රට ගිනි තැබීම මං හිතන්නේ වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක කාර්ය භාරය නොවෙයි.  


ප්‍රශ්නය:- ඔබට තිබුණ ඇමැතිකමත් ගහල ගියා. ඔබ ඉන්නේ සතුටෙන්ද?  
පිළිතුර:-
ම​ෙග් අමාත්‍යාංශයේ කටයුතු ගැන මම සතුටෙන් ඉන්නේ. මට ලොකු වගකීමක් දැන් පැවරිලා තියෙනවා. ඒ වගකීම රටට ජනතාවට වඩාත් සුබවාදී ලෙස ඉටු කරන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා.  


ප්‍රශ්නය:- කොහොම වුණත් කැබිනට් සංශෝධනයේදී ඔබත් බිල්ලට ගියා?  
පිළිතුර:-
කැබිනට් සංශෝධනයේදී මම මට තිබිච්ච අමාත්‍යාංශය ඒ අවුරුදු දෙකකට ආසන්න කාලය තුළ කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැරි විදියට කටයුතු කරලා ඒ අමාත්‍යංශය තිබිච්ච තැනින් දැවැන්ත වෙනසකට ගේන්න මට පුළුවන් වුණා. ආයතනය දැවැන්ත ලෙස ලාභ ලැබුවා. අපේ තෙල් ගවේෂණ කටයුතු වේගවත් කරන්න පුළුවන් වුණා. නළ පද්ධතිවල තිබුණු ප්‍රශ්න බොහෝ දුරට විසඳුවා. ප්ලාස්ටික්වලින් තෙල් හදන එක  විතරක් නොවෙයි ඒ තෙල් විකුණුවා. ඒ විදියට බාර දීපු හැම අංශයකින් ඉදිරියට එන්න අපිට පුළුවන් වුණා.?  


ප්‍රශ්නය:- එහෙම නම් ඔබට එ් අමාත්‍යංශය අහිමි වුණේ ඇයි?  
පිළිතුර:-
මේ අමාත්‍යංශයෙන් ඊටත් වැඩිය සමාජීය මෙහෙවරක් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ සංශෝධනය කරන්න ඇති.  


ප්‍රශ්නය:- නමුත් ඇමැති රවි කරුණානායක නම් කිව්වේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය බේරාගන්න සටන් කළ නිසා ඇමැතිකමින් අයින් කළා කියලයි.  
පිළිතුර:-
ඔව්. මම තෙල් ටැංකි ටික ආරක්ෂා කරගන්න විතරක් නොවෙයි. අපේ බලශක්තිය පිළිබඳ තීන්දු ගැනීමේ අයිතිය අපේ රටට තිබිය යුතුයි කියන මතය වෙනුවෙන් සටන් කළා. ඒ ඇමැතිකමේ හිටියත්, මේ ඇමැතිකමේ හිටියත් මන්ත්‍රීකමේ හිටියත් ඒ සියල්ලම නැති වුණත් මේ රටේ බලශක්තීන් පිළිබඳ තීන්දු ගැනීමේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ශ්‍රී ලාංකිකයෙක් විදියට අපේ රට වෙනුවෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් දැරිය යුතු මතයක් හැටියටයි මම විශ්වාස කරන්නේ.  


ප්‍රශ්නය:- ඔබ පිළිගන්නවා ඔබේ ඇමැතිකම මාරු වුණේ ඒ නිසා කියලා?  
පිළිතුර:-
නෑ. මම කිව්වේ මම ඉන්න මතයයි.  


ප්‍රශ්නය:- එහෙම නම් ආණ්ඩුව ඉන්​ෙන් බලශක්ති පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය රටට තිබිය යුතු නෑ කියන මතයෙයි?  
පිළිතුර:-
නෑ. ආණ්ඩුව නොවෙයි. යම් යම් උත්සාහයන් තියෙනවා. තෙල් සංස්ථාව එදා ජනසතු කළේ බණ්ඩාරනායක මැතිනිය. තෙල්වලින් තමයි රටේ සියල්ල තීන්දු වෙන්නේ. වෙන පිටකෙනෙකුට නම් රටට තෙල් ගෙන ඒමේ අයිතිය තියෙන්නේ. එයා තෙල් නතර කළොත් රටම නවතිනවා. අපට ඒ වගේ අනතුරක් බාරගන්න බැහැනේ. පෞද්ගලික ආයෝජනයක් ගැන කතා කළත් සියයට 51 කට වඩා වැඩි අයිතියක් අපට තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් මේ රටට අනාගතයක් නැති වෙනවා. ඒ වගේ කාරණා සම්බන්ධව අපේ මතය අපි පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා.  


ප්‍රශ්නය:- සැප්තැම්බරයෙන් ඉවර වෙන ශ්‍රී ලංකා-යූඑන්පී ගිවිසුම ගැන දැන් ඇවිත් තිබෙන එකඟතාව මොකක්ද?  
පිළිතුර:-
අපි එකතු වුණේ පක්ෂය හැටියට. මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නෙ කොහොමද කියන එක ගැන පක්ෂය හැටියට අපි නිරන්තර සාකච්ඡාවක ඉන්නවා. මේකේ දෙපැත්තක් තියෙනවානේ. පහුගිය මැතිවරණයේදී අපිටත් 81 යි. යූඑන්පියටත් 81 යි. සන්ධානය හැටියට අපිට 95, යූඑන්පී සන්ධානයට 105 යි. යූඑන්පී සන්ධානයෙ 81 ඉඳලා 105 වෙනකම් ඉන්න කණ්ඩායමේ බහුතරයක් පහුගිය ආණ්ඩුවේ අපිත් එක්ක හිටපු අය. ඒ කණ්ඩායමට මෙහේ ඉන්නත් පුළුවන් එහේ ඉන්නත් පුළුවන්. ඒ තත්ත්වය තුළ තමයි අපි තීන්දු කළේ ජාතික ආණ්ඩුවක් හදන්න පක්ෂයක් විදියට අපි සහාය දෙනවා කියලා. ඒ වගේම 105 ක් ඉන්න පැත්තෙන් තව අට දෙනෙක් අරගෙන ආණ්ඩුවක් හදන්න තිබුණා. කොහොම වුණත් ජාතික ආණ්ඩුවට අපි නොගියා නම් 2001 ඉඳන් 2004 වෙනකම් අපේ පාක්ෂිකයන්ට වෙච්ච හානිය පීඩාව නැවත අපේ පාක්ෂිකයන්ට ඇතිවෙන්න ඉඩ දෙනවද? ඒ කාරණයත් අපි මේ තීරණය ගැනීමේදී සැලකිල්ලට ගත්තා.  


ප්‍රශ්නය:- පාක්ෂිකයාට මුවාවෙලා ඇමැතිකම් නැතිව ඉන්න බැරි කණ්ඩායම මේ ගැටය හදනවා කියලා කිව්වොත්?  
පිළිතුර:-
මේක අපි තනියෙන් ගත්ත තීරණයක් නොවෙයිනේ. මගේ ඇමැතිකම වුණත් මම ඉල්ලලා ගත්​ෙත් නෑ. අදටත් මට තියෙන තනතුරු මම ඉල්ලලා ගත්ත ඒවා නොවෙයි. පක්ෂය තීරණයක් ගත්තම, ගාල්ල දිස්ත්‍රික්කයේ අපි හය දෙනෙක් පත්වුණා. ඒ පත්වෙච්ච හය දෙනාම එක තැනකට එකතුවෙලා සාකච්ඡා කරලා තීරණ ගත්තා. ඒ කවුද යන්නේ කවුද විපක්ෂයේ ඉන්නේ කියලා. අපි සාකච්ඡා කරලයි තීරණ ගත්තේ. එහෙම නැතිව එක එක්කෙනාගේ තනි තීරණවලට නොවෙයි.  


ප්‍රශ්නය:- ‘ආණ්ඩුවේ හිටියා ඇති. දැන් එළියට යන්’ කියන මතය ප්‍රබලව තියෙනවා නේද?  
පිළිතුර:-
පැහැදිලිවම අපටත් යම් යම් අවස්ථාවල කලකිරීම් ඇතිවෙලා තියෙනවා. හැබැයි අපි පැහැදිලිවම කියන්න ඕනෑ අපි මේ ආණ්ඩුවේ ඉන්න නිසා ආණ්ඩුව හැටියට ගන්න හදපු ප්‍රශ්නය:- මොනවද ඒ?  
පිළිතුර:- උදාහරණයක් විදියට බැඳුම්කර සිද්ධිය ගැන හොයන්න අපි ඉන්න නිසා තමයි පරීක්ෂණ යන්නේ. ඒ වගේ උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් ප්‍රශ්න මතුවෙනකොට මේ ආණ්ඩුවේදී විතරක් නොවෙයි පහුගිය ආණ්ඩු ඉන්න කාලෙත් අපට යම් යම් කලකිරීම් තිබුණා. නිකම් බොරු කියන්න අවශ්‍ය නෑනේ. ඒ ආණ්ඩුවේදී අපට වුණෙත් එදා ආණ්ඩුව රකිනවද පුද්ගලයන් රකිනවද? කියන ප්‍රශ්නයෙදි පුද්ගලයන් රකින්න යෑමයි. මර්වින් සිල්වාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවද? එහෙම අරගෙන මර්වින් සිල්වා බේරා ගන්නවාද? ආණ්ඩුව බේරා ගන්නවාද? සජින් වාස්ට විරුද්ධව ඇක්ෂන් එකක් අරගෙන ආණ්ඩුව බේරා ගන්නවද? එහෙම නැතිව සජින්වාස් බේරා ගන්නවාද? මේ වගේ ප්‍රශ්නවලදී එදා අපේ ආණ්ඩුව තීරණය කළේ පුද්ගලයා ආරක්ෂා කිරීමයි. මේ මොහොතේත් ​මේ ආණ්ඩුවෙත් ඒ තත්ත්වය තියෙනවා. රජය හැටියට පැති 2 ක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට එහෙම ප්‍රශ්න නෑ. ඉතින් අපි තීරණය කරන්න ඕන මොකක්ද රකින්න ඕනෑ කියලා.  

 


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ගැනීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න පුළුවන් කියලා ඔබ හිතනවද?  
පිළිතුර:-
මෙහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය වෙනුවෙන් මේ හැම කෙනෙක්ම එකතු වෙන්න ඕනෑ. හැමෝගෙම ආශිර්වාදය තිබිය යුතුයි. ඒ වගේම අපි එදා කැපවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරවන්නනේ. නමුත් අපි කොච්චර කැපවෙලා වැඩ කළත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැතිව මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න බැරි වුණානේ. ඒ තර්කයත් අපි පිළිගත යුතුයිනේ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය නැතිව දිනන්නත් බෑ.

 
ප්‍රශ්නය:- මෛත්‍රී-මහින්ද එකතු වෙයිද කියලා කියන්නත් බෑ.?  
පිළිතුර:-
මෙහෙමයි. දේශපාලනඥයන් හැටියට අපි නිසා මහින්ද මහත්තයාට එක ඡන්දයක්වත් අඩු වුණේ නෑ. මට අභියෝග කරලා කියන්න පුළුවන් මම හින්දා මහින්ද මහත්තයාට එක ඡන්දයක්වත් අඩුවුණේ නෑ කියලා. හැබැයි අඩු කරපු අය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජයට. අපේ පරාජයට මහින්ද රාජපක්ෂ මහත්තයගේ පෞද්ගලික පරාජයක් අපට අදාළ නෑ. ශ්‍රී ලංකාකාරයාගේ පරාජයට හේතුවෙච්ච උදවිය අදත් නිවරැදි වෙලාද කියලා. අපට සැකයක් තියෙනවා. අපි කියන්නේ මේ සියලු දෙනාම තම තමන්​ෙග් පෞද්ගලික දේවල් පැත්තකට දාලා. අපි මේ තනතුරුවලට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. අපිව මෙතැනට පාක්ෂිකයා ගෙනාවේ පක්ෂයේ ප්‍රතිපත්ති නිසා. එතකොට අපේ වගකීමක් තියෙනවා පක්ෂය වෙනුවෙන් දුක් විඳින, දුක් විඳපු ජනතාව වෙනුවෙන් එකතුවෙලා මේ රටේ ප්‍රගතිශීලි ජනතාවාදී අනාගතයක් නිර්මාණය කරන්න. ඒක නොකළොත් කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් දෙකට කැඩිලා මේක දිනන්න පුළුවන් කියලා. ඒ අය පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නෙත් අපේ සහෝදරවරු. ඒ අය හමුවුණාම අපට කියනවා මේ ඒකාබද්ධ විපක්ෂයෙ ඉන්න කණ්ඩායමක් අගමැතිතුමා එක්ක පොඩි ඩීල් එකක ඉන්නවා කියලා. දේශපාලනිකව ගත්තොත් එක්සත් ජාතික පක්ෂයටත් ඕනෑ බලය ගන්න.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට කවුද එහෙම ඩීල් එකක ඉන්නේ?  
පිළිතුර:-
මම නම් කියන්නේ නෑ. දන්න කට්ටිය දන්නවා. එහෙම ඩීල් එකක් දාගන්න එකේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැරැද්දක් නෑ. එතුමටත් ඕනෑ බලය ගන්න. එතුමා දන්නවා කාව හරි අල්ලගෙන ශ්‍රී ලංකා එක දෙකට කැඩුවොත් එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් එනවා කියලා. ඉතින් අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අපි විපක්ෂයට ගියත් මන්ත්‍රීකම නැති වුණත් අපට අපේ මිනිස්සු දාලා යන්න තැනක් නෑ. හැබැයි මේවා විනාශ කරලා පක්ෂය අනාථ කරලා පක්ෂය දෙකට කඩලා විනාශ වෙච්ච වෙලාවට සමහරු ඉගිලිලා යයි.  


ප්‍රශ්නය:- කවුද එහෙම ඉගිලිලා යන්නේ?  
පිළිතුර:-
මීට කලින් එහෙම ඉගිලිලා ගිය අයම තමයි.

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙනනකෝන්