ගම්වල ඉන්න අපේ මන්ත්‍රීවරුන්ට සහ, අපට කෙනෙහිලිකම් විශාල ලෙස සිදුවෙනවා


සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා 
පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය ඇමැති 
ලසන්ත අලගියවන්න  

ප්‍රශ්නය - රටේ තත්ත්වය එන්න එන්නම දරුණුයි. ආණ්ඩුව මේ මොනවද කරන්නේ?   


පිළිතුර - මේක මේ මුළු ලෝකයේම තියෙන තත්ත්වයක්. අපේ රටේ විතරක් නොවෙයි මුළු ලෝකයෙම අද මේ වසංගතය නිසා පීඩාවට පත්වෙලා. එහෙම බලනකොට ආණ්ඩුව මේ මොනවද කරන්නේ කියන ප්‍රශ්නය වලංගු නෑ. ලෝකයත් එක්ක බලනකොට අපේ රටේ යහපත්. අසල්වැසි ඉන්දියාව දිහා බලපුවාම අපට රූපවාහිනිය වහන්න හිතෙනවා. ඒ වගේම බ්‍රසීලය ඒ වගේම යුරෝපාකරයේ රටවල් අද වහලා. එවැනි තත්ත්වයක් තුළ අප සුබවාදීව සිතිය යුතුයි. මේ වගේ අභියෝගාත්මක වෙලාවක අපි සියලු දෙනා එකතු වෙලා අභියෝග තේරුම් අරගෙන කටයුතු කළොත් අපට මේ තත්ත්වය ජයගන්න පුළුවන්.   


ප්‍රශ්නය -  අවුරුදු සමයේ යම් පාලනයක් කළ යුතුව තිබුණත් ආණ්ඩුව ඒක කළේ නෑ. මේ තත්ත්වයට හේතුව ඒක.   


පිළිතුර - අපේ රටේ හැම දේකදිම ඒක එහෙමනේ. ඕනෑම දෙයක සාර්ථකත්වයට පියවරු ගොඩයි. අසාර්ථකයි නම් ඒකට රජය විතරයි. ඒක මේ සිද්ධියට විතරක් නොවෙයි හැමදේකදීම එහෙම තමයි. ගිය අවුරුද්දෙත් ජනතාවට සිංහල අවුරුද්ද සමරන්න බැරි වුණා. ඒ නිසයි යම් ලිහිලක් දුන්නේ. දැන් අපටත් හිතෙනවා ඒක එහෙම නොවුණා නම් හොඳයි කියලා. කොහොම වුණත් ඔබේ ප්‍රශ්නයෙන් තේරෙන්නේ ජයග්‍රහණයට පියවරු දහසක් සිටියට පරාජය අවජාතකයි කියන කියමනයි. අපි පරාජය වෙලා නෑ. තත්ත්වය ටිකක් නරක් වෙලා තියෙනවා. නමුත් ඉක්මනට යථා තත්ත්වයට පත්කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.   


ප්‍රශ්නය -  පිළියන්දල පොලිස් වසම හුදෙකලා කරන්න සෞඛ්‍ය අංශ තීරණය කරනවා. ඇමැති ගාමිණි ලොකුගේ මැදිහත්වෙලා ඒක වෙනස් කරනවා. ඒ විදියට දේශපාලන තීන්දු අරගෙන පුළුවන්ද රට යථා තත්ත්වයට පත් කරන්න.   


පිළිතුර - අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව තමයි තීන්දු තීරණ ගත යුත්තේ. ගාමිණි ලොකුගේ ඇමතිතුමාගේ ප්‍රශ්නය ගත්තොත් මාධ්‍ය මගින් ඔය ගැන විවිධ අදහස් පළ වුණා. එතුමා කියලත් තිබුණා මම කිසිම බලපෑමක් කළේ නෑ කියලා. කෙසේ හෝ මගේ මතය තමයි සෞඛ්‍ය බලධාරින්ගේ අදහස්වලට යටත්ව තමයි තීන්දු තීරණ ගත යුත්තේ.  


ප්‍රශ්නය - ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරියක්වන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැත්තකට කරලා දාලා කියලත් කියනවා.  


පිළිතුර - විවිධ කතා ​මේ වෙලාවේ කියනවා. එතුමිය එතුමියට පවරා තිබෙන කටයුතු ඉහළින්ම ඉටු කරනවා. එතුමිය විශේෂඥ වෛද්‍යවරියක්. විශේෂයෙන්ම එතුමිය මගේ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රිතුමියක්. අපේ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාගේ බිරිඳ. ඒ අත්දැකීම් එක්ක එතුමියට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. ඒ වගේම ඒ කාර්යභාරය ඉහළින්ම කරනවා. මේ වෙලාවේ විවිධ අය විවිධ කතා කියමින් රජය ගෙනයන මේ වැඩපිළිවෙළ අවුල් කරන්න හදනවා. එහෙම නැතුව ඔය කතාවල ඇත්තක් නෑ.   


ප්‍රශ්නය - කොහොම වුණත් ආණ්ඩුවේ වැඩවල ඒකමතික බවක් පේන්න නෑ. යලටත් මහටත් දෙකටම නෑ වගේ පේන්නේ.   


පිළිතුර - උදාහරණ දුන්නොත් මට ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන්.   

 

ප්‍රශ්නය - තීන්දු තීරණ ගන්නේ කවුද? ඒවා ක්‍රියාත්මක කරන්නේ නොකරන්නේ කවුද කියලා පැහැදිලි නෑ. 

 
පිළිතුර - අවසානයේ දී ජනාධිපතිතුමා අපේ රජය වගකීම බාරගන්නවා. ඒ වගකීමෙන් අපි මිදිලා නෑ. බලාගෙන ඉන්න කොට පේනව ඇති යම් යම් තැන්වලින් ‘‘මිස්’’ වෙනවා කියලා. නමුත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය වගකීම ගන්නවා. වගකීම ගත්ත නිසා තමයි මම අර මුලින් කිව්වා වගේ මුළු ලෝකයම අර්බුදයට ගිහින් තිබියදීත් අපි යම්කිසි තැනක ඉන්නේ. ඒ නිසා ලෝකයේ අනෙකුත් බලවත් රටවල් සමග සංසන්දනය කරමින් තමයි අපට අපේ රට දිහා බලන්න වෙන්නේ. එහෙම බලනකොට අපි රටක් හැටියට බොහොම සුබවාදී තැනක ඉන්නවා කියන එක හංගන්න බෑ.   


ප්‍රශ්නය - ආණ්ඩුව ඇතුළේ පක්ෂ ගණනාවක් තියෙනවා. පොහොට්ටුව ඒ පක්ෂවලට සලකන විදිහ හරි නෑ කියනවා. ඔබත් ඒක පිළිගන්නවාද?   


පිළිතුර - අනිවාර්යෙන්ම ඔව්   


ප්‍රශ්නය -  ඔබ එහෙම කියන්නේ   


පිළිතුර - අපි මේ රටේ ප්‍රධාන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා අප කරන ලද කාර්යභාරයට ප්‍රමාණවත් ආකාරයෙන් සැලකිල්ලක් අපේ පක්ෂයට වෙන්නේ නැහැ. හැබැයි අපි ඒක අදාළ තැන්වලදි කතා කරන්නේ. කෙතරම් කෙනෙහිලිකම් තිබුණත් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ඒ සහයෝගය දෙනවා. ඒක තමයි පරිණත දේශපාලන පක්ෂයක තියෙන ගුණාංගය. අපේ පක්ෂය නායක නායිකාවන් අපට උගන්වලා තියෙන්නේ එහෙමයි. මේ පක්ෂය ජීවිත පූජාකිරීම මගින් ගොඩනැගුණ පක්ෂයක්. බණ්ඩාරනායක මැතිතුමා මැතිනිය චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂවලට නායකත්වය දුන්නා. අපි අවුරුදු 17 ක් විපක්ෂයෙ ඉඳලා ජයග්‍රහණය කරපු පක්ෂයක්. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයකට හොඳට මුහුණ දීගෙන විනයක් ඇතිව අපි ආණ්ඩුවට ජනාධිපතිතුමාට පක්ෂයක් විදියට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම අපේ ගම්වල ඉන්න මන්ත්‍රීවරුන්ට ගම්වල ඉන්න නායකයන්ට අපට පවා කෙනෙහිලිකම් විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. අපි ඒවා ඉවසා දරාගෙන රට වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. 

 
ප්‍රශ්නය -  සංවර්ධන ව්‍යාපෘති කරන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගන්නෙත් නෑ.  


පිළිතුර - ඒවාට ක්‍රමවේදයක් හදලා තියෙනවා. සියලු දෙනාගේම දායකත්වය ලැබෙනවා කියලා කියන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද තිබුණට ඒවා ක්‍රියාත්මක වෙන්නේ වෙන විදියකට. ඉතින් අපි ඒකට අඬ අඬා ඉන්නේ නෑ. අද ජනතාව පිළිඅරගෙන තියෙනවා අපිට වැඩක් කරන්න දෙන්නේ නෑ කියලා. ඇබැයි අපි ඒවට අඬ අඬා ඉන්නේ නැහැ.  


ප්‍රශ්නය - ඒ හදලා තියෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවෙන්න ඉඩ නොදෙන්නෙ කවුද?   


පිළිතුර - ඒකට එක්කෙනක් කියලා අපිට චෝදනා කරන්න පුළුවන්කමක් නෑ. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ තියෙන විශ්වාසය නිසා තමයි අපි තවමත් ජනාධිපතිතුමාට අගමැතිතුමාට සහයෝගය ලබා දෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය නායකයෝ හිතනවා ඒ අය නිසා තමයි මේ ජයග්‍රහණ කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙන කීර්ති නාමය නිසා තමයි ඒ අයටත් ජයග්‍රහණය කරන්න ලැබුණේ. හැබැයි ඒක ඒ අය දන්නේ නෑ. ඒ අය හිතන්නේ ඒ අය නිසා දිනුවා කියලා. ඒ තත්ත්වය හැම තැනම තියෙනවා. නමුත් අපි ඒවට මුහුණ දෙනවා. බයේ පස්සට යන්නේ නෑ.

   
ප්‍රශ්නය - කැඩිලා වෙන්වෙලා යන තරමට තත්ත්වය උග්‍රයි?   


පිළිතුර -  අපි බොහොම පැහැදිලිව තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ තමයි කොයිම ආකාරයෙන්වත් විපක්ෂයට වාසියක් වෙන විදියේ තීන්දු ගන්නේ නෑ. මං ඒකයි සඳහන් කළේ ඉතාම පරිණත විනයගරුක පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප කිරීම් කරලා තියෙනවා. තමන්ගෙම අක්කර පනස් දාහක් විතර තමන්ගේම ආණ්ඩුවක් යටතේ අලුතෙන් නීති සම්පාදනය කරලා ජනතාවට පරිත්‍යාග කරපු නායකයෝ හිටිය පක්ෂයක් මේක. අපි ඒ අත්දැකීම් එක්ක ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක අපි ඉන්නේ. ​මොන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රතිපත්තිමය රාමුවෙන් අපි මිදෙන්නේ නැහැ.   


ප්‍රශ්නය -  අසාධාරණය ඉවසගෙන ඉන්නේ නැතිව අපි වෙනම යං කියලා සමහරු කිව්වත් නෑ ඕන නෑ කියලා ඒ මතය යටපත් කරන අය ඔබ අතර ඉන්නවා.   


පිළිතුර - මං ඒකනේ කිව්වේ අපේ පක්ෂය සෑම වෙලේම රට වෙනුවෙන් තීන්දු ගත් පක්ෂයක්. ඒ නිසා පක්ෂය වෙනුවෙන් හෝ අපි වෙනුවෙන් හෝ තීන්දු ගත් පක්ෂයක් නොවෙයි අපි. ඒක තමයි ඉතිහාසයේ පාඩම. ඒකනේ ඇත්ත කතාව. රට වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතු අවස්ථාවක් මේක. ඒ නිසා අපි රට වෙනුවෙන් හිතලා තීන්දු තීරණ ගන්නවා. අපට ප්‍රශ්න තියෙනවා. ඒවා අපි සාකච්ඡා කරලා විසඳාගන්නවා. 

 
ප්‍රශ්නය -  එහෙම සාකච්ඡා කරන්න තැනක් තියෙනවද පොහොට්ටුව ඇතුළේ?   


පිළිතුර - අ... අ... ආ... අ... සාකච්ඡා කරන්න අ... අ... අ තැනක් දැන් හැදෙමින් පවතිනවා... අ... අ... අ... තාම අපිට හරියටම තැනක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමකුත් නෑ.   


ප්‍රශ්නය - පළාත් සභා ඡන්දය ආවොත් මොකක්ද ගන්න තීරණය?   


පිළිතුර - නාම මැතිවරණය මොන ක්‍රමයටද තියෙන්නේ කියල තීන්දුවක් අරගෙන නෑ. මැතිවරණය පවත්වන දිනය තීරණය කළාට පස්සේ අපි අනිවාර්යෙන්ම සාකච්ඡා කරලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නවා. 

 
ප්‍රශ්නය -  නාම යෝජනා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණය ඉටුවෙයි කියලා හිතනවද?   


පිළිතුර - තවම ඒ ගැන අවසන් තීරණයක් අරගෙන නෑ. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකයන් ලබාදීම සම්බන්ධයෙන් තියෙන අමිහිරි අත්දැකීම් නිසා මෙවර අපේ අපේක්ෂකයන්ට එබඳු අමිහිරි අත්දැකීම්වලට නම් ඉඩක් තියන්නේ නෑ. කොහොම වුණත් අපට මෙවර සාධාරණය ඉටු කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.   


ප්‍රශ්නය - ඒ කියන්නේ ‘‘බැරිම තැන හන්දියෙන්’’ බහින්නත් බලාපොරොත්තුවක් තියෙනවා.  


පිළිතුර - අපි ප්‍රර්ථනා කරනවා එහෙම නො​වේවා කියලා ඒක නායකයන් හා ප්‍රධාන පක්ෂ අතර තියෙන වගකීම. පළමුව වගකීම ගත යුත්තේ මේකට නායකත්වය දෙන අය හා ප්‍රධාන පක්ෂය.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 94 ඉඳලම ප්‍රධාන පක්ෂය හැටියට චන්ද්‍රිකා මැතිනිය එක ඡන්දයක් තියාගෙන තමයි ආණ්ඩුව ගෙනිච්චේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමත් 2005 දී ඡන්ද දහඅට දාහකින් ජයග්‍රහණය කරලා තමයි අවුරුදු 10 ක්ම හිටියේ. ඒ නිසා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ප්‍රධාන පකෂ විදියට පොහොට්ටුවට අනිවාර්යයෙන්ම ප්‍රධාන වගකීම තියෙනවා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ සියලුම දෙනා එකතු කරගෙන ඉදිරියට යන්න.

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්