ගම හදන්න ඉල්ලන මේ ඔක්කොම රට කාපු උදවිය


එළඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු කාලීන දේශපාලනය ගැන මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමගයි.   

 

 

ඡන්දෙට සුමාන දෙකයි තියෙන්නේ   
 නාම යෝජනා දීපු දවසෙ ඉඳලා මේ වෙනකොට අපි අපේ මැතිවරණ ප්‍රචාරණ වැඩ කටයුතු සැලකිය යුතු මට්ටමකට අවසන් කරලා තියෙන්නේ. අපි රටේ විශාල පිරිසකට ඇමතුවා. අපි රටේ විවිධ ප්‍රදේශවලට ගියා. ඒ හැම තැනකදීම අපිට පෙනුනෙ ඒ අය ප්‍රගතිශීලී ගමනකට සූදානමින් ඉන්න බව. මැතිවරණ බිමේ වැඩිම වාසිය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. මේ ඡන්දෙ ආණ්ඩුවට වාසියක් නෑ. ආණ්ඩුව එක්ක ඉන්න අනික් පක්ෂවලටත් වාසියක් නෑ. අනික් අතට මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න කණ්ඩායමත් මේ ඡන්දයෙදි මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.   
 වංචා දූෂණ නවත්තලා ගම හදන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට කියන විශ්වාසය මේ වෙනකොට රට පුරාම තහවුරු වෙලා තියෙනවා. අලුත් දේශපාලන ප්‍රවණතාවක් මේ මැතිවරණය හරහා අපේ රටේ ඇතිවෙයි කියලා අපි හිතුවා.  


හැම පක්ෂයක්ම කියන්​ෙන් ඔය කතාවම නේ?   
අපිට දැනට ඉලක්කම් කියන්න බෑ. අපිට දිනන්න පුළුවන්. පළාත් පාලන ආයතන සංඛ්‍යාව මෙච්චරයි කියලා ඉලක්කම් කියන්න බැරි වුණත් අපි අනිවාර්යන්ම කියනවා ජනතා විමුක්ති පෙරමුණට ඉතා විශාල ජයග්‍රහණයක් හිමිවෙනවා කියන එක. මීට කලින් මැතිවරණවලදී අපිට උදවු නොකරපු පිරිස්, අපිත් එක්ක එකතු නොවුණු පිරිස්, අපේ රැස්වීම්වලට සහභාගි නොවුණු පිරිස් විශාල වශයෙන් මේ මැතිවරණයත් එක්ක අපි වටා එකතුවෙමින් ඉන්නවා.   


 ඒ වගේම අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් විශාල පිරිසක් ඍජුව හා වක්‍රව අ​ෙප් මැතිවරණ ව්‍යාපාරයත් එක්ක හවුල් ​ෙවනවා. ඒ බොහෝ දෙනෙක් ජනතාවට කියන්නේ මෙවර ඡන්දය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න කියලා. මේ වගේ දේවල් වලින් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ මැතිවරණයේ වැඩි වාසිය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.   

 


 ඔබලා කාලයක් තිස්සේ කිය කිය හිටියා ඉදිරි මැතිවරණවලට පුළුල් පෙරමුණක් එක්ක කළඑළි බහිනවා කියලා. මේකෙදිත් ජනතා විමුක්ති පෙරමුණ විදියටම තමයි ඔබ තරග කරන්නේ. කෝ ඔය කියපු පුළුල් පෙරමුණ?   
අපි එළිඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්නේත් ජනතා විමුක්ති පෙරමුණ විදියටම තමයි. නමුත් අනාගතයේදී අපි කියපු පුළුල් දේශපාලන පෙරමුණත් මේ රටේ බිහිවෙනවා. ඒ පිරිස යම් යම් ආකාරයට මේ මැතිවරණයේදීත් අපිට සහයෝගය පළ කරනවා. අපේ අපේක්ෂක ලැයිස්තුවලට මේ පිරිස් ඇතුළත් වෙනවා.   


 ඊට අමතරව අපේ රටේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවන්, විවිධ වෘත්තිකයින්, උගතුන් තව තවත් මේ පෙරමුණ වටා එකතුවෙමින් ඉන්නවා. ඒ නිසා ඉතාම ශක්තිමත්ව ඒ පෙරමුණ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.   

 


පහුගිය කාලේ ඔය වගේ දේශපාලන පක්ෂවලට දේශපාලන නායකයින්ට උදවු කරපු අයට මේ රටේ මිනිස්සු කිව්වේ ‘කඩේ ගිය’ අය කියලා. එහෙම තත්ත්වෙකට ඒ අයට පත්වෙන්න වුණා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන මේ බලවේගය වටා පෙළ ගැහෙන පිරිසත් කඩේ ගිය හෝ කඩේ යන පිරිසක් කියලා ර​ෙට් මිනිස්සු කියයිද?   
පැහැදිලිවම මේ දෙපිරිස අතරෙ වෙනසක් තියෙනවා. ඔබ ඔය කලින් කියපු පිරිස ඒ ඒ දේශපාලන පක්ෂවලට හා දේශපාලන නායකයින්ට කිට්ටු වුණේ සහයෝගය දුන් හේතුවයි. අපිත් එක්ක එකතු වෙන පිරිස අපිට සහයෝගය දෙන හේතුවයි දෙකක්. ඒ අයගේ අපේක්ෂාවන්, බලාපොරොත්තු වෙනස්. අනිත් දේශපාලන පක්ෂවලට සහයෝගය දීපු ගොඩක් අයගෙ බලාපොරොත්තුව පුද්ගලිකයි. ඔවුන් බලාපොරොත්තු වුණේ ඒ ඒ දේශපාලන පක්ෂ බලයට පත්වුණාට පස්සේ තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද. අපිත් එක්ක එකතුවෙන අයට එහෙම පුද්ගලික බලාපොරොත්තු නෑ. යහපත් රටක් යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් සහ ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගැනයි ඒ අයගෙ බලාපොරොත්තුව. ගෙයක් ගන්න, වාහනයක් ගන්න, රාජ්‍ය ආයතනවල තනතුරු අරගන්න බලාගෙන දේශපාලන පක්ෂවලට සහයෝගය දුන්නු කලාකරුවන්ට උගතුන්ට වෘත්තිකයින්ට වඩා වෙනස් පිරිසක් තමයි අපි නිර්මාණය කරන පෙරමුණ වටා එකතු වෙන්නේ.   

 


ආණ්ඩුවේ ඉන්න පක්ෂවලට පළාත් පාලන ආයතනවල බලයත් දුන්නොත් තමයි ගමට වැඩක් වෙන්නේ කියලා ඔවුන් ජනතාවට කියනවා. මේ කතාව මිනිස්සු ඇහුවොත් ජවිපෙට අවාසියි නේද?   
පළමුවෙන්ම කියන්න ඕන ඔය කතාව මිත්‍යාවක්. මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂය කියලා කියන කට්ටියත් දේශපාලන වශයෙන් නම කැත කරගත්තු පිරිසක්. හොරකම්වලට දූෂණවලට නම ගෑවුණු ඒවට නඩු වැටුණු විශාල පිරිසක් ඔය කණ්ඩායම් තුනේම හරි හරියට ඉන්නවා. මේ නිසා ඒ අයට අද සමාජයට මුහුණ දෙන්න බැරිකමක් තියෙනවා.   


මැතිවරණයට ආවට ඒ අයට විශ්වාසයක් නෑ ජනතාව මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද කියලා. ඒ නිසා ඒ සමහර අය විවිධ කතන්දර කිය කිය යනවා. ඔය ආණ්ඩුවේ ඉන්න පක්ෂයටම පළාත් පාලන ආයතනවල බලයත් දෙන්න ඕන කියන කතාවක්. ඒ වගේ හරයක් නැති කතාවක්. ගම හදන්න ඉල්ලුවට මේ අය ඔක්කොම රට කාපු උදවිය. ආර්ථිකය විනාස කරපු උදවිය. දැන් කියන්න දෙයක් නැති නිසා මොනවා හෝ කියනවා.  


 ආණ්ඩු බලය නැතුව තමයි අපි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මේ රටේ හොඳම සභාව බවට පත් කළේ. ඒකෙන්ම අපි ඔය කියන කතාව බොරු කරලා ඉවරයි. අපි ජනතාවට කියනවා ආණ්ඩු බලය නැතුව පළාත් පාලන ආයතන හරියට කරගෙන යන හැටි දකින්න ඕන නම් අපිට මේවායේ බලය දෙන්න කියලා.  

 


දැන් පළාත් පාලන ආයතනවල පවතින සිස්ටම් එක අවුල් කියල නේ ඔබලා කියන්නේ. ඔබලට බලය ලැබුණොත් කොහොමද ඒ ආයතනවල වැඩ කරන ක්‍රමය වෙනස් වෙන්නේ?  
අපි ගමට සංවර්ධනය ගලාගෙන යන ආකාරයට අලුත් ක්‍රමවේදයකට පළාත් පාලන ආයතනවල වැඩ කරන්න තමයි බලාපො​ෙරාත්තු වෙන්නේ. ඒකෙදි කාටවත් හොරකම් කරන්න, කොමිස් ගහන්න, අතයට ටෙන්ඩර් පාස් කරන්න හම්බවෙන්නෙ නෑ. අපි තිස්සමහාරාමෙදි ඒක මීට කලින් පෙන්නුවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව නගරයත් ගමත් හදන්න ඕන. තමන්ගේ පක්ෂෙ අයට වැඩ කරන ක්‍රමයක් අපි ළඟ නෑ. පළාත් පාලන ආයතන ප්‍රධානීන්ටත් හිතූ හිතු හැටියට වැඩ කරන්න බෑ. අදාළ ප්‍රතිපාදන සමසේ හැම තැනටම බෙදෙන වැඩපිළිවෙළකට තමයි අපි වැඩ කරන්නේ.  


 මේ පළාත් පාලන ආයතනවල පුරුද්දක් වෙලා තියෙනවා විශාල ලෙස මුදල් වියදම් කරලා රට සවාරි ගිහින් එන එක. ඒ යන එකෙන් ගමට සතපහක ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. ඒ අය විනෝද වෙලා එනවා විතරයි. ​ෙම් වගේ වැඩවලට යන වියදම් දරන්න වෙන්නේ ජනතාවට. මේවා නතර විය යුතුයි. අත්‍යවශ්‍ය දෙයක් පමණක් අපි තෝරගන්න ඕන.   


ජනතාව එකතුවෙලා නියෝජිත පිරිසක් පළාත් පාලන ආයතනවලට යවලා ඒ අයට විනෝද වෙන්න ඉඩ දෙන එක නෙවෙයි වැඩේ. ඒ විනෝදයේ වියදමත් ඒ ජනතාවගෙ පිටයි පැටවෙන්නේ. මේ වැඩ නතර වෙන්න ඕන. ඒ මුදල් ජනතාවගේ යහපතට, සංවර්ධනයට යොදන වැඩපිළිවෙළකට අපි යනවා. අපිට බලය ලැබෙන ආයතනවලදි. පළාත් පාලන ආයතනවලට මුදල් උපයා ගන්නේ කොහොමද ඒ මුදල් වියදම් කරන්නේ කොහොමද කියන එකට විධිමත් ක්‍රමවේදයක් අපි සතුයි.  


අපි බලය ගන්න පළාත් පාලන ආයතනවල අපේ නියෝජිතයො වැටුප් සාක්කුවෙ දාගන්නේ නෑ. ඒකත් ප්‍රදේශයේ සංවර්ධනයටම යොදවනවා. ඒ ආදර්ශය දීලා තියෙන්​ෙන් අපි විතරයි. ඉදිරියටත් අපි ඒක ක්‍රියාත්මක කරනවා. වෙන කිසිම පක්ෂයකට මේ වැඩේ කරන්න බෑ. ඒකට ඔවුන් සූදානම් නෑ.  


ඊයෙ පෙරෙයිද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ මලික් සමරවික්‍රමගෙ සල්ලිවලට යටවෙලා කියලා. මේ කතාව දැන් උසාවියටත් ගිහින්.  


මුලින්ම කියන්න ඕන ඔය කතාව සම්පූර්ණ අසත්‍යයක්. ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලත් මේ රටේ හැමෝම දන්නවා. හොරකමට, දූෂණයට නම ගිය ඒවට නඩු වැටිච්ච පුද්ගලයෙක් තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ. අපි මේ අපහාසයට විරුද්ධව දැනටමත් අධිකරණය ඉදිරියට ගිහින් තියෙන්නේ. ඒකෙන් අපිට පුළුවන් වෙයි කවුද හොරා කියලා බලාගන්න. රාජ්‍ය ආයතනවලින් හොරා කාපු බංකොලොත් දේශපාලකයොනේ අපිට චෝදනා කරන්නේ. එල්ටීටීඊ එකෙන් පවා සල්ලි ගත්තු අය ඉන්නවනේ. මේවා ඉදිරියේදී අපි රටටම එළි කරන්නම්.  

 


අනුර කුමාර දිසානායක රට යද්දී බිස්නස් ක්ලාස් එකේ යන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා ඊයෙ පෙරේදා.....?  
ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව කියන්න චෝදනාවක් නැති වුණාම මොකක් හරි දේක එල්ලෙනවා. ඔය ඊයේ පෙරෙයිදා සමාජ ජාලවල පළවුණු ඡායාරූපය ගොඩක් පරණ එකක්. අපට රට යද්දී ඕන පන්තියක යන්න පුළුවනි. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද. රටේ සම්පත් කොල්ල කාපු හොරුන්ට දූෂිතයන්ට විතර ද බිස්නස් ක්ලාස්වල ෆස්ට් ක්ලාස්වල යන්න පුළුවන්.  


 අපිට විදේශ රටකින් ලැබෙන ආරාධනයකට අනුව අදාළ විදියකට අපි ගමන් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මහින්ද රාජපක්ෂලා තුන්හාරසීය එක්ක රට යද්දී, පවුල් පිටින් රට සවාරි යද්දී බල්ලො ගේන්​ෙන මඟීන් බස්සල. ඕන ඕන හැටියට ගුවන් යානා පාවිච්චි කරද්දී කටපියාගෙන ඉඳපු අයට තමයි අනුර දිසානායක සහෝදරයාගේ ඡායාරූපය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි හදන්න උත්සාහ කරන්නේ එක පවුලකට පළවෙනි පන්තියේ යන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි හැම දෙනාටම පළවෙනි පන්තියේ යන්න පුළුවන් ක්‍රමයක්.  

 

 ප්‍රියන්ත කොඩිප්පිලි