කොකාගේ සුද පේන්නේ ඉගිලෙන විටයි


උසස් අධ්‍යාපන, තොරතුරු සන්නිවේදන තාක්ෂණික නවෝත්පාදක 
ඇමැති, ආචාර්ය  බන්දුල ගුණවර්ධන   

රට ගමන් කරමින් තිබෙන්නේ කොතැනට ද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ අනාගතය සුබ වේද? මේ ඒ ගැන විමසමින් උසස් අධ්‍යාපන, තොරතුරු සන්නිවේදන තාක්ෂණික නවෝත්පාදක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

 

 

 


ප්‍රශ්නය:- ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් පසු විපරම කොහොම ද?   


පිළිතුර:- මම හිතන්නේ අපේ රටේ තීරණාත්මක පැයේ දී මව්බිමට ආදරය කරන පොදු ජනතාව ඉතා සවිඥ‌ානාත්මක ප්‍රබුද්ධ තීන්දුවක් එක පොකුරකට ඉඳගෙන ලබාදුන්නා. ඒක ජයග්‍රහණයක් නොවෙයි ලාංකේය දේශපාලන ඉතිහාසයේ විජයග්‍රහණයක්.   


ප්‍රශ්නය:- රටට හැමද‌ාම වැරැද්දුවේ අධිතක්සේරුව?   


පිළිතුර:- මෙහෙමනේ. මේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිම අපේක්ෂකයකුට ලබාගත නොහැකි වූ හැට නව ලක්ෂයක ජනවරමක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා ගත්තා. ඒකේ විශේෂත්වය තමයි ලංකා සිතියම ප්‍රතිඵල අනුව පාට කළාම උතුර හා නැගෙනහිර දෙපළාත හැර රටේ අනික් සියලුම ප්‍රදේශ එක පාටකින් ජයග්‍රහණය සංකේතවත් කළා. බෙදුම්වාදීන්ගේ බෙදුම් රේඛාව මෙන්ම ඡන්ද ප්‍රතිඵලවලත් ජාතිවාදි අන්තවාදි බෙදුම්වාදී රේඛාවක් සහිතව තමයි මේ විජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ ලබලා තියෙන්නේ.  

 

මම නම් විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගැලපෙන පාර්ලිමේන්තුවක්  
ලැබෙයි කියලා


ප්‍රශ්නය:- ඔබ කියපු බෙදුම් රේඛාව අනුවම අපේ රටේ සහෝදර ජනතාවක් ගෝඨාභය රාජපක්ෂට එදිරිව තමන්ගේ විරෝධය පළ කරලා තියෙනවා?  


පිළිතුර:- ඒ ප්‍රදේශවල ජනතාව ඒකට කිසිසේත්ම වගඋත්තරකරුවෝ නොවෙයි. එහි ප්‍රධානම වග උත්තරකරුවන් වන්නේ ජාතිවාදී අන්තවාදී දේශපාලන නායකයන් සහ ඔවුන්ට ආධාර අනුබල හා මූල්‍ය අනුග්‍රහයන් ලබා දුන් විජාතික අශුද්ධ බලවේගයයි. ඔවුන් ඉතාම බරපතළ භීතියක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන්ට එරෙහිව ඇති කළා. ඒක මාරාන්තික භීතියක්. ‘මරණයෙන් ගැලවෙන්න නම් සජිත්ට ඡන්දය දෙන්න. මරණය ඕනෑ නම් ගෝඨාභය තෝරා ගන්න.’ එහෙමයි කිව්වේ. ගෝඨාභය මිනීමරලා කිඹුලන්ට කන්න ද‌ානවා කියන ප්‍රචාරය දකුණට ජෝක් එකක් වුණාට උතුරට හා නැගෙනහිරට අලුත් භීතියක් ඇති කළා. ඒ නිසාම එම ජනතාව බියෙන් අගතියට ගිහින් මරණයෙන් ගැලවීමට හා විමුක්තියට ඇති එකම මාර්ගය සජිත් දිනවීම පමණයි කියන තැනට ආවා.  


ප්‍රශ්නය:- මේ සහෝදර ජනතාව දිනාගැනීම අත්‍යවශ්‍යයි. ඒකට වැඩපිළිවෙළක් තියෙනව ද?  


පිළිතුර:- මේ ජනතාව ඉතාම ඉක්මනට පැහැදිලිව වටහා ගන්නවා ඇත්ත කුමක්ද කියලා. ජනාධිපතිවරණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂයන් ඒ තමන්ට විරුද්ධව ඡන්දය දුන්න සියලු ජනයාට ආරාධනා කළා. ‘මම දැන් මුළු රටේම ජනාධිපති. එක රටක් එක නීතියක් යටතේ ඔබත් මේ රට ගොඩනැගීමට මාත් සමග හවුල් වෙන්න’ කියලා. ඒ වගේම අපි ඉන්න පළාත්වල... මම ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ තියෙන සියලුම මැතිවරණ කොට්ඨාසවල අපි අන්ත පරාජයක් ලැබුවා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, කැස්බෑව, කඩුවෙල, අවිස්සාවේල්ල, කො​ෙලාන්නාව, මොරටුව, රත්මලාන ආදී මැතිවරණ කොට්ඨාසවලදී ඉහළම ජයග්‍රහණයක් වාර්තා කරන්න සිංහල බෞද්ධ ජනයා ඡන්දය පාවිච්චි කළා. මගේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ පමණක් සියයට 98 කටත් වැඩියෙන් ඉන්නේ සිංහල බෞද්ධයෝ. මේ හෝමාගම මැතිවරණ කොට්ඨාසය මහ පොළොව ඇතිවෙච්ච දවසේ ඉඳලා මේ දක්වා ජනාධිපති අපේක්ෂකයකුට ලැබුණ වැඩිම ඡන්ද ප්‍රමාණය එක්ලක්ෂ හයද‌ාහකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂයන්ට ලබාදුන්නා. ලංකාවෙන්ම වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණය හැටහය ද‌ාහකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්නා. මීට කිට්ටු ඡන්ද සංඛ්‍යාවක් කැස්බෑවෙන් හා කඩුවෙලින් ලැබුණා. මේ කැලණි මිටියාවතේ හේවාගම් කෝරළ ප්‍රදේශයේ රට පැත්තේ හිටගන්නා හා එසේ කිරීමේ අයිතිය ඇති මිනිස්සු නිවැරැදි ලෙස තමන්ගේ ජාතික යුතුකම ඉටු කළා.  


ප්‍රශ්නය:-ඕනෑම ආණ්ඩුවක් ජනාධිපති කෙනෙකු ආපු අලුත නොයෙක් කැටයම් ද‌ානවා. නමුත් ඉතිහාසයෙ සත්‍යය නම් එවැනි කැටයම් රටට දිගුකාලීන ජයග්‍රහණ රැගෙන ආවේ නැති බවයි?  


පිළිතුර:- මට දැනෙන විදියට මේ මැතිවරණයේදී ජනතාවගේ අභිලාෂයන්ට පටහැණිව ජනාධිපතිතුමා, අගමැතිතුමා කැබිනට් මණ්ඩලය හා අපේ මන්ත්‍රී කණ්ඩායම හැසිරුණෙත් මෙතැනින් එහාට මේ රට ගැන බලාපොරොත්තුවක් තියාගන්න බෑ. මට දැනෙන විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කාලයේ පත්වුණු සෑම ජනාධිපතිවරයෙකුටම වඩා වෙනස් සාධනීය තීන්දු තීරණ ගණනාවක් අරන් තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටි දැවැන්ත කාර්ය මණ්ඩලය සුළු පිරිසක් දක්වා අඩු කළා. විශාල පහසුකම් සහිත නිල නිවාස සොයා නොයෑම, පරිවාර වාහන පිරිවරාගෙන ගමන් නොකිරීමත්, විදේශ සංචාරවලදී පවා යන කණ්ඩායම කුඩාවීම, රාජ්‍ය ආයතනවල දේශපාලනඥයන්ගේ මුහුණු ගැලවීම, ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට නියම කිරීම, මේ රටේ මහජනයා මත පටවා තිබෙන අධික බදු බර ඉවත් කිරීම ඒක සාමාන්‍යයෙන් කරනවා තියා හිතන්නවත් බැරි දෙයක්. තමන්ට විරුද්ධව ඡන්දය දුන් පිරිසට හිංසා කිරීම වැළැක්වූවා. තනතුරු ලබාදීමේදී ඒ සඳහා තෝරා ගැනීමට වෙනත් මණ්ඩලයක් පත් කිරීම, මේවා ඉතිහාසයේ සාධනීයම දේවල්.  


ප්‍රශ්නය:- තමන්ට ගැළපෙන කණ්ඩායමක් තෝරා ගැනීම ඇමැතිවරයකුට තියෙන අයිතියක්. ඒ අයිතිය පැහැර ගැනීම?  


පිළිතුර:- අනවශ්‍ය උපදේශකයන් පහුගිය කාලේ තෝරාගෙන හිටියනේ. විශාල උපදේශක පිරිසක් නඩත්තු කරන්න ජනතාවට සිද්ධ වුණානේ. එහෙම උපදෙස් දෙන්න ඔයතරම් පිරිසක් අවශ්‍ය ද? මේ පාර නියම කරලා තියෙන්නේ එක උපදේශකවරයෙක් පමණයි.  


ප්‍රශ්නය:- ඒ උපදේශකවරයා තෝරාගන්න ඔබට අයිතියක් නෑ?  


පිළිතුර:- මම නම් හිතාගෙන ඉන්නේ ඒ එක උපදේශකවරයත් නොගන්නයි. මම කැමැතියි ඒ උපදේශකවරයට දෙන දීමනාව මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුලිබිල ගෙවන්න යොද‌ාගන්න පුළුවන් නම් උපදේශකයා මමම බවට පත් වෙලා මම ඒ දීමනාව අරගෙන පාසලට දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.  


ප්‍රශ්නය:-ඕවා කරන්න ගිහින් මහජන මුදල් අවභාවිත කළා කියලා එෆ්සීඅයිඩී යන්න වෙයි?  


පිළිතුර:- නෑ.... නෑ... අවභාවිතයක් නෙවෙයිනේ. බොහොම සද්භාවයෙන් තමන්ට හිමි දෙයක් තමන් නොගෙන වෙනත් පරිත්‍යාගයක්නේ කරන්නේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපත් පරිත්‍යාග කරලා තියෙනවා ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට. මහජනයාගේ බදු මුදලින් තමයි මන්ත්‍රීවරුන්ට වැටුප ගෙවන්නේ. මම කවද‌ාවත් මගේ වැටුප අරගෙන නෑ. වැටුප් නැතිව වැඩ කරන්න පුළුවන් වෙනත් ආද‌ායම් මාර්ග තියෙනවා නම්.  


ප්‍රශ්නය:- රහස් පොලිසියෙ නිලධාරීන් හත්සිය ගණනකගේ නම් ගුවන් තොටුපොළට දීලා ඔවුන්ට රටින් පිටවෙන්න දෙන්න එපා කියලා නියෝග කරලා. මේ නිලධාරීන්ට චෝදනා නෑ. පරික්ෂා කරලා නෑ. එහෙම නැතිව මෙහෙම නියෝග දෙන්නේ කොහොම ද?  


පිළිතුර:- මේ රටේ ජනතාවගේ විශාලම ඉල්ලීම තමයි වංචා දූෂණවලට හවුල් වෙච්ච, මාතෘභූමියට එරෙහිව කටයුතු කරපු අයට දිය යුතු උපරිම දඬුවම ලබාදෙන්න කියලා. ලංකා ඉතිහාසයේ වෙච්ච විශාලතම මූල්‍ය අපරාධය තමයි මහදහවල් මහ බැංකුවේ වෙච්ච මහා මුදල් මංකොල්ලය. ඒකේ ප්‍රධාන වගඋත්තරකරුවා වන අර්ජුන් මහේන්ද්‍රන්ට නිරුපද්‍රිතව පිටවෙන්න දුන්නනේ. අද වෙනකම් ගෙන්වා ගන්න විදියක් නෑ. බුද්ධි අංශ නිලධාරියෙක් නිශාන්ත සිල්වා එයාට ලොකු චෝදනාවක් තියෙනවා රණවිරු දඩයමේ කොටස්කාරයෙක් කියලා. එයා හො​රෙන්ම රටින් පැනලා ගියා.  

 

ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බාරගනිමින්...

 


ප්‍රශ්නය:-මේ සිද්ධවෙන්නේ වැරැදිකාරයන් පැනලා යන එක ද? එහෙම නැත්නම් මේ ගෝඨා-භය මතුවෙමින් එනව ද?  


පිළිතුර:- ඔබ එහෙම කියන්නේ මොන පදනමින් ද?  


ප්‍රශ්නය:- ඉස්සර සීඅයිඩීයට බයේ හොරු රට පැන්නා. දැන් සීඅයිඩී නිලධාරීන් රටින් පනිනවා. මොකක්ද ඒ භය?  


පිළිතුර:- නෑ... ගෝඨාභය- භය නොවෙයි බලය අයුතු ලෙස පාවිච්චි කරලා නිදහස් සටනේ බුද්ධි අංශ නිලධාරීන්, රණවිරුවන් නිකරුණේ සිරගත කළාම ගෝඨා-භයක් නොවෙයි තමන්ගේම හෘද සාක්ෂියෙන් මතුවන භීතියක් තියෙනවා. ඒ භීතිය නිසා රටින් පනිනවා. තමන් කරපු වැරැදි වැඩ, අපරාධ, ඔවුන් දන්නවා. දැන් කිසිම වරදක් නොකළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් රටින් පිටවීම තහනම් කරලා තිබුණේ. උදය ගම්මන්පිල, විමල් වීරවංශ, තව කොච්චර නායකයෝ ඉන්නව ද ඒ තහනමට ලක් වෙච්ච. ඒ අයට මානව හිමිකම් නැද්ද?  

 

මේ රටේ ජනතාවගේ විශාලම ඉල්ලීම තමයි වංචා දූෂණවලට හවුල් වෙච්ච, මාතෘභූමියට එරෙහිව කටයුතු කරපු අයට දිය යුතු උපරිම දඬුවම ලබාදෙන්න කියලා. ලංකා ඉතිහාසයේ වෙච්ච විශාලතම මූල්‍ය අපරාධය තමයි මහදහවල් මහ බැංකුවේ වෙච්ච මහා මුදල් මංකොල්ලය. ඒකේ ප්‍රධාන වගඋත්තරකරුවා වන අර්ජුන් මහේන්ද්‍රන්ට නිරුපද්‍රිතව පිටවෙන්න දුන්නනේ. අද වෙනකම් ගෙන්වා ගන්න විදියක් නෑ. බුද්ධි අංශ නිලධාරියෙක් නිශාන්ත සිල්වා එයාට ලොකු චෝදනාවක් තියෙනවා රණවිරු දඩයමේ කොටස්කාරයෙක් කියලා. එයා හො​රෙන්ම රටින් පැනලා ගියා.


ප්‍රශ්නය:- මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ මහ මොළකරුවන් ඉන්නවා. ඩීල් නැත්නම් ඔවුන් අත්අඩංගුවට ගන්න කියලා ආණ්ඩුවට අභියෝගයක් තියෙනවා?  


පිළිතුර:- මැතිවරණ ප්‍රකාශනයේ ගෝඨාභය රාජපක්ෂයන් සඳහන් කළ ප්‍රධාන කොමිසම් දෙකක් තියෙනවා. එකක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන්ට යුක්තිය සැලසීම සඳහා වන කොමිසම. අනිත් එක මහ බැංකුවේ මහ මුදල් කොල්ලය පිළිබඳ කොමිසම. කොකා ඉඟිලෙන්න පටන් ගත්තමනේ සුද පේන්නේ. තවම ජනාධිපති ලෙස පත්වුණා විතරයිනේ. මේකේ නිසි ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගැලපෙන ආකාරයෙ ආණ්ඩු බලයක් ලබාගැනීම තුළින්. ඒ ආණ්ඩු බලය ලබාගන්න පුළුවන් වෙන්නේ තව මාස හතරකින් පැවැත්වෙන මහ මැතිවරණයෙන්. එතකොට ශක්තිමත් ජනාධිපතිවරයෙක් නැමෙන්නේ නැති, කප්පම් දෙන්න ඕනැ නැති කැඩෙන්නෙ නැති අතිමහත් මිනිසුන්ගේ අවශ්‍යතාව මත පිහිටුවන ලබන පාර්ලිමේන්තුවක් ලැබෙනවා. ඒ පාර්ලිමේන්තුවටත් අපි විශ්වාස කරනවා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී ඡන්දද‌ායකයන් ගෝඨාභය රාජපක්ෂයන් තෝරාගැනීමේ දී භාවිත කළ නිර්ණායකයන් පාවිච්චි කරයි කියලා. මන්ත්‍රීවරයාගේ උගත්කම, බුද්ධිය, දැනීම, අතීත ක්‍රියාකාරකම් මේ සියල්ල බලලා තමයි මනාපය ලකුණු කරන්නේ. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගැළපෙන පාර්ලිමේන්තුවක් ලැබෙයි කියලයි.  


ප්‍රශ්නය:-ඔබ කොහොම කිව්වත් ඩීල් ද‌ාලා ඔවුනොවුන් ආරක්ෂාවීම තමයි සිද්ධ වුණේ?  


පිළිතුර:- ඇත්තටම එහෙම තමයි වෙලා තියෙන්නේ. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ චෝදනාවක් ලැබෙන ඇමැති කෙනෙක් ඉන්නවා නම් ඒ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙනවා නම් ඔප්පු වෙන්න කලින් ඒ ඇමැතිවරයා ඉවත් කළ යුතුයි. අලුත් පාර්ලිමේන්තුව පත් කළාම කැබිනට් ඇමැති ධුරය දෙන්න ඕනෑ අවුරුදු පහකට නොවෙයි. අවුරුදු දෙක හමාරකට. මට ඒ දෙන ඉලක්කය සම්පූර්ණ කරන්න බැරි නම් මම ඒ තනතුරේ එල්ලී සිටීම බදු ගෙවන ජනතාවට කරන අපරාධයක්නේ. ඒ නිසා ‘මෙන්න මේ ඉලක්කය දුන්න, නමුත් කරලා නෑ කියලා රටට කියලා ඇමැතිවරයව අයින් කළ යුතුයි. ඒක හරි අමාරු වැඩක්. ඒ අමාරු වැඩේ ගෝඨාභය රාජපක්ෂ කරයි කියලා මම හිතනවා. ඒක ඉස්සෙල්ලාම මට කරන්න කියලා මම ඉල්ලා සිටින්නත් කැමැතියි.  


ප්‍රශ්නය:- ඔබට කොහොමත් මේ පාර ලේසි වෙන්නේ නෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්කයි ඔබට ගනුදෙනු කරන්න වෙන්නේ?  


පිළිතුර:- ඔව්. මමත් මේ අරගලකරුවන් ආපු මාවත තුළින්ම ආපු කෙනෙක්නේ. මධ්‍ය මහා විද්‍යාල හරහා විශ්වවිද්‍යාලයට ඇවිත් පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය සමත් වෙලා ආපු ඉතිහාසයක්නේ මට තියෙන්නේ. ඉතින් මට ඊට වඩා විශේෂය තියෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න කිසිකෙනෙකුටවත් නැති උසස් පෙළට පෙනී සිටින විශාල බලාපොරොත්තු සහිත පොපියන චමත්කාරය සහිත භද්‍ර යෞවන පරම්පරාවේ සිතුම් පැතුම් හැඩගැස්වීම සඳහා තුන් ලක්ෂයකට පමණ පුරා වසර 25 ක් උගන්වලා තියෙනවා. ඉතින් මං දන්නවා බොහොම රැඩිකල් තරුණ නැවුම් අදහස් තියෙන ඔවුන්ගේ ප්‍රාර්ථනා මොනවා ද කියලා. කවුරුවත් කැමැති නෑ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න. මේ රටේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ ක්‍රීම් එක තමයි විශ්වවිද්‍යාලයට ගන්නේ. ඒ ගන්න අයගේ ප්‍රශ්නවලට කන් දෙන්නේ නැත්නම්, අමාත්‍යාංශයේ දොරටු වහලා නම් ඔවුන් මේ අරගලය කරමින් කඳුළු ගෑස් කමින් හැමද‌ාමත් යන ගමන තමයි අපි දැක්කේ. අපි ඔවුන්ට කියනවා අයුක්තියට අසාධාරණයට එරෙහිව අරගල කරන්න කියලා. අපි යහපතක් නම් කරන්නේ මෙවර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බොහොම පැහැදිලිව කියලා තියෙනවා මගේ බලාපොරොත්තුව උසස් පෙළ සමත්වන සියලු දෙනාට උසස් අධ්‍යාපනය උපාධි අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථාව දෙනවා කියලා.  


ප්‍රශ්නය:-එහෙම කිව්වට කොහොමද කරන්නේ?  


පිළිතුර:- කොහොම හරි කළ යුතුයි. වැරැදි දෙයක් නොවෙයිනේ. මේක අභියෝගාත්මකයි. මීට පෙර එහෙම දෙයක් කරලා නෑ. එහෙම කරපු නැති දෙයක් අලුතෙන් කරන කොට ඒකට ඉඩ දීලා බලාගෙන ඉඳීම තමයි යුතුකම. අපි විශ්වාස කරනවා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට මීට පෙර ඉතිහාසයේ කවද‌‌ාවත් බඳවා නොගත් ප්‍රමාණයක් අපි බඳවා ගන්නවා. ඒ වගේම ඔවුන්ට උපාධි සහතිකය අතේ තියාගෙන සුසුම්ලමින් ඉන්න වෙන තත්ත්වය නැතිව පලද‌ායි රැකියාවකට හෝ ජීවනෝපායට ක්‍රමවේදයක් අපි සකස් කරනවා.  


ප්‍රශ්නය:- විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධානම ගැටලු වශයෙන් ඔබ දැනට හඳුනාගෙන තියෙන්නේ?  


පිළිතුර:- දැනට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඉන්න උගතුන්ට දෙන්න රස්සා නැති, තියෙන රස්සාවලට සුදුසු උගත්තු නෑ. මේක ආර්ථික විද්‍යාවේදී කියන්නේ සේවා වියුක්තිය ව්‍යුහගත අසමතුළිතතාව කියලයි. ඉතින් අපි උගත්තු බිහි කළ යුත්තේ ජාතික ආර්ථිකයට ගැළපෙන විදියටයි. නොගැළපෙන උපාධිධාරීන් නිසයි මේ ප්‍රශ්න ඔක්කොම වෙන්නේ. අපේ රටේ මූල්‍ය සාක්ෂරතාව ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ජීවිතයට බැංකුවකට නොගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රටේ ඉන්නවා. ණය ගන්නේ කොහෙන් ද? ඒ ණය නැවත ගෙවීම ආදිය පිළිබඳව කිසිවක්ම නොදන්නා අතිමහත් ජනතාවක් ඉන්නවා. මේ මූල්‍ය සාක්ෂරතාව ඇතිකිරීමට ඉවහල්වන පාඨමාලා අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙනව ද? තක්සේරුකරණය සඳහා පුහුණු තක්සේරු නිලධාරින් නැති නිසා පළාත් පාලන ආයතනවල වරිපනම් කටයුතු සඳහා දේපළ තක්සේරු අවුරුදු 10 න් 20 න් නොකරපු තැන් තියෙනවා. ඒ උපාධිධාරින් වැඩි කළොත් ඒ ප්‍රශ්නයට උත්තර ලැබෙනවා. ජනතාවට සේවයත් වැඩිවෙනවා. ඒ නිසා ඉදිරි කාලය තුළදී උපාධියක් ලබන අධ්‍යාපනයට එක්වන පිරිස දෙගුණයකින් වැඩි කරනවා.  


ප්‍රශ්නය:- ඒක ගණනින් කියන්න පුළුවන් ද?  


පිළිතුර:- දැන් ගන්නේ විසිපන්ද‌ාහයි නම් ඒක පනස්ද‌ාහක් කරනවා. කෙටි කාලයක් තුළ තරුණයන්ට විශ්වාසයක් ඇති වුණොත් ‘මේ රජය අපිව බලාගන්නවා’ කියලා එතකොට කවුරුවත් පාරේ උද්ඝෝෂණය කරන්න එන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබට සහතිකයක් දෙන්න පුළුවන් ද ඔබේ කාලය තුළදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහ පාරේ ගුටිකන්න වෙන්නේ නෑ කියලා?  


පිළිතුර:- කඳුළු ගෑස් ගහන්න ගුටි දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මම බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පත් කළාට පස්සේ ඒකත් එක්කත් සාකච්ඡා කරලා සෑම විශ්වවිද්‍යාලයකම ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් පිහිටුවන්න. ඒක ඔළුගෙඩි පුරවන තැනක් නොවේ. ශිෂ්‍යයන්ගේ මානසික තත්ත්වය පවා සලකන මනෝ විද්‍යාත්මක උපදෙස් පවා ලබා දිය හැකි දැනුමක් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචර්යවරු තමයි ඒ කාර්යාලයට අනුයුක්ත කරන්නේ.  


ප්‍රශ්නය:-ඔය ප්‍රකාශයටම විරෝධතා එන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පිස්සු නැහැ කියලා?  


පිළිතුර:- නෑ....නෑ.... එහෙම දෙයක් නොවෙයි. තමන්ගේ පවුලේ තියෙන ගැටලුවක් වුණත් කතා කරන්න පුළුවන් තැනක්. ශිෂ්‍ය උපදේශනය කියන එක දියුණු රටවල පාසල්වලත් තියෙනවා. දෙමාපියන්ට කියන්න බැරි ගැටලුවක් දුක්ගන්නාරාළට කියන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දිවි නසා ගන්නවනේ. එ් තමන්ගේ දුක්ගැනවිල්ල්ට කන් දෙන කෙනෙක් නැති නිසා. සෑම විශ්වවිද්‍යාලයකම පිහිටුවන ඔම්බුඩ්ස්මන් කාර්යාලයේ සේවයේ නියුතු ආචාර්ය මහාචාර්යවරුන් දේශනවලට යන්නේ නෑ. ඔවුන් උපදේශන කාර්යාලයේ ඉන්නේ.  


ප්‍රශ්නය:- මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන බරපතළම ප්‍රශ්නය ශිෂ්‍ය උපදේශනය නැති එක ද?  


පිළිතුර:- මෙහෙමනේ, විශ්වවිද්‍යාලවල තියෙන ශිෂ්‍ය සංගම්වලට පුළුවන් තමන්ගේ ප්‍රශ්න ඒ කාර්යාලයට කියන්න. ඒ කාර්යාංශය කෙළින්ම සම්බන්ධයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ස්ථාපිත කරන මූලස්ථානයට. ඒ ඒ විශ්වවිද්‍යාලවල පැන නගින ගැටලු තමන්ට විසඳන්න බැරි ඒවා තියෙනවා නම් ඒක එනවා මූලස්ථානයට. ඒ අයට විසඳන්න බැරි එකක් තියෙනවා නම් ඒක එනවා අමාත්‍යාංශයෙ මාසයකට සැරයක් පවත්වන පාලක සභා රැස්වීමට. එතැනදිත් විසඳගන්න බැරි නම් ඒක අමාත්‍යාංශයේ ලේකම්වරයට යවනවා. එතැනටත් විසඳන්න බැරි නම් ඇමැතිවරු මැදිහත්වන ක්‍රමයකට යන්න වෙනවා.  


ප්‍රශ්නය:- පෞද්ගලික විශ්වවිද්‍යාල වගේම පොදු ජාතික ප්‍රශ්නවලදීත් ශිෂ්‍ය ව්‍යාපාරය බොහොම සංවේදියි?  


පිළිතුර:- ජාතික ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ ජාතික තලයේ. අපි ඒ ප්‍රශ්න ආවම බලමු කොහොමද ඒවා විසඳන්නේ කියලා.  


ප්‍රශ්නය:-පසුගිය රජය බාහිර උපාධිය කප්පාදු කළා. බඳවා ගැනීම සීමා කළා. තරග විභාගයක් තියලා තමයි ශිෂ්‍යයන් බඳවා ගන්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න ඔබ බලාපොරොත්තු වෙනව ද?  


පිළිතුර:- අපි බලාපොරොත්තු වෙනවා වෙනස් කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අපේක්ෂාව අපොස උසස් පෙළ සමත් සියලු දෙනාට උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් හෝ උසස් ඩිප්ලෝමාවක් හදන්න අවස්ථාව ලබාදෙන්න. ශිෂ්‍යයාටත් මාපියන්ටත් බරක් නොවන විදියට ඒ මානව සම්පත නිර්මාණය කරගත යුතුයි. ඒ උත්සාහය අපේ රටේ පළමුවරට තමයි ගන්න යන්නේ. ඔබ අහපු බාහිර උපාධිය සම්බන්ධ ප්‍රශ්නයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ස්ථාපිත කළාම ප්‍රධාන අංකයක් වශයෙන් අරගෙන සාකච්ඡා කරලා සාධාරණ විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්