කිසිම හැකියාවක් නැති අයත් අද කැබ්නට් එකේ ඉන්නවා අපිව පක්ෂයෙන් එළවන්න හදනවා


විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති   
රවි කරුණානායක

දේශපාලනයේ අළුයට නොනිමී දැල්වෙන ගිනි පුපුරු තිබේ. විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා සමඟ මේ කතාබහ එයට කදිම නිදසුනකි.   

ප්‍රශ්නය:- අගමැතිකම නැතිවෙච්චි වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඔබට ලිඛිතව පොරොන්දු වුණා මුදල් ඇමැතිකම දෙනවා කියලා. කෝ ඒ මුදල් ඇමතිකම?   


පිළිතුර:- පළමුවෙන්ම ඔබ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2019 වසර තුළ 2018 දී තිබුණ දේශපාලන කුමන්ත්‍රණ හා කුහකකම් නැති වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ඔබේ ප්‍රශ්නයට ආවොත් එවැනි තත්ත්වයක් තිබුණ එක ඇත්ත. මම පක්ෂ අභ්‍යන්තරයේ දේවල් ප්‍රසිද්ධියේ කතා නොකරන කෙනෙක්. නමුත් ඔය ඔබ කියන කාරණය අපේ අගමැතිතුමන්, රිෂාඩ්, රාවුෆ් හකිම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණන් ඇතුළු අපේ පක්ෂයේ ඔක්කොම අය ඉදිරිපිට එහෙම පොරොන්දුවක් වුණා. නමුත් කියන්න කනගාටුයි ඒ පොරොන්දුව ඉටුවුණේ නෑ.   


ප්‍රශ්නය:- ඇයි ඒ? ඒකට විශේෂ හේතුවක් තියෙනව ද?   


පිළිතුර:- අපේ පක්ෂයේ තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ තුන්හතර දෙනාගේ කුමන්ත්‍රණ නිසා පක්ෂයේ දක්ෂයන්ට නිසි අවස්ථාව ලැබෙන්නේ නෑ. මට වුණෙත් ඒකම තමයි.   


ප්‍රශ්නය:- ඔබ කියන්නේ පහුගිය කාලයේ වෙච්ච දේවල්වලින් පක්ෂයේ නායකයෝ පාඩම් ඉගෙනගෙන නෑ කියලද?   


පිළිතුර:- පක්ෂ නායකයෝ නොවෙයි ළඟ ඉන්නවනේ කේවට්ටයෝ. මේ කේවට්ටයෝ තමයි පක්ෂය විනාශ කරන්නේ. හුළඟ හමන අතට ගිහිල්ලා ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඒ කේවට්ටයන් අතර මූලික චරිතයක් මට නම් කරන්න අවශ්‍යයි. එක්කෙනෙක් තමයි මලික් සමරවික්‍රම.

   
ප්‍රශ්නය:- ඔබ හා ඇමැති මලික් අතර තිබෙන ගැටුම මොකක්ද?   


පිළිතුර:- ගැටුමක් නැහැ. දක්ෂතාවයට අවස්ථාව දෙන්නේ නැති හැම එකටම පැනලා මේකේ ඔක්කොම තමන්ට ඕනෑ විදියට හසුරුවන්න හදන ගමනක් තමයි තියෙන්නේ. මේක තමයි අපේ පක්ෂයට තියෙන ​ලොකුම ප්‍රශ්නය. මම මෙච්චර දවසක් නම්, ගම් කිව්වේ නෑ. නමුත් මට මේ වෙච්ච අසාධාරණයෙන් පස්සේ මම තවදුරටත් නිහඬව හිටියොත් ඒක පක්ෂයටත් රටටත් කරන ලොකුම අපරාධයක්.   


ප්‍රශ්නය:-ඔබ කියන්නේ ඔබට මුදල් ඇමැතිකම නොදීමේ ප්‍රධාන සාධකය ඇමැති මලික්?   


පිළිතුර:- ඊර්ෂ්‍යාව හා දූෂණය නතර කරන්න කටයුතු කරන නිසා තමයි මට මෙහෙම කරන්නේ. මම ඕවා හේතු සාධක සහිතව ඉදිරියේ දී ඔප්පු කරනවා.   


ප්‍රශ්නය:- ඇමැති මලික් විතර ද ඔබට මුදල් ඇමැති ධුරය දෙනවට විරුද්ධ වුණේ?   


පිළිතුර:- නෑ තව තුන් දෙනෙක් හිටියා. මේ තුන් හතර දෙනා රටට කරන අපරාධය ගැන මගේ ඇස්වලට කඳුළු එන එක විතරයි වෙන්නේ. අපි අමාරුවෙන් ආපු ගමන මේ අය විනාශ කරනවා.   


ප්‍රශ්නය:- ඔබ ලෝකයේම හොඳම මුදල් ඇමැති ලෙස සම්මානයට පාත්‍ර වුණා?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම! ඕවා මේ සල්ලිවලට හරි වෙනත් දෙයකින් හරි ගන්න බැරි දේවල්. එහෙම සම්මානයට පාත්‍ර වුණේ කඩා වැටිච්ච ආර්ථිකයක්. අයාලේ ගිය ආර්ථිකයක්, ණය කන්දකට යට කරපු ආර්ථිකයක් මම හරි මාර්ගයට අරගෙන කෙළින් කරපු නිසයි. මේවා දෙවියෝ බලා ගන්න ඕනෑ කියලයි මම කියන්නේ.   


ප්‍රශ්නය:- බහුතරය නැති මහින්ද රාජපක්ෂට ජනාධිපති මෛත්‍රී අගමැතිකම දුන්නේ ඔබ දහයක් දොළහක් අරගෙන ඒ පැත්තට එනවා කියලා පොරොන්දු වෙච්ච නිසයි. එහෙම නේද?   


පිළිතුර:- කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයිනේ. එහෙම දේවල් කරනවා නම් මීට වඩා දේවලුත් කරන්න පුළුවන්නේ. අපේම පක්ෂයේ දෙතුන් දෙනෙක් තමයි ඔය විදියට අවලාද ගොතන්නේ. අපිට තනියෙන් කකුල් දෙකෙන් හිටගන්න පුළුවන්. සමහරු ඉන්නේ තාත්තගේ පින්තූරයට මුවා වෙලා. ඔය වගේ චරිත නොවෙයි රටටත් විපක්ෂයටත් අවශ්‍ය වෙන්නේ. මේක මේ එක ජාතියකට, කුලයකට අයිති පක්ෂයක් නොවෙයි. මේක තමයි මේ රටට සෞභාග්‍යය උද‌ාකරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස දිනා දෙන්න පුළුවන් එකම පක්ෂයත් දක්ෂයෝ එකතුවෙලා සමගිව වැඩ කරනවා නම් ඒ ජයග්‍රහණ මේ රටට දිනා දෙන්න මේ පක්ෂයට පුළුවන්. දැන් බලන්න කතානායක කරු ජයසූරිය මැතිතුමා. එතුමා ඉතාම ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියල ඔප්පු කළා. එතුමාගේ මෙහෙවර අමරණීයයි. ඒ වගේම එතුමාගේ මෙහෙවර මෙතනින් නතර වෙන්නේ නෑ. අනාගතයේදී තීරණාත්මක් දේශපාලන පියවරකට එතුමා අවතීර්ණ බව තමයි දෙස් විදෙස් දේශපාලන විචාරකයන් කියන්නේ.


 පක්ෂයත්, පක්ෂයේ ඒ හැකියාවත් අපි දිවි හිමියෙන් රකින්න ඕනෑ. ඒ නිසයි මේ පක්ෂයේ දේශපාලනය උරුමයකින් ලැබෙන දෙයක්වත් පියාගෙන් ලැබෙන දෙයක්වත් අම්මාගෙන් ලැබෙන දෙයක්වත් නොවෙන්නේ. දක්ෂතාවයෙන් තමයි මේ පක්ෂය තුළ ඉදිරියට යා යුත්තේ. මේක තමයි අද පක්ෂයට තියෙන හෙණය.   


ප්‍රශ්නය:- මන්ත්‍රී හේෂා විතානගේ කියනවා ‘ඇමැති මලික්ගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඡන්දය නොදී ඉන්න මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ඉන්නවා කියලා. ඒ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඔබ ද?   


පිළිතුර:- ඒ දක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ගේ හඬ නිවැරදිව තේරුම් ගත යුතුයි. එතැන දහඅට දෙනෙක් නොවෙයි විශාල පිරිසක් ඉන්නවා. නමුත් එ් දක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගැන මට මුකුත් කියන්න බෑ. නමුත් මට කියන්න තියෙන්නේ ඒ දක්ෂ තරුණ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණකම් ගණනාවක් වුණා. බලයේ ඉන්න කොට එක විදියකුත් බලය නැති වුණාම තව විදියකුත් විදියට ඉන්න එක ගැනයි ඔය කතා කරන්නේ.   


 ඕනෑම වැඩක මනුෂ්‍ය ස්වරූපයක් තියෙන්න ඕනෑ. ඒවා නැති අය තමයි අද ඔය ඇමැතිකම් දරන්නේ. කිසිම හැකියාවක් නැති අයත් කැබිනට් එකේ ඉන්නවා. මෙහෙම කිව්වමත් මට පෙරළා දෝෂාරෝපණය කරයි. නමුත් මට පුද්ගලයෝ නොවෙයි පක්ෂයයි වැදගත් වෙන්නේ. මම අවුරුදු විසිපහක් පක්ෂය තුළ ඉන්නවා. නමුත් දැන් මේ පක්ෂය තුළ ඉන්නවා ඊයේ පෙරේද‌ා ආපු අය. චන්ද්‍රිකා කුමාරතංගත් එක්ක ඉඳලා ඉඳලා වෙන යන්න එන්න තැනක් නැතිව මෙතැනට ආපු අයත් ඉන්නවා.   


 ඒ අය තමයි අද පක්ෂය ගැන කතා කරන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරලා අද අපේ පක්ෂයත් විනාශ කරන්න හදන කෙනෙක්. අද ආර්ථිකයට උපදෙස් දෙන්නේ කවුද? 2001 දී ඉතිහාසයේ පළමු වරට මේ රටේ ආර්ථිකය සෘණ කරපු කෙනා. ස්වර්ණවාහිණිය බංකොළොත් කරපු මනෝ තිත්තවැල්ල, තිලාන් විජේසිංහ, ඉන්ද්‍රජිත් කුමාරස්වාමිල තමයි අද ආර්ථිකය ගොඩනගන්න ඇවිත් ඉන්නේ.   


 මේ මහ බැංකුවේ තව හොල්මන් ඉන්නවා. අපි ඉන්න කාලේ රුපියල වේගයෙන් අවප්‍රමාණ කළා. හැබැයි අර්බුදකාරී දවස් පනහේ දී රුපියල ශක්තිමත් කළා. දැන් ආපහු අවප්‍රමාණ වෙන්න පටන් අරගෙන. මේවා මෙහෙම වෙන්නේ කොහොමද? අපි මේවා කතා කරන්න අවශ්‍යයි. අවුරුදු 10ක් පිට ගිහිල්ලා අද පක්ෂයේ උරුමයක් ගැන කතා කරන අයත් ඉන්නවා. මොකක්ද මේ? මේ පක්ෂය අම්බලමක් ද? මම විවෘතව මේ ගැන කතා කරන්නේ ඒ අය මට විරුද්ධව බොරු අවලාද හැමතැනම කියව කියව යන නිසයි.   


මට අවශ්‍ය වෙන්නේ මේ පක්ෂය ඉදිරියට ගෙන යන්නයි. නමුත් අද නායකයාට සෘජු තීරණ ගන්න බැරි කරලා වෙනත් පැතිවලට ඇදගෙන යන්න හදනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අනාථයන්ට නවාතැන් දීලා ඒ අයගේ අතට සුක්කානම අරගන්න ඉඩදිය යුතු පක්ෂයක් නොවෙයි.   


ප්‍රශ්නය:- නමුත් වෙලා තියෙන්නේ ඒකයි?   


 පිළිතුර:- ඒක තමයි මම මේ කියන්නේ. මේ පක්ෂයට තියෙන්නේ සමගි සම්පන්න ගමනක්. කවුරුහරි තනියෙන් කරන්න පුළුවන් කියලා හිතනවා නම් එ්ක ලෝක විහිළුවක්. සමගියෙන් වැඩ කරන්න නම් එකට ඉන්න පුළුවන්. එකට හිතන්න පුළුවන් පිරිස් එකතුවිය යුතුයි. රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ තියෙන ලොකුම ගුණාංගය තමයි සියලුම සුළු ජාතික පක්ෂ එකට තබා ගැනීමේ දක්ෂතාවය. හැබැයි සුළු ජාතිය එකතු වෙලා මහ ජාතිය නැති කරගැනීම නොවෙයි විය යුත්තේ. රිෂාද් බදුර්දීන්, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන් මේ නායකයන් ඔක්කොම අපේ පක්ෂයට අපේ ගමනට විශාල ශක්තියක්. අවශ්‍ය වෙන්නේ මේ ශක්තිය අපේ පක්ෂයේ ගමනටත් ඔවුන්ගේ අභිවෘද්ධියටත් ගැලපෙන පරිදි නිසි පරිදි හැඩගස්වා ගැනීමයි.   


ප්‍රශ්නය:-ඔබ කියන්නේ එහෙම වෙලා නෑ?   


පිළිතුර:- ඔව්. සමහර තැන්වල අපි නිකම් බද්දට දීලා තියෙනවා. ඒවා තමයි නිවැරදි කර ගතයුතුව තිබෙන්නේ.   

ප්‍රශ්නය:- මේ සියල්ලෙන්ම අවසානයේ ප්‍රශ්න කෙරෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයයි.   


පිළිතුර:- එතුමා හොඳ නායකයෙක්. එයාගේ වටේ ඉන්න කේවට්ටයෝ තමයි ඔක්කොම කරන්නේ. ඒ කේවට්ටයෝ තමන්ට ඕනෑ කරන දේ කරගන්නවා. රනිල් වික්‍රමසිංහ නායකතුමාව රිමෝට් එකකින් හසුරුවනවා. ඒක දුකයි. නමුත් වෙන්නේ ඒක තමයි. එහෙම නැත්නම් එතුමා ඉතාමත්ම හොඳ නායකයෙක්.   


හැබැයි අර කේවට්ටයෝ තුන් හතර දෙනා එකතු වුණාම න්‍යාෂ්ටික බෝම්බයක් පිපිරෙව්වා වගේ වෙනවා. ඒක තමයි අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් කතා කරන්නේ. බර ඇදලා පක්ෂයට ඉදිරියට අරගෙන ඇවිත් ජයග්‍රහණය කෙරෙව්වම හැසිරෙන්නේ වෙන විදියකට. වේදිකාව හද‌ාගන්න අපි හොඳයි.   


හැබැයි අපි හදපු වේදිකාවේ නටන්නේ තවත් කෙනෙක්. අපි පොල්පැලේ හිටවනවා. පොහොර ද‌ාලා ගහත් හදනවා. අස්වැන්නත් ආරක්ෂා කරනවා. හැබැයි අස්වැන්න නෙලන්න යනකොට වෙන කට්ටියක් ඒක කඩාගෙන යනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි අද පේන්න තියෙන්නේ. විලිලැජ්ජාවක් නැතිව ඒක කරනවා.   


ප්‍රශ්නය:- ඔබ ඉන්නේ කලකිරීමෙන්?   


පිළිතුර:- අනිවාර්යෙන්ම ඔව්. මම ඉන්නේ කලකිරීමෙන්. මම කලකිරිලා ඉන්නේ ම​ෙග් එකසත් ජාතික පක්ෂය නැති කිරීම නිසයි.   


ප්‍රශ්නය:- ඔබ ඒකට ඉඩ දෙනව ද?   


පිළිතුර:- කිසිසේත්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපිව එහාට යවන්න හදනවා. මෙහෙට යවන්න හදනවා. නමුත් කවුරුත් නැති වෙලාවේ කවුරුත් කර අරින වෙලාවේ පක්ෂය රැක ගත්තොත් රැක ගන්නෙත් මේ රවි කරුණානායක කියලා කවුරුත් දන්නවා. එහෙම නම් කාවද මේ පන්නන්න හදන්නේ. අපේ පක්ෂය විනාශ කරන පිල්ලි තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක අපේ පක්ෂයත් විනාශ කරන්න හදනවා. එයා අනුන්ට හොරා හොරා කිය කියා යනවා. ඒත් බලය අයුතු ලෙස පාවිච්චි කරලා ඉඩම් පරිහරණය කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයන් එයා වැරදිකාරයෙක් වුණා කියලා මම චෝදනා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතරට පැනලා ඒ නායකයන් දෙන්නා බේදභින්න කරන්නේ එයයි. මලික් මංගල වගේ අය ඒවට උල්පන්දම් දෙනවා. ඒ ගොල්ලො කරන්නේ වෙන කොන්ත්‍රාත් එකක්.   


ප්‍රශ්නය:-ඔබට දේශපාලන තීන්දුවක් ගන්න පුළුවන්නේ?   


පිළිතුර:- හැබැයි හොටු ගෑනි දීලා, කැහි ගෑනියක් ගන්න බෑනේ. අන්න එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. මම මේ පක්ෂය ද‌ාලා කොහේවත් යන්නේ නැහැ. මේ පක්ෂය හරි ශක්තිමත් පක්ෂයක්. එකෙක් රජ කරවන පක්ෂයක් නොවෙයි. හැම කෙනාම රජ කරවන පක්ෂයක්. නමුත් සෘජු තීන්දු ගන්නේ නැති නිසා එක එක පැත්තට ඇදගෙන යන්න හදනවා.   


ප්‍රශ්නය:-මේ ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීමේදී මුදල් ඇමැති මංගල ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට ඔබ තදබල ලෙස විරුද්ධ වුණේ ඔය පදනමින්?   


පිළිතුර:- නෑ මගේ වගකීම මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමයි. කිසිම හේතුවක් නැතිව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සල්ලි ගන්න හදනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ රටේ ජනතාවගේ ඉතිරි කිරීමේ බැංකුව. මේක රුපියලින් වැඩකරන බැංකුවක්. එතකොට ඩොලර්වලින් සල්ලි ඇද්දම මොන කෙහෙල්මලක්ද බැංකුවට වෙන්නේ. ඔය වැඩේ මහින්ද කරද්දි අපි තරයේම විරුද්ධ වුණා.   


රුපියල් ​ෙකා්ටි තුන්දහස් එකසියයක් නැති කරපු බැංකුවට ආපහු ඒකම කළාම හරිද? මම මේක දැනගෙන නිහඬව හිටියොත් මම රටට කරන්නේ අපරාධයක්, පක්ෂය කියලා ඔහොම දණගහගෙන දේශපාලනය කරන්න බැහැ. ජනතාව තමයි ප්‍රධාන. අපි හැම තිස්සේම වේදිකාවල කතා කරන්නේ ජනතාව ආරක්ෂා කරන්නයි. එහෙම කතා කරලා මෙතැනම ඇවිල්ලා මෙහෙම කරන්නේ කොහොමද?   

ප්‍රශ්නය:-කැබිනට් එකේදී අගමැති රනිල් ඔබට කිව්වා ‘එහෙනම් විකල්පය කියන්න’ කියලා.   


පිළිතුර:- මම මොකටද විකල්පය කියන්නේ. ඔස්තාර්ලටනේ ඇමැතිකම් දීලා තියෙන්නේ. අපිට ඒ වගකීම් දුන්නා නම් විකල්පය විතරක් නොවෙයි අනික් ඒවත් කරලා පෙන්වන්නම්. අන්තිම පැය වෙනකම් මට මුදල් ඇමැතිකම දෙනවා කිය කිය ඉඳලා ඊට පස්​සේ නොදී ඉන්න කුමන්ත්‍රණය කරපු අයට මට වඩා දක්ෂතාවයක් තියෙන්න ඕනෑනේ.   


ප්‍රශ්නය:- ඔය ප්‍රශ්නයේ දී අගමැති රනිල්, මලික්, කිරිඇල්ල, ඇමැති මංගල වෙනුවෙන් පෙනී හිටියා.   


පිළිතුර: - අපි ආරක්ෂා කළ යුත්​තේ ආණ්ඩුව මිසක් පුද්ගලයෝ නොවෙයිනේ. දිවි නසාගන්නවා වගේ වැඩ කරනකොට ජනතාවට අසාධාරණයක් වෙනකොට නිකම් බලාගෙන ඉන්න පුළුවන්ද?   


ප්‍රශ්නය:-ඇමැතිකම් නොලැබුන අය වේදනාවෙන් කෑගහනවා. එජාපය තුළ මේ වගේ තත්ත්වයක් මීට පෙර තිබුණේ නැද්ද?   


පිළිතුර:- හැම පක්ෂයකම ප්‍රශ්න තියෙනවානේ. ඇමැතිධුර 30 ක් තියෙන තැනකට 60 ක් ද‌ාන්න බැහැනේ. ඉතින් එය ප්‍රශ්නය හැමද‌ාම තියෙනවා. නමුත් දෙන විදියක් තියෙනවා. මුහුණ බලලා හරි කේවට්ටයෙක් වගේ ඉන්නවා කියලා ඇමැතිකම් දීල හරියන්නේ නැහැ. පක්ෂයට කැපවෙන, ජ්‍යෙෂ්ඨත්වයට අනුව දැනුම, පළපුරුද්ද, හැකියාව බලලා තමයි ඇමැතිකම් දිය යුත්තේ. සමහරු ඉන්නවා ඊයෙ පෙරේද‌ා පක්ෂයට ආව අවුරුදු 10 ක් විතර වෙන වෙන තැන්වල හිටපු අය. ඒ ගැන බලන්න අවශ්‍යයි. එක්කෙනෙක්ගේ බෑග් උස්සගෙන ගියා කියලා තනතුරු දෙන්න ගියොත් පක්ෂය විනාශ වෙනවා.   


ප්‍රශ්නය:- ඔබ හිතනවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කියලා?   


පිළිතුර:- මම හිතනවා පුළුවන් කියලා. හැබැයි අපේ පක්ෂය විනාශ කරන්න ඇවිත් ඉන්න පිල්ලිවලින් මේ සමගිය ආරක්ෂා කරගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නෙම නැහැ කිව්වට ඔය දුන්නේ. එ් වෙලාවේ රනිල්ගේ ඔළුවට ගහන්න හිතාගෙන තමයි කට්ටිය හිටියේ. හැබැයි දැන් ඒ අය නැතිව බෑ වගේ තමයි කතා කරන්නේ. පක්ෂය වෙනුවෙන් සටන් කරලා ඒ ජයග්‍රහණ දිනා දීපු අය වෙනත් තැන්වල.   


ප්‍රශ්නය:-නමුත් මෙහෙම ප්‍රශ්න තියාගෙන කෙළින් තීරණ ගන්නේ කොහොමද?   


පිළිතුර:- යන්න පුළුවන්. සියුම් ප්‍රශ්න තියෙන්නේ. දැන් බලන්න පහුගිය කාලේ මතුවුණ ජනතා බලවේගය. එ්ක මේ පක්ෂයක් වෙනුවෙන් මතුවෙච්ච බලවේගයක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි ඒ බලවේග මතුවුණේ. ඒකට සියලු දෙනාම ගෞරව කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපිත් එක්ක හිටපු පක්ෂයක් නොවෙයිනේ. දෙමළ ජාතික සන්ධානයත් එහෙමයි.   


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන් සියල්ලෝම එකට අත්වැල් බැඳගත්තා. අපි ඒකට ගරු කළ යුතුයි. එහෙම ගරු කරන්නේ නැතිව අපි තමයි ඔක්කොම කළේ කියලා හිතනවා නම් ඒක තමයි ලොකුම ප්‍රශ්නය.   


ප්‍රශ්නය:- ඇමැතිකම් නොලැබුණ කළකිරුණ මන්ත්‍රීවරුන් මහින්ද කඳවුරට හේත්තු වුණොත්?   


පිළිතුර:- එහෙම නම් ඉතින් කවද‌ාවත් ආණ්ඩුවක් කරන්න බැහැනේ. මෙතැනදී බලන්න ඕනෑ පක්ෂය ඇතුළේ කාටද අසාධාරණකම් වෙලා තියෙන්​ෙන් කියලා. මන්ත්‍රීවරුන් 200 ක් හිටියත් ඒ 200 ටම කැබිනට් එකට යන්න බැහැනේ. නමුත් මේක හරියට කරන්න පුළුවන්. ජාතික ලැයිස්තුවෙන් ආපු අයට මොකටද ඇමැතිකම් ගන්නේ.   


ප්‍රශ්නය:-ඇමැති මලික් එහෙම කිව්වා ‘මට ඇමැතිකම් එපා’ කියලා?   


පිළිතුර:- එහෙනම් ඔය යස අගේට ගත්තේ. මගේ අත අල්ලලා, මිරිකලා ‘ඔයාට මේක දෙනවා.’ කියලා කියපු අය තමයි ඔය. මම කිව්වා ‘මට විශ්වාස නෑ.’ කියලා. ඒ වෙලාවේ කිව්වා ‘නෑ විශ්වාස කරන්න’ කියලා. මම ඒකයි නම් ගම් එක්ක කියන්නේ. තව එවා තියෙනවා. ඒවා දැනගත්තොත් ඔබටත් මහා හිරිකිතයක් දැනේවි. ඔය එකට එකතු වෙන්​නේ එක විදියට හිතන කට්ටියක්. මේ අය තමයි විවිධ දූෂණ කරලා අනික් අයගේ නමට ද‌ාන්නේ. ඒ නිසා මේක ශුද්ධ කරන්න ඕන ඉහළ ඉඳලා පහළට.   


ප්‍රශ්නය:-ඔබ ඔය කිව්​වේ බැඳුම්කර ගනුදෙනුව ගැන විය යුතුයි?   


පිළිතුර:- ඔව්. ම​ගේ චරිතය ඝාතනය කළා. මම එදත් කිව්වා මහ බැංකුව මගේ යටතේ නොවෙයි තිබුණේ. මම දන්නෙත් නෑ. ඒත් ඒ අය දැන දැනම මගේ නම ගෑව්වා. ජනාධිපතිතුමාගේ නමත් ඒකට ගෑව්වා. මට ශක්තිය තියෙනවා තනියෙන් හිටගන්න. මට ඇමැතිකම් ලොකු නෑ. මට ලොකු ජනතාවයි. පෙබරවාරි මාසෙ 10 වැනිද‌ා උතුරු කොළඹින් රටට දුන්න එකම පණිවිඩය තමයි තනතුර වැඩක් නෑ. මිනිස්සු එක්කයි ඉන්න ඕන කියලා. මම උතුරු කොළඹින් ඒක ඔප්පු කළා.   


 ඒ ජනතාවට මම ණය ගැතියි. එසේ හිස නමා ඔවුන්ට ආචාරය කරනවා. රටේ ඕනෑම කෙනෙක් දන්නවා බෙල්ල කඩාගෙන පක්ෂය ආරක්ෂා කරන්නේ මේ රවි කරුණානායක කියලා. හැම වෙලාවෙම මම ම​ෙග් මන්ත්‍රීවරුන්ට කියලා තියෙන්​නේ සමගි වුණොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.   


මට මතකයි මම ඇමැති කමින් ඉල්ලා අස්වුණු වෙලාවේ මම මන්ත්‍රීවරු ගෙනිච්චා තංගල්ලට එකමුතු භාවය හදන්න. ඒකට ඔය අපේ පක්ෂයේ ඉන්න පිංගුත්තර කල්ලියක් කිව්වා. ‘ඔබ පක්ෂය ඇතුළේ ප්‍රශ්න හදන්න හදනවා.’ කියලා. ඇමැතිකමින් ඉල්ලා අස්වෙච්ච මට එහෙම කරන්න පුළුවන්ද?   


ඔක්කෝබර් 26 ආණ්ඩුව නැති වෙච්ච වෙලාවේ අැවිල්ලා කියනවා ‘අනේ එන්න අපි සමගි වෙලා මේක ආරක්ෂා කරමු.’ කියලා ​මේ පළමු වැනි අවස්ථාව නෙවෙයි. පහළොස්වැනි අවස්ථාව. ඉතින් හිත රිදෙන්නේ නැද්ද? අපිව පක්ෂයෙන් එළවන්න හදනවා.   


ප්‍රශ්නය:- නමුත් ඔබ යන්නෙත් නෑ.   


පිළිතුර:- ඔව් යන්නෙත් නෑ. ඔය පිංගුත්තර කල්ලියට යන්න වෙන්නේ කොහේද කියන එකයි ප්‍රශ්නය. බලන්න මට මේ දීලා තියෙන අමාත්‍යාංශය. මම හිටපු තැනින් ද‌ාලා තියෙන්​නේ කොහේටද? ලැබෙන ඕනෑම අභියෝගයක් මම බාර ගන්නවා. ඒක නොවෙයි ප්‍රශ්නය.   


මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. අනික් අයට මෙහෙම සෘජුව කතා කරන්න ශක්තියක් නෑ. ඒ ශක්තිය නැති අයටත් රැකවරණය දෙන්නයි මම මෙහෙම කතා කරන්නේ.   


ප්‍රශ්නය:- පක්ෂනායක රනිල් එක්ක ඔබ මේවා සෘජුවම කතා කළේ නැද්ද?   


පිළිතුර:- එතුමා එක්ක කතා කරපු ඒවා මම මාධ්‍යයට කියන්නේ නැහැ. කතා කරපු ඒවා අපි දෙන්නා දන්නවා. එතුම​​ගේ හෘද සාක්ෂිය දන්නවා අපි කතා කරපු ඒවා.   


ප්‍රශ්නය:- නමුත් ඔබට සාධාරණය ඉටු වෙන්නෙත් නෑ.   


පිළිතුර:- ඒ අයගෙන් උත්තර නොලැබෙන්නේ නම් මට දෙවියන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් උත්තර ලැබේවි. කෝකියකුට කරන්න පුළුවන් දේ මෝස්තර නිරූපණ ශිල්පියකුට කරන්න බැහැ කියන එක ඉතාම සහතිකයි.

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්