කිසිම සම්බාධකයක් අපට පනවන්න බෑ


මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් 
සරත් වීරසේකර

 

ජිනීවා හි මානව හිමිකම් කොමිසමේ දී රටට එරෙහි යෝජනාව සම්මත විය. දැන් කුමක් වෙයිද? ඊළඟ පියවර කුමක්ද? මේ ඒ ගැන හා උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වුණා. රට මෙතැනින් කොතැනට ද?  


පිළිතුර - ජිනීවා යෝජනාව සම්මත වුණාට ඒකට බහුතරයක් ලැබුණේ නැහැ. රටවල් 47 ක් තියෙනවා මානව හිමිකම් කවුන්සිලයේ. එයින් බහුතරයක් වෙන්න රටවල් 24 ක්වත් තියෙන්න ඕනෑ. නමුත් හිටියේ රටවල් 22 යි. රටවල් 11 ක් අපට පක්ෂව ඡන්දය දුන්නා. රටවල් 14 ක් ඡන්දය දීමෙන් වැළකුණා. ඒ අනුව රටවල් 25 ක් මේකට පක්ෂව ඡන්දය දුන්නේ නෑ. ඒකෙන් අපට තේරෙනවා යුරෝපීය රටවල් තමයි අපට විරුද්ධව ඉන්නේ කියලා. එදත් යුරෝපීය රටවල් අපට විරුද්ධයි.  

 

  • දඩයම් කරනවා කියන්නේ කිසිම වැරැද්දක් නැතිව ඉන්න නිර්දෝෂි කෙනෙකුට බොරු වැරැද්දක් පටලවලා එයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමනේ. මේක මේ දඩයම් කිරීමක් නෙවෙයිනේ. මෙතැන පැහැදිලි ශාක්ෂි තියෙනවනේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා.


ප්‍රශ්නය -ඇයි එහෙම විරුද්ධ. ඒ පිළිබඳව ආණ්ඩුවේ ගණන් බැලීම?  


පිළිතුර - එහෙම විරුද්ධ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම නිසයි. ඒ නිසා අදත් විරුද්ධයි. අනික මේ යෝජනාව සම්මත වුණා කියලා අපට බය වෙන්න දෙයක් නෑ. මානව හිමිකම් කවුන්සිලයට අපට කවද‌ාවත් බලපෑම් කරන්න බෑ.  


ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් ආර්ථික සම්බාධක පැනවීම් සංචාරක තහනම් පැනවීම් ආදිය කරන්න පුළුවන්? 


පිළිතුර - කවද‌ාවත් බෑ. ආර්ථික සම්බාධක පනවනවා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ආරක්ෂක මණ්ඩලයෙන් පමණයි. ඒකෙන් වුණත් ආර්ථික සම්බාධක පනවන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව යම්කිසි රටක් ලෝකයේ සාමයට යම්කිසි බලපෑමක් ඇති කරනවා නම්, ලෝක සාමයට තර්ජනයක් ඇති වෙනවා නම්, වෙනත් රටකට යම්කිසි තර්ජනයක් කරනවා නම් තමයි එහෙම සම්බාධක පනවන්නේ. අපේ රටේ එහෙම කිසිම දෙයක් නෑ. අපේ රට සාමකාමී රටක්. ඒ වගේම තමයි අපට පක්ෂව රුසියාවයි චීනයයි ඉන්නවා. ඒ නිසා අපට බය වෙන්න කිසිම දෙයක් නෑ. ඒ නිසා අනිසි බියක් ඇති කරගත යුතු නෑ.  
ප්‍රශ්නය - ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අපේ රටට හිතවත් රටවල් හැටියට ද ආණ්ඩුවේ ගණන් බැලීම?  
පිළිතුර - අපට හිතවත් රටවල් තමයි. ඔවුන්ට එල්ල වුණු යම් යම් බලපෑම් නිසා අපේ රටට පක්ෂව ඡන්දය දෙන්න බෑ. නමුත් ඔවුන් අපට හිතවත් නැත්නම් ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න තිබුණානේ. ජපානය වගේ රටක් අපට හිතවත්, ඉන්දියාව අපට හිතවත්. ඒ වුණාට ඒගොල්ලෝ ඡන්දය දීමෙන් වැළකුණා. අපට හිතවත් නැත්නම් ඔවුන්ට කෙළින්ම අපට විරුද්ධව ඡන්දය දෙන්න තිබුණා. රටවල් 25 ක් මේකට පක්ෂ වුණේ නෑ. ඒ නිසා ඒ ගොල්ලෝ පරාදයි.  


ප්‍රශ්නය - ඉන්දියාව හා ජපානය වගේ රටවල සහාය අප රටට කෙළින්ම ගන්න බැරි වුණේ ඇයි? ඒක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් නෙවෙයිද?  


පිළිතුර - ජපානය වගේ රටකට... ඉන්දියාවට ඇමෙරිකාවේ බලපෑම තිබුණා. ඒ බලපෑමට ඒ රටවල් යටත් වෙන්න ඇති. ඒ නිසා තමයි ඔවුන් ඡන්දය දීමෙන් වැළකුණේ. ඇමෙරිකාව අනිවාර්යයෙන්ම ඔවුන්ට බලපෑම් කළා. එංගලන්තයේ අගමැති පවා විවිධ රටවලට පෞද්ගලිකව කතා කරලා අපේ රටට විරුද්ධව ඡන්දය දෙන්න කියලා කිව්වා. බොහෝ රටවල් එහෙම කළේ නෑ. ඒගොල්ලෝ ගන්න ව්‍යායාමය අනුව ඔවුන්ට සෑහීමකට පත් වෙන්නත් බෑ. ජපානය ඒ වගේ බලපෑමකට යටත්ව සිටියදීත් ඡන්දය දීමෙන් වැළකුණා. නමුත් ඔවුන්ගේ කතාවේදි අපට පක්ෂව කතා කළා. ඒකෙන්ම තේරෙනවා ඒ බලපෑම. 

 
ප්‍රශ්නය -ඔබ ඉන්දියාව මග ඇරලා කතා කරන්නේ?  


පිළිතුර - ඉන්දියාව ඉතින් අපි දන්නවනේ තමිල්නාඩුව සන්තර්පනය කරන්න ඕනෑනේ. තමිල්නාඩුවේ මැතිවරණය එනවා. තමිල්නාඩුව හා අපේ දෙමළ ජනතාවත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවක් එක්ක නිසා තමයි ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකුණේ. අපට පක්ෂව ඡන්දය දුන්නා නම් ඔවුන්ට තමිල්නාඩුවේ ඡන්ද ලැබෙන්නේ නෑ දෙමළ ඩයස්පෝරාවේ සහ දෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම මත. ඒ නිසා අපට ප්‍රශ්නයක් නෑ. අපි ජිනීවා යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වෙලා ඉන්න නිසා අපට කිසිදු බැඳීමක් නෑ ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම්මත වෙච්ච යෝජනාවේ තියෙන නිර්දේශ සමග.  


ප්‍රශ්නය -යුද්ධය අවසන් වුණේ 2009 දී. තවමත් මේ ප්‍රශ්න නිරාකරණය කර ගන්න අපේ රටට බැරිවුණේ ඇයි?  


පිළිතුර - මේක මෙහෙම වෙන්නේ... මේකට තියෙන හොඳම උද‌ාහරණය තමයි නිද‌ාගෙන ඉන්න මිනිහෙක්ව අපට නැගිටවන්න පුළුවන්. නමුත් බොරුවට නිද‌ාගෙන ඉන්න මිනිහෙක්ව නැගිටවන්න බෑ. ඔවුන් හොඳ‌ාකාරවම දන්නවා අපි යුද අපරාධ කරල නෑ කියලා. එහෙම දැන දැනත් අපට ඒ චෝදනාව එල්ල කරන්නේ ඊළාම් සිහිනය සැබෑ කරගන්න. අපි සුළු ජාතීන් මර්දනය කරනවා... යුද අපරාධ කරනවා කියලා අපිව ඒ තත්ත්වයට ගෙන්වලා ඔවුන්ට අවශ්‍ය අරමුණ කරා යන්න තමයි ඔවුන් උත්සහ කළේ. අපි යුද්ධය දිනුවේ 2009 මැයි මාසයේ 19 වැනිද‌ා. මැයි මාසේ 27 වැනිද‌ා වෙනකොට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මේ සම්බන්ධයෙන් තිබුණ පළමු යෝජනාව අපි ජය ගත්තා. ඒ යෝජනාවේ තිබුණේ ශ්‍රී ලංකා හමුද‌ාවට ප්‍රශංසා කරලා එල්ටීටීඊ සංවිධානයේ කෲරකම් හෙළි කරලා. එහෙම තිබිය දී ඇයි මේ තත්ත්වයට ආවේ.  


ප්‍රශ්නය -විපක්ෂය නම් කියන්නේ ‘මැද මුලන තියරියට අනුව වැඩ කරන්න ගිහින් අපේ රට ලෝකය තුළ කොන් වෙලා’ කියලයි.  


පිළිතුර - එහෙම කිසිම දෙයක් වෙලා නෑ. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මේ රටේ ඉන්න ද්‍රෝහීන් සමග එකතු වෙලා කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේක. අපි යුද්ධය අවසන් කරලා... ජිනීවා පළමු යෝජනාව සම්මත කර ගත්තාටත් පස්සේ ඇයි මෙහෙම වුණේ? මේක වුණේ බෑන් කී මූන්ගේ දරුස්මාන් වාර්තාව මත තමයි. බෑන්කී මූන් වුණත් දරුස්මාන් කොමිසම පත් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි කොටස් තුනක්ම උල්ලංඝණය කරමිනුයි. 99-100 සහ 101 යන කොටස්. 99 කොටසෙන් කියන්නේ රටක අභ්‍යන්තර කටයුතුවලට මහ ලේකම්වරයාට ඇඟිලි ගහන්න බෑ. නමුත් එයා ඇඟිලි ගැහුවා. දෙවැනි එක තමයි පිටස්තරයන් කොමිටිවලට පත් කරන්න බෑ. තුන්වැනි එක තමයි ඔහු වැඩ කරන්න ඕනෑ ආරක්ෂක මණ්ඩලයෙ හා මහ සභාවේ නියෝගවලට අනුවයි. නමුත් එහෙම නියෝගයක් දුන්නේ නෑ. ඒ වගන්ති තුනම උල්ලංඝණය කරමින් කරපු වාර්තාවේ තමයි හතළිස් ද‌ාහක් මැරුවා කියලා කිව්වේ. ඒ හරහා තමයි දිගටම මේ යුද අපරාධ චෝදනා ආවේ. නමුත් එහෙම චෝදනා ආවට ජාත්‍යන්තරව පිළිගත්ත යුද අපරාධ විශේෂඥයෝ කියලා තියෙනවා අපේ රටේ යුද අපරාධ වුණේ නෑ කියලා. ඒ වගේම මේකේ තියෙන වැදගත්ම දේ තමයි යුද්ධය අවසන් වෙච්ච හැටියේම මෙහෙ හිටපු ඇමෙරිකාවේ යුද සම්බන්ධීකරණ නිලධාරියා... ලෝරන්ස් පික් කිව්වා අපේ රටේ කිසිම යුද අපරාධයක් වුණේ නැහැ කියලා. ඔහු ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හිටියේ.  


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණෙත්... එහෙම තිබියදීත් තත්ත්වය නරක් කරගත්තේ ඇයි කියන එකයි.  


පිළිතුර - ඒක අපේ වැරැද්දක් නෙවෙයි. එංගලන්තයේ කර්නල් ගෑස්... එයත් කියලා තියෙනවා. අපේ රටේ යුද අපරාධ වෙලා නෑ කියලා. ඒ ගොල්ලෝ කියපු සංඛ්‍යාව අපි කියපු සංඛ්‍යාව සමග ගැලපෙනවා කියලා. ඔවුන් කියනවා ලංකාවේ හමුද‌ාව යුද්ධ කළේ නීතියට අනුව හා සිවිල් වැසියන් ආරක්ෂා කරමින් කියල. ඒ රටවල් දෙකම නේද අපට අද විරුද්ධ වෙලා තියෙන්නේ? ඔවුන්ගේ නියෝජිතයෝ නේද ඒ විදියට සත්‍ය කතා කළේ? ඒකෙන්ම පේනවා නේද අපි මේ නැගිටවන්න හදන්නෙ බොරුවට නිද‌ාගෙන ඉන්න කෙනෙක් නේද කියලා. ඒ නිසා අපි ඒවා ගණන් ගන්න හොඳ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත් මේක හරියට ‘‘හැඬ්ල්’’ කරනවා. මේ වාර්තාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වාර්තාව පදනම් කරගෙන තියෙන්නේ දරුස්මාන් වාර්තාවේ සමහර කොටස්වලින්ම ඒකත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥයන් හය දෙනෙක්. සර් ඩෙස්මන් ද සිල්වා සර් ජෙෆ්රි නයිස්, මහාචාර්ය මයිකල් ක්‍රේන්, මහාචාර්ය මයිකල් නිව්ටන්, මේජර් ජෙනරල් ජෝන් ගෝම්ස් සහ රොඩ්නි ඩික්සන් කියන මේ හය දෙනාට විවිධ අවස්ථාවල විවිධ වාර්තාවලින් කියලා තියෙනවා අපි කිසිම යුද අපරාධයක් කරලා නැහැ කියලා. කර්නල් ගෑස්ගේ වාර්තාව උපුටා දක්වමින් තමයි නේස්බි සාමිවරයා අර වගේ ප්‍රකාශයක් එංගලන්තයේ සාම මණ්ඩලයේ දී කළේ එහෙම තිබිය දී කොහොමද අපට යුද අපරාධ කළා කියලා චෝදනා කරන්නේ? ඒ නිසා මේක කිසිසේත්ම ගණන් ගත යුතු නෑ. මම හිතන්නේ ජිනීවාවල දී අපි ලබා ගත්තේ ජයග්‍රහණයක් කියල.  


ප්‍රශ්නය -කොළඹ අගරදගුරුතුමන් කියනවා ‘‘අප්‍රේල් 21ට කලින් පාස්කු වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුයි’’ කියලා  


පිළිතුර - එතුමාගේ ඒ ඉල්ලීමත් සාධාරණයි. උන්වහන්සේගේ අසහනයත් සාධාරණයි. මොකද උන්වහන්සේ කතෝලික ජනතාවට වග කියන්න ඕනෑ. නමුත් මෙතැනදි වෙන්නේ... දැන් ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ නීතිපති අතේ. පොලීසිය අපේ නොවෙයි. පොලීසිය මගින් කරන්න ඕනෑ සියලුම විමර්ශන කටයුතු අවසන් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධ උධෘත ගොනු අටක්ම අපි නීතිපතිවරයා ළඟට යවලා තියෙන්නේ. නීතිපතිවරයා මෙතෙක් කල් බලාගෙන හිටියා ජනාධිපති කොමිසමේ වාර්තාව එනකම්. ඒ වාර්තාව ඇවිත් දැන් මාසයක් විතර වෙනවා. ඔවුන් දක්ෂ නීතිඥ කණ්ඩායමක් දාලා වාර්තාව පරිශීලනය කරලා අවශ්‍ය අයට නඩු දාන්න බලාගෙන ඉන්නවා.   

 

  • මේක වුණේ බෑන් කී මූන්ගේ දරුස්මාන් වාර්තාව මත තමයි. බෑන්කී මූන් වුණත් දරුස්මාන් කොමිසම පත් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි කොටස් තුනක්ම උල්ලංඝණය කරමිනුයි. 99-100 සහ 101 යන කොටස්. 99 කොටසෙන් කියන්නේ රටක අභ්‍යන්තර කටයුතුවලට මහ ලේකම්වරයාට ඇඟිලි ගහන්න බෑ.


ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වාර්තාවේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා.  


පිළිතුර - ඒක වැරදියි. ජනාධිපති කොමිසම කියන්නේ එක වාර්තාවක් පමණයි. පාස්කු ප්‍රහාරයට අද‌ාළව වාර්තා හතරක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. අනිත් එක තමයි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවේ වාර්තාව. ඊළඟ එක තමයි ජනාධිපති කොමිසම. අනිත් එක තමයි පොලීසිය කරපු විමර්ශන. ඒ විමර්ශන තාම යනවා. දැන් මම ආවට පස්සේ නැවත වරක් අපට අතපසු වෙච්ච කාරණා ගැන බලන්න අපි කණ්ඩායමක් පත්කළා. ඒකෙන් තමයි හිස්බුල්ලව අපි ගත්තේ. ඒකෙන් තමයි අපි හජ්ජුරාම් අක්බාර්ව ගත්තේ. එ් පරීක්ෂණ හරහා තමයි මේකට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් තුන් හතර දෙනෙක්ම අපි ගත්තේ. ඒ පරික්ෂණ දිගටම කරගෙන යනවා. නීතිපතිතුමා ඒ කටයුතු කරගන යනකම් මේ විමර්ශන නැති වෙන්නේ නෑ. ඒ විමර්ශන කරගෙන යනකොට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ මේකට තියෙන සම්බන්ධය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා අපි කියන්නේ.  


ප්‍රශ්නය -පාර්ලිමේන්තුවේ කාරක සභාවේදිවත් ජනාධිපති කොමිසමේදිවත් ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් ගැන කරුණු මතු වුණේ නෑ. එහෙම නම් ඇයි එකපාරටම ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන්නේ?  


පිළිතුර - ඒක තමයි පුදුම. ඇයි මේකට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධය ගැන හෙව්වේ නැත්තේ කියලා. උද‌ාහරණයක් හැටියට බලන්න ඊබ්‍රාහිම් කියන පුද්ගලයාගේ තමයි තඹ ෆැක්ටරිය. ඊබ්‍රාහිම්ගේ පුත්තු දෙන්නා තමයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ. එතකොට ඊබ්‍රාහිම් හා ඒ පුත්තු දෙන්නා තමයි සහරාන්ට රුපියල් ලක්ෂ 500ක් විතර දුන්නේ. සහරාන් ඒ සල්ලිවලින් තමයි පාස්කු ප්‍රහාරය සැලසුම් කරලා ඒ ප්‍රහාරය එල්ල කළේ. එතකොට ඒ ඊබ්‍රාහිම් අද ප්‍රධාන සැකකරුවකු ලෙස රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ. ඒ ඊබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක්. එහෙම නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැද්ද?  


ප්‍රශ්නය - ජවිපෙ නායක අනුර කුමාර කියනවා ඊබ්‍රාහිම් ජනාධිපතිවරුන්ගෙන් මැති ඇමතිවරුන්ගෙන් සම්මාන ගත්ත කෙනෙක් කියලා?  


පිළිතුර - සම්මාන ගන්නේ ව්‍යාපාරිකයෙක් හැටියටනේ. එහෙම සම්මාන දෙන්නේ මෙයාට විතරක් නොවෙයිනේ. සාර්ථක ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුවක් දුන්නාම එහෙම අයට ඕනෑම කෙනෙක් සම්මාන දෙනවා. නමුත් පක්ෂයක ජාතික ලැයිස්තුවට ගේනවා තියන්නේ බරපතළ ප්‍රශ්නයක්. ඒකට කොයිතරම් මුදල් ප්‍රමාණයක් දුන්න ද? ඇයි මෙයා ජාතික ලැයිස්තුවට ගත්තේ? මොකකද්ද තියෙන සම්බන්ධය? කියලා හොයලා බලන්න ඕනෑ. අනික් අතට බිමල් රත්නායක කියනවා පිළිම වන්දනාව ගෝත්‍රිකයන්ගේ වැඩක් කියලා. පිළිම වන්දනාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ... පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන්නේ කවුද? වහබ්වාදීන්.  


ප්‍රශ්නය -අනුර කුමාර කියලා තිබුණා. බිමල් රත්නායකගේ ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අහන්න කියලා?  


පිළිතුර - ඔව් ඔව් ඉන්ටර්නෙට් එකේ ඒ ප්‍රකාශය තියෙනවා. ඔහු කියනවා පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ වගේම ඔහු කියනවා මේක සිංහල බෞද්ධ රටක් නොවේ’’ කියලා. 

 
ප්‍රශ්නය -ඔබලාට අවශ්‍ය පරිදි ඒ ප්‍රකාශ ගලපා ගන්නවා?  


පිළිතුර - එහෙම කරන්න අවශ්‍ය නෑ. ඔය ප්‍රකාශ අන්තර්ජාලයේ තියෙනවා. ඕකම තමයි සහරාන් කියන්නෙත්, ඒ නිසා තමයි මාවනැල්ලේ බුදු පිළිමවලට ගැහුවේ. ජනතා විමුක්ති පෙරමුණේ චින්තනය ඒක නම් සහරාන්ගේ චින්තනය සමග ඒ චින්තනය යම් පමණකට අනුගත වෙනවා. ඒ වගේම මුජිර් අබ්බාර් කියන පුද්ගලයා තමයි. ජමාතේ ඉස්ලාම් සංවිධානයෙ නායකයා. ඔහු තමයි නවුෆර්ට අමතරව පාස්කු ප්‍රහාරයේ ඉන්න අනික් මහ මොළකරු. ජමාතේ ඉස්ලාම් එකත් අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයේ සංධානගත වෙච්ච සංවිධානයක්. මේවා මෙහෙම තිබියදී මේ ගැන හොයන එක වැරැදි ද?  


ප්‍රශ්නය - ඒවා ගැන හොයන්න කලින් ඔබ ජනතා විමුක්ති පෙරමුණ වැරැදිකරුවෙක් කරලා.  


පිළිතුර - නෑ නෑ තාම නැහැ. විමර්ශනයකට අවශ්‍ය මූලික කාරණා තියෙනවා. අනුර කුමාරගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමක් අවශ්‍යයි කියනකොට ඇයි මේ තරම් දඟලන්නේ. ‘මං ඇවිල්ලා පැහැදිලි කරන්නම්’ කියලා කිව්වා නම් හරිනේ. ඒ වෙනුවට මට අපහාස කරනවා. ​ බණිනවා. තරහා යනවා. මොකද්ද මේකේ තේරුම.  


ප්‍රශ්නය -දේශපාලන පලිගැනීම් පිළිබඳ හොයපු ජනාධිපති කොමිසමේ වාර්තාව හරහා විපක්ෂයෙ දේශපාලනඥයන් දඩයම් කරන්න හදනවා. මේකත් ඒ දඩයමේම දිගුවක්?  


පිළිතුර - දඩයම් කරනවා කියන්නේ කිසිම වැරැද්දක් නැතිව ඉන්න නිර්දෝෂි කෙනෙකුට බොරු වැරැද්දක් පටලවලා එයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමනේ. මේක මේ දඩයම් කිරීමක් නෙවෙයිනේ. මෙතැන පැහැදිලි ශාක්ෂි තියෙනවනේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධය හරිම අහිංසකයි. ඊට වඩා දෙයක් අපි දන්නේ නැහැ කියලා කියන එක විතරනේ තියෙන්නේ. අපි එයාගෙන් ප්‍රශ්න අහන්න ඕන නැත්තේ ඇයි අපි එයාට බය ද? අපි එයාට බය වෙන්න ඕනෑද? එයාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි කියන එක වැරැදිද? ඒක දඩයම් කිරීමක් ද? ඒක දඩයම් කිරීමක් වෙන්නේ කොහොමද? මෙතැන ඉතාම පැහැදිලි සාක්ෂි තියෙනවනේ. ඒ නිසා ඒ ගැන එයාට පැහැදිලි කිරීමක් කරන්න වෙයි.  


ප්‍රශ්නය - අනුර කුමාරව කොයි කාලෙදි වගේ කැඳවයි ද?  


පිළිතුර - ඒක මම දන්නේ නෑ. නීතිපතිතුමාගෙනුත් උපදෙස් ලබාගෙන තමයි ඒක කරන්නේ. සීඅයිඩී එකට කියලා නීතිපතිට කියලා අවශ්‍ය උපදෙස් අරගෙනයි කරන්නේ. නීතිපති කිව්වොත් ‘‘අවශ්‍ය නෑ’’ කියලා එහෙම නම් කමක් නෑ. නීතිපති කිව්වොත් “ඔව් ප්‍රශ්න කරන්න අවශ්‍යයි” කියලා එහෙම නම් ප්‍රශ්න කරන්න අවශ්‍යයි. දැන් අසාත් සාලිව ගන්න එක වුණත් මට ඕනෑවට ගත්තේ නැහැ. නීතිපතිගේ උපදෙස් අනුව තමයි අසාත් සාලිවත් ගත්තේ.  


ප්‍රශ්නය - අනුර කුමාර කියනවා ‘සරත් වීරසේකරගේ තියෙන්නේ පුස් වෙඩිලි’ කියලා.  


පිළිතුර - පුස් වෙඩිලි ද ඒවා ජීව උණ්ඩ ද කියලා හෙට අනිද්දටම අනුර කුමාරට බලාගන්න පුළුවන් වෙයි. කොහොමත් ජීව උණ්ඩත් එක්ක වැඩ කරපු අයනෙ ඒ අය. අපිට මතකයිනේ ජීව උණ්ඩත් එක්ක වැඩ කරලා ට්‍රාන්ස්ෆෝමර් කඩා දැම්මේ, මිනිස්සු මරා දැම්මේ කොහොමද? අයිඩෙන්ටි කාඩ් හොරකම් කළේ කවුද කියලා. අපි දන්නවා. මේ දැනුත් මගේ ඉස්සරහා ඉන්න මන්ත්‍රීතුමාගේ පියාව මිදුලට අරන් ගිහින් දණ ගස්සවලා වෙඩි තියලා මරලා දැම්මේ ජනතා විමුක්ති පෙරමුණනේ.  


ප්‍රශ්නය - 2004 දී ඔබලා සන්ධානගත වුණොත් 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න සෑහෙන්න මහන්සි වුණොත් ඔය ඔබ කියන ජනතා විමුක්ති පෙරමුණ තමයි.  


පිළිතුර - ඕවා වෙනවා දේශපාලන වශයෙන්. ඕවා කරපු අනුර කුමාර දිසානායක ජීව උණ්ඩ ගැන දන්නවා හොඳට... ඒ නිසා මම කියනකොට. එයා ටිකක් තැති ගත්තේ ඒ නිසයි.

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්