කිසිම අතකින් මේ අාණ්ඩුව සාර්ථක නෑ


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  

  • මේ ආණ්ඩුව සෑම අතින්ම අසාර්ථක වෙමින් තියෙනවා. අසාර්ථක වූ සෑම ආණ්ඩුවකටම යන්න තියෙන මාවත තමයි මර්දනය. 
  • සමහර නඩු මේක අනුමත කරන කැබිනට් මණ්ඩලේම ඉන්න ඇමැතිවරුන්ට තිබුණ නඩු. තමන්ගේ නඩුව අස්කරගන්න කියල කැබිනට් එකේ තමන්ම අත උස්සනවා. 
  • තමන් විසින් පවරපු නඩු තමන් විසින්ම ඉවත් කරගන්න නීතිපතිවරයා සූද‌ානම් ද කියලා කියන්න ඕනෑ රටට. 
  • මේ ජැටිය විකුණන්න ගෝඨාභය ද මහින්ද ද අනිත් ඔය දේශප්‍රේමී සළුපිළි දවටගෙන ඉන්න මහත්තුරුත් ඉන්න කැබිනට් එක තීරණයක් ගත්තා.
  • ඇමැතිවරුන්ගේ, නිලධාරින්ගේ තමන්ගේ සමීපතමයින්ගේ දූ දරුවෝ විදේශ සේවයට පෝලිමේ ද‌ාන්න පටන් අරගෙන තියෙනවා. 
  • විද්‍යාව වෙනුවට මිත්‍යාව පස්සෙ දුවපු මේ වගේ ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ. අද ජනතාව අන්ත අසරණ වෙලා. ආණ්ඩුවට වගේ වගක් නෑ.

 

  • බටහිර ජැටියටත් සිදු කරන්නේ ඒකම තමයි. ඒකත් පරාජයට පත් කළ යුතුයි.
 
අනුර කුමාර දිසානායකගේ ප්‍රජා අයිතිය වසර කීපයකට අහෝසි වීමේ ඉඩකඩක් පිළිබඳව කතාබහ සිදුවන අවස්ථාවක ඒ පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්වීමට එක්විය.  
 
ප්‍රජා අයිතිය නැති වෙන්න යන කතාව මොකක්ද?  
 
මේ ආණ්ඩුව සෑම අතින්ම අසාර්ථක වෙමින් තියෙනවා. අසාර්ථක වූ සෑම ආණ්ඩුවකටම යන්න තියෙන මාවත තමයි මර්දනය. ඒ නිසා ආණ්ඩුව අධිකරණයෙන් පිටත 1978 ජාතික සභාවෙන් සම්මත කරන ලද පනතක් උපයෝගී කරගෙන අපිව මර්දනය කරන්න ප්‍රයත්නයක් දරනවා. ඒක අනිවාර්යයෙන්ම පරාජයට පත් කළ යුතු ප්‍රයත්නයක්.   
 
වැඩේ කෙරුණොත් මොකද වෙන්නේ?  
 
මෙය මගේ පුද්ගලික ප්‍රශ්නයක්ම නෙවෙයි. ඉතාමත් දූෂිත පුද්ගලයින් යොද‌ාගෙන පසුගියද‌ා ජනාධිපතිවරයා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම් සඳහා ජනාධිපති කොමිසමක් පිහිටෙව්වා. කොමිසමේ අරමුණු දෙකක් තියෙනවා. එකක් දූෂණය පිළිබඳ චෝදනා එල්ල වී තියෙන මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර ගොනුකොට තිබෙන නඩු ඉවත් කරගැනීම, දෙවෙනි අරමුණ ආණ්ඩුවට තර්ජනයක් වෙන අය මර්දනය කිරීම.
එම කොමිසමට පැමිණිලි 1900 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිල තියෙනවා. එයින් 136 ක් සාක්ෂි විමසා 14 ක් ලිඛිත ලේඛන මත විසඳ‌ා තියෙනවා. මේ කොමිසම 2020 ජනවාරි 29 ඉඳන් නොවැම්බර් 25 දක්වා කාලයක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ සමහර නඩු අධිකරණයේ අවුරුදු තුන හතර දිග හැරෙන නඩු. ඒ නඩු දවසෙන් දෙකෙන් විසඳපු බව තමයි ඒ අනුව පෙනී යන්නේ. ඒ අතර වංචා දූෂණවලට ලක්වූ මහාධිකරණයේ තියෙන නඩු 79 ක් පමණ ඉල්ලා අස්කරගන්න කියල නීතිපතිවරයාට නියෝග කොට තියෙනවා. මේ එක නඩුවක්වත් දේශපාලකයො පවරපුව නෙවෙයි. අපි කරල තියෙන්නේ මේ වංචා දූෂණ පිළිබඳ පැමිණිලි කරපු එක. ඒ පැමිණිලි පරික්ෂාවට භාජනය කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සහ ඊට අනුබද්ධ ආයතන. එම පරීක්ෂණ ගොනු මත නඩු පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒ නඩු විභාගයට ලක් කරන්නේ අධිකරණ පද්ධතිය. මේ සමහර නඩු ඉල්ලා අස්කර ගන්න කියලා කොමිසම නිර්දේශ කරලා තියෙනවා. ඒකට කැබිනට් අනුමැතිය පවා හිමිවෙලා තියෙනවා. ඒ සමහර නඩු මේක අනුමත කරන කැබිනට් මණ්ඩලේම ඉන්න ඇමැතිවරුන්ට තිබුණ නඩු. තමන්ගේ නඩුව අස්කරගන්න කියල කැබිනට් එකේ තමන්ම අත උස්සනවා. මේක අවිනීතික උන්මත්තක ක්‍රියාවලියක්. එතනින් නොනැවතී එම නඩු ගැන පැමිණිලි කරපු අය, ඒ ගැන විමර්ශනය කරපු පොලිස් දෙපාර්තමේන්තුවේ අය, ඒ ගැන නීතිමය කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවෙ අයට විරුද්ධව නඩු පවරන්න කියල තීරණය කරල තියෙනවා. මෙය ක්‍රියාත්මක වුණොත් තවදුරටත් රටේ අධිකරණ පද්ධතියත් නීතිපති දෙපාර්තමේන්තුවත් වගේ පරීක්ෂණ කරන ආයතනවලින් වැඩක් නෑ. අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහනවා වංචා දූෂණ පිළිබඳව පරික්ෂණ කරන ඒ ආයතනවල නිලධාරීන්ට එරෙහිව කෙරෙන පරික්ෂණවලට එකඟ ද කියලා.  
 
තමන් විසින් පවරපු නඩු තමන් විසින්ම ඉවත් කරගන්න නීතිපතිවරයා සූද‌ානම් ද කියලා කියන්න ඕනෑ රටට.  
 
අපේ රටේ නීතිඥවරු මේ ගැන මොකද කියන්නේ කියලා අපිට දැනගන්න අවශ්‍යයි. අධිකරණ පද්ධතියම පසෙකලා මේ කරන්න හදන්නේ රටේ නීතිය පොඩිපට්ටම් කිරීමක්. ඒකට ඉඩ දෙනව ද කියල අපි හැමෝම දැන් කල්පනා කරන්න ඕනැ. අපි පළමුකොටම පෙනී සිටින්නේ එම ප්‍රයත්නය පරාජයට පත් කරන්න.  
 
මේකෙන් ප්‍රජා අයිතිය අහෝසි වීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීම කියන කාරණා දෙක සිද්ධ වීමට නියමිතයි කියල තමයි සමහරු කියන්නේ. ඒ කතාව එහෙම වෙයිද?  
 
මේකෙන් විමර්ශනය කරන්නේ මම ව්‍යවස්ථාව උල්ලංඝනය කරල තියෙනව ද කියලා. ඇත්ත ගත්තොත් මේ රටේ ව්‍යවස්ථාව අමු අමුවෙ උල්ලංඝනය කරල තියෙන්නේ පාලකයෝ. මම නෙවෙයි. මට එල්ල කරන චෝදනාව මම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.  
 
අපේ දේශපාලනය ප්‍රජා අයිතිය මත හෝ මන්ත්‍රී ධුරයක් මත හෝ පමණක් තීරණය වෙන්නෙ නෑ. අපි රටේ ජනතාව මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. රට මේ මජර දේශපාලන කඳවුරුවලින් බේරාගෙන නැවත යහපත් තැනකට ගෙන එන්න උත්සාහ කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒක නිසා ඒක ප්‍රජා අයිතිය අහෝසි කිරීමකින් හෝ මන්ත්‍රී ධුරයක් අහිමි කිරීමෙන් හෝ නතර කරන්න පුළුවන්කමක් නෑ. ඒත් අපි ඒ වගේ අවනීතික දඬුවමකට යටත් වෙන්න සූද‌ානමක් නෑ. මේ උන්මත්තක ක්‍රියාද‌ාමය පරාජයට පත් කළ යුතුයි. ඒක කරන්න ඕනෑ මා වෙනුවෙන් විතරක් නෙවෙයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.  
 
ඔබ සඳහන් කරපු විදිහට මේ කොමිසමෙන් ඉවත් කරගන්න කියලා කියපු නඩු මොනවද?  
 
එහෙම ඉවත් කරගන්න කියල යෝජනා කරපු නඩු ගණනාවක් තියෙනවා. උදයංග වීරතුංගගේ මිග් යානා පිළිබඳ නඩුව, බැසිල් රාජපක්ෂගේ මල්වාන නඩුව, තිරු නඩේෂන්ගෙ මල්වාන නඩුව, ජාලිය වික්‍රමසූරියගෙ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ඇති කරගත් අර්බුදය පිළිබඳ නඩුව, යෝෂිත රාජපක්ෂගෙ නඩු, ගම්මන්පිලගේ නඩුව, නාලක ගොඩහේවාගෙ නඩුව, නිශ්ශංක සේනාධිපතිගෙ නඩුව වගේ නඩුත් ඉවත් කරගන්න කියල යෝජනා කරනවා.
 
නැගෙනහිර ජැටිය නාටකයත් කෙළවර වුණා. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියා වගේ නේද?  
 
අාණ්ඩුව වටේ ඉන්න මාධ්‍ය වළල්ල උපයෝගී කරගනිමින් නැත්ත ඇත්ත කිරීමේ ක්‍රියාවලියක් තමයි මේ කරමින් ඉන්නේ. මේ ජැටිය විකුණන්න ගෝඨාභය ද මහින්ද ද අනිත් ඔය දේශප්‍රේමී සළුපිළි දවටගෙන ඉන්න මහත්තුරුත් ඉන්න කැබිනට් එක තීරණයක් ගත්තා. මම මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරද්දී වරාය ඇමැති රෝහිත කිව්වෙ මේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමට පවරා දුන්නෙ නැත්නම් අපිට අනාගතයේ දී ජැටියේ මාලු බාන්න වෙනවා කිව්වා. එහෙමයි විකිණිල්ල සාධාරණීකරණය කෙරුවෙ. ජනාධිපති ගෝඨාභය වෘත්තීය සමිති එක්ක කරපු සාකච්ඡාවේ දී ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලිව කිව්වා. ඒකෙ කිව්වෙ 49% ඉන්දියන් සමාගමට පවරනවා කියලා. ඒ මත ඉඳගෙන යෝජනා ඉදිරිපත් කරන්න කියලා ජනාධිපති කිව්වෙ. දැන් මේ අගමැති මොනවද කියන බයිල. රටේ නැගුණු අතිමහත් විරෝධය හමුවේ මේක ආණ්ඩුවට අකුල ගන්න සිද්ධ වුණා. රටේ සම්පත් විකුණාගෙන කන මේ දේශද්‍රෝහී ආණ්ඩුවට විරුද්ධ රටේ ජනතාව ඉදිරියට ආවා. මේක ඒ සියලු දෙනාගේ අරගලයේ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයට අද ඒක විකුණගෙන කන්න අත උස්සපු එවුන්ම අයිතිවාසිකම් කියන එක තරම්ම විහිළුවක් තියෙනවද? මේ ගනුදෙනුව යට ක්‍රියාත්මක වුණු කොමිස් කුට්ටි ගැන අපි දන්නවා.  
 
දැන් කතාව නැගෙනහිරින් බටහිරට මාරුවෙලා  
 
අපිට ඩොලර්වලින් උපයන්න පුළුවන් වරාය කෑලි කෑලි වෙන සමාගම්වලට දීලා අපි වරාය ගැන දුක් වෙවී ඉන්නවා. චන්ද්‍රිකා ටිකක් දුන්නා. මහින්ද තව ටිකක් දුන්නා. දැන් ධනය උත්පාදනය කරන්න පුළුවන් බටහිර ජැටිය ඉන්දියානු සමාගමකට දෙන්න හදනවා. මේ පාලකයන් හැමද‌ාම කෙරුවේ ර​ටේ ධනය උත්පාදනය කරන්න පුළුවන් මර්මස්ථාන විදේශීය බහුජාතික සමාගම්වලට විකුණමින් කිසිම ඵලක් නැති ව්‍යාපෘතිවලට ණය අරගන්න එක. මේ විකිණීම පිටිපස්සේ තියෙන්නෙත් අත යට ගනුදෙනු. මේ පිරිස රටේ ජාතික සම්පත් රිසිසේ විකුණා දැමීමේ ක්‍රියාවට අවතීර්ණය වෙලා තියෙනවා. බටහිර ජැටියටත් සිදු කරන්නේ ඒකම තමයි. ඒකත් පරාජයට පත් කළ යුතුයි.  
 
ඉන්දියාවේ මිනිස්සු මේ වගේ දේවල්වලට විරුද්ධව ගුටිකාගෙන පාරට බැහැලා ඉන්නෙ. අපේ රටේ අයට හදිස්සියක් නෑ වගේ නේද?  
 
ජනතාව මේ පීඩනය, ජඩ ක්‍රියා කලාපයට විරුද්ධව පාරට බහින්න සූද‌ානම්. එය සංවිධානය කළ යුතුයි. ඒ සඳහා මතවාදය සකස් කළ යුතුයි. ඒ සඳහා අපි නායකත්වය දෙන්න සූද‌ානම්. මෑත ඉතිහාසයේ ගොඩනගපු ආණ්ඩුවලින් ඉතාම අසාර්ථකම පාලනය බවට මේ පාලනය පත්වෙලා ඉවරයි. කෙටි කාලයක් තුළ මේ තරම් පිරිහීමට ලක්වුණු වෙන ආණ්ඩුවක් නැති තරම්. කිසිම අතකින් මේ ආණ්ඩුව සාර්ථක නෑ. ආර්ථික අතින් කඩාගෙන වැටුණා. නීතිමය අතින් පිරිහුණා. ඡන්දෙට කලින් ගෝඨාභය දීපු පොරොන්දු අමු පච කියල ඔප්පු කරමින් ඉන්නවා. රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට සුදුසු පුද්ගලයන් පත් කරනවා කිව්වා. අද ගෝඨාභයම කියනවා ඒ ද‌ාපු අය වැඩක් නෑ කියලා. තවත් බොහෝ තැන්වල අද පෝලිමේ ද‌ාගෙන ද‌ාගෙන යන්නේ රාජපක්ෂ පවුලෙම උදවිය. කිව්වෙ ඥ‌ාති සංග්‍රහ නෑ කියලා. කරන්නෙම ඒක. ඡන්දෙට කලින් කතා සියල්ල අද සුරංගනා කතා බවට පත්වෙලා ඉවරයි. ඇමැතිවරුන්ගේ, නිලධාරින්ගේ තමන්ගේ සමීපතමයින්ගේ දූ දරුවෝ විදේශ සේවයට පෝලිමේ ද‌ාන්න පටන් අරගෙන තියෙනවා. මේක සුපුරුදු සෙල්ලම. එක රටක් එක නීතියක් කියපු එක විහිළුවක් වෙලා. කොවිඩ් පාලනය ගැන වෙනමම කතා කරන්න පුළුවන්. විද්‍යාව වෙනුවට මිත්‍යාව පස්සෙ දුවපු මේ වගේ මුග්ධ ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ. අද ජනතාව අන්ත අසරණ වෙලා. ආණ්ඩුවට වගේ වගක් නෑ. බඩු මිල අහස උසට යනවා. ජනාධිපති හාල් කඩවලට පැනල සංදර්ශන පැවැත්වුවට හාල් ව්‍යාපාරිකයො සත පහකට ඒවා ගණන් ගත්තෙ නෑ. ගැසට් ගහන්න වියදම් කරපු කඩද‌ාසිවලටත් පාඩුයි. ආණ්ඩුවක් කෙටි කාලයක් තුළ පිරිහීමට ලක්වුණා නම් ඒ මේ ආණ්ඩුව. මේ විරෝධය ජනතාව තුළින් පැන නගිනකොට තමයි ආණ්ඩුවට සහ මේ පාලකයින්ට තරු පේන්න පටන් ගත්තේ. මේ විරෝධය නුදුරේදීම පුපුරා යන්න නියමිතයි.  
 
ඔබ ඔහොම කිව්වට ජනාධිපතිතුමා ගමටම ගිහින් ගම සමඟ පිළිසඳරේ යෙදිලා ක්ෂණික විසඳුම් දීලා එනවනේ. හොඳ නැද්ද ඒවා. 
 
අපේ රටේ ගම් තියෙනවා හතළිස් දෙද‌ාහක්. ග්‍රාමසේවා වසම් තියෙනවා ද‌ාහතරද‌ාහක්. ඊටත් වැඩියි සමහර විට. ග්‍රාම සේවා වසමකට දවස ගානෙ ගියත් කීයකටද යන්න වෙන්නේ. ඔක්කොටම යන්න අවුරුදු තිහක් තිස්පහක් විතර යනවා. ජනාධිපතිවරයා ගමට ගිහින් නිරීක්ෂණය කරන එක වැරැද්දක් නෑ. ඒත් ජනතාවගේ ප්‍රශ්න විසඳන එකම මාර්ගය මේක කියල හිතනවා නම් ඒක විහිළුවක්. ගම්වල ප්‍රශ්න මොනවද කියල හොයා බලල ඒවට විසඳුම් ලබා දෙන්න මීට වඩා ඉතාම ප්‍රායෝගික මාර්ග තියෙද්දි ඔහු තෝරාගෙන තියෙන්නේ අතාර්කික සංදර්ශනාත්මක මාර්ගයක්. පිට්ටනි නැති පාසල් ටික හොයාගන්න ගම් පුරා ඇවිදින්න ඕනැ නෑ. අධ්‍යාපන ආමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවලා පියවර ගන්න පුළුවන්. අද ඉස්කෝලෙ ළමයි නිල ඇඳුමෙන් ගෙන්නල පෝලිම් ගස්සල ප්‍රශ්න අහනවා. රැකියා නැති අය ගෙන්නලා ප්‍රශ්න අහනවා. ඒ අයගෙ ඉංග්‍රීසි දැනුම පිරිසක් ඉදිරියේ හාස්‍යයට ලක් කරනවා. තව කෙනෙක් ගහක් උඩ පැලකට නග්ගල ප්‍රශ්න අහන්න තියනවා. මොන විකට ජවනිකාද මේ?  

 

 

 සාකච්ඡාව - ප්‍රියන්ත කොඩිප්පිලි