කලබල වෙන්න එපා එජාපය දිගටම ඉදිරියට යනවා


කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග ජල සම්පත් කළමනාකරණ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති 

පී. හැරිසන්

ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සැරසෙන්නේද? ආණ්ඩුව ගමන් කරන්නේ ඒ මාවතේද? මේ ඒ ගැන විමසමින් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා සමඟ කළ සාකච්ඡාවකි.

• ප්‍රශ්නය - ලැබුණු ඇමැතිකම් ගැනත් නොලැබුණු ඇමැතිකම් ගැනත් එජාපයේ මැති ඇමැතිවරුන් ආඩපාලි කියද්දී ලොකුම ඇමැතිකම ඔබට ලැබුණා?  


පිළිතුර - නෑ ලොකුම අමාත්‍යංශය නොවෙයි. තව ඇමැතිකම් ලබාදිය යුතු අය කීප දෙනෙක් ඉන්නවා. ඉදිරියේ මේ අමාත්‍යාංශ ඒ අයට දීමේ හැකියාවක් තියෙනවා.  


• ප්‍රශ්නය - ජාතික ආණ්‍ඩුවක් නොවන අවස්ථාවක ඇමැතිකම් මීට වඩා වැඩි කරන්න බැහැ.  


පිළිතුර - ඒ ජාතික ආණ්ඩුවක් නොපවතින වෙලාවකනේ. හෙට මොකක් වෙයි ද කියලා කියන්න බැහැනේ.  


• ප්‍රශ්නය - ව්‍යවස්ථා විරෝධීව ජාතික ආණ්ඩුවක් හැදුවොත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ එකතුවෙලා සටන් කරනවා කියලා ජවිපෙ ලාල් කාන්ත කිව්වා?  


පිළිතුර - ඒ ව්‍යවස්ථාවට පටහැණිව ජාතික ආණ්ඩුවක් හැදුවොත්නේ. එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන පක්ෂයක්. ඒ බව ඔප්පු කරපු පක්ෂයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කිසිවක්ම කරන්නේ නෑ. ඒක සහතිකයි.  


• ප්‍රශ්නය - ඔබ නෑ කිව්වත් ඇත්තටම ලොකුම අමාත්‍යාංශය තියෙන්නේ ඔබටයි.  


පිළිතුර - එහෙම බැලුවොත් ලොකුම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයයි. ජනාධිපතිතුමාට තියෙන අගමැතිතුමාට තියෙන ආයතන සංඛ්‍යාව බලන්න. ඒ අයට තමයි ලොකුම අමාත්‍යාංශ තියෙන්නේ. අමාත්‍යාංශ හතරක් විතර මට පැවරිලා තියෙනවා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරයි.  


• ප්‍රශ්නය - මම ඒ ගැන ඔබෙන් වැඩිපුර ප්‍රශ්න කළේ ඔබට මේ ප්‍රශ්නය යොමු කරන්නයි. ඇයි ආණ්ඩුව මාධ්‍ය මර්දනයට පාර කපන්නේ?  


පිළිතුර - නෑ මාධ්‍ය මර්දනයක් නොවෙයි. ඔබත් මාධ්‍යවේදියෙක් විදියට හිතන්න අද නිවුස් එකක් බලන්න පුළුවන් තත්ත්වයක තියෙනවද කියලා. අද රූපවාහිනි මාධ්‍ය ගත්තොත් නිවුස් එකේ තියෙන්නේ කවුරුහරි දේශපාලනඥයන් දෙන්නෙක් බැණ ගත්තොත් ඒවා. රටට වැදගත්වන දේවල් මොනවද තියෙන්නේ?  


• ප්‍රශ්නය - රට හදන්න ඇවිත් ඉන්න අයගේ තත්ත්වය රටට පෙන්වීමත් මාධ්‍යයේ වගකීමක්?  


පිළිතුර - හරි කියලා කියමුකෝ. කෝ රටට වැදගත්වන දේවල්? පුවත්පත් ගත්තත් එහෙමයි. කුණු රසයට තමයි මුල්තැන දෙන්නේ. දේශපාලනඥයෝ කුළල් කා ගැනීම් තමයි ඒවායෙත් තියෙන්නේ. ‘හෙඩ් ලයින්’ එකක යන්නේ මොනවාහරි ගැටුමක්. ඒකද මාධ්‍ය කලාව කියන්නේ? මීට අවුරුදු 10කට 15කට පෙර තිබුණ මාධ්‍ය සදාචාරය, මාධ්‍ය සංයමය අද තියෙනවද?  


• ප්‍රශ්නය - ඇත්තටම ප්‍රශ්නය ඕකද? එහෙම නැත්නම් ආණ්‍ඩුවට කීකරු නොවීම නිසා එල්ල කරන තර්ජනයක්ද?  


පිළිතුර - නෑ මාධ්‍යවේදියෙක් හැම වෙලේම බලන්න ඕනෑ මාධ්‍යයේ ඇසින්. අද මිනිසුන්ට ප්‍රවෘත්ති එපාවෙලා තියෙන්නේ. ප්‍රවෘත්ති යනකොට වෙන චැනල් එකකට මාරු කරනවා. ඒකයි තත්ත්වය. මාධ්‍ය ආණ්ඩුවට කීකරු වෙන්න ඕන නෑ. ආණ්ඩුවේ වරදක් තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න ඕනෑ. ඒක මාධ්‍යයේ වගකීමක්. හැබැයි ආණ්ඩුව හරි දෙයක් කළොත් ඒකත් පෙන්වන්න ඕනෑ. මාධ්‍යයෙන් රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් වෙන්න ඕනෑ. එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නෑ.  


• ප්‍රශ්නය - මාධ්‍යයට අදාළව ප්‍රශ්න තියෙනවා නම් ඒවට උත්තර සොයන ශිෂ්ට සම්පන්න පිළිවෙතක් තියෙනවා. ඔබ ඒක පිළිගන්නවද?  


පිළිතුර - ඒ ශිෂ්ට සම්පන්න පිළිවෙත හින්දා තමයි අපි මාධ්‍ය නිදහස ඇති කළේ. පහුගිය කාලේ මාධ්‍යවේදීන්ට ඇමැතිවරුන්ගෙන් මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්ද? අතපය කැඩුවා, සුදු වෑන්වලින් ඉස්සුවා. මහ පාරේ මරලා දැම්මා, මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. තමන්ගේ ජීවිත බේරා ගන්න මාධ්‍යවේදීන්ට රට හැරලා යන්න වුණා. මහා ධවල භීෂණයක් තමයි මාධ්‍යයට තිබුණේ‍.  


• ප්‍රශ්නය - ඒ තත්ත්වය තුරන් කරනවා කියලනේ ඔබලා බලයට ආවේ?  


පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්! ඒ නිසානේ පුළුල් මාධ්‍ය නිදහසක් තියෙනවා. ඒක තමයි අපි මුලින්ම මේ රටේ ඇති කළේ. ඒ නිදහස වෙනුවෙන් රජය හැටියට අපි පෙනී හිටිනවා.  


• ප්‍රශ්නය - එහෙම පෙනී ඉන්න නිසාද මාධ්‍ය ආයතන ඉස්සරහට එක එක බළ ඇණි ලෙහළා දාන්නේ?  


පිළිතුර - වචනයක් දෙකක් කිව්වා කියලා ඒක තර්ජනයක් කිරීමක්ද? ඒක මාධ්‍ය නිදහසට තර්ජනයක්ද? ඒ නිදහසත් මිනිසුන්ට තියෙන්න ඕනෑ. මාධ්‍ය ආයතනයක් වැරැද්දක් කළොත් ඒතැනට අපිත් කතා කරන්න ඕනෑ. උද්ඝෝෂණ කළාට ගැටලුවක් නෑ. හැබැයි මාධ්‍යවේදීන්ව මරණවා කියලා තරජනය කරලා නෑ කොහේදිවත්. මාධ්‍ය ආයතන ගිනි තියලා නෑ කොහේදිවත්. මාධ්‍යවේදීන් උස්සනවා කියලා කිව්වේ නෑ කොහේදිවත්.  


• ප්‍රශ්නය - ඇමැතිතුමනි, මෙතැන තියෙන්නේ සරළ ප්‍රශ්නයක් නොවෙයි. මාධ්‍යයට එරෙහිව විවිධ අරමුණු වෙනුවෙන් මෙහෙම බලපෑම් කිරීම....!  


පිළිතුර - පොඩ්ඩක් ඉන්න. කිසිම බලපෑමක් නෑ. තර්ජනයක් නෑ. නිහඬ විරෝධයක් පළ කරලා තියෙන්නේ. කිසිම මැර ක්‍රියාවක් කරලා නෑ.  


• ප්‍රශ්නය - මේ කස කාරයෝ. මැර සේනාංක එන්නේ පිටුපසින්. ඔබ කියන විදියට මේක නිහඬ විරෝධයක් නම් අනික් අතට මේක නිහඬ තර්ජනයක්?  


පිළිතුර - ඒ ඔබතුමාලා උපකල්පනය කරන විදිය.  


• ප්‍රශ්නය - ඔබ මෙය සාධාරණීකරණය කරන්න ගන්න උත්සහය තුළම තියෙනවා මේක ආණ්‍ඩුවේ ‘ප්‍රොජේක්ට් එකක්’ කියලා?  


පිළිතුර - නෑ එහෙම කියන්න බැහැ. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් විවිධ අයට සටන් කරන්න පුළුවන්. අවශ්‍ය නම් එකම වේදිකාවකට වුණත් ගොඩ වෙන්න පුළුවන්. එහෙම නැතිව ඒක ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් නොවෙයි.  


• ප්‍රශ්නය - අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ගේ නම් ගම් කිය කියා බණිනවා. මාධ්‍ය ආයතනවලට ‘කළු මාධ්‍ය’ කියලා කියනවා. මාධ්‍ය ආයතන ඉස්සරහට ආපු පිරිස කියන්නෙත් එ් වචනමයි?  


පිළිතුර - වචනයක් අල්ලාගෙන මේක ලොකුවට දඟලන්න දෙයක් නෑ. වැරදි දේවල් දැම්මම ප්‍රසිද්ධියේ...... අර ඇමැති කෙනෙක් දිවුරුම් දෙන්න ගියා ඒ වුණාට ඇමැතිකම් දුන්නේ නැහැ කියලා...... ඇත්තටම එහෙම දාන එක වැරදිනේ.  


• ප්‍රශ්නය - ඒක වැරදිනම් ඒක නිවැරදි කළ යුත්තේ ඒ මන්ත්‍රීවරයා. ඒත් ප්‍රකාශ නිකුත් කරන්නේ අගමැතිවරයා.  

 


පිළිතුර - ඒ. අගමැතිවරයාට වගකීමක් තියෙන හින්දානේ. මාධ්‍ය රටට ඇත්තක් කිව යුතුයිනේ. මාධ්‍යයෙන් රටට හරි දේ විය යුතුයිනේ. හැබැයි සමහර මාධ්‍ය එක එක්කෙනාගේ ඕනෑ එපාකම්වලට කඩේ යනවා. ඒකයි කිව්වේ. තොප්පිය හරිනම් දා ගත්තෑකි. හැම මාධ්‍යටම නොවෙයි...... සමහර මාධ්‍ය කියලයි කිව්වේ.  


• ප්‍රශ්නය - අගමැතිවරයා එහෙම කියනකොට පැත්තක ඉන්න දඩ බල්ලන් උසි ගැන්වෙනවා?  


පිළිතුර - එහෙම උසි ගැන්වීමක් මෙතැන නෑ. වැරදි අර්ථකථන දෙන්න එපා. නිදහස් අදහස් ප්‍රකාශනයට හැමෝටම අයිතියක් තියෙනවා. ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඒ හැම අයිතියක්ම සුරක්ෂිත කරලා තියෙන්නේ.  


• ප්‍රශ්නය - මාධ්‍ය මර්දනය කරපු ආණ්ඩුවල ඉරණම බොහොම දුක්බර බව තමයි ඉතිහාසයේ පාඩම?  


පිළිතුර - ඒක ඇත්ත. මහින්ද රාජපක්ෂ ආණ්‍ඩුවට අත් වෙච්ච ඉරණමෙන්ම ඒක පැහැදිලි වෙනවනේ. ඒ නිසා අපි ඒ මාවතේ ගමන් කරන්නේ නෑ. ඒක ස්ථිරයි. 

 
• ප්‍රශ්නය - මේ විදියට නම් යන්න හිතාගෙන ඉන්නේ තව කොච්චර කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද?  


පිළිතුර - ඕක කිව්වණේ මීට කලිනුත්. මේ ආණ්ඩුව ගත්තු දවසේ ඉඳලා කිව්වනේ මාස දෙකයි තුනයි. තව එක වෙසක් පෝයයි. එහෙම ගණන් හදපු අය තවමත් ගණන් හදන අයත් ඉන්නවා. මේ ආණ්ඩුව නැති කරන්න පහුගිය කාලේ හුඟාක් දේවල් කළානේ. නමුත් ඒක වුණේ නැහැනේ. ඒ නිසා මම කියන්නේ හරි වෙලාවට හරි දේ වෙයි. ආණ්ඩුව නියමිත කාල සීමාව ඉවර වෙනකම් යනවා.  


• ප්‍රශ්නය - ලබන අය වැය ආණ්‍ඩුවට තීරණාත්මකයි කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර - නෑ. ඉතින් ඔයිට වඩා තීරණාත්මක අවස්ථා ආවනේ. පාර්ලිමේන්තුවේ විශ්‍වාසභංග ආවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව කල් තිබ්බා. සල්ලි විසි කරලා අපේ මන්ත්‍රීවරුන් බිලිබා ගන්න හැදුවා. ඒත් අන්තිමට මොකද වුණේ කියලා දන්නවනේ. ඔය හැම අවස්ථාවක්ම මාධ්‍යයටනම් තීරණාත්මකයි. ඒක එහෙම තමයි. හැබැයි අපිට නම් ඔය කිසිම අවස්ථාවක් තීරණාත්මක නෑ.  

 

ඒ ශිෂ්ට සම්පන්න පිළිවෙත හින්දා තමයි අපි මාධ්‍ය නිදහස ඇති කළේ. පහුගිය කාලේ මාධ්‍යවේදීන්ට ඇමැතිවරුන්ගෙන් මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්ද? අතපය කැඩුවා, සුදු වෑන්වලින් ඉස්සුවා. මහ පාරේ මරලා දැම්මා, මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. තමන්ගේ ජීවිත බේරා ගන්න මාධ්‍යවේදීන්ට රට හැරලා යන්න වුණා. මහා ධවල භීෂණයක් තමයි මාධ්‍යයට තිබුණේ‍.


• ප්‍රශ්නය - නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ‍ විශාල පිපුරුම් ශබ්ද ඇහෙනවා. ඇමැතිවරු, ඇමැතිවරු එළිපිට ප්‍රසිද්ධියේ හැප්පෙනවා. මන්ත්‍රීවරුන් ඇමැතිවරුන්ට බණිනවා. තත්ත්වය දරුණුයි?  


පිළිතුර - ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් නොවෙයි. ගෙදර නෝනයි මහත්තයයි රණ්ඩු වෙන්නේ නැද්ද? ගහ බැණ ගන්නේ නැද්ද? දික්කසාද වෙන්නේ නැද්ද? ආපහු එක් වෙන්නේ නැද්ද? ඒවා ටික කාලයයි. ඒ නිසා ඔබලා කලබල වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය දිගටම ඉදිරියට යනවා.  


• ප්‍රශ්නය - ඇමැති මලික්ගේ අයවැය පරාජය කරන බව එජාපයේම පසුපෙළ මන්ත්‍රීවරුන් කියනවා?  


පිළිතුර - ඔව්. ඒ තරුණ මන්ත්‍රීවරුන්ට මලික් සමරවික්‍රම ඇමැතිතුමත් එක්ක ප්‍රශ්නයක් තියෙන්න ඇති. ඒක දැන් කතා කරලා නිවැරදි කරලා තියෙනවා. දැන් එහෙම කියන්නේ නැහැනේ. ඊයේ පෙරේදා එහෙම කතා කරනවා ඔබතුමාට ඇහිලා තියෙනවද?  


• ප්‍රශ්නය - අගමැතිවරයා ඒකටත් කමිටුවක් පත් කළා?  


පිළිතුර - නෑ කමිටුවක් නොවෙයි. ප්‍රශ්න තියෙන අය ගෙනල්ලා සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. පක්ෂය ඇතුළේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳුම් දෙන්න නායකත්වය සමත්වෙලා තියෙනවා.  


• ප්‍රශ්නය - මට ලැබුණ ඇමැතිකම මදියි, මට අර ඇමැතිකම ඕනෑ. මටත් ඇමැතිකමක් ඕනෑ කියලා ප්‍රසිද්ධියේ හඬා වැළපෙන මැති ඇමැතිවරුන් යූඑන්පීයෙන් බිහිවෙලා.  


පිළිතුර - මෙහෙමයි. ඉතින් අපි හිතන දේවල් එහෙමම වෙන්නේ නැහැනේ. අපිට ඕනෑ දේවල් ඒ විදියටම වෙන්නේ නෑ. අපට ලැබුණ දේ මොකක් වුණත් වැඩ කරලා පෙන්වන එක තමයි අපේ වගකීම.  


• ප්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් ආපු අයට ඇමැතිකම් අවශ්‍ය නෑ කියලයි පක්ෂයේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන් කියන්නේ?  


පිළිතුර - විවිධ මත තියෙනවා. අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තියෙනවා. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම් තියෙනවා. ඒ හැම තැනකදීම සාකච්ඡා කරලා හැමෝගෙම අදහස් විමසලා තමයි අපි තීන්දු තීරණ ගන්නේ. එහෙම නැතිව හිතුමතේ තීන්දු ගන්නේ නෑ.  


• ප්‍රශ්නය - කොහොම වුණත් පක්ෂය ඇතුළේ කල්ලිවාදය හිස ඔසොවලා?  


පිළිතුර - කිසිම කල්ලියක් නෑ. අපි හැමෝම එකම පවුලක් විදියට එකට එකතුවෙලා තමයි තීන්දු තීරණ ගන්නේ.  


• ප්‍රශ්නය - සමහරු කියනවා සජිත් ප්‍රේමදාසට ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියලා. කරු ජයසූරිය, රාජිත සේනාරත්න, චම්පික රණවක වගේම රනිල් වික්‍රමසිංහත් ඒ පෝලිමේ ඉන්නවා?  


පිළිතුර - නෑ කිසිම පෝලිමක් නෑ. අනික ඔය ඔබ මගෙන් මතු කරන ප්‍රශ්නය පොහොට්ටුවෙන් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හරි අහනවද? එතැන අයියලා මල්ලිලා ගහ ගන්නවා. සමහරු ගෝඨාභය රාජපක්ෂ ඕනෑ කියනවා. තවත් සමහරු ගෝ්‍ඨාභය රාජපක්ෂ එපා කියනවා. බැසිල් රාජපක්ෂ කකුලෙන් ඇද්ද කියනවා. එතැන තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ. අපිට එහෙම ප්‍රශ්න නැහැ. අපිට සුදුස්සෝ ගොඩාක් ඉන්නවා. අවශ්‍ය වෙලාවට දිනන්න පුළුවන් හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. ජනාධිපතිවරණයකදී අපේ අපේක්ෂකයා තේරීම හරිම වෙනස් කියලා පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම පෙන්නුවා. මේ පාරත් කොහොම වෙනසක් වෙයි ද කියලා දැන්ම කියන්න බෑ. අපි වෙලාව ආවම හරිම දේ කරලා පෙන්වන්නම්.  


• ප්‍රශ්නය - හොඳ අපේක්ෂකයෝ කොච්චර හිටියත් ජනතාවට සහන නොදීනම් ඡන්දයකට යන්න බෑ?  


පිළිතුර - ඒ නිසා නොවෙයි. නාස්තිය, හොරකම තුරන් කරලා අපි පුළුවන්තරම් ජනතාවට සහන දෙනවා. තව ටිකක් බලන් ඉන්නකෝ. ජනතාව විමතියෙන් විමතියට පත්වේවි. අපිට වඩාත් වැදගත් වෙන්නේ ජනතාවයි. ඒ ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම නොවෙයි ඊටත් වැඩියෙන් ආරක්ෂා කරනවා කියලා මම ඔබට ප්‍රතිඥා දෙනවා.  


• ප්‍රශ්නය - පෙබරවාරි 4ට කලින් ජනතා විමුක්ති පෙරමුණේ සහයත් අරගෙන අලුත් ව්‍යවස්ථාවක් ගේන බව දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.  


පිළිතුර - මම හිතන්නේ ඒක ගෙනාවට පස්සේ බලන්න ඕනෑ මොනවද ඒකේ අන්තර්ගතය කියලා. ඒක බලලයි අපි තීන්දුව ගන්නේ.  


• ප්‍රශ්නය - ගේන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලයි පොහොට්ටුව කියන්නේ?  


පිළිතුර - මම හිතන්නේ නෑ ජනතා විමුක්ති පෙරමුණ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න උදව් කරයි කියලා. ඒකයි මම කිව්වේ. ඒක බලන්න ඕනෑ කියලා. බලල ඉවරවෙලා අපේ පක්ෂය ස්ථාවරය රටට කියන්නම්.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්