කනෙන් අල්ලලා එළියට වීසි කරන්න ඕනෑ ඇමැතිවරුත් ඉන්නවා


 

රටේ දේශපාලනය කාලගුණය මෙන් මොහොතින් මොහොත වෙනස් වෙමින් තිබේ. මේ ඒ දේශපාලනය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය - විජයදාස රාජපක්ෂටත් ඇමැතිකම අහිමි වුණා.  
පිළිතුර - ඔව්! විජයදාස රාජපක්ෂ මැතිතුමාව ඇමැතිකමින් අයින් කළා කියන්නේ ආණ්ඩුවේ ගමනක අවසානය සලකුණු කිරීමයි. මේ ආණ්ඩුවට තවදුරටත් ගමනක් නෑ. විශේෂයෙන්ම මේක ආණ්ඩුවේ සොහොන් ලකුණක් බවට පත්වීම කිසිසේත්ම වළක්වන්න බෑ.  

 


ප්‍රශ්නය - ඔබ එහෙම කියන්නේ කොහොමද?  
පිළිතුර - සාමාන්‍යයෙන් මේ ආණ්ඩුව ගත්තොත් ඇමැතිකම් වලින් අයින් කරන්න නොවෙයි, කනෙන් අල්ලලා එළියට වීසි කරන්න ඕනෑ ඇමැතිවරු ඉන්නවා. මුළු රටටම එපා වෙච්ච තමන්ගේ විෂය පථය හරියට කරන්නේ නැති ඒ විෂය පථය ගැන අවබෝධයක් නැති, තමන්ගේ විෂය වෙනුවට වෙන ඒවට ඇඟිලි ගහන, එහෙම ඇඟිලි ගහලා හත්පොළේ ගා ගන්න ඇමැතිවරු ඉන්නවා.  
ඊළඟට බැඳුම්කර කොමිසම්වලට ගිහිල්ලා ඇස් පනාපිට වැරදිකාරයෝ කියලා ඔප්පු වෙච්ච අය ගැන ආණ්‍ඩුව කතා කරන්නේ වීරයෝ කරලා. එතකොට විජයදාස රාජපක්ෂ කියන්නේ හෘදය සාක්ෂියක් තියෙන ඇමැතිවරයෙක් කියලා වචනවලින් නොවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු ඇමැති කෙනෙක්. එහෙම ඇමැතිවරයෙක්ව ඉවත් කරලා මේ යහ පාලනය කියන ආණ්‍ඩුව රටට දුන්න ආදර්ශය මොකද්ද? ආණ්ඩුව ඔය කොහේද යන්නේ කියලා ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.  

 


ප්‍රශ්නය - ආණ්‍ඩුවෙන් අයින් වුණ ගමන් ඔහු ඔබලාට වීරයෙක් වෙනවා?  
පිළිතුර - නැහැ නේ. ඇමැතිකමින් ඉවත් වුණා කියලා රවී කරුණානායක අපට වීරයෙක් වුණාද? එහෙම නෑ. අපි බලන්නේ භාවිතය දිහායි. දැන් බලන්න විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාට තියෙන චෝදනාව මොකද්ද, ඉතිහාසයේ ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුණේ අනවශ්‍ය බලපෑම් කරනවා කියලයි. ඇඟිලි ගහනවා කියලයි. ඒ, ඒ ආයතනවලට ස්වාධීනව කටයුතු කරන්න දෙන්නේ නැහැ කියලයි. නමුත් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයට චෝදනා කරන්නේ ඔහු අනවශ්‍ය බලපෑම් කරන්නේ නැහැ කියලයි. අධිකරණයට. ඒ ඒ ආයතනවලට බලපෑම් නොකර ස්වාධීනව කටයුතු කරන්න දුන්නා කියලයි. එතුමා පෙන්වලා දිලා තියෙනවා අධිකරණය කොහොමද ස්වාධීනව කටයුතු කරන්නේ කියලා. එතුමා විෂය පථය දන්න උගත් බුද්ධිමත් ඇමැතිවරයෙක්. හැබැයි එතුමා හිතුවා යහපාලන ආණ්ඩුවේ නායකයන් වේදිකාවල කියපු විදියට ඒ යහපාලන මූලධර්ම එලෙසින්ම රැකගෙන වගකීම් ඉටු කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම බැරි බව තමයි මේ ඔප්පු වුණේ.  

 


ප්‍රශ්නය - කැබිනට් ඇමැතිවරයකුට කැබිනට් සාමූහික වගකීමක් තියෙනවා. නමුත් විජයදාස රාජපක්ෂ අතින් ඒ සාමූහික වගකීම කඩවුණා.  
පිළිතුර - බොහොම පැහැදිලිව අපි දැක්කා විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා කියනවා. ‘‘හම්බන්තොට වරාය විකිණීම නීති විරෝධියි’’ කියලා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා එතුමා ඒ මතය කැබිනට් මණ්ඩලයේදීත් බොහොම පැහැදිලිව ඉදිරිපත් කළා කියලා. නමුත් මේ කැබිනට් මණ්ඩලය කියන්නේ අද රටට අහිතකර ඕනෑම දෙයකට තමන්ගේ වාසියට අත උස්සන බහුතරයක් ඉන්න කැබිනට් මණ්ඩලයක්. තමන්ගේ වාසිය, තමන්ගේ වරප්‍රසාද හා තමන්ගේ ඇමැතිකම රැකගන්න ඕනෑම දෙයක් කරන බහුතරයක් ඉන්න කැබිනට් එකක්, රටට ආදරය කරන මිනිස්සු ඔය කැබිනට් එකේ නැහැ. ඉන්නේ එහෙයියෝ. මේ අය දන්නවා වැඩි දවසක් මේ ආණ්ඩුව තියෙන්නේ නැහැ කියලා. ඒ නිසා කොහොමින් හරි බඩ පුරවා ගන්නයි මේ අය බහුතරයක් ඉන්නේ. විජයදාස රාජපක්ෂ මැතිතුමා කැබිනට් එකේදීත් හම්බන්තොට වරාය විකිණීමට විරුද්ධව කතා කළා. ගිවිසුම නීත්‍යානුකූල නෑ කියලත් එතුමා කිව්වා. ඔබ තේරුම් ගන්න! කැබිනට් මණ්ඩලයට එන්නේ මහජනයාගේ ඡන්දයෙන් තේරී පත්වෙලා පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. එහෙම කෙනෙකුට කැබිනට් මණ්ඩලයේ වගකීමට වැඩිය මහජනයාගේ වගකීම ඉටු කරන්න, එතකොට ජනතාවගේ වගකීම ඉටු කරන්න ආපු මිනිස්සු කැබිනට් මණ්ඩලයේදී කැබිනට් සාමූහික වගකීම කියලා රටම විකුණනකම් බලාගෙන හිටියොත් ඔහු මහජන නියෝජිතයෙක් ද කියන ප්‍රශ්නය තියෙනවා. විජයදාස රාජපක්ෂට ඒ ප්‍රශ්නය තිබුණා. ඒ නිසා එතුමා හෘදය සාක්ෂියට එකඟව ඒ ගැන කතා කළා.  

 


ප්‍රශ්නය - පසුගිය ආණ්‍ඩුවේ හොරු ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක ඔහු හිටියා කියලත් චෝදනාවක් තියෙනවා.  
පිළිතුර - ලංකාදීප පත්තරයේම මම දැක්කා නීතිඥ සංගමයේ සභාපතිතුමා යූ.ආර්. ද සිල්වා මහත්තයා කියලා තිබුණා බොහොම පැහැදිලිව. පවතින තත්ත්වය තුළ කොහොමද නඩු විභාග කරන්නේ කියලා. පුද්ගලයන් තෝරාගෙන කාටවත් ඕනෑ විදියට නඩු අහන්න බෑ කියලා එතුමා කියලා තිබුණා. රටේ හැම කෙනෙක්ම දන්නවා මේ ආණ්ඩුවට දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා. ඒක කරගන්න බැරි වෙච්ච නිසා තමයි විජයදාස රාජපක්ෂ මැතිතුමාට චෝදනා කරන්නේ හොරු අාරක්ෂා කරනවා කියලා.  

 


ප්‍රශ්නය - ඇමැති විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා කියලා කියපු ගමන් ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වේ, එයා ගමේ මිනිහා, විශ්වාසභංගයෙන් අපි එයාව බේරා ගන්නවා’ කියලා. ඩීල් එකක් නොතිබුණා නම් එහෙම කියයිද?  
පිළිතුර - නෑ. ඩීල් එකක් නෑ. සාමාන්‍යයෙන් අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇත්ත කතා කරන මනුස්සයෙක් ඉන්නවා නම් ඔහු ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරක් නොවෙයි ඒකාබද්ධ විපක්ෂයේ අපිත් කිව්වෙ ‘එතුමා කතා කරපු දේවල් ඇත්ත. ඒ නිසා අපි එතුමව ආරක්ෂා කරනවා’ කියලා.  

 


ප්‍රශ්නය - ඒ, ඩීල් එකක් තියෙන නිසා නොවෙයිද?  
පිළිතුර - කිසිසේත්ම නෑ. දැන් බලන්න. රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන හම්බන්තොට වරාය විකුණන එකට එතුමා විරුද්ධ වුණා. ඒක නිවැරදි විරුද්ධවීමක්. ඒ වගේම ජාත්‍යන්තර අධිකරණ මෙහෙ ගෙනල්ලා විදෙස් විනිසුරුවන් ගෙනල්ල අපේ රණවිරුවන් දං​ෙගඩියට ගෙන යනවට එතුමා විරුද්ධ වුණා. ඒක වැරදිද? ඒ වගේම රටේ ජනාධිපති හෝ අගමැති හෝ රටේ ඇමැතිවරු නීතිපති දෙපාර්තමේන්තුවට, අධිකරණයට ඇඟිලි ගහන්න උත්සාහ කරනවා නම් එමගින් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙනවා. ඒකට එරෙහිව එතුමා කෙළින් කතා කළා. සාධාරණය යුක්තිය ඉල්ලන ජනයා නතර වෙන්නේ විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ මතයත් එක්ක. එහෙම හෘදසාක්ෂියක් තියෙන මනුස්සයෙක් වෙනුවෙන් පෙනී සිටීම, ඒ මනුස්සයා වෙනුවෙන් කතා කිරීම රටේ අවශ්‍යතාවක්. මහජන නියෝජිතයන් හැටියට ඒක අපේ වගකීමක්.  

 


ප්‍රශ්නය - ඇවන්ගාඩ් ප්‍රශ්නය ඇමැති විජයදාස රාජපක්ෂ යට ගැහුවා. ඒ නිශ්ශංක සේනාධිපතිත් එක්ක තියෙන මිත්‍රත්ත්වය නිසා කියලා ඇමැති රාජිත කිව්වා.  
පිළිතුර - සාමාන්‍යයෙන් ඔය ඔ​ෙහාම කියන මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් කොච්චර ප්‍රශ්න තියෙනවද? ඔහුට එරෙහිව කොයිතරම් වංචා දූෂණ චෝදනා තියෙනවද? ඇමැතිකම් දරපු කාලවල ඔහු කරපු විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් රටේ ආයතන කීයකට පැමිණිලි කරලා තියෙනවද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයම ඔහුට කොයිතරම් චෝදනා එල්ල කරලා තියෙනවද? කෝ මේවට පරීක්ෂණ. කෝ මේ යහ පාලන ආණ්ඩුවේ යහ පාලනය. යහ පාලනය හැමෝටම සාධාරණවද නීතිය ක්‍රියාත්මක කරන්නේ. තමන්ගේ ඇමැති මණ්ඩලයේ ඉන්න කටසැර ඇමැතිට එරෙහිව පරීක්ෂණ නෑ. විරුද්ධවාදීන්ට නැති චෝදනා දාලා එල්ලුම් ගස් යවන්න හදනවා. විජයදාස රාජපක්ෂ රටේ අධිකරණ ඇමැති කියලා ඇවන්ගාඩ් සභාපතිත් එක්ක මිත්‍රත්වයක් පවත්වන්න බෑ කියලා නීතියක් කොහේද තියෙන්නේ. අනික ඇවන්ගාඩ් එකට තියෙන චෝදනා මොනවද? රටට රස්සා දීපු එකද? විදේශ විනිමය ගෙනාව එකද? ඒ නිසා මේ කතා කරන අයගේ කුණු ටික හෙව්වොත් මං හිතන්නේ රටේ පාරේ බැහැලා යන්න බෑ. ඒ තරමට ගඳ ගහනවා. එහෙම අරාජිත වෙච්ච අය තමයි අද විජයදාස රාජපක්ෂට අභූත චෝදනා එල්ල කරන්නේ.  

 


ප්‍රශ්‍්නය - තිලක් මාරපන ඇමැති ඉල්ලා අස්වුණා. රවී කරුණානායක ඉල්ලා අස්වුණා. විජයදාස රාජපක්ෂ අයින් කළා. මෙහෙම ආදර්ශ මහින්ද රාජපක්ෂ යුගයේදී දකින්න ලැබුණේ නැහැ.  
පිළිතුර - එහෙම නොවෙයි. අයින් වෙච්ච මාරපන දැන් ඇමැති, රවීත් එයි. මේවා සංදර්ශන. මහින්ද රාජපක්ෂ යුගයේදී අපට චෝදනා තිබුණා නම් අපි ඒ රාජ්‍ය බලයත් එක්ක චෝදනා අයින් කරගන්න බලනවනේ. මේ චෝදනා එල්ල කරන්නේ අපි ආණ්‍ඩුවට විරුද්ධව ඉන්න නිසා නේ. ආණ්ඩුවට මුක්කු ගැහුවා නම් ඔය ​ෙමාකුත් නෑනේ. විශේෂයෙන්ම කියන්න ඕනෑ. පසුගිය ආණ්ඩුවල මේ ආණ්ඩුවේ වගේ ඇස් පනාපිට ඔප්පුවන හොරකම් කෙරුණේ නෑ. මේ විදියට මහජනයාගේ ධනය හොරකම් කළේ නෑ. ඉතින් මේ වගේ හොරකම් වුණාම අස්වෙන්න නොවෙයි ඕනෑ අල්ලලා හිරේ දාන්නයි. ඒ විදියට මේ ආණ්ඩුව ක්‍රියා කරලා නෑ. අපි අහනවා රවී කරුණානායක ඉල්ලා අස්වුණාම ප්‍රශ්නය ඉවරයි ද කියලා. බැඳුම්කරය හරහා රටට වෙච්ච පාඩුව තව මේකට ගෑවිච්ච අය ඒවා කවුද හොයන්නෙ.  

 


ප්‍රශ්නය - විජයදාස රාජපක්ෂගේ ඊළඟ පියවර ගැන ඔබේ තක්සේරුව කුමක්ද?  
පිළිතුර - ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි බොහොම පැහැදිලිව 2015 ජනවාරි 9 වැනිදා උදේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වුණාට පස්සේ බලය ඉල්ලන් එන කල්ලිය ගැන ඇත්ත කතාව අපි රටට කිව්වා. මේ එන්නේ කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් එකට එකතු වෙලයි. මේ කුමන්ත්‍රණකාරී කල්ලිය රටට ඉතාම අහිතකරයි කියලා අපි කිව්වා. ඒවා සියල්ලම අද ඇස් පනාපිටම ඔප්පු වෙලා ඉවරයි. අවුරුදු දෙක හමාරක් තුළ මේ ආණ්ඩුව අන්ත දූෂිත, පරාජිත, කුජීත ආණ්ඩුවක් කියලා ඔප්පු කරලා ඉවරයි. හෙට දවසක් ගැන හිතන්න බැරි තත්ත්වයක් ආණ්ඩුවට උදා වෙලා තියෙනවා. ඒ පරිසරය තුළ විජයදාස රාජපක්ෂ මැතිතුමා විතරක් නොවෙයි තව කණ්ඩායම් මේ ආණ්ඩුවෙන් ගැලවිලා එනවා. එහෙම එන හැමෝම එක කඳවුරකදී එකට මුණ ගැහෙනවා. ඒ කඳවුර තමයි ‘වහ පාලන විරෝධි’ කඳවුර. ඒකාබද්ධ විපක්ෂය වෙන්න පුළුවන්. විජයදාස රාජපක්ෂ වෙන්න පුළුවන් සිවිල් සංවිධාන ඇතුළු බහුජන ව්‍යාපාර වෙන්න පුළුවන්. මෙන්න මේ ජන පවුර එක තැනක එකට මුණ ගැහිලා මේ ආණ්ඩුව ගෙදර යවන සටන නව වටයකින් රළ ගසා පෙරට ගන්නවා. මේ ආණ්ඩුව ගෙදර යැව්වේ නැත්නම් මේ රටේ එක බිම් අඟලක් වත් අපට ඉතිරි වෙන්නේ නෑ. දැන් බලන්න එක නියෝජ්‍ය ඇමැතිවරයෙක් අධිකරණයට කරන අපහාස. අධිකරණයට කරන තර්ජන. මේ කොහේ තියෙන යහ පාලනයක්ද? ඒ නිසා තවත් පමා කරන්නේ නැතිව මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ. අන්න ඒ සටනේදී විජයදාස රාජපක්ෂ මැතිතුමත් පෙරමුණේම ඉඳීවි.  

 


ප්‍රශ්නය - විජයදාස රාජපක්ෂ සමඟ යම් සාකච්ඡාවක් කළාද?  
පිළිතුර - නෑ තවම එහෙම සාකච්ඡාවක් අපි කරලා නෑ. නමුත් ඇත්ත ඇති සැටියෙන් කතා කරපු එතුමත් එක්ක ඉදිරියේ දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කතා කරලා අපි යන ගමනට එතුමත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා.  
ප්‍රශ්නය - 2020 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ කියලත් සමහරු කියනවා?  
පිළිතුර - නෑ එහෙම කතිකාවක් නෑ. තැන් තැන්වලින් එහෙම කතා ඇහෙනවා. නමුත් අපි අතර එහෙම කතාවක් ඇති වෙලා නෑ.  

 


ප්‍රශ්නය - සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා ඇමැතිවරුන් එළියට එනවා කියලා කිව්වා.  
පිළිතුර - ඔව්! සැප්තැම්බර් මාසය කියලා කියන්නේ හොඳ මාසයක්. ඒ හොඳ මාසේදී අපට දැක ගන්න පුළුවන් වෙයි හොඳ ප්‍රතිඵල ටිකක්. ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන පෙර නිමිති පහළ වුණ මාසයක් බවට සැප්තැම්බරය අනිවාර්්‍යයෙන්ම පත් වෙනවා.    

 


ප්‍රශ්නය - ජනාධිපතිවරයා කිව්වා ආණ්‍ඩු බලය ගන්න ඔහුගේ ආශි්වාදය ඕනෑ කියලා. දැන් ඒ ආශිර්වාදය ගත්තද? ගන්නවද?  
පිළිතුර - ආශිර්වාදය නොවෙයි වැදගත් වෙන්නේ ජන මතයයි වැදගත් වෙන්නේ. ජන මතයට පිටු පාලා තමන්ගේ වැඩ කරගන්න ගිය හැම අවස්ථාවකදීම වැරදිලා තියෙනවා. ඔය රාජ්‍ය බලය ජනබලය ඉදිරිපිට වැරහැල්ලක් වන බව අපි ඔප්පු කරලා පෙන්වන්නම්.  

 


ප්‍රශ්නය - ඔළුගොඩි මාරු කරලා ආණ්‍ඩුව වෙනස් කරන්නේ නැහැ කියලා බැසිල් රාජපක්ෂ කිව්වා?  
පිළිතුර - ඔළුගොඩි මාරු කරලා ආණ්‍ඩුව වෙනස් කරන්න අපට අවශ්‍ය නැහැ. අපටත් ඕනෑ ජනතාවගේ ඡන්දයකින් මේ ආණ්ඩුව පෙරළන්න. නමුත් මේ ආණ්ඩුව ඡන්දවලට යන්නේ නැහැ කියලා පේනවා. පළාත් පාලන මැතිවරණය අලුත්ම සංශෝධන වගයක් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ එක පැත්තක්. අනික් පැත්තෙන් 20 වැනි සංශෝධනය කියලා පළාත් සභා ටික කල් දාන්න වෙනම නාටකයක් රඟ දක්වනවා. ඒ නිසා ආණ්ඩුව යටින් ඉන්නේ කොතැනද කියලා ඉතා පැහැදිලියි. ඒ නිසා ඔළුගොඩි වලින් පාර්ලිමේන්තුවේ බලය වෙනස් කරලා හරි ඡන්දයකට ගිහින් ඒ ඡන්දයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගැනීම සුදුසුයි කියලයි අපි හිතන්නේ.

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්