ඔය සාකච්ඡාවලට මමවත් නාමල් මන්ත්‍රීතුමාවත් ගියේ නෑ


මෛත්‍රී - මහින්ද සාම කතා බිඳ දැම්මේ නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යැයි ඇමැති දසාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනා නිදහස් සංධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

 


ප්‍රශ්නය - මෛත්‍රී - මහින්ද සමගි කතා බිද දැම්මේ ඔබ හා නාමල් රාජපක්ෂ කියලා ඇමැති දයාසිරි ජයසේකර කෙළින්ම චෝදනා කළා?   පිළිතුර - දයාසිරි ජයසේකර කියන එ්වා ඒතරම් ගණන් ගත යුතු නෑ. මොකද ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ‘හිටං හුටං’ කියලා බැණලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුව ගහන කොට දණ ගහලා වැඳලා බඩ ගාගෙන ඇමැතිකමක් ගත්ත කෙනෙක්. ඒ අයට තනතුරු, තානාන්තර, මිල මුදල්, වරප්‍රසාද නැතිව ජීවත් වෙන්න බැරි අය. ඒ අය ඒ ගියාම තමන්ට ඡන්දය දුන්න ජනතාවට පිටු පාලා ගිහින් ඇමැතිකම් අරගෙන කරන කටයුත්ත සාධාරණීකරණය කරන්න මොන මොනවාහිරි කියනවා. ඒ නිසා ඒ අය කියන කතා ඒ තරම් ගණන් ගත යුතු නෑ.   


ප්‍රශ්නය - නමුත් ඔබ ඒ චෝදනාවට පිළිතුරු දිය යුතුයි.   

පිළිතුර - මෙහෙමයි ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් 54ක් ඉන්නවා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මටත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාටත් පුළුවන් නම් ඉතුරු පනස් දෙනාවම හසුරුවන්න. මේ කතාවම විහිළුවක්නේ.   


ප්‍රශ්නය - නමුත් සමගි කතා මහට මහින්ද පාර්ශයත් කැමැත්නේ හිටියේ.   
පිළිතුර - ඔව්, ඒ කැමැත්ත ලැබුණේ ඒකමතිකවයි. හැබැයි අපේ කොන්දේසි 2ක් තිබුණා. එකක් තමයි අගමැති ධූරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා යූ.එන්.පී. එකේ අය ඇමති ධූරවලින් ඉවත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගෙන් ආණ්ඩුව ගෙනියන්න.   


ප්‍රශ්නය - එතකොට ඒකාබද්ධයේ අයටත් ඇමැතිකම් ගන්න පුළුවන්?   
පිළිතුර - නෑ... නෑ... ඒකාබද්ධයේ අපි කවුරුවත් ඇමැතිකම් ගන්නේ නෑ. භාරකාර ආණඩුවක් විදියට අවුරුද්දක් දෙකක් අපි යමු. අපේ සම්පූර්ණ සහයේගය අපි දෙනවා කියලා අපි එකඟ වුණා.   


ප්‍රශ්නය - ඒ කොන්දේසිය යථාර්ථයක් නොවෙයිනේ. ජනාධිපති මෛත්‍රී පත් වුණේ යූ.එන්.පියෙ උදව්වෙන්?   
පිළිතුර - ඔව්. ඒ නිසාම තමයි අපි දෙවැනි යෝජනාව වශයෙන් ඉදිරිපත් කළේ අගමැතිව ඉවත් කරන්න ජනාධිපතිවරයාට බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඇමැති ධූරවලින් ඉවත් වෙලා මේ පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද අපිත් ඔය ඇමැතිකම් දරණ ශ්‍රී ලංකා එකේ අයත් පාර්ලිමේන්තුවට ගියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දවලින්. ඒ පාක්ෂිකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්න කියලා අපි ඉල්ලීමක් කළා. සාකච්ඡාවලට ආරම්භයක් හැටියට අපි ඒකට හේතුව වශයෙන් කිව්වේ මිනුවන්ගොඩ ආසනයට අපි එක පක්ෂයකින් ඉල්ලනකොට මීගමුවේදී ශ්‍රී ලංකා එකත් එක්ක ඉල්ලුවොත් අපි දෙගොල්ලෝම එකම වේදිකාවක නඟින්න ඕන. එතැනදී අපිට ආණ්ඩුව විවේචනය කරන්න වෙනවා. එතකොට ඒ අයට අපිත් එක්ක එක වේදිකාවේ ඉන්න බෑ. ඔන්න ඔය කියන ප්‍රායෝගික තත්ත්ව අපි පෙන්නුම් කළා.   


ප්‍රශ්නය - ශ්‍රී ලංකා එක ඒක පිළිගත්තේ නෑ?   
පිළිතුර - ඔව්නේ! ඔවුන්ට ඇමැතිකම් දාලා එන්න බෑ.


ප්‍රශ්නය - ඒ ඇයි?    
පිළිතුර - වරදාන වරප්‍රසාද දාලා එන්න බැරිකම, ඔය තියෙන මූල්‍ය පහසුකම් දාලා එන්න බෑ. අනික් කාරණය තමයි ඒ අය ආවත් ජනතාව ඒ අයට කොහොම බාරගනීවිද තියන ප්‍රශ්නය තියෙනවා. ඔය හේතු නිසා ඔවුන්ට ඇමැතිකම් දාලා එන්න බෑ. ඒ නිසා සාකච්ඡෘ බිඳවැටුණා. ඒ නිසා සාකච්ඡා බිඳ වැටුණත් අපි දෙන්නා හින්දා කියන කතාව පට්ට කෙබරයක්. ඒ නිසා අපි දයාසිරි ජයසේකර ඇමැතිවරයාට කියනවා තමන්ගේ හෙළුව වහගන්න අපිව පාවිච්චි කරන්න එපා කියලා. අපි ප්‍රතිපත්තියක් මත ඉඳල අපට ඡන්දය දුන්න ජනතාවගේ, රටේ ජනතාවගේ මතයක් එක්ක ඉඳලා තමයි අපි තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කරගත් කණ්ඩායමක් තමයි අපි මේ මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.   


ප්‍රශ්නය - නාමල් රජපක්ෂ අවස්ථාව ලැබෙනකම් පක්ෂය කඩන වැඩේ කරනවා කියලා තමයි ඇමැති දයාසිරි කියන්නේ?   
පිළිතුර - දැන් ඔය දසාසිරිලට රාජපක්ෂලාව ගාව ගන්න බැරිව මුකුත් කියන් බෑනේ. නාමල් මන්ත්‍රීතුමා ගැන මම හොඳාකාරවම දන්නවා. එතුමා එතුමාගේ කාර්යභාරය ඉහළින්ම කරනවා. එතුමා රටේ නායකත්වයට එනවානම් ඒ සඳහා එතුමාට තව කල් තියෙනවා. ඒවයි මේවයි අපි එකට පටලවා ගන්නේ නෑ. අඩුම තරමින් ඔය කියන සාකච්ඡාවලට මමවත් නාමල් මන්ත්‍රීතුමාවත් ගියේ නෑ. 

 
ප්‍රශ්නය - ඇත්තම කියන්න. මෛත්‍රී - මහින්ද සමගි වෙනවට ඔබ කැමතිද?   

පිළිතුර - මෛත්‍රී - මහින්ද එකතු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෑ ඒ දෙන්නා. එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, ඒකාබද්ධ විපක්ෂයි එකතු වෙනවට අපි කැමතියි. හැබැයි එහෙම එකතු වෙන්න අපි ඉදිරිපත් කරන කොන්දේසිවලට එ්ය අය කැමති වෙන්න ඕනෑ. එහෙම වුණොත් අපට කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නිසා.   


ප්‍රශ්නය - වෙන්ව තරග කිරීමෙන් වාසියක් තියෙනවා කියලා ඔබ හිතනවාද?   
පිළිතුර - මෙහෙමයි, මේ මැතිවරණයේදී ජනතාව පෙළ ගැහෙන්නේ ආණ්ඩුව සහ ආණ්ඩු විරෝධී විදියටයි. විපක්ෂයේ ඉන්නවා කියලා කිව්වත් දෙමළ ජාතික සංධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ ආණ්ඩුවේ නිල කොටස්කාරයෝ. නමුත් මේ අය මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ වෙන වෙනම. හංසයට දීපු අය වෙන වෙනම ඉල්ලන්නේ. ඒ බලවේගය කැඩිලා විසිරිලා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ බුලත් කොළයට ඡන්දය දුන්න සියලු බලවේග එලෙසින්ම ඉන්නවාට අමතරව තවත් බොහෝ බලවේග ජනතාව අලුතෙන් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කර පොහොට්ටුවට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නෑ. ඒ බලපෑම ඇති වෙන්නේ අනික් දේශපාලන පක්ෂවලටයි. ඒ වගේම වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණිනුත් ඉල්ලනවා. බුලත් කොළයෙනුත් ඉල්ලනවා. ශ්‍රී ලංකා - යූ.එන්.පී. එකට සමහර තැන්වල ඉල්ලනවා. එතැනත් මේක බෙදිලා තියෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී කණ්ඩායමක් එන්නේ පොහොට්ටුවෙන් කියන එක මම බොහොම පැහදිලිව කියනවා.   


ප්‍රශ්නය - වෙනම ඉල්ලුවාම යූ.එන්.පීයට වාසියි. ඔබලා මේ කරන්නේ යූ.එන්.පී. කොන්ත්‍රාත් එකක් කියලත් චෝදනාවක් තියෙනවා.   
පිළිතුර - නෑ. මෙහෙමනේ. ඔය කතා කරන දසාසිරි ජයසේකරලා හොඳින්ම දන්නවා යූ.එන්.පීය ආරක්ෂා කරන්නේ කවුද කියලා. මේ ආණ්ඩුව රැකගෙන යන්නේ ඔය දෙගොල්ලොම. ඒ නිසා යූ.එන්.පීයත් එක්ක ඩීල් තියෙන්​ෙන් ඒ අයට. අපි ඩීල් දාන්නේ හැහැනේ. අපි මේ ආණ්ඩුවට විරුද්ධව බොහොම පැහැදිලිව පෙළ ගැසිලා ඉන්නවා. අපි බෙදුණයි කියලා යූ.එන්.පී.යට වාසියක් වෙන්නේ නෑ. යූ.එන්.පීයට ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. ශ්‍රී ලංකා එකට ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. එයින් සියයට 95ක්ම දැන් තියෙන්නේ මහින්ද මහත්තයගේ අතේ. රටේ තීරණාත්මක මධ්‍යස්ථ ඡන්දදායකයන් ඒ ඡන්දදායකයන් අද මුළුමනින්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා පෙළගැහිලා ඉවරයි.   


ප්‍රශ්නය - හැමදාම ඔය කතාව කියනවා. ඒත් ඡන්ද ප්‍රතිඵල වල එහෙම දෙයක් වෙන්න නෑ.   
පිළිතුර - ඉතිහාසයෙ හැමදාටමත් වඩා අද තත්ත්වය වෙනස්. මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු තුනක් වෙනවා. ආර්ථික ප්‍රතිපත්ති දෙක තුනක් ඉදිරිපත් කළා. ඒවා ඔක්කොම අසාර්ථකයි. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. රටේ අනාගත පරපුරට මේ රටේ සම්පත් නැති කරනවා. මහ බැංකු බැඳුම්කර හොරකම නිසා අද මේ රටේ බැංකු පොලී අනුපාතය වැඩි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිපලය වශයෙන් සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි මහා පරිමාණ ව්‍යාපාරිකයන් පවා අසරණ වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයෝ අද කලකිරිලා. රාජ්‍ය සේවකයන්ට මාසික වැටුප මදි මාසේ ජීවත් වෙන්න. කාර් ගන්න හිටපු නංගිලා බලාගත් අතේ බලාගෙන ඉන්නවා.

කෘෂිකර්මාන්තය විනාශ වෙලා. හාල් පිටරටින් ගේන්න වෙලා. පොළොන්නරුවේ ගොවි රජෙකුගෙ පුතෙක් රජවෙලා හිටියත් හාල් ගෙන්වන්නේ පිට රටින්. පොල් ගෙඩිය රුපියල් 130යි. ඩොලර් එක 155යි. රුපියල් 26යි වෙනස්. ඉස්සර මිනිස්සු ඩොලර් එකතු කරනවා. දැන් පොල් එකතු කරනවා. පොල් බෑය රුපියල් 70යි. බෑ දෙකම 140යි. එළවළු මිල හිතාගන්න බැරි තරමට ඉහළ ගිහින්. පාතාලය හිස ඔසවලා. උන් මුළු රටේම මිනී මරණවා. පාතාලයන්ට රැකවරණය දෙන්නේ මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්. පාතාලයට මුදල් හොයන්නේ කුඩු විකුණලා. කුඩුවලින් රට ස්වයංපෝෂිතයි. දෙමාපියන් ඉන්නේ බයෙන්. උතුරේ මහ ඇමැති කියනවා මේක ශ්‍රී ලංකා නෙවෙයි, ඊළාම් කියලා. උතුරේ අධ්‍යාපන ඇමැති ජාතික කොඩිය උස්සන්න බෑ කියනවා. ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ නපුංසක ප්‍රතිපත්තියක්. මොකද මේ ආණ්ඩුවට කොටි ඩයස්පෝරාවේ බලපෑම් තියෙනවා. එ් නිසා මේ ආණ්ඩුව ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්නේ නෑ. ත්‍රස්තවාදීන් සමරන්න අවස්ථාව දෙනවා. ඒ නීති විරෝධී කටයුත්ත කරන අය අත්අඩංගුවට ගනන්වා කියලා කිව්වට අත්අඩංගුවට ගත්ත කෙනෙක් නෑ. අද ඊළම දීපු තත්ත්වයක් තියෙන්නේ. රටට ආදරේ මිනිස්සු මේ ආණ්ඩුවත් එක්ක නෑ. එ් නිසා තමයි මේ මැතිවරණයේදී ආණ්ඩුව හා ආණ්ඩු විරෝධී කඳවුරු දෙකක් බිහිවෙලා. ආණ්ඩු විරෝධී සැබෑ බලවේගය වන පොහොට්ටුවට ඡන්දය දෙන්න ජනතාව පෙළ ගැහිලා ඉන්නේ.   

 


ප්‍රශ්නය - පොහොට්ටුව කරන වැඩේ නිසා 2020දී බලයට එන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ පොහොට්ටුවේම හිටපු වීර කුමාර දිසානායක වැනි මැන්ත්‍රීවරු.   
පිළිතුර - මම ඒකයි කියන්නේ ​ෙම්කෙන් ගැලවිලා ගියාට ගිහින් කියන කතා අපට කිසිම බලපෑමක් නෑ. දැන් හිතන්නකෝ රූස්ස මහ ගහක ළැගලා හිටපු රිලවෙක් බැහැලා ගියාට ගහට ඩැමේජ් එකක් වෙන්නේ නැහැනේ. මහින්ද සාධකය නමැති ප්‍රබල ප්‍රතිරූපයක් ඉස්සරහ ඔය අය කවුද?   


ප්‍රශ්නය - නමුත් පාර්ලිමේන්තුව කියන්​නේ ඔළුගෙඩි. ඒ ඔළුගෙඩි වෙනස් වෙනවා කියන්නේ බරපතළ තත්ත්වයක්?   
පිළිතුර - දැන් බලන්න. මම ලංකාවෙන්ම තුන් වැනියාට වැඩිම ඡන්ද ගත්ත කෙනා. මම ඒකාබද්ධ විපක්ෂයෙන් අයින් වුණෙත් මාත් එක්ක එන මිනිස්සු 50ක් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම මෙතැනදී යූ.එන්.පීයට වෙන්න පුළුවන් ශ්‍රී ලංකා එකට වෙන්න පුළුවන් අපේ කවුරු හරි ගියාට අර රිලවා බැහැලා ගියාම ගහ ඩැමේජ් වෙන්නේ නැහැ වගේ කිසිම බලපෑමක් නෑ. ඒ අයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවගේ ප්‍රතිචාර ලැබෙයි.   


ප්‍රශ්නය - නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මේ ඉරි තැලීම ප්‍රශ්නයක් නොවෙයි කීම උගුරට හොරා බේත් බීමක්?   
පිළිතුර - කොහේද ඒකාබද්ධ විපක්ෂය ඉරි තලලා තියෙන්නේ.? අපි දන්නා මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියක් ගියා. ඊළඟට ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ගියා. ඒ ප්‍රතිපත්තිමය කාරණා වෙනුවෙන් නෙවෙයි. වරදාන හා වරප්‍රසාදවලට ඒ අයට හෙට අනිද්දා වෙනකොට ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ලැබෙයි ඒවා නැතිව ඉන්න බැරි අය තමයි ඔය යන්නේ. මං ඔබට රහසක් කියන්නම්. ගියා වගේ නොවෙයි එහෙන් එන්න ඉන්න අය බොහොම වැඩියි.   


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයෙන් තව කවුරුවත් යන්නේ නෑ කියලා ඔබට විශ්වාසයක් තියෙනවාද?   
පිළිතුර - ඒකාබද්ධය විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මන්ත්‍රීවරුන් නම් කවුරුවත් යන්නේ නෑ.   


ප්‍රශ්නය - අනිත් පක්ෂවල අය ගැන ඔබට විශ්වාසයක් නෑ.   
පිළිතුර - නෑ මට එහෙම අවිශ්වාසයක් නෑ. මට මිනිස්සු ගැන කියන්න බෑ. නමුත් මම දන්නා තත්ත්වය අනුව නම් කවුරුවත් යන්නේ නෑ.   


ප්‍රශ්නය - නාමයෝජනා දීමේදී ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර පක්ෂවලට අවශ්‍ය අපේක්ෂක සංඛ්‍යාව බැසිල් රජපක්ෂ දුන්නේ නැහැ කියලා මන්ත්‍රී විමල් වීරවංස කිව්වා.?   
පිළිතුර - ඒක මොන පදනමින් කියනවාද කියලා මම දන්නේ නෑ. මොකද බැසිල් රාජපක්ෂ ඔය හැම තැනම වැඩේට මැදිහත් වුණේම නැහැ. අපේක්ෂක ගණන වැඩි නිසා ප්‍රශ්න මතු වුණා. දැන් ඒ ප්‍රශ්න විසඳිලා තියෙන්නේ.   


ප්‍රශ්නය - ඔබට අනුව ජයග්‍රහණය ඒකාන්තයි.?   
පිළිතුර - කැට තියලා කියන්නේ ඉර හඳ සේම ෂුවර්.

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්