ඔය විස්සට කොහොමවත් තුනෙන් දෙක ලැබෙන්නේ නෑ


සමගි ජනබලවේගය ප්‍රධාන ලේකම් පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.

 

  •  බැසිල් රාජපක්ෂ දන්නවා ඇමෙරිකන් පුරවැසිභාවය අයින් කරගන්නවාට වඩා රටේ ව්‍යවස්ථාව වෙනස් කරන එක පහසුයි කියලා.

 

 

ප්‍රශ්නය:- මේ මොහොතේ රටේ දේශපාලනය ගැන ඔබේ විග්‍රහය?


පිළිතුර:- අද වෙනකොට පළමු මාසය තුළදීම රජය වැරැදි වැඩ ගොඩක් කරලා තියෙනවා.


ප්‍රශ්නය:- මොනවද ඒ වැරැදි?


පිළිතුර:- මම කියන්නම්. රට රකින්න, ජාතික ආරක්ෂාව සලසන්න ආවා කියපු ආණ්ඩුව අද පරිසරයට විශාල විනාශයක් කරමින් ඉන්නවා. පුත්තලම ආනවිලුන්ද‌ාව තෙත් බිම් රක්ෂිතය විනාශ කළා. ලෝක උරුමයක් වූ සිංහරාජය විනාශ කරමින් පාරක් කපනවා. වනාතවිල්ලුව වනාන්තර පද්ධතිය ගිනිබත් කරනවා. දේශපාලනඥයන්ගේ සහෝදරයන්, ඥ‌ාතීන්, හිතවතුන් මේ පිටිපස්සේ ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. ලෝක උරුමයක් වෙච්ච සිංහරාජයට කවුද අත තිබ්බේ? කිසිම බයක් නැතිව මේ ආණ්ඩුව ඒකටත් අත තිබ්බා.


ප්‍රශ්නය:-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගියා සිංහරාජයෙ නිරීක්ෂණ චාරිකාවකට?


පිළිතුර:- ඔව්' මම කනගාටුවෙනවා ජනාධිපතිතුමත් ඒකට මැදිහත් වෙලා මේ දේවල් කිරීම ගැන. ඒ වගේම ආනවිලුන්ද‌ාවට කරන පරිසර හානිය බලන්න. රැම්සා තෙත් බිම් පද්ධතියක් මේ විනාශ කළේ. අල්ලලා තියෙන්නේ ඩෝසර් කරපු කෙනාව. නමුත් අල්ලන්න ඕනැ මේක කරවපු කට්ටිය. කුරුණෑගල බුවනෙක රාජ සභා මණ්ඩපය ඩෝසර් කළා. විත්තිකාරයෝ අද වෙනතුරු අත්අඩංගුවට අරගෙන නෑ. මේ මම කියන්නේ මේ ආණ්ඩුව ඇවිත් පළමුවැනි මාසයේ වෙච්ච දේවල්. වැලි ටික ගෙනියන්න පස් ටික ගෙනියන්න තිබුණ පර්මිට් එක අයින් කළා. මේ ආණ්ඩුව පරිසර මාරයෙක් වෙලා. පොලිසියටත් කට උත්තර නැතිව ඉන්නේ?


ප්‍රශ්නය:- එල්ලුම්ගහ නියම වුණ ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව නම් ඔබලා පාර්ලිමේන්තුව තුළ ලොකු උද්ඝෝෂණයක් කළා?


පිළිතුර:- අනිවාර්යයෙන්ම. ලෝකයේ කිසිම රටක මරණ දඬුවම හිමිවෙච්චි කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ.


ප්‍රශ්නය:- නමුත් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ අධිකරණ නියෝගයකින් මිසක් ආණ්ඩුවේ වුවමනාවට නොවෙයි?


පිළිතුර:- අධිකරණය කියලා තියෙන්නේ කතානායකට තීරණයක් ගන්න කියලයි. අධිකරණය කියලා නෑ පාර්ලිමේන්තුවට යන්න. ඡන්දෙ දෙන්න.’ කියලා. අධිකරණය කියලා තියෙන්නේ දිවුරුම් දීමේ අවස්ථාව දෙන්න. හැබැයි ඡන්දෙ දෙන එක ගැන දිගින් දිගටම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වෙන එක ගැන තීරණය කළ යුත්තේ කතානායක කියලයි. මීට ඉස්සෙල්ලා සරත් ෆොන්සේකා මහත්තයාට ඒ අවසරය දුන්නේ නෑ.


ප්‍රශ්නය:-සරත් ෆොන්සේකාට තීන්දුව දුන්නේ යුද්ධාධිකරණයෙන්?


පිළිතුර:- ඔව්. යුද්ධාධිකරණයෙන් තමයි තීන්දුව දුන්නේ. නමුත් එතුමා ගියා ඇපීල් අධිකරණයට. ඒත් එතුමට පාර්ලිමේන්තු එන්න දුන්නේ නෑ. එයා මිනී මරලත් නොවෙයි. මෙතැන තියෙන්නේ මිනීමැරුමක්, සාක්ෂිකාරයෝ හතළිස් දෙනෙකුගේ සාක්ෂියෙන් මේක ඔප්පු වෙලා තියෙන්නේ.


ප්‍රශ්නය:- ප්‍රේමලාල් ජයසේකරත් තමන්ගේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ගිහින් තියෙනවා?


පිළිතුර:- කොහොම වුණත් මිනීමැරුමකට වැරැදිකාරයා වෙච්ච කෙනෙක් පාර්ලිමේන්තු එන්නේ කොහොමද? අපි අහන්නේ ‘එක රටක් - එක නීතියක්’ හදන්න යන්නේ මෙහෙමද කියලා? එක රටක් එක නීතියක් හදනවා කියපු අය අද මිනීමරුවන්ට වෙනම නීතියක් හදනවා. මේවා මේ පළමුවැනි මාසයේ වෙච්ච දේවල්. ඉතින් ඉදිරියේදී මොනවා වෙයිද?


ප්‍රශ්නය:-ඇයි ඔබලා 20 ට විරුද්ධ?


පිළිතුර:- 20 ට විරුද්ධ අපි 19 වැනි සංශෝධනය හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දිශාවට යොමුකළා. ස්වාධීන කොමිෂන් සභා ඇතිකළා. මේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධි, මානව හිමිකම් විරෝධි රටක් විදියට තමයි හංවඩු ගැහිලා තිබුණේ. අපි 19 හරහා මේ රට එයින් මුද‌ාගත්තා.


ප්‍රශ්නය:- නමුත් 19 හරහා මුළු රටම අවුල් ජාලයක් වුණා කියන එකත් ඔප්පු වුණා?


පිළිතුර:- ඒක ව්‍යවස්ථාවේ වරද නොවෙයි. ඒක මේ ඒක ක්‍රියාත්මක වෙද්දී වෙච්ච අඩුපාඩු. එහෙම නම් ඒක හදන්න ඕනැ. 20 වැනි සංශෝධනය අරගෙන බලන්න. ඇයි ජනාධිපතිවරයගේ මුක්තිය අයින් කරන්නේ? ඒක තියා ගත්තට මොකද වෙන්නේ? ජනාධිපතිවරයා වැරැදි කරන්නේ නැත්නම් ඒක තිබුණාට මොකද වෙන්නේ? 1994 ඉඳලා හැම මැතිවරණයකදීම කිව්වේ ජේ.ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. අද එතැනින් එහාට ගිහින් තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට අරගෙන තියෙනවා. ලක්ෂ 125 ක් 130 ක් ඡන්දෙ දීලා පත්කරන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයට අවුරුද්දකින් විසුරුවන්න පුළුවන් නම් ඒක කොච්චර නරකද?


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා පත්කර ගන්නේ රටේම ජනතාව. පාර්ලිමේන්තුව වැරැදි පාරේ යනවා නම් ඒක විසුරුවාලීමේ බලය ජනාධිපතිට තිබීම හොඳ නැද්ද?


පිළිතුර:- පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ තියෙන්න ඕනැ නැද්ද? ඒකාධිපතිවාදය නේද ඔය එන්නේ? රටේ ජනතාව ලක්ෂ 130 ක් ඡන්දෙ දීලා පත් කරලා එවන පාර්ලිමේන්තුව එක පුද්ගලයකුට විසුරුවන්න බලය දෙනවා නම් ඒක ඒකාධිපතිවාදය නොවෙයි ද? මතකනේ දින පනස් දෙකේදී වෙච්ච දේ? හඳපානේ අගමැතිව පත්කරනවා. මෙහෙම ගියොත් රටට මොකක් වෙයිද? ඒකාධිපතිවාදය එපා කියන අයනේ අද මෙහෙම කරන්නේ. ඒ විතරක් නොවෙයි. ද්විත්ව පුරවැසිභාවය. මේ ආසියාකරයේ මොන රටේ ද තියෙන්නේ තවත් රටක පුරවැසියකුට පාර්ලිමේන්තුවට යන්න? ජනාධිපති වෙන්න පුළුවන් කියලා?


ප්‍රශ්නය:- ඔබලා ඔය ප්‍රශ්නය නගන්නේ බැසිල් රාජපක්ෂ හිතෙන් මවාගෙන?


පිළිතුර:- ඔව්, ඒ නිසානේ ඒ සංශෝධනය ගෙනාවේ. බැසිල් රාජපක්ෂ දන්නවා ඇමෙරිකන් පුරවැසිභාවය අයින් කරගන්නවාට වඩා රටේ ව්‍යවස්ථාව වෙනස් කරන එක පහසුයි කියලා.


ප්‍රශ්නය:-නමුත් බැසිල් රාජපක්ෂ කියලා නෑ ඔහු යළිත් සක්‍රිය දේශපාලනයට එනවා කියලා?


පිළිතුර:- කියපුවා නොවෙයිනේ මේ ආණ්ඩුව කොහොමත් කරන්නේ.


ප්‍රශ්නය:- ද්විත්ව පුරවැසි කියනකොට ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයත් හිමියි?


පිළිතුර:- ඉතින් මම අහන්නේ ඇමෙරිකාවෙත් දිවුරුම් දීලා ලංකාවෙත් දිවුරුම් දීලා මේක මේ ‘ඩබල් ඇක්ටිං වැඩක්නේ.’ දෙබිඩි පිළිවෙතක්නේ. කොහොමද ඇමෙරිකානු පුරවැසියෙක් මෙහෙ පාර්ලිමේන්තුවට යන්නේ? ඇමෙරිකානු රජයට, ඇමෙරිකානු කොඩියට, ඇමෙරිකානු පුරවැසිභාවයට දිවුරුම් දීලා ලංකාවේ රජ කරනවා. මොකක්ද මේකේ තත්ත්වය? ලංකාවට මෙච්චර ආදරේ නම් මවුබිම වෙනුවෙන් නම් කටයුතු කරන්නේ රට වෙනුවෙන් කියලා පපුවට ගහ ගන්නවා නම් ඇයි ද්විත්ව පුරවැසිභාවය ද‌ාලා එන්න බැරි?


ප්‍රශ්නය:- සිංගප්පූරු පුරවැසියකුට රටේ මහ බැංකුව බාර දෙනකොට ඔබලාගේ ඔය හෘදයශාක්ෂිය නිහඬයි?


පිළිතුර:- නිහඬව තිබුණේ නෑ. අපි හඬ නැගුවා. ඒවාට ඇහුම්කන් දෙන්න බැරි වෙච්ච නිසානේ ඔය අගාධයට තල්ලු වුණේ.


ප්‍රශ්නය:-18 වැනි සංශෝධනයට ඔබලා ඒකාධිපති ව්‍යවස්ථාවක් කිව්වා. එහෙම කියලා 19 ගෙනාවා.

ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි වාර ගණන සීමා කළා. 20 න් ඒ වගන්තිය අයින් කරලා නෑ.
පිළිතුර:- ඒක හරි. එහෙම නම් ඇයි ජනාධිපතිවරයාගේ මුක්තිය අයින් කළේ නැත්තේ? පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසුරුවන බලය ජනාධිපතිට දුන්නේ? ජනාධිපතිවරණයට ඉල්ලන වයස 35 සිට 30 ට ගෙනාවේ? මොකටද එහෙම කළේ?


ප්‍රශ්නය:- ඔබල ඒ වගන්ති දැම්මේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙනනේ?


පිළිතුර:- රාජපක්ෂ පවුල නොවෙයි වෙන පවුලකටවත් යළිත් එබඳු ඒකාධිපති පාලනයක් කරා යන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කිරීමටයි අපි ඒ සංශෝධන ගෙනාවේ.


ප්‍රශ්නය:-රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එල්ටීටීඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කරලා වෙනම රාජ්‍යයකට පාර කපන කොට ජනාධිපතිනි චන්ද්‍රිකා ඒ පාර්ලිමේන්තුව විසුරෙව්වා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රට අයාලේ යද්දීත් 19 නිසා ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවුණා?


පිළිතුර:- වැරැදි අර්ථකථන දෙන්න එපා. ජාතික ආරක්ෂාව නැති වුණේ 19 නිසා නොවෙයිනේ. 19 ව්‍යවස්ථා සංශෝධනයෙනුත් සියලු බලතල තිබුණේ ජනාධිපතිවරයාටනේ. ආරක්ෂක ඇමැති එයා. නීතිය හා සාමය ඇමැති එයා. ආරක්ෂක මණ්ඩලය කැඳවන්නේ එයා. ඉතින් මොකක්ද එතැන ව්‍යවස්ථාවේ වැරැද්ද? ඒවා පුද්ගල වැරැදි.


ප්‍රශ්නය:-ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වුණා තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවන්න?


පිළිතුර:- ඒක ප්‍රශ්නයක් නොවෙයිනේ. ඕනෑම හොඳ දෙයකට අවශ්‍ය උපරිම සහයෝගය දෙනවා කියලා අපි කිව්වා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගත යුතු නෑ.


ප්‍රශ්නය:- දැන් ඔබලා කිය කියා හිටියේ ගෝඨාභය නම් හොඳයි. නමුත් මහින්ද තමයි ගෝඨාභයට වැඩ කරන්න දෙන්නේ නැත්තේ’ කියලා. දැන් ඔන්න මහින්දගේ බලතල විශාල ප්‍රමාණයකුත් ඔහුගෙන් ගැලවිලා?


පිළිතුර:- ඔව්. මට ඒක පැහැදිලිවම පේනවා. අපි කියලා නෑනේ ‘ගෝඨාභය හොඳයි මහින්ද නරකයි’ කියලා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි ඒකාධිපතිවාදයයි ගැන. අපිට ගෝඨාභය හිටියත් එකයි, මහින්ද හිටියත් එකයි. නමුත් අගමැතිවරයාටත් බලතල තියෙන්න ඕනැ. මේ රටේ අගමැතිවරයා නිර්දේශ කරන නම් අනුව තමයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කරන්නේ. අද අගමැතිවරයාට ඒකත් නැතිවෙලා තියෙනවා. ඇයි එහෙනම් අගමැතිවරයෙක් ඉන්නේ? ජනාධිපතිවරයාට පුළුවන්නේ මේකේ ඔක්කොම කරන්න. ඒ වගේම ඇමැති මණ්ඩලයේ සීමාවන් අයින් කරලා ආසියාවේ වැඩිම ඇමැතිවරුන් සංඛ්‍යාවක් ඉන්න රට තමයි ලංකාව. අල්ලපු ඉන්දියාවෙත් නෑ. පාකිස්තානයෙත් නෑ. ජපානයේත් නෑ. මුළු ආසියාකරයේම නෑ. අපි ඇමැතිවරු 30 කට සීමා කළා. රටම පිළිගත්තා ඒක. අපි ඇමැතිවරු 30 ක් එක්ක බොහෝම අමාරුවෙන් ගියා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අද තිහේ සීමාව අයින්කරලා. ඇමැතිවරුන් වැඩිකරලා කප්පම් දීලා වැඩේ කරගන්නනේ මේ හදන්නේ. කප්පම් දේශපාලනයනේ මේ කරන්නේ. ඇමැතිකමක් දීලා ළඟ තියාගන්නවා. අනිත් එක තමයි හදිසි පනතක්. දින 14 ක් දීලා තිබුණ මහජනතාවට විරෝධය දක්වන්න. ඒක අද දින 7 ක් කරලා. කොහේද මෙතැන ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරිවෙලා තියෙන්නේ? අධිකරණය දිහා බැලුවොත් දින පනස් දෙකේ කුමන්ත්‍රණය වෙලාවේ ස්වාධීන අධිකරණය තිබුණ නිසා විනිශ්චයකාරවරුන් බය නැතිව තීන්දුවක් දුන්නා. දැන් නීතිපති පත්කරන්නෙත් ජනාධිපති. අග්‍ර විනිශ්චයකාරයා පත්කරන්නෙත් ජනාධිපති. ඇපිල් උසාවියේ අය පත්කරන්නෙත් ජනාධිපති. ඉතින් කොහේද අධිකරණයෙ ස්වාධීනත්වයක්? ජනාධිපති පත්කරන අයම තමයි තීන්දු දෙන්නේ.


ප්‍රශ්නය:- අලුත්ම ව්‍යවස්ථාවක් ගේනකම් නේද 20 ගේන්නේ?


පිළිතුර:- ඇයි මේ අතරමැදි කාලයට මේ වගේ ව්‍යවස්ථාවක් ගේන්නේ? ඔය 20 ට කොහොමත් තුනෙන් දෙක ලැබෙන්නෙත් නෑ. ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන කතා අපි දන්නවනේ.


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එකතු වෙන්න සූද‌ානමින් ඉන්නේ?


පිළිතුර:- පැහැදිලිවම මම කියනවා සමගි ජන බලවේගයේ කවුරුවත් යන්නේ නෑ. මම දන්නවා ලොකුවට මුදල් ගනුදෙනු ගැන කතාකරනවා. අපේ කිසිම කෙනෙක් ඒ මුදල්වලට යටවෙන්නේ නෑ. එහෙම මුදල්වලට යට වුණොත් ආපහු මේ රටේ දේශපාලනයක් කරන්න බැරිවෙනවා.


ප්‍රශ්නය:-ඔබත් සමග ඉන්න සුළු ජාතික පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකුත් ආණ්ඩුව එක්ක ‘ඩීල්’ ද‌ාගෙන?


පිළිතුර:- කිසිම මන්ත්‍රීවරයෙක් කිසිම ඩීල් එකක නෑ. ඒකට කතා කරනවා. සුළු ජාතිකයන් එපා කියලා ඇයි ඩීල් ද‌ාන්නේ? ජනාධිපතිවරයා දිවුරුම් දෙන උත්සවයේදී පැහැදිලිව කිව්වේ මම ආවේ තනිකරම සිංහල බෞද්ධ ඡන්දවලින් කියලා. එහෙම නම් ඇයි සුළු ජාතීන් එක්ක ඩීල් ද‌ාන්නේ?

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්