ඒගොල්ලෝ සහාය දෙනවා නම් අපිට එපා කියන්න බෑනේ


සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙක ඉක්ම වූ බලයකින් පාර්ලිමේන්තුව තුළ සම්මත විය. මේ ඒ සම්බන්ධයෙන් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය - විස්ස සම්මත වුණා. දැන් මොකද හිතෙන්නේ?  


පිළිතුර - මේක රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවීමක්. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි දැක්කා එජාප වේදිකාවල ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්. ඒ නිසා දිනුවත් ජනාධිපති වෙන්න බෑ කිව්වා. එතුමාට නොයෙක් විදියට අවලාද නැගුවා. හැබැයි මේ රටේ හැට නව ලක්ෂයක් ජනතාව එතුමාට ඡන්දය දීලා එතුමාව මේ රටේ ජනාධිපති කළා. එතුමාට වැඩ කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ 19ත් එක්ක. එතුමාට ලැබුණේ විපක්ෂයක් සහිත ආණ්ඩුවක්. අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියත් පාර්ලිමේන්තු බලය නැතිව මුදල් පනතක්වත් සම්මත කර ගන්න ලැබුණේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයට යනකොට අපි ජනතාවට කිව්වේ ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ශක්තියක්​ දෙන්න ව්‍යවස්ථා සංශෝධනයකට යන්න තුනෙන් දෙකක බලය දෙන්න කියලා. ජනතාව අපිට ඒ බලය දුන්නා. ඒ නිසා ඒ ජනවරමට අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මුලින්ම තීන්දු කළා කැබිනට් එකට දාලා 19 අහෝසි කරන්න. ඒකමතිකව ඒක සම්මත වුණා. ඊට පස්සේ ජනමත විචාරණයට තුඩුදෙන කාරණා අතහැරලා ඒ රාමුව තුළ නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඕනෑම අයකුට උසාවියට යන්න අවස්ථාව දුන්නා. ඒ විදියට නිත්‍යානුකූලව තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ.  


ප්‍රශ්නය - නමුත් 20ට එරෙහිව මහා සංඝරත්නය වගේම අනෙකුත් ආගමික නායකයන් විවේචනාත්මකව අදහස් පළ කළා?  


පිළිතුර - විවිධ මත තිබුණා. ඒක හරි. ඒ නිසා මහා සංඝරත්නය, ඒ වගේම අගරදගුරුතුමා ඇතුළු කතෝලික සභාවෙත් ඉල්ලීම් ඉදිරිපත් වුණා. ඒ අනුව තමයි පහුගිය බ්‍රහස්පතින්දා සංශෝධන සහිතව මේක සම්මත කර ගත්තේ.  


ප්‍රශ්නය - 20ට ඔච්චරම හදිසියක් ඇයි?  


පිළිතුර - මේක තාවකාලික එකක්. අලුත් ව්‍යවස්ථාවකට යායුතුයි කියලා අපි හැමෝම හිතනවා. ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කමිටුවකුත් පත් කරලා තියෙනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත අපට අවස්ථාව ලැබෙයි ඒ කෙටුම්පත රටේ සංවාදයට බඳුන් කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ සම්මත කරගන්න. ඒ පියවරෙහි ආරම්භය තමයි 20.  


ප්‍රශ්නය - සුළු ජාතික පක්ෂවල සහයෝගය ගන්නේ නෑ කිව්වා. නමුත් අන්තිමට ඒ අයගේ සහයෙන් තමයි 20 සම්මත කර ගත්තේ?  


පිළිතුර - පාර්ලිමේන්තුව තුළ අපට 150ක් ඉන්නවා. එයින් කතානායකතුමා අඩු වුණාම 149යි. මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා ඡන්දය දෙන්න ආවේ නෑ. ඒ අනුව 148යි තිබුණේ. ඒ අනුව මේක සම්මත කරගන්න වෙන්නේ නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරපු කණ්ඩායමකුත් විපක්ෂයේ වාඩිවෙලා ඉන්න කණ්ඩායමකුත් අපට සහයෝගය දුන්නා. ඒ නිසා 20 උඩින්ම සම්මත කරගන්න පුළුවන් වුණා.  


ප්‍රශ්නය -  මගේ ප්‍රශ්නය වුණේ සුළු ජාතික පක්ෂ ගාව ගන්නේ නෑ කිව්වට ඔවුන්ගේ සහයෝගය ගැනීම ගැනයි?  


පිළිතුර - ඒගොල්ලෝ අපට ඡන්දය දෙනවානම් අපට එපා කියන්න බෑ. ඒ වගේම ඒ සහයෝගය ගන්න අපි කිසිම මෙහෙයුමක් කළේ නැ. අපි අපේ කරුණු කාරණා ඉදිරිපත් කළාම ඒගොල්ලන්ගේ පක්ෂ සාකච්ඡා කරලා එක එක කරුණුවලට සහයෝගය දුන්නා. රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීතුමාගේ පක්ෂයේ දෙන්නෙක් අපට ඡන්දය දුන්නා. දෙන්නෙක් විරුද්ධ වුණා. ඒ විදියට තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ඡන්දය දීලා තියෙනවා.  


ප්‍රශ්නය -  ඒ සහයෝගය ගන්න නියම වුණ මිල කීයද?  


පිළිතුර - නෑ. මම දන්නා තරමින් නම් ඒ ගැන කිසිම කතාවක්වත් වුණේ නෑ. ඒ අයම ඉදිරිපත් වෙලා තමයි ඒ තීන්දුව ඔවුන් ගත්තේ. එදා පාර්ලිමේන්තුවේදී අපි දැක්කා උදේ ඉඳලා සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ පක්ෂයේ ප්‍රබලයෝ විවිධ පක්ෂ එක්ක සාකච්ඡා කරනවා. ඒ අයම තේරුම් අරගෙන තියෙනවා 19න් රට ඉදිරියට යන්නේ නෑ කියලා. ඒ විදියට තමයි ඔවුන් ඡන්දය දුන්නේ. එහෙම නැතිව කිසිම වරදානයකට වරප්‍රසාදයකට මේ ඡන්දය දුන්නේ නෑ.  


ප්‍රශ්නය -  20 නිසා ආණ්ඩුවේ සමගිය දෙදරුවා?  


පිළිතුර - අපි පොහොට්ටුවෙන් තරග කළාට ඒ ඒ පක්ෂවලට වෙනත් වෙනත් මත තියෙනවා. ඒවා සමහර විට දේශපාලනික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික වෙන්න පුළුවන්. කොහොම වුණත් එක මතයකට ගන්න ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පුළුවන් වුණා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක සාමාන්‍ය ස්වරූපය. විවිධ මත තිබුණත් බහුතර මතයට කවුරුත් එකඟ වුණා.  


ප්‍රශ්නය - ඇමැති විමල් වීරවංශට මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගහන්න පැන්නා කියලත් වාර්තා වුණා?  


පිළිතුර - පාර්ලිමේන්තුවේ ඔය වගේ සිදුවීම් මෙයට පෙරත් ඕනෑතරම් වෙලා තියනවා. ඒත් එක එක්කෙනාගේ මත අනුව වෙන දේවල්. මම ඒක හරි කියලා කියනවා නොවෙයි. ඒකත් තවත් එක සිද්ධියක් විතරයි. මම දන්නෑ එහෙම දෙයක් වුණා ද කියලා. මොකද මම එතැන හිටියේ නෑ. එහෙම දෙයක් වුණත් ඒක එච්චර ගණන් ගත යුතු එකක් නොවෙයි.  


ප්‍රශ්නය - බැසිල් රාජපක්ෂ කවදාද දැන් මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම් දෙන්නේ?  


පිළිතුර - ඒක එතුමගෙන් තමයි අහන්න ඕනෑ. හැබැයි මම දන්නා තරමින් එතුමාට පාර්ලිමේන්තුවට එන්න ලොකු බලාපොරොත්තුවක් නෑ. අපි හැමෝගෙම ඉල්ලීමක් තියෙනවා එතුමාට පාර්ලිමේන්තුවට එන්න කියලා. එතුමාට ලොකු උවමනාවක් තියෙනවා නම් මහ මැතිවරණයට එතුමා ඉදිරිපත් වෙනවා. එහෙම වුණා නම් හය වැනි රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම එනවා. එහෙම ලොකු උවමනාවක් එතුමාට තිබුණ බවක් අපි දැක්කේ නෑ. අද වුණත් ලැයිස්තුවේ ඕනැ තරම් මන්ත්‍රීවරු ඉන්නවා එතුමා වෙනුවෙන් ඉවත් වෙන්න. හැබැයි එතුමා කියපු දෙයක් තමයි මගෙ එහෙම බලාපොරොත්තුවක් නෑ, හැබැයි මොනවා වුණත් මම එනවානම් එන්නේ ද්විත්ව පුරවැසි බව අයින් කරගෙන කියලා. එතුමා ප්‍රතිපත්තිගරුක නායකයෙක් විදියට සෘජුව කතා කරනවා.  


ප්‍රශ්නය - ඇයි මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දෙ දෙන්න ආවේ නැත්තේ?

  
පිළිතුර - මම දන්නෑ එතුමා ගත් තීන්දුවට මම විරුද්ධයි. මොකද පොහොට්ටුව පක්ෂයෙන් තරග කරන්නේ පොහොට්ටුවේ නායකත්වය දරන මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් රටේ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් සහයෝගය දෙනවා කියන පදනම මත. 19 අසාර්ථකයි කිව්වේ එතුමාමයි. ඉතින් එතුමාට 20ට පක්ෂව ඡන්දය දෙන්න පුළුවන්කම තිබුණා. ඉදිරියේදී අපට හොයාගන්න පුළුවන් වෙයි ඇයි ඡන්දය නුදුන්නේ කියලා.  


ප්‍රශ්නය -  ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් එයිද?  


පිළිතුර - ඒක පක්ෂය තීරණය කළ යුතු දෙයක්. හැබැයි මිනිසුන්ගේ මතයක් තියෙනවා පහුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ සහයෝගය ලැබුණේ සජිත් ප්‍රේමදාසට කියලා. කොහොම වුණත් මේ කරපු දෙයට මම එකඟ නෑ. පක්ෂයෙන් ඉල්ලුවානම් සාමූහිකව වැඩ කරන්න එතුමාටත් වගකීමක් තියෙනවා.

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්